ඔබට මෙම බාධක අභිබවා යා හැක!
ජම්බෝ ජෙට් යානයකට මඟීන් සිය ගණනක්ද, බඩු බාහිරාදිය සෑහෙන ටොන් ප්‍රමාණයක්ද පැටවිය හැක. බරින් එතරම් වැඩි අහස් යානයක්, බිම සිට ඉහළ අහසට නැඟී යන්නේ කෙසේද? නිකම්ම ආරෝහණය මගිනි.
අහස් යානය ධාවන පථය දිගේ මහත් වේගයකින් ගමන් කරත්ම, වක්‍රාකාර පියාපත් මතුපිට ඉහළින් හා පහළින් වාතය වේගවත් ලෙස ගමන් කරයි. ආරෝහණය යනුවෙන් හඳුන්වන උඩුකුරු බලයක් මින් නිපදවේ. ප්‍රමාණවත් ආරෝහණ ශක්තියක් උපදවනු ලැබීමෙන් පසු, පොළොවෙන් එසවී, පියාසර කිරීමට අහස් යානයට හැකියාව ලැබේ. ප්‍රමාණයට වඩා බරින් යුත් අහස් යානයකට ඉහළ නැඟීම සඳහා, ප්‍රමාණවත් ආරෝහණ ශක්තියක් උපදවාගත නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.
අපද පමණට වඩා වැඩි බරින් පීඩාවට පත්විය හැක. සියවස් ගණනාවකට පෙර, දාවිත් රජ කීවේ, තම ‘අයුතුකම්, අධික බරක් මෙන් තමාට ඉතා බර වූ’ බවය. (ගීතාවලිය 38:4) ඒ හා සමානව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේද ජීවිතයේ සිත්තැවුල් මගින් වෙහෙසට පත්වී සිටීමට එරෙහිව අවවාද කළසේක. (ලූක් 21:34) අප නිෂේධාත්මක සිතිවිලි හා හැඟීම් මගින් කොතරම් දුරට වෙහෙසට පත්වී සිටිය හැකිද කිවහොත්, “එසවී” කටයුතු කිරීම දුෂ්කර යමක් සේ දිස්විය හැක. ඔබ ඒ අන්දමින් බර වී සිටින්නෙහිද? එසේ නැතහොත් ඔබේ අඛණ්ඩ ආත්මික වැඩිවර්ධනයට යම් බාධකයක් ඔබ අද්දැක ඇද්ද? එසේනම්, කුමක් උපකාරවත් විය හැකිද?
ඔබ නිරසභාවය විඳින්නෙහිද?
අදදින පොදුවේ අසන්ට ලැබෙන පැමිණිල්ලක් වන නිරසභාවය, යෙහෝවඃවහන්සේගේ සෙනඟ සඳහා පවා, මානසික බාධකයක් බවට පත්විය හැක. සමහර ක්‍රියාකාරකම් නිරසයි කියා ඉවතලෑමට, විශේෂයෙන්ම යෞවනයන්හට ප්‍රවණතාවක් තිබේ. සමහරවිට ක්‍රිස්තියානි රැස්වීම් ගැන ඔබට එසේ හැඟෙනවාද? එසේනම්, රැස්වීම්වලට පැමිණීම ඔබ සඳහා වඩාත් රසවත් යමක් කිරීමට ඔබට කුමක් කළ හැකිද?
මේ සඳහා රහස, ඊට හොඳින් සම්බන්ධ වී සිටීමය. පාවුල් යෞවන තිමෝතිට මෙසේ ලීවේය: “භක්තිවන්තකම පිණිස ව්‍යායාම පවත්වාපන්න. මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.” (1 තිමෝති 4:7, 8) ව්‍යායාම පිළිබඳ පොතක නිර්දේශිත ව්‍යායාම් අනුගමනය නොකරනු ලැබේ නම්, එය නිරස, සීමා සහිත වටිනාකමකින් යුත් යමක් වනු ඇත. අපේ මනස් ව්‍යායාම කිරීමට ක්‍රිස්තියානි රැස්වීම් පිළියෙළ කොට තිබෙන අතර, එම අරමුණ ඉටුවන්නේ අප සූදානම් වී සහභාගි වුවහොත් පමණි. මෙලෙස සම්බන්ධ වී සිටීම රැස්වීම් වඩාත් රසවත් හා සිත්ඇදගන්නාසුලු යමක් කරන්නේය.
මේ සම්බන්ධයෙන් මාරා නමැති එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක් මෙසේ පැවසුවාය: “මම රැස්වීම්වලට සූදානම් වෙන්නේ නැත්නම්, මට ඒවායින් රසයක් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත්, මම කලින් සූදානම් කළ විට, මගේ මනස හා හෘදය වඩාත් හොඳින් ප්‍රතිචාරය දක්වනවා. රැස්වීම් වඩාත් අර්ථවත් වන අතරම, අදහස් දැක්වීමට මම ඕනෑකමින් බලා සිටිනවා.”
සවන්දීමට ඉගෙනගැනීමද උපකාරවත් වේ. හොඳ සංගීතයට සවන්දීම පහසුය, තවද වහාම ආස්වාදයට හේතුවක් වේ. එහෙත් ලබන සෑම තෘප්තියක්ම ක්ෂණිකව නොලැබේ. අප රැස්වීම් වැඩසටහනෙන් තෘප්තියක් ලබන්නේ, එහි පැවසෙන දෙයට අප හොඳින් සවන් දුන්නොත් පමණි. රේචල් නමැති ක්‍රිස්තියානි භක්තික තැනැත්තියක්, මෙලෙස නිරීක්ෂණය කළාය: “කථිකයා ප්‍රාණවත් කෙනෙකු නොවන විට, මගේ අවධානය යොමු කර තබාගැනීමට මට දැඩි වෑයමක් දැරීමට සිදුවෙනවා. ‘කතාව සිත්ඇදගන්නාබවින් වඩ වඩා අඩු වෙත්ම, සිත එක්තැන් කර අවධානය යොමු කිරීමට අවශ්‍යතාව වැඩිය’ යන්න මම අනුගමනය කරන නීතියයි. . . . ශුද්ධ ලියවිලිවලින් හැකි තරම් ප්‍රයෝජන ගැනීමට වෑයම් කරමින්, මම විශේෂ අවධානයක් ඒවා කෙරෙහි යොමු කරනවා.” සවන්දීමට, අප රේචල් මෙන්, අපවම හික්මවා ගත යුතුය. හිතෝපදේශ පොත මෙසේ පවසයි: “මාගේ පුත්‍රය, . . . මාගේ ප්‍රඥාවට ඇහුම්කන්දී, මාගේ ඥානයට නුඹේ කන නමාපන්න.”—හිතෝපදේශ 5:1අ, 2.
රැස්වීම්වලදී ඉදිරිපත් කරනු ලබන සමහර තොරතුරු යම්තාක් දුරට පුන පුනා කියනු ලබන තොරතුරු විය හැක. මෙය ඉතාමත් අවශ්‍යය! දෙවියන්වහන්සේගේ සෑම සේවකයෙකුටම සිහිගැන්වීම් අවශ්‍යය. හිතුවක්කාර නැඹුරුවාවන්ද, සදොස් මතකයක්ද සමන්විත අසම්පූර්ණ මාංසයට, ලැබිය හැකි සෑම උපකාරයක්ම අවශ්‍යය. ‘මේ දේවල් දැන ඔවුන් සත්‍යතාවෙහි පිහිටා සිටිය මුත්, සෙසු ඇදහිලිවන්තයන්ට සමහර දේවල් සිහිකරවන්ට’ ප්‍රේරිත පේතෘස් ‘නිතරම සූදානම් වී සිටියේය.’ (2 පේතෘස් 1:12) එමෙන්ම, “යම් ලියන්නෙක් [ප්‍රසිද්ධ උපදේශකයෙක්, NW] ඇද්ද, ඔහු තමාගේ ගබඩාවෙන් අලුත් දේත් පරණ දේත් පිටතට ගෙනෙන්නාවූ ගෙදර ස්වාමියෙකුට සමාන” බවද යේසුස්වහන්සේ පැහැදිලි කළසේක. (මතෙව් 13:52) මෙසේ, අපේ රැස්වීම්වල සුපුරුදු අදහස්, නොහොත් ‘පරණ දේ’ ගෙනහැර දක්වනු ලැබුවත්, අපව සතුටු කිරීමට හැමවිටම සමහර ‘අලුත් දේත්’ තිබේ.
රැස්වීම්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට අදිටන් කරගෙන සිටීමේ ප්‍රතිඵලය සැබෑ ආත්මික දිරිගැන්වීමක් විය හැක. “තම ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන්නෝ [ආත්මය සඳහා සිඟමන්කරන්නෝ] සන්තෝෂවත්හුයයි” යේසුස්වහන්සේ පැවසූසේක. (මතෙව් 5:3, NW පාදසටහන) රැස්වීම්වලදී සපයනු ලබන පෝෂ්‍යදායී ආත්මික ආහාරය කෙරෙහි එවන් ආකල්පයක් දැක්වීම නිරසභාවය පිටුදකින්නේය.—මතෙව් 24:45-47.
නරක ආදර්ශයක් මගින් අධෛර්යයට පත්වී
ඔබේ සභාවේ යමෙකුගේ හැසිරීමෙන් ඔබ කවදා හෝ කලබල වී ඇද්ද? ‘එහෙම ක්‍රියා කරලත් සහෝදරයෙකුට තවම හොඳ තත්වයක සිටිය හැක්කේ කෙසේද?’ ඔබ කල්පනා කරනවා විය හැක. දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ අපට භුක්තිවිඳිය හැකි ප්‍රියමනාප ආශ්‍රයේ වටිනාකමට අපව අන්ධ කරමින්, එවන් සිතිවිලි මානසික බාධකයක් සේ ක්‍රියා කළ හැක.—ගීතාවලිය 133:1.
කොලොස්සි සභාවේ සාමාජිකයන් සමහරදෙනෙකුට ඒ හා සමාන ගැටලුවක් තිබුණා විය හැක. පාවුල් ඔවුන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය: “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙයල්ලා.” (කොලොස්සි 3:13) කොලොස්සියේ සමහර ක්‍රිස්තියානීන් ඇතැම් විට නුසුදුසු ලෙස හැසිර තිබූ බවත්, පැමිණිලි කිරීමට අනුන් සඳහා සැබෑ හේතු දී තිබුණු බවත් පාවුල් තේරුම්ගත්තේය. එනිසා යම් ක්‍රිස්තියානි ගුණාංගයක් සම්බන්ධයෙන් යම් ඌනතාවකින් අපේ සහෝදර සහෝදරියන්ගෙන් එක්කෙනෙකු ඇතැම් විට පෙළෙනවා නම් අප පුදුමයට පත්විය යුතු නැත. බැරෑරුම් ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් යේසුස්වහන්සේ හොඳ උපදෙස් දුන්සේක. (මතෙව් 5:23, 24; 18:15-17) එහෙත් බොහෝවිට, අපට නිකම්ම සෙසු ඇදහිලිවන්තයන්ගේ අඩුලුහුඬුකම් දරාගෙන, ඔවුන්ට සමාව දිය හැක. (1 පේතෘස් 4:8) ඇත්තෙන්ම කියනවා නම්, එවන් එළඹීමක් අපේ හා අනුන්ගේ යහපත සඳහා විය හැක. තත්වය මෙසේ වන්නේ මන්ද?
“සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය” කියා හිතෝපදේශ 19:11 කියයි. කෝපය හා අමනාපය පැසවීමට ඉඩහරිනවා වෙනුවට සමාව දීම කොතරම් වඩාත් හොඳද! තම ප්‍රේමනීය ස්වභාවය වෙනුවෙන් නම් දැරූ සාල්වාඩෝර් මෙසේ කීවේය: “සහෝදරයෙකු මට නරක විදිහට සැලකුවොත්, නැත්නම් යම් අකාරුණික දෙයක් කිව්වොත්, මම: ‘මගේ සහෝදරයාට උපකාර කළ හැක්කේ කෙසේද? ඔහු සමඟ මගේ අනගි සබඳතාව නැතිවීම මට වැළැක්විය හැක්කේ කෙසේද?’ කියලා මගෙන්ම අහනවා. වැරදි දේ කීමට කොතරම් පහසුද කියා මට හැමවිටම සිහිවෙනවා. යමෙක් කල්පනා කරන්නේ නැතුව කතා කළා නම්, හොඳම විසඳුම ඔහු කී දේ ආපසු ගෙන නැවතත් මුල සිට ආරම්භ කිරීමය. නමුත් ඒක කළ නොහැකි දෙයක්, එනිසා කරන්න පුළුවන් ඊළඟ හොඳ දෙය නම්, කියූ දෙය ගණන් නොගැනීමයි. එය මගේ සහෝදරයාගේ සැබෑ තත්වයේ පිළිබිඹු වීමකට වඩා අසම්පූර්ණ මාංසය නිසා ඇති වූ හදිසි පිපිරීමක් කියා මම නිගමනය කරනවා.”
මෙය කිරීමට වඩා කීම පහසුය කියා ඔබට හැඟෙනවා විය හැක. එහෙත් අප කල්පනා කරන අන්දම මීට බෙහෙවින් සම්බන්ධව පවතී. “යම් පමණ දේ ආදරණීයද, . . . ඒ දේවල් මෙනෙහිකරපල්ලා” පාවුල් පැවසීය. (පිලිප්පි 4:8) “ආදරණීය” යන්නෙහි පදගතාර්ථය, “ස්නේහය-උපදවන” යන්න වේ. අප විසින් ජනයා තුළ යහපත්ව තිබෙන දේ සලකා බැලීමට, එනම් අමනාපය නොව නමුත්, ස්නේහය උපදවන දේවල් කෙරෙහි අවධානය යොමු කිරීමට යෙහෝවඃවහන්සේට වුවමනාය. මේ සම්බන්ධයෙන් උන්වහන්සේම ශ්‍රේෂ්ඨතම ආදර්ශය සපයනසේක. ගීතිකාකරු මෙසේ පවසමින් අපට මේ පිළිබඳව සිහිකළේය: “ස්වාමිනි, ඔබ අයුතුකම් ගණනට ගන්නාසේක් නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද?”—ගීතාවලිය 103:12; 130:3.
ඇතැම් අවස්ථාවන්හිදී සහෝදරයෙකුගේ හැසිරීම කලකිරීමට හේතුවක් විය හැකි බව සැබෑ වන මුත්, අපේ සෙසු නමස්කාරකරන්නෝ බහුතරයක්ම ක්‍රිස්තියානි ජීවිතය සම්බන්ධයෙන් විශිෂ්ට ආදර්ශ වෙති. අපට මෙය සිහිවේ නම්, දාවිත් මෙන්, ‘සමූහයා අතරේදී, මුවෙන් ස්වාමීන්ට බොහෝසෙයින් ස්තුති කරන්ටත්, උන්වහන්සේට ප්‍රශංසා කරන්ටත්’ අපි සන්තෝෂ වන්නෙමු.—ගීතාවලිය 109:30.
සාක්ෂිකරුවෙකු වීම දුෂ්කර යමක් සේ පෙනේද?
තවත් මානසික බාධකයක් නිසා සමහරදෙනෙකු යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීම තවමත් නොඇරඹීම කනගාටුවට කරුණකි. තවමත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් නොවන බොහෝ පුරුෂයෝ, වගකීමේ හැඟීමකින් යුක්තව තම පවුල් නඩත්තු කරමින්, ක්‍රිස්තියානි දේවසේවයේදී පවා තම භාර්යාවන්ට රුකුලක් වන්නෝය. ඔවුන් සභාව කෙරෙහිත් මිත්‍රශීලීව හා උනන්දුවෙන් කටයුතු කරනවා වුවත්, ඔවුහු දෙවියන්වහන්සේට කැපවූ සේවකයන් වීමෙන් වැළකෙති. ඔවුන්ව වළක්වන්නේ කුමක්ද?
තම භාර්යාවන්ගේ කාර්ය බහුල දේවාණ්ඩු ක්‍රියාකාරකම් දකින මෙම පුරුෂයන්, සාක්ෂිකරුවෙකු වීම දරාගැනීමට අපහසු බරක් සේ හැඟීම එක් ගැටලුවක් විය හැක. එසේ නැතහොත් ඔවුන්ට කිසිදාක දේශනා කිරීමේ සේවයෙහි යෙදීමට බැරි වෙයි කියා ඔවුන් භයවෙනවා විය හැක. ඔවුන් බලන කෝණයෙන්, ආශීර්වාදවලට වඩා වගකීම වැඩි බව පෙනේ. එම මානසික බාධකය තිබෙන්නේ මන්ද? බයිබල් ශිෂ්‍යයෝ වැඩිදෙනෙක් සත්‍යය ක්‍රමානුකූලව ඉගෙනගෙන එය අදාළ කරති. එහෙත් ක්‍රිස්තියානි වගකීම් සියල්ල ඉසිලීමට තරම් පෙලඹීමක් ගොඩනැඟීමට පෙර, බොහෝ නොඇදහිලිකාර පුරුෂයන්ට ඒවායේ තරම හොඳින් වැටහේ.
මෙම තත්වයේ සිටි මාන්වෙල්, මෙසේ පැහැදිලි කරයි: “අවුරුදු දහයකට විතර මම මගේ භාර්යාව සමඟ එක්රැස්වීම්වලටත් රැස්වීම්වලටත් ගියා. අවංකව කියනවා නම්, ලෝකයේ පුද්ගලයන්ට වඩා මම කැමති වුණේ සාක්ෂිකරුවන්ගේ ආශ්‍රයටයි, එවගේම මට හැකි සෑම අවස්ථාවකම ඔවුන්ට උපකාර කිරීමට මම සතුටු වුණා. ඔවුන් අතර තිබූ ප්‍රේමය මගේ සිත්ගත්තා. නමුත් ගෙයින් ගෙට යෑමේ අදහස මට ලොකු බාධකයක් වුණා, මගේ වැඩපොළේ අය මට විහිළු කරයි කියා මම භය වුණා.
“මගේ භාර්යාව මාත් එක්ක හරි ඉවසීමෙන් කටයුතු කළා, එවගේම කවදාකවත් බයිබලය පාඩම් කිරීමට මට බල කළේ නැහැ. ඇයද, දරුවන්ද මූලික වශයෙන් ‘දේශනා කළේ’ තමන්ගේ හොඳ ආදර්ශයෙන්. සභාවේ වැඩිමහල්ලෙක් වූ හෝසේ, මා කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වූවා. අන්තිමේදී අධිෂ්ඨානයෙන් යුක්තව පාඩම් කිරීමට ඉවහල් වුණේ ඔහුගේ දිරිගැන්වීම කියා මම සිතනවා. බව්තීස්ම වීමෙන් පසු, මට වැටහී ගියේ, වෙන කොතැනකටත් වඩා බාධක මගේ මනසේ තිබූ බවයි. වරක් යෙහෝවඃවහන්සේට සේවය කිරීමට තීරණය කළ පසු, මගේ භය ගතිය මැඩපැවැත්වීමේදී මම උන්වහන්සේගේ උපකාරය අද්දැක්කා.”
මාන්වෙල් වැනි පුරුෂයන්ට තම මානසික බාධකය මැඩපැවැත්වීමට, උපකාර කිරීමට භාර්යාවන්ට හා ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද? දේවකැමැත්ත කිරීමට අගය හා ආශාව ගොඩනැංවීමට බයිබල් අධ්‍යයනයට පුළුවන. ඇත්තෙන්ම, මතු බලාපොරොත්තුව කෙරෙහි ඇදහිල්ල දැක්වීමටත්, නිසැකභාවය ඇතුව සිටීමටත් පදනම වූ කලි, හොඳින් සමබර වූ ශුද්ධ ලියවිලිමය දැනුම වේ.—රෝම 15:13.
එවන් පුරුෂයන්ට බයිබල් පාඩමක් පිළිගැනීමට කුමක් දිරිගැන්විය හැකිද? බොහෝවිට, තත්වය තේරුම්ගන්නා සභාවේ සහෝදරයෙකු සමඟ මිත්‍රත්වයක් ඇති කිරීම තීරණාත්මත සාධකයක් විය හැක. පුරුෂයා දැනහඳුනා ගැනීමට සමහරවිට වැඩිමහල්ලෙකුට හෝ අද්දැකීම් ලත් සහෝදරයෙකුට උත්සාහ කළ හැක. වරක් හොඳ සබඳතාවක් ස්ථාපිත කිරීමෙන් පසු, ඔහුට අවශ්‍ය වන එකම දෙය, තමා සමඟ පාඩම් කිරීමට කෙනෙකු ඉදිරිපත් වීම පමණක් විය හැක. (1 කොරින්ති 9:19-23) මේ අතරතුර, තම නොඇදහිලිකාර පුරුෂයා සමඟ ආත්මික තොරතුරු හවුලේ බෙදාගන්නා නැණවත් ක්‍රිස්තියානි භාර්යාව තේරුම්ගන්නේ, ඔහු පීඩනයට ප්‍රතිචාර දැක්වීමට තිබෙන ඉඩ කඩ අල්ප බවය.—හිතෝපදේශ 19:14.
මාන්වෙල් අද්දැකීමෙන් ඉගෙනගත්තාක් මෙන්, වරක් පුද්ගලයෙකු ආත්මික ශක්තිය ලබාගත් පසු, කඳු වැනි බාධක, තුඹසක් හා සමාන යමක් බවට පත්වන්නේය. යෙහෝවඃවහන්සේට සේවය කිරීමට කැමති අයව උන්වහන්සේ ප්‍රාණවත් කරනසේක. (යෙසායා 40:29-31) දෙවියන්වහන්සේගේ උපකාරය හා මේරූ සාක්ෂිකරුවන්ගේ උදව් උපකාර ඇතුව, නොඇදහිලිකාර පුරුෂයන්ගේ මානසික බාධක ඉවත් කළ හැකිය. මෙසේ ගෙයින් ගෙට සේවය එතරම් නොකලකිරෙන හා වැඩපොළේ සෙසු සේවකයන් එතරම්ම බිය නොගන්වන අතරම, ආත්ම පූර්ණ සේවය වඩාත් සිත්ඇදගන්නා යමක් බවට පත්වේ.—යෙසායා 51:12; රෝම 10:10.
වේගය පවත්වාගැනීම
අප සැලකිල්ලට භාජන කර තිබෙන බාධක තුනට සමාන ඒවා තුළින් කඩා බිඳගෙන යෑම කළ හැක්කකි. අහස් යාත්‍රාවක් ගමන් ආරම්භ කරන විට, සාමාන්‍යයෙන් එන්ජිම්වලින් උපරිම ශක්තිය අවශ්‍ය කරන අතරම, සේවක පිරිසගේ නොබෙදුණු අවධානයද අවශ්‍ය වේ. අහස් යාත්‍රාව ගුවන් ගත කරත්ම, ගමනේ වෙනත් කිසිදු අවස්ථාවකට වඩා, සෑහෙන දුරට වඩාත් වැඩි ඉන්ධන ප්‍රමාණයක් එන්ජිම මගින් වැය කෙරේ. ඒ හා සමානව, නිෂේධාත්මක සිතිවිලි හා හැඟීම්වල ග්‍රහණයෙන් මිදීමට, උපරිම වෑයමක් හා ඒකාග්‍රතාවක් අවශ්‍ය කෙරේ. වඩාත්ම දුෂ්කර අවස්ථාව, ආරම්භ කිරීම විය හැකි වුවද, වරක් යම් වේගයකට පැමිණීමෙන් පසු, ප්‍රගතිය වඩාත් පහසු වේ.—2 පේතෘස් 1:10 සසඳන්න.
ඉදිරියට ගමන් කිරීම දිගටම පවත්වාගත හැක්කේ, යුහුසුලුව ශුද්ධ ලියවිලිමය දිරිගැන්වීමට අවනත වීමෙනි. (ගීතාවලිය 119:60) උපකාර කිරීමට සභාවට වුවමනා වීම ගැන අපට සහතික විය හැක. (ගලාති 6:2) කෙසේවෙතත්, වඩාත් වැදගත් වන්නේ, යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ආධාර උපකාරයයි. දාවිත් කීවාක් මෙන්, “දවස්පතා අපේ බර උසුලන්නාවූ, අපේ ගැළවුම්කාරවූ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා.” (ගීතාවලිය 68:19) අප යාච්ඤාවේදී අපේ බර කියා දෙන විට, අපේ බර වඩාත් සැහැල්ලු වන්නේය.
ඇතැම් අවස්ථාවන්හිදී, අහස් යාත්‍රාවක් වැහිකළු සහිත කාලගුණයකින් ඉවත් වී, වලාකුළු ස්තරයක් පසාරු කරගෙන ගොස්, දීප්තිමත් හිරු රැස්වලින් යුත් පැහැබර අහසක් තුළට පියාසර කරයි. අපටද නිෂේධාත්මක සිතිවිලි පසෙකට දැමිය හැක. දිව්‍යමය උපකාරය ඇතුව, යම් හෙයකින් කියනවා නම්, අපට වලාකුළු ස්තරය පසාරු කරගෙන, යෙහෝවඃවහන්සේගේ ලෝක ව්‍යාප්ත නමස්කාරකරන්නන්ගෙන් යුත් දීප්තිමත්, සන්තෝෂදායක පවුලෙහි වැජඹිය හැක.
[23වන පිටුවේ පින්තූර]
යෙහෝවඃවහන්සේගේ උපකාරය ඇතුව, අපට මානසික බාධක අභිබවා යා හැක