වෛරය කවදා හෝ අවසන් වේවිද?
රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශන ස්වල්පයක් පවා ඔබ නරඹා ඇත්නම්, වෛරය යන්න ඔබට නුහුරු නුපුරුදු යමක් නොවේ. දිනපතා පාහේ මේ ලොවෙහි ලෙයින් නැහැවුණු සලකුණු තබා යන්නාවූ ඝාතන පිටුපස පොදු ගුණාකාරයක් මෙන් ක්‍රියා කරන්නේ වෛරයයි. බෙල්ෆාස්ට් සිට බොස්නියාව දක්වාද, ජෙරුසලම සිට ජෝහැනිස්බර්ග් දක්වාද, අවාසනාවන්ත වූ ළඟපාත බලා සිටින්නන්ව ඝාතනය කරනු ලැබේ.
සාමාන්‍යයෙන් ගොදුරුවන්නෝ ප්‍රහාරකයන් දන්නා හඳුනන අය නොවෙති. සමහරවිට, ඔවුන් කර තිබෙන එකම “අපරාධය” වනාහි, ඔවුන් “අනික් පැත්තට” අයත් වීමය. එවන් ඝාතන, කලින් සිදු කළ යම් දාමරික ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් නැතහොත් යම් අන්දමක “වාර්ගික ශුද්ධකරණයක්” විය හැක, මෙය ඉතා බිහිසුණු ගනු දෙනුවක් ලෙස හැඳින්විය හැක. සාහසිකකමට යොමුවන සෑම අවස්ථාවක්ම, සතුරු කණ්ඩායම් අතර තිබෙන වෛරය නමැති ගින්න මෙලවීම සඳහා දායක වන්නේය
මෙම වෛරයේ ඉතාමත් පිළිකුල් වූ චක්‍ර වැඩි වර්ධනය වෙමින් පවතින බව පෙනේ. ගෝත්‍ර, ජාති, වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර ලේ වෛර උද්ගත වෙමින් පවතී. වෛරය කෙදිනක හෝ මුලිනුපුටා දැමිය හැකිද? අප වෛර කිරීමේ හැකියාව නොමැතිව ඉපදුණු බැවින්, මේ සඳහා පිළිතුරක් ලැබීමට නම්, අප වෛරයට හේතු තේරුම්ගත යුතුය.
වෛරයේ බීජ රෝපණය කිරීම
සරයේවෝහි වෙසෙන තරුණ බොස්නියානු ජාතික ගැහැනු ළමයෙක් වන ස්ලාටා ෆිලිපෝවිච්, තවමත් වෛර කිරීමට ඉගෙන ගෙන නැත. වාර්ගික සාහසිකකම ගැන ඈ සිය දිනපොතෙහි විචිත්‍ර විස්තරයක් දෙන්නීය: “මම නිතරම අහන්නේ එහෙම වෙන්නේ ඇයි? මොන හේතුවකටද? වගකිව යුත්තේ කවුද? කියා. මම ඇසුවත් උත්තරයක් නැහැ. . . . මගේ මිතුරියන්ද අපේ හිතමිතුරන්ද අතරත්, අපේ පවුල තුළත්, සර්බ්වරුන්ද ක්‍රොඇට්වරුන්ද මුස්ලිම්වරුන්ද සිටී. . . . අපි ආශ්‍රය කරන්නේ හොඳ අය එක්කයි, නරක අය එක්ක නොවේ. එමෙන්ම හොඳ සර්බ්වරුන්ද ක්‍රොඇට්වරුන්ද මුස්ලිම්වරුන්ද සිටින්නාක් මෙන්, නරක අයද සිටී.”
“අනික් අතට, වැඩිහිටියෝ බොහෝදෙනෙක් එලෙස කල්පනා නොකරති. වෛරය දැක්වීමට ප්‍රමාණවත් හේතු ඔවුන්ට තිබෙන බව ඔවුහු විශ්වාස කරති. ඒ මන්ද?
අයුක්තිය. වෛරය සඳහා මූලික ඉන්ධනය, අයුක්තිය හා පීඩනය විය හැක. බයිබලය පවසන පරිදි, “සැබවින්ම බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩවන්නේය.” (දේශනාකාරයා 7:7) යම් ජන කණ්ඩායමක් ගොදුරු කරගෙන ඔවුන්ට තිරිසනුන් මෙන් සලකනු ලැබේ නම්, පීඩාකාරයන්ට විරුද්ධව වෛරයෙන් සිටීම ඔවුන්හට පහසු යමකි. බොහෝදුරට මුළු කණ්ඩායමකට විරුද්ධව වෛරය යොමු කිරීම අසාධාරණ මෙන්ම “උන්මත්තක” දෙයක් විය හැකි වුවත්, එසේ කරනු ලැබේ.
සැබෑ නැතහොත් මවාගත් අයුක්තිය, වෛරය සඳහා මූලික හේතුවක් විය හැකි වුවත්, එය වනාහි එකම හේතුව නොවේ. තවත් එකකි අගතිය.
අගතිය. අගතිය බොහෝදුරට හටගන්නේ යම් වාර්ගික හෝ ජාතික කණ්ඩායමක් පිළිබඳ පවතින නොදැනුවත්කම කරණකොටගෙනය. කට කතා, සම්ප්‍රදායික සතුරුකම්, නැතහොත් පුද්ගලයන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු හෝ සමඟ අයහපත් යමක් අද්දැකීම නිසා, සමහරෙක් මුළු වාර්ගික කණ්ඩායමකට හෝ ජාතියකට හෝ නිෂේධාත්මක ගතිගුණ ආරූඪ කරති. අගතිය මුල් බැසගත් පසු, එය ජනයාව සැබෑව සම්බන්ධයෙන් අන්ධ කළ හැක. “අප යම් පුද්ගලයන්ට වෛර කරන්නේ, අප ඔවුන්ව දැන හඳුනාගෙන නැති නිසාය; ඇරත් අප ඔවුන්ට වෛර කරන නිසා, අප ඔවුන්ව දැන හඳුනාගැනීමට යන්නෙත් නැත” කියා ඉංග්‍රීසි ලේඛක චාර්ල්ස් කේලෙබ් කෝල්ටන් නිරීක්ෂණය කළේය.
අනික් අතට, දේශපාලනමය හෝ ජාතිවාදී හෝ පරමාර්ථ ඉටු කරගැනීම සඳහා, දේශපාලනඥයන්ද ඉතිහාසඥයන්ද, හිතාමතාම අගතියට දිරි දිය හැක. හිට්ලර් කැපීපෙනෙන ආදර්ශයක් විය. හිට්ලර් යෞවන ව්‍යාපාරයේ හිටපු සමාජිකයෙක් වූ ගේඕර්ග්, මෙසේ පවසයි: “පළමුකොට යුදෙව්වන්ට, අනතුරුව රුසියානු ජාතිකයන්ට, අන්තිමේදී ‘රයික් ආණ්ඩුවෙහි සෑම සතුරෙකුට’ වෛර කළ යුතු බව නාට්සි ප්‍රචාරය අපට ඉගැන්නුවා. නහඹරයෙකු වශයෙන්, මට කියනු ලැබූ සෑම දෙයක්ම මා විශ්වාස කළා. මාව මුළා කර තිබුණු බව මා පසුව දැනගත්තා.” නාට්සි ජර්මනියේ හා වෙනත් තැන්වල මෙන්, ජාතිකවාදයට දිරිදීම මගින් ජාතික හෝ වාර්ගික අගතිය යුක්තිසහගත යමක් කර තිබේ, ජාතිකවාදය වනාහි වෛරයේ තවත් මූලාශ්‍රයකි.
ජාතිකවාදය, ගෝත්‍රිකවාදය හා වර්ගවාදය. ඉතිහාසඥ පීටර් ගේ, ද කල්ටිවේෂන් ඔෆ් හේට්‍රඩ් නමැති සිය පොතෙහි, පළමු ලෝක සංග්‍රාමය පටන්ගත් විට සිදුවූ දෑ මෙසේ විස්තර කළේය: “කවරෙකුට පක්ෂපාත විය යුතුද යන්න පිළිබඳ සටනේදී, සියල්ලට වඩා බලපැවැත්වූයේ ජාතිකවාදයයි. බොහෝ දුරදිග ගිය දහනවවන සියවස බිහි කළ එදිරිවාදීකමට ප්‍රබලතම නිදහසට කරුණ, දේශානුරාගය හා සතුරන්ට වෛර කිරීම බව ඔප්පු විය. “වෛරයේ භක්ති ගීතිකාව” යනුවෙන් හඳුන්වනු ලැබූ රණකාමී ගීතය ජනප්‍රිය වූයේ ජර්මානු ජාතිවාදී හැඟීම කරණකොටගෙනය. ජර්මානු සොල්දාදුවන් කාන්තාවන් දූෂණය කරන බවත්, ළදරුවන් ඝාතනය කරන බවත් සඳහන් කරන කතා, බ්‍රිතාන්‍යයෙහි හා ප්‍රංශයෙහි වෛරයට පොලඹවන්නන් ගෙතූ බව ගේ මහතා පැහැදිලි කරයි. ඉංග්‍රීසි ජාතික සොල්දාදුවෙක් වූ, සිග්ෆ්‍රිඩ් සැසූන්, බ්‍රිතාන්‍ය යුද්ධ ප්‍රචාරයේ සාරය මෙසේ විස්තර කරයි: “පෙනෙන ප්‍රකාරයට, මිනිසාව මවා තිබුණේ, ජර්මානුවන්ගේ ජීවිත කෙළවර කිරීමටය.”
ජාතිකවාදය මෙන්, එක්තරා වාර්ගික කණ්ඩායමක් හෝ ජාතියක් අනිසි ලෙස උසස් කිරීම, වෙනත් වාර්ගික කණ්ඩායම් හෝ ජාතීන්ට විරුද්ධව වෛරය ඇවිස්සීමට දායක විය හැක. බොහෝ අප්‍රිකානු රටවල ගෝත්‍රිකවාදය දිගටම සාහසිකකම උද්ගත වීමට හේතුවක් වන අතරම, බටහිර යුරෝපයේ හා උතුරු අමෙරිකාවේ වර්ගවාදය තවමත් ප්‍රබලව පවතී. ජාතිකවාදයට මුසුවිය හැකි තවත් භේදකාරි සාධකයකි ආගම.
ආගම. ලෝකයෙහි තිබෙන බෙහෙවින් පාලනය කළ නොහැකි ගැටුම් බොහොමයකට ප්‍රබල ආගමික සම්බන්ධයක් තිබේ. උතුරු අයර්ලන්තයේ, මැද පෙරදිගෙහි හා වෙනත් පෙදෙස්වල, ජනයාට වෛර කරනු ලබන්නේ ඔවුන් අදහන ආගම නිසාය. සියවස් දෙකකට ඉහතදී, ඉංග්‍රීසි කර්තෘ ජොනතන් ස්විෆ්ට් මෙසේ නිරීක්ෂණය කළේය: “වෛරය පෙන්වීම සඳහා හොඳටම ප්‍රමාණවත් ආගමික බලපෑමක් අපට තිබෙන මුත්, එකිනෙකාට ප්‍රේම කිරීමට සැලැස්වීමට අපට එය ප්‍රමාණවත් නොවේ.”
වර්ෂ 1933දී, හිට්ලර් ඔස්නබෘක්හි බිෂොප්වරයාට මෙසේ දැනුම් දුන්නේය: ‘යුදෙව්වරුන් සම්බන්ධයෙන් සලකා බලන කල, කතෝලික සභාව අවුරුදු 1,500ක් පුරා අනුගමනය කොට තිබෙන ප්‍රතිපත්තිය මා දිගටම රකිනවා පමණි.’ ඔහුගේ ඉතා ද්වේෂසහගත වූ යුදෙව් ඝාතන සැලසුම්, කෙදිනකවත් ජර්මානු පල්ලි නායකයන් බොහෝදෙනෙකු විසින් හෙළා නොදකින ලදි. පෝල් ජොන්සන් ඒ හිස්ටරි ඔෆ් ක්‍රිස්ටියැනිටි නම් සිය පොතෙහි, සඳහන් කළේ “තම අන්තිම කැමති පත්‍රයේ තමුන් ආදාහනය කරනු ලැබීමට කැමති බව පැවසූ කතෝලිකයන් පල්ලිය මගින් නෙරපනු ලැබුවත්, . . . ඔවුන්ට ගාල් නොහොත් මරණ කඳවුරුවල වැඩ කිරීම පල්ලිය මගින් තහනම් නොකරන ලද” බවය.
සමහර ආගමික නායකයන් වෛරය නොසලකා හැරීමෙන් ඔබ්බට ගොස් ඇත—ඔවුහු ඊට දේවාභිෂේකය ආරූඪ කොට ඇත්තාහ. වර්ෂ 1936දී, ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ඇරඹූ විට, XIවන පියුස් පාප්, සමූහාණ්ඩුවාදීන්ගේ ‘දෙවිඳාණන්ට දැක්වූ සැබවින්ම යක්ෂාකාර වූ වෛරය’ හෙළා දුටුවද, සමූහාණ්ඩුවාදීන්ගේ පැත්තෙහි කතෝලික පූජකයෝද සිටියහ. ඒ හා සමානව, ‘අවි ගෙන සටන් කිරීමක් නොකර සාම ගිවිසුමකට එළඹිය නොහැකි’ බව සිවිල් යුද්ධය අතරතුරේදී ස්පාඤ්ඤයේ අගරදගුරු කාර්දිනල් ගෝමා කියා සිටියේය.
ආගමික වෛරය අඩුවන බවක් දක්නට නැත. වර්ෂ 1992දී, හියූමන් රයිට්ස් විතෞට් ෆ්‍රන්ටියර්ස් නමැති සඟරාව, ග්‍රීක් ඔර්තඩොක්ස් සභාව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව වෛරය ඇවිළවීමට සැලැස්වූ අන්දම හෙළා දුටුවේය. උදාහරණ බොහොමයක් අතුරින්, 14 හැවිරිදි සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විරුද්ධව නඩු පැවරූ ග්‍රීක් ඔර්තඩොක්ස් පූජකයා පිළිබඳ සිද්ධිය ගැන එහි සඳහන් විය. චෝදනාව? ‘ඔහුගේ ආගම වෙනස් කිරීමට ඔවුන් වෑයම් කළ’ බව ඔහු චෝදනා කළේය.
වෛරයේ ඵලවිපාක
අයුක්තිය, අගතිය, ජාතිකවාදය හා ආගම මගින් ලොව පුරා, වෛරයේ බීජ, රෝපණය කොට පෝෂණය කරනු ලැබේ. කෝපය, එදිරිවාදීකම් පෑම, යුද්ධ හා විනාශය එහි නොවැළැක්විය හැකි ඵලදාව වේ. පළමු යොහන් 3:15හි බයිබල් ප්‍රකාශය මෙහි බැරෑරුම්කම දැකගැනීමට අපට උපකාර කරයි: “තමාගේ සහෝදරයාට වෛරකරන කවරෙක් නුමුත් මිනීමරන්නෙක්ය.” වෛරය සඵල වන තැන්හි, සාමය—කෙසේ හෝ පවතී නම්—එය අස්ථිර තත්වයක පවතින බව සහතිකය.
නොබෙල් ත්‍යාගලාභී මෙන්ම, යුදෙව් සමූලඝාතන වැඩ පිළිවෙළින් බේරී ජීවත්වූ ඒලි වීසෙල් මෙසේ ලියයි: “බේරී ජීවත්වන තැනැත්තාගේ යුතුකම සිදුවූ දෑ සම්බන්ධයෙන් සාක්ෂි දැරීමය . . . මෙවන් දේවල් සිදුවිය හැකි බවත්, නපුර ලිහා හැරිය හැකි බවත්, ඔබ ජනයාට අනතුරු ඇඟවිය යුතුය. වාර්ගික වෛරය, සාහසිකකම, පිළිම වන්දනා—මේවා තවමත් සඵලව පවතී.” වෛරය වූ කලි නිරායාසයෙන්ම නිවී යන ගින්නක් නොවන බව විසිවන සියවසේ ඉතිහාසය සාක්ෂි සපයයි.
වෛරය කෙදිනක හෝ මිනිසුන්ගේ හදවත්වලින් මුලිනුපුටා දමනු ලැබේවිද? වෛරය හැමවිටම විනාශකාරි යමක්ද, නැතහොත් ඒකාන්ත පැත්තක් තිබේද? අපි බලමු.