‘සියලු සැනසිල්ලේ දෙවියන්වහන්සේගෙන්’ සැනසීම
“දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. . . . උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක.”—2 කොරින්ති 1:3, 4.
1, 2. ශෝකවන්නන්ට අවශ්‍ය වන්නේ කිනම් ආකාරයේ සැනසිල්ලක්ද?
ශෝකවන්නන්ට අවශ්‍ය වන්නේ, අව්‍යාජ සැනසීම මිස, වැදගැම්මකට නැති ප්‍රලාප සහ සිත්ගන්නා කියමන් නොවේ. ‘කාලයක් යන කොට හරි යයි’ යන කියමන් අපි සියල්ලන්ම අසා ඇත්තෙමු, නමුත් වියෝ දුකින් වැලපීමේ මුල් අවස්ථාවලදී, එම වචනවලින් සැනසෙන්නේ ශෝකයට පත්වී ඇති කිනම් පුද්ගලයාද? දෙවියන්වහන්සේ නැවත නැගිටීමක් පොරොන්දු වී ඇති බව ක්‍රිස්තියානීහු දනිති, නමුත් ක්ෂණිකව යමෙකු මරණයෙන් අහිමිව යෑමෙන් ඇතිවන ගැඹුරු චිත්ත වේදනාව හා ඉමහත් කම්පනය ඉන් වළක්වාලන්නේ නැත. තවද ඔබගේ දරුවෙකු ඔබට අහිමි වී ඇත්නම්, ජීවත්වන ඉතිරි දරුවන් එම අනර්ඝ දරුවා වෙනුවට ආදේශයක්ද නොවේ.
2 යමෙකු මරණයෙන් අහිමි වූ අවස්ථාවක, අපට වඩාත් උපකාර ලැබෙන්නේ අව්‍යාජ සැනසිල්ලෙනි, එනම් දෙවියන්වහන්සේගේ පොරොන්දු තුළ ස්ථිර පදනමක් ඇති සැනසිල්ලෙනි. අපට සංවේදනයද අවශ්‍යය. මෙය රුවන්ඩාවේ ජනයා සඳහා ස්ථිර ලෙසම සත්‍යයක් වී ඇති අතර, එම යක්ෂාකාර වාර්ගික සමූලඝාතනයේදී, තමන් ප්‍රේම කළවුන් අහිමි වූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පවුල් සිය ගණනක් සම්බන්ධයෙන්, එය විශේෂයෙන් සත්‍යයක් වී තිබේ. ශෝකවන සියල්ලන්ට සැනසීම උකහාගත හැක්කේ කාගෙන්ද?
යෙහෝවඃවහන්සේ—සැනසිල්ලේ දෙවියන්වහන්සේ
3. සහනය දීමෙහිලා යෙහෝවඃවහන්සේ ආදර්ශය තබා ඇත්තේ කෙසේද?
3 අප සියල්ලන්ට සැනසීම දීමේදී යෙහෝවඃවහන්සේ ආදර්ශයක් තබා ඇත. සදාකාලික සැනසීම හා බලාපොරොත්තුව අපට දීම සඳහා උන්වහන්සේ සිය ඒක-ජාතක පුත්‍රයාණන් වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ එවූසේක. යේසුස්වහන්සේ මෙසේ ඉගැන්වූසේක: “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) උන්වහන්සේ සිය අනුගාමිකයන්ට මෙසේද පැවසූසේක: “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.” (යොහන් 15:13) තවත් අවස්ථාවක උන්වහන්සේ මෙසේ පැවසූසේක: “මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේය.” (මතෙව් 20:28) තවද පාවුල් මෙසේ ප්‍රකාශ කළේය: “දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය.” (රෝම 5:8) මෙම පද හා වෙනත් බොහෝ පාඨයන් මගින්, අපි දෙවියන්වහන්සේගේ සහ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේමය වටහාගන්නෙමු.
4. ප්‍රේරිත පාවුල් විශේෂයෙන් යෙහෝවඃවහන්සේට ණයගැතිවූයේ මන්ද?
4 ප්‍රේරිත පාවුල් යෙහෝවඃවහන්සේගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව ගැන විශේෂයෙන් සාවධානව සිටියේය. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ට දැඩි සේ පීඩාකරන්නෙකුව සිට පෞද්ගලිකවම පීඩාවට පත්වූ ක්රිස්තියානිවරයෙකු බවට පත්වෙමින්, හේ ආත්මිකව මළ තත්වයකින් මුදාලනු ලැබ සිටියේය. (එපීස 2:1-5) ඔහු සිය අද්දැකීම මෙසේ විස්තර කරයි: “මම ප්‍රේරිතයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාය. මම දෙවියන්වහන්සේගේ සභාවට පීඩාකළ බැවින් ප්‍රේරිතයෙකැයි කියනු ලබන්ට නොවටිමි. නුමුත් මම යම් ස්වභාවකට පැමිණ සිටිම්ද එසේ සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන්ය [ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවෙන්ය, NW]. උන්වහන්සේ මට දුන් අනුග්‍රහය [ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව, NW] නිෂ්ඵල නොවීය; මම ඔවුන් සියල්ලන්ට වඩා බොහෝසෙයින් වැඩකළෙමි. නුමුත් එසේ කළේ මා නොව මා කෙරෙහි තිබුණාවූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයය [ලබන්ට නොවටිනා තරම් වු කරුණාවය, NW].”—1 කොරින්ති 15:9, 10.
5. දෙවියන්වහන්සේ වෙතින් පැමිණෙන සැනසීම ගැන පාවුල් ලීවේ කුමක්ද?
5 එමනිසා, පාවුල් මෙසේ ලිවීම යෝග්‍යය: “දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක. මක්නිසාද යම්සේ ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීම් අප කෙරෙහි අධිකවන්නේද, එසේම ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපගේ සැනසිල්ලත් අධිකවන්නේය. අපි පීඩා විඳිමු නම්, ඒ වනාහි නුඹලාගේ සැනසිල්ලත් ගැළවීමත් පිණිසය; අපි සැනසිල්ල ලබමු නම්, ඒ නුඹලාගේ සැනසිල්ල පිණිසය; ඒවා ඉෂ්ටවෙන්නේ අප විඳින දුක්ම නුඹලා විසිනුත් ඉවසීමෙන්ය. නුඹලා ගැන තිබෙන අපේ බලාපොරොත්තුව ස්ථිරව පවත්නේය; මක්නිසාද නුඹලා දුක්වලට පංගුකාරව සිටින ලෙසම සැනසීමටත් පංගුකාරවන බව අපි දනිමු.”—2 කොරින්ති 1:3-7.
6. “සැනසීම” යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයෙන් ඇඟවෙන්නේ කුමක්ද?
6 මොනතරම් දිරිගන්වනසුලු වචනද! “සැනසිල්ල” යනුවෙන් මෙහි පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය, “යමෙකුගේ පැත්තට කැඳවීමකට” බැඳී තිබේ. එමනිසා, “එය වනාහි යම් පුද්ගලයෙකු දැඩි පරීක්ෂාවකට යටවී සිටින විට ඔහු සමඟ සිට, ඔහුව දිරිගැන්වීමය.” (එ ලිංග්විස්ටික් කී ටු ද ග්‍රීක් නිව් ටෙස්ටමන්ට්) එක් බයිබල් විශාරදයෙක් මෙසේ ලීවේය: “මෙම වචනයෙන් . . . සනහාලන දයානුකම්පාවකට වඩා වැඩි යමක් සෑමවිටම අදහස් කරයි. . . . ක්‍රිස්තියානි සැනසීම වනාහි, යමෙකුට තම ජීවිතයේ මුහුණ දිය යුතු සියල්ලටම මුහුණ දී සාර්ථකව ඒ සමඟ කටයුතු කිරීමට හැකි කරවන, ධෛර්යය හා සැනසිල්ල ගෙන දෙන සැනසීම වන්නේය.” එමෙන්ම, ස්ථිරසාර පොරොන්දුවක සහ බලාපොරොත්තුවක—එනම්, මළවුන් නැවත නැගිටීම පිළිබඳ පදනම්ව ඇති සැනසිලිදායක වදන්ද ඊට ඇතුළත් වෙයි.
යේසුස්වහන්සේ සහ පාවුල්—දයානුකම්පිත සනසන්නෝ
7. පාවුල් සිය ක්‍රිස්තියානි සහෝදරයන්ව සනසමින් සිටියේ කෙසේද?
7 සැනසීම දීමේදී පාවුල් මොනතරම් පුදුමාකාර ආදර්ශයක් සැපයූවේද! තෙසලෝනිකයේ සහෝදරයන්ට මෙසේ ලිවීමට ඔහුට හැකි විය: “කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව. එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමුව. පියෙකු තමාගේ දරුවන්ට මෙන්, අප විසින් නුඹලාට අවවාදකරමින්, ධෛර්යදෙමින්, අණදෙමින්, නුඹලා එක් එක්කෙනාට ක්‍රියා කළ හැටි නුඹලා දනිහුය.” හරියටම ප්‍රේමනීය සැලකිල්ල දක්වන දෙමාපියන් මෙන්, අනුන්ට අවශ්‍යතාවක් තිබෙන අවස්ථාවලදී, අපි සියලුදෙනාටම අපගේ උණුසුම්භාවය හා අවබෝධය ලබාදිය හැක.—1 තෙසලෝනික 2:7, 8, 12.
8. යේසුස්වහන්සේගේ ඉගැන්වීම් ශෝකවන්නන් සඳහා සැනසීමක් වන්නේ මන්ද?
8 එවන් සැලකිල්ලක් හා කරුණාවක් පෙන්වීමේදී, පාවුල් කරමින් සිටියේ සිය ශ්‍රේෂ්ඨ ආදර්ශකයාණන් වන යේසුස්වහන්සේව අනුකරණය කිරීම පමණි. මතෙව් 11:28-30හි වාර්තා වී ඇති පරිදි, යේසුස්වහන්සේ සියල්ලන්හට කරන දයානුකම්පිත ආරාධනය සිහිකරන්න: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.” එසේය, යේසුස්වහන්සේගේ ඉගැන්වීම් නැවුම්බවක් ගෙනදෙනසුලුය. මන්ද, එය බලාපොරොත්තුවක් ගෙන දෙයි—එය නම් නැවත නැගිටීමක් පිළිබඳ බලාපොරොත්තුවයි. උදාහරණයක් වශයෙන් ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට, යන විවරණිකාව ජනයාට ඉදිරිපත් කිරීමේදී, අප ඔවුන්ට ඉදිරිපත් කරන බලාපොරොත්තුව සහ පොරොන්දුව මෙයයි. අප දිගු කලක් තිස්සේ වියෝ දුකින් පෙළෙමින් සිටියද, මෙම බලාපොරොත්තුව අප සියල්ලන්ට උපකාරයක් විය හැක.
ශෝකවෙන්නන්ව සැනසිය හැකි ආකාරය
9. ශෝකවන අය සමඟ අප නොඉවසිලිවන්ත නොවිය යුත්තේ මන්ද?
9 ප්රේමනීයයෙකුගේ වියෝවත් සමඟ එළඹෙන එක්තරා කාලපරිච්ඡේදයකට ශෝකය සීමා වී නැත. ඇතැම් අය, විශේෂයෙන්ම දරුවන් අහිමි වී සිටින අය, තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම මෙම පීඩාකාරි බර රැගෙන යති. ස්පාඤ්ඤයේ එක් ඇදහිලිවන්ත ක්‍රිස්තියානි යුවළකට, මෙනින්ජයිටිස් ප්‍රදාහයට ගොදුරුවීම නිසා තම 11හැවිරිදි පුත්‍රයාව අහිමි වූයේ 1963දීය. අද දක්වා, ඔවුහු තවමත් පකීටෝ ගැන කතා කරන විට කඳුළු සලති. අනුස්මරණ, ඡායාරූප සහ සිහිවටන දුක්බර මතකයන් නැවත අවුස්සන්ට පුළුවන. මෙබැවින්, මේ වන විට අනික් තැනැත්තා තම වියෝ දුකින් මිදී සිටිය යුතුයයි සිතා අප කිසිවිටකත් නොඉවසිලිවන්ත නොවිය යුතුය. එක් වෛද්‍යමය අධිකාරයක් මෙසේ පිළිගනී: “මානසික පීඩනය හා චිත්තවේගී වෙනස්වීම් වසර ගණනාවක්ම පවා තිබෙන්ට පුළුවන.” එනිසා, ශාරීරික තුවාලවල කැලැල් අපගේ ජීවිතය පුරාම තිබිය හැකි සේම, චිත්තවේගී හැඟීම්වල තුවාල බොහොමයක්ම එසේම තිබෙන්ට හැකි බව මතක තබාගන්න.
10. ශෝකවන්නන්ට උපකාර කිරීමට අප කුමක් කළ යුතුද?
10 ක්‍රිස්තියානි සභාව තුළ සිටින, වියෝ දුකින් තැවෙන්නන්ව සැනසීමට අපට කළ හැකි යම් ප්‍රායෝගික දේවල් සමහරක් මොනවාද? ‘මොනවා හරි උදව්වක් අවශ්‍ය නම්, මට කියන්න’ කියා සැනසීම අවශ්‍ය කරන යම් සහෝදරයෙකුට හෝ සහෝදරියකට අප පවසන්නේ අවංක චේතනාවෙන් යුතුව වන්ට පුළුවන. එහෙත්, “මා හිතනවා මේ උදව්ව මට කරන්ට ඔබට පුළුවන් කියා” යනුවෙන් වියෝ දුකින් පෙළෙන යම් පුද්ගලයෙක් ඇත්තටම අපෙන් කොපමණ වාර ගණනාවක් ඉල්ලාවිද? වියෝ දුකින් පෙළෙන තැනැත්තාව සැනසීමට අපට වුවමනා නම්, අප සුදුසු මූලික පියවර ගත යුතු බවට ප්රත්යක්ෂය. එසේනම්, ප්‍රයෝජනවත් අන්දමකින් අපට කුමක් කළ හැකිද? යම් ප්‍රායෝගික යෝජනා ස්වල්පයක් මෙන්න.
11. අප විසින් සවන්දීම අනුන්ට උපකාරයක් විය හැක්කේ කෙසේද?
11 සවන්දෙන්න: වියෝ දුකින් පෙළෙන්නාගේ වේදනාවට හවුල් වීමට ඔබට කළ හැකි වඩාත් උපකාරවත් දේවලින් එකක් නම්, සවන් දීමයි. “ඔබට ඒ ගැන කතා කිරීමට වුවමනාද?” කියා ඔබට ඇසිය හැක. තීරණය කිරීමට පුද්ගලයාට ඉඩහරින්න. එක් ක්‍රිස්තියානියෙක් තම පියා මියගිය අවස්ථාව මෙසේ සිහිකරයි: “සිදුවූ දේ කුමක්ද කියා අසා පසුව වෙනත් අය ඇත්තටම සවන්දීම මට මහත් උපකාරයක් වුණා.” යාකොබ් උපදෙස් දුන්නාක් මෙන්, සවන්දීමට යුහුසුලුවන්න. (යාකොබ් 1:19) ඉවසීමෙන් හා දයානුකම්පාවෙන් යුතුව සවන්දෙන්න. “අඬන්නන් සමඟ අඬාපල්ලා” යයි බයිබලය රෝම 12:15හි නිර්දේශ කරයි. යේසුස්වහන්සේ මාර්තා සහ මරියා සමඟ හැඬූ බව මතක තබාගන්න.—යොහන් 11:35.
12. වැලපෙන්නන්ට කිනම් ආකාරයක ධෛර්යයක් දීමට අපට හැකිවේද?
12 භය සැක දුරු කරන්න: සමහරවිට තමාට මීට වඩා කළ හැකිව තිබුණායයි සිතමින්, වියෝ දුකින් පෙළෙන්නෙකුට පළමුව වරද සහිත බවක් හැඟී ගොස් තිබිය හැකි බව මතක තබාගන්න. කළ හැකි සියල්ලම (නැතහොත් සැබෑ සහ ඒකාන්ත බවට ඔබ දන්නා වෙනත් කුමන දෙයක් හෝ) කර තිබෙන බව පවසා ධෛර්යය දෙන්න. ඔහුට හැඟෙන දේ කොහෙත්ම අසාමාන්‍ය දෙයක් නොවන බව පවසා ඔහුට ධෛර්යය දෙමින් ඔහු තුළ නිසැකකමක් ගොඩනංවන්න. මෙවැනිම අහිමි වීම් වලින් සාර්ථකව ජයගත්, ඔබ දන්නා වෙනත් අය ගැන ඔහුට පවසන්න. වෙනත් වචනවලින් කියතොත්, සංවේදීවන්න, දයානුකම්පිතවන්න. අපගේ කාරුණික උපකාරයකට ලොකු තේරුමක් තිබේ! සාලමොන් මෙසේ ලීවේය: “කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බුමෙනි.”—හිතෝපදේශ 16:24; 25:11; 1 තෙසලෝනික 5:11, 14.
13. සහාය දීමට අපි ඉදිරිපත් වන්නෙමු නම්, එය උපකාරයක් විය හැක්කේ කෙසේද?
13 සහාය දීමට ඉදිරිපත් වී සිටින්න: මිතුරන් සහ නෑදෑයන් බොහෝදෙනෙකු පැමිණ සිටින පළමු දවස් ස්වල්පය තුළ පමණක් නොව, වෙනත් අය තමන්ගේ එදිනෙදා දිනචර්යාවන් කරා යළිත් ගොස් තිබෙන මාස ගණනකට පසුව පවා අවශ්‍ය සහාය දීමට ඉදිරිපත්වන්න. ශෝකයෙන් සිටින කාලපරිච්ඡේදය පුද්ගලයාගෙන් පුද්ගලයාට බොහෝ සෙයින් වෙනස් විය හැක. අවශ්‍යතාව ඇති කොයියම් අවස්ථාවකදී වුවත් අපගේ ක්‍රිස්තියානි සැලකිල්ල සහ දයානුකම්පාව මහත් අර්ථයක් ඇති කළ හැකිය. “සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය” කියා බයිබලය පවසයි. මෙසේ, “අවශ්‍යතාවකදී මිත්රයෙක්ව සිටින්නා සැබෑ මිත්රයෙකි” යන කියමන, අපගේ ජීවිතයේ පිළිපැදිය යුතු කියමනකි.—හිතෝපදේශ 18:24; සසඳන්න ක්‍රියා 28:15.
14. වියෝ දුකින් තැවෙන්නන්ව සැනසීම සඳහා අපට ඔවුන් සමඟ කුමක් කතා කළ හැකිද?
14 මියගිය පුද්ගලයාගේ හොඳ ගති ගුණ ගැන කතා කරන්න: මෙය වනාහි හරි වේලාවේදී දෙනු ලබන තවත් මහඟු උපකාරයකි. එම පුද්ගලයා ගැන ඔබ දන්නා රසවත් කතා මතක් කරමින් ඒවා බෙදාගන්න. පුද්ගලයාගේ නම භාවිත කිරීමට භය නොවන්න. මියගිය ප්‍රේම කළ තැනැත්තා කිසිදා ජීවත් නොවූ, මනඃකල්පිත පුද්ගලයෙකු ලෙසට කිසිම විටක ක්‍රියා නොකරන්න. හාර්වඩ් වෛද්‍ය පාසැලේ එක්තරා ප්රකාශනයක මෙසේ පළ වී තිබෙන බව දැනගැනීම සැනසිල්ලට කරුණකි: “මියගිය පුද්ගලයා ගැන අධිකතර වැලපීමකින් තොරව අවසානයේදී ඔහු ගැන සිතීමට වියෝ දුකින් පෙළෙන්නාට හැකිවන විට, එක්තරා ආකාරයක සුවයක් ඔහු ලබා තිබේ. . . . නව යථාර්ථය පිළිගෙන, යථා තත්වයට පත්වනවාත් සමඟම, නිධාන කරගත් මතකයන් සමඟ ශෝකය පහවී යයි.” “නිධාන කරගත් මතකයන්”—මියගිය ප්‍රේම කළ තැනැත්තා සමඟ ගත කළ අනගි කාලයන් යළි සැමරීම මොනතරම් සහනදායකද! මීට වසර ගණනාවකට ඉහත තම පියා අහිමි වූ එක් සාක්ෂිකරුවෙක් මෙසේ පැවසුවේය: “මට තිබෙන විශේෂ මතකයක් නම්, මගේ තාත්තා සත්‍යය ඉගෙනගැනීමට පටන්ගත් පසු ඔහු සමඟ බයිබලය කියවූ අවස්ථායි. ඒ වගේම ගඟ අද්දර වාඩි වී මගේ ප්‍රශ්න සමහරක් ගැන ඔහු සමඟ කතා කළ ආකාරයද මට මතකයි. මා ඔහුව දුටුවේ සෑම වසර තුනකට හෝ හතරකට වාරයක් පමණයි, ඒ නිසා ඒවා මට බොහෝ අනර්ඝ අවස්ථාවන් වුණා.”
15. උපකාර කිරීම සඳහා යමෙකුට මූලික පියවර ගත හැක්කේ කෙසේද?
15 යෝග්‍ය අවස්ථාවන්හිදී, මූලික පියවර ගන්න: ශෝකයෙන් සිටින ඇතමුන්ට වෙනත් අයට වඩා හොඳින් කටයුතු කිරීමට හැකිය. එනිසා, තත්වයන්ට අනුව, උපකාර කිරීම සඳහා ප්‍රායෝගික පියවර ගන්න. එක් සොවින් තැවෙන ක්‍රිස්තියානි කාන්තාවක් මෙසේ සිහිකළාය: “ ‘කරන්න මොනවා හරි තිබෙනවා නම්, මට දැනුම් දෙන්න’ කියා බොහෝදෙනෙක් කීවා. එහෙත් එක් ක්‍රිස්තියානි සහෝදරියක් කිසිවක් ඇසුවේ නැහැ. ඈ කෙළින්ම නිදන කාමරය කරා ගොස්, ඇඳ සකස් කර, කිලිටි ඇඳ ඇතිරිලි පවිත්‍ර කළා. තවත් කෙනෙක්, බාල්දියක්, වතුර හා ශුද්ධපවිත්ර කරන දේවල් රැගෙන මාගේ සැමියා වමනය කර තිබූ ඇතිරිල්ල පිරිසිදු කළා. මේ අය සැබෑ මිතුරියන්, මා කිසිවිටකත් ඔවුන්ව අමතක කරන්නේ නැහැ.” උපකාරයක් අවශ්‍ය යයි පෙනෙන්ට තිබෙන විට, මූලික පියවර ගන්න—සමහරවිට, කෑමක් පිළියෙළ කිරීමෙන්, පිරිසිදු කිරීමට උදව් දීමෙන් හා ගෙදර දොරේ වැඩකටයුතු කර දීමෙන් එසේ කළ හැකියි. ඇත්තවශයෙන්ම, යමෙකුට පෞද්ගලිකව සිටීමට වුවමනා අවස්ථාවලදී, බලෙන් දේවල් කිරීමට යෑමට එරෙහිව අප පරෙස්සම් විය යුතුය. මෙසේ, අප පාවුල්ගේ වදන් හෘදයට ගත යුතුය: “එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳ[ගන්න].” කරුණාව, ඉවසීම සහ ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.—කොලොස්සි 3:12; 1 කොරින්ති 13:4-8.
16. ලිපියක් හෝ කාඩ්පතක් යැවීම සැනසීමක් විය හැක්කේ මන්ද?
16 ලිපියක් ලියන්න නැතහොත් සැනසිලිදායක කාඩ්පතක් යවන්න: සැනසිලිදායක ලිපියක හෝ සංවේගය පළ කරමින් යවන අලංකාර කාඩ්පතක වටිනාකම බොහෝවිට නොසලකා හැරේ. එහි වාසිය? එය යළි යළිත් කියවිය හැකිය. එවැනි ලිපියක් දීර්ඝ වීමට අවශ්‍ය නැත, නමුත් එය ඔබගේ දයානුකම්පාව පෙන්විය යුතුය. එය ආත්මික ස්වභාවයක් පිළිබිඹු කළ යුතුය, නමුත් දේශනාවක් දෙන ගතියක් එහි නොතිබිය යුතුයි. “ඔබට අපි ඉන්නවා” යන මූලික පණිවුඩය සැනසිල්ලක් විය හැක.
17. යාච්ඤාව සැනසීම ගෙන දිය හැක්කේ කෙසේද?
17 ඔවුන් සමඟ යාච්ඤා කරන්න: වියෝ දුකින් තැවෙන සෙසු ක්‍රිස්තියානියෙකු සමඟ හා ඔවුන් වෙනුවෙන් කරන ඔබගේ යාච්ඤාවේ වටිනාකම කිසිවිටකත් අඩුවෙන් තක්සේරු නොකරන්න. යාකොබ් 5:16හි බයිබලය මෙසේ කියයි: “ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.” නිදසුනක් වශයෙන්, අප ශෝකවන්නන් වෙනුවෙන් යාච්ඤා කරනවා ඔවුන් අසන විට, වරදසහිතභාවය වැනි නිෂේධාත්මක හැඟීම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔවුන්ට එය උපකාරයක් වෙයි. අප දුර්වලව සිටින, සිත අධෛර්යයව සිටින අවස්ථාවලදී, තම ‘උපායවලින්,’ හෙවත් ‘කපටි ක්‍රියාවලින්’ අපව දුර්වල කිරීමට සාතන් මානබලයි. “සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද සියලු කාලවලදී ආත්මයාණන් [ආත්මය, NW] කරණකොටගෙන යාච්ඤාකරපල්ලා. . . . සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටපල්ලා” යයි පාවුල් ප්‍රකාශ කළාක් මෙන්, අපට සැනසිල්ල සහ යාච්ඤාවේ අනුබලය අවශ්‍ය වන්නේ, මේ අවස්ථාවේදීය.—එපීස 6:11, 18 කිංඩම් ඉන්ටර්ලීනියර්; සසඳන්න යාකොබ් 5:13-15.
වැළකිය යුතු දෙය
18, 19. අපගේ කතා බහේදී අපට උපායශීලීබව පෙන්විය හැක්කේ කෙසේද?
18 පුද්ගලයෙක් ශෝකවෙමින් සිටින විට, නොකළ යුතු හා නොකියයුතු දේවල්ද තිබේ. හිතෝපදේශ 12:18 මෙසේ අනතුරු අඟවයි: “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥාණවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.” ඇතැම් විට, කිසිම වටහාගැනීමකින් තොරව, අපි උපායශීලීබව පෙන්වීමට අසමත් වෙමු. නිදසුනක් වශයෙන්, “ඔබට හැඟෙන විදිහ මට තේරෙනවා” කියා අප පවසනවා විය හැක. එහෙත්, සැබෑ තත්වය එයද? එම පාඩුවම ඔබ විඳ තිබෙනවාද? එමෙන්ම, මිනිසුන් ප්‍රතික්‍රියා කරන්නෙත් විවිධ ආකාරවලින්ය. ඔබගේ ප්‍රතික්‍රියා, ශෝකවන අයගේ ප්‍රතික්‍රියාවලට වඩා වෙනස් විය හැක. “ඔබට හැඟෙන විදිහ මට තේරෙනවා, මන්ද මීට යම් කාලයකට ඉහත, මගේ . . . මියගිය අවස්ථාවේදී මටත් ඒ හා සමානව පාඩුවක් දැනුණා” කියා පැවසීම වඩාත් සංවේදීදායක විය හැකිය.
19 මියගිය තැනැත්තා නැවත නැගිටීවිද නැද්ද කියා යම් අදහස් පැවසීමෙන් වැළකීමද සංවේදීබව පෙන්වීමක් වනු ඇත. නොඇදහිලිකාර කලත්‍රයන්ගේ අනාගතික ඉරණම ගැන විනිශ්චයමය කියමන් මගින් ඇතැම් සහෝදර සහෝදරියන්ගේ සිත් තදින් පෑරී තිබේ. නැවත නැගිටුවනු ඇත්තේ කවුද හෝ එසේ නොවනු ඇත්තේ කවුද කියා තීරණය කරන විනිශ්චයකරුවන් අප නොවේ. හෘදය දකින යෙහෝවඃවහන්සේ අපගෙන් වැඩිදෙනෙකුට වඩා බොහෝ සෙයින් දයානුකම්පිත වන බවට අපට උන්වහන්සේ කෙරෙහි රඳා සිටිය හැකිය.—ගීතාවලිය 86:15; ලූක් 6:35-37.
සැනසිලිදායක ශුද්ධ ලියවිලි පාඨ
20, 21. වියෝ දුකින් පෙළෙන්නන්ට සැනසීම ගෙන දිය හැකි ඇතැම් ශුද්ධ ලියවිලි පාඨයන් මොනවාද?
20 වියෝ දුකින් පෙළෙන්නෙකුට හරි වේලාවේදී දිය හැකි මහත්ම උපකාරවලින් එකක් නම්, මළවුන් සඳහා වූ යෙහෝවඃවහන්සේගේ පොරොන්දු සලකා බැලීමයි. වියෝ දුකින් සිටින්නා දැනටමත් සාක්ෂිකරුවෙකු වේවා නැතහොත් අපට දේවසේවයේදී හමුවන පුද්ගලයෙකු වේවා, බයිබලයේ සඳහන් මෙම සිතිවිලි උපකාරවත් වනවා ඇත. මෙම පාඨයන්ගෙන් සමහරක් මොනවාද? යෙහෝවඃවහන්සේ වනාහි සියලු සැනසිල්ලේ දෙවියන්වහන්සේ බව අපි දනිමු, මන්ද උන්වහන්සේ මෙසේ පැවසූසේක: “නුඹලා සනසන්නේ මම[යි].” උන්වහන්සේ මෙසේද පැවසූසේක: “මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම නුඹලා සනසන්නෙමි.”—යෙසායා 51:12; 66:13.
21 ගීතිකාකරු මෙසේ ලීවේය: “මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේය. මක්නිසාද ඔබගේ වචනය මා ප්‍රාණවත්කෙළේය. ස්වාමිනි, පුරාණයේ සිට තිබුණ ඔබගේ විනිශ්චයන් සිහිකොට සැනසීම ලබාගතිමි. ඔබගේ මෙහෙකරුවාට ඔබ කී වචනය පරිද්දෙන් ඔබගේ කරුණාගුණය මාගේ සැනසීම පිණිස වේවා.” “සැනසීම” යන වචනය එම ඡේදවල යළි යළි භාවිත කර තිබෙන ආකාරය සැලකිල්ලට ගන්න. සහෝදරයන් සඳහා තිබෙන ප්‍රේමය සහ දයානුකම්පාව සමඟ මෙය මුසු වන විට, අපට සිදුවූ අහිමිවීම් සාර්ථකව විඳදරාගෙන, අපගේ ජීවිතය යළිත් ක්‍රිස්තියානි දේවසේවයේ ප්‍රීතිමත් ක්‍රියාකාරකම්වලින් පිරවීමට අපට උපකාරයක් විය හැක.—ගීතාවලිය 119:50, 52, 76.
22. අප ඉදිරියේ තිබෙන්නේ කිනම් අපේක්ෂාවන්ද?
22 අන්‍යයන්ගේ දුක්පීඩාවලදී ඔවුන්ට උපකාර කිරීමෙහිලා කාර්ය බහුලව සිටීම මගින්ද යම් තරමකට අපගේ ශෝකය නිවාගැනීමට අපට හැක. සැනසීම අවශ්‍ය කරන වෙනත් අයට අප අපගේ අවධානය යොමු කරන විට, ආත්මික අන්දමකින් දීමෙහිලා අපද සැබෑ සන්තෝෂයක් ලබනවා ඇත. (ක්‍රියා 20:35) මීට පෙර විසූ සියලු ජාතීන්ගේ ජනයා, පරම්පරාවෙන් පරම්පරාවට තම ප්‍රේමනීයයන්ව මරණයේ සිට නව ලෝකයකට සාදරයෙන් පිළිගනු ලබන එම නැවත නැගිටීමේ දර්ශනය ඔවුන් සමඟ අපි බෙදාගනිමු. මොනතරම් අපේක්ෂාවක්ද! යෙහෝවඃවහන්සේ වනාහි ඇත්තවශයෙන්ම, “යටහතුන් සනසන්නාවූ” දෙවියන්වහන්සේ බව අපට සිහිවනවාත් සමඟම, මොනතරම් ප්‍රීතියේ කඳුළු වැගිරේවිද!—2 කොරින්ති 7:6.
ඔබට මතකද?
◻ යෙහෝවඃවහන්සේ “සියලු සැනසිල්ලේ දෙවියන්වහන්සේ” වන්නේ කෙසේද?
◻ යේසුස්වහන්සේ සහ පාවුල් ශෝකවෙමින් සිටින්නන්ව සැනසුවේ කෙසේද?
◻ ශෝකවන්නන්ව සැනසීමට අපට කළ හැකි සමහරක් දේවල් මොනවාද?
◻ වියෝ දුකින් පෙළෙන්නන් සමඟ කටයුතු කිරීමේදී අප වැළකිය යුත්තේ කුමකින්ද?
◻ අහිමිවීම් සිදුවූ කාලවල් සඳහා ඔබගේ සිත්ගෙන ඇති පාඨයන්ගෙන් සමහරක් මොනවාද?
[15වන පිටුවේ පින්තූරය]
ශෝකවන්නන්ට උපකාර කිරීම සඳහා උපායශීලීව මූලික පියවර ගන්න