මේරූභාවය කරා දියුණුවීමට මා ගත් තීරණය
කාර්ල් ඩාකාවු පැවසූ පරිදි
“මේරූභාවය කරා වර්ධනය වීම හෝ පාපයට නැවත වැටීම, කොයි එකද?” වනාහි, 1948, ජූනි 15දා ද වොච්ටවර් කලාපයේ වූ ලිපියක තේමාව වුණා. මෙම ලිපිය මාහට ක්ෂණිකව ප්‍රබල බලපෑමක් ඇති කළා, එක්සත් ජනපදවල ගොවිපොළවල ආත්මික අන්තරාදායක තත්වයක සිට, දැනට වසර 43ක කාලයක් මුළුල්ලේ මා දකුණු අප්‍රිකාවේ නියැලී සිටින මිෂනාරි වෘත්තිය කරා අවතීර්ණ වීමට.
පවුලේ පිරිමි දරුවන් හතරදෙනෙකුගෙන් තුන්වැන්නා වූ මා, මිනෙසොටාහි වර්ගස්වල අපගේ නිවසේ සාදන ලද තිඹිරි ගෙයක ඉපදුණේ, 1914, මාර්තු 31දායි. මගේ කුඩා ළමා අවදිය ප්‍රීතිමත් එකක් වුණා. මගේ පියා සමඟ මාළු ඇල්ලීමට ගිය හැටි මට මතකයි. කෙසේවෙතත්, මව නිතරම පාහේ අසනීප වූ නිසා, පස්වන ශ්‍රේණියෙන් අස්වී ගෙදර දොරේ වැඩ කටයුතුවලට ඈට උදව් වීම සඳහා මට ගෙදර නවතින්නට සිදුවුණා. මට වයස අවුරුදු 13ක් වන විට, ඇගේ අසනීපය පෙණහලු පිළිකාවක් බවට සොයාගනු ලැබුවා.
තමන් වැඩිකල් ජීවත් නොවන බව දැනගත් මව, ගෙදර ඇගේ ස්ථානය ගැනීමට මාව සූදානම් කිරීමට පටන්ගත්තා. ඇය කුස්සියේ වාඩි වී, උයන පිහන ආකාරය ගැන මට පුහුණු කළා. මීට අමතරව, රෙදි සේදීමට, වත්ත පිරිසිදුව පිළිවෙළකට තබාගැනීමට සහ සියගණනක්වූ කුකුල් පැටවුන්ව බලාගැනීමට ඈ මට ඉගැන්නුවා. එමෙන්ම සෑම දිනකම බයිබලයෙන් පරිච්ඡේදයක් කියවීමට ඈ මාව දිරිගැන්වූ අතර, මගේ කියවීමේ හැකියාව සීමිත වුවත් මා මෙය කළා. මාස දහයකට මාව පුහුණු කළායින් පසු, 1928 ජනවාරි 27දා ඈ මියගියා.
යුද්ධය අපේ ජීවිත වෙනස් කරයි
වර්ෂ 1939 සැප්තැම්බර් මාසයේ දෙවන ලෝක යුද්ධය පටන්ගත්තායින් පසු, අපේ ලුතරන් පල්ලියේ සෑම ඉරිදාවකම යුද්ධ හමුදා උදෙසා යාච්ඤා ඔප්පු කෙරුණා. මගේ අයියා වන ෆ්රෑන්ක්, මිනිසුන්ව නොමැරීමට අදිටන් කරගෙන, හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කළ බැවින්, ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගේ පරීක්ෂණයේදී ඔහු මෙසේ පැවසුවා: “මා අහිංසක මිනිසුන්ව මැරීමට පෙර, මට වෙඩි තැබීමට නුඹලාට පුළුවන්!” ඔහුව වොෂිංටන් ජනපදයේ මුහුදු තීරයෙන් එපිට පිහිටි මැක්නීල් දූපතේ වසරක සිර දඬුවමකට නියම කරනු ලැබුවා.
එහිදී, ෆ්රෑන්ක්හට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් 300කට වඩා වැඩි ගණනක් මුණගැසුණු අතර, යුද්ධ සමයේදී ස්ථිර ලෙස මධ්‍යස්ථභාවය රැකසිටි බැවින්, ඔවුන්ව සිරගත කරනු ලැබ තිබුණා. (යෙසායා 2:4; යොහන් 17:16) වැඩිකල්යෑමට මත්තෙන්, ඔවුන් සමඟ ඇසුරු කිරීමට පටන්ගත් ඔහු, එහි සිරගෙය තුළම බව්තීස්ම ලැබුවා. ඔහුගේ හොඳ හැසිරීම නිසා, ඔහුගේ සිර දඬුවම මාස නවයකට අඩු කරනු ලැබුවා. වර්ෂ 1942 නොවැම්බර් මාසයේ, ෆ්‍රෑන්ක්ව නිදහස් කරනු ලැබූ බව අපට දැනගන්නට ලැබුණු අතර, ඉන් වැඩිකල් යෑමට මත්තෙන්, ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අපට පැවසුවා. මෙම පණිවුඩය අපේ බයිබල් සමඟ පරෙස්සමින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ෆ්රෑන්ක් අපට උගන්වමින් සිටි දෙය සත්‍යය බව අප සියල්ලන්ටම පෙනී ගියා.
ආත්මික වර්ධනයට බාධා
වර්ෂ 1944දී, මා මගේ මාමා සමඟ වාසය කිරීම සඳහා මොන්ටානාහි, මෝල්ටා නම් ප්‍රදේශයේ පදිංචියට ගියා. අපට යම් දෙයක් පොදුව තිබුණා—ඒ, අප දෙදෙනාගේම භාර්යාවන් විවාහයෙන් මාස හයකට පසු අප හැර ගොස් තිබීමයි. මගේ මාමා, තම ගොවිපොළේ කටයුතු හා ඉවුම් පිහුම්වලට මගේ සහය ලබාගැනීමට ඉතා සතුටු වූ අතර, අප දෙකෙන් පංගුව බැගින් ලාභය බෙදාගත්තා. මා මගේ මාමා සමඟ දිගටම නතර වුවහොත්, මා ඔහුගේ අක්කර 640ක ගොවිපොළට උරුමක්කාරයා වනු ඇති බව ඔහු මට පැවසුවා. ගොවිපොළ කටයුතු සඳහා ඒවා ඉතා සමෘද්ධිමත් කාලවල්වූ අතර, මා එය ඉතා සතුටින් භුක්ති වින්දා! අපට සෑම වසරකම මහත් බහුල අස්වැන්නක් ලැබුණු අතර, තිරිඟු බුසලක් අමෙරිකානු ඩොලර් 3.16ක් වැනි මුදලකට අලෙවි කරනු ලැබුවා.
කෙසේවෙතත්, මා මෝල්ටාවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කුඩා සභාවක රැස්වීම්වලට යනවාට මගේ මාමා කැමති වුණේ නැහැ. මගේ මාමාගේ කිසි අනුදැනුමක් නැතිව, මා 1947 ජූනි 7දා, වුල්ෆ් පොයින්ට්හි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ චාරිකා එක්රැස්වීමකදී බව්තීස්මය ලැබුවා. එහිදී, එක් ක්‍රිස්තියානි සහෝදරයෙක්, මාහට පුරෝගාමියෙකු හෙවත් පූර්ණ-කාලීන දේව සේවකයෙකු වීමට ආරාධනා කළා. මගේ හදවතේ ආශාව වූයේ එවැනි ආකාරයකින් මගේ ජීවිතය යොදාගැනීමට වුවත්, වැඩි කාලයක් දේව සේවයට යොමු කිරීමට මගේ මාමා මට කිසිවිටකත් අවසර නොදෙනු ඇති බව මා පැහැදිලි කළා.
ඉන් ටික කලකට පසු, මගේ මාමා, මට මගේ මිතුරෙක් එවා තිබූ ලිපියක් විවෘත කර කියවා බැලුවා. එහි මගේ මිතුරා පූර්ණ කාලීන සේවයට පැමිණෙන මෙන් මගෙන් උදක්ම ඉල්ලා සිටියා. අතිශයින් වියරුවූ මගේ මාමා මට අවසාන තේරීමක් කිරීමට අවස්ථාව දුන්නා—දේශනා කිරීම නැවැත්වීමට හෝ ගොවිපොළෙන් පිටව යෑමට. ඒ විදිහට අවසාන තේරීමක් කිරීමට දීම හොඳව තිබුණා, මන්ද මා ගොවිපොළ වැඩට එතරම් ඇලුම්කමක් දැක්වූ නිසා, මම කවදාකවත් මගේම තීරණයකින් ගොවිපොළෙන් පිටනොවන නිසා. මා මිනෙසොටාහි මගේ පවුල කරා ගිය අතර, ඒ වන විට ඔවුන් සියලුදෙනාම බව්තීස්ම වී, ඩීට්‍රොයිට් ලේක්ස් සභාවට සම්බන්ධ වී සිටියා.
මුල් කාලයේ මගේ පවුලේ අය පුරෝගාමි සේවය කරන ලෙස මට දිරිගැන්වූ නමුත්, 1948දී ඔවුන් ආත්මිකව නිවී යෑමට පටන්ගත්තා. “මේරූභාවය කරා වර්ධනය වීම හෝ පාපයට නැවත වැටීම, කොයි එකද?” යන තේමාවෙන් යුත් ලිපිය, මට අවශ්‍ය ආත්මික දිරිගැන්වීම ලබා දුන්නේ ඒ වකවානුවේදියි. “දැනුමෙන් වර්ධනය වෙමින් සිටීමට අපි හිතාමතාම ප්‍රතික්ෂේප කරන්නෙමු නම්, ඉතා දුක්ඛිත ඵලවිපාක ඇතිවෙනවා සහතිකය” යනුවෙන් එහි අනතුරු ඇඟවුණා. මෙම ලිපිය මෙසේ පැවසුවා: “අපට එක තැන සිටිගෙන සිටීමට හෝ පසුපසට යෑම කළ නොහැක, නමුත් අප ධර්මිෂ්ඨකම තුළ ප්‍රගතිය කරා යා යුතුය. නොනැවතී ඉදිරියට යෑම, නැවත පාපයට වැටී යෑමට එරෙහිව ඇති ප්රබලතම බලවේගයයි.”
මගේ පවුලේ අය වෙනත් නිදහසට කාරණා ඉදිරිපත් කළත්, ඔවුන්ගේ නියම ගැටලුව වුණේ පොහොසත්වීමට ඔවුන් තුළ වූ ආශාව බව මම විශ්වාස කරනවා. දේශනා කිරීම සඳහා අඩු කාලයක් වැය කොට ගොවිපොළේ කටයුතුවලට වැඩි කාලයක් වැය කිරීමෙන් ලැබෙන ආර්ථික වාසි ඔවුන්ට දකින්න පුළුවන් වුණා. ධනවත්වීමට ඇති ආශාවට හසුවෙනවා වෙනුවට, මා පුරෝගාමි සේවය සඳහා සැලසුම් කළා. එය පහසු නොවන බව මා දැනසිටියා. ඒ වගේම මට සැකයක් තිබුණා, මට එය කරන්නට පුළුවන් වේද කියාත්. ඉතින්, 1948දී මා වසරේ දරුණුම සමයේ, එනම් දෙසැම්බරයේ දී පුරෝගාමි සේවය ආරම්භ කිරීමට කැමැත්තෙන්ම අයදුම් කිරීමෙන් මා මාවම පරීක්ෂණයට ලක් කළා.
පුරෝගාමි සේවය පටන්ගැනීම
යෙහෝවඃවහන්සේ මගේ ප්‍රයත්නවලට ආශීර්වාද කළා. එක් දිනක් සුළඟ නිසා ඇතිවන අමතර ශීතලය ගණන් නොගෙනත් උෂ්ණත්වය බිංදුවටත් පහළ ඍණ 17ක්ව පැවැති අවස්ථාවක, මා සුපුරුදු විදිහට වීදි සේවය කරමින් සිටියා, අත්දෙක මාරුවෙන් මාරුවට සාක්කුවේ දමාගෙන මා සිටියා—ශීතවූ අත සාක්කුවට දමන අතර අනික් අතින් සඟරා ඔසවාගෙන, එතකොට, ඒ අත ශීතෙන් මිදෙන විට සඟරා අනික් අතට මාරුකරමින්. මිනිසෙක් මා කරා ළඟා වුණා. මා කරමින් සිටි දෙය යම් කාලයකට දැක තිබුණු ඔහු මගෙන් මෙසේ ඇසුවා: “ඔය සඟරාවල තිබෙන ඔයතරමටම වැදගත් දේ මොකක්ද? මට කියවන්න ඔය සඟරා දෙකක් දෙන්න.”
මේ අතරතුර, මා දැක්කා, මගේ පවුලේ අය සමඟ ඇසුර මාව ආත්මික අන්තරා තත්වයක තබන බව, එමනිසා, මා මොන්ටානාහි මයිල්ස් සිටිහි නව පැවරුමක් දෙන ලෙස වොච්ටවර් සමිතියෙන් ඉල්ලා සිටියා. මා මෙහි, දැන්, මුලසුන අවේක්ෂක ලෙස හඳුන්වනු ලබන සභා සේවක යන නිලයේ සේවය කළා. අඩි දහයක් දිග අඩි හතක් පමණ පළල ට්‍රේලරයක වාසය කළ මා, මගේ වියහියදම් සඳහා, රෙදි පිරිසිදු කිරීමේ ව්‍යාපාරයේ අර්ධ-කාලීන රැකියාවක නියැලුණා. ඒ වගේම ඉඳහිට මා ඉතා ඇලුම්කමක් දැක්වූ අස්වැන්න කැපීම කුලියට කළා.
මේ කාලයේදී, මගේ පවුලේ අයගේ දරුණු ලෙස පිරිහෙමින් තිබූ ආත්මික තත්වය ගැන මට අසන්ට ලැබුණා. අවසානයේදී ඔවුන් සහ ඩීට්‍රොයිට් ලේක්ස් සභාවේ තවත් අය යෙහෝවඃවහන්සේගේ සංවිධානයට එරෙහිව ක්‍රියා කළා. රාජ්‍යය ප්‍රචාරකයන් 17ක් සිටි සභාවේ ඉතිරි වූයේ ප්‍රචාරකයන් 7ක් පමණයි. මගේ පවුලේ අයත් යෙහෝවඃවහන්සේගේ සංවිධානයෙන් ඉවත් වීමට අදිටන් කරගත් බැවින්, තිබෙන්නේ එකම විසඳුමක් පමණක් බව මට වැටහුණා, ඒ තමයි, තවදුරටත් ඉදිරියට ප්‍රගතිය කරා ඇදී යෑම. එහෙත් කෙසේද?
මිෂනාරි සේවය ලුහුබැඳීම
වර්ෂ 1950 නිව් යෝර්ක් නගරයේ ජාත්‍යන්තර සමුළුවක් අතරතුරේදී, වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි 15වන පංතියේ මිෂනාරි ශිෂ්‍යයන්ගේ උපාධි ප්‍රධාන උත්සවය මා දැක්කා. ‘ආ! මටත් ඒ වගේ විදේශීය පැවරුමක් ලබාගෙන යෙහෝවඃවහන්සේට සේවය කිරීමට යෑමට ඇත්නම්,’ මා සිතුවා.
මා මේ සඳහා අයදුම් පතක් යැවූ අතර, ගිලියඩ් 17වන පංතියේ සාමාජිකයෙකු ලෙසට මාව භාරගනු ලැබූ අතර, මෙය ආරම්භ වුණේ 1951 පෙබරවාරි මාසයේදී. නිව් යෝර්ක් උත්තර ජනපදයේ ගොවිපොළක මෙම පාසැලේ පිහිටීම ඉතා අලංකාරවත් එකක්. පංති කාලයෙන් පසු ගොවිපොළේ වැඩ කිරීමට මට කොතරම් වුවමනා වුණාද, සමහරවිට, ගවයන්ට කෑම දීමට හෝ අස්වනු නෙළීමට! නමුත් එවකට රාජ්‍යය ගොවිපොළේ අවේක්ෂක ජෝන් බූත් මට පැහැදිලි කළා, වියළි සෝදනය පිළිබඳව පළපුරුද්දක් ඇත්තේ මට පමණයි කියා. එමනිසා එම වැඩය මට පැවරුණා.
පස්වන පංතියට පමණක් සමත්වූ කෙනෙකුට ගිලියඩ් පාසැල එතරම් ලෙහෙසි වුණේ නැහැ. රාත්‍රි 10:30 වන විට, විදුලි එළි නිවා දැමිය යුතු වුවත්, මා බොහෝ අවස්ථාවලදී මධ්‍යම රාත්‍රිය වෙන තෙක් පාඩම් කළා. එක් දිනක් මාගේ උපදේශකවරයෙක් මාව ඔහුගේ කාර්යාලයට කැඳෙවුවා, “කාර්ල්, මට පේන විදිහට, ඔබේ ලකුණු එතරම් හොඳ නැහැ” යයි ඔහු පැවසුවා.
‘අනේ, මට දැන් පාසලෙන් පිටවී යන්න කියා ඔවුන් කියාවි’ මට හැඟුණා.
කෙසේවෙතත්, එතරම් පමාවී පාඩම් කරන්නේ නැතිව මට මගේ කාලය හොඳින් පාවිච්චි කළ හැකි ආකාරය ගැන එම උපදේශකවරයා මට ප්‍රේමයෙන් යුතුව උපදෙස් දුන්නා. මම තරමක් භයෙන් මෙසේ ඇසුවා: “මෙහේ ගිලියඩ් පාසැලේ රැඳීසිටින්නට මගේ තත්වය ප්‍රමාණවත්ද?”
“අපොයි, ඔව්” ඔහු පිළිතුරු දුන්නා. “නමුත් මම දන්නේ නැහැ, ඔබ ඩිප්ලෝමාවකට සුදුසුකම් ලබයිද කියලා.”
පාසැලේ සභාපතිවූ නේදන් එච්. නෝර්ගේ වචනවලින් මා දිරිගැන්වීම ලැබුවා. තම පැවරුම්වල රැඳී සිටි මිෂනාරිවරුන්ගේ “වැඩයට ඇලී ඒ තුළ සිටීම තරම් පාසැලේදී ගන්නා ලකුණු තමාගේ සිත්නොගත් බව” මීට පළමුව ඔහු ශිෂ්‍යයන්ට කියා තිබුණා.
මගේ අමාරුම විෂය වුණේ, ස්පාඤ්ඤ භාෂාව, නමුත් මා බලාපොරොත්තුවෙන් සිටියේ, මට සීතල හොඳට හුරුපුරුදු ඇලස්කාවේ මට පැවරුමක් ලැබෙයි කියා. මීට අමතරව, මට ඉංග්‍රීසියෙන් දේශනා කරන්නටත් හැකිවෙයි. එමනිසා, පාසැල් පාඨමාලාවේ අඩක් ගත වන විට, මට, දකුණු අමෙරිකාවේ ඉක්වදෝරයේ මගේ පැවරුම ලැබෙන විට මට ඇතිවූ පුදුමය ඔබට සිතාගන්නට පුළුවන් වෙවි. ඔව්, එම අති උණුසුම් සමකයේ මැද මට ස්පාඤ්ඤ කථා කරන්නට සිදුවේවි!
එක් දිනක් එෆ්.බී.අයි නියෝජිතයෙක් මා මුණගැසීමට ගිලියඩ් පාසැලට ආවා. ඩීට්‍රොයිට් ලේක්ස්හි අපගේ සංවිධානය හැරගිය සභා සේවකගේ පුත්‍රයා ගැන ඔහු මගෙන් ඇසුවා. එවකට කොරියන් යුද්ධය ඇවිළී තිබූ අතර, මෙම යෞවන මිනිසා කියා සිටියා, ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකුව සිටි බවත්, හමුදා සේවයෙන් නිදහස් බවත්. ඔහු තවදුරටත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු නොවන බව මම ඔහුට පැහැදිලි කළා. එම නියෝජිතයා මගේ පිටවී යෑමේදී, මට මෙසේ කීවා: “ඔබගේ වැඩයට ඔබගේ දෙවියන්වහන්සේ ආශීර්වාද කරනසේක්වා.”
පසුව මා දැනගත්තා, කොරියානු යුද්ධයට පළමු වතාවට ගිය විට මෙම යෞවනයා එහිදී මියගිය බව. දෙවියන්වහන්සේගේ සංවිධානය තුළ මේරූභාවය කරා වර්ධනය වීමට හැකිවූ කෙනෙකුට ඇතිවූ විපාක කොතරම් දුක්ඛිතද!
අවසානයේදී, 1951 ජූලි 22දා අපගේ ප්‍රීතිමත් උපාධි ප්‍රදාන දිනය පැමුණුණා. ඇත්තවශයෙන්ම, මගේ පවුලේ කිසිම කෙනෙක් එයට පැමිණ සිටියේ නැති වුණත්, මා ප්‍රගතිය කරා ඉදිරියට ඇදී ගොස් සිටි නිසා, මා ඩිප්ලෝමාව ලබන විට මගේ ප්‍රීතිය සම්පූර්ණ වුණා.
විදේශීය ක්ෂේත්රයකට සකස් වීම
මා පැවරුම තුළ සිටි සැණෙකින්, මට තේරුණා මා මවගෙන් ලැබූ පුහුණුව සැබවින්ම ප්‍රයෝජනවත් බව. ආහාර පිසීම, අතින් රෙදි සේදීම, නලජලය නොමැතිවීම මට අලුත් දේවල් වුණේ නැහැ. නමුත් ස්පාඤ්ඤ බසින් දේශනා කිරීම නම්, අලුත් දෙයක්! මා කලක් මුද්‍රිත ස්පාඤ්ඤ දේශනාවක් භාවිතා කළා. මට ස්පාඤ්ඤ බසින් ප්‍රසිද්ධ කථාවක් දීමට වසර තුනක් ගත වුණා. ඒ වගේම ඒ සඳහා මා බොහෝ සටහන් යොදාගත්තා.
මා 1951දී, ඉක්වදෝරය වෙත පැමිණි විට, එහි රාජ්‍යය ප්‍රචාරකයන් සිටියේ 200කට වඩා අඩුවෙන්. ගෝලයන් සෑදීම වසර 25ක් හෝ ඊට ආසන්න කාලයක් පුරා හෙමින් සිදුවූ බවක් දක්නට තිබුණා. අපගේ බයිබල් ඉගැන්වීම්, ශුද්ධ ලියවිලිමය නොවන කතෝලික සම්ප්රදායන්වලට සෑහෙන වෙනස්, විවාහය තුළ එක් කලත්‍රයෙකුට පමණක් විශ්වාසවන්තව සිටීම පිළිබඳ බයිබල් නියෝගයට අප විසින් ඇලී සිටීම විශේෂයෙන්ම ජනප්‍රිය නොවූ එකක්ව තිබුණා.—හෙබ්‍රෙව් 13:4.
කෙසේවෙතත්, බයිබල් පොත් පත් විශාල ප්‍රමාණයක් බෙදා දීමට අපට පුළුවන් වුණා. කෙසෙල් වැවෙන ප්‍රදේශයේ මැද පිහිටා ඇති මඛාලා නම් නගරයේ අපගේ දේව සේවය මීට උපහැරණයක්. නිකොලස් වෙස්ලි සහ මා 1956දී එහි ගිය විට එහි සාක්ෂිකරුවන්ට සිටියේ අප දෙදෙනා පමණයි. අප හිමිදිරි පාන්දරම පිටවී එම දවස්වල මහා පාරවල් සෑදීමේ වැඩවලට භාවිතා කළ ට්‍රක් රථයක නැග්ගා. සෑහෙන දුරක් ගිය පසු, එයින් බැස, එතැන් පටන් ආපස්සට අප නැවතී සිටින තැන දක්වා ජනයාට සාක්ෂි දරනවා.
එක් නියමිත දවසක, නික් සහ මා සඟරා වැඩියෙන් බෙදා දෙන්නේ කවුදැයි බැලීමට වාර්තාවක් තබාගන්නවා. මා දහවල් වන විට, නික්ට වඩා ඉදිරියෙන් සිටි නමුත්, සවස් වන විට අප දෙදෙනා බෙදා තිබුණා, සඟරා 114ක්. අප සෑම මාසයකම සඟරා මාර්ගවල සිටින අයට අපගේ සඟරා සිය ගණනක් බෙදා හැරියා. මා හය වතාවක්ම මසකට සඟරා දහසකට වඩා බෙදා හැරියා. කීදෙනෙකුට එම සඟරාවලින් සත්‍යය ඉගෙනගන්නට හැකිවුණාද කියා සිතා බලන්න!
ඉක්වදෝරයේ සභාවකට අයත් ප්‍රථම රාජ්‍යය ශාලාව මඛාලාහි ඉදිකිරීමේ වරප්‍රසාදය ලැබීමට අපට හැකිවුණා. ඒ මීට වසර 35කට පෙර, 1960දී. එම මුල් දවස්වල, අපගේ රැස්වීමට පැමිණ සිටියේ 15දෙනෙක් පමණයි. අදදින මඛාලාහි සමෘද්ධිමත් සභා 11ක් තිබෙනවා!
එක්සත් ජනපදවලට යෑමට අවස්ථාවක්
එක්දහස් නවසිය හැත්තෑගණන්වල අගභාගයේ, මා නිවාඩුවක් සඳහා නැවතත් එක්සත් ජනපද කරා පැමිණ, මගේ සහෝදරයා වන ෆ්රෑන්ක් සමඟ පැය ස්වල්පයක් ගත කළා. ඔහු මාව මෝටර් රථයේ නංවාගෙන උස් ගොඩැල්ලකට පදවාගෙන ගියා, එහි සිට අපට රෙඩ් ගඟ නිම්නය දිහාවට විශාල ප්‍රදේශයක් දකින්ට හැකි වුණා. ධාන්‍ය කරල් සුළඟට වැනෙමින්, ඒවා පොළොවට බරවී තිබුණේ මහා අස්වැන්නක් ඇති බව අපට කියාපාමිනුයි, එය මනස්කාන්ත දර්ශනයක් වුණා. මඳක් දුරින් ෂයියන් ගඟ දක්නට තිබුණා. එම සන්සුන් අලංකාර දසුන දැකීමෙන් ලද ප්‍රීතිය, මගේ සහෝදරයා නිතරම කියන දෙයින් බාධාවට පත්වුණා:
“නුඹ ඔය දකුණු අමෙරිකාවේ එහාට මෙහාට කරක් ගහන්නේ නැතුව සිටියා නම්, මේවා නුඹටත් ලබාගන්ට තිබුණා.”
“ෆ්රෑන්ක්” මා විගස ඔහුට බාධා කළා. “ඔය කථාව ඔතනින් නවත්වන්න.”
ඔහු තවත් වචනයක්වත් කිව්වේ නැහැ. වසර ස්වල්පයකට පසු, හදිසි හෘදයාබාධයකින් ඔහු මියගියේ, උතුරු ඩකොටාවේ අක්කර දහස් ගණනකට ගව පට්ටි ඇති කරන ගොවිපොළවල් තුනක්ද, මොන්ටානාහි ඔහු මගේ මාමාගෙන් උරුම කරගෙන සිටි අක්කර 640ක ගොවිපොළක්ද අහිමි කරගනිමින්.
දැන් මගේ පවුලේ සියල්ලන්ම මියගිහින්. එහෙත්, මීට වසර ගණනාවකට පෙර අප සියල්ලන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බවට පත්වුණු ඩීට්‍රොයිට් ලේක්ස්හි, ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් 90කට වඩා වැඩි ගණනකින් සමන්විත ආත්මික පවුලක් මට සිටිනවා.
දිගටම ආත්මිකව වර්ධනය වීම
පසුගිය වසර 15 පුරා, මෙහි ඉක්වදෝරයේ අති විශාල ආත්මික අස්වැන්නක් කපාගෙන තිබෙනවා. වර්ෂ 1980 ප්‍රචාරකයන් 5,000ක සිට දැන් අපට සිටිනවා 26,000කට වඩා වැඩි සංඛ්‍යාවක්. මේ අයගෙන් සිය ගණනකට පමණ බව්තීස්මය දක්වා පැමිණීමට උපකාර කිරීමේ ආශීර්වාදය මා ලැබ සිටිනවා.
දැන් මට වයස අවුරුදු 80යි, මා 1951දී පැය 150ක් සම්පූර්ණ කිරීමට වඩා මගේ දේවසේවය තුළ මසකට පැය 30ක් වාර්තා කිරීමට මා මහන්සි වී වැඩ කරනවා. වර්ෂ 1989දී මට ප්රණිපාත පිළිකාව තිබෙන බව දැනගන්ට ලැබුණු දා සිට, මා විවේක ගන්නා කාලයේදී, කියවීම සඳහා මා කාලය ගන්නවා. එම වසරේ පටන්, මා මුළු බයිබලයම 19 වතාවක් සහ ජෙහෝවාස් විට්නසස්—ප්රෝක්ලේමර්ස් ඔෆ් ගෝඩ්ස් කිංඩම් පොත 6 වතාවක් කියවා තිබෙනවා. මේ අන්දමින් මා ආත්මිකව වර්ධනය වෙමින් සිටිනවා.
ඔව්, මට එක්සත් ජනපදවල ගොවිපොළ ප්‍රදේශයේ ද්‍රව්‍යමය වාසි ප්‍රයෝජන නෙළාගැනීමට ප්‍රස්තාව තිබුණා. එහෙත්, මා ආත්මික අස්වැන්න තුළ අද්දකින ප්‍රීතිය සමඟ සසඳන කල, ද්‍රව්‍යමය වත්පොහොසත්කම් කිසිම ඵලක් නැහැ. මා මගේ සේවා කාලය තුළ, සඟරා, 1,47,000ක් සහ පොත් 18,000කට වඩා වැඩි ගණනක් බෙදා තිබෙන බව ඉක්වදෝරයේ ශාඛාව මට දන්වනවා. මා මේවා සලකන්නේ ආත්මික බීජ හැටියට, මේවායින් බොහොමයක් දැනටමත් අංකුර දමා තිබෙනවා; මෙම රාජ්‍යය සත්‍යයන් ගැන ජනයා කියවන විට ඔවුන්ගේ හදවත්වල අනික් ඒවා අංකුර දමාවි.
මගේ සියලු ආත්මික දරුවන් සහ අපගේ දෙවිවන යෙහෝවඃවහන්සේට සේවය කිරීමට තෝරාගෙන තිබෙන මිලියන ගණනක් තවත් අය සමඟ දෙවියන්වහන්සේගේ නව ලෝකයට යෑමට දියුණු වීමට වඩා හොඳ වෙන කිසිවක් මට සිතාගන්නට බැහැ. මෙම දුෂ්ට ලෝකයේ අවසානය තුළින් යමෙකුව මුදාලන්නට මුදල්වලට හැකිවන්නේ නැහැ. (හිතෝපදේශ 11:4; එසකියෙල් 7:19) කෙසේවෙතත්, අප සෑම කෙනෙක්ම දිගටම මේරූභාවය කරා වර්ධනය වුවහොත්, අපගේ ආත්මික වැඩයේ ඵලදාව දිගටම පවතිනවා ඇත.
[24වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1949දී, මොන්ටානාහි මයිල්ස් සිටිහි පුරෝගාමි සේවයට සූදානම්ව
[24වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1952 අපගේ මිෂනාරි නිවස සඳහා වතුර මිලට ගැනීම
[25වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1957, මඛාලාහි දේශනා කිරීම
[25වන පිටුවේ පින්තූරය]
මා 1989දී අසනීපවූ දා පටන්, බයිබලය 19 වතාවක් කියවා තිබෙනවා