ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w95 3/15 21-24 පි.
  • අපට විශ්‍රාමයක් නැත!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපට විශ්‍රාමයක් නැත!
  • 1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • ඔවුන්ව සන්තෝෂවත් කරන දෙය
  • සකස්වීමට කැමැත්ත
  • සෞඛ්‍ය ගැටලු යටතේ දරාගැනීම
  • තවමත් එය කිරීමට ලැදිව
1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w95 3/15 21-24 පි.

අපට විශ්‍රාමයක් නැත!

“අපට විශ්‍රාමයක් නැත.” ඒ ඔබ ජපානයේ ටෝකියෝ නුවර එක් අසාමාන්‍ය නිවසකට ගිය විට, ඔබට ලැබෙන පණිවුඩයයි. වසර 70ක වයසේ සාමාන්‍යයක් සහිත පුරුෂයන් හා ස්ත්‍රීන් 22කින් සමන්විත පවුලක් එහි වාසය කරයි. ඔවුන් බැඳී සිටින්නේ ලේ නෑකම්වලින් නොව, නමුත් එක්තරා පොදු අරමුණකිනි—ඒ මිෂනාරි සේවයයි. ඔවුහු පූර්ණ කාලීන දේශනා සේවයේ මුළුමනින්ම වසර 1,026ක් සේවයේ යෙදී ඇත්තාහ! වයසකම සාමාජිකයන් තිදෙනා ඉපදුණේ 1910දීය. ඔවුන්ගෙන් හත්දෙනෙක් තම පූර්ණ-කාලීන දේව සේවය ආරම්භ කළේ, ඔවුන් නහඹරයන්ව සිටින විටදීය. දෙවන මහා ලෝක යුද්ධයෙන් පසු, ජපානයේ රාජ්‍යය-දේශනා සේවය ආරම්භයේ පටන් එහි වර්ධනය මේ අයගෙන් නවදෙනෙක් විසින් දැක තිබේ.—යෙසායා 60:22.

කෙසේවුවද, වොච් ටවර් ශාඛාවේ, කලින් කාර්යාලය වූ තට්ටු හයකින් සමන්විත මෙම ගොඩනැගිල්ල, විශේෂයෙන්ම එහි වෙසෙන මිෂනාරිවරුන්ගේ ස්ප්‍රීතුව හෙවත් ප්‍රධාන මානසික නැඹුරුවාව නිසා, එය දිරිගැන්වීමේ ස්ථානයක්ය. වයස හා දුර්වල සෞඛ්‍යය හේතුවෙන් ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට ශාරීරික සීමාවන් තිබුණද, මෙම ආත්මික භටයන්ගෙන් කිසිවෙක් තම සේවය නවතා දැමීමට සූදානම් නැත. ජපානයේ සාක්ෂිකරුවන් ඔවුන් සඳහා මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර ඇති අතර, පහත මාලයේ රාජ්‍යය ශාලාවක් සහ මගී විදුලි සෝපානයක්ද සපයා තිබේ.

ඔවුන්ව සන්තෝෂවත් කරන දෙය

වසර ගණනාවක් පුරා තම පැවරුම තුළ සිට තිබෙන මෙම මිෂනාරිවරුන්ට හැඟෙන්නේ, මෙය තමන්ගේ නිවස ලෙසටය. “මා පසුගිය ග්‍රීෂ්ම ඍතුවේ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීම සඳහා නැවත ඕස්ට්‍රේලියාව බලා ගිය විට, සති දෙකකට පසු නැවත ජපානය බලා ඒමට මා සූදානමින් සිටියා!” යයි මෙම පවුලේ වයසක සාමාජිකාවක් පැවසුවාය. තමන් සේවය කරන අයට ප්‍රේම කරන ඔවුහු, ඔවුන් සඳහා ගැඹුරු ස්නේහයක් වගා කර ඇත්තාහ. අතීතයේ දවස්වල තමන් නියැලුණු ක්‍රියාකාරකම් සිහිගන්වමින් ඔවුහු ඉතා කැමැත්තෙන් තමන්ට ලැබෙන ලිපි සහ දුරකථන පණිවුඩ භාරගනිති.

මේ වනාහි කඩිසර දේව සේවයක ප්‍රතිඵලයය. යෙහෝවඃවහන්සේ කෙරෙහි ප්‍රේමයෙන් පෙලඹී සිටින මෙම මිෂනාරීහු, විවිධ තත්වයන් යටතේ දෙවියන්වහන්සේගේ වචනය හදිසිතාවකින් යුතුව දේශනා කර ඇත්තාහ. (2 තිමෝති 4:2 සසඳන්න.) “අප යෙහෝවඃවහන්සේට සේවය කරන නිසා, ප්‍රීතියෙන් සිටීමට අප අපවම පුහුණු කළා” යයි ජපානයේ වසර 37ක් සේවය කර ඇති වීරා මකෙයි පවසන්නීය. “කිසිවෙක් දොර අසලට නොපැමිණුනත්, යෙහෝවඃවහන්සේ ගැන සාක්ෂි දැරීමට අප එතැන සිටිනවා.”

මෙම මිෂනාරිවරුන්ගෙන් දොළොස්දෙනෙක් කිසිදා විවාහ වී නැති නමුත්, බාධාවකින් තොරව ස්වාමීන්වහන්සේට සේවය කිරීමට තමන්ට හැකි වීම නිසා මොවුහු සන්තෝෂ වෙති. (1 කොරින්ති 7:35) වසර 43ක් මිෂනාරිවරයෙකු ලෙස සේවය කර ඇති ග්ලැඩිස් ග්‍රෙගරි මේ අතුරින් එක් තැනැත්තියකි. ඈ මෙසේ පවසන්නීය: “යෙහෝවඃවහන්සේගේ සේවයේ වඩාත් නිදහසක් ලැබෙන පිණිස, මා පුරෝගාමි සේවයට බැඳුණා, පසුව ගිලියඩ් [වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්] ගියා, පසුව මිෂනාරි සේවයට ගියා. මා තනිකඩව සිටීමට කිසිම බැඳීමක් කර නැතත්, මා තනිකඩව සිට තිබෙනවා, සාක්ෂිකාර මිතුරු මිතුරියන් ගණනාවක් මෙන්, මා කිසිවිටෙකත් කනගාටු වී නැහැ.”

සකස්වීමට කැමැත්ත

ඇතැම් අය වයස්ගත වන විට උද්දච්ච බවට පත්වුවද, මෙම මිෂනාරිවරුන් තත්වයට අනුව සකස්වීමට කැමැතිව සිට ඇත. ලොයිස් ඩයර්, මොලී හැරන් සහ ලීනා මෙන්ම මාර්ග්‍රිට් වින්ටෙලර්, ටෝකියෝහි ජනාවාස ප්‍රදේශයක කුඩා මිෂනාරි නිවසක විසූහ. ඔවුහු එම මිෂනාරි නිවසේ වසර 20කටත් වඩා වැඩි කලක් විසූ අතර, එම ප්‍රදේශයේ ජනයාට ළං වූහ. තම බල ප්‍රදේශය තුළ, වින්ටෙලර් සහෝදරියන්ට තම සඟරා මාර්ගයේ 40දෙනෙකු සිටි අතර, මොලී සහ ලොයිස්ට 74දෙනෙක් සිටියහ. පසුව, ටෝකියෝ මැද පිහිටි තට්ටු හයකින් යුත් මිෂනාරි නිවසට යන ලෙස සමිතිය ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. “මුලදී මට අධෛර්යය හා දුක දැනුණා” යයි ලීනා පිළිගන්නීය. කෙසේවුවද, සෑමවිටම ඔවුන් කළාක් මෙන්, ඔවුහු තම පැවරුමට සකස්වූවෝය. ඔවුන්ට දැන් හැඟෙන්නේ කෙසේද? “දැන් හරි සන්තෝෂයි. දැන් බෙතෙල් සහෝදරයන් දෙදෙනෙක් අපට කෑම පිස දී නිවස පිරිසිදු කරනවා. අපව හොඳින් බලාගන්නවා” යයි ලීනා පිළිතුරු දෙන්නීය. “යෙහෝවඃවහන්සේගේ සංවිධානයෙන් දෙන ප්‍රේමනීය සැලකිල්ල, සේවය නොකඩවා කරගෙන යෑමට අපට උපකාර වෙනවා” යයි පවසන ලොයිස් සමඟ ඔවුහු සියල්ලෝ එකඟවෙති.

නෝරීන් ටොම්සන්ද නව තත්වයන්ට සකස්වූවාය. “මුළු ජපානයම එක් දිස්ත්‍රික්කයක් ලෙස පැවතුණු වකවානුවේ වසර 15ක් පුරා [මුලින්ම නවසීලන්තයෙන් පැමිණි] මාගේ සැමියා සමඟ දිස්ත්‍රික් සේවයේ යෙදීමට වරප්‍රසාදය මට ලැබුණා.” කෙසේවෙතත්, ඇගේ සැමියාගේ සෞඛ්‍යය තත්වය පිරිහුණු අතර, ඇගේ ජීවිතයේ ඛේදජනකම පරීක්ෂාවට, එනම් මීට වසර 18කට පෙර වූ ඇගේ සැමියාගේ මරණයට ඈ මුහුණ දුන්නාය. “ඒ කාලයේදී, මිෂනාරි සේවයේ දිගටම යෙදී සිටීමට මට හැකියාව ලබා දුන්නේ, ජපානය පුරා සහෝදරයන් විසින් පෙන්වන ලද ප්‍රේමය සමඟින් යාච්ඤාව සහ සේවය තුළ කාර්ය බහුලව සිටීමයි.”

සෞඛ්‍ය ගැටලු යටතේ දරාගැනීම

“බොහෝදෙනෙකුට යම් ආකාරයක සෞඛ්‍ය ගැටලු තිබෙනවා, නමුත් ඔවුන් සිටින්නේ සන්තෝෂයෙන්, එමෙන්ම සේවය කිරීමට ඔවුන් තුළ ඇති ආශාව කැපීපෙනෙන ගුණාංගයක්,” යයි මෙම මිෂනාරි නිවසේ අවේක්ෂක වන ඇල්බට් පැස්ටර් පවසයි. මෙම මිෂනාරිවරුන්ව සෞඛ්‍යමය අතින් රැකබලාගැනීම සඳහා, වෛද්‍යවරයෙකු සහ හෙදියක වන ඔහුගේ භාර්යාවව මෙම නිවසට පත් කර තිබේ.

මීට වසර තුනකට ඉහත එක් දවසක, ගිලියඩ් පාසැලේ 11වන පංතියේ උපාධිලාභී එල්සී ටානිගාවාට හදිසියේම තම වම් ඇස් දෘෂ්ටිය අහිමි විය. මාස හතරකට පසුව, ඇගේ දකුණු ඇසද එම බලපෑමට හසුවිය. “ඇතැම් විටක, මට කලින් කළාක් මෙන් සේවය කරන්ට බැරි වීම ගැන, මා තුළ අධෛර්යයක් ඇති වෙනවා. නමුත් සමිතිය විසින් සපයන සියලු ආකාර සැපයුම් සහ මගේ සහයිකාවගෙන් සහ වෙනත් අයගෙන් ලැබෙන ප්‍රේමනීය සහයෝගය නිසා මා යෙහෝවඃවහන්සේගේ සේවයේ දිගටම ප්‍රීතිය ලබනවා” යයි පවසන්නීය.

එල්සීගේ ගිලියඩ් පංතියේ සිටි ෂිනිචි ටොහාරා සහ ඔහුගේ භාර්යාව වන මාසාකෝද පසුගිය වසර කිහිපය පුරා, තම සෞඛ්‍යය සම්බන්ධව බොහෝ පරීක්ෂාවලට මුහුණ පා ඇත්තාහ. දක්ෂ කථිකයෙකු වන ෂිනිචිට තම ඇස් නොපෙනී යෑම නිසා, තම සටහන් බැලීමට නොහැකි වීමෙන් මහත් අභියෝගයකට මුහුණ දෙන්ට සිදුවිය. මෑත වර්ෂවලදී ඔහුට ලොකු හා කුඩා ශල්‍යකර්මවලට මුහුණ දෙන්ට සිදුවුවද, දැන් ඔහු උපකාර කරමින් සිටින 90 හැවිරිදි බයිබල් ශිෂ්‍යයා ගැන කතා කරන විට ඔහුගේ ඇස් දිලිසෙයි.”

‘මාංසයේ උලක්’ තිබුණත්, මෙම මිෂනාරිවරුන් තම දුර්වලකම් සලකන්නේ, “දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි” යයි පැවසූ ප්‍රේරිත පාවුල් තම දුර්වලකම් ගැන සැලකුවාක් මෙනි. (2 කොරින්ති 12:7-10) ඇත්තවශයෙන්ම ඔවුන් ශක්තිමත්ය! ඔවුහු සෑම දවසකම උදේ හතට උදෑසන නමස්කාරය සඳහා සූදානම්ව සිටිති. උදේ ආහාරයෙන් පසුව, කායිකව සෞඛ්‍යසම්පන්නව සිටින අය උදෑසන ක්ෂේත්‍ර සේවය සඳහා පිටත්ව යති.

රිචඩ් සහ මාර්ට්ල් ෂිරෝමා මෙසේ සේවයේ පිටත්ව යන අය අතර වෙත්. වර්ෂ 1978දී මාර්ට්ල් ආර්ටේරිස්ක්ලෙරෝසිස් නම් මොළයේ ශිරාවල බිත්ති දැඩිවීම නිසා ඇතිවුණු මානසික ආබාධයක් නිසා දුර්වල වූ නමුත්, ඈ 1987 නොවැම්බර් මාසය දක්වා ඇගේ සැමියා සමඟ සංචාරක සේවයේ නියැලුණාය. දැන් වයස අවුරුදු 70ක්ව සිටින රිචඩ්, සෑම දෙයක්ම කිරීමට මාර්ට්ල්ට සහය වෙයි. ඔහු උදෑසන 5.00ට පමණ නැඟිට, ඇයව පුබුදුවා, ඇයව නාවා, ඇයට ඇඳුම් අන්දවා, ඇයව ලකලෑස්ති කර, ඇයට හැන්දෙන් කවයි. අනතුරුව ඇයව රෝද පුටුවේ නංවාගෙන සෑම උදෑසනකම ක්ෂේත්‍ර සේවය කරා ගොස්, පැයක් පමණ ගෙයින් ගෙට සේවය කර, පසුව බස්නැවතුම්පොළවල ජනයාට සාක්ෂි දරයි. මාර්ට්ල්ට තවදුරටත් කතා කිරීමට නොහැක, නමුත් ඇය කතා කළ අන්තිම වචන වූයේ, ඩෙන්ඩෝ, ඩෙන්ඩෝ හෙවත් ජපන් බසින් “දේශනා කිරීම, දේශනා කිරීම” යන්නයි.

ඔවුන්ගේ දියණිය වන සැන්ඩ්‍රා සුමීඩා, ඔවුන්ට උපකාර කිරීම සඳහා මිෂනාරි නිවසේ පදිංචියට පැමිණ තිබේ. සැන්ඩ්‍රාට මෑතකදී හෘදයාබාධයක් නිසා, තම ප්‍රියාදර සැමියාව අහිමි විය. තමා තම සැමියා සමඟ මිෂනාරිවරුන් ලෙස කලින් සේවය කළ ගුවාම්හි සිට නැවතත් ජපානයට මාරු කිරීමට වොච් ටවර් සමිතිය ගත් කාරුණික විධිවිධානය ඈ අගය කරන්නීය. “මා ගුවාම්හි සිටි නිසා මට මගේ දෙමාපියන්ට එතරම් උදව් කරන්ට ලැබුණේ නැහැ කියා මට හැමවිටම හැඟී ගියා. මාගේ නංගී ජොඇන් මේ නිවසේදී ඔවුන්ව රැකබලාගත්තා. දැන් මට අවස්ථාව විවෘත වූ විට, ඒක හොඳයි කියලා මට සිතුණා. මෙහි අවශ්‍යතාව සැපිරීම, මගේ සැමියාගේ මරණයේ සිට මා සඳහා වූ ප්‍රතිකාරකය වුණා” යයි ඈ පවසන්නීය.

තවමත් එය කිරීමට ලැදිව

තම මහලු වයසේ බලපෑම් මෙම මිෂනාරිවරුන්ට දැනුණද, තම මිෂනාරි ස්ප්‍රීතුව අත්හැර දැමීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. (ගීතාවලිය 90:10; රෝම 5:12) ජපානයට පැමිණි පළමු ගිලියඩ් උපාධිලාභීන් වන ජෙරී සහ යොෂී ටෝමා තවමත් ෂිබූයා නගරයේ සාප්පු සහිත ව්‍යාපාර පෙදෙසේ සේවයේ යති. “අපි 1949 මෙහි තිබූ තට්ටු දෙකේ ගොඩනැගිල්ලට ආ විට, එහි පොළොවේ හාරා තිබූ වාසස්ථාන එකක් පාසා තවත් එකකට අපි ගියා. දැන් ටෝකියෝ නගරය පුරවරයක් බවට වෙනස්වෙලා. අපි දැන් මහලුයි, අප කළාක් මෙන් දැන් කරන්ට බැහැ. නමුත් අප දේශනා කර නැවත එන විට අපට කදිම නැවුම් බවක් දැනෙනවා,” යයි යෝෂි පවසන්නීය.

ලිලියන් සැම්සන් ජපානයේ වසර 40ක් පුරා මිෂනාරිවරියක ලෙස සේවය කර ඇති අතර, තවමත් ඉතා සතුටින් තම සේවය භුක්තිවිඳී. “මගේ සහයිකාව වන ඇඩ්ලින් නාකෝ දැන් අසනීපව සිටින තම මවව රැකබලාගැනීම සඳහා නැවත හවායි වෙත ගොස් සිටින අතර, ඈ සමඟ පාඩම් කළ 80හැවිරිදි එක් කාන්තාවකට මා දැන් උපකාර කරමින් සිටිනවා. මුතුන්මිත්තන් නමස්කාර කිරීමේ ගැටලුව ජයගත් පසු, මෙම කාන්තාව මෑතකදී රාජ්‍යය ප්‍රචාරිකාවක් බවට පත්වුණා. ඈ විහාරයට ගොස්, ‘මා ක්‍රිස්තියානි ධර්මය වැළඳගත්තා’ යයි පූජකයාගේ භාර්යාවට පැවසුවා.” මෙවන් ප්‍රීතියක් භුක්ති විඳින ලිලියන්, ඇගේ වයස අවුරුදු 19දී තම බාහිර රැකියාවෙන් අයින් වී පුරෝගාමි සේවය ආරම්භ කිරීම ගැන කිසිවිටෙකත් කනගාටු වී නොමැත.

වසර 45කට වඩා මිෂනාරි සහයිකාවන්ව සිටි රූත් උල්රික් සහ මාර්තා හෙස් මෙම මිෂනාරි නිවසේ සිට වසර 35ක කාලයක් මුළුල්ලේ සේවය කර ඇත. ඔවුහු මෙම බල ප්‍රදේශයේ හොඳින් ස්ථාපිත වී සිටිති. එක් චාරිකා අවේක්ෂකයෙක් වරෙක මාර්තාගෙන් මෙසේ ඇසුවේය: “ගෙයින් ගෙට යෑම පිණිස මට ඔබගේ මුහුණ ඉල්ලාගන්ට පුළුවන්ද?” ජනයා මාර්තාගේ මුහුණ දැන සිටි අතර, සඟරා ගැනීමට උත්සුක වූ අතරේදී, මෙම චාරිකා අවේක්ෂකට සංවාදයක් ආරම්භ කිරීම ඒ බල ප්‍රදේශයේ දුෂ්කර දෙයක් විණ.

සෞඛ්‍ය ගැටලු නිසා කියවීමට නොහැකි එක් කාන්තාවක්, රූත්ගේ තම සඟරා මාර්ගයේ සිටී. එහෙත්, මෙම කාන්තාව දිගටම සඟරා ලබාගන්නා අතර, මෑන්කයින්ඩ් සර්ච් ෆෝර් ගෝඩ් නමැති බැඳි පොත පවා ලබාගත්තාය. බෙදා දෙන මෙම පොත් පත් කිසිවෙක් නොකියවන බව පෙනෙන්ට තිබූ නිසා, තමා මෙම සඟරා දිගටම ඈ වෙතට ගොස් දිය යුතුදැයි රූත් කල්පනා කළාය. පසුව, එක් දිනක් මෙම කාන්තාවගේ සැමියා, සර්ච් පොත සමඟින් රූත් කරා පැමිණ මෙසේ පැවසුවේය: “මෙය ඉතා වටිනා පොතක්! මම එය සම්පූර්ණයෙන්ම දෙපාරක් කියෙව්වා.” රූත් ඔහු සහ ඔහුගේ භාර්යාව සමඟ බයිබල් පාඩමක් ආරම්භ කළාය.

මෙම මිෂනාරි නිවසද උනන්දුව දක්වන ජනයාගේ සිත් ඇදගනී. එක් සැන්දෑවක එක් යෞවනයෙක් මෙම නිවස කරා පැමිණ මෙසේ පැවසුවේය: “මම දන්නවා, මම මෙහේ ආවොත්, මට බයිබලය ඉගෙනගැනීමට උපකාර ලබාගත හැකි බව.” ඔහු සමඟ බයිබල් පාඩමක් පටන්ගැනිණ. ඔහු චීන අවන්හලක කෝකියෙකු වූ අතර, මීට වසර කිහිපයකට පෙර සභා ඇසුරෙන් ඉවත් කොට තිබූ එක් කාන්තාවක් සමඟ ඔහු වැඩ කළේය. මෙම අවන්හලට එක් ප්‍රචාරකයෙක් පැමිණ සඟරා තබා ගොස් තිබුණ අතර, ඒවා එම අවන් හලේ මුලුතැන්ගෙයට ගොස් තිබිණ. මෙම යෞවන කෝකියා ඒවාට ආශා කළ අතර, කලින් සාක්ෂිකාරියකව සිටි තැනැත්තියගෙන් ප්‍රශ්න කිරීමට පටන්ගත්තේය. ඒවාට පිළිතුරු දීමට නොහැකි වූ ඈ, මිෂනාරි නිවාසයට යන ලෙස ඔහුට පැවසුවාය. ඔහු දැන් උපස්ථායක සේවකයෙක් හා පුරෝගාමියෙක් ලෙස සේවය කරයි. කල් යත්ම, සභා ඇසුරෙන් ඉවත් කොට සිටි මෙම කාන්තාව යළි පිහිටුවනු ලැබූ අතර, අවසානයේදී ඈද ස්ථාවර පුරෝගාමියක බවට පත්වූවාය.

මෙම නිවසේ සිටින සියලුම මිෂනාරීහු යෙහෝවඃවහන්සේ තමන් සඳහා කර ඇති දෙය අගය කරති. ඔවුන් ඕස්ට්‍රේලියාවෙන්, කැනඩාවෙන්, හවායි දූපත්වලින්, ස්විට්සර්ලන්තයෙන් හා එක්සත් ජනපදවලින් පැමිණි අතර, ඔවුන්ගෙන් 11දෙනෙක්ම ගිලියඩ් මිෂනාරි පාසැලේ 11වන පංතියේ හෝ ඊට පෙර පැවති පාසැල්වල අයය. ජපානයේ රාජ්‍යය සේවයේ ප්‍රගතිය දැක තිබෙන ඔවුන්ට මෙසේ පැවසූ දාවිත්ගේ හැඟීම් තිබේ: “මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.” (ගීතාවලිය 37:25) දෙවියන්වහන්සේගේ ප්‍රේමනීය සැලකිල්ල සඳහා අගය කිරීමෙන් පිරී සිටින මෙම මිෂනාරිවරු, විශ්‍රාම නොලබා දිගටම යෙහෝවඃවහන්සේට සේවය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටිති.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න