දේවධර්මීය උභතෝකෝටික ප්‍රශ්නයක්
“ආත්මයේ අමරණීයත්වය සහ මළවුන්ගේ නැවතනැගිටීම කෙරෙහි ඇදහීම යන අදහස වනාහි . . . සහමුලින්ම වෙනස් තල දෙකක් මත පිහිටි සංකල්ප දෙකකි, ඇරත් මේ දෙක අතර තේරීමක් සිදු කළ යුතුයි.” මළවුන්ගේ තත්වය පිළිබඳ රෙපරමාදු සහ කතෝලික දේවධර්මශාස්ත්රඥයන් විසින් මුහුණ දෙනු ලබන උභතෝකෝටිකය, ෆිලීප් මනූගේ මෙම වදන්වලින් සාරාංශ කොට දැක්වේ. “අන්තිම දවසේදී” නැවතනැගිටීමක් පිළිබඳ බලාපොරොත්තුව ගැන බයිබලය කතා කරයි. (යොහන් 6:39, 40, 44, 54) එහෙත් දේවධර්මශාස්ත්රඥ චයිස්බෙර්ට් ච්රෙෂාග පවසන පරිදි, “බොහෝ ඇදහිලිවන්තයන්ගේ බලාපොරොත්තු රඳා පවතින්නේ, මරණයේදී ශරීරයෙන් වෙන්වී, දෙවියන්වහන්සේ වෙතට ආපසු යන්නාවූ ආත්මයේ අමරණීයත්වය කෙරෙහිය, ඒ සමඟම සම්පූර්ණයෙන් නොවුවත්, බොහෝ දුරට නැවතනැගිටීම කෙරෙහි බලාපොරොත්තුව අතුරුදහන් වී ගොස් තිබේ.”
බෙර්නා සේබූආ පැහැදිලි කරන පරිදි, ඒ සම්බන්ධයෙන්, විසඳීමට දුෂ්කර ගැටලුවක් පැනනඟී: “මළවුන්ගේ ශාරීරික මරණය සහ අවසන් නැවතනැගිටීම අතර තිබෙන ‘අතරමැදි අවස්ථාව’ අතරතුරේදී ඔවුන්ගේ තත්වය කවරේද?” පසුගිය අවුරුදු ස්වල්පය තුළදී එම ප්රශ්නය දේවවාදී විවාදයක කේන්ද්‍රයව පැවතී තිබෙන බව පැහැදිලිය. ඊට මඟ පෑදුවේ කුමක්ද? තවද වඩාත් වැදගත් ලෙස, මළවුන් සඳහා තිබෙන සැබෑ බලාපොරොත්තුව කුමක්ද?
උභතෝකෝටික ප්‍රශ්නයක මූලාරම්භය හා වර්ධනය
මුල් ක්‍රිස්තියානීන්ට කාරණය පිළිබඳ පැහැදිලි අදහස් තිබුණි. මළවුන් කිසිවක් නොදන්නා බව ඔවුහු ශුද්ධ ලියවිල්ලෙන් පැහැදිලිව දැනසිටියහ, මන්දයත් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි මෙසේ පවසන බැවිනි: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, . . . නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” (දේශනාකාරයා 9:5, 10) අනාගතයේදී පැමිණෙන “ස්වාමීන්වහන්සේගේ ඊම” තුළදී නැවතනැගිටීමක් සිදුවන බවට බලාපොරොත්තුව එම ක්‍රිස්තියානීන් සතුව තිබුණි. (1 තෙසලෝනික 4:13-17) එම මොහොත පැමිණෙන තෙක් බලාසිටිද්දී වෙනයම් තැනක සිහිසන්ව සිටීමට ඔවුහු අපේක්ෂා නොකළහ. ඇදහිල්ලේ ධර්මය සඳහා වතිකානු සභාවේ වත්මන් නායක යෝසෆ් රාට්සිංගර් මෙසේ පවසයි: “ආත්මයේ අමරණීයත්වය පිළිබඳ ධර්මය හා සම්බන්ධ සනාථ කිරීමක් පුරාණ සභාව තුළ පැවතියේ නැත.”
කෙසේවෙතත්, නුඕවෝ ඩිට්සියෝනාරිඕ ඩි ටේඕලෝජිආ පැහැදිලි කරන්නේ, ඔගස්ටීන් හෝ ඇම්බ්‍රෝස් වැනි, සභා පියවරුන්ගේ ලියවිලි කියවද්දී, “බයිබල් සම්ප්රදාය සලකා බලන කල, අප අලුත් යමක් සම්බන්ධයෙන් සාවධාන වන බවය—එනම් යුදෙව්-ක්‍රිස්තියානීන්ට වඩා මූලික ලෙස වෙනස්, ග්‍රීක් පරම්මරණයක් ඉස්මතු වීමයි.” මෙම අලුත් ඉගැන්වීම පදනම් වූයේ “ආත්මයේ අමරණීයත්වය මතය, මරණින් පසුව වහාම විපාකය හෝ දඬුවම ලැබෙන, පෞද්ගලික විනිශ්චය මතය.” මෙසේ “අතරමැදි අවස්ථාව” පිළිබඳ ප්‍රශ්නයක් පැනනංවන ලදි: ආත්මය ශරීරයේ මරණයෙන් පසු ජීවත්වේ නම්, “අන්තිම දවසේදී” නැවතනැගිටීම තෙක් එය බලා සිටින විට, ඊට සිදුවන්නේ කුමක්ද? මෙය වනාහි දේවධර්මශාස්ත්රඥයන් විසින් නිරාකරණය කිරීමට පොරබැද ඇති උභතෝකෝටික ප්‍රශ්නයක් වන්නේය.
පොදු යුගයේ හයවන සියවසේදී, පළමු ග්‍රෙගරි පාප් තර්ක කළේ, මරණයේදී ආත්මයන් සිය ඉරණමේ ස්ථානයට විගස යන බවය. මළවුන්ට සිය අවසාන විපාකය විනිශ්චය දවසේදී ලැබෙන බව 14වන සියවසේ විසිදෙවන ජුවාම් පාප් ඒත්තුගෙන සිටියේය. කෙසේවෙතත්, දොළොස්වන බෙනඩික්ට් පාප්, සිය පූර්වගාමියෙකුගේ අදහස බිඳහෙළීය. බෙනඩික්ටුස් ඩෙඋස් (1336), නමැති පාප් නියෝග පත්‍රයේ, “මරණින් පසු වහාම, අභාවයට පත්වූවන්ගේ ආත්ම, දිව්‍ය සැපතේ [ස්වර්ගය], පවිත්‍ර කිරීමේ [ශුද්ධගිනිස්ථානය], ශාප ලැබීමේ [නිරය] තත්වයකට පිවිසෙන බවත්, ලෝකාන්තිමයේදී ඔවුන් සිය නැවතනැගිටුවන ලද ශරීර සමඟ නැවත එක්වනු ඇති බවත්” හේ නියෝග කළේය.
මතභේද සහ වාදවිවාද තිබුණත්, රෙපරමාදු සහ ඔර්තඩොක්ස් සභා සාමාන්‍යයෙන් ශුද්ධගිනිස්ථානය ගැන විශ්වාස නොකළත්, සියවස් ගණනාවකට මෙය ක්‍රිස්තියානි ලෝකයේ සභාවල ස්ථාවරය වී තිබේ. කෙසේවෙතත්, පසුගිය සියවසේ අවසානය සිට, විශාරදයෝ වැඩිවන සංඛ්‍යාවක්, බයිබලයට පටහැනි ආත්මයේ අමරණීයත්වය පිළිබඳ ධර්මයේ මූලාරම්භය වෙත අවධානය යොමු කර ඇත, තවද එහි ප්‍රතිඵලයක් වශයෙන්, “මිනිසා මරණයේදී සහමුලින්ම අන්තර්ධාන වන ඒකාග්‍රතාවක් ලෙස කල්පනා කිරීමට නූතන දේවවාදය බොහෝ දුරට වෑයම් කරයි.” (දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන්) එමනිසා, “අතරමැදි අවස්ථාවක්” පැවතීම යුක්තිසහගත බව පෙන්නුම් කිරීම දුෂ්කර බව බයිබල් ටීකාකරුවන්ට පෙනීගොස් තිබේ. බයිබලය මේ ගැන යමක් පවසයිද, නැතහොත් එය මීට වෙනස් බලාපොරොත්තුවක් ඉදිරිපත් කරයිද?
පාවුල් “අතරමැදි අවස්ථාවක්” විශ්වාස කළේද?
කැටකිසම් ඔෆ් ද කැතලික් චර්ච් මෙසේ පවසයි: “ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගිටිනු ලැබීමට නම්, අපි ක්‍රිස්තුස්වහන්සේ සමඟ මිය යා යුත්තෙමු: අපි ‘ශරීරය නමැති නිවාසයෙන් ඈත් වී ස්වාමීන් වහන්සේ තුළ වි[සිය]’ යුත්තෙමු. [2 කොරින්ති 5:8] මරණය වන එම ‘තුරන් වීමේදී’ ආත්මය ශරීරයෙන් වෙන් කරනු ලැබේ. [පිලිප්පි 1:23] ශරීරය සමඟ එය නැවත එකතු කරනු ලබන්නේ, මළවුන් නැවතනැගිටුවනු ලබන දවසේදීය.” එහෙත් මෙහිදී උපුටා දක්වන ලද පාඨවලදී, ආත්මය ශරීරයේ මරණයෙන් බේරී පැවත, ශරීරය සමඟ නැවත එකතු වන තෙක් “අන්තිම විනිශ්චය” දක්වා බලාසිටින බව ප්‍රේරිත පාවුල් පවසා සිටීද?
දෙවන කොරින්ති 5:1දී, පාවුල් සිය මරණය ගැන සඳහන් කොට, “කඩාවැටුණා[වූ]” “භූමික ගෙය[ක්]” ගැන කතා කරයි. අමරණීය ආත්මය මගින් අත්හරින ලද ශරීරය ගැන ඔහු කල්පනා කරමින් සිටියෙහිද? නැත. පාවුල් විශ්වාස කළේ මිනිසා ආත්මයක් වන බවය, ඔහුට ආත්මයක් තිබෙන බව නොවේ. (උත්පත්ති 2:7; 1 කොරින්ති 15:45) පාවුල් වනාහි ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානි භක්තියෙක් වූ අතර, සිය පළමු සියවසේ සහෝදරයන් මෙන් ඔහුගේ බලාපොරොත්තුව ‘ස්වර්ගයෙහි තබා තිබුණේය.’ (කොලොස්සි 1:3ආ, 5; රෝම 8:14-18) එමනිසා, ඔහුගේ ‘උනන්දුමත් ආශාව’ වූයේ, අමරණීය ආත්ම ජීවියෙකු හැටියට දෙවියන්වහන්සේගේ නියම කරන ලද කාලයේදී ස්වර්ගයට නැවත නැගිටුවනු ලැබීමයි. (2 කොරින්ති 5:2-4) මෙම බලාපොරොත්තුව ගැන කතා කරමින් හෙතෙම මෙසේ ලීවේය: “අන්තිම හොරණෑව පිඹින කල . . . අපි සියල්ලෝම වෙනස්කරනු ලබන්නෙමුව. මක්නිසාද හොරණෑව පිඹිනු ලබන්නේය, එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය, අපිද වෙනස්කරනු ලබන්නෙමුව.”—1 කොරින්ති 15:51, 52.
පාවුල්, 2 කොරින්ති 5:8හි මෙසේ පවසයි: “අපි ධෛර්යවත්ව, ශරීරයෙන් ඈත්ව ස්වාමීන්වහන්සේ සමඟ සිටින්ට වඩා කැමතිවෙමු.” මෙම වදන් බලාසිටීමේ අතරමැදි තත්වයකට යොමු දක්වන බව සමහරු විශ්වාස කරති. යේසුස්වහන්සේ සිය විශ්වාසවන්ත අනුගාමිකයන්ට දුන් පොරොන්දුවටද ඔවුහු යොමු දක්වති, එහිදී උන්වහන්සේ පොරොන්දු කළේ, ‘ඔවුන් තමන් ළඟට ගැනීම’ පිණිස උන්වහන්සේ ගොස් ස්ථානයක් පිළියෙළ කරන බවය. එහෙත් එවන් අපේක්ෂා සැබෑ වනු ඇත්තේ කවදාද? මෙය සිදුවනු ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ සිය අනාගත පැමිණසිටීමේදී ‘නැවත පැමිණි’ විට බව උන්වහන්සේ පැවසූසේක. (යොහන් 14:1-3) ඊට සමානව, 2 කොරින්ති 5:1-10දී, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පොදු බලාපොරොත්තුව, ස්වර්ගික වාසස්ථානයක් උරුම කරගැනීම බව පාවුල් පැවසුවේය. මෙය සිදුවනු ඇත්තේ, යම් උපකල්පිත ආත්මයේ අමරණීයත්වයක් තුළින් නොව, නමුත් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණසිටීම අතරතුර නැවතනැගිටීමක් තුළදීය. (1 කොරින්ති 15:23, 42-44) අර්ථ විචාරක ෂාල් මාසොන් නිගමනය කරන පරිදි, 2 කොරින්ති 5:1-10 “ ‘අතරමැදි අවස්ථාවක්’ පිළිබඳ උපන්‍යාසයේ පිහිට පතන්නේ නැතිව හොඳින් තේරුම්ගත හැක.”
පිලිප්පි 1:21, 23දී, පාවුල් මෙසේ පවසයි: “මාගේ ජීවත්වීම නම් ක්‍රිස්තුස්වහන්සේ (උදෙසා) ය, මරණයද මට ලාභයක්ය. නුමුත් මම මේ දෙක මැද හිරවී සිටිමි; මාගේ ආශාව නම් තුරන්ව ගොස් [මුදනු ලැබ, NW] ක්‍රිස්තුස්වහන්සේ සමඟ විසීමටය; මක්නිසාද ඒක බොහෝසෙයින් වඩා හොඳය.” මෙහිදී පාවුල් “අතරමැදි අවස්ථාවකට” යොමු දක්වයිද? සමහරු එසේ බවට සිතති. කෙසේවෙතත් පාවුල් පවසන්නේ ඔහු සිදුවිය හැකි දේවල් දෙකක් අතර හිරවී සිටි බවය—එනම් ජීවනය හෝ මරණයයි. එහෙත් “මාගේ ආශාව නම්,” විය හැකි තුන්වන දෙයක් සඳහන් කරමින්, හේ තවදුරටත් පැවසූ පරිදි, “තුරන්ව ගොස් [මුදනු ලැබ, NW] ක්‍රිස්තුස්වහන්සේ සමඟ විසීමටය.” මරණින් පසු විගස ක්‍රිස්තුස්වහන්සේ සමඟ සිටීම සඳහා ‘මුදනු ලැබීමක්ද’? හොඳයි, දැනට පැහැදිලි වී තිබෙන පරිදි, විශ්වාසවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන්, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණසිටීම අතරතුර නැවතනැගිටුවනු ලබන බව පාවුල් විශ්වාස කළේය. එමනිසා, ඔහුගේ සිහියේ තිබුණේ, එම කාලපරිච්ඡේදයේ සිදුවීම් විය යුතුයි.
පිලිප්පි 3:20, 21 සහ 1 තෙසලෝනික 4:16හි දක්නට ලැබෙන ඔහුගේ වදන්වලින් මෙය පැහැදිලි වේ. ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ පැමිණසිටීම තුළදී එවන් ‘මුදනු ලැබීමක්’ මගින්, දෙවියන්වහන්සේ පාවුල් සඳහා සූදානම් කළ විපාකය ඔහුට ලබාගැනීමට ඉඩකඩ සැලසෙනවා ඇත. තරුණ තිමෝති වෙත සිය වදන්වලින් පැහැදිලි වන්නේ මෙය ඔහුගේ බලාපොරොත්තුව වූ බවය: “මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ, එය ධර්මිෂ්ඨ විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ, උන්වහන්සේගේ ප්‍රකාශවීමට ආශාව සිටින්නාවූ සියල්ලන්ටද දෙනවා ඇත.”—2 තිමෝති 4:8.
නැවතනැගිටීම—විශිෂ්ට බයිබල් සත්‍යතාවකි
නැවතනැගිටීම ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණ සිටීම අතරතුරේදී ආරම්භ වනු ඇති සිද්ධියක් හැටියට මුල් ක්‍රිස්තියානීහු සැලකූහ, ඇරත් මෙම විශිෂ්ට බයිබල් සත්‍යතාවෙන් ඔවුහු ශක්තිය සහ සැනසීම ලැබූහ. (මතෙව් 24:3; යොහන් 5:28, 29; 11:24, 25; 1 කොරින්ති 15:19, 20; 1 තෙසලෝනික 4:13) එම අනාගතික ප්‍රීතිය සඳහා ඔවුහු විශ්වාසවන්තව බලාසිටිමින්, අමරණීය ආත්මයක් පිළිබඳ ඇදහිල්ල අත්හළ ඉගැන්වීම ප්‍රතික්ෂේප කළෝය.—ක්‍රියා 20:28-30; 2 තිමෝති 4:3, 4; 2 පේතෘස් 2:1-3.
නැවතනැගිටීම ස්වර්ගික බලාපොරොත්තුවක් ඇති ක්‍රිස්තියානීන්ට සීමා නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. (1 පේතෘස් 1:3-5) පොළොව මත ජීවිතයකට යළි මළවුන් ජීවත් කරවීමට යෙහෝවඃවහන්සේ සතු හැකියාව කෙරෙහි, කුලදෙටුවෝ හා දෙවියන්වහන්සේගේ වෙනත් ඉපැරණි සේවකයෝ ඇදහිල්ල දැක්වූහ. (යෝබ් 14:14, 15; දානියෙල් 12:2; ලූක් 20:37, 38; හෙබ්‍රෙව් 11:19, 35) “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක්” සිදුවන බැවින්, ගතවූ සියවස් ගණනාව පුරා දෙවියන්වහන්සේ ගැන කිසිදු දැනුමක් නොතිබූ බිලියන ගණන් අයට පවා, භූමික පාරාදීසයක් මත යළි ජීවත්වීමට ප්‍රස්තාව ලැබෙනවා ඇත. (ක්‍රියා 24:15; ලූක් 23:42, 43) මෙය හැඟීම් දනවන අපේක්ෂාවක් නොවේද?
දුක්විඳීම සහ මරණය හැමදාටම පවතින දේවල් බව විශ්වාස කිරීමට සලසනවා වෙනුවට, “අන්තිම සතුරා නම් මරණය” සදාකාලයට තුරන් වී, විශ්වාසවන්ත මිනිස් සංහතියට, පාරාදීසයක් දක්වා යළි පිහිටුවා ඇති පොළොවක සදාකාලයටම ජීවත්වීම කෙරෙහි යෙහෝවඃවහන්සේ අවධානය යොමු කරනසේක. (1 කොරින්ති 15:26; යොහන් 3:16; 2 පේතෘස් 3:13) අප ප්‍රේම කරන අය යළි ජීවත්වනවා දැකීම මොනතරම් විස්මයජනක යමක් වනු ඇත්ද! දෙවියන්වහන්සේගේ වචනය මත නොව, නමුත් ග්‍රීක දර්ශනවාදය මත පදනම් ධර්මයක් වන, කල්පිත වූ මනුෂ්‍ය ආත්මයේ අමරණීයත්වයට වඩා, මෙය මොනතරම් වඩාත් හොඳ ස්ථිරසාර බලාපොරොත්තුවක් ද! දෙවියන්වහන්සේගේ ස්ථිරසාර පොරොන්දුව මත ඔබ ඔබගේ බලාපොරොත්තුව පදනම් කරගන්නෙහි නම්, “මරණය තවත් නොවන්නේය” යන්න ගැන ඔබටත් සහතික විය හැක!—එළිදරව් 21:3-5.
[31වන පිටුවේ පින්තූරය]
නැවතනැගිටීම විශිෂ්ට බයිබල් සත්‍යතාවකි