සමාරම්භය
යම් ගොඩනැගිල්ලක්, විධිවිධානයක් හෝ ස්ථානයක් ගම්භීර උත්සව සමඟින් ඇරඹීමකි. “සමාරම්භ කිරීම” හෙබ්‍රෙව් ක්‍රියාපදය වන ච·නාඛ්ʹ (නාමපද රූපය, චනුක්·ඛාʹ) හා ග්‍රීක් ක්‍රියාපදය වන එන්·කයි·නිʹට්සෝ යන පදයෙන් පරිවර්තනය කර ඇති අතර, මූලික වශයෙන්ම ඉන් අදහස් වන්නේ, කැපකිරීමක් තුළින් කරන්නාක් මෙන් “අලුත් කිරීම හෝ අලුතෙන් හඳුන්වාදීම” වේ. කැපකිරීමේ ශුද්ධ ලකුණ වන නීʹසර් යන හෙබ්‍රෙව් වචනය කැපකිරීම යන විෂය යටතේ සලකාබැලේ.
මෝසෙස්ගේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමට පටන්ගත් කල, සත්ව පූජා සහ පූජාසනය මත, පොත මත සහ ජනයා මත ලේ ඉසීම ඇතුළත් සුදුසු උත්සව මගින් එය ගම්භීර ලෙස ඇරඹිණ. ප්‍රේරිත පාවුල් විසින් මෙම සිද්ධිය දක්වන ලද්දේ එම ගිවිසුම සමාරම්භ කිරීමේ ක්‍රියාව වශයෙනි.—නික් 24:4-8; හෙබ්‍රෙ 9:18-20.
“එහෙයින් පළමුවෙනි ගිවිසුමවත් ලේ නැතුව පිහිටුවනු [සමාරම්භ කරනු, NW] [ග්‍රීක් බසින්, එන්·කයි·නිʹට්සෝ] නොලැබුවේය” (හෙබ්‍රෙ 9:18) යන්නෙන් ඔහු අඟවන්නේ, නව ගිවිසුම එලෙසම ක්‍රියාත්මක වීමට සැලසූ බවය—එනම් යේසුස්වහන්සේගේ මරණය, නැවත නැගිටීම සහ ස්වර්ගාරෝහණය වීම මගින් එය සමාරම්භ වූ බවය. එහිදී යේසුස්වහන්සේ සිය මිනිස් ජීවිතයේ වටිනාකම ඉදිරිපත් කර, එහි සිට සිය ගෝලයන් මත ශුද්ධාත්මය වැගිරූසේක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආත්මාකාරයෙන් නැවත නැගිටුණු බැවින්, යෙහෝවඃවහන්සේගේ අභිමුඛයේ ස්වර්ගය වන සැබෑ “ශුද්ධස්ථානය” තුළට, ඇත්තෙන්ම උන්වහන්සේට ඇතුළු වීමට හැකි වූ අතර, උන්වහන්සේගේ මිදීමේ මිල පූජාව මගින් තම ආලේප ලත් අනුගාමිකයන්ටද ස්වර්ගයට ඇතුළු වීමට හැකි කරවිය. මෙබැවින් උන්වහන්සේ ස්වර්ගයට යෑමට මාර්ගය හඳුන්වා දුන් බව නැතහොත් සමාරම්භ කළ බව පැවසිය හැකි අතර, ඉන්පසු අන්‍යයන් විසින් එම සැපයුමෙන් ප්‍රයෝජනගනු ලබනවා ඇත.—හෙබ්‍රෙ 10:19, 20.
පාළුකරයේදී පූජාසන මණ්ඩපය සමාරම්භයේදී ගෝත්‍රික අධිපතීන් විසින් පූජා ඔප්පු කිරීමේ ගම්භීර උත්සව සම්බන්ධයෙන්ද අපට කියවන්ට තිබේ. (ගණන් 7:10, 11, 84-88) සාලමොන්ගේ දේවමාළිගාවේ සහ එහිදී, දෙවියන්වහන්සේගේ උතුම් පූජාසනයේ සමාරම්භය සඳහා විශේෂ එක්රැස්වීමක් පැවැත්විණ.—1 රාජා 8:63; 2ලේක 7:5, 9.
බබිලෝනියෙන් පිටවීමෙන් පසු සෙරුබ්බාබෙල් යටතේ දේවමාළිගාව යළි ගොඩනැගූ විට, සත්වයන් සිය ගණනක් පූජා කරන ලද සමාරම්භයේ ගම්භීර උත්සව පැවැත්විණ. (එස්රා 6:16, 17) පසුව, යළි ගොඩනැගූ යෙරුසලම වටා, නෙහෙමියාගේ මඟ පෙන්වීම යටතේ තාප්ප ප්‍රතිසංස්කරණය කරනු ලැබූ අතර, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරමින් ස්තුතිදීමේ විශාල සංගීත කණ්ඩායම් දෙකක් සහිතව, නැවතත් පුළුල් ලෙස සමාරම්භක උත්සවයක් පැවැත්විණ.—නෙහෙ 12:27-43.
හැඟීම් දනවන මෙම සමාරම්භක උත්සවවලට අමතරව, මිනිසෙකු තම නිවස සමාරම්භ කිරීම හෝ ගෙවදීම ගැන අපට කියවන්ට තිබෙන අතර (ද්වි 20:5), දාවිත්ගේ 30වන ගීතිකාවේ ශීර්ෂ පාඨය එය හඳුන්වන්නේ “ගෘහය කැපකිරීමේ ගීතිකාව,” වශයෙනි.
නෙබුකද්නෙශර් දූරා සමභූමියෙහි විශාල රන් රූපය ඉදි කළ විට, ඔහු දිසාපතීන්ද, අධිපතීන්ද, ආණ්ඩුකාරයන්ද, විනිශ්චයකාරයන්ද, භාණ්ඩාගාරිකයන්ද, මන්ත්‍රීවරුන්ද, නීතිඥයන්ද, පළාත්වල සියලු මුලාදෑනියන්ද, සමාරම්භයේ හැඟීම් දනවන උත්සව සඳහා රැස් කෙරෙවුවේය. මෙලෙස නෙබුකද්නෙශර් බලාපොරොත්තු වූයේ ඔහුගේ සියලු යටත්වැසියන් නමස්කාරයෙහි එක්සත් කිරීමටය. මෙම කටයුත්ත ඉදිරියේ පෙනී සිටි තරුණ හෙබ්‍රෙව්වරු තිදෙනා, මෙම ජාතික ආගමට සහභාගිවීමෙන් යෙහෝවඃවහන්සේට දෙන තම නමස්කාරය පාවාදීම ප්‍රතික්ෂේප කළහ.—දානි 3:1-30.
අදදින දක්වා යුදෙව්වරු, දෙසැම්බර් මාසයේදී ඔවුන් විසින් හනුක්කා ලෙස හඳුන්වනු ලබන උත්සවය වාර්ෂිකව පවත්වති. මෙය පැවැත්වූයේ එපිෆනීස් නම් ලත් IVවන ඇනිටියොකස් විසින් දේවමාළිගාව දූෂණය කළ පසු, පො.යු.පෙ. 165දී ජූඩස් මැකබීස් විසින් එය පිරිසිදු කිරීමෙන් පසුව පැවැත්වූ මංගල්‍යයේ සමාරම්භය (හෙබ්‍රෙ., චනුක්·ඛාʹ) සිහිකිරීම සම්බන්ධයෙනි.—යොහ 10:22; ෆෙස්ටිවල් ඔෆ් ඩෙඩිකේෂන් [කැපකිරීමේ මංගල්‍යය] බලන්න. it-1 p1194