ඩොමිනිකානු සමූහාණ්ඩුව—සොයාගැනීමට තවමත් විවෘතව තිබේ
යෞවන පුරුෂයෙකු වශයෙන්, ක්‍රිස්ටෝපර් කොලොම්බස් පටන්ගත් සමුද්‍ර ජීවිතය අවසානයේදී, අදදින බටහිර ඉන්දීය කොදෙව් යනුවෙන් හැඳින්වෙන දූපත් සොයාගැනීමට ඔහුට මඟ පෙන්වූයේය. වර්ෂ 1492 දෙසැම්බර් මාසයේ, සාන්ටා මාරියා නම් වූ ඔහුගේ ප්‍රධාන නෞකාව, හෙයිටි සහ ඩොමිනිකානු සමූහාණ්ඩුව හවුලේ හිමිකම් කියන, එනම් අදදින හිස්පැනියෝලා දූපත ලෙස හැඳින්වෙන එස්පඥෝලා නම් වූ දූපතේ නැගෙනහිර මුහුදු තීරයේ හිරවිණි. කොලොම්බස් එහි පළමු යුරෝපීය ජනාවාසය පිහිටුවා, විගස කොටුවක් තනා එය ලා නාවිඩැඩ් යනුවෙන් නම් තැබීය. ඔහු තවදුරටත් කළ ගවේෂණවල කේන්ද්‍රස්ථානය වූයේ මෙම දූපතයි.
කඩවසම්, විශ්වසනීය, සංග්‍රහශීලී ටයිනෝ ඉන්දියානුවන්ගෙන් මෙම දූපත ජනාවාස වී ඇති බව කොලොම්බස් සොයාගත්තේය. එම වකවානුවේදී ඔවුන්ගෙන් 1,00,000ක් පමණ එහි විය. කෙසේවෙතත්, රත්රන් සෙවීම තම මූලික පරමාර්ථය කරගත් ආක්රමණිකයන්ගේ දැඩි කුරිරු සැලකිලි යටතේ, මෙම මුල් ජනගහනය ඉතා වේගයෙන් මැකීයන්ට විය. වර්ෂ 1570 වන විට, වාර්තා අනුව, එහි ඉතිරි වී සිටියේ ටයිනෝ ඉන්දියානුවන්ගෙන් 500දෙනෙකු පමණි.
අදදින, ඩොමිනිකානු සමූහාණ්ඩුව බොහෝ වර්ග හා හමේ පාටවලට අයත් ජනයාගෙන් ජනාවාස වී ඇති අතර, ඔවුන්ගේ මුතුන්මිත්තෝ මෙහි ආ සංක්රමණිකයෝ වූහ. කෙසේවෙතත්, ඔවුන්ට ටයිනෝ වැසියන්ගේ කදිම ගතිලක්ෂණ බොහොමයක් තිබෙන අතර, මූලික වශයෙන් ඔවුන් ඉතා මිත්‍රශීලි සුහද ජනතාවකි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය හා බයිබලය කෙරෙහි ඇති ගෞරවය මේ සමඟ මුසුවීම නිසා, මේ රටේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වැඩකටයුතු ඉතා කැපීපෙනෙන අයුරින් සාර්ථක වී ඇත.
තවත් ආකාරයක සොයාගැනීමක්
පළමු වොච් ටවර් මිෂනාරිවරු වූ, ලෙනට් සහ වර්ජීනියා ජොන්සන්, ටෘහිල්යෝ නම් වූ ඒකාධිපතියාගේ යුගයේදී ඩොමිනිකානු සමූහාණ්ඩුව කරා ළඟාවූහ. ඉතා විගස තම බයිබල් පණිවුඩයට ඒකාන්ත ලෙස ප්‍රතිචාර දැක්වූ බොහෝදෙනෙකුව සොයාගැනීමට ලැබීම ඔවුන්ට ඉමහත් සතුටක් විය. කෙසේවෙතත්, මෙය අධිකාරීන්ගේ සහ ඔවුන්ගේ ආගමික උපදේශකයන්ගේ සතුටට හේතුවූයේ නැත. ඉතා ඉක්මනින්ම පීඩාවේ රැල්ලක් හඹා ගිය අතර, එම මුල් කාලයේ ඩොමිනිකානු සාක්ෂිකරුවන්ගේ ඇදහිල්ල දැඩි පරීක්ෂණයට භාජන විණි. අද දක්වා ඔවුන්ගේ පක්ෂපාතකම මෙන්ම මරණය දක්වා පවා ඔවුන්ගේ ඇදහිල්ල ගැන බොහෝසෙයින් කථාබහ කරනු ලැබේ.
එම රටේ දැනට 16,000ක් පමණ වන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඉතා ප්රකටය. මීට ටික කලකට පෙර, ජාතික රූපවාහිනී මධ්‍යස්ථාන පහක්, ජෙහෝවා’ස් විට්නසස්—දි ඕගර්නයිසේෂන් බිහයින්ඩ් ද නේම්a වීඩියෝ පටය විකාශ කළේය.
මෙය විශාල නගරවල පමණක් නොව, කුඩා නගර හා ඇතැම් පිටිසරබද ප්‍රදේශවලට පවා සාක්ෂිකරුවන්ගේ වැඩවලට ඉමහත් ප්‍රසිද්ධියක් ලබා දුණි. ඊට රුකුල් දෙමින්, මෙම ඈත එපිට පළාත්වලට රාජ්‍යයේ ශුභාරංචිය ගෙනයෑම සඳහා ඔවුහු විශේෂ ප්රයත්න දියත් කළහ.
දැරූ වීර්යයට ලැබූ ආශීර්වාද
කඩිසර හා ජ්වලිත යෞවන සාක්ෂිකරුවෝ බොහෝදෙනෙක් මෙම ඈත එපිට බල ප්‍රදේශවල මාස දෙකක කාලයකට සේවය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණහ. ඔවුන්ගේ ප්‍රයත්නවලට මැනවින් විපාක ලැබිණි. එක් ප්‍රදේශයක, සාක්ෂිකරුවෝ දෙදෙනෙක් අසාමාන්‍ය උනන්දුවක් සොයාගත්හ. එය යේසුස්වහන්සේගේ මරණය වාර්ෂිකව සිහි කිරීම පැවැත්වීමට කාලය වූ බැවින්, ඔවුහු ඒ සඳහා කටයුතු පිළියෙළ කර ජනයාට ආරාධනා කළහ. ශාලාව ජනයාගෙන් පිරී ගිය අතර, ඔවුහු රැස්වීම පැවැත්වූහ. එය අවසන්වූ පසු, ශාලාව ඇතුළට ඒම සඳහා තවත් විශාල කණ්ඩායමක්, ශාලාව පිටත සිටි බව දැකගත් ඔවුහු මවිතවූහ. එවිට ඔවුහු ඔවුන්ව ඇතුළට ගෙන, ඔවුන් සඳහා තවත් වරක් එම වැඩසටහන පැවැත්වූහ. දැන් එම ප්‍රදේශයේ සභාවක් තිබේ.
මෙම ජනයා සතු ත්‍යාගශීලී, මිත්‍රශීලී ගතිපැවතුම් හේතුවෙන්, තමන් ඉගෙනගනිමින් සිටින බයිබල් සත්‍යතාවන් තමන්ගේ පවුලේ සාමාජිකයන් හා වෙනත් අය සමඟ බෙදාගැනීමට එය ඔවුන්ව පොලඹවයි. එක් බයිබල් ශිෂ්‍යයෙක්, ගෙයින් ගෙට දේව සේවයේ හවුල්වීමට අවසානයේදී සුදුසුකම් ලද විට, සතුටින් ඉපිල ගියේය. ඔහු එවිටමත් තම අසල්වාසීන් සමඟ බයිබල් පාඩම් පහක් පවත්වමින් සිටි නමුත්, තමාට දේව සේවය තුළ වඩාත් හවුල්වීමට ලැබීම ගැනද ඔහු සතුටු වූයේය.
රාජ්‍යය ප්‍රචාරකයන් විසින් නිතිපතා බැහැදකිනු නොලබන ප්‍රදේශ බොහොමයක් තිබෙන නිසා, බස්රථවලදී හෝ ව්‍යාපාර කටයුතු සඳහා නැතහොත් දේවල් මිල දී ගැනීම සඳහා, නගරවලට පැමිණෙන ජනයාට දේශනා කිරීමට ප්රයත්න දරනු ලැබේ. ශාඛා කාර්යාලයට ලැබුණු ලිපියක වූ අද්දැකීමකට අනුව, මෙය ඉතා සතුටුදායක ප්‍රතිඵලවලට මඟ පෙන්වා තිබේ. එය පිටිසර පෙදෙසක විසූ මිනිසුන් දෙදෙනෙකු විසින් බයිබල් පාඩමක් ඉල්ලා සිටීම හා සම්බන්ධ වූවකි. සාක්ෂිකරුවන් ඔවුන්ව බැහැදැකීමට ගිය අවස්ථාවේ, මෙම “මිනිසුන්” වයස අවුරුදු 10 සහ 11 අය වූ බව සොයාගැනිණ. එහෙත්, බයිබල් පාඩම් විධිවිධානය ගැන ඔවුන් දැනගත්තේ කෙසේද? එම ගමේ එක්තරා මිනිසෙක් ව්‍යාපාර කටයුතු සඳහා අගනුවරට පැමිණියේය. ඔහුට පාරේදී සාක්ෂිකරුවෙකු හමුවූ අතර, එම සාක්ෂිකරුවා ඔහුට පත්‍රිකාවක් ඉදිරිපත් කර, නොමිලේ බයිබල් පාඩමක් ලබාගත හැකි බව පැවසුවේය. ආපසු තම ගම කරා ගිය මිනිසා, එම පත්‍රිකාව අසල්වැසි 12 හැවිරිදි දැරියකට දී මෙම බයිබල් පාඩම් විධිවිධානය ගැන පැවසුවේය. අනතුරුව, මෙම ගැහැනු ළමයා මෙම තොරතුරු පිරිමි ළමුන් දෙදෙනාට පැවසූ අතර, ඔවුහු මේ සඳහා ලිපියක් ලිවීමට යුහුසුලු වූහ. මෙම පිරිමි ළමුන්, ගැහැනු ළමයා, එම මිනිසා සහ ඔහුගේ දරුවන් දෙදෙනා සමඟ බයිබල් පාඩමක් පටන්ගැනිණ.
යෞවනයන්ගේ කදිම ප්‍රතිචාරය
ඇත්තවශයෙන්ම, සත්‍යය තුළ හදාවඩා ගනු ලැබ ඇති යෞවනයන් මෙන්ම, එසේ නොවන යෞවනයන් යන දෙකොට්ඨාසයම දෙවියන්වහන්සේගේ නමස්කාරය බරපතළ ලෙස සැලකිල්ලටගෙන ඇති බවක් දක්නට ලැබේ. නිදසුනක් වශයෙන්, ටාමාර් සහ ඇගේ සහෝදරිය වන කේලා යන දෙදෙනාම වයස අවුරුදු 10දී බව්තීස්ම ලැබූ අතර, වයස 11වන විට පූර්ණකාලීන පුරෝගාමි දේව සේවයට ඇතුළත් වූහ. වයස අවුරුදු 12දී වෙන්ඩි කාරොලිනා ඇගේ කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළ අතර, අවුරුදු දෙකකට පසුව 1985දී ඈ ස්ථාවර පුරෝගාමි සේවය ආරම්භ කළාය. අදදින ඇය තවමත් පූර්ණකාලීන දේව සේවය භුක්ති විඳින, බලපෑමෙන් යුත් ගුරුවරියක් වී සිටින්නීය. යෞවන හොවානි වයස අවුරුදු 10දී බව්තීස්ම ලැබ අවුරුදු 11දී ස්ථාවර පුරෝගාමියෙකු වී, නිවාස බයිබල් පාඩම් හතරක් පවත්වමින් සිටී. දස අවුරුදු වියැති රේ, පාවිච්චි කරන ලද පොත් විකුණන තැනැත්තෙකු ළඟ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද පොත් පිංචයක් තිබෙනවා සොයාගත් විට, එය තමාට මිල දී රැගෙන දෙන ලෙස සිය මවට ඇවිටිලි කළේය. ඔහු එය මුළුමනින්ම කියෙව්වේය. ඔහු තවත් බයිබල් පොත් පත් ගැන විමසා බැලූ අතර, මෙසේ අවසානයේදී ශාඛා කාර්යාලය සමඟ සම්බන්ධ වීමට ඉන් මඟපෑදුණි. අදදින ඔහු පූර්ණකාලීන සේවය භුක්තිවිඳිමින් සිටින අතර, ඔහුගේ මවද දෙවියන්වහන්සේට සේවය කරමින් සිටින්නීය.
ආත්මික දේවල වටිනාකම අගය කිරීමට මේ අයට සහ වෙනත් යෞවනයන්ට උපකාරවත් වී ඇත්තේ කුමක්ද? බොහෝ අවස්ථාවන්හිදී, නිසි දෙමාපිය මඟ පෙන්වීම වැදගත් කාර්ය භාරයක් ඉටුකර තිබේ. පාසැල් ගුරුවරුන්ව සිටින හෝෂ්වාගේ ක්‍රිස්තියානි දෙමාපියන් සම්බන්ධයෙන් මෙය සැබෑවක් විය. තමන්ගේ එක් දරුවෙකුවත් පූර්ණ කාලීන දේව සේවයට යොමු කිරීමට උත්සාහ කරන මෙන්, එක් සංචාරක අවේක්ෂකයෙකු ක්‍රිස්තියානි දෙමාපියන්ට යෝජනා කළ විට, ඔවුහු හෝෂ්වා වෙත අවධානය යොමු කළහ. කැපීපෙනෙන ශිෂ්‍යයෙකු වූ හෝෂ්වාට ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ආණ්ඩුවේ ශිෂ්‍යත්වයක් ලැබිණි. විශ්වවිද්‍යාලයේ වසර එකහමාරක් ගත කිරීමෙන් පසු, ඩොමිනිකානු සමූහාණ්ඩුවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථාන සංකීර්ණ ගොඩනැගීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වන ලෙසට කරන ලද ආරාධනයක් හේ පිළිගත්තේය. තම පුත්‍රයා යෙහෝවඃවහන්සේගේ සේවයට දීමට ලැබීම ගැන ඔහුගේ දෙමාපියෝ ගැඹුරු තෘප්තියක් ප්‍රකාශ කර සිටියෝය.
වෙනත් රටවලින් “ගවේෂකයෝ”
“ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය” යන යේසුස්වහන්සේගේ වචන මෙහි ක්ෂේත්රයට සැබවින්ම අදාළ කළ හැක. (මතෙව් 9:37) මෙහි ඇති මහත් අවශ්‍යතාව සහ ලැබෙන කදිම ප්‍රතිචාරය නිසා, මෙම බල ප්‍රදේශය ගවේෂණය කරමින් සැබෑ නවීන දින නිධාන—එනම්, අවංක ලෙස සත්‍යය සොයන්නන්ව සෙවීමෙහිලා හවුල්වීමට වෙනත් රටවලින් සාක්ෂිකරුවෝ පෙලඹී සිටිති.
අසල්වැසි පුවටෝ රිකෝ දූපතෙන් පැමිණි සාක්ෂිකාර පවුල්, මෙම ඩොමිනිකානු සමූහාණ්ඩුවේ විවිධ ප්‍රදේශවල සේවය කිරීමෙහිලා සැබෑ තෘප්තියක් අද්දැක තිබේ. පවුල් මූලිකයෙක් මෙසේ කීවේය: “ඔබේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව අසන කන්වලට පැවසීම සැබවින්ම සත්‍යය ජීවමාන කරයි!” මෙහි ඇති අවශ්‍යතාව දැනගත් ස්වීඩනයේ සිසිල්යා සහ එක්සත් ජනපදවල නීයා, වෙනත් යෞවන පූර්ණකාලීන දේව සේවිකාවන් සමඟ මෙම වැඩකරුවන්ගේ හමුදාවන්ට සම්බන්ධ වූහ. ඔවුන් සේවය කරමින් සිටින්නේ, මුහුදු මට්ටමෙන් ඉතා උස්ව පිහිටි මෘදු දේශගුණයක් සහිත අභ්‍යන්තර ප්රදේශවලය. මේ හා සමානව, කේතුධර වනාන්තරවලින් වැසී ගිය කඳු සහිත පෙදෙසක, කැනේඩියානු පවුල් දෙකක්, එක්සත් ජනපදවලින් ආපසු පැමිණි ඩොමිනිකානු පවුලක් සමඟ හවුල් වූහ. ඔවුන් කුඩා සභාවක කොටසක් වන අතර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් වසර දහයකට පමණ බැහැදකිනු ලැබ නැති ජනයා වෙතට ළඟාවීමට ඔවුන්ට හැකි වී තිබේ.
ආල්ෆ්රෙඩෝ සහ ලූඩ්ස් සහ ඔවුන්ගේ දරුවන් පස්දෙනා, නිව්යෝර්ක් නගරයෙන් ආපසු පැමිණි අතර, අලංකාර සංචාරක මුහුදු වෙරළවල් සහිත නගරවලින් එකක පිහිටි සභාවක් හා සම්බන්ධ වී සිටිති. අවංක හදවත් ඇති අයව සෙවීමට හා සභාව වර්ධනය සඳහා උපකාර කිරීමේ හවුල්වීමට හැකිවීම ගැන, ඔවුහු සතුටු වෙති. ඕස්ට්‍රියාවේ සිට පැමිණි පරිගණක ක්‍රියාත්මක කරන්නෙක් වන රෝලන්ට් සහ ඔහුගේ බිරිඳ යූටා, මෙම රටේ දකුණු දිග් පෙදෙසේ උණුසුම්, වියළි පෙදෙසක පදිංචි වී සිටිති. තමන් පැමිණි පසු එහි නව සභාවක් බිහිවී තිබෙනවා දැකීම ඔවුන්ට සතුටකි. අසල්වැසි නගරයක, කැලිෆෝර්නියාවෙන් පැමිණි පුරෝගාමි සහෝදරියන් තිදෙනෙකුගේ කණ්ඩායමක් සහ එක්තරා යුවළක් වාර්තා කළේ, බයිබල් පාඩම් පැවැත්වීමට තමන්ට එතරම්ම ඉල්ලුමක් තිබූ බවත්, ඒ සියල්ල පැවැත්වීමට තමන්ට නොහැකි වූ බවත්ය. එමනිසා, ඔවුහු උනන්දුව දැක්වූ අයට ප්‍රදේශයේ රාජ්‍යය ශාලාවේ රැස්වීම්වලට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, එවිට බයිබල් පාඩම් පැවැත්වීම සඳහා ඔවුන්ගේ නාම, ප්‍රමුඛතා ලැයිස්තුවකට ඇතුළත් කළ හැකි වනු ඇත. යූටාගේ මල්ලි වූ ෂ්ටෙෆාන්, ඊසානදිග පෙදෙස්හි පිහිටි සාමානා නම් වූ ලස්සන නගරයේ කුඩා සභාවක විශ්වාසවන්තව සේවය කරමින් සිටී. වසර දෙකක් ඇතුළත, එහි රාජ්‍යය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව දෙගුණයක් වී තිබේ.
උපකාරය සඳහා පැමිණ ඇති මේ අය සහ තවත් අය විසින් නිරූපනය කර ඇති ප්‍රේමය සහ ජ්වලිතය සැබවින්ම ප්රශංසාකටයුතුය. අලුත් රටක වෙනස් සංස්කෘතිය හා සිරිත් විරිත් ඉගෙනගෙන ඊට සකස්වීම පමණක් නොව, බොහෝ අවස්ථාවන්හිදී මෙම බැටළුගුණැති ජනයාගේ ආත්මික අවශ්‍යතා සැපිරීම පිණිස අලුත් භාෂාවක් ඉගෙනීමේ අභියෝගයද මොවුහු භාරගෙන සිටිත්. ප්‍රදේශයේ ජනයාගේ ඒකාන්ත ප්‍රතිචාරයෙන් ඔවුන්ගේ ප්රයත්නයට සාර්ථක ප්‍රතිඵල අත්වී තිබේ.
ඇතැම් ඩොමිනිකානු පවුල්, විශාල නගරවල සැපපහසුකම් අතහැර පිටිසර බද පළාත් කරා ගොස් සිටිති. අවංකව සත්‍යය සොයන්නන්ගේ සැබෑ නිධාන හමුවීමේ ප්‍රීතිය මගින් සියලුදෙනාම මහඟු විපාක භුක්ති විඳිමින් සිටිති.
පහළොස්වන සියවසේ නිධාන සොයන්නන් මෙම මුල් ජනාවාස වූ ටයිනෝ ජනයාට ගෙන ආවේ ආශීර්වාද නොව, නමුත් වහල්භාවය සහ කිව නොහැකි තරම් වූ දුක්වේදනාය. කොලොම්බස් පවා තමා සොයාගත් නව ලෝකයේ නිධානවලින් ප්රයෝජනගත්තේ නැත. ඔහු අවසානයේදී අත්අඩංගුවටගනු ලැබ, ඔහු සොයාගත් දිවයිනෙන් ඉවත් කරනු ලැබ දම්වැල්වලින් බඳිනු ලැබ, ස්පාඤ්ඤය කරා යවන ලදි.
අදදින වෙනස් ආකාරයක ගවේෂණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, වඩාත් අනර්ඝ නිධානයක් හමුවෙමින් තිබේ. රාජ්‍යය ශුභාරංචියට ප්‍රතිචාරය දක්වන, අවංක හදවත් ඇත්තන් සොයමින්, යෙහෝවඃවහන්සේගේ ජනයා කාර්ය බහුලව ක්‍රියා කරමින් සිටිති. මෙහි ප්‍රතිඵලය නම්, කෙදිනකටත් වඩා වැඩිවෙමින් තිබෙන සමූහයක් දෙවියන්වහන්සේගේ වචනයට පමණක් ගෙන ආ හැකි, නිදහස භුක්ති විඳීමයි. (යොහන් 8:32) කඳුවලින්, අලංකාර දියඇලිවලින්, ලස්සන මුහුදු වෙරළවලින් සහ සිත්ගන්නා ගුහාවලින් සමන්විත මෙම දේශය හුදෙක් පාරාදීස දූපතක් බවට නොව, නමුත් මුළු පොළොව වසාගන්නාවූ නව ලෝකයක කොටසක් බවට පත්වන තෙක්, ඔවුහු බලා සිටිති.—2 පේතෘස් 3:13.
[පාදසටහන්වල]
a වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි මගින් නිපදවා ඇත.
[24වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ඩොමිනිකානු සමූහාණ්ඩුව
[24, 25වන පිටුවේ පින්තූර]
පූර්ණ-කාලීන සේවයේ යෙදීම මගින් යෞවනයෝ ආත්මික දේවල අගය සොයාගනිති