නිර්මාණශීලිත්වය—දෙවියන්වහන්සේගෙන් ලද නොමසුරු දීමනාවකි
යෙහෝවඃවහන්සේ ස්වකීය මැවිල්ලේ කර්මාන්ත කෙරෙහි ප්‍රීතිමත් වනසේක. (ගීතාවලිය 104:31) මැවීමේ ක්‍රියාවෙන් උන්වහන්සේ ලබන මහත් තෘප්තිය, උත්පත්ති 1:31හි මෙසේ සඳහන්ව ඇත: “දෙවියන්වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය.”
යෙහෝවඃවහන්සේ මෙම ප්‍රීතිය තමන්ට පමණක් සීමා කරගත්තේ නැත. උන්වහන්සේ වෙනත් සියලු දෑ යේසුස්වහන්සේ තුළින් මැවීමෙන්, නියෝජිතයා නැතහොත් උපකරණය වීමේ වරප්‍රසාදය එතුමන්ට දානය කළසේක. (යොහන් 1:3; කොලොස්සි 1:16, 17) “ප්‍රධාන කර්මාන්තකාර[යෙක්]” හැටියට, යේසුස්වහන්සේ “[යෙහෝවඃවහන්සේ] ඉදිරියෙහි නිතර සන්තෝෂවෙමින්[ද]” සිටිසේක.—හිතෝපදේශ 8:30, 31.
එහෙත් නිර්මාණ හැකියාව පවතින්නේ ස්වර්ගයෙහි පමණක් නොවේ. “එය මනුෂ්‍යවර්ගයා තුළ තැන්පත් කර ඇත” යයි යූජීන් රවුඩ්සෙප්, හෞ ක්‍රියේටිව් ආර් යූ? නම් සිය පොතේ ලියයි. මෙය අහම්බෙන් සිදුවූවක් නොවේ, මන්දයත් මිනිසා දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් සාදනු ලැබූ බැවිනි. (උත්පත්ති 1:26) මෙසේ යෙහෝවඃවහන්සේ මිනිස්වර්ගයාට තෘප්තිය ගෙන දෙන නිර්මාණ හැකියාවන් ලබා දී ඇත.—යාකොබ් 1:17.
එබැවින්, බයිබලය ගායනා කිරීම, නැටීම, නූල් කැටීම, කෑම පිසීම, කැටයම් ශිල්පය හා වෙනත් නිර්මාණශීලී ව්‍යාපාර ගැන උසස් ලෙස කථා කිරීම, පුදුමයක් නොවේ. (නික්මයාම 35:25, 26; 1 සාමුවෙල් 8:13; 18:6, 7; 2 ලේකම් 2:13, 14) ශිල්පියෙකු වූ බෙශලෙල්, මණ්ඩපය ගොඩනැගීමෙහි සහාය වීමට “දක්ෂ කර්මාන්ත යෝජනා” කිරීමට සිය සමර්ථකම් පාවිච්චි කළේය. (නික්මයාම 31:3, 5) එමෙන්ම ගොපල්ලෙකු වූ යාබල් සංචාරක වාසය සඳහා, නිර්මාණාත්මක පහසුකමක් වන, කූඩාරම්වල නිමැවුම්කරුවා වන්ට ඇත. (උත්පත්ති 4:20) දාවිත් සංගීතඥයෙක් හා රචකයෙක් වූවා පමණක් නොව, අලුත් සංගීත උපකරණ සාදන්නෙක්ද විය. (2 ලේකම් 7:6; ගීතාවලිය 7:17; ආමොස් 6:5) රතු මුහුද තුළින් ඉශ්රායෙල්වරුන්ගේ පුදුමසහගත ගැළවීම වෙනුවෙන් පැවැත්වූ උත්සවයේ ප්‍රීතියෙන් කුල්මත් වූ නැටුමේ සැලැස්ම මීරියාම් සකස් කළා වන්ට පුළුවන.—නික්මයාම 15:20.
නිර්මාණශීලිත්වය බොහෝවිට සැබෑ නමස්කාරය පෙලඹවීමෙහිලා වාසියක් වන්නේය. යේසුස්වහන්සේ සිය පණිවුඩය ප්‍රකාශ කිරීමට උපමා හා නිදර්ශන යොදාගත්සේක. උන්වහන්සේගේ අනුගාමිකයන්ගෙන් සමානාකාරයෙන් ඉල්ලා සිටිනු ලබන්නේ “වචනයෙහිත් ඉගැන්වීමෙහිත් [වෙහෙස වී, NW] වැඩකරන” හැටියටය. (1 තිමෝති 5:17) එසේය, ඔවුන්ගේ දේශනා කටයුත්ත නිකම්ම සාමාන්‍ය ක්‍රියා පිළිවෙළක් නොවේය. එය වනාහි නිර්මාණශීලී ඉගැන්වීමේ ක්‍රම අවශ්‍ය කරවන කලාවකි. (කොලොස්සි 4:6) කෙනෙකුගේ දරුවන්ට උගන්වන විට, මෙය විශේෂාකාරයෙන් වැදගත් වේ.—ද්විතීය කථාව 6:6, 7; එපීස 6:4.
මෙසේ, මැවීම තමන්ට දානය කරන්නාවූ ප්‍රීතිය යෙහෝවඃවහන්සේ අන්‍යයන් සමඟ බෙදාගන්නාසේක. කොතරම් උදාර ත්‍යාගයක්ද!