කාරුණික වදනක් සතු බලය
“සිත්තැවුලට පත් හෘදයක්, කාරුණික වදනකට එය ප්‍රබෝධවත් කළ හැකි ආකාරය!”—හිතෝපදේශ 12:15, නොක්ස්.
ක්‍රිස්තියානීන් සිටින්නේ සහමුලින්ම විපත්වලින් ආරක්ෂා කරන ලද තත්ත්වයක නොවේය. කටයුතු කරන්ට දුෂ්කර වූ “අන්තරා සහිත කාලවල්” තුළ ජීවත් වන බැවින්, ඇතැම් අවස්ථාවන්හි ඔවුහු සිත්තැවුල් අද්දකිත්.—2 තිමෝති 3:1.
එවන් පීඩාවලින් වේදනා විඳින කල, ඉතා හිතවත් මිත්‍රයෙකුගෙන් කාරුණික වදනක් අසන්ට ලැබුණොත් එය කොතරම් ආශීර්වාදයක්ද! “[සැබෑ, NW] මිත්‍රයෙක් සැම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය” කියා බයිබලය පවසයි. (හිතෝපදේශ 17:17) විශ්වසනීය මනුෂ්‍යයෙකුව සිටි යෝබ් මෙයාකාර මිත්‍රයෙක් බවට නම් දරා සිටියේය. එලීපස් පවා ඔහු ගැන පැවසුවේ මෙසේය: “යමෙක් දුර්වලව හා වෙහෙසට පත්ව, පැකිඵණු විට, නුඹේ වදන් සිටගන්ට ඔහුට දිරිගැන්වීය.”—යෝබ් 4:4, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්.
කෙසේ වෙතත්, යෝබ්ටම දිරිගැන්වීමක් අවශ්‍යව තිබූ විට, එලීපස් හා ඔහුගේ මිත්‍රයන් පැවසුවේ කාරුණික වදන් නොවේය. ඔහුට යම් රහසිගත වරදක් තිබෙන්ට ඇතැයි අඟවමින්, ඔහුගේ අහේතුව වෙනුවෙන් ඔවුහු යෝබ්ට දොස් පැවරූහ. (යෝබ් 4:8) දි ඉන්ටර්ප්‍රිටර්’ස් බයිබල් මෙසේ ප්‍රකාශ කරයි: “යෝබ්ට අවශ්‍ය වන්නේ මනුෂ්‍ය හෘදයක අනුකම්පාවයි. ඔහුට ලැබෙන්නේ සහමුලින්ම ‘නිවැරදි’ හා සහමුලින්ම අලංකාරවත් ආගමික වාක්‍ය ඛණ්ඩ හා සදාචාරමය වශයෙන් වැදගැම්මකට නැති ප්‍රකාශයන් කීපයකි.” එලීපස් හා ඔහුගේ මිත්‍රයන්ගේ කථාවන් ඇසීමෙන් යෝබ් කොතරම් උමතුවට පත්ව සිටියේදයත්, ඔහු මෙසේ මොරගසන්ට පෙලඹුණේය: “නුඹලා කොපමණ කල් මාගේ ආත්මය වෙහෙසෙමින්, වචනවලින් මා පොඩිකරන්නහුද?”—යෝබ් 19:2.
කල්පනාවෙන් තොර, අකාරුණිකවූ අපගේ වදන් නිසා සිත් තැවුලෙන් මොරගසන්ට සෙසු දේව සේවකයෙකුට අප කිසි විටෙක නොසැලැස්විය යුතුය. (ද්විතීය කථාව 24:15 සසඳන්න.) බයිබල් හිතෝපදේශයක් මෙසේ අවවාද කරයි: “ඔබ පවසන දෙය ජීවිතයක් ආරක්ෂා හෝ විනාශ කළ හැකිය; එබැවින් ඔබගේ වදන්වල ප්‍රතිවිපාකය ඔබ පිළිගත යුතුය.”—හිතෝපදේශ 18:21, TEV.
කථාවේ බලය තේරුම් ගනිමින්, අපි ප්‍රේරිත පාවුල්ගේ ආදර්ශය අනුගමනය කරමු. මකිදෝනියේ සිටියදී, ඔහු “ඔවුන් බොහෝ සේ ධෛර්යවත් කොට, . . . පැමිණියේ ය.”—ක්‍රියා 20:2, නව අනුවාදය