බයිබලය—තේරුම් ගැනීමට අදහස් කළ පොතකි
ඇතැමෙක් විශ්වාස කරන්නේ බයිබලය වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අනුගමනය කළ යුතු පැහැදිලි දේව වචනය හැටියටයි. අන්‍යයන්හට, “බයිබලයේ පණිවුඩය බොහෝ දෙබිඩි තේරුම්වලින් යුත් යමක් වෙයි.” මෙසේ පවසනුයේ කැනඩාවේ විශාලතම රෙපරමාදු නිකාය සඳහාවූ සාමාජිකයන් 12දෙනෙකුගෙන් සමන්විත ශ්‍රද්ධාව හා දේවවේදය පිළිබඳ කමිටුවයි. එම එක්සත් සභාවේ, දේවගැති තැන්පත් ක්ලිෆර්ඩ් එලියට් නැමැත්තාට හැඟෙන්නේ ඇතැමෙකුට “බයිබලය දුරවබෝධ, අපුද්ගල හා අදාළ නොවූ තත්ත්වයට පත්වෙමින්” තිබෙන බවය.
එවන් දෘෂ්ටීන්, විෂයට අදාළ ඇතැම් ප්‍රශ්න මතු කරන අතර ඒවාට පිළිතුරු සැපයීම යෝග්‍ය වේ. මේවා අතර වැදගත්කමකින් යුක්ත වනුයේ, බයිබලය ලියනු ලැබුවේ මන්ද? එය තේරුම් ගැනීමට බැරි තරම් පමණ ඉක්මවා ව්‍යාකූල හා සංකීර්ණ තත්ත්වයක පවතීද? සාමාන්‍ය පුද්ගලයෙකුට එය තේරුම් ගත හැකිද? එම ශුද්ධලියවිලිවල අර්ථය වටහා ගැනීමට කෙනෙකුට කුමන උපකාරයක් අවශ්‍ය වන්නේද? එමෙන්ම මෙම කලබලකාරි කාලවල බයිබලය පිළිබඳ ඒකාන්ත දැනුමක් ඉතා වැදගත් වන්නේ මක්නිසාද?
බයිබලය ලියනු ලැබුවේ මන්ද?
දේව වචනය ඉගෙනීම මහෝත්තම දෙවිවූ, යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහය හා අනුමැතිය අත්කර ගන්නා අය සඳහා නිතර පූර්ව අවශ්‍යතාවක්ව පැවත තිබේ. ලේඛනගත දේව වචනය සාවධානව හා යාච්ඤාපූර්වකව සලකා බැලීමට දෛනික කටයුතුවලින් කාලය ලබා ගන්නා හැටියට, රජවරුන්, පූජකයන්, දෙමව්පියන්, පුරුෂයන්, කාන්තාවන් හා දරුවන්—දුප්පත් පොහොසත් යන දෙපිරිසටම—උපදෙස් දෙනු ලැබීය.—ද්විතීය කථාව 6:6, 7; 17:18-20; 31:9-12; නෙහෙමියා 8:8; ගීතාවලිය 1:1, 2; 119:7-11, 72, 98-100, 104, 142; හිතෝපදේශ 3:13-18.
උදාහරණයක් වශයෙන්, යෝෂුවාට දෙනු ලැබුවේ මෙවන් මඟ පෙන්වීමකි: “ඔබගේ නමස්කාරය තුළ ව්‍යවස්ථා පොත සෑම විටම කියවනු ලබන බවට ස්ථිර වන්න. එය දිවා රෑ පාඩම් කර එහි ලියා තිබෙන සියල්ලට ඔබ කීකරු වන බවට ස්ථිර වන්න. එවිට නුඹ සඵල වී සාර්ථක වෙනවා ඇත.” (යෝෂුවා 1:8, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්) දේව වචනය පිළිබඳ එවන් අධ්‍යයනයක් හා අදාළ කිරීමක් සිදු කිරීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ සඵලත්වය හා සන්තෝෂයයි. “සියලු මනුෂ්‍යයන්” ස්වකීය වචනය තේරුම් ගනු ඇතැයි පමණක් නොව, ජීවනයේ ත්‍යාගය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඊට කීකරු වනු ඇතැයිද යෙහෝවඃවහන්සේ අදහස් කළසේක.—1 තිමෝති 2:3, 4; යොහන් 17:3.
තේරුම් ගැනීමට සංකීර්ණ වැඩිද?
යේසුස්වහන්සේගේ ස්වර්ගාරෝහණයට පෙර, ප්‍රබල බයිබල් අධ්‍යාපන වැඩසටහනක් දිගටම ලෝක ව්‍යාප්තව ක්‍රියාත්මක වීම තමාට වුවමනා වූ බව උන්වහන්සේ පැහැදිලි කළසේක. (ක්‍රියා 1:8) බයිබලය තේරුම් ගැනීමට අදහස් කරනු ලැබූ බව උන්වහන්සේ දැන සිටිසේක. ස්වර්ගයෙහි හා පොළොවෙහි සියලු බලය යෙහෝවඃවහන්සේ තමන්ට දී ඇති බව පැහැදිලි කිරීමෙන් පසු, උන්වහන්සේ මෙම ඍජු ආඥාව නිකුත් කළසේක: “එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් [නැතහොත්, ශිෂ්‍යයන්] කරපල්ලා, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් [ශුද්ධාත්මයෙත්, NW] නාමයට ඔවුන් බව්තීස්මකරපල්ලා. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා.”—මතෙව් 28:19, 20.
බව්තීස්මයට පෙර, අලුත් ගෝලයන්ට යෙහෝවඃවහන්සේ, ස්වකීය පුත්‍රයා හා ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉගැන්විය යුතුව තිබුණි. මීට අමතරව, ක්‍රිස්තියානි දේවල පිළිවෙළ පිළිබඳ ව්‍යවස්ථාව තුළ ඔවුන්ට ඉගැන්වීමක් කළ යුතුව තිබුණි. (1 කොරින්ති 9:21; ගලාති 6:2) මෙම ප්‍රතිඵලය අත්කර ගනු පිණිස, යෝග්‍ය අය මුලින්ම බයිබලය යෙහෝවඃවහන්සේගෙන් බවත්, දෙවනුව එය තේරුම් ගැනීමට අදහස් කරනු ලැබූ බවත් විශ්වාස කළ යුතු විය.—මතෙව් 10:11-13.
බයිබලය තේරුම් ගැනීමට ඔබගේ පැත්තෙන් කුමක් අවශ්‍ය කෙරේද? ශුද්ධ ලියවිලි පැහැදිලි කර දීමට දේව පුත්‍රයා සුවිශේෂිත වෑයමක් දැරූසේක. ශුද්ධ ලියවිලි සැබෑ බවත්, යෙහෝවඃවහන්සේගේ ප්‍රකාශිත කැමැත්ත එහි අඩංගුව ඇති බවත් උන්වහන්සේ දැන සිටිසේක. (යොහන් 17:17) තමාගේ කාර්ය පැවරුම සම්බන්ධයෙන් යේසුස්වහන්සේ මෙසේ වදාළසේක: “මා ඉපදුණෙත් ලෝකය තුළට පැමිණියෙත් මෙම එක අරමුණ සඳහාය, එනම් සත්‍යය ගැන කථා කිරීමටයි. සත්‍යයට අයත් කවරෙක් නමුත් මට සවන්දෙන්නේය.” (යොහන් 18:37, TEV; ලූක් 4:43) යමක් වටහා ගන්නා හෘදයන් හා මනස් ඇතිව සිටි අයට ඉගැන්වීමෙන් යේසුස්වහන්සේ වැළකුණේ නැත. ලූක් 24:45හි, අපට මෙසේ පවසා තිබේ: “එවිට උන්වහන්සේ [ක්‍රිස්තුස් යේසුස්වහන්සේ] ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් [හෘද, NW]” පැහැදූසේක.
යේසුස්වහන්සේගේ දේව සේවය තුළ උන්වහන්සේ “මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහිද අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලද ගීතිකාවලද” අඩංගුව තිබූ කරුණුවලට යොමු දක්වා පැහැදිලි කරමින්, ලිඛිත වචනයෙන් නිදහසේ උපුටා දැක්වූසේක. (ලූක් 24:27, 44) ශුද්ධ ලියවිලි සම්බන්ධ උන්වහන්සේගේ පහදාදීම්වලට සවන් දුන් අය, අවබෝධයේ උන්වහන්සේගේ පැහැදිලිභාවයට මෙන්ම ඉගැන්වීමට තිබූ උන්වහන්සේගේ දක්ෂතාවයට ඇදී ගියහ. (මතෙව් 7:28, 29; මාර්ක් 1:22; ලූක් 4:32; 24:32) උන්වහන්සේහට ශුද්ධ ලියවිලි වනාහි පහසුවෙන් තේරුම් ගත හැකි පොතක් විය.
බයිබලය හා යේසුස්වහන්සේගේ අනුගාමිකයෝ
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුකරණය කරන්නෙකු වූ, ප්‍රේරිත පාවුල්, ශුද්ධ ලියවිලිවල අඩංගුව තිබූ කරුණු අන්‍යයන්ට ඉගැන්වීමට තිබූ අවශ්‍යතාව දුටුවේය. ඒවා තේරුම් ගැනීම අදහස් කරන ලද බව ඔහු පවා දැන සිටියේය. ඔහු ප්‍රසිද්ධියේ ඉගැන්වූයේත්, ශුද්ධ ලියවිලි තේරුම් ගැනීමට උනන්දුවූ අයගේ නිවාසවල නිසැකව ඒවා පැහැදිලි කළේත් ඒ නිසාය. පාවුල් මෙසේ පැවසූ විට, සිය තත්ත්වය පැහැදිලි කර සිටියේය: “ප්‍රසිද්ධයෙන්ද නුඹලාගේ නිවාසවලද මා දේශනා කිරීම හා ඉගැන්වීම කළ විට ඔබට උපකාරවත් වන්නාවූ කිසිවක් ප්‍රකාශ කිරීමෙන් මා නොවැළකී සිටි බව නුඹලා දන්නහුය.” (ක්‍රියා 20:20, TEV) තමාගේ සාකච්ඡාවන් තුළ, හෙතෙම යොමු දැක්වීම් ඇතිව සිය මූලික කරුණු පැහැදිලි හා සනාථ කරමින්, ශුද්ධ ලියවිලිවලින් තර්ක කළේය. (ක්‍රියා 17:2, 3) ඔහු උනන්දුව දැක්වූයේ ශුද්ධ ලියවිලිවල අර්ථය තේරුම් ගැනීමට අන්‍යයන්ට උපකාර කිරීම සම්බන්ධයෙනි.
යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයන් ඉගැන්වූ දෙය තේරුම් ගැනීමට ආශාවක් ඔබ තුළත් තිබෙනවාද? (1 පේතෘස් 2:3) පුරාතන බෙරීයයේ වැසියන් තුළ එවන් ආශාවක් තිබූ අතර ක්‍රිස්තුස්වහන්සේ ගැන ප්‍රේරිත පාවුල් ඔවුන්ට උගන්වමින් සිටි දෙය විශ්වාස කිරීමට ඔවුහු උත්සුක වූහ. එබැවින් ඔවුන්ව දිරිගන්වනු ලැබුවේ ශුද්ධ ලියවිලි දිනපතා අධ්‍යයනය කිරීමටත් එමගින් තමන් ඇසූ ශුභාරංචිය ඇත්ත වශයෙන්ම සත්‍යය වූ බව ස්ථිර කර ගන්නා හැටියටත්ය. ඔවුන්ගේ මනස් ඇහුම්කන් දෙන තත්ත්වයක තිබූ නිසා, “ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් . . . අදහාගත්තෝය.”—ක්‍රියා 17:11, 12.
බයිබලය තේරුම් ගැනීමට නම්, කෙනෙකුට හරි හෘද තත්ත්වයක්, එනම් ඉගෙන ගැනීමට අවංක ආශාවක් මෙන්ම ‘තමාගේ ආත්මික අවශ්‍යතාව ගැන සාවධානත්වයක්’ තිබිය යුතුය. (මතෙව් 5:3, NW) “ඔබවහන්සේ ඔවුන්ට උපමාවලින් කථාකරන්නේ මක්නිසාදැයි” යේසුස්වහන්සේගෙන් විමසනු ලැබූ විට, උන්වහන්සේ “ස්වර්ගරාජ්‍යයේ [පරිශුද්ධ, NW] රහස් දැනගැනීම නුඹලාට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත” යනුවෙන් පිළිතුරු දුන්සේක. උන්වහන්සේ ‘උපමාවලින් තමාගේ මුඛය අරින බවත්, සැඟවී තිබුණු කාරණා ප්‍රකාශ කරන බවත්’ පුරෝකථනය කර තිබුණි. (මතෙව් 13:10, 11, 35) එබැවින් යේසුස්වහන්සේ උපමාවලින් කථා කළේ උදාසීන හා කුතුහලයෙන් යුත් ශ්රාවකයාව අවංක විචාරන්නා වෙතින් වෙන් කිරීමටයි. එක් අවස්ථාවක යේසුස්වහන්සේගේ ගෝලයන් උන්වහන්සේ සමඟ ගෙයක් තුළට යමින් “කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරා දුන මැනව” යයි පැවසූ විට ඔවුහු සිය අවංකකම විදහා පෙන්වූහ.—මතෙව් 13:36.
අපත් බයිබලය තේරුම් ගැනීමට නම්, අපටත් උපකාරය අවශ්‍ය බව මෙයින් පැහැදිලි වේ. එක්සත් සභාවේ, දේවවේදය, ඇදහිල්ල හා සමස්ත සභා චාරිත්‍ර විධි පිළිබඳ ලේකම් තැන්පත් හැල්ලවෙලින් නම් පූජකවරයා කියා සිටියේ, “අපට බයිබලය අදහස් කරන දෙය හා එය තේරුම්ගනු හා අර්ථදක්වා ඇති ආකාරය පැහැදිලි කර ගැනීම වැදගත් වේ” යනුවෙනි. මෙය සියල්ලන්ම තේරුම් නොගත්තත්, සැබෑව වනුයේ අපට ස්වාධීනව බයිබලය තේරුම් ගත නොහැකි බවය. අපට උපකාරය අවශ්‍ය වේ.
කිනම් උපකාරයක් ලබා ගත හැකිව තිබේද?
නිරවුල් කිරීමක් අවශ්‍ය කරවන ඇතැම් ප්‍රහේලිකා සහිත කියමන්, ව්‍යාකූල කරවන ප්‍රශ්න හා ගැඹුරු ප්‍රකාශයන් බයිබලයේ ඇත. ඒවා වුවමනාවෙන්ම තෝරා ගැනීමට දුෂ්කර තත්ත්වයක පවතිනවා විය හැක, ඒවා ලියනු ලැබු අවස්ථාවේ දී තේරුම් ගැනීමට අදහස් නොකරන ලද අර්ථාන්විත සැසඳීම් ඒවායේ උපයෝගි කෙරෙනවා විය හැක. එහෙත් එයට යෙහෝවඃවහන්සේගේ අරමුණ ඇතුළත්ව තිබුණි. උදාහරණයක් වශයෙන්, “මෘගයාගේ ගණන” “හසිය හැට හයක්” බව එළිදරව් 13:18 පවසයි. “මෙහි ප්‍රඥාව ඇත්තේය” කියා එම වගන්තිය පවසතත්, එම සංඛ්‍යාවේ වැදගත්කම එය පැහැදිලි නොකරයි. කෙසේ වෙතත්, යෙහෝවඃවහන්සේ, ස්වකීය සංවිධානය තුළින්, තමන්වහන්සේගේ පක්ෂපාත සේවකයන්හට එය අදදින තේරුම් ගැනීමට අවකාශ සලසා ඇත. (“බයිබලය තේරුම් ගැනීමට මාධ්‍යය” නමැති කොටුව බලන්න.) “සැබෑවේ වචනය හරි ආකාර පහදා” දීමට අද්දැකීම් ලත් අයගේ සහාය ඇතිව ඔබටත් මෙම අවබෝධය ලබා ගත හැකිය.—2 තිමෝති 2:2, 15, 23-25; 4:2-5; හිතෝපදේශ 2:1-5.
රාජ්‍යයේ පණිවුඩයට දක්වන ප්‍රතිචාරය නැතහොත් ප්‍රතිචාරයේ ඌනතාව පෙන්වීමට ඇතැම් අවස්ථාවන්හි යේසුස්වහන්සේ උපමා යොදා ගත්සේක. මිත්‍රයන්ගෙන් හා ඥාතීන්ගෙන් ඇති වන විරුද්ධත්වයන් මගින් තමන් අධෛර්යට පත්වීම නිසා ඇතැම් අය ප්‍රගතියක් නොලබනු ඇතැයි උන්වහන්සේ ඇඟවූසේක. අන්‍යයන් ‘හිංසාවකට හෝ පීඩාවකට’ රාජ්‍යයේ පණිවුඩයට තිබෙන තමන්ගේ ඇගයීම විනාශ කිරීමට ඉඩ හරිනු ඇත. තවත් අය ශුභාරංචිය සඳහා තමන්ට තිබෙන කිනම් හෝ ප්‍රේමයක් අඳුරු කිරීමට, දෛනික ජීවිතයේ කාරණාවලට, එනම් ‘ලෝකය ගැන වෙහෙසීමට හා වස්තුවේ රැවටිලිකාරකමට’ ඉඩ හරිනු ඇත්තාහ. අනෙක් අතට, සන්තෝෂයෙන් අනුකූලතාව දක්වමින් අනර්ඝ වචනය ඇසීමටත් එහි අර්ථය වටහා ගැනීමටත් කැමැත්තෙන් සිටින අයද සිටිත්. ඔවුහු ක්‍රිස්තියානි ලෝකය තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යයි කියමින්, “කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගා(මින්)” සිටිති. මෙවන් අය යෙහෝවඃවහන්සේගේ මාර්ගවලින් උපදෙස් ලැබීමට කැමැත්තෙන් සිටින බැවින්, බයිබලයෙන් තමන් කියවන දේ තේරුම් ගැනීමටද කැමැත්තක් දක්වති.—මතෙව් 13:3-9, 18-23; එසකියෙල් 9:4; යෙසායා 2:2-4.
යෙහෝවඃවහන්සේගේ අරමුණු සම්බන්ධයෙන් පෞද්ගලික මට්ටමකින් තීක්ෂ්ණ බුද්ධියක් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින අයට, අවශ්‍ය කරන උපකාරය ලැබෙන බවට යෙහෝවඃවහන්සේ වගබලා ගන්නාසේක. මෙය පැහැදිලි කරනවා නම්, යෙරුසලමේ සිට ගමන් කරමින් සිටියදී යෙසායාගේ බයිබල් පොත සලකා බලමින් සිටි එතියෝපිය මනුෂ්‍යයෙකුට සහාය වීමට යෙහෝවඃවහන්සේගේ ආත්මය එවැන්ජලිස්තවරයෙක් වූ පිලිප්ව යොමු කළ බව බයිබලය වාර්තා කරයි. හැරී ගෙදර යමින් සිටියදී, හෙතෙම එය තමාගේ රථයේ කියවමින් සිටියේය. යෙහෝවඃවහන්සේගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට කීකරු වෙමින්, පිලිප් රථය ළඟට දිව ගොස්, ‘නුඹ කියවන දේ නුඹට තේරෙනවාද?’ කියා ඇසුවේය. තමාට උපකාරය අවශ්‍ය බව පිළිගැනීමට තරම් එම මනුෂ්‍යයා නිහතමානී හා අවංක විය. ආත්මික වශයෙන් සාගින්නෙන් හා ඉගැන්විය හැකි තත්ත්වයක සිටි මෙම පුද්ගලයාට පිලිප් සතුටින් ඉගැන්වීය. එම ඉගැන්වීම ශුද්ධ ලියවිලි තේරුම් ගැනීමට ඔහුට උපකාරවත් විය. සදාකාල ජීවිතය ලබා ගනු පිණිස යෙහෝවඃවහන්සේ සමඟ ප්‍රසන්න සම්බන්ධතාවක් භුක්ති විඳින්නට තමා මෙහිදී කළ යුතු දෙය ඔහු ඉගෙන ගත්තේය. ඔහු දෙවියන්වහන්සේට ප්‍රසන්න ජීවිතයක් හඹා ගිය, යෙහෝවඃවහන්සේගේ සන්තෝෂවත්, බව්තීස්මය ලද සේවකයෙක් වුණේය.—ක්‍රියා 8:26-39.
ඔබටත් ඔබගේ නිවසේ බයිබලයක් තිබිය හැකි අතර ඔබ එය වාර ගණනාවක් කියවා තිබෙන්ටද පුළුවන. එම අවංක, නිහතමානී එතියෝපිය මිනිසා අද්දුටු එම ගැටලුවම බොහෝ දුරට ඔබත් අද්දැක තිබෙන්නට පුළුවන. තමා කියවූ දෙය ඔහුට තේරුම් ගත නොහැකි විය. ඔහුට උපකාරය අවශ්‍ය වූ අතර යෙහෝවඃ දෙවියන්වහන්සේ කරුණාවෙන් සැපයූ උපකාරය පිළිගන්නට ඔහු මැලි නොවීය. දෙවියන්වහන්සේ සම්බන්ධයෙන් ස්වකීය වචනය වන, බයිබලයේ ලියා තිබෙන දේවල් තේරුම් ගැනීමට පිලිප් හා සමානව, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ඔබට උපකාර කිරීමට සතුටින් සිටිති. යෙහෝවඃවහන්සේ බයිබලය සැපයූ බවත් එය තේරුම් ගැනීමට අදහස් කරන ලද බවත් ඔවුහු දනිති.—1 කොරින්ති 2:10; එපීස 3:19; 2 පේතෘස් 3:16.
බයිබලය ඉතා වැදගත් වන්නේ මන්ද?
අප ජීවත් වෙමින් සිටින්නේ මනුෂ්‍ය ඉතිහාසයේ වඩාත්ම හදිසි කාලයේදීය. බයිබලය සඳහන් කරන්නේ එය “මෙම දේවල පිළිවෙළේ සමාප්තිය” හැටියටය. (මතෙව් 24:3, NW) බයිබලයේ අනාවැකිවල ඉටුවීමක් වශයෙන් වර්ෂ 1914 පටන් සිදුවෙමින් පවතින සිද්ධීන් පෙන්වනුයේ, දැන් ඉතා ඉක්මනින්ම දෙවියන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යය “සියලු රාජ්‍යවල් පොඩිකර නැති” කරනු ඇති බවය.—දානියෙල් 2:44, 45.
බයිබලයේ මතෙව් 24වන පරිච්ඡේදයේ, මාර්ක් 13වන පරිච්ඡේදයේ හා ලූක් 21වන පරිච්ඡේදයේ පුරෝකථනය කර ඇති දේවල් ඔබම කියවා බලන්න. එහි විස්තර කර ඇති සිද්ධීන් සමස්ත ලෝකයටම අදාළ වන බව ඔබ දකිනවා ඇත. ඒවාට—අන් සියලු යුද්ධවලට වඩා වෙනස්—ලෝක යුද්ධ අයත් වේ. පළමුවන ලෝක යුද්ධයේ පටන්, පුරෝකථනය කර ඇති ආහාර හිඟකම්, පොළෝකම්පා හා අසාමාන්‍ය නොපනත්කම් අපි අද්දැක ඇත්තෙමු. තවද ජාතීන් සිටින්නේ ලෝක විනාශය ඉතා ළඟදීම ඇත්තෙන්ම සිදුවන්ට යන බවට නොවරදින සංඥාවක් ඉදිරිපත් කරන්නාවූ බලවත් ප්‍රකාශයක් කිරීමට තදාසන්න අවධියකයි. මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් ලිව්වේ මෙසේය: “රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] දවස පැමි(ණේ) . . . සමාදානයය, අනතුරක් නැත කියා කියන විට . . . හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.” (1 තෙසලෝනික 5:2, 3) මෙහිදී නොගැළවෙන්නෝ කවරහුද? ‘දෙවියන්වහන්සේ නාඳුනන්නන් හා අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්’ යයි පාවුල් පැහැදිලි කරයි. (2 තෙසලෝනික 1:6-8, 10) එම සංයුක්ත ලකුණේ කොටසක් ඉටු කරනු ලැබීමට නියමිතව තිබුණේ, “රාජ්‍යයේ මේ ශුභාරංචිය . . . [ජනාවාස, NW] ලොව මුළුල්ලේ” දේශනා කිරීමට මතෙව් 24:14හි දී ඇති ආඥාවට කීකරු වන අය විසිනි.
මිලියන සංඛ්‍යාත යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් මුහුදේ රටවල් හා දූපත් 231ක් තුළ මෙම ආඥාව ඉටු කරනු ලැබේ. ඔවුහු ජනයාගේ නිවාසවලට යමින් යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය ආණ්ඩුව ගැන ඉගෙන ගන්නා හැටියට ඔවුන්ට පෞද්ගලිකව ආරාධනා කරති. මෙම දේවල පිළිවෙළින් ගැළවෙන්නන් අතර සිටින්ටත්, වැලපීම, හැඬීම, වේදනාව හෝ මරණය නොතිබෙන පාරාදීසයක් මත ජීවත් වන්ටත් එකිනෙකා ගත යුතු ක්‍රියාමාර්ගය ඔවුහු කාරුණිකව ගෙනහැර දක්වති.—එළිදරව් 21:3, 4.
මෙම දුෂ්ට ලෝකය සඳහා ඉතිරිව ඇති කාලය වේගයෙන් පහව යමින් පවතින අතර, මේ ලෝකයේ අවසානයෙන් බේරීමට කැමති සියල්ලන්ම ‘ශුභාරංචියට කීකරු වීම’ හා එලෙසින් විනාශයෙන් ගැළවීම සඳහා කළ යුතු දෙය ඉගෙන ගැනීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඔබගේ නිවසට පැමිණෙන මීළඟ වතාවේ, සතිපතා බයිබල් පාඩමක් කරන හැටියට ඔවුන් කරන ආරාධනාව පිළිනොගන්නේ මන්ද? ඊටත් වඩා හොඳ දෙය නම්, ඔබට බයිබලය තේරුම් ගැනීමට වුවමනාවක් තිබෙන නිසා, ඔබත් සමඟ බයිබලය පාඩම් කරන හැටියට ඔබම ඔවුන්ගෙන් නොඉල්ලන්නේ මන්ද?
[8වන පිටුවේ කොටුව]
බයිබලය තේරුම් ගැනීමට මාධ්‍යය
යේසුස්වහන්සේ සිය මරණයෙන් හා නැවත නැගිටීමෙන් පසු, සිය අදහස් ප්‍රකාශයේ මාධ්‍යය හැටියට සේවය කරනු ලබන “විශ්වාසවූ නුවණ ඇති දාස(යෙක්)” තමන් නැගිටුවන්නට යන බව අපට සහතික වූසේක. (මතෙව් 24:45-47) ප්‍රේරිත පාවුල් එපීසයේ ක්‍රිස්තියානීන්ට එම මාධ්‍යය හඳුන්වා දෙමින් ලිව්වේ මෙසේය: “අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ විසින් අභිප්‍රායකරනලද සදාකාල අභිප්‍රායේ [අරමුණේ, NW] ප්‍රකාරයට, . . . සභාව කරණකොටගෙන උන්වහන්සේගේ අනේකවිධ ප්‍රඥාව දැනගන්ට ලැබෙන පිණිසය.” (එපීස 3:10, 11) “එළිදරව්කර තිබෙන දේ” විශ්වාසයෙන් භාර කරනු ලැබුවේ, පො.යු. 33 පෙන්තකොස්තයේදී උත්පාදනය ලද ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ සභාවටය. (ද්විතීය කථාව 29:29) කණ්ඩායමක් වශයෙන්, විශ්වාසවූ නුවණ ඇති දාසයා ලෙස සේවය කරන්නේ ආලේප ලත් ක්‍රිස්තියානීන්ය. (ලූක් 12:42-44) දෙවියන්වහන්සේ විසින් ඔවුන්ට දී තිබෙන පැවරුම වනුයේ “එළිදරව්කර තිබෙන දේ” පිළිබඳව ආත්මික අවබෝධයක් ලබා දීමය.
බයිබලයේ අනාවැකි මෙසියස්වහන්සේ කෙරෙහි යොමු දක්වන්නාක් මෙන්ම, එය දැන් විශ්වාසවූ නුවණ ඇති දාසයා ලෙස සේවය කරන්නාවූ සමීප බැඳියාවකින් යුත් ආලේප ලත් ක්‍රිස්තියානි සාක්ෂිකරුවන්ගේ සමූහය වෙතටද අපව යොමු කරවයි.a එය අපට උපකාර කරන්නේ දේව වචනය තේරුම් ගැනීමටය. බයිබලය තේරුම් ගැනීමට කැමැත්තෙන් සිටින සියල්ලන්ම ‘දෙවියන්වහන්සේගේ අනේකවිධ ප්‍රඥාව’ දැනගත හැක්කේ යෙහෝවඃවහන්සේගේ මාධ්‍යය වන, විශ්වාසවූ නුවණ ඇති දාසයා තුළින් පමණක් බවට අගය කළ යුතුය.—යොහන් 6:68.
[පාදසටහන්වල]
a 1981, මාර්තු 1, ද වොච්ටවර් පිටු 24-30 සහ 1982 පෙබරවාරි 1, මුරටැඹ පිටු 13, 14 බලන්න.