න්‍යෂ්ටික තර්ජනය—ස්ථිරව ඉවත් කෙරේ!
දෙවියන්වහන්සේට වුවමනා වන්නේ මනුෂ්‍යවර්ගයා අස්වාභාවික භීතියකින් ජීවත්වනවා දකින්න නොවේ. “ශුභාන්විත [සන්තෝෂවත්, NW] දෙවියන්වහන්සේ” හැටියට, උන්වහන්සේට ඕනෑ කරන්නේ ඔවුන් සාමය භුක්ති විඳිමින් සුරක්ෂිතව ජීවත්වීමය—කෙටියෙන් කියතොත්, සන්තෝෂයෙන් සිටීමය. (1 තිමෝති 1:11) න්‍යෂ්ටික තර්ජනවලින් පිරි ලෝකයක, පැහැදිලිවම මෙවැන්නක් සිදුවිය නොහැකිය.
“සාමය හා සුරක්ෂිතභාවය”—බොරු මවාපෑමකි
න්‍යෂ්ටික තර්ජනය ස්ථිරවම ඉවත්ව ගොස් නැති බව පැහැදිලිය. කෙසේවෙතත්, දේශපාලන, ආර්ථික, හා සමාජමය නොසන්සුන්කමක් තිබියදීත්, ජාතීන් පොදුවේ සර්වශුභවාදී හැඟීමක් දරන බව පෙනෙන්නට ඇත. එක්සත් ජාතීන් විසින් 1986 ජාත්‍යන්තර සාම වර්ෂය හැටියට නම් කිරීමේ පටන් මෙම අන්තරාව නිෂ්ක්‍රිය කිරීමට බලවත් උත්සාහයක් දරා ඇති බව පෙනේ.
ද බුලටින් ඔෆ් දි ඇටමික් සයන්ටිස්ට්ස් නමැති සඟරාව ගතවූ දශකය තුළ ලෝක විනාශ අවස්ථාව පිළිබඳ එහි කාල මාපකය—එනම්, න්‍යෂ්ටික යුද්ධයක සම්භාවිතාව අඟවන එහි ක්‍රමය—නියමිත මොහොතට පෙර විනාඩි 3ක සිට නියමිත මොහොතට පෙර විනාඩි 17ක් දක්වා පස්සට ගෙනගොස් ඇත. ස්ටොක්හොල්ම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය 1989දී කියා සිටියේ, “IIවන ලෝක යුද්ධයේ නිමාවේ සිට, ගතවූ කාලයට වඩා සාමකාමීව යුද්ධ බේරුම් කිරීමට තිබෙන බලාපොරොත්තුව වඩාත් හොඳ තත්ත්වයක පවතින” බවය.
මෑත වර්ෂවල පටන් ජාත්‍යන්තර වශයෙන් විප්ලව ඇතිවන තැන් සමඟ ක්‍රියා කිරීමට එක්සත් ජාතීන්ව ශක්තිමත් කර ඇත. එහි සාර්ථකත්වය, පූර්ණ එකක් නොවුවද, පොදුවේ සර්වශුභවාදී ස්වභාවයක හැඟීමක් පැවතීම සඳහා දායක වීමට ප්‍රමාණවත් වී ඇත. අනාගතයේදී තවත් අමතර සාර්ථක ප්‍රතිඵල එමගින් අත්කර ගන්නට ඉඩ තිබේ. “සාමය හා සුරක්ෂිතභාවය” සඳහා මොරගැසීම් ඇතැම්විට තවත් වේගවත් මෙන්ම තවත් බලවත් වන්නට පුළුවන. ඒවා සමහරවිට පිළිගත හැකි තත්ත්වයකට පවා පාත්‍ර විය හැක.
එහෙත් පරෙස්සම් වන්න! “සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භිණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ, ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය” යයි බයිබලය අනතුරු අඟවයි. මෙසේ, “සාමය හා සුරක්ෂිතභාවය” සඳහා මොරගැසීම් “[න්‍යෂ්ටික හා වෙනත් ක්‍රමවලින් පරිසර දූෂණය කිරීම මගින්] පොළොව විනාශකරන්නවුන් විනාශකරන්(නට)” දෙවියන්වහන්සේගේ කාලය සලකුණු කරනු ඇත.—1 තෙසලෝනික 5:3, 4; එළිදරව් 11:18.
ජාතීන් “සාමය හා සුරක්ෂිතභාවය” අත්කර ගනු ඇතැයි බයිබලය නොපවසන බව සටහන් කර ගන්න. මෙතෙක් නොහැඟුණු ආකාරයකින් සර්වශුභවාදීත්වයක් හා ස්ථිර විශ්වාසයක් ප්‍රකාශ කරමින්, කැපී පෙනෙන ආකාරයකට ඔවුන් එය පිළිබඳව කථා කරමින් සිටිනු ඇත. සාමය හා සුරක්ෂිතභාවය අත්කර ගැනීමට තිබෙන හැකියාව පෙර කවර කලකටත් වඩා සමීප බවක් පෙනෙනු ඇත. දිගටම පවතින න්‍යෂ්ටික තර්ජනයක් තිබියදීත්, ජාතීන්ව සුරක්ෂිතභාවයේ බොරු හැඟීමක් තුළ නළවනු ලබනවා ඇත.
කෙසේවෙතත්, සැබෑ ක්‍රිස්තියානින් මුලා නොවනු ඇත. මනුෂ්‍ය සාමය හා සුරක්ෂිතභාවය ඉක්මවූ වඩාත් හොඳ යමක් දෙස ඔවුන් තියුණු උනන්දුවකින් බලා සිටිනු ඇත!
සැබෑවූ සාමය හා සුරක්ෂිතභාවය
ගීතාවලිය 4:8ට අනුව, සැබෑ සාමය හා සුරක්ෂිතභාවය ලබා ගත හැක්කේ යෙහෝවඃ දෙවියන්වහන්සේගේ විධිවිධානය තුළින් පමණකි. “මම සමාදානයෙන් වැදහෙව නිදන්නෙමි. මක්නිසාද ස්වාමිනි [අහෝ යෙහෝවඃවහන්ස, NW], ඔබ මා උදක්ම සුවසේ වාසයකරවනසේක.” තවද යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය විධිවිධානයට බාහිරව ප්‍රකාශ කරනු ලබන “සාමය හා සුරක්ෂිතභාවය” පිළිබඳ ඕනෑම මොරගැසීමක් බොරු ඇඟවීමක් පමණක් විය හැක. කල්පවතින යමක් ඊට අත්කරගත නොහැකිය.
ක්‍රිස්තුස්වහන්සේ තුළින්වූ දේව රාජ්‍යය අර්ධ විසඳුම් ලබා දෙන්නට යන්නේ නැත. දිව්යාණ්ඩුව න්‍යෂ්ටික අවි ප්‍රමාණය අඩු කරනවාට වඩා වැඩි යමක් කරනු ඇත; එය ඒවාත් අන් සියලු යුද අවිත් සහමුලින්ම ඉවත් කරනු ඇත. ගීතාවලිය 46:9හි මෙසේ පොරොන්දු වෙයි: “උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.”
සමානාකාරයෙන්, නිසිලෙස ක්‍රියාත්මක නොවන න්‍යෂ්ටික ප්රතික්රියාකාරකවලින් හෝ විකිරණශීලී අපද්‍රව්‍යවලින් උද්ගතවන න්‍යෂ්ටික තර්ජන අතීතයේ දේවල් බවට පත්වනු ඇත. එසේ නොවන්නේ නම් මෙම වදන් අසත්‍ය වනු ඇත: “ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] මුඛය එය වදාළේය.” දෙවියන්වහන්සේට බොරු කියන්නට නුපුළුවන. උන්වහන්සේගේ වදන් සැක කරන්නට අපට හේතුවක් නැත.—මීකා 4:4; තීතස් 1:1.
න්‍යෂ්ටික තර්ජනය සදාකාලයටම ඉවත් කරනු ලබන ලෝකයක ජීවත්වීමට තිබෙන අපේක්ෂාව පිළිබඳව ඔබ සතුටු වන්නෙහිද? දේව වචනය ඒ සඳහා අවශ්‍යතා පැහැදිලිව දක්වන බැවින්, ඔබට එසේ සතුටු විය හැකිය. ඒවා ගැන ඉගෙන ගැනීමෙනුත් ඒ අනුව ජීවත් වීමෙනුත් ඔබට යම් දිනක “න්‍යෂ්ටික තර්ජනය—ඇත්තෙන්ම එය නිමවී තිබේ!” යයි පවසමින් සැනසුම් සුසුමක් හෙළීමේ ප්‍රීතිය උදාවිය හැක.
[7වන පිටුවේ පින්තූරය]
කිසිම න්‍යෂ්ටික තර්ජනයක් නොමැතිව දෙවියන්වහන්සේගේ නව ලෝකය තුළ සාමය රජකරනු ඇත
[හිමිකම් විස්තර]
M. Thonig/H. Armstrong Roberts
[6වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
U.S. National Archives photo