ඔබගේ විවාහය කල්පවතින එක්වීමක් කරගන්න
“දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේ[වා].”—මතෙව් 19:6.
1. සැබෑ ක්‍රිස්තියානින් අතර අදදින විවාහයේ සාර්ථකත්වය සඳහා තිබෙන පදනම කුමක්ද?
යෙහෝවඃවහන්සේගේ සෙනඟ අතර දහස් සංඛ්‍යාත දෙනෙක් අදදින තෘප්තිමත් හා කල්පවතින විවාහයන් භුක්ති විඳිමින් සිටිත්. කෙසේවෙතත්, එවන් පුළුල්ව පැතිරුණු, සාර්ථකත්වයක් අහම්බෙන් සිදු විය හැකි බව කීම උගහටය. ක්‍රිස්තියානි විවාහයන් සමෘද්ධිමත් වන්නේ කලත්‍රයන් දෙදෙනාම (1) විවාහ බන්ධනය පිළිබඳව දෙවියන්වහන්සේගේ දෘෂ්ටියට ගෞරව කරමින් (2) උන්වහන්සේගේ වචනයේ ප්‍රතිපත්ති අනුව ජීවත් වීමට වෑයම් දරන විටය. ඒ මන්දයත්, විවාහ විධිවිධානය පිහිටෙව්වේ දෙවියන්වහන්සේමය. උන්වහන්සේ වනාහි ‘සෑම පවුලක්ම තම නම වෙනුවෙන් ණය ගැතිව සිටිය යුතු’ තැනැන්වහන්සේ වනසේක. (එපීස 3:14, 15, NW) විවාහයක් සාර්ථක කිරීමට කුමක් අවශ්‍යද යන්න යෙහෝවඃවහන්සේ දන්නා බැවින්, උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුගමනය කිරීමෙන් අප ප්‍රයෝජන අත්කර ගන්නේ අපටමය.—යෙසායා 48:17.
2. බයිබල් ප්‍රතිපත්ති විවාහයේ අදාළ කරගැනීමට අසමත්වීමේ ප්‍රතිඵල මොනවාද?
2 අනික් අතට, බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමට අසමත්වීමෙන් විපාකය විය හැක්කේ දුක්බර විවාහයකි. ඇතැම් ප්‍රවීණයන් විශ්වාස කරන්නේ අදදින එක්සත් ජනපදයේ විවාහ වන අයගෙන් තුනෙන් දෙකක් අවසානයේ දික්කසාදයක් ලබා ගන්නට යන බවයි. ක්‍රිස්තියානින් පවා සිටින්නේ “කටයුතු කිරීමට අසීරුවූ අර්බුදකාරි කාලවල” පවතින පීඩා හා වෙහෙසීම්වලින් මිදුණු තත්ත්වයක නොවේ. (2 තිමෝති 3:1, NW) ආර්ථික වෙහෙසවීම් මෙන්ම සේවා ස්ථානයේ පීඩනයන් ඕනෑම විවාහයක් කෙරෙහි හානිදායක බලපෑම් ඇති කරන්නට පුළුවන. බයිබල් ප්‍රතිපත්ති අදාළ කර ගැනීමට සිය කලත්‍රයන් අසමත්වීම මගින් ඇතැම් ක්‍රිස්තියානිහු මහත් කලකිරීමටද පත්ව ඇත්තාහ. එක් ක්‍රිස්තියානි භාර්යාවක් කියා සිටියේ මෙසේය: “මම යෙහෝවඃවහන්සේට ප්‍රේම කළත්, මගේ විවාහය අවුරුදු 20ක් පුරා තිබෙන්නේ ගැටලුසහගත තත්ත්වයකයි. මගේ ස්වාමිපුරුෂයා ආත්මාර්ථකාමීව කටයුතු කරන අතර කිසිම වෙනස්වීමක් කරන්නට කැමති නැහැ. මට හැඟෙන්නේ මා කොටුවී සිටින බවයි.” ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෝ නැතහොත් භාර්යාවෝ සෑහෙන පිරිසක් සමානාකාර හැඟීම් පළ කර ඇත්තාහ. වැරදී යන්නේ කුමක්ද? විවාහයක් දැඩි උදාසීන තත්ත්වයකට නැතහොත් පූර්ණ විරුද්ධවාදී තත්ත්වයකට පත්වීම වළක්වාලිය හැක්කේ කුමකටද?
විවාහයේ නිත්‍යතාව
3, 4. (අ) විවාහය සඳහා තිබෙන දෙවියන්වහන්සේගේ ප්‍රමිතිය කුමක්ද? (ආ) විවාහයේ නිත්‍යතාව යුක්තිසහගත හා ප්‍රයෝජනදායක වන්නේ මන්ද?
3 හොඳම තත්ත්වයන් යටතේ පවා, විවාහය වනාහි අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්සත්වීමකි. (ද්විතීය කථාව 32:5) ප්‍රේරිත පාවුල් මේ අනුව කියා සිටියේ “[විවාහ වන] එබන්දන්ට මාංසයෙහි දුක් ඇතිවන්නේය” යනුවෙනි. (1 කොරින්ති 7:28) ඇතැම් අන්තයටම ගිය තත්ත්වයන් උදාවීම නිසා වෙන්වීම හෝ දික්කසාදය පවා සිදු වන්නට පුළුවන. (මතෙව් 19:9; 1 කොරින්ති 7:12-15) කෙසේවෙතත්, බොහෝ අවස්ථාවන්හි, ක්‍රිස්තියානිහු, “භාර්යාව පුරුෂයාගෙන් අහක්ව නොයේවා . . . පුරුෂයාද තමාගේ භාර්යාව අත් නොහරීවා” යන පාවුල්ගේ අවවාදය අදාළ කර ගනිත්. (1 කොරින්ති 7:10, 11) ඇත්ත වශයෙන්ම, විවාහය ස්ථිර බන්ධනයක් වීමට අදහස් කරනු ලැබීය, මන්දයත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසුවේ “දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි” යනුවෙනි.—මතෙව් 19:6.
4 විරුද්ධකම් පවතින හෝ ප්‍රේමය විරහිත විවාහයක කොටුවී සිටින්නේ යයි හැඟෙන යමෙකුට, යෙහෝවඃවහන්සේගේ ස්ථාවරය රළු මෙන්ම අසාධාරණ බව පෙනෙන්නට පුළුවන. එහෙත් එය එසේ නොවේ. විවාහ බන්ධනයේ ස්ථිරත්වය දේව භයැති යුවළක්ව පොලඹවන්නට යන්නේ තමන් කරදරවලට ගොදුරු වන මුල් අවස්ථාවේදීම සිය යුතුකම් වහා අත්හරිනවා වෙනුවට තමන්ගේ ගැටලුවලට මුහුණදී ඒවාට විසඳුම් සෙවීමටයි. වසර 20කට වැඩි කාලයක් විවාහ වී සිටි පුරුෂයෙක් සිය අදහස් ප්‍රකාශ කළේ මෙසේය: “කරදරකාරී අවස්ථා ඔබට මඟ හරින්නට බැහැ. ඔබ එකිනෙකා ගැන සැමවිටම සතුටින් ඉන්නට යන්නේ නැහැ. බැඳීම සැබවින්ම වැදගත් වන්නේ එවිටයි.” ඇත්ත වශයෙන්ම, විවාහකවූ ක්‍රිස්තියානි යුවළවලට හැඟෙන්නේ, විවාහයේ නිර්මාතෘවරයාණන් වන, යෙහෝවඃ දෙවියන්වහන්සේට තමන්ගේ මූලික යුතුකමක් පවතින බවය.—දේශනාකාරයා 5:4, 5අ සසඳන්න.
මූලිකත්වය හා යටත්කම
5. ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් සඳහා පාවුල්ගේ උපදෙස් සමහරක් මොනවාද?
5 එබැවින්, ගැටලු මතුවන විට, කළ යුත්තේ එය මඟ හැරීමට මගක් සෙවීම නොව, නමුත් දේව වචනයේ උපදෙස් අදාළ කර ගැනීමට වඩාත් හොඳ ක්‍රමයක් සෙවීමය. උදාහරණයක් වශයෙන්, එපීස 5:22-25, 28, 29හි දක්නට ලැබෙන, පාවුල්ගේ මෙම වදන් සැලකිල්ලට ගන්න: “භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය. එබැවින් සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත්වන්නාක්මෙන් භාර්යාවෝද සියලු දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත්වෙත්වා. පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේමකරපල්ලා. එසේම පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය. තමාගේ භාර්යාවට ප්‍රේමකරන තැනැත්තේ තමාටම ප්‍රේමකරන්නේය. කිසිවෙක් කිසිකලක තමාගේම මාංසයට වෛරකළේ නැත. ක්‍රිස්තුස්වහන්සේ සභාව ගැන කරන්නාක්මෙන් එකිනෙකා තම තමාගේ මාංසය පෝෂණයකොට රක්ෂාකරගන්නේය.”
6. ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන් ලෝකයේ පුරුෂයන්ගෙන් වෙනස් විය යුතු වන්නේ කෙසේද?
6 පුරුෂයෝ බොහෝවිට තමන්ගේ ස්වාමිපෞරුෂමය අධිකාරය අනිසි ලෙස යොදාගනිමින් සිය භාර්යාවන් කෙරෙහි බලපවත්වා ඇත්තාහ. (උත්පත්ති 3:16) කෙසේවෙතත්, පාවුල් ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන්ගෙන් උදක් ඉල්ලා සිටියේ ලෝකයේ මිනිසුන්ට වඩා වෙනස්වී, එනම් ක්‍රිස්තුස්වහන්සේට සමාන වන හැටියටත්, තමන්ගේ භාර්යාවගේ ජීවිතයේ සෑම සියුම් අංගයක්ම පාලනය කරන්නාවූ කෲර පාලකයන් නොවන හැටියටත්ය. ස්ථිර වශයෙන්ම, මනුෂ්‍යයාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කිසිවිටෙක රළු හෝ උඩඟු ලෙස බලය පවත්වන කෙනෙක් නොවූ සේක. “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව [හෘදයෙන්, NW] යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය” යයි පවසමින්, උන්වහන්සේ සිය අනුගාමිකයන්ට සැලකුවේ ගෞරවාන්විතව හා සත්කාරශීලී ලෙසටය.—මතෙව් 11:28, 29.
7. සිය භාර්යාවට ලෞකික රැකියාවක නිරත වන්නට සිදුව තිබෙන විට පුරුෂයෙකු ඇයට ගෞරවය පැවරිය හැක්කේ කෙසේද?
7 ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් සිය භාර්යාවට දුර්වල භාජනයකට මෙන් ගෞරවය පැවරිය යුතුය. (1 පේතෘස් 3:7) උදාහරණයක් වශයෙන්, ඇයට ලෞකික රැකියාවක නිරත වන්නට සිදුව තිබෙන්නේ යයි සිතන්න. මෙය සැලකිල්ලට ගනිමින් හෙතෙම හැකි පමණ උපකාරවත් හා සැලකිලිමත් වන්නේය. කාන්තාවන් දික්කසාද වීමට එක් හේතුවක් හැටියට සඳහන් කොට ඇත්තේ දරුවන් හෝ නිවස පිළිබඳව සිය ස්වාමිපුරුෂයන්ගේ නොසැලකිල්ලයි. එබැවින්, ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් වෑයම් කරන්නට යන්නේ මුළු පවුලටම ප්‍රයෝජනවත් විය හැකි අර්ථවත් ආකාරයන්ගෙන් නිවසේදී ඇයට උපකාර කරන්නටය.
8. යටත්වීම යන්නෙන් ක්‍රිස්තියානි භාර්යාවන්ට කුමක් අදහස් කරයිද?
8 ගෞරවාන්විතව සලකනු ලැබීම සිය ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටීමට ක්‍රිස්තියානි භාර්යාවන්ට පහසු කරවයි. කෙසේවෙතත්, මෙය නීච වහල්භාවයක් අදහස් කරන්නේ නැත. පුරුෂයා සඳහා උචිත යමක් හඟවමින්, දෙවියන්වහන්සේ නියම කළේ භාර්යාවක් වහලියක් නොව, “ඌන පූරණයක්” (“පූරණයක්,” පාද සටහන NW) වන්නට සිටි බවය. (උත්පත්ති 2:18, NW) මලාකී 2:14හි භාර්යාවක් පුරුෂයෙකුගේ ‘පංගුකාරිය’ වන බව පවසා ඇත. එබඳු අයවලුන් හැටියට, බයිබල් කාලවල භාර්යාවෝ සැලකිය යුතු නිදහසක් මෙන්ම ඉඩ ප්‍රස්තාවක් භුක්ති වින්ඳාහ. “ගුණවත් ස්ත්‍රියෙක් [සමර්ථ භාර්යාවක්, NW] සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ “ඇගේ පුරුෂයාගේ සිත [හෘදය, NW] ඇය කෙරෙහි විශ්වාසකරයි” යනුවෙනි. ඇත්ත වශයෙන්ම, ගෘහ පාලනය, ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම අධීක්ෂණය කිරීම, වතු පිටි ආදිය ගනුදෙනු සාකච්ඡා කොට නියම කරගැනීම, මෙන්ම කුඩා ව්‍යාපාරයක් පාලනය කිරීම වැනි කාරණා ඇයට පවරනු ලැබීය.—හිතෝපදේශ 31:10-31.
9. (අ) බයිබල් කාලවල විසූ දේව-භයැති ස්ත්‍රීන් සැබෑ යටහත්භාවය විදහා පෙන්වූයේ කෙසේද? (ආ) අදදින යටහත්ව කටයුතු කිරීමට ක්‍රිස්තියානි භාර්යාවකට උපකාර කළ හැක්කේ කුමක්ද?
9 එහෙත්, දේව භයැතිව සිටි භාර්යාව සිය ස්වාමිපුරුෂයාගේ අධිකාරය පිළිගත්තාය. උදාහරණයක් හැටියට, සාරා ආචාරසම්පන්න වීම බාහිර වශයෙන් පෙන්වීමක් හැටියට නොව, නමුත් සිය යටහත්භාවයේ සැබෑ පිළිබිඹු වීමක් හැටියට “ආබ්‍රහම්ට ස්වාමියායයි කියමින් කීකරුවුණාය.” (1 පේතෘස් 3:6; උත්පත්ති 18:12) සිය ස්වාමිපුරුෂයා සමඟ කූඩාරම්වල වාසය කරනු පිණිස ඈ කැමැත්තෙන්ම ඌර් නගරයේ තිබූ ඇයගේ සැපපහසු නිවසද අත්හැරියාය. (හෙබ්‍රෙව් 11:8, 9) එහෙත් යටහත්වීම, භාර්යාවකට අවශ්‍ය වන විට වගකීමෙන් යුත් ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව අදහස් කළේ නැත. චර්මඡේදනය සම්බන්ධයෙන්වූ දේව නීතියට එකඟව කටයුතු කරන්නට මෝසෙස් අසමත්වූ විට, ඔහුගේ භාර්යාව වන, ශිප්පොරා, තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමෙන් විපතක් සිදුවිම කල්තබා වළක්වා ගත්තාය. (නික්මයාම 4:24-26) අසම්පූර්ණ මනුෂ්‍යයෙක් සතුටු කිරීමට වඩා වැඩියමක් මෙයට සම්බන්ධව පවතී. භාර්යාවන් “ස්වාමීන්වහන්සේට මෙන් [තමන්ගේ] පුරුෂයන්ට යටත්ව” සිටිය යුතුය. (එපීස 5:22) දෙවියන්වහන්සේ සමඟ ඇති ඇයගේ සම්බන්ධතාව මත පිහිටා ක්‍රිස්තියානි භාර්යාවක් කල්පනා කරන විට, සිය ස්වාමිපුරුෂයා තුළ තිබෙන සුළු දෝෂ හා නොසෑහුම්කම් නොසලකා හැරීමට මෙය ඇයට උපකාරවත් වනු ඇත, ඇරත් ඔහුද ඇය සමඟ කටයුතු කරන විට එසේම කළ යුතුය.
අදහස් හුවමාරුව විවාහයක ජීවනදායක රුධිරයයි
10. විවාහයකට අදහස් හුවමාරුව කොතරම් වැදගත් වන්නේද?
10 යුවළයන් වෙන්වන එකම මූලික හේතුව කුමක්දැයි විමසනු ලැබූ විට, දික්කසාද නීතිඥයෙක් පිළිතුරු දුන්නේ, “එකිනෙකා සමඟ අවංකව කථා කිරීමට, තමන්ගේ අභ්‍යන්තර සිතුවිලි එළිදරව් කිරීමට හා එකිනෙකා තමන්ගේ හොඳම මිත්‍රයා හැටියට සැලකීමට නොහැකි වීමය” යනුවෙනි. එසේය අදහස් හුවමාරුව වනාහි ශක්තිමත් විවාහයක ජීවනදායක රුධිරය වන්නේය. බයිබලය පවසන ආකාරයට, “මන්ත්‍රණය [විශ්වාසයෙන් යුත් කථාබහ කිරීම, NW] නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය.” (හිතෝපදේශ 15:22) ස්වාමිපුරුෂයන් හා භාර්යාවන්, උණුසුම්, කිට්ටු සම්බන්ධතාවක් භුක්ති විඳිමින් ‘විශ්වාසයෙන් යුත් මිත්‍රයන්’ විය යුතුය. (හිතෝපදේශ 2:16) එහෙත්, යුවළයන් බොහොමයකට අදහස් හුවමාරු කිරීම දුෂ්කර බව දැනෙන අතර විනාශකාරිවූ කෝපය පිටකිරීමක් සිදුවනතුරු අමනාපය එසේ පැසවමින් පවතී. එසේත් නැතහොත් විවාහක කලත්‍රයන් චිත්තවේගී වශයෙන් එකිනෙකාගෙන් ඈත්වෙමින්, අචාර සම්පන්නකමේ තුනී පිටස්තර බොරු ඔපයක් පසුපස සැඟවී සිටින්නට පුළුවන.
11. ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් අතර අදහස් හුවමාරුව වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
11 මෙම ගැටලුවට යම්තාක් දුරට හේතුව යයි පෙනෙන්නට ඇත්තේ, බොහෝවිට පුරුෂයන්ට හා ස්ත්‍රින්ට අදහස් හුවමාරුවේ වෙනස් විලාසයන් තිබීමය. ස්ත්‍රීන්ගෙන් වැඩිදෙනෙකුට හැඟීම් සාකච්ඡා කිරීමෙන් යම් පහසුවක් දැනෙතත්, පුරුෂයන් සාමාන්‍යයෙන් වැඩි කැමැත්තක් දක්වන්නේ සැබෑ කාරණා ගැන සාකච්ඡා කිරීමටයි. ස්ත්‍රීන් සංවේදනය පෙන්වීමටත් චිත්තවේගී සහාය දීමටත් වැඩියෙන් නැඹුරු වී සිටියද, පුරුෂයන් පෙලඹෙන්නේ විසඳුම් සෙවීමට හා ඉදිරිපත් කිරීමටය. එහෙත්, කලත්‍රයන් දෙදෙනාම ‘ඇසීම සම්බන්ධයෙන් ඉක්මන් වීමටත්, කථා කිරීම හා උදහස් වීම සම්බන්ධයෙන් ප්‍රමාද වීමටත්’ අධිෂ්ඨාන කරගෙන සිටින විට, යහපත් අදහස් හුවමාරුවක් සඳහා තිබෙන හැකියාව දිගටම පවතී. (යාකොබ් 1:19) එකිනෙකා දෙස නෙත් යොමු කොට සැබවින්ම අවධානය යොමු කරන්න. අන් තැනැත්තා කෙරෙහි සැලකිල්ල විදහාපාන ප්‍රශ්නවලින් එකිනෙකාගේ අභ්‍යන්තරය වැගිරවීමට සලස්වන්න. (සසඳන්න 1 සාමුවෙල් 1:8; හිතෝපදේශ 20:5.) ඔබගේ කලත්‍රයා ගැටලුවක් අනාවරණය කරන විට, ඉක්මන් විසඳුමක් ඉදිරිපත් කරනවා වෙනුවට, ඔබ කාරණා නිරාකරණය කිරීමට ක්‍රියා කරනවාත් සමඟම සැලකිල්ලෙන් සවන්දෙන්න. තවද දිව්‍ය මඟ පෙන්වීම සොයමින්, නිහතමානි ලෙස එකට යාච්ඤා කරන්න.—ගීතාවලිය 65:2; රෝම 12:12.
12. ක්‍රිස්තියානි කලත්‍රයන් එකිනෙකා සඳහා කාලය උපයා ගත හැක්කේ කෙසේද?
12 ඇතැම් අවස්ථාවන්හි ජීවිතයේ පීඩා හා වෙහෙසීම් විවාහක කලත්රයන්හට අර්ථවත් ලෙස කථාබහ කිරීම සඳහා ප්‍රමාණවත් කාලය නැතහොත් ශක්තිය ලබා නොදෙන බව පෙනෙන්නට ඇත. කෙසේවෙතත්, ක්‍රිස්තියානින් සිය විවාහය ගෞරවනීයව තබාගෙන කෙලෙසීම්වලින් එය ආරක්ෂා කරගැනීමට නම්, ඔවුන් එකිනෙකාට සමීපව සිටිය යුතුය. ඔවුන් තමන්ගේ එක්වීම මාහැඟි, වටිනා යමක් හැටියට සැලකිය යුතු අතර ඒ සඳහා මෙන්ම එකිනෙකා සඳහා කාලය උපයා ගත යුතුය. (කොලොස්සි 4:5 සසඳන්න.) ඇතැම් අවස්ථාවන්හි ගුණදායක කථාව සඳහා කාලය සෙවීම පිළිබඳ ගැටලුවට විසඳුම රූපවාහිනිය නිවා දැමීම තරම් සරල වන්නට පුළුවන. නිතිපතා තේ හෝ කෝපි එකට පානය කිරීම විවාහක සහකරුවන් චිත්තවේගීය වශයෙන් සමීප තත්ත්වයක පවත්වා ගැනීමට උපකාරවත් විය හැක. එවන් අවස්ථාවන්හි, ඔවුන්ට පවුලේ විවිධ කාරණා සම්බන්ධයෙන් ‘එකට සාකච්ඡා’ කළ හැකිය. (හිතෝපදේශ 13:10, NW) එමෙන්ම සුළු නොරිස්සීම් හෝ වරදවා තේරුම් ගැනීම් පීඩනයේ බරපතළ මූලාශ්‍ර බවට පත්වන්නට පෙර, ඒවා ගැන කථා කිරීමේ සිරිතක් වර්ධනය කර ගැනීම කොතරම් ඥානවන්තද!—සසඳන්න මතෙව් 5:23, 24; එපීස 4:26.
13. (අ) විවෘතභාවය හා අවංකභාවය පිළිබඳ යේසුස්වහන්සේ කිනම් ආදර්ශය තැබූ සේක්ද? (ආ) විවාහක කලත්‍රයන් එකිනෙකාට සමීප විය හැකි ඇතැම් මාර්ග මොනවාද?
13 එක් මිනිසෙක් වරද පිළිගනිමින් කියා සිටියේ “බොහෝ විට, මගේ අදහස් සැබවින්ම ඉදිරිපත් කිරීමටත්, මට හැඟෙන ආකාරය ඉතා නිවැරදිව [මගේ භාර්යාවට] සැබවින්ම පවසන්නටත්, මට දුෂ්කරය” යනුවෙනි. එහෙත් තමාට හැඟෙන දෙය අනාවරණය කිරීම, සමීප ඇසුර වර්ධනය කරගැනීමේ මූලික අවශ්‍යතාවක් වන්නේය. තමාගේ මනමාලි පන්තියේ සාමාජිකයන් වන්නට සිටි අය සමඟ යේසුස්වහන්සේ කොතරම් විවෘත හා අවංක වූවාදැයි සැලකිල්ලට ගන්න. උන්වහන්සේ පැවසුවේ, “දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි” යනුවෙනි. (යොහන් 15:15) එබැවින්, ඔබගේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයාව මිත්‍රයෙක් හැටියට සලකන්න. ඔබේ කලත්‍රයා ඔබගේ හැඟීම් නොවළහා ප්රකාශකල හැකි කෙනෙකු බවට විශ්වාස කරන්න. සරල, අවංක ‘ආදරයේ ප්‍රකාශයන්’ ඉදිරිපත් කිරීමට වෑයමක් දරන්න. (සාලමොන්ගේ ගීතිකාව 1:2, NW) විවෘත අදහස් හුවමාරුව ඇතැම් අවස්ථාවන්හි නුසුදුසු යයි පෙනෙන්නට පුළුවන් වුවත්, විවාහක කලත්‍රයන් දෙදෙනාම ප්‍රමාණවත් වෑයමක් දරන විට, සිය විවාහය කල්පවතින එක්වීමක් කරා ගෙනයෑමට එය මහත්සේ දායක වනු ඇත.
එකඟ නොවීම් සමඟ ක්‍රියා කිරීම
14, 15. දබරවීම වළක්වා ගත හැක්කේ කෙසේද?
14 අවංකව එකඟ නොවන අවස්ථා කලින් කලට පැන නැගෙනු නියතය. එහෙත් ඔබගේ නිවස ‘දබරවලින් පිරුණු ගෙයක්’ දක්වා පිරිහුණු තත්ත්වයකට පත්විය යුතු නැත. (හිතෝපදේශ 17:1, NW) දරුවන් අසා සිටිය හැකි අවස්ථාවන්හි සියුම්ව සලකා බැලිය යුතු කාරණා සාකච්ඡා නොකිරීමට පරෙස්සම්වී, ඔබගේ කලත්‍රයාගේ හැඟීම්වලට සැලකිල්ල දක්වන්න. සිය වඳභාවය ගැන රාඛෙල් ශෝකය පළ කරමින්, තමාට දරුවන් දෙන හැටියට යාකොබ්ගෙන් ඉල්ලූවිට, ඔහු කෝපයෙන් කියා සිටියේ “ගර්භයේ ඵල නුඹෙන් වැලැක්වූ දෙවියන්වහන්සේ වෙනුවට මම සිටිම්ද” යනුවෙනි. (උත්පත්ති 30:1, 2) ගෙදරදොරේ දුෂ්කරතා පැන නැගෙන විට, පුද්ගලයාට නොව, ගැටලුවට පහර දෙන්න. පෞද්ගලික සාකච්ඡාවකදී, “රළු [කල්පනාවෙන් තොර, NW] බස්” පැවසීම හෝ අන් තැනැත්තා කථා කරනවිට කඩාපැන අනවශ්‍ය ලෙස ඊට බාධා පැමිණවීම මඟ හරින්න.—හිතෝපදේශ 12:18.
15 ඔබ යම් දෙයක් ගැන දරන දෘෂ්ටිය සම්බන්ධයෙන් ඔබට බලවත් හැඟීම් තිබිය හැකි බව සැබෑවක් වුවත්, මේවා “තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසයත්” නොමැතිව ප්‍රකාශ කළ හැකිය. (එපීස 4:31) “සාමාන්‍යයෙන් කථා කරන ශබ්දයෙන් ඔබගේ ගැටලු සාකච්ඡා කරන්න” යයි එක් ස්වාමිපුරුෂයෙක් පවසයි. “කෙනෙක් තමා කථා කරන ශබ්දය වැඩි කළොත්, සාකච්ඡාව නවත්වන්න. කෙටි වේලාවකට පසු නැවත පැමිණ, සාකච්ඡාව නැවත අරඹන්න.” හිතෝපදේශ 17:14 මෙම හොඳ අවවාදය මෙසේ ඉදිරිපත් කරයි: “තරඟය [දබරය, NW] ඇවිස්සෙන්ට පළමුවෙන් එය අතහැරපන්න [එතැනින් ඉවත්වන්න, NW].” ඔබ දෙදෙනාම සන්සුන් තත්ත්වයට පත්ව සිටින විට යළිත් කාරණා සාකච්ඡා කරන්න.
එකිනෙකාට විශ්වසනීයව සිටින්න
16. කාමමිථ්‍යාචාරය එතරම් බරපතළ කාරණාවක් වන්නේ මන්ද?
16 හෙබ්‍රෙව් 13:4 මෙසේ පවසයි: “විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.” කාමමිථ්‍යාචාරය දෙවියන්වහන්සේට එරෙහි පාපයකි. එය එම විවාහය කඩාකප්පල් කරයි. (උත්පත්ති 39:9) එක් විවාහ උපදේශිකාවක් මෙසේ ලියන්නීය: “කාමමිථ්‍යාචාරය වනාහි, අනාවරණය වීමෙන් පසු, පවුල විනාශ කරමින්ද, විශ්වාසය හා ආත්ම අභිමානය බිඳ හෙළමින්ද, බාල අයට හානි පමුණුවමින්ද මුළු පවුලකටම පහර දෙන දැඩි චණ්ඩමාරුතයක් හා සමානය.” ගැබ් ගැනීම් නැතහොත් ලිංගික වශයෙන් බෝවන රෝගද විපාක විය හැකිය.
17. කාමමිථ්‍යාචාරික නැඹුරුවාවන් වැළැක්විය හෝ ප්‍රතික්ෂේප කළ හැක්කේ කෙසේද?
17 ඇතැම් අය පොත්පත්වල, රූපවාහිනියේ හා චිත්‍රපටවල ගෙනහැර දක්වන ආකාරයට ලිංගික ක්‍රියා පිළිබඳ ලෝකයේ දූෂිත දෘෂ්ටිය උරාගැනීමෙන් කාමමිථ්‍යාචාරික නැඹුරුවාවන් පෝෂණය කරති. (ගලාති 6:8) එහෙත්, පර්යේෂකයන් පවසන ආකාරයට, කාමමිථ්‍යාචාරයට සාමාන්‍ය හේතුව වන්නේ, ලිංගික ක්‍රියාවල නිරත වීම සඳහා වූ ආශාවක් පමණක් නොව, එනමුත් යමෙක් තවදුරටත් ආකර්ෂණීය බව සනාථ කිරීමට තිබෙන හැඟීමේ අවශ්‍යතාව හෝ තවත් වැඩියෙන් ප්‍රේම කරනු ලැබීමට තිබෙන ආශාව නිසා බවය. (හිතෝපදේශ 7:18 සසඳන්න.) හේතුව කුමක් වෙතත්, ක්‍රිස්තියානි භක්තිකයෙක් දුරාචාරමය අද්භූත කල්පනාවන් ප්‍රතික්ෂේප කළ යුතුය. අවංකව ඔබගේ හැඟීම් ඔබගේ කලත්‍රයා සමඟ සාකච්ඡා කරන්න. අවශ්‍ය වෙතොත්, සභාවේ වැඩිමහල්ලන්ගෙන් උපකාරය පතන්න. එසේ කිරීම පාපයට ඇද වැටීමට තිබෙන අවස්ථාවක් වළක්වාලිය හැකිය. එපමණක්ද නොව, ක්‍රිස්තියානින් විරුද්ධ ලිංගයේ අය සමඟ කටයුතු කිරීමේදී පරෙස්සම් විය යුතුය. එක්කෙනෙකුට විවාහවී, තවත් කෙනෙක් දෙස රාගයෙන් බැලීම ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්තිවලට පටහැනි වන්නේය. (යෝබ් 31:1; මතෙව් 5:28) සෙසු සේවකයන් වෙත චිත්තවේගීය ලෙස ඇදීයෑම වර්ධනය කර ගැනීමට එරෙහිව ක්‍රිස්තියානින් විශේෂාකාරයෙන් පරෙස්සම් විය යුතුය. එවන් සබඳතා හිතෛෂීව එහෙත් නිසි තැනෙහි තබා ගන්න.
18. විවාහයක් තුළ ලිංගික ගැටලුවලට බොහෝවිට මුල්වී ඇත්තේ කුමක්ද, එමෙන්ම මේවා විසඳාගත හැක්කේ කෙසේද?
18 කෙනෙකුගේ කලත්‍රයා සමඟ උණුසුම්, විවෘත සබඳතාවක් පැවැත්වීම ඊටත් වඩා ප්‍රබල ආරක්ෂාවක් වන්නේය. බොහෝ පර්යේෂකයන් පවසන්නේ, විවාහය තුළ ලිංගික ගැටලු කායික ස්වභාවයක් ගන්නේ කලාතුරකින් බවත් ඒවා සාමාන්‍යයෙන් අදහස් හුවමාරුවේ දුර්වලකමේ අතුරුඵල වන බවත්ය. යුවළක් විවෘතව අදහස් හුවමාරු කරමින් විවාහයේ යුතු දෑ යුතුකමක් හැටියට නොව, ප්‍රේමයේ ප්‍රකාශ කිරීමක් හැටියට ඉටු කරනවිට මේ හා සම්බන්ධ ගැටලු විරල වන්නේය.a මෙවන් උචිත තත්ත්වයන් යටතේ, සමීප කායික සබඳතා විවාහක බැම්ම ශක්තිමත් කිරීමට දායක වන්නට පුළුවන.—1 කොරින්ති 7:2-5; 10:24.
19. “එකමුතුකමේ පරිපූර්ණ බැම්ම” යනු කුමක්ද, එමෙන්ම විවාහයක් කෙරෙහි ඊට කිනම් බලපෑමක් ඇති කළ හැකිද?
19 ක්‍රිස්තියානි සභාව තුළ “එකමුතුකමේ පරිපූර්ණ බැම්ම” වන්නේ ප්‍රේමයයි. ප්‍රේමය වර්ධනය කර ගැනීමෙන්, දේව භයැති විවාහක යුවළයන්ට ‘එකිනෙකා ගැන ඉවසමින් නොමසුරුව සමාව දීමට’ හැකියාව ලැබේ. (කොලොස්සි 3:13, 14, NW) ප්‍රතිපත්තිමය ප්‍රේමය සොයනු ඇත්තේ අන්‍යයන්ගේ ශුභසිද්ධියයි. (1 කොරින්ති 13:4-8) එවන් ප්‍රේමයක් වගා කරගන්න. එය ඔබගේ විවාහක බැම්ම ශක්තිමත් කරගැනීමට ඔබට උපකාර කරනු ඇත. බයිබල් ප්‍රතිපත්ති ඔබගේ විවාහක ජීවිතයේ අදාළ කරගන්න. ඔබ එය කරන්නේ නම්, ඔබගේ විවාහය කල්පවතින එක්වීමක් වනු ඇති අතර ඉන් යෙහෝවඃ දෙවියන්වහන්සේට ප්‍රශංසාව හා ගෞරවය ගෙනෙනු ලැබේ.
[පාදසටහන්වල]
a වර්ෂ 1993 අගෝස්තු 1, මුරටැඹ කලාපයේ පළවූ අදහස් හුවමාරුව නිකම්ම කථා බහට වඩා වැඩි යමකි නමැති ලිපිය, මෙම ක්ෂේත්රයේ ගැටලු යුවළයන් විසින් මැඩපැවැත්විය හැකි ආකාරය පෙන්වීය.
ඔබ කෙසේ පිළිතුරු දෙන්නෙහිද?
◻ විවාහය නිත්‍ය බන්ධනයක් විය යුත්තේ මන්ද?
◻ මූලිකත්වය හා යටත්කම පිළිබඳ බයිබලයේ දෘෂ්ටිය කුමක්ද?
◻ විවාහක යුවළයන් අදහස් හුවමාරුව වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?
◻ එකඟ නොවීම් සමඟ ක්‍රිස්තියානි ආකාරයකට කටයුතු කිරීමට යුවළයන්ට හැක්කේ කෙසේද?
◻ විවාහක බැම්ම ශක්තිමත් කිරීමට කුමක් උපකාරවත් වනු ඇද්ද?
[12වන පිටුවේ පින්තූරය]
තමාගේ භාර්යාව ලෞකික රැකියාවක නිරත විය යුතු නම්, ක්‍රිස්තියානි පුරුෂයෙක් පමණ ඉක්මවා ඇය මත බර පටවන්නට යන්නේ නැත