අධිකාරයට සිදුවී තිබෙන්නේ කුමක්ද?
කල්පනාකාරි මිනිස්සු අධිකාරය සඳහා තිබෙන අවශ්‍යතාව දකිති. අධිකාරය පිළිබඳ යම් ආකාරයක ව්‍යූහයක් නොමැතිව, මනුෂ්‍ය සමාජය ඉක්මනින්ම අවුල් ජාලයක් වනු ඇත. එබැවින්, ආණ්ඩුක්‍රමික ව්‍යවස්ථාව පිළිබඳ සම්භාවනීය ප්‍රංශ ගුරුපොතක් මෙසේ පවසයි: “ඕනෑම මනුෂ්‍ය සමූහයක් තුළ, වර්ග දෙකක මනුෂ්‍යයන් දැකිය හැක: ආඥා කරන්නන් හා කීකරු වන්නන්, නියෝග දෙන්නන් හා ඒවාට අවනත වන්නන්, නායකයන් හා සාමාජිකයන්, ආණ්ඩු කරන්නන් හා ආණ්ඩු කරනු ලබන්නන්. . . . අධිකාරයේ පැවැත්ම ඕනෑම මනුෂ්‍ය සමාජයක නිරීක්ෂණය කළ හැක.”a
කෙසේවෙතත්, අධිකාරය පිළිබඳ ආකල්ප IIවන ලෝක යුද්ධයේ පටන්, නිශ්චිතාකාරයෙන් 1960 දශකය පටන් වෙනස් වී ඇත. එම කාල පරිච්ඡේදය ගැන අදහස් දක්වමින්, ප්‍රංශ එන්සයික්ලොපීඩියා යූනිවර්සාලිස් “ධුරාවලියට විරෝධී මෙන්ම අධිකාරයට විරෝධී අර්බුදයක්” ගැන කථා කරයි. එවන් අර්බුදයක් බයිබල් ශිෂ්‍යයන්ට පුදුමයක් නොවේ. ප්‍රේරිත පාවුල් මෙසේ පුරෝකථනය කළේය: “මෙය මතක තබා ගන්න, මේ ලෝකයේ අවසාන කාලය ආරවුල්සහගත කාලයක් වනු ඇත! මනුෂ්‍යයෝ තමුන්ට හා මුදලට හැර අන් කිසිවකට ප්‍රේම නොකරනු ඇත, ඔවුන් පුරසාරම් දොඩන, අහංකාර හා නින්දාසහගත; මව්පියන්ට අකීකරු . . . ; වනු ඇත. ඔවුහු සිය නොසන්සිඳෙන බද්ධ වෛරයක් ඇති, . . . පාලනයෙන් තොර හා ප්රචණ්ඩ, . . . උඩඟුකමෙන් හිස උදුම්මාගත් අය වන්නෝය. ඔවුන් තමන්ගේ දෙවියන්වහන්සේට වඩා තමන්ගේ සැප සෙල්ලමට ප්‍රේම කරනු ඇත.”—2 තිමෝති 3:1-4, ද රිවයිස්ඩ් ඉංග්ලිෂ් බයිබල්.
අර්බුදකාරි තත්ත්වයක පවතින අධිකාරය
මෙම අනාවැකිය මනාව විස්තර කරන්නේ අපගේ දවස හා කාලයයි. අධිකාරය—එනම් පවුල, පොදු පාසැල්, විශ්වවිද්‍යාල, වෙළෙඳ ව්‍යාපාර, ප්‍රාදේශීය හා ජාතික ආණ්ඩුව යනාදී—සෑම මට්ටමකින්ම අභියෝගයට ලක්ව ඇත. ලිංගික විප්ලවය, තද මධ්‍යය රැප් සංගීතය, ශිෂ්‍ය පෙළපාළි, අනුමැතියෙන් තොර වැඩ වර්ජන, සිවිල් නීති කඩකිරීම් හා ත්‍රස්තවාදී ක්‍රියා යනාදි සියල්ල අධිකාරය සඳහා ගෞරවය බිඳවැටීමේ සලකුණු වන්නේය.
ප්‍රංශ දේශපාලන විද්‍යා ආයතනය හා පැරීසියේ දිනපතා පළවන පුවත්පතක් වන ල’ මොන්ඩේ මගින් පැරීසියේ සංවිධානය කරන ලද ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයකදී මහාචාර්ය ඊව් මෙනේ පැවසුවේ “අධිකාරයට පවතින්නට පුළුවන් වන්නේ නීත්‍යානුකූල භාවයකින් ඊට පිටුවහලක් ලැබෙන්නේ නම් පමණකි” යනුවෙනි. අධිකාරය පිළිබඳ අද දවසේ පවතින අර්බුදය සඳහා එක් හේතුවක් වනුයේ බොහෝ දෙනෙකු බලයේ සිටින්නන්ගේ නීත්‍යානුකූලභාවය සැක කිරීමය. එනම්, අධිකාරයේ රැඳී සිටින්නට ඔවුන්ට ඇති අයිතිය ඔවුහු සැක කරති. එක්දහස් නවසිය අසූ ගණන්වල මුල් භාගයේ පවත්වන ලද ජනමත විචාරණයක් එළිදරව් කළේ, එක්සත් ජනපදයේ ජනගහනයෙන් සියයට 9ක්, ඕස්ට්‍රේලියාවේ සියයට 10ක්, බ්‍රිතාන්‍යයේ සියයට 24ක්, ප්‍රංශයේ සියයට 26ක් හා ඉන්දියාවේ සියයට 41ක් සැලකුවේ සිය ආණ්ඩුව නීත්‍යානුකූල නොවූ බවය.
නීත්‍යානුකූල අධිකාරය සඳහා මිනිසාගේ සෙවිල්ල
බයිබලයට අනුව, මිනිසා මුලින්ම සිටියේ දෙවියන්වහන්සේගේ ඍජු අධිකාරය යටතේය. (උත්පත්ති 1:27, 28; 2:16, 17) කෙසේවෙතත්, ඉතා මුල් කාලයේ පටන්, මනුෂ්‍යයෝ සිය මැවුම්කරුවාණන්ගෙන් සදාචාර නිදහසක් ඉල්ලා සිටියහ. (උත්පත්ති 3:1-6) දිව්යතන්ත්රය, නැතහොත් දේව-පාලනය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ඔවුන්ට වෙනත් අධිකාර ක්‍රම සොයන්නට සිදු විය. (දේශනාකාරයා 8:9) ඇතැමෙකු තමන්ගේ අධිකාරය තහවුරු කළේ බලෙන්ය. ඔවුන් සැලකුවේ බලය ඔවුන්ට අයිතිවාසිකම ලබා දුන් බවය. තමන්ගේ කැමැත්ත බලෙන් ක්‍රියාත්මක කරවන්නට තමන් ශක්තිමත්ව සිටියේ නම් එය ප්‍රමාණවත් විය. කෙසේවෙතත්, වැඩි දෙනෙකුට හැඟුනේ පාලනය කිරීමට සිය අයිතිවාසිකම නීත්‍යානුකූල කිරීමේ අවශ්‍යතාවයි.
මුල් කාලවල පටන් පාලකයන් බොහෝ දෙනෙකු මෙය කළේ තමන් දෙවිවරුන් බව, නැතහොත් තමන් දෙවිවරුන්ගෙන් බලය ලැබූ බව පැවසීමෙනි. මෙය වනාහි මෙසොපොතේමියාවෙහි මුල් පාලකයන් විසින් හා පුරාතන මිසරයේ ඵාරාවෝවරුන් විසින් ප්‍රකාශ කරන ලද “ශුද්ධ රජකම” පිළිබඳ මිථ්‍යා සංකල්පය වන්නේය.
මහා ඇලෙක්සැන්ඩර්, ඔහුගෙන් පසුව ඔහුගේ පදවියට පත්වූ හෙලනිස්තික රජවරු මෙන්ම, රෝම අධිරාජවරු බොහෝ දෙනෙක්ද තමන් දෙවිවරු බව කියා සිටි අතර, නමස්කාර කරන හැටියට පවා බලෙන් ඉල්ලා සිටියහ. මෙවන් පාලකයන් යටතේ තිබූ පාලන ක්‍රම “පාලක ලබ්ධි” හැටියට හඳුන්වන ලද අතර ඒවායේ අරමුණ වූයේ යටත් කරන ලද මිශ්‍ර ජනසමූහයක් කෙරෙහි පාලකයාගේ අධිකාරය තහවුරු කිරීමය. පාලකයාව නමස්කාර කිරීමට ප්‍රතික්ෂේප කිරීම රාජ්‍ය විරෝධී ක්‍රියාවක් හැටියට දෝෂාරෝපණයට ලක් කරනු ලැබීය. ද ලෙගසි ඔෆ් රෝම් නම් ග්‍රන්ථයේ, මහාචාර්ය අර්නස්ට් බාර්කර් මෙසේ ලීවේය: “[රෝම] අධිරාජයාව දෙවියෙකු කොට සැලකීමත්, ඔහුගේ දේවත්වයේ ගුණය මත පිහිටා ඔහු ලබන්නාවූ භක්තිය යනාදියත් පැහැදිලිවම එම අධිරාජ්‍යයේ අත්තිවාරම, නැතහොත් අඩු ගණනේ එහි ශක්තිය වන්නේය.”
කොන්ස්ටන්ටයින් අධිරාජයා (පො.යු. 306-337 දක්වා පාලනය කළ) විසින් “ක්‍රිස්තියානි ධර්මය” නීත්‍යානුකූල කරවීමෙන්ද, පසුව Iවන තියොඩෝසියස් අධිරාජයා (පො.යු. 379-395 දක්වා පාලනය කළ) විසින් රෝමානු අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම හැටියට එය ක්‍රියාත්මක කිරීමෙන් පසුවද මෙම තත්ත්වය එසේම පැවතුණි. ඇතැම් “ක්‍රිස්තියානි” අධිරාජ්යවරුන්ව පොදු යුගයේ පස්වන ශතවර්ෂයේ වැඩි කොටසක් දක්වා දෙවිවරුන් හැටියට නමස්කාර කරනු ලැබීය.
“බලයන් දෙක,” “කඩු දෙක”
පාප් පදවිය තවත් බලගතු වෙත්ම, පල්ලිය හා රජය අතර ගැටලු වඩාත් උග්‍ර විය. එබැවින්, පො.යු. පස්වන ශතවර්ෂයේ අවසානයේදී, Iවන ජෙලාසියස් පාප් “බලයන් දෙකේ” ප්‍රතිපත්තිය, එනම්, පාප්වරුන්ගේ ශුද්ධ අධිකාරය, රජවරුන්ගේ රාජකීය බලය සමඟ එක්ව පැවතීමත්, ඒ යටතේ රජවරුන් පාප්වරුන් යටතෙහි සිටීමේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කළේය. මෙම ප්‍රතිපත්තිය යථා කාලයේදී, “කඩු දෙකේ” ධර්මය බවට වැඩිවර්ධනය විය: එනම්, “පාප්වරුන්ම ආත්මික කඩුව ලෙලවූහ. ලෞකික කඩුව ගිහි පාලකයන්ට පවරන ලදි, කෙසේවෙතත් ඔවුන් පාප් පදවියේ මඟ පෙන්වීම අනුව ලෞකික කඩුව භාවිතා කළ යුතුය.” (ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා) මෙම ධර්මයේ පදනම මත, මධ්‍යම යුගය තුළ කතෝලික පල්ලිය අධිරජවරුන් හා රජවරුන්ට සිය අධිකාරය නීත්‍යානුකූල කරවනු පිණිස ඔවුන්ට ඔටුනු පැළඳවීමට ඇති අයිතිය ඉල්ලා සිටි අතර එසේ “පරිශුද්ධ රජකම” පිළිබඳ පුරාතන මිථ්‍යා ප්‍රබන්ධය නිරන්තරව පවතින්නට සැලැස්වීය.
කෙසේවෙතත්, මෙය, පාප් පදවියට යටත්වීමෙන් දේශපාලන ආණ්ඩුකාරයන්ව නිදහස් කිරීමේ ඉලක්කය ඇතුව පසුව ප්‍රවර්ධනය වූ රජවරුන්ගේ දිව්‍ය අයිතිය යනුවෙන් හඳුන්වනු ලැබූ දෙය සමඟ පටලවා නොගත යුතුය. දිව්‍ය-අයිතිය පිළිබඳ සංකල්පයෙන් කියැවෙන්නේ රජවරුන්ට පාලනය කිරීමට සිය අධිකාරය ලැබෙන්නේ, රෝමයේ පාප් තුළින් නොව, කෙළින්ම දෙවියන්වහන්සේගෙන් බවය. නිව් කැතලික් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි: “පාප්තැන රාජ්‍ය ප්‍රධානීන් කෙරෙහි සමස්ත ආත්මික මෙන්ම ලෞකික බලයක් පාමින් සිටි කාලයක, දිව්‍ය අයිතිය පිළිබඳ සංකල්පය, ජාතික රාජ්‍යයන්හි රජවරුන්ව තැබුවේ තමන්ගේ ආධිපත්‍යය පාප්තැනගේ ආධිපත්‍යයට සමානව දිව්‍යමය වන බව යුක්තිසහගත කරන තත්ත්වයකය.”b
පොදුජන ස්වෛරීභාවය පිළිබඳ මිථ්‍යාව
කාලය ගෙවීයත්ම, මිනිස්සු අධිකාරයේ වෙනත් ප්‍රභව යෝජනා කළහ. ජනතාවගේ ස්වෛරීභාවය ඉන් එකක් විය. බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ මෙම සංකල්පය ග්‍රීසියෙන් ආරම්භවූ බවයි. කෙසේවෙතත්, පුරාතන ග්‍රීක් ප්රජාතන්ත්රය, පෞර රාජ්‍යයන් කීපයක පමණක් ක්‍රියාවට නගනු ලැබූ අතර, මේවායේ පවා ඡන්දය ප්‍රකාශ කළේ පුරුෂ පුරවැසියන් පමණකි. ජනගහනයෙන් අඩක් පටන් පහෙන් හතරක් හැටියට තක්සේරු කරන ලද—කාන්තාවන්, වහලුන් මෙන්ම, නේවාසික විදේශිකයන් අත්හරිනු ලැබීය. එය කිසිසේත්ම ජනප්‍රිය ස්වෛරීභාවයක් නොවේ!
ජනතාවගේ ස්වෛරීභාවය පිළිබඳ සංකල්පය පෙලඹවූයේ කවරෙක්ද? පුදුමසහගත ලෙස, එය හඳුන්වා දෙනු ලැබුවේ මධ්‍යම යුගය තුළ රෝමානු කතෝලික දේවධර්මවේදීන් විසින්ය. දහතුන්වන ශතවර්ෂයේදී, තෝමස් ඇක්වයනස් කියා සිටියේ ස්වෛරීභාවය දෙවියන්වහන්සේගෙන් ඇරඹෙන අතර, එය ජනයාට පවරා ඇති බවයි. මෙම සංකල්පය ජනප්‍රිය එකක් බවට පත්විය. නිව් කැතලික් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි: “අධිකාරයේ ප්රභවය හැටියටවූ ජනයාගේ මෙම සංකල්පයට 17වන ශතවර්ෂයේ කතෝලික දේවධර්මවේදීන් බහුතරයකගේ අනුබලය ලැබුණි.”
පාප්ගේ, බිෂොප්ගේ හෝ පූජකයන්ගේ තේරීම කෙරෙහි ජනයාට කිසිඳු හඬක් නොතිබුණ පල්ලියක දේවධර්මවේදීන් ජනයාගේ ස්වෛරීභාවය පිළිබඳ සංකල්පය පෙලඹවිය යුත්තේ මන්ද? ඊට හේතුව යුරෝපීය රජවරුන් සමහරෙකු පාප්ගේ අධිකාරය යටතේ ක්‍රමක්‍රමයෙන් නොසන්සුන් තත්ත්වයකට පත්වීමය. අධිරාජයෙක් හෝ ඒකාධිපති රජෙකු පහ කිරීමට අවශ්‍ය බව හැඟුණේ නම්, ජනප්‍රිය ස්වෛරීභාවය පිළිබඳ සංකල්පය එසේ කිරීමේ බලය පාප්ට ලබා දුන්නේය. ඉතිහාසඥයන් වන විල් හා ඇරියෙල් ඩියූරන්ට් ලිව්වේ මෙසේය: “ජනප්‍රිය ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට කටයුතු කළ අය අතරට ජෙසුයිට්වරුන්ගේ බොහෝ දෙනෙකු අයත් වූ අතර, මෙතුළින් ඔවුන් දුටුවේ පාප්තැනගේ අධිකාරයට එරෙහිව රාජකීය අධිකාරය දුර්වල කිරීමට ක්රමයකි. කාර්ඩිනල් බෙලාර්මන් තර්ක කර සිටියේ, රජවරුන්ගේ අධිකාරය ජනතාවගෙන් ලබා, ඒ හේතුවෙන් ජනතාවට යටත්ව තිබේ නම්, එය පැහැදිලිවම පාප්වරුන්ගේ අධිකාරයට යටත් බවය . . . ස්පාඤ්ඤ ජෙසුයිට්වරයෙකු වන, ලුයිස් මොලිනා නිගමනය කළේ, ලෞකික අධිකාරයේ ප්රභවය හැටියට ජනයාට, යුතුලෙස—එහෙත් ක්‍රමවත් පටිපාටියක් මගින්—අසාධාරණ රජ කෙනෙකුව පහකළ හැකි බවය.”
“ක්‍රමවත් පටිපාටිය” ඇත්තවශයෙන්ම, සකස් කරනු ලබනවා ඇත්තේ පාප් විසින්ය. මෙය තහවුරු කරමින්, ඉස්ට්වාර් යූනිවර්සල් ඩ’ ලෙග්ලිස් කැටොලීක් නම් ප්‍රංශ කතෝලික ග්‍රන්ථය බියෝග්රෆි යූනිවර්සල් නම් ග්‍රන්ථයෙන් කොටසක් උපුටා දක්වයි. එය පවසනුයේ මෙසේය: “බෙලාර්මන් . . . සාමාන්‍ය කතෝලික ධර්ම ඉගැන්වීමක් හැටියට උගන්වන්නේ, කුමාරවරුන් ජනතාවගේ වරණයෙන් සිය බලය ලබන බවත්, ජනතාවට මේ සඳහා ඇති අයිතිය ක්‍රියාවට නැගිය හැක්කේ පාප්තැනගේ බලය යටතේ පමණක් බවත්ය.” (ඇල අකුරු අපගේය.) ජනප්‍රිය ස්වෛරීභාවය මෙසේ පාලකයන්ගේ කැමැත්තට බලපෑම් කිරීමට, එමෙන්ම අවශ්‍යතාව පැන නැගුණි නම්, ඔවුන්ව රාජ්‍යයෙන් පහ කරන්නට පාප් විසින් පාවිච්චි කළ හැකි උපකරණයක් බවට පත්විය. වඩාත් නූතන කාලවල, නියෝජිත ප්රජාතන්ත්රයන්හි කතෝලික ඡන්ද දායකයන්ට බලපෑම් කරන්නට එය කතෝලික ධුරාවලියට ඉඩදී ඇත.
නවීන ප්රජාතන්ත්රයන්හි ආණ්ඩුවේ නීත්‍යානුකූලත්වය රැඳී පවතින්නේ “ආණ්ඩු කරනු ලබන්නන්ගේ කැමැත්ත” යනුවෙන් හඳුන්වනු ලබන දෙය මතය. තවත් පැහැදිලිව කියනවා නම්, මෙය “බහුතරයකගේ කැමැත්ත” වන අතර ඡන්ද දායකයන්ගේ උදාසීනකම හා දේශපාලන අක්රමිකතාවන් නිසා, මෙම බහුතරය බොහෝ විට සැබවින්ම ජනගහනයෙන් සුළුතරයක් පමණකි. අදදින, “ආණ්ඩු කරනු ලබන්නන්ගේ අනුමැතිය” බොහෝ විට, “ආණ්ඩු කරනු ලබන්නන්ගේ යටත්වීම, නැතහොත් කලකිරීමෙන් පිළිගැනීමට වැඩි යමක් අදහස් කරන්නේ නැත.”
ජාතික ස්වෛරීභාවය පිළිබඳ මිථ්‍යාව
මුල්කාලීන පාප්වරුන් විසින් පොලඹවන ලද ශුද්ධ රජකම පිළිබඳ මිථ්‍යාව රජවරුන්ගේ දිව්‍ය අයිතිය බවට වෙනස් වූ විට, එය පාප් පදවිය කෙරෙහි ආපසු හැරී පහර දුණි. ජනප්‍රිය ස්වෛරීභාවය පිළිබඳ න්‍යාය සමානාකාරයෙන් කතෝලික පල්ලිය කෙරෙහිම අවාසිදායක ලෙස බලපෑවේය. දහහත්වන හා 18වන ශතවර්ෂයන් තුළ, ඉංග්‍රීසි ජාතික තොමස් හොබ්ස් හා ජෝන් ලොක් මෙන්ම ප්‍රංශ ජාතික ජාන්-ජාක් රූසෝ වැනි, ලෞකික දර්ශනවාදීහු ජනප්‍රිය ස්වෛරීභාවය පිළිබඳ සංකල්පය කෙරෙහි සිත යොමු කළහ. ඔවුහු පාලකයන් හා පාලනය කරනු ලබන්නන් අතර “සමාජ ගිවිසුම” පිළිබඳ වාදයේ අනුවාදයන් ගොඩනැගූහ. ඔවුන්ගේ ප්‍රතිපත්ති පදනම්ව තිබුණේ දේවධර්ම ශාස්ත්‍රය මත නොව, “ස්වාභාවික නීතිය මතය” එමෙන්ම මෙම අදහස කතෝලික පල්ලිය හා පාප් පදවියට බරපතළ ලෙස හානි පැමිණෙවූ අදහස්වලින් මුදුන්පත් විය.
රූසෝගේ මරණයෙන් කෙටි කලකට පසු, ප්‍රංශ විප්ලවය පටන් ගත්තේය. මෙම විප්ලවය, නීත්‍යානුකූලභාවය පිළිබඳ ඇතැම් සංකල්ප විනාශ කළමුත් එය අලුත් එකක්, එනම් ජාතික ස්වෛරීභාවය පිළිබඳ අදහස බිහි කළේය. ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේ පවසයි: “ප්‍රංශ ජාතිකයෝ රජවරුන්ගේ දිව්‍ය අයිතිය, රදළ පන්තියේ බලසම්පන්න බව, රෝමානු කතෝලික පල්ලියේ වරප්‍රසාද ප්‍රතික්ෂේප කළහ.” එහෙත් බ්‍රිටැනිකා පවසනුයේ “එම විප්ලවය අලුත් උත්පාදය, එනම් ජාතික-රාජ්‍යය, මේරූ තත්ත්වයකට ගෙනාවේය” යනුවෙනි. එම විප්ලවවාදීන්ට මෙම අලුත් “උත්පාදය” අවශ්‍ය විය. ඒ මන්ද?
ඊට හේතුව රූසෝ පක්ෂව කථා කළ පිළිවෙළ යටතේ, පාලකයන්ගේ තේරීම කෙරෙහි බලපෑම් කිරීමට සමාන අයිතියක් සියලුම පුරවැසියන්ට ලැබෙනු ඇති නිසාය. මෙහි ප්‍රතිඵලය වන්නට තිබුණේ—ප්‍රංශ විප්ලවයේ නායකයන් අනුග්‍රහය නොදැක්වූ යමක් වන—ජගත් ඡන්ද බලය මත පදනම් ප්රජාතන්ත්රයකි. මහාචාර්ය ඩියූවර්ජේ මෙසේ පැහැදිලි කරයි: “වර්ෂ 1789 සිට 1791 දක්වා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බූෂුවා (ධනපති) පන්තිය ජාතික ස්වෛරීභාවය පිළිබඳ වාදය උත්පාදනය කළේ නුසුදුසුයයි සලකනු ලැබූ මෙම ප්‍රතිඵලය නියත වශයෙන්ම වැළැක්වීමටයි. ඔවුන් ජනතාව ‘ජාතිය’ සමඟ එකට සම්බන්ධ සේ හැඳින්වූ අතර ඔවුන් එය සැලකුවේ ඊට අඩංගු කොටස්වලින් වෙනස්ව පවතින සැබෑ වස්තුවක් හැටියටය. එම ජාතිය පමණක්, එහි නියෝජිතයන් මගින්, ස්වෛරීභාවය භුක්ති විඳින්නට සුදුසුකම් ලබයි . . . ප්රජාතන්ත්රවාදී බාහිර පෙනීමක් තිබුණත්, ජාතික ස්වෛරීභාවය පිළිබඳ සංකල්පය කිසිසේත් ප්රජාතන්ත්රවාදී නොවේ, මන්දයත් ප්‍රායෝගික වශයෙන් ඕනෑම ආකාරයක ආණ්ඩුවක්, නිශ්චිතාකාරයෙන් ඒකාධිපත්‍යය යුක්තිසහගත බැව් දක්වන්නට එය පාවිච්චි කළ හැකි බැවිනි.”
මනුෂ්‍ය වෑයම් අසාර්ථකය
අධිකාරයේ නීත්‍යානුකූල මාධ්‍යයක් හැටියට ජාති-රාජ්‍යය පිළිගැනීම ජාත්‍යාලය සඳහා මඟ පෙන්වීය. ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේ පවසයි: “ජාත්‍යාලය බොහෝ විට ඉතා පැරණි යයි කල්පනා කෙරේ; ඇතැම්විට එය දේශපාලන හැසිරීමේ ස්ථිර සාධකයක් හැටියට වරදවා සලකනු ලැබේ. ඇත්තවශයෙන්ම, අමෙරිකානු හා ප්‍රංශ විප්ලව එහි පළමු බලගතු ප්‍රදර්ශනයන් හැටියට සැලකිය හැකිය.” එම විප්ලව පටන්, ජාත්‍යාලය, අමෙරිකාව, යුරෝපය, අප්‍රිකාව හා ආසියාව පුරා විහිදී ගොස් ඇත. ජාත්‍යාලයේ නාමයෙන් කුරිරු යුද්ධ අනුමත කර ඇත.
බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥ ආර්නල්ඩ් ටොයින්බී මෙසේ ලිව්වේය: “පුරවැසිභාවයේ ආත්මය වනාහි ගෝත්රිකවාදයේ පැරණි බෝතල්වල ඇඹුල් ලෙස පැසවමින් තිබෙන ප්රජාතන්ත්රයේ අලුත් වයින් වන්නේය. . . . ප්රජාතන්ත්රය හා ගෝත්රිකවාදය අතර මෙම පුදුමසහගත සමඟි සම්මුතිය අපගේ නවීන බටහිර ලෝකයේ ප්‍රායෝගික දේශපාලනය තුළ පූර්ණ ප්රජාතන්ත්රවාදයට වඩා බලසම්පන්න වී ඇත.” ජාත්‍යාලය සාමකාමී ලෝකයක් බිහිකර නැත. “ආගමේ යුද්ධවලින්, කෙටිම විරාමයකින් පසු, ජාත්‍යාලයේ යුද්ධ සිදු වී ඇත; තවද අපගේ නවීන බටහිර ලෝකයේ ආගමික ධර්ම උන්මාදයේ ස්වභාවය හා ජාතික ධර්ම උන්මාදයේ ස්වභාවය පෙනෙන ආකාරයට නපුරු වූ එකම බලවත් හැඟීම වන්නේය.”
“ශුද්ධවූ රජකම,” “රජවරුන්ගේ දිව්‍ය අයිතිය,” “පොදුජන ස්වෛරීභාවය,” හා “ජාතික ස්වෛරීභාවය” යනාදී මිථ්‍යා ප්‍රබන්ධයන්ගෙන් පාලකයන් වෑයම් දරා ඇත්තේ සෙසු මනුෂ්‍යයන් කෙරෙහි සිය අධිකාරය නීත්‍යානුකූල කිරීමටය. කෙසේවෙතත්, මනුෂ්‍ය පාලකයන්ගේ වාර්තාවන් සලකා බැලීමෙන් පසු, “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන කාලයක් තිබේ” යනුවෙන් සාලමොන් ප්‍රකාශ කළ සිතුවිල්ලට ක්‍රිස්තියානියෙකුට එකඟ වනු විනා කළ හැකි වෙනත් දෙයක් නොමැත.—දේශනාකාරයා 8:9.
දේශපාලන රාජ්‍යයට නමස්කාර කරනවා වෙනුවට, ක්‍රිස්තියානින් දෙවියන්වහන්සේට නමස්කාර කරන අතර, පිළිගන්නේ උන්වහන්සේ සියලු අධිකාරයන්හි නීත්‍යානුකූල ප්රභවය බවය. ඔවුහු මෙසේ පැවසූ ගීතිකාකාර දාවිත් සමඟ එකඟ වෙති: “ස්වාමීන්වහන්ස [යෙහෝවඃවහන්ස, NW], මහන්තත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය; රාජ්‍යයත්, ස්වාමීන්වහන්ස [යෙහෝවඃවහන්ස, NW], ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටිනසේක.” (1 ලේකම් 29:11) එහෙත්, දෙවියන්වහන්සේගේ තත්ත්වයට ගෞරව කිරීමක් වශයෙන් ඔවුහු ලෞකික හා ආත්මික ක්ෂේත්රයන්හි අධිකාරය සඳහා නිසි ගෞරවය පෙන්වමින් සිටිති. ඔවුන්ට මෙය ප්‍රීතියෙන් කළ හැකි ආකාරය හා ඊට හේතුව මීළඟ ලිපි දෙකේ විමර්ශනයට ලක් වෙනවා ඇත.
[පාදසටහන්වල]
a මොරීස් ඩියූවර්ජේගේ ඩ්රුවා කොංස්ටිටියූසියොනෙල් එ’ අංස්ටිටියූසියොං පොලිටීක්.
b ද කැතලික් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි: “ ‘රජවරුන්ගේ’ මෙම (රජවරුන්ගේ හෝ සමූහාණ්ඩුවේ වේවා, සියලු අධිකාරය දෙවියන්වහන්සේගෙන් බවට වූ ධර්මයට අතිශයින් වෙනස්), ‘දිව්‍ය අයිතිය’ කතෝලික පල්ලියෙන් කිසිකලෙක අනුමත කර නොමැත. ප්‍රතිසංස්කරණයේදී එය කතෝලික ධර්මයට අතිශයින්ම විරුද්ධ ස්වභාවයක් ආරූඪ කර ගත් අතර VIIIවන හෙන්රි හා Iවන ජේම්ස් වැනි රජවරු, ආත්මික මෙන්ම සිවිල් අධිකාරය සම්පූර්ණයෙන් ඉල්ලා සිටියහ.”
[15වන පිටුවේ පින්තූරය]
අධිරාජ්‍යයන්ට හා රජවරුන්ට ඔටුනු පැළඳවීමට ඇති අධිකාරය කතෝලික පල්ලිය තමාටම පවරා ගත්තාය
[හිමිකම් විස්තර]
Consecration of Charlemagne: Bibliothèque Nationale, Paris