ෆීජි ජලාශවල “මසුන් ඇල්ලීම”
ෆීජි—යන නාමය මනසට සිහිගන්වන්නේ දකුණු මුහුදුකරයේ පාරාදීසයකි. නිල්-කොළපැහැති ජලාශ, කොරල් (හිරිගල්) පර, එහා මෙහා වැනෙන පොල්ගස්, නිල්වන් කඳු, නිවර්තන-කලාපීය මසුන්, විසිතුරු පලතුරු හා මල්ය. දකුණු ශාන්තිකර සාගරයෙහි නවසීලන්නතයට සැතපුම් 1,100ක් පමණ උතුරින් දූපත් 300කින් යුත් මෙම කොදෙව් සමූහය මත ඔබට මේ සියල්ලක්ම බහුල වශයෙන් සොයාගත හැක. එමනිසා, නිවර්තන-කලාපීය පාරාදීසයක් පිළිබඳ සෑම කෙනෙකුගේම සිහිනය ෆීජි වියහැකි බවට ඔබ එකඟවීමට පුළුවන.
කෙසේවුවද, ෆීජි චිත්තාකර්ෂණීය වන්නේ එහි ස්වාභාවික අලංකාරයෙන් පමණක්ම නොවේ. එසේය, හිරිගල් වැටිවල මසුන් අතරෙහි මහත් විවිධත්වයක් තිබෙන්නාක්සේම, ගොඩබිමෙහිද මහත් විවිධත්වයක් තිබේ. ෆීජිහි මනුෂ්‍ය ජාතිවල මිශ්‍රණයේ වෙනස්කම් සමහරවිට, දකුණු ශාන්තිකරයෙහි සමකළ නොහැක. එහි 7,50,000කට ආසන්න ප්‍රමාණයක් සිටින පුරවැසියන් අතරෙහි විශාලතම කණ්ඩායම් දෙක නම්, මෙලනීසියානු සම්භවයක් තිබෙන ස්වදේශීය ෆීජිවරුන් හා ෆීජිවල උපන් ඉන්දියානුවන්ය, ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය දවස් තුළදී ඉන්දියාවෙන් ගෙනෙන ලද කම්කරුවන්ගෙන් පැවතෙන්නන්ය. එහෙත් බනාබාවරු, චීන්නු, යුරෝපියයෝ, ගිල්බට්වරු, රොටුමාවරු, ටුවලුවන්වරු හා වෙනත් අයද සිටිති.
මෙම බහුසංස්කෘතික සමාජය තුළ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ “මසුන් ඇල්ලීමේ” වැඩක කාර්ය බහුලව යෙදී සිටිති. (මාර්ක් 1:17) එබඳු නානාප්‍රකාර ප්‍රජාවක් තුළ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම අභියෝගයකි. පළමුව, ජයගැනීමට භාෂා සහ සංස්කෘතික බාධක තිබේ. පොදු භාෂාව ඉංග්‍රීසි වුවත්, බොහෝවර ෆීජියානු, හින්දි, රොටුමන් හෝ වෙනත් භාෂා භාවිතා කළ යුතුය.
නොයෙක් ආගමික පසුබිම් තිබෙන අයවලුන් සමඟ කතා බහ කිරීමට විවිධ පිවිසීම්ද ගත යුතුය. ස්වදේශික ෆීජිවරුන්ගෙන් බොහෝ දෙනෙක් හා වෙනත් දූපත් වැසියෝ විවිධ ක්‍රිස්තියානි නිකායවලට අයිතිව සිටිති. හින්දු, මුස්ලිම් හා සීක්වරුන්ගෙන් ඉන්දියානු ජනගහනය සෑදෙන අතර, බහුතරය හැටියට සිටින්නේ හින්දුවරුන්ය. නගරවල හා ගම්වල පල්ලි බහුලව තිබේ, නමුත් ෆීජිවල විශාලතම දූපත් දෙකෙහි, බොහෝ හින්දු කෝවිල් හා මුස්ලිම් පල්ලි දක්නට ලැබීම කැපී පෙනෙන්නකි.
ඉංග්‍රීසි, ෆීජියානු හා හින්දි යන ප්‍රධාන භාෂා තුන කතා කිරීමේ හැකියාව ඇතුව බොහෝ දේශීය සාක්ෂිකරුවන් හැදී වැඩී ඇත. “මසුන් ඇල්ලීමේ” වැඩයේදී මෙම දක්ෂතාව ඇතුව සිටීම මහත් වාසියකි. ෆීජියානුවෙකු දක්ෂ ලෙස හින්දි කතා කරනවා අසද්දී හා හින්දුවරයෙකු දක්ෂ ලෙස ෆීජියානු භාෂාව කතා කරනවා අසද්දී, ජනයා මවිතයට පත්වෙයි. කටයුතු කිරීම සඳහා සංස්කෘතික, ආගමික හා භාෂා වෙනස්කම් තිබෙන බැවින්, “වෙනත් අයවලුන් සමඟ [ශුභාරංචියේ] පංගුකාරයෙකු වීමට” විවිධ සමර්ථකම් සහිත පිවිසීමක් වුවමනා කෙරේ.—1 කොරින්ති 9:23, NW.
ෆීජියානු ගමක “මසුන් ඇල්ලීම”
ස්වදේශික ෆීජියානුවරු මිත්‍රශීලී, ආගන්තුක සත්කාරයට ලැදි පුද්ගලයෝ වෙති. සියවසකට වඩා ටිකකට කලින්, ගෝත්‍රික සටන් නිතර අසන්ට දකින්ට තිබුණේයයි සිතීම උගහටය. සැබවින්ම, යුරෝපියයන් පළමුවෙන්ම මෙහි පැමිණි අවස්ථාවේදී, ෆීජි ප්‍රකටව තිබුණේ මිනීමස් කන දූපත් වශයෙන්ය. අන්තිමේදී, සියල්ලන්ටම ප්‍රධාන නායකයෙකු බලයට පැමිණ, ක්‍රිස්තියානි ධර්මය වැළඳගැනීමත් සමඟම, සටන් කිරීම හා මිනීමස් කෑම නැතිවී ගියේය. ගෝත්‍රික වෙනස්කම් පවතින්නේ විවිධ පළාත්වල තිබෙන බොහෝ උපභාෂා තුළ පමණකි, නමුත් බව්වාන් උපභාෂාව ව්‍යාප්ත ලෙස භාවිතා කෙරේ.
එහි අගනුවර වන, සුවාට අමතරව, ෆීජි පුරාම බොහෝ නගර තිබේ. ටූරාංගා නී කෝරෝ හෙවත් මුලාදෑනියෙකුගේ පාලනය යටතේ තිබෙන ගැමි ප්‍රජා තුළ ෆීජිවරුන්ගෙන් වැඩිදෙනෙක් ජීවත්වෙති. “මසුන් ඇල්ලීම” සඳහා ගමකට ඇතුළුවන විට, නොයෙක් බූරේස් හෙවත් ප්‍රදේශයේ නිවෙස්වලට යෑමට අවසර ගැනීම සඳහා මෙම මිනිසා වෙතට පිවිසීම සිරිතකි. සාමාන්‍යයෙන් ගම්මානයේ යම් පූජකයෙකු විසින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට දක්වන ලද විරුද්ධත්වය නිසා ඉඳහිට පමණක් අවසර දීම ප්‍රතික්ෂේප කෙරේ. ෆීජියානු නිවසක් වෙතට යෑම කොයි ආකාරද?
බූරේකට ඇතුළුවී, අපි කකුල් හරස්කොට බිම වාඩි වෙමු. බටහිර රටවල මෙන්, උනන්දුව ග්‍රහණය කිරීමට පරෙස්සම් ලෙස වචන හසුරුවා භාවිතා කරනු ලබන හැඳින්වීමක් මෙහි අවශ්‍ය නොකෙරේ. දෙවියන්වහන්සේ ගැන කථා කිරීමට පැමිණෙන ඕනෑම කෙනෙකුව පිළිගනු ලැබේ. නිවැසියාගේ බයිබලය ගෙනෙන ලෙස ආරාධනා කරනු ලැබූ විට, ඔහු වහාම නැගිට, “ටූලෝ” (මට සමාවන්න) යන ප්‍රකාශය ඇතුව, ෆීජියානු බයිබල් පිටපතක් ගැනීම සඳහා රාක්කයක් වෙතට ගොස්, පැමිණ සිටින දේවසේවකයා සඳහන් කරන විවිධ පාඨ ඕනෑකමින් කියවයි. කෙසේවුවද, ආගන්තුකසත්කාරශීලී හා ගෞරවපූර්වක ෆීජියානු ආකල්පය වෙනස් අකාරයකින් අභියෝගයක් ඉදිරිපත් කරයි. නිවැසියන් කතා බහට හවුල්කරවා ගැනීමටද, සිදුකරනු ලබන තර්කය අනුගමනය කිරීම සඳහා දිරිගැන්වීමට හෝ ඔවුන්ගේම විශ්වාසයන් බයිබල් ඉගැන්වීම් සමඟ සැසඳීමේ අවශ්‍යතාව දැකීම සඳහා ඔවුන්ට උපකාර කිරීමටද සෑහෙන සියුම් නුවණ හා උපායශීලීකම අවශ්‍ය කෙරේ.
සමාජ තත්ත්වයන් හෝ ප්‍රධාන ප්‍රශ්න ගැන කතා කරනවාට වඩා ෆීජියානු නිවැසියන් සාමාන්‍යයෙන් වැඩි උනන්දුවක් දක්වන්නේ මූලධර්මයන් පිළිබඳ මාතෘකා සාකච්ඡා කිරීමටය. සැබවින්ම, ෆීජිවල සිටින යෙහෝවඃවහන්සේගේ ක්‍රියාශීලී සාක්ෂිකරුවන් 1,400ට වැඩියෙන් සිටින අයවලුන්ගෙන් බොහෝ දෙනෙකු උනන්දුවක් දැක්වීමට පටන්ගත්තේ, නිරය වනාහි කෙබඳු ස්ථානයක්ද? ස්වර්ගයට යන්නෝ කවරහුද? තවද පොළොව විනාශ වනු ඇත්ද? වැනි ප්‍රශ්න සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කෙසේවුවද, දක්වන ලද උනන්දුව ලුහුබැඳීමේදී අවස්ථාවට අනුව සකස්වීම හා අධෛර්යය නොවී උත්සාහ කිරීම අවශ්‍ය කෙරේ. එකඟ වී නියම කරන ලද වේලාවකට ආපසු පැමිණෙන විට, යමෙකුට බොහෝ විට දක්නට ලැබෙන්නේ නිවැසියා ටේටේවලට (වත්තට) හෝ වෙනත් තැනකට ගොස් තිබෙන බවය. නැත, එසේ වන්නේ ඔවුන් පැමිණීම අගය නොකරන නිසා නොව, නමුත් කාලය පිළිබඳ ඔවුන්ගේ හැඟීම වෙනස් බැවිනි. ඇත්තවශයෙන්ම, පළාතේ සාක්ෂිවරුවන්ට මෙය අසාමාන්‍ය දෙයක් වශයෙන් නොපෙනේ. වෙනත් වේලාවකදී ආපසු යෑමෙන් ඔවුහු උත්සාහය අත්නාරිති. ලියා ගැනීමට වීථි නාම හෝ නිවාස අංක නැත, එබැවින් නැවත බැලීමේදී යමෙකුට හොඳ මතකයක් තිබීම අවශ්‍ය කෙරේ.
පොලිනීසියානු ක්‍රමයට “මසුන් ඇල්ලීම”
දැන්, අපි සංචාරක සේවකයෙකු හෙවත් චාරිකා අවේක්ෂකයෙකු රොටුමාහි කුඩා සභාවකට යන කල, ඔහු සමඟ “මසුන් ඇල්ලීම” සඳහා යමු. මෙම ගිනිකඳු දූපත් සමූහය ඇත්තේ ෆීජිවලට සැතපුම් 300ක් උතුරෙන්ය. එය වෙතට ළඟා වීමට අපි ආසන-19කින් යුත් ගුවන්යානයකින් පියාසර කරමු. ප්‍රධාන දූපත හුදෙක් වර්ග සැතපුම් 19ක් වන අතර, එහි මුළු ජනගහනය 3,000ක් පමණ වේ. ගම්මාන 20ක් පමණ සම්බන්ධ කරමින්, වැලි පාරක් මුහුදුබඩ අසලින් යයි. රොටුමා ෆීජි මගින් අධීක්ෂණය කෙරෙන නමුත්, ඊට වෙනස් සංස්කෘතියක් හා භාෂාවක් තිබේ. පොලිනීසියානු සම්භවයක් ඇති බැවින්, එහි ජනයා මෙලනීසියානු ෆීජිවරුන්ගේ පෙනුමෙන් වෙනස් වෙයි. ආගමික වශයෙන් කතා කරද්දී, වැඩිදෙනෙකු රෝමානු කතෝලික හෝ මෙතෝදිස්තවරුන්ය.
ගුවන්යානය පහළට පැමිණ ගොඩබෑමට සූදානම් වෙද්දී, දූපතේ සරු කොළපැහැති ගහකොළ අපි දකිමු. පොල් ගස්වල පිහාටු වැනි අතු සෑම තැනම දැකිය හැකිය. සතියකට වරක් තිබෙන ගුවන්ගමන පිළිගැනීමට විශාල සමූහයක් රැස්ව සිටියි. ඔවුන් අතරෙහි සාක්ෂිකරුවන් කණ්ඩායමක් සිටියි. අපට උණුසුම් ලෙස ආචාර කරනු ලබන අතර, අපගේ පිපාසය සංසිඳුවා ගැනීමට සිදුරක් කපන ලද විශාල කුරුම්බා අපට දෙනු ලැබේ.
කෙටි ගමනකින් පසු, අපි අපගේ නාවාතැනට පැමිණෙමු. බිම උදුනක් මගින් පුලුස්සන ලද ආහාර වේලක් සූදානම්කර තිබේ. බදින ලද ඌරුමස්, කුකුළුමස්, බදින ලද මාළු, පොකිරිස්සෝ සහ ටාරෝ යන ප්‍රාදේශීය අල වර්ගයක් අප ඉදිරියෙහි තබා ඇත. මොනතරම් ප්‍රීතිමත් උත්සවයක්ද, තවද පීදුණු පොල්ගස් යට මොනතරම් පාරාදීසමය පසුබිමක්ද!
ඊළඟ දවසේදී, රොටුමාන්වල හූවාඥා යනුවෙන් හඳුන්වන ලද ගම්මානවල මනුෂ්‍යයන් බැහැදැකීමට අපි යන්නෙමු. අප පළමු නිවස වෙතට පිවිසෙද්දී, ඌරුපැටියෙක් ඌ රඳවා තිබූ ස්ථානයෙන් බේරී පලායද්දී කෑගසමින් දිවයන්නේය. අප පැමිණෙමින් සිටිනවා දැක තිබෙන නිවැසියා සිනාමුසු මුහුණින් දොර විවෘතකර, රොටුමන් භාෂාවෙන් “නොඑයා!” කියා අපට ආචාර කරයි, තවද ඊළඟට වාඩිවීම සඳහා අපට ආරාධනා කරයි. අප ඉදිරියෙහි ඉදුණු කෙසෙල්ගෙඩි සහිත පිඟානක් තබන ලද අතර, කුරුම්බා වතුර පානය කිරීමටද අපට ආරාධනා කෙරේ. රොටුමාහිදී ආගන්තුක සත්කාරය මුල්තැන ගනියි.
ආඥේයවාදීන් හෝ පරිණාමවාදීන් මෙහි නැත. සෑම කෙනෙක්ම බයිබලය කෙරෙහි විශ්වාස කරති. පොළොව සඳහා දෙවියන්වහන්සේගේ අරමුණ වැනි විෂයන්ට ඔවුන්ගේ අවධානය පහසුවෙන්ම යොමු වේ. පොළොව විනාශ නොවන අතර, සදහටම එහි ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් වාසය කරනු ඇතැයි කියා දැනගැනීමෙන් නිවැසියා පුදුමයට පත්වේ. (ගීතාවලිය 37:29) මෙම කාරණය සනාථ කරන බයිබල් පාඨ කියවද්දී ඔහු සමීප ලෙස එය අනුගමනය කරයි, තවද අප ඉදිරිපත් කරන බයිබල් පොත්පත් ඔහු ඕනෑකමින් පිළිගනියි. අප පිටවීමට සූදානම් වෙද්දී, පැමිණීම ගැන ඔහු අපට ස්තුති කරන අතර, අප යන අතරතුරේදී අපට කෑමට හැකිවන පිණිස ඉදුණු කෙසෙල්ගෙඩිවලින් පිරුණු ප්ලාස්ටික් මල්ලක් ඔහු අපට පිරිනමයි. මෙහි දේශනාකිරීමෙන් යමෙකුගේ බර ඉක්මනින්ම වැඩි විය හැක!
ඉන්දියානු ප්‍රජාවට සකස්වීම
දකුණු පැසිෆික්වල වෙනත් බොහෝ දූපත් රටවල් බහුවාර්ගික වුවත්, මේ සම්බන්ධයෙන් ෆීජි කැපීපෙනෙයි. මෙලනීසියානු, මයික්‍රොනීසියානු හා පොලිනීසියානු සංස්කෘති සමඟ ආසියාවෙන් ගෙනෙන ලද්දක්ද ඇත. වර්ෂ 1879 සහ 1916 අතරතුරේදී, උක්කෙත්වල වගා කිරීම සඳහා ඉන්දියාවෙන් ගිවිසුමකට අනුව කම්කරුවන් ගෙනෙන ලදි. ගිර්මිට් (පොරොන්දුව) යනුවෙන් හඳුන්වන ලද මෙම සැලැස්ම නිසා, දහස් ගණන් ඉන්දියානුවෝ ෆීජිවලට පැමිණීමට පටන්ගත්තෝය. රටේ ජනගහනයෙන් විශාල කොටසක් සකස් වී ඇත්තේ මෙම කම්කරුවන්ගේ පැවතෙන්නන්ගෙන්ය. ඔවුහු තමන්ගේ සංස්කෘතිය, භාෂාව හා ආගම රැකගෙන ඇත්තාහ.
ෆීජිවල ප්‍රධාන දූපතේ සුළඟට මුවාවූ පැත්තෙහි ලෞටෝකා නගරය තිබේ. මෙය වනාහි ෆීජිවල උක් කර්මාන්තයේ මධ්‍යස්ථානය වන අතර, රටේ ඉන්දියානු ජනගහනයෙන් විශාල කොටසක පදිංචිය මෙහිය. මෙහි සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභා තුනට “මසුන් ඇල්ලීමේ” සිය වැඩයෙහි හොඳින් සකස්වීම අවශ්‍ය කෙරේ. ගෙයින් ගෙට යෑමේදී, නිවැසියාගේ ජාතියට හා ආගමට අනුව මාතෘකා වෙනස් කිරීමට යමෙකුට සූදානම්ව සිටීමට සිදුවේ. ලෞටෝකාවලට ටිකක් එපිටින් උක්කෙත් අතරෙහි විසිරී තිබෙන නිවාස වෙත ප්‍රාදේශීය සාක්ෂිකරුවන් කණ්ඩායමක් යද්දී, අපි ඔවුන්ට එක්වෙමු.
අප පළමු නිවසට පිවිසෙද්දී, ගෙමිදුලෙහි ඉදිරිපස මුල්ලක සමහර දිග උණබටවල මුදුනෙහි රතු රෙදි කැබලි ගැටගසා තිබෙනවා අපි දකිමු. පවුල හින්දු වශයෙන් මෙය ඔවුන්ව හඳුන්වා දෙයි. හින්දු නිවාසවලින් වැඩිහරියක් ඔවුන්ගේ දෙවිවරුන්ගේ පින්තූරවලින් සරසා තිබේ. ක්‍රිෂ්ණා වැනි, ජනප්‍රිය දෙවියෙකු බොහෝ දෙනෙකුට ඇත, තවද බොහෝ විට කුඩා පිළිමයක්ද තිබේ.a
සියලුම ආගම් යහපත් බවත්, නමස්කාර කිරීම සඳහා ඒවා වෙනස් මාර්ග වෙනවා පමණක් බවත් හින්දුවරුන්ගෙන් වැඩිදෙනෙක් විශ්වාස කරති. මෙසේ, නිවැසියෙකු ආචාරසම්පන්නව ඇහුම්කන්දී, යම් පොත්පත් ලබාගෙන, ආහාරපාන ඉදිරිපත් කළ හැක, තවද එසේ කිරීමෙන් තමාගේ යුතුකම කළේයයි කියා සිතයි. වඩාත් අර්ථවත් සාකච්ඡා වෙතට නිවැසියාව යොමු කිරීම සඳහා සුදුසු ප්‍රශ්න මතුකිරීමට නම්, ඔවුන්ගේ විශ්වාසයේ කොටසක්ව තිබෙන යම් කතාන්තර දැනසිටීම බොහෝවිට ප්‍රයෝජනවත්ය. උදාහරණයක් වශයෙන්, බොහෝ මනුෂ්‍යයන් ප්‍රශ්න කරනු ලබන්නාවූ ක්‍රියාවල ඔවුන්ගේ දෙවිවරුන් යෙදෙමින් සිටින බව ඔවුන්ගේ යම් කතාන්තරවලින් පෙන්වන බව දැනසිටින විට, අපට මෙසේ ඇසිය හැක: “ඔබගේ බිරිඳ (සැමියා) එලෙස හැසිරීම ඔබ අනුමත කරනු ඇත්ද? සාමාන්‍යයෙන් පිළිතුර: “නැත, ඒකාන්තයෙන්ම නැත!” අනතුරුව, එම පුද්ගලයාගෙන් මෙම ප්‍රශ්නය ඇසිය හැක: “හොඳයි, දෙවිකෙනෙකු මෙසේ ක්‍රියා කළ යුතුද?” එබඳු සාකච්ඡා බොහෝවිට බයිබලයේ වටිනාකම දැක්වීම සඳහා ප්‍රස්තා විවෘත කරයි.
හින්දු ආගමේ තවත් අංගයක් වන, පුනරුත්පත්තිය කෙරෙහි විශ්වාසය, සාකච්ඡාව සඳහා සරු විෂයකි. මරණයෙන් සිය පියා මෑතකදී අහිමිවූ මැනවින්-උගත් එක්තරා කන්තාවකගෙන් මෙසේ අසනු ලැබීය: “ඔබගේ පියා සිටියාසේම නැවත දැකගැනීමට ඔබ කැමති වනු ඇත්ද? “එසේය, එය පුදුමාකාර දෙයක් වනු ඇතැයි” යනුවෙන් ඈ පිළිතුරු දුන්නාය. ඇගේ ප්‍රතිචාරයෙන් හා අනතුරුව සිදුකරන ලද කතා බහෙන් පැහැදිලි වූයේ ඇගේ පියා වෙනත් ආකාරයකින් දැන් ජීවත්ව සිටින බව හා නැවත කිසිවිටකත් ඔහුව හඳුනාගැනීමට ඇයට නොහැකියයි යන විශ්වාසය සමඟ ඇය සෑහීමකට පත්නොවූ බවය. එහෙත් නැවත-නැගිටීම පිළිබඳ බයිබලයේ පුදුමාකාර ඉගැන්වීම ඇගේ හදවතට බලපෑමක් ඇතිකිරීමට සමත් විය.
ඇතැම් හින්දුවරුන්ට ප්‍රශ්න තිබෙන අතර, සෑහීමට පත්කරවන පිළිතුරු ඔවුහු සොයමින් සිටිති. සාක්ෂිකරුවෙකු හින්දු නිවසකට ගිය විට, මනුෂ්‍යයා මෙසේ ඇසීය: “ඔබගේ දෙවියන්ගේ නම කුමක්ද?” සාක්ෂිකරුවා ගීතාවලිය 83:17 ඔහුට කියවා, දෙවියන්වහන්සේගේ නාමය යෙහෝවා බවත්, ගැළවීම ලබාගැනීමට එම නාමයට යාච්ඤා කළ යුතු බව රෝම 10:13 පවසන බවත් පැහැදිලි කළේය. මනුෂ්‍යයා පුදුමයට පත්ව, තවත් දැනගැනීමට වුවමනා කළේය. සැබවින්ම, දැනගැනීමට ඔහුට දැඩි ඕනෑකමක් තිබුණේය. ඔවුන්ගේ පවුලේ පිළිමයට තම පියා ඉතා භක්තිමත්ව සිටි අතර, එය ඉදිරියෙහි නමස්කාර කිරීමෙන් පසු, ඔහු රෝගාතුර වී ඉන් ටික කලකට පසු මියගිය බව ඔහු පැහැදිලි කළේය. එම දෙයම ඔහුගේ වැඩිමල් සහෝදරයාටද සිදුවී තිබිණ. අනතුරුව ඔහු මෙය එකතු කළේය: “එම පිළිමය අපට ගෙනෙන්නේ මරණය මිස ජීවනය නොවේ. එබැවින් ඊට නමස්කාර කිරීම සමඟ යම් වරදක් තිබිය යුතුය. සමහරවිට, ජීවනයට මාර්ගය අපට සොයා ගැනීමට මෙම දෙවියන් වූ, යෙහෝවඃවහන්සේට උපකාර කිරීමට පුළුවන.” එබැවින් ඔහු, ඔහුගේ භාර්යාව හා ඔහුගේ දරුවන් දෙදෙනා සමඟ බයිබල් පාඩමක් ආරම්භ කෙරිණ. ඔවුහු ශීඝ්‍රයෙන් දියුණු වී, ඉක්මනින්ම බව්තීස්ම ලබාගත්හ. ඔවුහු තමන්ගේ පිළිම අත්හැර, දැන් ජීවනයේ දෙවිවූ, යෙහෝවඃවහන්සේගේ මාර්ගයෙහි ගමන්කරමින් සිටිති.
අපි ඊළඟට මුස්ලිම් පවුලක් සිටින නිවසකට පැමිණෙමු. එම ආගන්තුක සත්කාර ස්වභාවයම දක්නට තිබේ, තවද ඉක්මනින්ම අපගේ අත්වල සිසිල් පැන් සමඟ අපි අසුන්ගෙන සිටිමු. ආරාබි ලියවිල්ලක කුඩා රාමුකරන ලද පදයක් මිස වෙන කිසිම ආගමික පින්තූරයක් බිත්තිවල අපි නොදකිමු. බයිබලය හා කුරානය අතරෙහි පොදු සම්බන්ධයක් තිබෙන බවත් එනම් කුලදෙටු ආබ්‍රහම්, තවද ආබ්‍රහම්ගේ වංශය කරණකොටගෙන සියලු ජාතීන්ට ආශීර්වාද ලැබෙනු ඇතැයි යනුවෙන් දෙවියන්වහන්සේ පොරොන්දු කළසේක. මෙම පොරොන්දුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන, උන්වහන්සේගේ පුත්‍රයා තුළ ඉටුවීමට තිබේ. දෙවියන්වහන්සේට පුත්‍රයෙකු සිටියයි යන අදහසට ඇතැම් මුස්ලිම්වරුන් විරෝධතාව දක්වනු ඇත. මෙසේ පළමු මනුෂ්‍යයා වූ, ආදම් දෙවියන්වහන්සේ විසින් මවා තිබෙන නිසා ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයා වශයෙන් හඳුන්වා තිබෙන්නාක්සේම, යේසුස්වහන්සේ දෙවියන්වහන්ගේ පුත්‍රයා වන බව අපි පැහැදිලි කරමු. එබඳු පුත්‍රයන් බිහිකිරීමට දෙවියන්වහන්සේට සැබෑ භාර්යාවක් අවශ්‍ය නැත. මුස්ලිම්වරු ත්‍රිත්වයේ ඉගැන්වීම විශ්වාස නොකරන නිසා, යෙහෝවඃ දෙවියන්වහන්සේ උත්තරීතර බව පෙන්වීමට අපි මෙම පොදු පදනම භාවිතා කරමු.
මේවන විට දැන් කෑම ගන්නා වේලාව බැවින්, අපගේ කණ්ඩායමේ සාමාජිකයෝ උක්කෙත්වල සිට ආපසු මාර්ගයට පැමිණෙමින් සිටිති, ආපසු නගරයට යන බසය එනතෙක් ඔවුහු බලා සිටිති. ටිකක් විඩාවට පත්ව සිටියත්, උදෑසන “මසුන් ඇල්ලීමේ” කටයුත්ත ගැන සියල්ලෝම උද්‍යෝගවත්ව සිටිති. මුහුණ දීමට සිදුවූ වෙනස් තත්ත්වයන් හා විශ්වාසවලට සකස්වීමට ගන්නා ලද උත්සාහය මුළුමනින්ම වටී.
ෆීජි ජලාශවල හා කොරල් පරවල බොහෝ මාදිලියේ මසුන් සිටිති. සාර්ථක වීමට, ෆීජියානු ඥෝනෙන්ඩෝ (මසුන්මරන්නා) තමාගේ වැඩයෙහි දක්ෂ වීම අවශ්‍ය කෙරේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ගෝලයන්හට පැවරූ “මසුන් ඇල්ලීමේ” වැඩය සම්බන්ධයෙන්ද එයම සැබෑ වන්නේය. ක්‍රිස්තියානි “මනුෂ්‍යයන් අල්ලන්නන්” තමන්ගේ ඉදිරිපත් කිරීම හා තර්ක මහජනයාගේ විවිධ විශ්වාසවලට ගැළපෙන පරිදි සකස්කර ගනිමින්, දක්ෂ විය යුතුය. (මතෙව් 4:19) මෙය සැබෑවටම ෆීජිවල අවශ්‍ය කෙරේ. තවද යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික සමුළුවලදී ප්‍රතිඵල පැහැදිලිව තිබේ, එහිදී ෆීජියානුවරු, ඉන්දියානුවෝ, රොටුමන්වරු හා මිශ්‍ර වාර්ගික පසුබිම් ඇති ජනයෝ එක්සත්කමින් යෙහෝවඃ දෙවියන්වහන්සේට නමස්කාර කරති. එසේය, ෆීජියානු ජලාශවල “මසුන් ඇල්ලීමේ” වැඩයට උන්වහන්සේගේ ආශීර්වාදය තිබේ.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශයට පත් කරන ලද මෑන්කයින්ඩ්ස් සර්ච් ෆෝර් ගෝඩ් යන පොතේ පිටු 115-17 බලන්න.
[23වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
විටි ලෙවූ
වනූවා ලෙවූ
සුවා
ලෞටොකා
නාන්ඩි
0 කි.මි.100
0 100 සැ.
18°
180°
[24වන පිටුවේ පින්තූරය]
බූරේ හෝ ප්‍රාදේශීය නිවසක්
[24වන පිටුවේ පින්තූරය]
ෆීජිවල හින්දු කෝවිලක්
[25වන පිටුවේ පින්තූර]
ෆීජිවල මනුෂ්‍යයන් සඳහා සාර්ථක “මසුන් ඇල්ලීම”
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Fiji Visitors Bureau