“යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මාව රැකගත්තා!”
මෙම අන්තිම දවස්වල, බොහෝ දෙනෙක් කටයුතු කර ඇත්තේ “කෲරයෝව, යහපතට ප්‍රේම නොකරන්නෝව” හැටියට. (2 තිමෝති 3:1, 3) බටහිර අප්‍රිකාවේ ශාඛා කාර්යාලයේ ස්වේච්ඡා සේවකයෙක් වන, අයිසැක්, මෙය සත්‍යයක් බව සොයා ගත්තේය. ඔහු මෙසේ පවසයි:
“වර්ෂ 1992 ජනවාරි මාසයේදී, තවත් මගීන් පස්දෙනෙක් සමඟ හවුලේ කුලියට ගත් කුලී රථයකින් මා හුදකලා මාවතක් දිගේ ගමන් කරමින් සිටියා. මා අසල අසුන්ගෙන සිටි කාන්තාව සමඟ මා දෙබසක් පටන් ගත් අතර ඇය බයිබලය මත පදනම් විවරණිකාවක් සතුටින් පිළිගත්තා.
“හදිසියේම, සවස හතරට පමණ, ලියාපදිංචි කළ අංකතහඩු නොමැති අලුත් මෝටර් රථයක් අපගේ වාහනය හරස් කළ අතර අප ගමන් කළ වාහනය මහත් හඬක් නගමින් නැවතුණි. රයිපල් අතැති තිදෙනෙක් අනෙක් මෝටර් රථයෙන් එළියට පැන, වේගයෙන් අපගේ දොරටු විවෘත කළහ. ‘ඔක්කොම බහින්ඩ’ කියා ඔවුන්ගෙන් කෙනෙක් කෑ ගැසුවේය.
“තවත් මිනිසෙක් මගේ පොත් බෑගය උදුරා ගත්තා. එහි බයිබල් ප්‍රකාශන පමණක් තිබෙන බව ඔහු දුටු විට, ඔහු එම බෑගය ඉවතට වීසි කළේය. ‘තවත් මොනවාද ඔබ ළඟ තිබෙන්නේ?’ කියා ඔහු ඇසුවේ තමාගේ තුවක්කුව මා දෙසට හරවා ගෙනයි. මම වහාම මගේ මුදල් පසුම්බියේ තිබූ මුදල් ඔහුට දුන්නා. ‘මෙච්චරද?’ කියා ඔහු ඇසුවා. මා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් බවත්, සාක්ෂිකරුවන් බොරු නොකියන බවත් මම ඔහුට කිව්වා. ඔහු මගේ මුදල් පසුම්බිය මගෙන් උදුරාගෙන, මගේ වොච් ටවර් හැඳුණුම් පත දැක, අනතුරුව ‘හොඳයි වොච්ටවර්. මෙහි නවතින්න’ යයි කිව්වා.
“අනතුරුව ඔහු හැරුණේ, මා කුලී රථයේදී සාකච්ඡා කළ කාන්තාව දෙසටයි. ඇය ඉක්මනින් සිය මාලය ගලවා සිය මුදල් පසුම්බියේ තිබූ මුදල් ඔහුට දුන්නාය. එම මං පහරන්නා වෙව්ලමින් තිබූ ඇයගේ අතේ තිබෙන එම විවරණිකාව දුටු විට, අප එක පිරිසක් යයි කල්පනා කළ අතර, මා සමඟ රැඳී සිටින්නැයි ඇයට කීවේය.
“මේ අතර, අවි අතැතිව සිටි අන් සොරුන් බලාත්කාරයෙන් සෙසු මගීන්ට පහර දුන්නා. ඔවුහු එම රියදුරාට හා අප සමඟ ගමන් කරමින් සිටි අනෙක් තැනැත්තාට පහර දී සොරකම් කළා. එක් සොරෙක් දෙවන කාන්තාවගේ මාලය කඩා ගත්තා. ඇය ඊට විරුද්ධ වූ විට, ඇය මැරෙනතෙක් ඔවුන් ඇගේ හිසට හා පපුවට තුවක්කු බඳෙන් පහර දුන්නා. තෙවන කාන්තාව ඔවුහු රථයෙන් එළියට ඇද දමා, ඇයගේ පපුවට වෙඩි තැබුවා. කනගාටුදායක ලෙසින්, ඇයත් මියගියා. සම්පූර්ණයෙන් හානියක් නොකරනු ලැබුවේ මටත්, මා සමඟ සිටි යෞවන කාන්තාවටත් පමණයි.
“ඒ හරහා රථයකින් ගමන් කළ කෙනෙක් පසුව වාහනයට අපව නංවා ගත් විට, භීතියට පත් එම කාන්තාව පුන පුනා කියන්නට පටන් ගත්තේ ‘යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මාව රැකගත්තා!’ කියාය.”