යෞවනයෙනි, ඔබ අවනත වන්නේ කාගේ ඉගැන්වීම්වලටද?
“ඇතැම් අය, . . . භූත ඉගැන්වීම්වලට අවධානය යොමු කරමින් ඇදහිල්ලෙන් වැටී යනවා ඇත.”—1 තිමෝති 4:1, NW.
1. (අ) යෞවනයන්ට තිබෙන තේරීම කුමක්ද? (ආ) යෙහෝවඃවහන්සේ උගන්වන්නේ කෙසේද?
යෞවනයන් අමතා මෙහි අසන ප්රශ්නය නම්, ඔබ අවනත වන්නේ කාගේ ඉගැන්වීම්වලටද? මින් යෝජනා කරන්නේ යෞවනයන් වන ඔබට තේරීමක් කිරීමට තිබෙන බවය. මෙම තේරීම කිරීමට ඇත්තේ දිව්‍ය ඉගැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීම හා භූත ඉගැන්වීම් අනුගමනය කිරීම අතරය. යෙහෝවඃවහන්සේ, ස්වකීය වචනය වන බයිබලය තුළින්ද පොළොව මත ස්වකීය නියෝජිතයන් වශයෙන් උන්වහන්සේ විසින් යොදා ගන්නා අයගේ දේව සේවය තුළින්ද උගන්වන සේක. (යෙසායා 54:13; ක්‍රියා 8:26-39; මතෙව් 24:45-47) එහෙත්, භූතයන්ද උගන්වන බවට අසන විට ඔබ ඒ ගැන පුදුම වන්නෙහිද?
2. විශේෂයෙන්ම මේ කාලයේදී භූත ඉගැන්වීම්වලට එරෙහිව ප්‍රවේසම් වීම අතිශයින් වැදගත් වන්නේ මන්ද?
2 ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “පසුව පැමිණෙන කාල පරිච්ඡේදවල, ඇතැම් අය, මුළාකරවන ආනුභාවලත් ප්රකාශනවලට හා භූත ඉගැන්වීම්වලට අවධානය යොමු කරමින් ඇදහිල්ලෙන් වැටී යනවා ඇත.” (1 තිමෝති 4:1, NW) අප ජීවත් වෙමින් සිටින්නේ, සාතන් සහ ඔහුගේ භූතයන් විශේෂයෙන් ක්‍රියාකාරීව සිටින “අන්තිම දවස්වල” බැවින්, ඔබ අවනත වන්නේ කාගේ ඉගැන්වීම්වලටද යන ප්රශ්නය අප විසින් ඇසීම ඔබට වැටහෙන්නෙහිද? (2 තිමෝති 3:1-5; එළිදරව් 12:7-12) සාතන් සහ ඔහුගේ භූතයන් එතරම්ම කපටි නිසාත්, ඔවුන් ක්‍රියා කරන ක්‍රම එතරම්ම රැවටිලිකාර නිසාත්, ඔබ විසින් මෙම ප්රශ්නය ප්‍රවේසමින් සලකා බැලීම අති වැදගත්ය.—2 කොරින්ති 11:14, 15.
භූතයෝ සහ ඔවුන්ගේ ඉගැන්වීම්
3. භූතයන් යනු කවුරුන්ද, ඔවුන්ගේ අරමුණ කුමක්ද, තවද ඔවුන් එය ඉටු කරගැනීමට මාන බලන්නේ කෙසේද?
3 මෙම භූතයෝ එක් කලකදී යෙහෝවඃවහන්සේගේ දූතයන් වූහ, නමුත් තම මැවුම්කරුවාණන්ට එරෙහිව කැරලි ගැසූ ඔවුහු, සාතන්ගේ බලඇණිය බවට පත්වූහ. (මතෙව් 12:24) ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ, ජනයාව දූෂණය කොට දෙවියන්වහන්සේට සේවය කිරීමෙන් ඔවුන්ව ඉවත් කරවීමයි. මෙය ඉටු කර ගැනීම සඳහා, යෙහෝවඃවහන්සේ විසින් හෙළාදකින ලද ආත්මාර්ථකාමී, දුරාචාර ජීවන මාර්ගයක පෙලඹවීම සඳහා භූතයෝ මිනිස් ගුරුවරුන්ව යොදා ගනිති. (2 පේතෘස් 2:1, 12-15 සසඳන්න.) වරෙක ඇදහිලිවන්ත දේවදූතයන්ව සිටි මොවුන් භූතයන් බවට පත්වූ ආකාරය සලකා බැලීමෙන්, ඔවුන්ගේ ඉගැන්වීම් හා මෙම ඉගැන්වීම් මගින් පොලඹවනු ලබන ජීවන මාර්ග හඳුනා ගැනීමට එය ඔබට උපකාරවත් වෙනවා ඇත.
4. (අ) නෝවාගේ දවස්වලදී අකීකරු දේවදූතයන් පොළොවට පැමිණියේ මන්ද? (ආ) ජල ගැල්ම අතරතුරේදී දුෂ්ට දේවදූතයන්ට හා ඔවුන්ගේ ජනිතයන්ට සිදුවූයේ කුමක්ද?
4 නෝවාගේ දවස්වලදී, එක්තරා දේවදූතයන් සුරූපී මිනිස් දූවරුන් වෙත කොතරම් ඇදී ගියාද යත්, මෙම ආත්ම මැවිලි ස්වර්ගයේ තම තත්ත්වයන් අතහැර පොළොවට පැමිණියෝය. ස්ත්‍රීන් සමඟ ඔවුන් පැවැත්වූ ලිංගික සබඳතාවල ප්‍රතිඵලය වූයේ නෙඵිලිම් නමින් හැඳින්වූ දෙමුහුන් දරුවන් බිහිවීමයි. ආත්ම මැවිලි මිනිසුන් සමඟ සංවාසයේ යෙදීම අස්වාභාවික දෙයක් වූ බැවින්, අකීකරු දේවදූතයන් එම ස්ත්‍රීන් සමඟ කළ දෙය සොදොමේ මිනිසුන් හා පිරිමි ළමුන් පසුව කළ සමලිංගික ක්‍රියා තරම්ම වැරදි විය. (උත්පත්ති 6:1-4; 19:4-11; යූද් 6, 7) එම දේවදූතයන්ගේ කලත්‍රයන් ඔවුන්ගේ දෙමුහුන් දරුවන් සමඟ ජල ගැල්මේදී විනාශ වුවද, දුෂ්ට දේවදූතයෝ මුර්තිමත් කරගත් තම මාංසික ශරීර අතහැර ස්වර්ගයට නැවත ගිය අතර, එහිදී ඔවුහු සාතන් වන යක්ෂයාගේ භූත සහචරයන් බවට පත්වූහ.—2 පේතෘස් 2:4.
5. භූතයන් කුමන ආකාරයේ මැවිලිද, තවද දෙවියන්වහන්සේගේ නීති කණපිට පෙරලීමට ඔවුන් උත්සාහ කරන්නේ කෙසේද?
5 මෙම ඓතිහාසික පසුබිම සලකා බලන විට, මෙම භූතයන් සැබවින්ම කුමන ආකාර මැවිලිද කියා ඔබට පෙනෙනවාද? ඔවුහු වනාහි ලිංගිකත්වයෙන් උමතුවී ඇති මෙම ලෝකය තමන්ට රිසිසේ වැරදියට යොදාගන්නාවූද, දසුන පිටුපස සිටින්නාවූද ලිංගික දූෂිතයෝය. මිනිසුන් ලෙස යළිත් ශරීර මුර්තිමත් කර ගැනීමෙන් ඔවුන්ව වළක්වා තිබුණද, පොළොව මත තම ග්‍රහණයට හසුවූවන්ගේ ලිංගික අපචාරී ක්‍රියාවලින් ඔවුහු ආස්වාදය ලබත්. (එපීස 6:11, 12) පවිත්‍රතාව සහ සදාචාරය සම්බන්ධව යෙහෝවඃවහන්සේගේ නීති කණපිට පෙරලීමට මෙම භූතයන් යත්න දරන්නේ ඒවා අනවශ්‍ය ලෙස තහංචි යයි පෙනීමට සැලැස්වීමෙනි. මෙම දුෂ්ට දේවදූතයන් ලිංගික දුරාචාරය ඉස්මතු කොට දක්වන්නේ, එය ජීවිතයේ සාමාන්‍ය, වින්දනය ලැබිය හැකි දෙයක් ලෙසිනි.
භූතයන්ගේ ඉගැන්වීම්වලට අනුබල දීම
6. භූතයන් සියුම් අන්දමින් ඔවුන්ගේ ඉගැන්වීම්වලට අනුබල දෙන බවට අප පුදුම නොවිය යුත්තේ මන්ද?
6 භූතයන් තම ඉගැන්වීම්වලට සියුම් අන්දමින් අනුබලදීම ගැන අප පුදුම විය යුතු නැත, මන්ද ඔවුන්ගේ නායකයා වන සාතන් වන යක්ෂයා ඒවව රැවටීමේදී යොදාගත්තේ මේ ක්රමයම බැවිනි. ඈට උපකාර කිරීමට තමාට වුවමනා වූ බව අඟවා ඈට කථා කළ බව මතක් කරන්න. “ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපා කියා දෙවියන්වහන්සේ කීවාද?” යයි සාතන් ඇසුවේය. අනතුරුව, තහනම් ගහෙන් කෑමෙන් ඈ ප්‍රයෝජන ලබනු ඇතැයි ඒවට පැවසීම මගින් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම දුර්වල කිරීමට ඔහු සියුම් ලෙස උත්සාහ ගත්තේය. “නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බව[ට]ත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන” බවටත් යක්ෂයා පොරොන්දු විය. (උත්පත්ති 3:1-5) මෙසේ ඒවව ඇදගනු ලැබීය, එසේය, දෙවියන්වහන්සේට අකීකරු වීම සඳහා පොලඹවනු ලැබීය.—2 කොරින්ති 11:3; 1 තිමෝති 2:13, 14.
7. භූතයන්ගේ සියුම් ඉගැන්වීම්වල බලපෑම කුමක් වී තිබේද, තවද මෙමගින් සැපයෙන අනතුරු ඇඟවීම කුමක්ද?
7 මෑත කාලවලදීද, බොහෝ දෙනෙකුව වරදට පොලඹවා තිබේ. මෙම භූතයන් කොතරම් කපටි ලෙස ලිංගික දුරාචාරයට පොලඹවනවාද කියතොත්, වරක් එය හෙළා දුටු අය පවා දැන් එය පිළිගෙන තිබේ. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදවල, තීරු ලිපි මගින් උපදෙස් දෙන එක්තරා සුප්‍රකට උපදේශකවරියක්, අවිවාහක යුවළයන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම පිළිබඳ කාරණය ගැන ලිපියකට පිළිතුරු දීමේදී මෙසේ ලීවාය: “මේ කාරණය සම්බන්ධයෙන් මා අනෙක් පැත්තට හැරෙයි කියා මා කිසිවිටෙකත් සිතුවේ නැහැ, නමුත් විවාහය පිළිබඳව බැරෑරුම් ලෙස සිතන යුවළවල් තමන් ගැළපෙනවාද කියා පරීක්ෂා කර බැලීමට සති අන්තයේ එක්ව චාරිකා කිහිපයක් යා යුතු යයි මා විශ්වාස කරනවා.” ඊළඟට ඈ මෙසේ එකතු කළාය: “මා එය ලීවා කියා මට විශ්වාස කරන්නට බැහැ!” තමා වේශ්‍යාකම නිර්දේශ කර තිබූ බව විශ්වාස කිරීමට ඈට නොහැකිව තිබූ නමුත් ඈ කර තිබුණේ එයමයි! භූත ඉගැන්වීම්, දෙවියන්වහන්සේ විසින් හෙළා දකිනු ලබන පුරුදු පිළිබඳ අපගේ දෘෂ්ටියට බලපෑම් නොකිරීමට අප ප්‍රවේසම් විය යුතු බව පැහැදිලිය.—රෝම 1:26, 27; එපීස 5:5, 10-12.
8. (අ) “ලෝකය” යන වචනය බයිබලයේ යොදා තිබෙන්නේ කෙසේද? (ආ) ලෝකය පාලනය කරන්නේ කවුද, තවද යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලෝකය දෙස බැලිය යුත්තේ කෙසේද?
8 සාතන් වනාහි “මේ ලෝකයේ පාලකයා” බව අප කිසිවිටෙකත් අමතක නොකළ යුතුයි. ඇත්ත වශයෙන්ම, “මුළු ලෝකය නපුරාගේ බලයේ රැඳී පවතින්නේ” යයි ප්‍රේරිත යොහන් පැවසුවේය. (යොහන් 12:31; NW; 1 යොහන් 5:19, NW) යේසුස්වහන්සේ ඇතැම් අවස්ථාවල “ලෝකය” යන වචනය සියලු මිනිස් වර්ගයාට යොමු දැක්වීමට යොදා ගත් බව ඇත්තය. (මතෙව් 26:13; යොහන් 3:16; 12:46) කෙසේවෙතත්, වඩාත් වැඩි අවස්ථාවලදී, උන්වහන්සේ මෙම “ලෝකය” යන වචනය භාවිතා කළේ සැබෑ ක්‍රිස්තියානි සභාවෙන් පිටත පවතින සංවිධානය වූ සකල මිනිස් සමාජයට යොමු දැක්වීමටය. නිදසුනක් වශයෙන්, සිය අනුගාමිකයන්, “මේ ලෝකයේ (අධර්මිෂ්ඨ මිනිස් සමාජයේ) කොටසක් නොවිය යුතු” බවත්, ඔවුන් ලෝකයේ කොටසක් නොවූ බැවින්, ලෝකය ඔවුන්ට වෛර කරනු ඇති බවත් යේසුස්වහන්සේ පැවසූ සේක. (යොහන් 15:19; 17:14-16) සාතන් විසින් පාලනය කරනු ලබන මෙම ලෝකයේ මිත්‍රයන් බවට පත්වීමෙන් අප වැලකිය යුතු යයි බයිබලය තවදුරටත් අනතුරු ඇඟවූයේය.—යාකොබ් 4:4.
9, 10. අනිසි ලිංගික ආශාවන් පුබුදුවාලන්නේ කිනම් ලෞකික දේවල්ද? (ආ) ලෝකයේ විනෝදාස්වාද උගන්වන දේ පිටුපස සිටින්නේ කවුදැයි කියා හඳුනාගැනීමට හැකිවන්නේ කෙසේද?
9 ප්‍රේරිත යොහන් උදක්ම ඉල්ලා සිටියේ මෙසේයි: “ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරල්ලා.” ඔහු මෙසේද පැවසීය: “මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.” (1 යොහන් 2:15, 16) මේ ගැන සිතන්න. වැරදි ආශාව, නිදසුනක් වශයෙන්, නීති විරෝධි ලිංගික සබඳතා පැවැත්වීම උත්තේජනය කරන්නාවූ අදදින ලෝකයේ තිබෙන දේ කුමක්ද? (1 තෙසලෝනික 4:3-5) ලෝකයේ තිබෙන බොහොමයක් සංගීතය ගැන කුමක් කියමුද? කැලිෆෝනියා පොලිසියේ එක් පරීක්ෂක නිලධාරිනියක මෙසේ පැවසුවාය: “මූලික වශයෙන්, සංගීතයෙන් උගන්වන්නේ, ඔබ ඔබගේ දෙමාපියන්ට සවන්දීමට අවශ්‍ය නැති බවය, ඔබට වුවමනා පරිදි ඔබ ජීවත් විය යුතු බවය.” එවැනි සංගීතවලින් සැපයෙන ඉගැන්වීම්වල ප්රභවය කුමක්ද කියා ඔබ හඳුනා ගන්නෙහිද?
10 මෙතැනදී, සාතන් ඒවට මෙබඳු යමක් පැවසුවා හා සමාන බව, සිහිකරන්න: ‘ඔබ යම් දෙයක් අහිමි කරගනිමින් සිටිනවා. ඔබට වුවමනා පරිදි ජීවත් වන්න, හරි දේ හා වැරදි දේ කුමක්ද කියා ඔබම තීරණය කරන්න. දෙවියන්වහන්සේට සවන්දීමට ඔබට අවශ්‍ය නැහැ.’ (උත්පත්ති 3:1-5) මේ ලෝකයේ සංගීත බොහොමයක සොයා ගැනීමට තිබෙන්නේ ඒ ආකාර පණිවුඩයක් නොවේද? එහෙත් භූතයන් උගන්වන්නේ සංගීතය මාර්ගයෙන් පමණක් නොවේ. වාණිජමය රූපවාහිනි වැඩසටහන්, චිත්‍රපට හා වීඩියෝද ඉගැන්වීම සඳහා ඔවුහු යොදගනිත්. ඒ කෙසේද? හොඳයි, ලෝකයේ සන්නිවේදන මාධ්‍යයන් ඉදිරිපත් කරන්නේ, දෙවියන්වහන්සේගේ සදාචාර ඉගැන්වීම් පීඩාකාරී යමක් සේ පෙනීමට සලස්වන විනෝදාස්වාදයය. වේශ්‍යාකම අවධාරණය කිරීමෙන් හා එය ආශාකළ යුතු යමක් ලෙස ඉදිරිපත් කිරීමෙන් ඒවා ඊට පක්ෂව කථා කරති.
11. සදාචාරය සම්බන්ධයෙන් ගත් කල, රූපවාහිනිය බොහෝ විට උගන්වන්නේ කුමක්ද?
11 යූ. එස්. නිව්ස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් සඟරාව මෙසේ ප්‍රකාශ කළේය: “වර්ෂ 1991දී, [එ.ජ.] විකාශනාගාර තුනක් ප්‍රධාන විකාශන කාලය අතරතුරේදී ලිංගික ක්‍රියා 10,000කට වඩා වැඩි ගණනක් විදහා දැක්වූයේය; විවාහක සහකරුවන් අතර සිදුවන ලිංගික සංවාස පෙන්නුම් කරන සෑම ජවනිකාවකටම, විවාහයෙන් පිටත ලිංගික ජවනිකා 14ක් මෙම විකාශනාගාර මගින් පෙන්නුම් කරන ලදි.” එක් වසරකදී, ප්‍රධාන විකාශන කාලය අතුරතුර නීතිවිරෝධි වැරදි ලිංගික සිද්ධීන් 9,000කට වඩා වැඩි ගණනක් පෙන්වීම මගින්, ඔබ පවසන්නේ රූපවාහිනිය උගන්වමින් සිටින්නේ කුමක් කියාද? “සෙක්ස් ඉන් ප්‍රයිම්ටයිම් ටෙලවිෂන්: 1979 වර්සස් 1989 [රූපවාහිනියේ ප්‍රධාන විකාශන කාලය තුළ ලිංගික දේ: 1979ට 1989 එරෙහිවී]” යන වාර්තාවේ සමකර්තෘ වූ බැරී එස්. සැපොල්ස්කී මෙසේ සඳහන් කරයි: “යම් නහඹරයෙක්, මිනිසුන් කාමුක හැසිරීම්වල හා නීති විරෝධී ලිංගික හැසිරීම්වල යෙදෙනවා වසර ගණනාවක් පුරා රූපවාහිනියෙන් දකින්නේ නම්, මේ කාලය තුළ ඔහුගේ මනසේ ඇඳි දහස් ගණනක් මෙම රූපවලින් ඔහුට උගන්වනු ඇත්තේ ලිංගික දේ ප්‍රසන්න—සහ කිසිම දුර්විපාකයක් නැති දෙයක් බවය.” මේ ගැන කිසිඳු ප්‍රශ්නයක් නැත: මේ ලෝකයේ විනෝදාස්වාදවලින් යෞවනයන්ට උගන්වන්නේ කිසිම නීතියක් නැති බවත්, වේශ්‍යාකම පිළිගෙන ඇති බවත්, දෙවියන්වහන්සේ හෙළාදකින ආකාරයට ජීවත්වීමෙන් කිසිඳු නරක ඵල විපාකයක් නැති බවත්ය.—1 කොරින්ති 6:18; එපීස 5:3-5.
12. ලෝකයේ විනෝදාස්වාද විශේෂයෙන් ක්‍රිස්තියානි යෞවනයන්හට තර්ජනයක් එල්ල කරන්නේ මන්ද?
12 ලෝකයේ සංගීතය, චිත්‍රපට, වීඩියෝ සහ රූපවාහිනි සැලසුම් කර තිබෙන්නේ යෞවනයන්ව ආකර්ෂණය කර ගන්නා අන්දමින්ය. ඒවායින් භූතයන්ගේ දූෂිත ඉගැන්වීම් ප්‍රචාරය වෙයි! එහෙත් ඒ ගැන පුදුම විය යුතුද? ඒ ගැන කල්පනා කරන්න. බොරු ආගම සහ දේශපාලනය සාතන්ගේ ලෝකයේ කොටස් නම්—ඒවා පැහැදිලිවම එසේය—මේ ලෝකය මගින් පොලඹවනු ලබන විනෝදාංශ භූත බලපෑමෙන් නිදහස් වී ඇති බව විශ්වාස කිරීමේ කිසි තේරුමක් තිබේද? විශේෂයෙන්ම යෞවනයන් වන ඔබට ‘ඔබ අවට ලෝකය විසින් එහිම අච්චුවට තබා ඔබ අඹනවාට’ එරෙහිව ප්‍රවේසම් වීමට අවශ්‍යතාවක් තිබේ.—රෝම 12:2, ද නිව් ටෙස්ටමන්ට් ඉන් මොඩන් ඉංග්ලිෂ්, ජේ. බී. පිලිෆ්ස්.
ආත්ම සෝදිසියක් කරන්න
13. අප කළ යුතු ආත්ම සෝදිසිය කුමක්ද?
13 ඔබ අවනත වන්නේ කාගේ ඉගැන්වීම්වලටද යන කාරණය තීරණය වන්නේ ඔබගේ කථාවෙන් පමණක් නොව නමුත් ඔබගේ ක්‍රියාවන්ද මගින්ය. (රෝම 6:16) එමනිසා ඔබ ඔබෙන්ම මෙසේ අසන්න, ‘මගේ ආකල්ප සහ මගේ ජීවන මාර්ගය, ලෝකයේ ප්රචාරක මාධ්‍යයන් තුළින් මා ඉගෙන ගන්නා දේ මගින් බලපෑමට හසුවෙමින් තිබෙනවාද? භූත ඉගැන්වීම් මාගේ ජීවිතය තුළට ආක්‍රමණය කරනවා විය හැකිද?’ එවන් ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ඔබට උපකාර කිරීමට, බයිබලය අධ්‍යයනය කිරීමට, ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමට, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව අන්‍යයන්ට කථා කිරීමට, වැය කරන කාලය සමඟ රූපවාහිනිය නැරඹීමට, සංගීතයට සවන්දීමට, ඔබගේ ප්‍රියතම ක්‍රීඩාවේ හවුල්වීමට හෝ ඒ හා සමාන ක්‍රියාකාරකම්වල නියැලීමට ඔබ වැය කරන කාලය සහ ප්රයත්නය සන්සන්දනය කර නොබලන්නේ මන්ද? එතරම්ම දෙයක්—ඇත්තෙන්ම, ඔබගේ ජීවිතය—අවදානමේ තිබෙන බැවින් අවංක ආත්ම සෝදිසියක් කරන්න.—2 කොරින්ති 13:5.
14. අපගේ ආත්මික සෞඛ්‍යට බලපානු ඇත්තේ කුමක්ද, තවද අප සෑමවිටම මතක තබා ගත යුතු බැරෑරුම් සත්‍යය කරුණ කුමක්ද?
14 ඔබ අනුභව කරන මාංසික ආහාර ඔබගේ කායික සෞඛ්‍යට බලපානු ඇති බව හොඳින් දන්නෙහිය. ඒ හා සමානව, ඔබගේ ආත්මික සෞඛ්‍යද ඔබගේ මනස හා හෘදය පෝෂණය වන දෙයින් බලපෑමට ලක්වන්නෙහිය. (1 පේතෘස් 2:1, 2) ඔබ සැබවින්ම උනන්දුව දක්වන දේවල් සම්බන්ධව ඔබ ඔබවම රවටා ගත හැකි නමුදු අපගේ විනිශ්චයකරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව රැවටීමට ඔබට නොහැක. (යොහන් 5:30) එබැවින් මෙසේ අසන්න, ‘යේසුස්වහන්සේ පොළොව මත සිටියා නම්, උන්වහන්සේ මගේ කාමරය තුළට පැමිණ මා සවන් දෙන සංගීතය ඇසුවා නම් හෝ මා රූපවාහිනියේ නරඹමින් සිටි දෙය දුටුවා නම්, මා ලජ්ජාවට පත්වන්නෙම්ද?’ මෙහි බැරෑරුම් ලෙස කල්පනා කිරීමට මඟ පාදන සත්‍යය කරුණ නම් යේසුස්වහන්සේ අපගේ ක්‍රියා ඇත්තෙන්ම බලාසිටීමත් ඒවා දැන සිටීමත්ය.—එළිදරව් 3:15.
භූත ඉගැන්වීම්වලට එරෙහිව සිටින්න
15. භූත ඉගැන්වීම්වලට එරෙහිව ක්‍රිස්තියානින් දැඩි සටනක් කළ යුත්තේ මන්ද?
15 භූතයන් තම ඉගැන්වීම්වලට යෞවනයන්ව අවනත කර ගැනීම සඳහා ඔවුන් මත ගෙනෙන පීඩනය අති මහත්ය. මෙම දුෂ්ට ආත්ම ක්ෂණික පිනවීමේ ජීවිතයක්—එනම් විනෝදයේ හා වින්දනයේ ජීවිතයක් ඉදිරිපත් කරන බවක් පෙනෙන්ට තිබේ. දෙවියන්වහන්සේව සතුටු කිරීම පිණිස, ඉපැරණි මෝසෙස්, ඵාරාවෝගේ නිවසේ ප්රමුඛ සාමාජිකයෙකු වශයෙන්, “පාපයේ තාවකාලික සැප” ප්‍රතික්ෂේප කළේය. (හෙබ්‍රෙව් 11:24-27, NW) භූතයන් ඉදිරිපත් කරන දෙය ප්‍රතික්ෂේප කිරීම පහසු දෙයක් නොවේ, එමනිසා ඔබ හරි දේ කිරීමට සටන් කළ යුතුය. මෙය විශේෂයෙන්ම සැබෑවක් වන්නේ මන්දයත් අප පාපය උරුමකරගෙන සිටින නිසාත්, අපගේ හෘදය බොහෝ විට නපුරු දේට දැඩි ආශාවක් දක්වන නිසාත්ය. (උත්පත්ති 8:21; රෝම 5:12) පාපතර නැඹුරුවාවන් හේතුකොටගෙන ප්‍රේරිත පාවුල්ට පවා, තම මාංසික ආශාවන්ට තමන් කෙරෙහි බලපැවැත්වීමට ඉඩ නොදීම සඳහා තමා සමඟම තදින් ක්‍රියා කිරීමට සිදුවිය.—1 කොරින්ති 9:27; රෝම 7:21-23.
16. දුරාචාර හැසිරීමේ යෙදීමට ඇතිවන පීඩනවලට එරෙහිවීමට යෞවනයන්ට හැක්කේ කෙසේද?
16 ‘නපුරක් කිරීමට සමූහයක් අනුව යෑමට’ ඔබව පරීක්ෂා කරනු ලැබිය හැකි වුවද, ඔබගේ තුල්‍යයන්ගේ වැරදි මාර්ග පසුපස හඹා යෑම පිණිස ඔවුන්ගෙන් ඔබ වෙත එල්ල වන පීඩනවලට එරෙහිව සිටීමට ඔබට උපකාර කිරීමට දෙවියන්වහන්සේට හැක. (නික්මයාම 23:2; 1 කොරින්ති 10:13) එහෙත්, ඔබ දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම්වලට සවන්දිය යුතුය, උන්වහන්සේගේ කියමන් ඔබගේ හෘදයේ නිධාන කර ගත යුතුය. (ගීතාවලිය 119:9, 11) යෞවනයන් තනිවම එකට සිටින විට, ලිංගික ආශාව වර්ධනය වී දෙවියන්වහන්සේගේ නීති කැඩීමට තුඩු දිය හැකි බව ඔබ වටහා ගත යුතුයි. “මම මගේ පෙම්වතා සමඟ තනිවන විට, මගේ සිරුරට කිරීමට වුවමනා කරන්නේ එක දෙයක්, මගේ මනස මට කරන්නට කියන්නේ තවත් දෙයක්,” යයි එක් යෞවනියක් පිළිගත්තාය. එබැවින්, ඔබගේ සීමා හඳුනාගන්න, එමෙන්ම ඔබගේ හෘදය රැවටිලිකාර බව වටහා ගන්න. (යෙරෙමියා 17:9) ඔබ ඔබවම වෙන්කර නොගන්න. (හිතෝපදේශ 18:1) ස්නේහය පළකිරීම් මත සීමා තබා ගන්න. තවද, විශේෂයෙන්ම වැදගත් දෙයක් ලෙස, යෙහෝවඃවහන්සේට ප්‍රේම කරන සහ උන්වහන්සේගේ නීතිවලට ගැඹුරු ගෞරවයක් ඇති අය සමඟ පමණක් කිට්ටු ඇසුරක් තබා ගන්න.—ගීතාවලිය 119:63; හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33.
17. භූත ඉගැන්වීම්වලට එරෙහිවීමට ශක්තිය ලබා ගැනීම සඳහා යෞවනයන්ට උපකාර කළ හැක්කේ කුමකටද?
17 ඔබගේ ආත්මික ශක්තිය උදෙසා සැලසුම් පිළියෙළ කොට ඇති ක්‍රිස්තියානි ප්‍රකාශන සැලකිල්ලෙන් යුතුව අධ්‍යයනය කිරීම ඔබට උපකාරවත් වනවා ඇත. නිදසුනක් වශයෙන්, යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු (පිබිදෙව්! කලාපවල පළවෙන “යෞවන අය අසති” ලිපි මාලාව) සහ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක පොතේ “හරි දෙය කිරීමට සටන” පරිච්ඡේදය සලකා බලන්න. සපයා ඇති ශුද්ධ ලියවිලිමය උපදෙස් ඔබගේ මනස හා හෘදය තුළට ගැඹුරින් කිඳා බැසීමට ඉඩ හරින්න, එය ඔබව ශක්තිමත් කරනු ඇත. ඔබ විසින් කිසිවිටෙකත් අමතක නොකළ යුතු සත්‍යය කාරණයක් නම්, භූතයන් විසින් පාලනය කෙරෙන මෙම ලෝකයේ හරි දෙය කිරීම පහසු දෙයක් නොවන බවය. එමනිසා දැඩි ලෙස සටන් කරන්න. (ලූක් 13:24) ඔබගේ ආත්මික ශක්තිය ගොඩනංවන්න. සමූහයා පසුපස යන බියසුලු දුර්වලයන්ව අනුකරණය නොකරන්න.
දිව්‍ය ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ගන්න
18. දිව්‍ය ඉගැන්වීම්වලට අවනතවීමේ සමහරක් ප්‍රයෝජන මොනවාද?
18 යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම්වලට අවනත වීමෙන් ඔබ වටිනා කිසිම දෙයක් කිසිවිටෙකත් අහිමිකර නොගන්නා බවත් මතක තබා ගන්න. උන්වහන්සේ ඇත්තටම ඔබට ආදරය කරන සේක, “ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබටම” උන්වහන්සේ උගන්වන්නෙත් එම නිසාය. (යෙසායා 48:17, NW) එබැවින්, යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම්වලට අවනත වී, බිඳුණු හෘද සාක්ෂියක් නිසා ඇති වන වේදනාවෙන්, ආත්ම ගෞරවය අහිමිවීමෙන්, අනවශ්‍ය ගැබ්ගැනීම්වලින්, ලිංගිකව බෝවන රෝගවලින් හෝ වෙනත් ඊට සමාන ශෝකානුකූල තත්ත්වයන්ගෙන් වැළකෙන්න. පරීක්ෂණ යටතේ මිනිසුන් දෙවියන්වහන්සේට ඇදහිලිවන්තව නොසිටින බවට සාතන් කළ චෝදනාවට පිළිතුරක් යෙහෝවඃවහන්සේගේ සේවකයන් උන්වහන්සේට දෙන විට උන්වහන්සේ සතුටු වන සේක. (යෝබ් 1:6-12) ඔබ යෙහෝවඃවහන්සේට ඇදහිලිවන්තව සිටීමෙන් උන්වහන්සේගේ හෘදය සතුටු කරන්නේ නම්, උන්වහන්සේ මෙම ලෝකයට එරෙහිව අප්‍රසාදිත විනිශ්චය ගෙනෙන විට, උන්වහන්සේගේ නීති අවඥාවෙන් හෙළාදකින සියල්ලන් විනාශ වන අතරේදී, ඔබ බේරී ජීවත් වනවා ඇත.—හිතෝපදේශ 27:11; 1 කොරින්ති 6:9, 10; 1 යොහන් 2:17.
19. යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම්වල ප්‍රයෝජන අගය කරන අය සමඟ ඇසුරු කිරීමේ ඇති වටිනාකම කුමක්ද?
19 යෙහෝවඃවහන්සේ තමන්ට කර ඇති දේවල් ගැන අගය කරන අය සමඟ ඔබ සමීප ලෙස ඇසුරු කරන්නේ නම්, ඔබට ඔවුන්ගේ අද්දැකීම්වලින් ඉගෙන ගත හැකිය. කලින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි, ලිංගික දුරාචාරයේ නියැලී සිටි එක් තැනැත්තියක් මෙසේ පැහැදිලි කළාය: “මා යෙහෝවඃවහන්සේට සවන් නොදී සිටියා නම්, මා මියයන්නට තිබුණා. මා විවාහ වීමට සිටි තැනැත්තා ඒඩ්ස් රෝගයෙන් මියගියා. මගේ කලින් සමීප ලෙස ඇසුරු කළ ලෞකික මිත්‍රයන් ඒඩ්ස් රෝගයෙන් මියගොස් සිටිනවා, නැත්නම් මියයමින් සිටිනවා. ඔවුන්ව මට බොහෝ විට පාරවල දක්නට ලැබෙනවා, ස්වකීය ජනයාව පාලනය කරන යෙහෝවඃවහන්සේගේ නීති උදෙසා මම උන්වහන්සේට සෑම දිනකම ස්තුති කරනවා, ඒවායින් අප ශුද්ධව සිටින්නට යන්නේ අප ඒවා අදාළ කර ගත්තොත් පමණයි. මා මගේ ජීවිතයේ මීට පෙර කොයි කලකවත් මෙතරම් සන්තෝෂයෙන්, තෘප්තියෙන් හා ආරක්ෂා සහිතව සිට නැහැ.” ඇත්තෙන්ම, යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීම්වලට අවනත වීම සෑම විටකම අපට ප්රයෝජනවත්ය!
හරි තේරීම කරන්න
20, 21. (අ) යෞවනයන්ට තිබෙන තෝරාගැනීම් දෙක කුමක්ද? (ආ) දිව්‍ය ඉගැන්වීමට අවනත වීමෙන් ප්‍රතිඵල කරවන දිගුකාලීන ප්‍රයෝජන මොනවාද?
20 යෞවනයෙනි, අපි ඔබගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටින්නෙමු: යෙහෝවඃවහන්සේට සේවය කිරීම මගින් හරි තේරීම කරන්න. ඉන් අනතුරුව එම තීරණයට ඇලී සිටීමට තදින් අධිෂ්ඨාන කරගන්න. (යෝෂුවා 24:15) ඇත්තෙන්ම, ඔබට කළ හැක්කේ මෙම තේරීම් දෙකෙන් එකක් පමණි. තමාම කැමති දේ කිරීමට පහසුවූ, විශාල පළල් පාර තිබෙන බව යේසුස්වහන්සේ පැවසූ සේක. එම පාර මඟ පෙන්වන්නේ, මරණීය අවසානයකටය, විනාශයටය. අනෙක් පාර පටුය. එය, මෙම උමතු දුරාචාර හැසිරීමෙන් යුත්, භූතයන් විසින් පාලනය කෙරෙන ලෝකයේ ගමන් කිරීමට අසීරුවූ පාරක්ය. එහෙත්, එම පාර, එහි ගමන් කරන අයව අවසානයේදී දෙවියන්වහන්සේගේ පුදුමාකාර නව ලෝකය තුළට ගෙන යනවා ඇත. (මතෙව් 7:13, 14) ඔබ තෝරා ගනු ඇත්තේ කොයි පාරද? ඔබ අවනත වනු ඇත්තේ කාගේ ඉගැන්වීම්වලටද?
21 තේරීම කිරීමට යෙහෝවඃවහන්සේ ඔබහට ඉඩ හරින සේක. තමන්වහන්සේට සේවය කරන්නට කියා උන්වහන්සේ ඔබට බල කිරීමට උත්සහ නොකරන සේක. “මම ඔබ ඉදිරියෙහි ජීවනය හා මරණය තැබීමි” යනුවෙන් පැවසූ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ වූ මෝසෙස්, “ජීවනය තෝරා ගන්න” යයි උදක්ම ඉල්ලා සිටියේය. “ඔබගේ දෙවිවන යෙහෝවඃවහන්සේට ප්‍රේම කිරීමෙන්, උන්වහන්සේගේ කටහඬට සවන් දීමෙන් හා උන්වහන්සේට ඇලුම්ව සිටීමෙන්” මෙම තේරීම කළ හැක. (ද්විතීය කථාව 29:2; 30:19, 20, NW) ඔබ මෙම දිව්‍ය ඉගැන්වීම්වලට අවනතවීමට ඥානවන්තව තෝරා ගෙන එමගින් දෙවියන්වහන්සේගේ මහිමාන්විත නව ලෝකය තුළ නිමාවකින් තොරව ජීවනය භුක්ති විඳීවා!
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ භූතයන් යනු කවුරුන්ද, තවද ඔවුන් උගන්වන්නේ කුමක්ද?
◻ භූතයන් අදදින ඔවුන්ගේ ඉගැන්වීම්වලට අනුබල දෙන්නේ කෙසේද?
◻ භූත ඉගැන්වීම්වලට එරෙහිව සිටීමට හැක්කේ කෙසේද?
◻ යෙහෝවඃවහන්සේගේ ඉගැන්වීමට අවනත වීමෙන් ලැබෙන ප්‍රයෝජන කවරේද?
[16වන පිටුවේ පින්තූරය]
ජල ගැල්මට පෙර, අකීකරු දේව දූතයෝ සහ ඔවුන්ගේ ජනිතයෝ ප්‍රචණ්ඩත්වයට හා සල්ලාලකමට දිරිදුන්හ
[18වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේ ඔබගේ ප්‍රියතම සංගීතය ඇසුවා නම්, ඔබ ලජ්ජාවට පත් වනු ඇත්ද?