වඩාත් හොඳ ලෝකයක්—නිකම්ම සිහිනයක්ද?
ඉරාන ජාතික සෝරෝස්ටර් දිවැස්වරයා විසින් දේශනා කරන ලද ආකාරයට ඔබ මැස්ඩාවාදයේ අනුගාමිකයෙක්ව සිටියේ නම්, පොළොව එහි මුල් අලංකාරයට හැරී එන දවස ඔබ බලා සිටිනු ඇත. ඔබ පුරාතන ග්‍රීසියේ ජීවත්ව සිටියේ නම්, සෞන්දර්යයෙන් හෙබි වාසනාවේ ද්වීප කරා එළඹීමට, එසේත් නැතහොත් පො.යු.පෙ. අටවන සියවසේදී හීසියොඩ් නමැති කවියා විසින් විස්තර කළ ස්වර්ණමය යුගයේ පුනරාගමනය දැකීම පිළිබඳව ඇතැම් විට ඔබ සිහින මවන්නට ඇත. දකුණු අමෙරිකාවේ වසන ගුවරානි ඉන්දියානුවෙක් නපුරුකම් නැති දේශයක් තවමත් සොයමින් සිටිනවා වන්නට පුළුවන. අපගේ කාලයේ ජීවත්වන ඔබ, ඇතැම් විට යම් දේශපාලන සංකල්පවේදයක් හේතුවෙන් නැතහොත් නවීන-දින පරිසරය පිළිබඳව දැනුවත්කමේ විපාකයක් වශයෙන් ලෝකය වැඩි දියුණු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා වන්නට පුළුවන.
ස්වර්ණමය යුගයක්, වාසනාවේ ද්වීප, දුෂ්ටකම් නැති දේශයක්—මේ වනාහි ආශාවෙන් බලාසිටින එකම දෑ, එනම් වඩාත් හොඳ ලෝකයක් පිළිබඳ බලාපොරොත්තුව, විස්තර කරන්නට යොදා ගන්නා ලද බොහෝ නාම අතර වෙයි.
මෙම ලෝකය, එනම් අපගේ ලෝකය, ස්ථිර වශයෙන්ම හරියටම ගැළපෙන ස්ථානයක් නොවේ. දිනෙන් දින වැඩි වන්නාවූ රෞද්‍ර අපරාධ, පෙර නොදුටු විරූ සැහැසිකම්වලින් යුත් භ්රාතෘඝාතක (හිතමිතුරන් ඝාතනයකරන) යුද්ධ, ජනඝාතනය, වෙනත් අයගේ වේදනා ගණනකට නොගැනීම, දිළිඳුකම හා සාගින්න, විරැකියාව හා සහයෝගිතාව නොමැතිකම, පරිසරවේදී ගැටලු, මිලියන සංඛ්‍යාවකට පීඩා පමුණුවන සුව කළ නොහැකි අසනීප—දැනට පවතින විපත්වල ලැයිස්තුව නිමාවට පත්වන බවක් නොපෙනේ. දැනට සිදුවෙමින් පවතින යුද්ධ ගැන කල්පනා කරමින්, ඉතාලියානු පත්‍ර කලාවේදියෙක් පැවසුවේ මෙසේය: “ස්වභාවයෙන්ම පැනනඟින ප්රශ්නය නම් සතුරුකම අපගේ කාලයේ ප්රබලතම හැඟීම නොවන්නේද යන වගයි.” තත්ත්වය සලකා බලමින්, වෙනස් වූ යමක්, වඩාත් හොඳ යමක් ආශා කිරීම යථාර්ථවාදී යයි ඔබ කල්පනා කරනවාද? එසේත් නැතහොත් එවන් අභිලාෂයක් රාම රාජ්‍යයක් කිසිදිනක සැබෑ නොවන සිහිනයක් සඳහා නිකම්ම බලාපොරොත්තු වීමක් වන්නේද? අප ජීවත්ව සිටින්නේ අත්කර ගත හැකි හොඳම ලෝකයේද?
මේවා සැලකිල්ලට යොමු වූ අලුත් කාරණා නොවේ. සියවස් ගණනාවක් පුරා එකමුතුකම, යුක්තිය, සමෘද්ධිය හා ප්‍රේමය පවතිනු ඇති ලොවක් ගැන ජනයා සිහින මවා ඇත්තාහ. කල්යාමේදී, දර්ශනවාදීන් ගණනාවක් ඔද වැඩුණු රාජ්‍යයන්, වඩාත් හොඳ ලෝකයන් පිළිබඳ සිය සංකල්ප සවිස්තරව පැහැදිලි කළහ. එහෙත්, කනගාටුදායක ලෙසින්, ඒවා ක්‍රියාත්මක කළ හැකි ආකාරය පැහැදිලි කරන්නට ඔවුන්ට නොහැකි වී ඇත.
වඩාත් හොඳ සමාජයක් සඳහා සියවස් ගණනාවක් ඉපැරණි මෙම සිහින ලැයිස්තුවට, එනම් රාම රාජ්‍යයන් හා මානව අභිලාෂයන්හට අපට යමක් ඉගැන්විය හැකිද?
[3වන පිටුවේ පින්තූරය]
තිබිය හැකි හොඳම ලෝකය මෙයද?