නැගෙනහිර බටහිර හමු වන විට
“අපෝ, නැගෙනහිර නැගෙනහිරමයි, බටහිර බටහිරමයි, කවදාවත් මේ දෙක හමු වන එකක් නැහැ.” බ්‍රිතාන්‍ය ජාතික කවියෙකු වන රඩ්යාඩ් කිප්ලිංගේ මෙම වදන් අපට සිහිපත් කරන්නේ, අද දින අප වටා සෑම තැනක ම පාහේ වේගයෙන් හටගන්නා ගෝත්‍රික, වාර්ගික හා ජාතික බද්ධ වෛරයන්ට දායක වෙමින්, මනුෂ්‍ය වර්ගයා ව බෙදා වෙන් කරන්නා වූ පුළුල් සංස්කෘතික වෙනස්කම් ගැනයි. මේ පිළිබඳ ව බොහෝ දෙනෙක් අසන දේ නම්, මෙම තත්ත්වය ගැන දෙවියන් වහන්සේට යමක් කළ නොහැකි ද? යන්න ය. ඔව්, උන් වහන්සේට හැකියි! තව ද උන් වහන්සේ දැන් පවා යමක් කරමින් සිටින සේක! කිප්ලිංගේ කවියේ ඊළඟ පේළිය යොමු දැක්වූයේ මෙයටයි. නැගෙනහිර හා බටහිර වෙන් ව පවතිනු ඇත්තේ කොතරම් දීර්ඝ කාලයකට ද? කවියා පැවසුවේ, නොබෝ කලකින් “පොළොවත් අහසත් දෙවියන් වහන්සේගේ මහත් විනිශ්චාසනය ඉදිරියේ සිටගන්නා විට” යනුවෙනි.
විනිශ්චය කිරීමේ එම වගකීම දෙවියන් වහන්සේ පවරා ඇත්තේ, ස්වකීය පුත්‍ර, යේසුස් ක්‍රිස්තුස් වහන්සේටයි. (යොහන් 5:22-24, 30) එහෙත් විනිශ්චය කිරීමේ ඒ කාලය පටන් ගන්නේ කවදා දා? විනිශ්චය කරනු ලබන්නේ කවරෙක් ද, එමෙන් ම ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද? වර්ෂ 1914 දී මනුෂ්‍ය වර්ගයාට පීඩා සිදු කරන්නට පටන් ගත් ලෝක යුද්ධ මෙන් ම ඒ හා බැඳි විපත්, අනාවැකි මගින් විස්තර කළේ යේසුස් වහන්සේ ම ය. මෙමගින් තමන් වහන්සේගේ අදෘශ්‍යමාන “පැමිණ සිටීමටත් මෙම දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණ” සලකුණු වන බව උන් වහන්සේ වදාළ සේක.—මතෙව් 24:3-8, NW.
මෙම මහත් අනාවැකියේ උත්කර්ෂවත් අවස්ථාවේ දී, යේසුස් වහන්සේ තමන් වහන්සේ ගැන මෙසේ වදාරමින්, අපගේ වත්මන් කාලය විනිශ්චයේ කාලයක් හැටියට හඳුන්වා දෙන සේක: “මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක. එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට, බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක.” රූපික ආකාරයකට, පොළොවේ සියලු ජාතීන් දැන් විනිශ්චයකරුවාණන් ඉදිරියට රැස් කර සිටින අතර ගැලවීම පිළිබඳ උන් වහන්සේගේ පණිවුඩයට තමන් ප්‍රතිචාරය දක්වන ආකාරය සඳහා ඔවුන් ගණන් දිය යුතු ය. මහත් පීඩාවේ දී ඉක්මනින් විනිශ්චයේ තීන්දුව දෙනු ලබන කල, අකීකරු එළුවන් වැනි ජනයා “සදාකාල දඬුවමටත් [සිඳදැමීමටත්, NW] ධර්මිෂ්ඨයෝ [කීකරු බැටළුවන් වැනි අය] සදාකාල ජීවනයටත් යන්නෝය.”—මතෙව් 25:31-33, 46; එළිදරව් 16:14-16.
‘නැගෙනහිරින් හා බස්නාහිරින්’
ඇත්ත වශයෙන් ම මේ ලෝකයේ විනිශ්චය පටන් ගත්තේ, 1වන ලෝක යුද්ධය සිදු වූ බලවත් කලබල සහිත වර්ෂ තුළ ය. ඒ අවස්ථාවේ දී, ක්‍රිස්තියානි ලෝකයේ පූජකයෝ යුධ වැදී සිටි කණ්ඩායම්වලට හෘදපූර්ණ අනුබලයක් දුන්හ. ‘දෙවියන් වහන්සේගේ උදහසට’ පාත්‍ර විය යුතු දූෂ්‍ය ලෝකයේ කොටසක් හැටියට මෙය ඔවුන් ව හඳුන්වා දුණි. (යොහන් 3:36) එහෙත් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබූ සාමයට ලැදි ක්‍රිස්තියානින් ගැන කුමක් කිව හැකි ද? වර්ෂ 1919 පටන්, මොවුන් ව රජාණන් වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැත්තට එක් රැස් කිරීම ආරම්භ විය.
පොළොවේ සියලු පැතිවලින් ඔවුන් පැමිණ ඇති අතර, මුලින් ම පැමිණියේ ක්‍රිස්තියානි යුගයේ ශතවර්ෂයන් පුරා තෝරා ගනු ලැබූ, අභිෂේක ලත් 1,44,000 දෙනාගේ ඉතිරි අයයි. මොවුහු, “ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ” ස්වකීය ස්වර්ගීය රාජ්‍යයේ “හවුල් උරුමක්කාරයෝ” වන්නට සිටින්නාහ. (රෝම 8:17) මොවුන්ට දෙවියන් වහන්සේගේ දිවැස්වරයා මෙසේ පවසයි: “භයනොවෙන්න; මක්නිසාද මම නුඹ සමඟ සිටිමි. නුඹේ වංශය නැගෙනහිරින් ගෙනෙන්නෙමි, බස්නාහිරින්ද නුඹ රැස්කරන්නෙමි; මම උතුරු දිසාවට කථාකොට: දියන්නැයි කියාත්, දකුණු දිසාවට: නවත්වා නොගන්නැයි කියාත්, දුර සිට මාගේ පුත්‍රයන්ද පොළොවේ කෙළවරින් මාගේ දූරුවන්ද, එනම් මාගේ නාමය දරන්නාවූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවාවූ සියල්ලන් ගෙනෙන්නැයි කියාත් කියන්නෙමි.”—යෙසායා 43:5-7.
එහෙත් එපමණක් නොවේ! විශේෂයෙන් ම 1930 ගණන් පටන්, දැන් මිලියන ගණනක් ව සිටින, මහත් සමූහයක් ද, එක් රැස් කිරීම ආරම්භ විය. යේසුස් වහන්සේ මතෙව් 25:31-46 යන වගන්තිවල යොමු දැක් වූ “බැටළුවන්” මොවුහු ය. තමන් ඉදිරියේ සිටින ආලේප ලත් ඉතිරි කොටස මෙන්, මොවුහු ද, ‘නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය, ඇරත් මම දෙවියන් වහන්සේ ය’ කියා වදාරන තැනන් වහන්සේ කෙරෙහි “විශ්වාස” කරති. (යෙසායා 43:10-12) මෙම මහත් සමූහය එකතු කිරීම ‘නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ද, උතුරු දිසාවේ පටන් දකුණු දිසාව දක්වා ද, එමෙන් ම පොළොවේ කෙළවර දක්වා’ ද සිදු වෙමින් පවතී.
සාමයට ලැදි මෙම බැටළුවන් ව එක් ජාත්‍යන්තර සහෝදරයත්වයක් තුළට සම්බන්ධ කෙරෙමින් පවතී. ඔවුහු තමන් ජීවත් ව සිටින රටවල් 231ට අයත් විවිධ භාෂා බොහොමයක් කථා කරත්. එහෙත් ඔවුහු “යෙහෝවඃ වහන්සේගේ නාමයට යාච්ඤා කරන පිණිස, උරින් උර ගැටී උන් වහන්සේට සේවය කරන පිණිස” බයිබලයේ රාජ්‍යය පණිවුඩයට අයත් “නිර්මල භාෂාව” ඉගෙන ගැනීමෙහි ආත්මික වශයෙන් එක්සත් ව සිටින්නාහ. (ශෙපනියා 3:9, NW) විශ්වාසයේ, අරමුණේ හා ක්‍රියාවේ ඔවුන්ගේ එක්සත්භාවය, පරමාධිපති ස්වාමීන් වන යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට හා ප්‍රශංසා කිරීමට ඇත්තෙන් ම නැගෙනහිර, බස්නාහිර මෙන් ම අන් සියලු දිසාවන්හි ජනයා ව ද හමු වී ඇති බවට මහිමාන්විත සාක්ෂි ඉදිරිපත් කරයි.
මතු වාර්තා පෙන්වන පරිදි, ඇතැම් රටවල මෙම එක් රැස් කිරීම සිදු වන්නේ ඉතාමත් ම කැපී පෙනෙන තත්ත්වයන් යටතේ ය.