රාජ්‍යය වැඩකටයුතු කෙරෙහි අපගේ ඇස “සරල ව” තබා ගැනීම
ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුව (G.D.R), නැතහොත් නැගෙනහිර ජර්මනිය ලෙස හඳුන්වනු ලැබූ රට, යන්තම් මැදි වියට පා තැබුවා පමණි. ප්‍රමාණයෙන් දළ වශයෙන් ලයිබීරියාව නැතහොත් එක්සත් ජනපදයේ ටෙනසී ජනපදය තරම් වූ එම රට, බටහිර ජර්මනිය යනුවෙන් හඳුන්වනු ලැබූ ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුවට එක් කරනු ලැබූ අවස්ථාවේ දී, එනම් 1990 ඔක්තෝබර් 3වන දින වසර හතළිස් එකක එහි පැවැත්ම නිමාවට පත් විය.
ජර්මානු රටවල් දෙක නැවත එකාබද්ධ කිරීම ප්‍රතිසංස්කරණයන් අති විශාල ප්‍රමාණයක් සිදු වී ඇති බව අදහස් කොට ඇත. මෙම රටවල් දෙක වෙන් කර තිබුනේ, භෞතික සීමාවකින් පමණක් නොව, සංකල්පයන්හි මායිමක් මගිනුත් ය. මේ සියල්ල එහි වාසය කළ ජනයා හට කුමක් අදහස් කළේ ද, එමෙන් ම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සඳහා ජීවිතය වෙනස් වී ඇත්තේ කෙසේ ද?
නැවත ඒකාබද්ධ කිරීම සිදු වීමට දායක වූ, වෙන්ඩේ නම්, 1989 නොවැම්බර් විප්ලවය පටන් ගත්තේ දැඩි සමාජවාදී පාලන දශකයන් හතරක් නිම වෙනවාත් සමඟ ය. ඒ කාලය තුළ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කටයුතු තහනම් කරන ලද අතර, ඔවුන්ට පමුණුවන ලද පීඩා ඇතැම් අවස්ථාවන්හි තදබල විය.a ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවට නිදහස ලැබුණු විට, සුභදායී හැඟීමක් මහජනයා අතර මුහුදු රැල්ලක් මෙන් පැතිර ගියේ ය. එහෙත් එම ප්‍රමෝදය පිරිහීයත් ම, බොහෝ දෙනෙක් ව්‍යාකූලත්වයට, අපේක්ෂා භංගත්වයට, බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකට පවා පත් වූහ. ජර්මානු රටවල් දෙක සමාජීය, දේශපාලනමය හා ආර්ථිකමය වශයෙන් එක් ඒකකයක් බවට ඒකාබද්ධ කිරීමේ කාර්යභාරය භාරදූර එකක් බව සනාථ වෙමින් පවති.
ඩෙයි ස්පීගල් පුවත් පතේ “162 ටාග ඩොයිට්ෂර් ගෙෂික්’ට” (එනම්, ජර්මානු ඉතිහාසයේ දින 162ක්) යන විශේෂ වාර්තාවට අනුව නැවත ඒකාබද්ධ කිරීමෙන් පසු විරැකියාව, උද්ධමනය හා කුලී වැඩි වීම පිළිබඳ භයක් පැතිර ගියේ ය. “මට ප්‍රමාණවත් විශ්‍රාම වැටුපක් ලැබෙනු ඇද්ද?” කියා මුල් ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවේ බොහෝ දෙනෙක් විමසූහ. ඉඳුම් හිටුම් ගැන කුමක් කිව හැකි ද? “ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුව පුරා, පැරණි ගොඩනැගිලි ගරා වැටෙමින් පවතී, පාරවල් සහමුලින් ම වාසයට නුසුදුසු තත්ත්වයට පත් වෙමින් තිබේ.” පරිසර දූෂණය බිහිසුණු අන්දමින් ඉහළ ගියේ ය.
මෙවන් සමාජමය හා ආර්ථිකමය අර්බුදයකට මුහුණ දී සිටිය දී, කලින් ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවේ සිටි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් කටයුතු කොට ඇත්තේ කෙසේ ද?
ඇස නිසි ඉලක්කය වෙත යොමුකර සිටීම
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට සංකල්පයන්හි මායිම් කිසිත් නැත. නැගෙනහිර හෝ බටහිර වාසය කළත්, බයිබලය මත පදනම් ඔවුන්ගේ ඇදහිල්ල එක ම ය. සිය සමාජීය වාතාවරණය වෙනස්වීමකට භාජනය වුවත්, සාක්ෂිකරුවන් වැඩි දෙනෙක් යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ මූලික ඉලක්කය මතට තමන්ගේ නෙත් කේන්ද්‍රගත කොට තැබීමෙන් ආත්මික සමතුලනයක් පවත්වා ගනිති. මෙය අවශ්‍යයෙන් ම කළ යුත්තේ මන්ද?
ඊට හේතුව “මේ ලෝකයේ අන්දම [දසුන, NW] පහවෙවී” යන නිසා ය. (1 කොරින්ති 7:31) වෙන්ඩේ සිදු වන්නට කලින් තහනම යටතේ දේශනා කිරීමට එඩිතර බවක් අවශ්‍ය වූ බව එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් පවසයි; යෙහෝවඃ වහන්සේ කෙරෙහි රැඳී සිටින්නට එය සාක්ෂිකරුවන්ට ඉගැන් වූ අතර බයිබලය පාවිච්චි කළ යුතු ආකාරය එය ඔවුන්ට පුහුණු කළේ ය. කෙසේ වෙතත්, දැන්, “ද්‍රව්‍යවාදයෙන් හෝ ජීවිතයේ කනස්සලු භාවයෙන් පැත්තකට ඇදී නොයන්නට අප පරෙස්සම් විය යුතුයි.”
නිදහස හා ප්‍රගතිය බොහෝ විට මණිනු ලබන්නේ ද්‍රව්‍යමය ආකාරයකට ය. මේ දේශයේ වාසය කරන බොහෝ දෙනෙක්, කලින් ලබන්නට නොහැකි ව තිබූ දේවල් හා වින්දනයන් අප්‍රමාද ව ලැබිය යුතු යයි කල්පනා කරති. දකුණේ තුරින්ගියා හා සැක්සනි ප්‍රදේශයේ පිහිටි නගරවල හා ගම්වල ඇති ගල් ඇතුරූ පාරවල් දිගේ යමෙක් රථ පදවන විට මෙය පැහැදිලි වේ. එම මාර්ග අලුත්වැඩියා කිරීමට, නිවාස වඩා හොඳ තත්ත්වයකට ගෙන ඒමට අවශ්‍යතාවයක් තිබිය හැකිමුත්, ඒ වෙනුවට චන්ද්‍රිකාවලින් රූපවාහිනි වැඩසටහන් ලබන කවාකාර ඇන්ටෙනා කොතරම් සවි කර තිබෙනවා ද! සුරක්ෂිතභාවය හා සන්තෝෂය ලැබෙන්නේ ඇසට පෙනෙන සැමෙකක් ම ලබා ගැනීමෙන් බව විශ්වාස කරන තත්ත්වයකට කෙනෙක් පත්වීම පහසු දෙයකි. එය කොතරම් භයානක උගුලක් ද?
ද්‍රව්‍යමය දේවලටත් ජීවිතයේ කනස්සලුභාවයටත් නුවුවමනා අවධානයක් යොමු කිරීමේ අන්තරාය ගැන කන්ද උඩ දේශනයේ දී යේසුස් වහන්සේ කථා කළ සේක. “පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබල්ලා” කියා උන් වහන්සේ අනතුරු ඇඟවූ සේක. උන් වහන්සේ වැඩිදුරටත් වදාළේ, “ශරීරයේ පහන නම් ඇසය. එහෙයින් නුඹේ ඇස පැහැදිලි නම්, නුඹේ මුළු ශරීරය එළිය වන්නේය” යනුවෙනි. (මතෙව් 6:19, 22) උන් වහන්සේ කුමක් අදහස් කළ සේක් ද? කේන්ද්‍ර ගත කොට තිබෙන්නේත්, මනසට පැහැදිලි රූප යවන්නේත් සරල ඇසක් බව ය. සරල ව ඇති ආත්මික ඇසක් දේව රාජ්‍යය පිළිබඳ රූපය පැහැදිලි ව තබා ගනී. එබැවින් දෙවියන් වහන්සේගේ රාජ්‍යය මතට යොමු කොට තමාගේ ඇස සරල ව තබා ගැනීමටත්, එසේ ම කනස්සලුභාවයන් පසුපසට දැමීමටත් ඇති ක්‍රිස්තියානියෙකුගේ අධිෂ්ඨානය, ඔහු ව ආත්මික වශයෙන් සමබර ව තබා ගැනීමට උපකාරවත් වේ.
වෙන්ඩේ සිදු වූ කාලය තුළ බයිබලය කෙරෙහි උනන්දුවක් පෙන්වූ, සැක්සනිවල, ස්විකව් හි පදිංචි යුවළකගේ අත්දැකීමෙන් මෙය පැහැදිලි කළ හැකි ය. ඔවුන්ගේ ව්‍යාපාරයට බොහෝ කාලය වැය කළ යුතු ව තිබුණ ද, ඔවුන් සියලු ම ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමෙන් ආත්මික දේවල් මුලට තැබූහ. “අපගේ ව්‍යාපාරය ගැන කල්පනා කර බලන විට, අපට කාලය මදි, එහෙත් ආත්මික වශයෙන් අපට කාලය ඕනෑ කරනවා” කියා ඔවුහු පිළිගත්හ. කොතරම් ඥානවන්ත තීරණයක් ද!
සැක්සනි හි ම, ප්ලව්වන් හි වාසය කරන පවුලක් ද සැලකිල්ලට ගන්න. ස්වාමිපුරුෂයා ඔරලෝසු කාර්මිකයෙක්, තමාගේ ම ව්‍යාපාරයක් පැවැත් වූ දක්ෂ ශිල්පියෙක් ව සිටියේ ය. වෙන්ඩේ සිදු වූ පසු, ඔහුගේ වාසස්ථානය සඳහා කුලිය තියුණු ලෙස වැඩි විය. ඔහු කළ යුත්තේ කුමක් ද? “ඒ සඳහා විශාල මුදලක් වැය වනු ඇති අතර මා සත්‍යය ඉගෙන ගත්තේ සත්‍යය වෙනුවෙන් ජීවත්වීම සඳහා ය.” එනිසා ඔහු එතරම් හොඳ පිහිටීමක් නොතිබූ, අඩු කුලියක් ගෙවිය යුතු ස්ථානයකට පදිංචිය වෙනස් කළේ ය. ඔව්, එම ඔරලෝසු කාර්මිකයා ඉතා ඉක්මනින් ම තමාගේ ඇස සරල ව තබා ගැනීම පිළිබඳ ව ඉගෙන ගත්තේ ය.
කෙසේ වෙතත්, සුළු පිරිසක් එය ඉගෙන ගත්තේ මහත් ප්‍රමාදයකින් පසු ව ය. අලුත හඳුන්වා දී ඇති නිදහස්-වෙළෙඳ ආර්ථිකය ඉතා ලාභදායී විය හැකි බවට තර්ක කළ එක්තරා ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක්, ව්‍යාපාර ක්ෂේත්රයට පිවිසියේ ය. තමාගේ ආත්මිකත්වයට බාධා පමුණුවන්නට වෙළෙඳ කටයුතුවලට ඉඩ නොහරින ලෙස එක් සංචාරක අවේක්ෂකයෙක් කාරුණික ව ඔහුගෙන් උදක්ම ඉල්ලා සිටියේ ය. එහෙත්, කණගාටුදායක ලෙසින්, සිදු වූයේ එයයි. මාස කීපයකට පසු, එම සහෝදරයා වැඩිමහල්ලෙකුගේ වගකීමෙන් ඉල්ලා අස් විය. කලකට පසු ඔහු මෙසේ ලිවේ ය: “සේවා වරප්රසාදයන් අත්කර ගැනීමට වීර්ය කරන ඕනෑ ම සහෝදරයෙකුට මගේ ම අත්දැකීම මත පදනම් ව, මා අවවාද කර සිටින්නේ, තනි ව්‍යාපාරයන් ආරම්භ නොකරන හැටියටයි.” ස්වයං-රැකියාවක නියැලීම ක්‍රිස්තියානියෙකුට වැරදි සහගත බව මෙය අදහස් කරන්නේ නැත. එහෙත් අපට අපගේ ම ව්‍යාපාරයක් තිබුණත් නැතත්, ආර්ථික කාන්සාවන්ට පමණ ඉක්මවා අවධානය යොමු කිරීම නිරායාසයෙන් ම අප ව ධනයේ වහලෙක් බවට පත් කළ හැකි ය. මෙහි ප්‍රතිඵලය යේසුස් වහන්සේ මෙසේ පෙන්වූ සේක: “ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය.” (මතෙව් 6:24) ගොඑතේ නම් ජර්මන් ජාතික කවියා මෙසේ ප්‍රකාශ කළේ ය: “තමන් නිදහස් ව සිටින්නේ යයි වැරදි සහගත ලෙස විශ්වාස කරන අය මෙන් වෙන කිසිවෙක් එතරම් තියුණු අයුරකින් වහල් ව සිටින්නේ නැත.”
සැබෑ කුණාටුවකට අසු වී සිටින විට, වඩා හොඳින් දේවල් බැලීම සඳහා අපගේ ඇස් යම් පමණ අඩවල් කර බැලීමට නැතහොත් අපගේ අත්වලින් ඇස් ආවරණය කර බැලීමට අවශ්‍ය විය හැක. දේශපාලන, ආර්ථික හෝ සමාජීය ආරවුල්වලින් කොටු වී සිටින විට, ආත්මික ඉලක්කයන් කෙරෙහි දෘෂ්ටිය යොමු කර සිටීම පිණිස සිත එකඟ කොට තැබීම අවශ්‍ය වේ. රාජ්‍යය කටයුතුවල තමන්ගේ ඇස සරල ව තබා ගැනීම පිණිස ඇතැම් ක්‍රිස්තියානිහු කුමක් කරමින් සිටිත් ද?
රාජ්‍යය ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම
කලින් ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුව ලෙස තිබූ දේශයේ, සාක්ෂිකරුවෝ දේශනා කිරීම සඳහා පෙරට වඩා වැඩි කාලයක් කැප කරමින් සිටිති. පසුගිය අවුරුදු දෙක තුළ, ක්ෂේත්‍ර සේවයේ යොදවන ලද කාලයේ සාමාන්‍යය සියයට 21කින් වැඩි විය. ප්‍රතිඵලයක් වශයෙන් නිවාස බයිබල් පාඩම්වල වර්ධනය චමත්කාරජනක ලෙස සියයට 34කින් ඉහළ ගොස් ඇත. මීට අමතර ව, ස්ථාවර පුරෝගාමින්ගේ සංඛ්‍යාව දැනට වසර දෙකකට පෙර සිටි ප්‍රමාණය මෙන් හතර ගුණයකින් වැඩි වී ඇත! වෙනත් අය කරදර වෙමින් හා මැසිවිලි නගමින් සිටියත්, මෙතෙක් ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුව නම් වූ පෙදෙසේ සිටින ක්‍රිස්තියානින් 23,000දෙනා, තමන්ගේ ඇස සරල ව තබා ගනිමින්, තත්ත්වය සමඟ සාර්ථක ව ක්‍රියා කරමින් සිටිත්. මෙය රාජ්‍යය ක්‍රියාවන්හි මවිත කර වර්ධනය සඳහා දායක වී ඇත.—යෝෂුවා 6:15 සසඳන්න.
පුළුල් ක්‍රියාකාරකම් යන්නෙන් අදහස් වන්නේ සාක්ෂිකරුවන් බහුතරයක් වාසය කරන, දකුණේ ක්ෂේත්රය කෙරෙහි මනා අවධානයක් යොමු කරනු ලබන බව ය. මෙහි ස්ථාන බොහොමයක නම්වලට ඓතිහාසික වැදගත්කමක් ඇත. ඔබ පෝසිලේන් මැටි භාණ්ඩ කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නම්, ලෝකයේ වඩාත් ම සියුම් පෝසිලේන් භාණ්ඩ සමහරක මූලාරම්භය හැටියට සලකනු ලබන ඩ්‍රෙස්ඩෙන් අසල මෙයිසන් නගරය, ඔබට හඳුනාගත හැකි ය. දැන් මෙයිසන් නගරයේ රාජ්‍යය ප්‍රචාරකයෝ 130 දෙනෙක් පමණ සිටින්නාහ. එසේත් නැතහොත්, “ජර්මනියේ සම්භාව්‍ය අගනුවර” වන වෙයිමර් සැලකිල්ලට ගන්න. එම නගර මධ්‍යයේ ඇති ගොඑත්-ෂීලර් ස්මාරකය, එම ලේඛකයන් සමඟ වෙයිමර් නගරයට ඇති උදාර සම්බන්ධතාවයට සාක්ෂියක් වන අතර, එහි වසන බොහෝ දෙනෙක් හට අභිමානයට හේතුවක් ද වන්නේ ය. අද දින වෙයිමර් නගරයට එහි වසන ශුභාරංචියේ ප්‍රචාරකයන් 150දෙනා පිළිබඳ ව ආඩම්බර වන්නට පුළුවන.
කෙසේ වෙතත්, උතුරේ, ප්‍රචාරකයන් වඩාත් අඩුවෙන් සිටිනවා මෙන් ම සභාවන් අතර පවතින වැඩි දුර ප්‍රමාණය නිසා තත්ත්වය වෙනස් වේ. විශේෂයෙන් ම රැකියා ඌනතාවයක් ඇත. රැකියාවල නිරත වී සිටින බොහෝ දෙනෙකුට තමන්ගේ රැකියාව පවත්වා ගැනීම පිණිස අතිකාල වැඩවල නිරත වීමේ පීඩනයට ගොදුරු වීමට සිදු වී ඇත. පූර්ණ කාලීන දේශනාකරුවෙක් හැටියට උතුරේ සේවය කරන එක් සහෝදරයෙක් මෙසේ පැහැදිලි කරයි: “තහනම යටතේ සෑම සහෝදරයෙකුට ම ක්ෂේත්‍ර සේවයේ යෙහෝවඃ වහන්සේගේ ආරක්ෂාව අවශ්‍ය වුවද, රැකියාවක් සොයා ගැනීමට අපහසු නොවී ය. දැන් තත්ත්වය අනෙක් අතට හැරී ඇත. අපට දේශනා කිරීමට නිදහස තිබුණත්, රැකියා පිළිබඳ ව අපට උන් වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍ය වේ. මෙවන් වෙනසක් සිදු වන විට, ඇතැමෙකුට ඒ සඳහා හුරු වීම ද දුෂ්කර වේ.
නිතර නිතර දේශනා කිරීමට ඇති හැකියාව ගැන ප්‍රචාරකයන් සන්තෝෂ වෙනවා ද? වොල්ෆ්ගැංග්ගේ අදහස මෙයයි: “එක ම ප්‍රචාරකයා නැවත නැවතත් එක ම ප්‍රදේශයේ සේවය කිරීම වඩාත් හොඳ ය. එමගින් ජනයා ඔහු ව විශ්වාස කරන්නට පටන් ගන්නා අතර වඩාත් විවෘත ව අදහස් හුවමාරුවට පුරුදු වනු ඇත.” එයට අමතර ව, ගෙවැසියන් “නිවස අසලින් ගමන් කරන අයට සාකච්ඡාව ඇසෙන විට පවා, ආගම ගැන කථා කිරීමට තවදුරටත් මැලි නොවනු ඇත. ආගම තවදුරටත් තහනම් විෂයක් නොවේ.” රාල්ෆ් හා මාටිනා එය පිළිගනිති. “අපගේ ප්‍රදේශයේ නිතර නිතර වැඩ කිරීමෙන් අප මහත් සතුටක් ලබනවා. අපට ජනයා ව පුද්ගලික ව දැනගන්නට ලැබෙන අතර ඉදිරිපත් කිරීමට ඇති ප්රකාශනවල විවිධත්වය ගැන අප අතීශයින් ප්‍රීතියට පත් වෙනවා.”
අපගේ ප්‍රකාශන සඳහා අගැයීම
රැල්ෆ් හා මාටිනා, ලයිෆ්—හව් ඩිඩ් ඉට් ගෙට් හියර්? බයි එවලූෂන් ඕර් බයි ක්‍රියේෂන්? නම් පොත විශේෂයෙන් ම අගය කරන්නාහ. කලින් ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවේ අදේවවාදය කෙරෙහි ඇදී ගිය බොහෝ දෙනෙකුට, මෙම පොත පුදුමාකාර බයිබල් අධ්‍යයන ආධාරකයක් වී ඇත. ඔවුහු සමාන තොරතුරු අන්තර්ගත වී ඇති කෙටි ප්රකාශනයක් ලබන්නට ආශා කළහ. “වර්ෂ 1992 ඩෙස්ඩෙන් හි පවත්වන ලද ‘ආලෝකය දරන්නෝ’ දිස්ත්‍රික්ක සමුළුවේ දී ඇත්තට ම දෙවියන් වහන්සේ අප ගැන සලකන සේක් ද? යන විවරණිකාව මුදා හරිනු ලැබූ විට අප කොතරම් උද්දීපනයක් ලැබුවා ද? එය අපගේ යාච්ඤාවලට පිළිතුරකි.”
සාක්ෂිකරුවන් නොවන බොහෝ දෙනෙක් වොච් ටවර් ප්‍රකාශන ගැන ප්‍රශංසා කර ඇත. වර්ෂ 1992 ජූලි මාසයේ දී, සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරියක්, සිය දේශන සැකසීමට තමා යොදා ගන්නා ප්‍රකාශන සඳහා ඇයගේ “උසස් ගෞරවය හා උණුසුම් ස්තුතිය” ලිපියකින් ප්‍රකාශ කර සිටියා ය. වර්ෂ 1992 ජනවාරි මාසයේ රොස්ටොක් හි කාන්තාවක් තමාගේ නිවසට පැමිණි සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොත ලබා ගත්තා ය. ඇය ජර්මනියේ ශාඛා කාර්යාලයට මෙසේ ලිව්වා ය: “මා අයත් වන්නේ ලුතරන් පල්ලියටයි. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයේ ක්‍රියාවන්ට මා අතීශයින් ගෞරව කරනවා. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම නොමැති ව මනුෂ්‍යයාට තවදුරටත් ජීවත් විය නොහැකි බව ඔවුන් ස්ථීර ව කියා සිටිනවා.”
ක්‍රිස්තියානි ලෝකය සිය සාමාජිකයන්ට දී තිබෙන ආත්මික මඟ පෙන්වීමේ ප්‍රමාණය කොපමණ ද? වර්ෂ 1991 දෙසැම්බර් මාසයේ දී සුප්‍රසිද්ධ ඩී සයිට් පුවත් පත අදහස් දැක්වූ පරිධි ලුතරන් පල්ලිය “සාමකාමී විප්ලවයේ මාතාව හැටියට කෙටි කාලයකට සම්මානය ලබා තිබුණ ද, එම පල්ලියේ ජනප්‍රියත්වය වේගයෙන් අඩු වෙමින් පවතින බවට පැහැදිලි ය.” ඇත්ත වශයෙන් ම, ලුතරන් පල්ලියේ නියෝජිතයෙක් කණගාටුව පළ කර සිටියේ, “මහජනයා නිදහස් වෙළෙඳ පද්ධතියේ තම ජීවිතය පාරාදීසය සමඟ පටලවාගෙන ඇත” යනුවෙනි. මැග්ඩෙබර්ග් නගරයේ වෙසෙන පල්ලි සාමාජිකයෙක් තොරතුරු ඉල්ලා ලිපියක් ලිව්වේ ය. හේතුව? “වසර ගණනාවක් අවිශ්වාසයෙන් යුක්ත ව සිනාසීමෙන් පසු, මේ ලෝකය එහි සාපේක්ෂී අවසානයට පැමිණ තිබෙන බවත්, නුදුරු අනාගතයේ දී අපට මහත් කරදරවලට මුහුණ දීමට සිදුවන බවත් දැන් මට ස්ථීර තහවුරුවක් ඇත” යයි ඒ මහතා ලියා තිබුණු බැවින්.—2 තිමෝති 3:1-5.
ව්‍යාප්තිය සඳහා ගොඩනැගිලි
වෙන්ඩේ සිදු වන්නට කලින්, ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුව තුළ රාජ්‍යය ශාලාවලට අවසර නොලැබුණි. දැන් ඒවා හදිසියේ අවශ්‍ය වී ඇත; ඒවා ගොඩනැගීමට ප්‍රමුඛත්වය දෙනු ලැබේ. මෙය සැබෑ නමස්කාරය තුළ කැපී පෙනෙන වෙනසකට පාත්‍ර වී ඇති තවත් අංගයකි. එක් සහෝදරයකුගේ අත් දැකීම මෙම වෙනස කොතරම් වේගයෙන් සිදු වී තිබේදැයි පැහැදිලි කරයි.
වර්ෂ 1990 මාර්තු මාසයේ, ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුව තුළ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් නීත්‍යානුකූල පිළිගැන්ම ලබා පැය ස්වල්පයකින්, තමාගේ ජීවිතයේ පළමු වතාවට මයික්‍රෝෆෝනයක් පාවිච්චි කරමින්, සාක්ෂිකරුවන් සමූහයක් අමතන්නට සහෝදරයෙකුට ආරාධනා කරනු ලැබී ය. ඉන් වසර දෙකහමාරකට පසු, ඔහු සම්බන්ධ වී සිටි සභාව අලුත් රාජ්‍යය ශාලාවක් කැප කළා ය. වර්ෂ 1992 අවසානය වන විට, සභාවන් 16ක් සඳහා රාජ්‍යය ශාලාවන් හතක් ගොඩනගනු ලැබී ය. රාජ්‍යය ශාලාවන් 30ක් මෙන් ම චිත්තාකර්ෂණීය එක්රැස්වීමේ ශාලාවක් සැලසුම් කිරීමේ අවදියේ පවතී.
දෙවියන් වහන්සේගේ රාජ්‍යය කෙරෙහි නෙත් යොමා
“වෙන්ඩේ සිදු වීමෙන් මද කලකට පසු, බොහෝ දෙනෙක් බයිබලය ප්‍රතික්ෂේප කළා. අන්තිමේ දී වඩා හොඳ තත්ත්වයක් උදා කරන බවට පොරොන්දුවක් දුන්, නව රජය කෙරෙහි ඔවුන් සිය බලාපොරොත්තුව තැබුවා” යයි ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් ප්‍රකාශ කරයි. ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු වී ද? “වසර දෙකක් තුළ ඔවුන් තමන්ගේ මනස වෙනස් කර ගත්තා. මනුෂ්‍ය ආණ්ඩුවලට කිසිදිනක සාමය හා ධර්මිෂ්ඨකම උදා කළ නොහැකි බවට ජනයා දැන් අප සමඟ එකඟ වෙනවා.”
බටහිර සංකල්පයන්හි ස්වර්ණමය උදාව හැටියට තමන් සැලකූ දෙය ප්‍රශංසා කරමින්, ජර්මන් ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුවේ පැවති දරදඬු සමාජවාදයේ බිඳ වැටීම කෙරෙහි අතිවිශාල ජනකායක් ප්‍රීතිය පළ කළහ. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරනු ලැබී ය. කිනම් රජයක් බලයේ සිටියත්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ තමන්ගේ ඇස සරල ව තබා ගෙන සිටින අතර ගුවනේ තාරකාවක් මෙන් බැබළෙන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය කෙරෙහි එය ස්ථීර ව යොමු කර තබා ගෙන සිටිති. එවන් බලාපොරොත්තුවක් කෙදිනකවත් බලාපොරොත්තු සුන් වීමකට මඟ පෙන්වන්නේ නැත.—රෝම 5:5.
[පාදසටහන්වල]
a වර්ෂ 1992 සැප්. 15, ඔක්. 15, දිනැති මුරටැඹ කලාපයන්හි හා 1992 මැයි 15 ද වොච්ටවර් හි පළ කරන ලද “තහනම යටතේ යෙහෝවඃ වහන්සේ අපට සැලකිල්ල දැක්වූ සේක” කොටස් 1-3 බලන්න.
[26වන පිටුවේ පින්තූර]
ජර්මනියේ සිටින සාක්ෂිකරුවෝ වැඩි වැඩියෙන් රාජ්‍යය කටයුතුවල තමන් ව ම නිරත කරවා ගැනීමට තමන්ගේ නිදහස උපයෝගී කර ගනිමින් සිටිති