යේසුස් වහන්සේ ඉපදුණේ හිම වැටෙන කාලයේ ද?
“දැඩි හිම පතනයක් යෙරුසලමේ දෛනික වැඩ කටයුතු අඩපණ කරයි” එමෙන් ම “හිම පතනයන් උතුරුකරයේ අවුල් සහගත තත්ත්වයක් ඇති කරයි.” ද ජෙරසලම් පෝස්ට් නම් පුවත් පතේ තිබූ එවන් ශීර්ෂ පාඨ, ඊශ්‍රායෙල් පාඨකයන් හට 1992 තුළ සාමාන්‍ය සිද්ධියක් බවට පත් විය. ඊට හේතුව, එය මෙම ශතවර්ෂය තුළ ඊශ්‍රායෙලයේ ඇති වූ දරුණුතම ශීත ඍතුවලින් එකක් වීම ය.
ජනවාරිය වන විට හර්මොන් කඳු මුදුන අඩි 22 සිට 40 දක්වා උසැති හිම තට්ටුවකින් වැසී ගිය ද ශීත ඍතුව අවසන් වීමට තවත් දීර්ඝ කාලයක් තිබුණි. ගෝලාන් උස්බිම් හා ඉහළ ගලීලයෙන් පටන්ගෙන යෙරුසලමෙන් හා අසල (කවරයේ පෙන්වා ඇති) බෙත්ලෙහෙමෙන් ඔබ්බට ද, දකුණෙන් නෙගෙබ් දක්වා පවා ද, නොයෙක් විට, සුන්දර, මොළොක්, එහෙත් ප්‍රබල ආගන්තුකයෙක් විසින් ඊශ්‍රායෙලිතයන්ගේ දෛනික ජීවිතය හා වැඩ කටයුතු, අඩපණ කරනු ලැබී ය. ජෙරසලම් පෝස්ට් පත්‍රයේ එක් ලිපියක මෙසේ සඳහන් ව තිබුණි: “කට්ට්යූෂා රොකට් වෙඩි වර්ෂාවකට පසුගිය සතියේ කරන්නට නොහැකි වූ දෙයක්, එනම්, ජනාවාස වසාලමින් පදිංචිකරුවන් තමන්ගේ නිවෙස්වලට ම තදින් සිරකර තැබිමට දැඩි හිම පතනයක් ඊයේ සමත් විය.”
තද සිසිරය තත්ත්වය විනාශයක් සිදු කළේ නගරයේ වැසියන්ට පමණක් නොවේ. රාත්‍රි කාලයේ උෂ්ණත්වය හිමාංකයටත් වඩා පහළට බැසීම නිසා සිය ගණන් එළදෙනුන් හා වසු පැටවුන් මෙන් ම, දහස් සංඛ්‍යාත කුකුළු පැටවුන් මිදී මරණයට පත් වූ බවට වාර්තා ලැබුණි. හිම පතනය මදිවට, දැඩි, ශීතාධික වර්ෂාව මගින් තවත් හානි ඇති විය. දිනක්, තමන් සිටි ස්ථානයට හදිසියේ පතිත වූ වර්ෂාවෙන් ඇති වූ ජල ගැල්මකට කොටු වූ තමන්ගේ බැටළුවන් කිහිප දෙනෙක් රැක ගන්නට, පෙනෙන හැටියට ජීවිතය පවා පරදුවට තබා වෑයමක් දැරූ, යෞවන එඬේර ළමුන් දෙදෙනෙක්, වේගයෙන් ගලා යන ජල ධාරාවේ ගසාගෙන ගොස් ගිලී මරණයට පත් වූහ.
මෙය මැද පෙරදිගේ නියම ශීත ඍතුවක් නොවූවත්, ඊශ්‍රායෙල් සඟරාවක් වන එරෙට්ස් වාර්තා කළේ මෙසේ ය: “ගත වූ වසර 130 සඳහා ඊශ්‍රායෙල් දේශයේ රැස්කර සටහන් කරන ලද කාලගුණ දත්ත අනාවරණය කරන්නේ යෙරුසලමේ හිම පතනය, අපේක්ෂා කළ හැකි පමණට වඩා සාමාන්‍ය සිද්ධියක් බවයි . . . වර්ෂ 1949 හා 1980 අතර, යෙරුසලම් නගරයේ හිම වැටුනු ශීත ඍතු විසි-හතරක් තිබුණි.” එහෙත් මෙය වටින්නේ හුදෙක් කාලගුණික හා මිනිසුන් ගැන උනන්දු වීම අතින් පමණක් ද, නැතහොත් එය බයිබල් ශිෂ්‍යයන් සඳහා විශේෂ අර්ථයක් ඉදිරිපත් කරයි ද?
බයිබල් ශිෂ්‍යයන් සඳහා ඇති වැදගත්කම කුමක් ද?
යේසුස් වහන්සේගේ උපත ගැන කල්පනා කරන විට, බොහෝ දෙනෙකු සිය මනසට නගන පින්තුරය වන්නේ, නත්තල් කාලයේ බොහෝ විට ප්‍රදර්ශනය කරනු ලබන, චිත්ත වේගී ව සිත් ඇද ගන්නා ගව ඔරුවේ දර්ශනයයි. අවට භූමි ප්‍රදේශය තුනී හිම තට්ටුවකින් වැසී තිබිය දී, සිය මවගේ රැකවරණය ලබමින්, උණුසුම් ව පොරොවන ලද, යේසු බිළින්දා එහි වැතිර සිටියි. සාමාන්‍යයෙන් දක්නට ලැබෙන මෙම දර්ශනය මෙම ඓතිහාසික සිද්ධිය පිළිබඳ බයිබල් විස්තර හා ගැලපේ ද?
බයිබල් ලේඛක ලූක්, යේසුස් වහන්සේගේ උපත පිළිබඳ ව ප්‍රවේසමෙන් ලේඛන ගත කළ වාර්තාවක් මෙසේ සඳහන් කරයි: “තවද එම රටෙහි එඬේරු රෑ යාමයෙන් යාමයට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේසම්කරමින් පිට්ටනියෙහි සිටියෝය. එවිට ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ, NW] දූතයෙක් ඔවුන් ළඟ සිටියේය, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ, NW] තේජස ඔවුන් අවට බැබළුණේය. ඔව්හු අතිශයින් භයපත්වූහ. දේවදූතයා ඔවුන්ට කථාකොට: භය නොවෙල්ලා; බලව, මුළු සෙනගට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. මක්නිසාද ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර [බෙත්ලෙහෙමේ] අද උපන්සේක. රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බවන්නේය; මේක නුඹලාට ලකුණයයි කීවේය. එකෙණෙහිම ඒ දේවදූතයා සමඟ මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.”—ලූක් 2:8-14.
ඔබ මෙම වාර්තාව අද දවසේ සාමාන්‍ය ඊශ්‍රායෙලිතයෙකුට කියවා, මෙය වසරේ කිනම් කාලයක් වන්නට ඇද්දැයි ඔහුගෙන් විමසුවේ නම්, ඔහු බොහෝ දුරට පිළිතුරු දෙනු ඇත්තේ, “අප්‍රේල් හා ඔක්තෝබර් අතර යම් කාලයක්” යනුවෙනි. ඊට හේතුව? පිළිතුර සරල ය. නොවැම්බරයේ පටන් මාර්තු දක්වා වූ කාලය ඊශ්‍රායෙලයේ ශීත, වර්ෂා කාලය වන අතර, දෙසැම්බර් 25වන දින නිශ්චිත වශයෙන් ම ශීත කාලය ය. මෙවිට, එඬේරුන් රාත්‍රියේ තමන්ගේ රැළ කෙත්වල රැකබලා ගනිමින්, නිවෙස්වලින් බැහැර ව වාසය කරන්නට යන්නේ නැත. මෙම ලිපිය මූලාරම්භයේ ඇති වාර්තා සලකා බැලීමේ දී, ඊට හේතුව ඔබට තේරුම් ගත හැක. යේසුස් වහන්සේ උපත ලද බෙත්ලෙහෙම, උස් ප්‍රදේශයක පිහිටා ඇති අතර එතැනට යෙරුසලමේ සිට ඇත්තේ සැතපුම් කිහිපයක් පමණි. කාලගුණය එතරම් උග්‍ර තත්ත්වයකට පත් නොවන වර්ෂවල පවා, ශීත ඍතුවේ එහි රාත්‍රි කාලය බොහෝ සෙයින් සීතල ය.—මීකා 5:2; ලූක් 2:15.
යේසුස් වහන්සේගේ උපත සිදු වූ කාලයේ ඉතිහාසය දෙස බැලුවහොත්, උන් වහන්සේ දෙසැම්බරයේ හිම පතිත වූ කාලය තුළ නූපන් බව සනාථ වෙයි. යේසුස් වහන්සේගේ මව වන මරියා, ගැබ් ගැනීමේ පරිනත අවස්ථාවක පසු වුවද, ඇයට නාසරෙත් හි සිය නිවසේ සිට බෙත්ලෙහෙම දක්වා ගමන් කරන්නට සිදු විය. ඇය හා යෝසෙප් එසේ කළේ, රෝමානු පාලකයා වන, කායිසර් අගොස්තුස් විසින් නියෝග කරන ලද ජන සංගණනයේ අවශ්‍යතා සපුරාලීමට ය. (ලූක් 2:1-7) රෝමානු පාලනය හා එහි දැරිය නොහැකි බදු බර නොරිස්සූ යුදෙව් ජනයා, ඒ වන විටත් කැරලි ගැසීමට ආසන්න තත්ත්වයක සිටියහ. ඉතා දුෂ්කර මෙන් ම අනතුරු සහිත කාලගුණයක් ශිත ඍතුවේ තිබිය දී පවා, ලියා පදිංචි වීමට ගමන් කරන ලෙස බොහෝ දෙනෙකුගෙන් ඉල්ලා සිටීමෙන්, රෝමය නුවුවමනා ලෙස ඔවුන් ව කෝප කරවනු ඇත්තේ මන්ද? ගමන් යාමට පහසු, වසන්ත හෝ සරත් වැනි ඍතුවල එවැන්නක් කිරීමට නියෝග කිරීම වඩාත් යුක්ති සහගත නොවනු ඇද්ද?
බයිබලය මත පදනම් ගණනය කිරීම්
ඓතිහාසික මෙන් ම භෞතික සාක්ෂි, දෙසැම්බරය හෝ වෙනත් යම් ශීත මාසයක්, යේසුස් වහන්සේගේ උපත පිළිබඳ වාර්තාවට නොගැලපෙන බව දක්වයි. එපමණක් ද නොව, බයිබලය, යේසුස් වහන්සේ උපත ලද වසරේ කාල පරිච්ඡේදය ද අනාවැකි මගින් ප්‍රකාශ කරන්නේ ය. එය මෙසේ ප්‍රකාශ කරන්නේ කොතැනක ද?
දානියෙල්ගේ පොතේ 9වන පරිච්ඡේදයේ, මෙසියස් වහන්සේ සම්බන්ධ වඩාත් ම සිත් ගන්නා අනාවැකියක් අපට දක්නට ලැබේ. උන් වහන්සේගේ පැමිණීම හා පව් වෙනුවට සමගිකමක් පිණිස මිදීමේ මිලයක් සපයා දුන්නා වූ ද, කීකරු මනුෂ්‍ය වර්ගයාට “සදාකාල ධර්මිෂ්ඨකම” අත්කර ගැන්ම සඳහා පදනමක් පිහිටෙව්වා වූ ද, යන කාරණා දෙක මත මරණයෙන් උන් වහන්සේ ව සිඳ දමනු ලැබූ බව එය විස්තර කරයි. (දානියෙල් 9:24-27; සසඳන්න මතෙව් 20:28.) මෙම අනාවැකියට අනුව, යෙරුසලම නැවත ගොඩනගන්නට ආඥාව නිකුත් වූ අවස්ථාවේ, එනම් පො.යු.පෙ. 455වන වසරෙන් පටන්ගෙන වසර සති 70ක කාල පරිච්ඡේදයක් තුළ මේ සියල්ලක් ම ඉටු වනු ඇත.a (නෙහෙමියා 2:1-11) මෙම අනාවැකියේ කාලය බෙදීමට මුලපුරන අවස්ථාවේ සිට 70වන වසර සතියේ ආරම්භයේ මෙසියස් වහන්සේ පැමිණෙනු ඇතැයි තේරුම් ගත හැක. නිල වශයෙන් තමාගේ මෙසියානු කාර්ය භාරය පටන් ගනිමින්, පො.යු. 29 බව්තීස්මය සඳහා යේසුස් වහන්සේ තමා ව ම ඉදිරිපත් කළ විට මෙය සිදු විය. “සතිය මැදදී,” නොහොත් අවුරුදු තුනහමාරකට පසු, මෝසෙස්ගේ ව්‍යවස්ථා ගිවිසුම යටතේ සියලු යාගයන්ගේ වටිනාකම නිමාවකට පත් කරමින්, මෙසියස් වහන්සේ මරණයෙන් සිඳ දමනු ලබනවා ඇත.—හෙබ්‍රෙව් 9:11-15; 10:1-10.
යේසුස් වහන්සේගේ දේව සේවයේ කාල ප්‍රමාණය වසර තුනහමාරක් වූ බව මෙම අනාවැකිය හෙළි කරයි. යේසුස් වහන්සේ පාස්කුවේ දී, එනම් පො.යු. 33 වසන්තයේ, (යුදෙව් දින දර්ශනයට අනුව) නීසාන් 14වන දින මිය ගිය සේක. එම වසර සඳහා සම දිනය අප්‍රේල් 1වන දින වනු ඇත. (මතෙව් 26:2) එතැන් සිට වසර තුනහමාරක් ආපස්සට ගණන් කරන විට, උන් වහන්සේගේ බව්තීස්මය පො.යු. 29 ඔක්තෝබරයේ මුල් භාගයේ සිදු වූ බව දක්වයි. යේසුස් වහන්සේගේ බව්තීස්මයේ දී උන් වහන්සේගේ වයස අවුරුදු 30ක් පමණ වූ බව ලූක් අපට පවසයි. (ලූක් 3:21-23) මින් අදහස් කරන්නේ යේසුස් වහන්සේගේ උපතත් ඔක්තෝබරයේ මුල් භාගය ආසන්නයේ දී පමණ සිදු වන්නට ඇති බව ය. ලූක්ගේ වාර්තාවට එකඟ ව, එඬේරුන් වසරේ එම කාලයේ දී තවදුරටත් “රෑ යාමයෙන් යාමයට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේසම්කරමින් පිට්ටනියෙහි” සිටින්නට ඇත.—ලූක් 2:8.
කිනම් උල්පතකින් ද?
යේසුස් වහන්සේගේ උපත සිදු වූ කාලය හැටියට ඔක්තෝබරයේ මුල් භාගය කෙරෙහි සාක්ෂි යොමු දක්වන බැවින්, එය දෙසැම්බර් 25වන දින උත්සවශ්‍රීයෙන් පවත්වනු ලබන්නේ මන්ද? මෙම උත්සවය යේසුස් වහන්සේගේ උපතට සියවස් ගණනාවකට පසු ව පිළිගනු බව ද නිව් එන්සයික්ලෝපීඩියා බ්‍රිටනිකා මෙසේ පෙන්වයි: “හතරවන සියවස තුළ ක්‍රිස්තුස් වහන්සේගේ උපත දෙසැම්බර් 25වන දින උත්සවශ්‍රීයෙන් පැවැත්වීම පෙරදිග පල්ලි බොහොමයක් මගින් ක්රමානුකූල ව පළිගනු ලැබී ය. යෙරුසලමේ තවත් දිගු කාලයක් පුරා නත්තලට විරුද්ධත්වය ප්‍රකාශ කරනු ලැබුව ද, පසු ව එය පිළිගනු ලැබී ය.”
ක්‍රිස්තුස් වහන්සේගෙන් සියවස් ගණනාවකට පසු තමන් ක්‍රිස්තියානින් යයි කියා ගත් අය විසින් මෙම චාරිත්‍රය පහසුවෙන් ම පිළිගනු ලැබුවේ මන්ද? ද නිව් එන්සයික්ලෝපීඩියා බ්‍රිටනිකා තවදුරටත් එම විෂය ගැන වඩාත් පැහැදිලි කරන්නේ මෙසේ ය: “ක්‍රිස්තුස් වහන්සේගේ උපත උත්සවශ්‍රීයෙන් පැවැත්වීම, මධ්‍ය ශීත ඍතුවේ පවත්වන ලද මිථ්‍යාදෘෂ්ටික කෘෂිකාර්මික හා සූර්ය වත්පිළිවෙත් සමඟ එක විට සිදුවීම හේතුවෙන් නත්තල හා සම්බන්ධ වී ඇති පරම්පරාගත චාරිත්‍ර, ප්‍රභව කිහිපයකින් ප්‍රවර්ධනය වී ඇත. රෝමානු ලෝකයේ සැටනේලියා (දෙසැම්බර් 17) ප්‍රීති උත්සව පැවැත්වීමටත් තෑගි හුවමාරු කර ගැනීමටත් කාලයක් විය. දෙසැම්බර් 25වන දින, ඉරානීය අභිරහස් දෙවි වූ මිත්‍රාගේ, එනම් ධර්මිෂ්ඨකමේ සූර්යයාගේ උපන් දිනය හැටියට ද සලකනු ලැබී ය.”
සැබවින් ම මේ සියල්ලක් ම “බලාපොරොත්තු නොවූ ලෙස එකවිට සිදු” වූවා ද? කොහෙත් ම නැත! පොදු යුගයේ හතරවන සියවසේ, කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා යටතේ රෝමානු අධිරාජ්‍යය, ක්‍රිස්තියානින්ට පීඩා කරන්නෙකුගේ තත්ත්වයේ සිට පිළිගත් ආගමක් හැටියට ඊට අනුග්‍රහ දෙන්නෙකුගේ තත්ත්වයට, සැලකිය යුතු ලෙස වෙනස් වූ බව, ඓතිහාසික සත්‍යයකි. ක්‍රිස්තියානි ධර්මයේ සැබෑ අර්ථය පිළිබඳ හරි අවබෝධයක් නොතිබුන පොදු ජනයාගෙන් වැඩි පිරිසක් මෙම නව ඇදහිල්ල වැළඳ ගැනීමත් සමඟ, ඔවුහු අලුත සොයා ගත් “ක්‍රිස්තියානි” ගරු පදවි නාම සමඟ තමන්ගේ සුපුරුදු මිථ්‍යා දෘෂ්ටික උත්සව ප්‍රීතියෙන් පවත්වන්නට පටන් ගත්හ. ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳ ප්‍රීති උත්සවය පැවැත්වීමට, ඒ වන විටත් “ධර්මිෂ්ඨකමේ සූර්යයාගේ” උපන් දිනය හැටියට ලකුණු කරන ලද දෙසැම්බර් 25වන දිනට වඩා උචිත වනු ඇත්තේ කිනම් දිනයක් ද?
එය සැලකිය යුතු දෙයක් ද?
යුදෙව් පසුබිමකින් පැමිණි, යේසුස් වහන්සේගේ මුල් අනුගාමිකයන්, උන් වහන්සේගේ උපන් දිනයේ දී ප්‍රීති උත්සව නොපැවැත් වූ බව නිසැක ය. එන්සයික්ලෝපීඩියා ජුඩෙයිකා අනුව, “පරම්පරාගත යුදෙව් චාරිත්‍ර ක්‍රමය තුළ උපන් දින ප්‍රීති උත්සව පැවැත්වීම නුහුරු නුපුරුදු දෙයකි.” මුල් ක්‍රිස්තියානින් නිසැක ව ම එවන් ප්‍රීති උත්සවයක් නොපවත්වන්නට ඇත. උන් වහන්සේගේ උපත ප්‍රීතියෙන් පවත්වනු වෙනුවට, උන් වහන්සේගේ මරණය අනුස්මරණය කිරීමට වූ යේසුස් වහන්සේගේ ආඥාවට ඔවුන් ගෞරව කරනු ඇති අතර ඒ සඳහා ඔවුන්ට නිසැක දිනයක්, එනම් නීසාන් 14 තිබුණි.—ලූක් 22:7, 15, 19, 20; 1 කොරින්ති 11:23-26.
ක්‍රිස්තුස් වහන්සේට සියවස් ගණනාවකට පෙර, එවකට දෙවියන් වහන්සේගේ තෝරා ගන්නා ලද ජනයා ව සිටියා වූ ද, ළඟ දී ම බබිලෝනියේ වහල් බවින් මිදෙන්නට සිටියා වූ ද, යුදෙව් ජනයාට, අනාවැකිමය වශයෙන් මෙසේ අනතුරු අඟවනු ලැබී ය: “පිටවෙයල්ලා, පිටවෙයල්ලා, ඔතනින් පිටතට පලයල්ලා, කිසි අපවිත්‍ර දෙයකට අත නොගසා, ඈ තුළින් පිටතට පලයල්ලා; ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ, NW] භාණ්ඩ දරන්නෙනි, පිරිසිදුව සිටපල්ලා.” (යෙසායා 52:11) යෙහෝවඃ වහන්සේගේ නිර්මල නමස්කාරය යළි පිහිටුවීම පිණිස ඔවුන් තමන්ගේ මව් බිමට නැවතත් පැමිණිය යුතු ව තිබුණි. ඔවුන් බබිලෝනියේ දුටු අපවිත්‍ර වූ මිථ්‍යා දෘෂ්ටික චාරිත්‍ර හා නමස්කාර ක්‍රම යොදා ගැනීම ඔවුන් හට කල්පනා කළ නොහැකි තරම් යමක් වනු ඇත.
දෙවන කොරින්ති 6:14-18 හි ක්‍රිස්තියානින් සඳහා මෙම ආඥාව ම නැවතත් සඳහන් කර තිබීම පුදුමයක් නොවේ. ක්‍රිස්තුස් වහන්සේ ව ප්‍රතික්ෂේප කළා වූ යුදෙව් ජනයාගේ තැන ගනිමින්, උන් වහන්සේගේ අනුගාමිකයෝ නිර්මල නමස්කාරයේ නියෝජිතයන් බවට පත් වූහ. ආත්මික අන්ධකාරයෙන් පිටතට මෙන් ම සත්‍යයේ ආලෝකය තුළට ඒමට අන්‍යයන්ට උපකාර කිරීමේ වගකීම ඔවුන්ට තිබුණි. (1 පේතෘස් 2:9, 10) ඔවුහු ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම්, මිථ්‍යා පටන් ගැන්මක් ඇති චාරිත්‍ර හා නිවාඩු දිනයන් සමඟ මිශ්‍ර කළෝ නම්, ඔවුන්ට මෙය කළ හැක්කේ කෙසේ ද?
ජනප්‍රිය රුචිකත්වයන්ට එය කොතරම් සිත් ගන්නා යමක් වුව ද, එපමණට “හිම සහිත නත්තලක්” ප්‍රීතියෙන් සැමරීම “අපවිත්‍ර දෙයකට අත” ගැසීමක් වනු ඇත. (2 කොරින්ති 6:17) දෙවියන් වහන්සේටත්, ක්‍රිස්තුස් වහන්සේටත් සැබවින් ම ප්‍රේම කරන්නෙක් ඉන් වැළකී සිටිය යුතු ය.
නත්තලේ මූලාරම්භයන් මිථ්‍යා දෘෂ්ටික ප්‍රීති උත්සව හා සම්බන්ධ ව පවතින බවට ඇති කාරණයට අමතර ව, යේසුස් වහන්සේ ඔක්තෝබරයේ උපන් බැවින්, එමගින් සත්‍යය නියෝජනය නොකරන බව ද අප දැක ඇත. එසේ ය, කෙනෙකුගේ සිතට නැගෙන දසුන කුමක් වුවත්, යේසුස් වහන්සේ ඇත්තට ම ඉපදුණේ හිම වැටෙන කාලයක නොවේ.
[පාදසටහන්වල]
a මෙම අනාවැකියේ වඩාත් පූර්ණ සාකච්ඡාවක් සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔෆ් නිව් යෝක්, ඉන්ක්. මගින් ප්‍රකාශිත, විල් දෙයා බී ඒ වර්ල්ඩ් විතවුට් වෝර්? නම් විවරණිකාවේ 26වන පිටුව බලන්න.
[4, 5වන පිටුවේ පින්තූරය]
නැගෙනහිරෙන් පෙනෙන ආකාරයට හිමෙන් වැසුණු යෙරුසලම
[හිමිකම් විස්තර]
Garo Nalbandian
[6වන පිටුවේ පින්තූරය]
යෙරුසලමේ පවුර දිගේ පවතින හිම
[7වන පිටුවේ පින්තූරය]
පහත දැකිය හැකි පරිදි, රාත්‍රියේ ගල් සහිත හෙල්වල එඬේරුන්ට තම රැළ සමඟ සිටිය හැක්කේ උණුසුම් සමයක පමණි
[හිමිකම් විස්තර]
Garo Nalbandian