ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 12/1 19-24 පි.
  • යටහත් පහත් අය සන්තෝෂවත් ය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යටහත් පහත් අය සන්තෝෂවත් ය
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යටහත් පහත්වීමට යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඇදහිල්ල අපට උපකාර කරයි
  • යටහත් පහත්කම—ප්‍රඥාවේ ක්‍රියා මාර්ගයයි
  • යටහත් පහත්කම අන්‍යයන් සමඟ යහපත් සබඳතා ඇති කරයි
  • ප්‍රේමය, යටහත් පහත්වීමට අපට උපකාර කරයි
  • යටහත් පහත්කම වර්ධනය කරගන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ සැබෑ නිහතමානීකම පෙන්වන්නේ කෙසේද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා සිය තේජස හෙළි කරන්නේ යටහත් අයටයි
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යටහත්පහත් සේවකයන්ව යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 12/1 19-24 පි.

යටහත් පහත් අය සන්තෝෂවත් ය

“දෙවියන් වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධ වන සේක, නමුත් උන් වහන්සේ යටහත් පහත් අයට ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව දෙන සේක.”—1 පේතෘස් 5:5, NW.

1, 2. යේසුස් වහන්සේ සිය කන්ද උඩ දේශනාවේ දී, සන්තෝෂවත්වීම යන කාරණය, යටහත් පහත්වීමට සම්බන්ධ කළේ කෙසේ ද?

සන්තෝෂවත්වීම සහ යටහත් පහත්වීම එකට බැඳී තිබේ ද? එතෙක් මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මිනිසා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සිය සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේ දී, සන්තෝෂයේ ආකාර හෙවත් අභිනන්දිත ආකාර නවයක් විස්තර කරන සේක. (මතෙව් 5:1-12) යේසුස් වහන්සේ, සන්තෝෂවත්වීම, යටහත් පහත් ව සිටීම සමඟ සම්බන්ධ කළ සේක් ද? එසේ ය, උන් වහන්සේ එසේ කළ සේක. මක්නිසාදයත්, උන් වහන්සේ විසින් සඳහන් කළ සන්තෝෂයන් ගණනාවක් තුළ යටහත් පහත්කම අන්තර්ගත වන නිසා ය. නිදසුනක් වශයෙන්, පුද්ගලයෙක්, තමාගේ ආත්මික අවශ්‍යතා ගැන සාවධාන වීමට නම් ඔහු යටහත් පහත් විය යුතු ය. ධර්මිෂ්ඨකම සඳහා සාගින්නෙන් හා පිපාසයෙන් පෙළෙන්නේ යටහත් පහත් අය පමණි. තව ද, උඩඟු අය වනාහි මොළොක් ස්වභාවයක් ඇති අයවත්, දයානුකම්පිත අයවත්, සමාදානය ඇති කරන්නවුන් වත් නොවේ.

2 යටහත් පහත් අය සන්තෝෂවත් ය, මන්දයත් යටහත් පහත් ව සිටීම හරි දේ වන නිසාත්, අවංක දේ වන නිසාත් ය. එපමණකුදු නොව, යටහත් පහත් අය සන්තෝෂවත් වන්නේ මන්දයත්, යටහත් පහත්වීම ප්‍රඥාවන්ත නිසා ය; එය යෙහෝවඃ දෙවියන් වහන්සේ සහ සෙසු ක්‍රිස්තියානින් සමඟ යහපත් සබඳතා ඇති කරලීමට දායක වෙයි. තවදුරටත්, යටහත් පහත් අය සන්තෝෂවත් වන්නේ මන්දයත්, යටහත් පහත්වීමෙහි ලා තමන්ගේ පැත්තෙන් එය ප්‍රේමයේ ප්‍රකාශනයක් වන නිසා ය.

3. යටහත් පහත්වීමට අවංකකම අපට බලකරවන්නේ මන්ද?

3 යටහත් පහත්වීමට අපගෙන් අවංකකම අවශ්‍ය වන්නේ ඇයි? එක් දෙයක් නම්, අප සියල්ලන් ම අසම්පූර්ණකම උරුම කර ගෙන සිටීමත්, දිගට ම වැරදි කිරීමත් නිසා ය. ප්‍රේරිත පාවුල් තමා ගැන ම මෙසේ පැවසුවේ ය: “මා තුළ එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය, නුමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය.” (රෝම 7:18) එසේ ය, අපි සියලු දෙනා ම පව්කොට, දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන ව සිටිමු. (රෝම 3:23) නොසඟවා කටයුතු කිරීම උඩඟුවීමෙන් අප ව වළක්වාලයි. වරදක් පිළිගැනීමට නම් යටහත් පහත්කම අවශ්‍ය වන අතර, අප වැරදි කරන කොයි අවස්ථාවක දී හෝ වේවා, චෝදනාව භාර ගැනීමට අපට උපකාර වනු ඇත්තේ අවංකකමයි. කිරීමට අප විසින් පරිශ්‍රමය දරන දේවලින් අප නොකඩවා ම පහත වැටෙන හෙයින්, යටහත් පහත්වීමට අපට හොඳ හේතු තිබේ.

4. අප විසින් යටහත් පහත්වීමට 1 කොරින්ති 4:7 හි දී ඇති බල කරවන සුලු හේතුව කුමක් ද?

4 අවංකකම අප ව යටහත් පහත් අය කළ යුතු තවත් හේතුවක් ප්‍රේරිත පාවුල් අපට දෙයි. ඔහු මෙසේ පවසයි: “නුඹට වෙනස්වෙන්ට සලස්වන්නේ කවුද? නුඹට ලැබුණ දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? ඉඳින් එය ලැබුණනම් නොලැබුණක්මෙන් පාරට්ටුකරගන්නේ මක්නිසාද?” (1 කොරින්ති 4:7) ඒ ගැන කිසිඳු ප්‍රශ්නයක් නැත, අප අපට ම ගෞරවය ගන්නවා නම්, අප අපගේ ම දේපොළ, හැකියාවන් හෝ අත්කර ගෙන තිබෙන දේවල් ගැන උඩඟු වෙනවා නම්, එය අවංක දෙයක් නොවනු ඇත. දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට අවංකකම දායක වන අතර, එවිට, අපට “සියලු දේවල දී අවංක ලෙස අපි ව ම හසුරුවා ගැනීමට හැකි වන්නෙමු.”—හෙබ්‍රෙව් 13:18, NW.

5. අප වරදක් කර ඇති විට, අවංකකම ද අපට උපකාරවත් වනු ඇත්තේ කෙසේ ද?

5 අප වරදක් කළ විට යටහත් පහත්වීමට අවංකකම අපට උපකාර කරයි. අප ම හරිය කියා ඇඟවීමට හෝ චෝදනාව තව කෙනෙකු මත පැටවීමට උත්සාහ කරනවා වෙනුවට, එම චෝදනාව ඉක්මනින් ම භාර ගැනීමට එය අප ව වඩාත් සූදානම් කරනු ඇත. මේ අනුව, ආදම් ඒවට චෝදනා කළ ද, ‘ඇයට තිබුණා මට නොපෙනෙන ආකාරයට ස්නානය කරන්න. ඒ නිසයි පරීක්ෂාවෙන් මට මිදෙන්න නොහැකි වුණේ’ කියමින් දාවිත් බෙත්-ෂෙබාට චෝදනා නැගුවේ නැත. (උත්පත්ති 3:12; 2 සාමුවෙල් 11:2-4) ඇත්තෙන් ම, එක් අතකට, අවංක වීම අප හට යටහත් පහත්වීමට උපකාරවත් වෙයි; අනෙක් අතට, යටහත් පහත්වීම අපට අවංක වීමට ද උපකාරවත් වන බව කිව හැක.

යටහත් පහත්වීමට යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඇදහිල්ල අපට උපකාර කරයි

6, 7. දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල, යටහත් පහත්වීමට අප හට ඉවහල් වන්නේ කෙසේ ද?

6 යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද යටහත් පහත්වීමට අපට උපකාර වෙනවා ඇත. විශ්වනීය පරමාධිපති මැවුම්කරුවාණන් සැබවින් ම කොතරම් ශ්‍රේෂ්ඨ ද යන්න අගය කිරීම, අප ගැන ම ඕනෑවට වඩා සිතීමෙන් අප ව වළක්වාලනු ඇත. මේ සම්බන්ධයෙන් අනාගතවක්තෘ යෙසායා කොතරම් මැනවින් අපට සිහිගන්වයි ද! යෙසායා 40:15, 22 හි අපට මෙසේ කියවීමට තිබේ: “බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. . . . පෘථිවි චක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය.”

7 අප අයුක්ති සහගත යමක් විඳ ඇති බව අපට හැඟෙන විට ද, යෙහෝවඃ වහන්සේ කෙරෙහි දක්වන ඇදහිල්ල අපට උපකාරවත් වෙනවා ඇත. කාරණය ගැන නොසන්සුන් ස්වභාවයකින් සිටිනවා වෙනුවට, ගීතිකාකරු ගීතාවලිය 37:1-3, 8, 9 හි අපට සිහිගන්වන්නාක් මෙන්, අපි යෙහෝවඃ වහන්සේ කෙරෙහි යටහත් පහත් ලෙස බලා සිටින්නෙමු. ප්‍රේරිත පාවුල් සඳහන් කරන්නෙත් එම කාරණය ම ය: “ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහැරපල්ලා. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාක දෙමියි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] කියන සේකැයි ලියා තිබේ.”—රෝම 12:19.

යටහත් පහත්කම—ප්‍රඥාවේ ක්‍රියා මාර්ගයයි

8. යටහත් පහත්කම යෙහෝවඃ වහන්සේ සමඟ යහපත් සබඳතාවයක් ඇති කිරීමට ඉවහල් වන්නේ මන්ද?

8 යටහත් පහත්කම ප්‍රඥාවේ ක්‍රියා මාර්ගයක් වීමට බොහෝ හේතු තිබේ. එක් දෙයක් නම්, දැනටමත් සඳහන් කර ඇත්තාක් මෙන්, එය අපගේ මැවුම්කරුවාණන් සමඟ හොඳ සබඳතාවයක් පැවැත්වීමට දායක වෙයි. හිතෝපදේශ 16:5 හි, දේව වචනය පැහැදිලි ව මෙසේ සඳහන් කරයි: “උඩඟු සිත් [හදවත් NW ] ඇති කවුරු නුමුත් ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW ] පිළිකුලක්ය.” තව ද හිතෝපදේශ 16:18 හි ද අපට මෙසේ කියවීමට තිබේ: “විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.” කෙදිනක හෝ උඩඟු අය ශෝකයට පැමිණෙනවා ඇත. එය එසේ වන බවට නිසැක ය, මන්දයත් 1 පේතෘස් 5:5 [NW ] හි අපට කියවන්නට ඇත්තේ මෙසේයි: “ඔබ සියලු දෙනා ම එකිනෙකා කෙරෙහි මනසින් නිහතමානි ව සිටින්න, මන්දයත් දෙවියන් වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධ වන සේක, නමුත් උන් වහන්සේ යටහත් පහත් අයට ලබන්ට නොවටිනා, තරම් වූ කරුණාව දෙන බැවිනි.” යාච්ඤා කරමින් සිටි ඵරිසිවරයා හා අයබදු එකතුකරන්නා සම්බන්ධ ව යේසුස් වහන්සේ දුන් උපහැරණයේ ද ඔබට එම කරුණ ම සොයා ගත හැක. වඩාත් ධර්මිෂ්ඨ බවට ඔප්පු වූයේ යටහත් පහත් වූ අයබදු එකතු කරන්නා ය.—ලූක් 18:9-14.

9. අහිතකර කාලවල දී, යටහත් පහත්කම කිනම් උපකාරයක් වේ ද?

9 යටහත් පහත්කම ප්‍රඥාවේ ක්‍රියා මාර්ගය වන්නේ මන්දයත්, යාකොබ් 4:7 [NW ] හි, “එමනිසා, ඔබ ව ම දෙවියන් වහන්සේට යටත් කර ගන්න” යන උපදෙසට අවනත වීමට අපට යටහත් පහත්කම පහසු කරවන හෙයිනි. අප යටහත් පහත් නම්, අපට යම් අහිතකර තත්ත්වයක් විඳින්නට, යෙහෝවඃ වහන්සේ ඉඩ හරින විට අප කැරලි නොගසනවා ඇත. අපගේ තත්ත්වයන් සමඟ සෑහීමට පත්වී විඳදරා ගැනීමට අපට හැකි කරවනු ඇත්තේ යටහත් පහත්කම ය. උඩඟු පුද්ගලයෙක් සෑහීමකට පත්වන්නේ නැත, සෑම විට ම වැඩියෙන් වුවමනා කරයි, දුෂ්කර තත්ත්වයන් උදා වන විට කැරලි ගසයි. අනෙක් අතට, යටහත් පහත් පුද්ගලයා, යෝබ් මෙන්, අසීරුතාවයන් හා පරීක්ෂා විඳදරා ගනී. තම සියලු දේපොළ අහිමි වූ යෝබ්, වේදනාකාරී රෝගයකින් දැඩි සේ පහර ලැබී ය, ඊළඟට ඔහුගේ භාර්යාව පවා, “දෙවියන් වහන්සේට ශාප කර මැරෙව!” යයි කියමින්, උඩඟු ක්‍රියා මාර්ගය ගන්නා මෙන් ඔහුට උපදෙස් දුන්නා ය. ඔහු ප්‍රතිචාරය දැක්වූයේ කෙසේ ද? බයිබල් වාර්තාව අපට මෙසේ කියයි: “ඔහු ඈට කථා කොට: නුඹ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථා කරන්නාක් මෙන් කථා කෙරෙහිය. අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි කීවේය. මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත.” (යෝබ් 2:9, 10) යෝබ් යටහත් පහත්වීම නිසා, ඔහු කැරලි ගැසුවේ නැත, නමුත් තමා මතට පැමිණීමට යෙහෝවඃ වහන්සේ ඉඩ හළ ඕනෑ ම දෙයකට ඥානවන්ත ලෙස යටත් වූයේ ය. තව ද අවසානයේ දී ඔහු මහඟු විපාකයක් ලැබුවේ ය.—යෝබ් 42:10-16; යාකොබ් 5:11.

යටහත් පහත්කම අන්‍යයන් සමඟ යහපත් සබඳතා ඇති කරයි

10. යටහත් පහත්කම සෙසු ක්‍රිස්තියානින් සමඟ අපගේ සබඳතා වැඩි දියුණු කරන්නේ කෙසේ ද?

10 යටහත් පහත්කම ප්‍රඥාවේ ක්‍රියා මාර්ගය විමට තවත් දෙයක් නම්, එය අපගේ සෙසු ක්‍රිස්තියානින් සමඟ යහපත් සබඳතා ඇති කිරීමයි. ප්‍රේරිත පාවුල් අප හට මෙසේ මැනවින් උපදෙස් දෙයි: “කලහකාරී බවෙන්වත්, පුහු මාන්නයෙන්වත් කිසිවක් නොකොට, නිහතමානි මනසකින් යුතු ව, අන්‍යයන් ඔබට වඩා උතුම් යයි සලකමින්, ඔබගේ ම කාරණා කටයුතු ගැන මත පමණක් නොව, නමුත් අන්‍යයන්ගේ කාරණා කටයුතු ගැතත් ඇසක් තබා ගෙන සිටින්න.” (පිලිප්පි 2:3, 4, NW) අන්‍යයන් සමඟ තරඟ කිරීමෙන් ද නැතහොත් අන්‍යයන්ට වඩා කැපී පෙනීමට උත්සාහ කිරීමෙන් ද යටහත් පහත්කම ඥානවන්ත ලෙස අප ව වළක්වාලනු ඇත. එවැනි මානසික ආකල්පයන් අපටත් අපගේ සෙසු ක්‍රිස්තියානින්ටත් ගැටලු ඇති කරයි.

11. වැරදි කිරීමෙන් වැළකීමට යටහත් පහත්කම අපට උපකාරවත් විය හැක්කේ මන්ද?

11 අනන්ත අප්‍රමාණ අවස්ථාවල දී, වැරදි කිරීමෙන් වැළකීමට ද යටහත් පහත්කම අපට උපකාරවත් කරයි. ඒ කෙසේ ද? කෙසේදයත්, යටහත් පහත්කම, ඕනෑවට වඩා අප ගැන ම ආත්ම-විශ්වාසය තැබීමෙන් අප ව වළක්වාලන හෙයිනි. ඒ වෙනුවට, අප 1 කොරින්ති 10:12 හි සඳහන් පාවුල්ගේ උපදෙස අගය කරනවා ඇත: “තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.” උඩඟු පුද්ගලයා තමා ගැන ම ඕනෑවට වඩා විශ්වාසය තබයි, එමනිසා, බාහිර බලපෑම් හෝ තමාගේ ම දුර්වලකම් හේතුවෙන් ඔහු වැරදි කිරීමට නැඹුරු වී සිටී.

12. යටහත් පහත්කම කිනම් ශුද්ධ ලියවිලිමය යුතුකම සපුරාලීමට අප ව පොළඹවයි ද?

12 යටහත් පහත්කම, යටත්වීමේ අවශ්‍යතාවය සපුරාලීමට ද අප හට උපකාරවත් වෙනවා ඇත. එපීස 5:21 හි අපට උපදෙස් දී ඇත්තේ: “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි භය ඇතුව එකිනෙකාට යටත්වෙයල්ලා” යනුවෙනි. ඇත්තෙන් ම, අප සියල්ලන් ම යටත් විය යුතු නොවේ ද? දරුවන් තම දෙමාපියන්ට යටත් විය යුතු ය, භාර්යාවන් තම ස්වාමිපුරුෂයන්ට ද, ස්වාමිපුරුෂයන් ක්‍රිස්තුස් වහන්සේට ද යටත් විය යුතු ය. (1 කොරින්ති 11:3; එපීස 5:22; 6:1) ඊළඟට, ඕනෑ ම සභාවක, උපස්ථායක සේවකයන් ඇතුළු සියල්ලන් ම, වැඩිමහල්ලන්ට යටත්කම දැක්විය යුතු ය. වැඩිමහල්ලන්, විශේෂයෙන් ම චාරිකා අවේක්ෂක මගින් නියෝජනය වන, විශ්වාස වූ දාස පංතියට යටත් විය යුතු බව සත්‍යයක් නොවේ ද? ඊළඟට, චාරිකා අවේක්ෂක, දිස්ත්‍රික්ක අවේක්ෂකට යටත් ව සිටීමට අවශ්‍ය ය. දිස්ත්‍රික්ක අවේක්ෂක තමා සේවය කරන රටේ ශාඛා කමිටුවට යටත් විය යුතු ය. ශාඛා කමිටු සාමාජිකයන් ගැන කුමක් කිව හැකි ද? ඔවුන් ‘එකිනෙකාට යටත් විය යුතු’ අතර ම, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” නියෝජනය කරන පාලක මණ්ඩලයට යටත් විය යුතු ය, අනෙක් අතට, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” අභිෂේක ලත් රජු වන යේසුස් වහන්සේට ද ගණන් දිය යුතු ය. (මතෙව් 24:45-47) වැඩිමහල්ලන්ගේ ඕනෑ ම මණ්ඩලයක මෙන්, පාලක මණ්ඩලයේ සාමාජිකයන් ද, අන්‍යයන්ගේ දෘෂ්ටි කෝණයන්ට ගෞරව කළ යුතු ය. නිදසුනක් වශයෙන්, තමාට ඉතා කදිම අදහසක් තිබෙනවා යයි යමෙක් සිතනවා විය හැක. එහෙත්, අනෙක් සාමාජිකයන්ගේ ප්‍රමාණවත් සංඛ්‍යාවක් ඔහුගේ යෝජනාවට එකඟ නොවේ නම්, ඔහුට තිබෙන්නේ එම කාරණය පසෙකට දැමීමටයි. ඇත්තට ම, අප සියල්ලන්ට ම යටහත් පහත්කම අවශ්‍ය වනුයේ මන්දයත් අපි සියලු දෙනා ම යටත් ව සිටින බැවිනි.

13, 14. (අ) යටහත් පහත්කම කිනම් විශේෂ තත්ත්වයක දී අපට උපකාරවත් වෙයි ද? (ආ) උපදෙස් පිළිගැනීම සම්බන්ධයෙන් පේතෘස් කිනම් ආදර්ශයක් තැබුවේ ද?

13 විශේෂයෙන් ම යටහත් පහත්කම ප්‍රඥාවේ ක්‍රියා මාර්ගයක් වන්නේ, උපදෙස් හා හික්මවීම පිළිගැනීමට යටහත් පහත්කම තුළින් අප ව පහසු කරවන නිසා ය. අප සියලු දෙනාට ම ඇතැම් අවස්ථාවල දී හික්මවීම අවශ්‍ය ය, තව ද හිතෝපදේශ 19:20 [NW ] හි සඳහන් උපදෙසට අප විසින් අවනත වීම යෙහෙකි: “ඔබේ අනාගතයේ දී ඔබ ප්‍රඥාවන්ත වනු පිණිස, උපදෙස්වලට සවන් දී හික්මවීම පිළිගන්න.” මනා අයුරින් ප්‍රකාශ කර ඇති පරිදි, යටහත් පහත්කම තරවටුවේ හෝ හික්මවීමේ වේදනාව අඩු කරයි. මීට අමතර ව, ප්‍රේරිත පාවුල්, හෙබ්‍රෙව් 12:4-11 හි, හික්මවීමට යටහත් පහත් ලෙස යටත්වීමේ ප්‍රඥාව ගැන අපට උපදෙස් දෙයි. අපගේ අනාගත ක්‍රියා මාර්ගය ප්‍රඥාවන්තව හසුරුවා, එනයින් සදාකාල ජීවනයේ ත්‍යාගය උපයා ගත හැක්කේ මේ ආකාරයෙන් පමණි. එය මොනතරම් සන්තෝෂවත් විපාකයක් වනු ඇත් ද!

14 මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පේතෘස්ගේ ආදර්ශයට අපට යොමු දැක්විය හැක. ගලාති 2:14 හි වාර්තාවෙන් අපට දැන ගත හැකි පරිදි, ඔහු ප්‍රේරිත පාවුල්ගෙන් දැඩි උපදෙස් ලැබී ය: “මම වනාහි ඔවුන් ශුභාරංචියේ සැබෑවේ හැටියට ඇදනැතිකමින් නොහැසුරුණු බව දැක, සියල්ලන් ඉදිරියෙහි කේපස්ට [පේතෘස්ට] කථාකරමින්: නුඹ යුදෙව්වෙක්ව සිට, යුදෙව්වරුන් ලෙස නොව අන්‍යජාතීන් ලෙස හැසිරෙනවා නම්, අන්‍යජාතීන්ට යුදෙව්වරුන් මෙන් හැසිරෙන්ට බලකරන්නේ කෙසේදැයි කීමි.” ප්‍රේරිත පේතෘස් හට අමනාපයක් හැඟුණා ද? එසේ විය හැකි වුවත්, එය වැඩිකල් පැවතියේ නැති බව, 2 පේතෘස් 3:15, 16 හි ඔහුගේ ලිපියේ, “අපේ ප්‍රේමවන්ත සහෝදරවූ පාවුල්” යනුවෙන් යොමු දක්වා තිබීමෙන් දැකිය හැක.

15. අපගේ යටහත් පහත්වීම සහ අපගේ සන්තෝෂවත්වීම අතර ඇති සම්බන්ධය කුමක් ද?

15 ස්වයං-තෘප්තිය, හෙවත් සෑහීම සම්බන්ධ කාරණය ද සැලකිය යුතු ය. අපගේ කොටස, අපගේ වරප්‍රසාද, අපගේ ආශීර්වාද සමඟ අපි සෑහීමට පත් නොවන්නෙමු නම්, අපට කිසිසේත් සන්තෝෂ විය නොහැක. “දෙවියන් වහන්සේ ඉඩ දෙනවා නම්, මට එය භාර ගන්නට පුළුවන්” යන ආකල්පය යටහත් පහත් ක්‍රිස්තියානියෙකුට තිබෙන අතර, 1 කොරින්ති 10:13 හි අප කියවන්නේ, ප්‍රේරිත පාවුල් පවසන එම දෙයයි: “මනුෂ්‍යා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය [විඳදරා ගත NW] හැකිවන පිණිස ඒ සමග ගැළවෙන මාර්ගයද සාදාදෙන සේක.” එමනිසා, අපට නැවතත් පෙනී යන්නේ යටහත් පහත්කම ප්‍රඥාවේ ක්‍රියා මාර්ගය බවයි, මක්නිසාදයත් අපගේ කොටස කුමක් වුවද, සන්තෝෂවත්වීමට එය අපට උපකාර කරන නිසා ය.

ප්‍රේමය, යටහත් පහත්වීමට අපට උපකාර කරයි

16, 17. (අ) යටහත් පහත්වීමට අපට උපකාරවත් වීමෙහි ලා ශ්‍රේෂ්ඨතම ගුණාංගය කැපී පෙනෙන්ට සලස්වන්නේ කිනම් ශුද්ධ ලියවිලිමය ආදර්ශය ද? (ආ) තවදුරටත් මෙම කරුණ නිරූපනය කරන ලෞකික ආදර්ශය කුමක් ද?

16 අන් සියල්ලට ම වඩා, පරාර්ථකාමී ප්‍රේමය, එනම් අ·ගාʹපේ, යටහත් පහත්වීමට අප හට ඉවහල් වෙනවා ඇත. පාවුල් පිලිප්පිවරුනට විස්තර කරන්නා වූ, යේසුස් වහන්සේගේ වධ කණුවේ අත්දැකීම්, එතරම් යටහත් පහත් ලෙස විඳදරා ගැනීමට උන් වහන්සේට හැකි වූයේ මන්ද? (පිලිප්පි 2:5-8) දෙවියන් වහන්සේ හා සමාන වීමට උන් වහන්සේ කිසිඳු සැලකිල්ලක් නොදැක්වූයේ මන්ද? මන්දයත්, උන් වහන්සේ ම පැවසූ පරිදි: ‘මා පියාණන් වහන්සේට ප්‍රේම කරන’ නිසා ය. (යොහන් 14:31) උන් වහන්සේ සෑම විටෙක ම, සිය ස්වර්ගීය පියාණන් වන යෙහෝවඃ වහන්සේට මහිමය හා ගෞරවය යොමු කළේ එබැවිනි. මෙසේ, එක් අවස්ථාවක දී, සිය පියාණන් පමණක් යහපත් වූ බව උන් වහන්සේ කාවැද්දූ සේක.—ලූක් 18:18, 19.

17 මෙම කාරණය පැහැදිලි කරන සිද්ධියක්, අමෙරිකාවේ මුල් අවධියේ කවියෙක් වූ ජෝන් ග්‍රීන්ලීෆ් විටියෙර්ගේ ජීවිතය තුළ දක්නට තිබේ. මේ මිනිසාට සිය ළමා අවදියේ සිට තමාට පෙම් කළ සොඳුරු හදවතක් සිටියේ ය. එක් අවස්ථාවක, අකුරු කියවීමේ තරඟයක දී, ඔහු එක් වචනයක අකුරු වැරදි ලෙස නම් කළ අතර, ඈ එය හරි ලෙස කළා ය. ඈ ඒ ගැන බොහෝ දුක් වූවා ය. මන්ද? කවියාට යළි මතක් වූ හැටියට, ඈ පැවසුවේ මෙසේ යි: “ඒ වචනයේ අකුරු හරියට නම් කිරීම ගැන මා කණගාටු වෙනවා. මා ඔබට ඉහළින් යාමට කොහෙත් ම කැමති නැහැ. . . . ඒ, මම ඔබට ආදරේ හන්දා.” එසේ ය, අප යමෙකුට ප්‍රේම කරනවා නම්, අපට වුවමනා වනු ඇත්තේ ඒ නැනැත්තා අපට පහළින් නොව, ඉහළින් සිටීමටයි, මන්දයත් ප්‍රේමය යටහත් පහත් නිසා ය.

18. යටහත් පහත්කම කිනම් ශුද්ධ ලියවිලිමය උපදෙසට අවනත වීමට අපට උපකාරවත් වනු ඇත් ද?

18 මෙය සියලු ක්‍රිස්තියානින් හට හොඳ පාඩමකි, විශේෂයෙන් ම සහෝදරයන්ට ය. විශේෂ සේවා වරප්‍රසාද සම්බන්ධයෙන් සලකා බලන විට, අප වෙනුවට අපගේ සහෝදරයෙක් එය ලබා ගැනීම ගැන අපි සතුටු වන්නෙමු ද, නැතහොත් යම් පමණක ඊර්ෂ්‍යාවක් හෝ කුඩුකේඩුකමක් අපට දැනෙනවා ද? අපි අපගේ සහෝදරයාට සැබවින් ම ප්‍රේම කරන්නෙමු නම්, ඔහුට එම විශේෂ පැවරුම හෝ සේවයේ පිළිගැනීම හෝ වරප්‍රසාදය ලැබීම ගැන අප සතුටු වනවා ඇත. එසේ ය, යටහත් පහත්කම, “එකිනෙකාට ගෞරවය දැක්වීමෙහි පෙරමුණ ගන්න” යන උපදෙසට අවනත වීමට පහසු කරවයි. (රෝම 12:10, NW) තවත් පරිවර්තනයක මෙසේ කියවීමට තිබේ: “ඔබට ඉහළින් අනික් තැනැත්තාට ගෞරව කරන්න.” (න ඉන්ටර්නැෂනල් වර්ෂන්) අනතුරුව නැවතත්, ප්‍රේරිත පාවුල් විසින් අපට උපදෙස් දී ඇත්තේ: “ප්‍රේමය තුළින් එකිනෙකාට දාසකම් කරන්න” කියා ය. (ගලාති 5:13, NW) එසේ ය, අපට ප්‍රේමය ඇත්නම්, අපගේ සහෝදරයන්ට සේවය කිරීමට, ඔවුන් උදෙසා දාසකම් කිරීමට, අපගේ ම දේවලට වඩා ඔවුන්ගේ ඕනෑ එපාකම් හා සුභසාධනය පෙරට තැබීමට අප සතුටු වනු ඇති අතර, ඊට අවශ්‍ය වන්නේ යටහත් පහත්කමයි. පුරසාරම් දෙඩීමෙන් අප ව වලක්වන යටහත් පහත්කම, ඒ අනුව, අන්‍යයන් තුළ ඊර්ෂ්‍යාවේ හෝ කුඩුකේඩුකමේ ස්වභාවයක් පුබුදුවාලීම වළක්වාලයි. ප්‍රේමය, “පාරට්ටු කරගන්නේ නැති බවත්, අහංකාරයෙන් ඉදිමෙන්නේ නැති” බවත් ප්‍රේරිත පාවුල් ලීවේ ය. එසේ නොවන්නේ මන්ද? මක්නිසාදයත්, පාරට්ටු කරගැනීමේ සහ අහංකාරයෙන් ඉදිමීම පිටුපස ඇති චේතනාව, ආත්මාර්ථකාමී ය, පුහු මාන්නයෙන් පිරී ඇති බැවිනි, එහෙත් ප්‍රේමය යනු පරාර්ථකාමීත්වයේ නියම සාරයයි.—1 කොරින්ති 13:4, NW.

19. යටහත් පහත්කම සහ ප්‍රේමය අතිනත යන බවත්, එමෙන් ම උඩඟුකම හා ආත්මාර්ථකාමීකම අතිනත යන බවත් නිරුපනය කරන බයිබල් ආදර්ශයන් කවරේ ද?

19 ප්‍රේමය හා යටහත් පහත්කම අතිනත යන අයුරු සහ ඒ හා සමාන ව උඩඟුකම හා ආත්මාර්ථකාමිත්වය අතිනත යන අයුරු සාවුල් රජු සහ ඔහුගේ පුත් යොනාතාන් සමඟ දාවිත්ට තිබූ සම්බන්ධතාවය පිළිබඳ ව කැපී පෙනෙන ආදර්ශයකි. දාවිත් යුධ පිටියේ දී සාර්ථක වීම හේතුවෙන්, ඊශ්‍රායෙල් ස්ත්‍රීහු මෙසේ ගැයුවෝ ය: “සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීය.” (1 සාමුවෙල් 18:7) කෙලෙසකින්වත් යටහත් පහත් නොවූ නමුත්, ඒ වෙනුවට උඩඟුකමින් දැවෙමින් සිටි සාවුල්, තමා තුළ එතැන් පටන් දාවිත් කෙරෙහි මිනීමරු වෛරයක් කැකෑරෙන්නට සැලැස්වී ය. ඔහුගේ පුත් යොනාතාන්ගේ ස්වභාවය මෙයට කොතරම් වෙනස් වූවා ද! යොනාතාන් තම ප්‍රාණයට මෙන් දාවිත්ට ප්‍රේම කළ බව අපි කියවමු. (1 සාමුවෙල් 18:1) සිදුවූ සිදුවීම් අනුව, යෙහෝවඃ වහන්සේ ආශීර්වාද කරන්නේ දාවිත්ට බවත්, ඊශ්‍රායෙලයේ රජු වශයෙන් සාවුල්ගේ අනුප්‍රාප්තිකයා වීමට සිටින්නේ ඔහු මිසක යොනාතාන් නොවන බවත් පෙනෙන්ට තිබූ විට, යොනාතාන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේ ද? යොනාතාන් හට ඊර්ෂ්‍යාවක් හෝ කුඩුකේඩුකමක් හැඟුණා ද? කොහෙත් ම නැත! දාවිත් කෙරෙහි ඔහුට තිබූ ඉමහත් ප්‍රේමය හේතුවෙන්, 1 සාමුවෙල් 23:17 හි අපට කියවන්නට තිබෙන පරිදි, ඔහුට මෙසේ කීමට හැකි විණි: “භයනොවන්න. මක්නිසාද මාගේ පියවූ සාවුල්ගේ අතට නුඹ අසුනොවන්නෙහිය; නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජවන්නෙහිය. මමද නුඹට දෙවෙනියා වන්නෙමි; මාගේ පියවූ සාවුල්ද ඒ බව දන්නෙහිය.” ඊශ්‍රායෙලයේ රජු වශයෙන් තම පියාගෙන් පසු ඒ තැන ගන්නේ කවුදැයි යන්න පිළිබඳ ව දෙවියන් වහන්සේගේ කැමැත්ත යයි ඔහුට වැටහුණු දෙය යටහත් පහත් ලෙස පිළිගැනීමට යොනාතාන් හට හේතු කරවූයේ දාවිත් කෙරෙහි ඔහු තුළ තිබූ ඉමහත් ප්‍රේමයයි.

20. යේසුස් වහන්සේ, ප්‍රේමය සහ යටහත් පහත්කම අතර සමීප සම්බන්ධතාවය පෙන්වූයේ කෙසේ ද?

20 ප්‍රේමය හා යටහත් පහත්කම අතර ඇති සම්බන්ධය තවදුරටත් හුවා දක්වන්නේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිය යාමට පෙර දින රාත්‍රියේ උන් වහන්සේ සිය ප්‍රේරිතයන් සමඟ සිටින විට සිදුවූ දෙයින් ය. යේසුස් වහන්සේ, “ලෝකයෙහි සිටියාවූ ස්වකීය සෙනගට ප්‍රේමයෙන් සිට, අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේමකළ” බව අපි යොහන් 13:1 හි කියවමු. යේසුස් වහන්සේ, පහත් සේවකයෙකු මෙන් ක්‍රියා කරමින්, සිය ප්‍රේරිතයන්ගේ පාද සෝදනවා ඉන් පසු ව අපට කියවීමට තිබේ. යටහත් පහත්කමේ මොනතරම් ප්‍රබල ආදර්ශයක් ද!—යොහන් 13:1-11.

21. සාරාංශයක් වශයෙන් ගත් කළ, අප යටහත් පහත් විය යුත්තේ මන්ද?

21 ඇත්ත වශයෙන් ම, යටහත් පහත්වීමට බොහෝ හේතු තිබේ. යටහත් පහත්වීම හරි දෙයයි, අවංක දෙයයි. එය ඇදහිල්ලේ ක්‍රියා මාර්ගය ය. එය යෙහෝවඃ දෙවියන් වහන්සේ සහ අපගේ සෙසු ඇදහිලිවන්තයන් සමඟ යහපත් සබඳතාවයන් ගොඩ නගයි. එය ප්‍රඥාවේ ක්‍රියා මාර්ගයයි. සියල්ලට ම වඩා, එය වනාහි සැබෑ සන්තෝෂය ගෙනෙන, ප්‍රේමයේ ක්‍රියා මාර්ගයයි.

ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?

◻ යටහත් පහත්වීමට අවංකකම අපට උපකාරයක් වන්නේ කිනම් ආකාරවලින් ද?

◻ යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඇදහිල්ල, යටහත් පහත්වීමට අපට උපකාරයක් විය හැක්කේ මන්ද?

◻ යටහත් පහත්වීම ප්‍රඥාවේ ක්‍රියා මාර්ගයක් බව කුමකින් පෙන්වයි ද?

◻ ප්‍රේමය, අප හට යටහත් පහත්වීමට විශේෂයෙන් උපකාරවත් වන්නේ මන්ද?

[21වන පිටුවේ පින්තූරය]

යෝබ්, යටහත් පහත් ලෙස තමා ව ම දෙවියන් වහන්සේට යටත් කර ගත්තේ ය. ඔහු “දෙවියන් වහන්සේට ශාප කර මිය ගියේ” නැත

[23වන පිටුවේ පින්තූරය]

පාවුල් ප්‍රසිද්ධියේ තමාට උපදෙස් දුන් විට, පේතෘස් යටහත් පහත් ලෙස යටත් විය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න