විවිධ වෙනස්කම්වලින් යුත් රටක දේශනා කිරීම
කැන්ගරු, කොවාලාවෝ, වොම්බැටාවෝ හා ප්ලැටිපස්වරු, එමෙන් ම අයර්ස් රොක් හා මහත් බාධක පරය—මේවා ඕස්ට්‍රේලියාව ගැන කල්පනා කරන්නෙකුගේ මනසට එන නාමයන් ය. එහෙත් ඕස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් ඇතැම් විට අයර්ස් පර්වතය හෝ මහත් බාධක පරය බලන්නට ගොස් නොතිබීම නැතහොත් සත්ත්ව උද්‍යානයෙන් පිටත කොවාලා, වොම්බැටාවා හෝ ප්ලැටිපුස් දැක නොතිබීම පුදුමයට කරුණක් වන්නට පුළුවන. ඊට හේතුව, එම රටේ මිලියන 17.3ක ජනගහනයෙන් සියයට 85ක්, වෙරළ දිගේ පිහිටි ප්‍රධාන නගර පහක ජීවත් වන, නාගරික පදිංචිකරුවන් වීම ය.
ගැටිති සහිත වෙරළ තීරයෙන් බැහැර ව සැතපුම් 125ක් පමණ රට අභ්‍යන්තරයට ගිය විට, කෙනෙකුට එම මහාද්වීපයේ අවුට්බැක් ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වන සුප්‍රකට වූ පිටිසර ප්‍රදේශය පටන් ගන්නා ස්ථානයට එන්නට පුළුවන. එම බිම් ප්‍රදේශය මනාව වැඩුණු වර්ෂා වනාන්තර හා සාරවත් ගොවිබිම් සිට පඳුරු හා ඝන තෘණ පමණක් වැවෙන උණුසුම්, වියළි, විවෘත බිම් ප්‍රදේශ දක්වා වෙනස් වේ. කෙසේ හෝ අවුට්බැක් නමැති මෙම ප්‍රදේශයේ ද ජීවීන් සිටියි. වර්ග සැතපුම් සිය ගණනක් පුරා විහිදී ගිය විශාල ප්‍රමාණයේ බැටළු හා ගව ගොවි පොළවල් මෙහි දක්නට ලැබේ. තවත් රට අභ්‍යන්තරයට ගිය විට දැඩි ඉරු රශ්මියක් පවතින කාන්තාර ඇති අතර, ආරක්ෂාව සඳහා කලින් පියවර නොගත් විට, ඇතැම් අවස්ථාවල ජනයා එහි මිය යති.
ශුභාරංචිය සමෘද්ධිමත් වේ
ඕස්ට්‍රේලියාවේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරනු ලබන්නේ මෙවන් තත්ත්වයන් යටතෙහි ය. සෑම වසරක් පාසා ම දහස් සංඛ්‍යාත පිරිසක් ධර්මිෂ්ඨ නව ලෝකයක් පිළිබඳ යෙහෝවඃ වහන්සේගේ පොරොන්දුවට ප්‍රතිචාරය දක්වමින් සිටිති. පසුගිය සේවා වසරේ, රාජ්‍යය ප්‍රචාරකයින්ගේ සංඛ්‍යාව 57,000කට වැඩි උපරිමයක් කරා ළඟා වූ අතර මෙය අවුරුදු දහයකට පෙර එහි සිටි සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ය. ජනගහණයෙන් බහුතරයක් මෙන්, ප්රචාරකයින් වැඩි පිරිසක් වෙරළබඩ නගරවල වාසය කළත්, ශුභාරංචිය රට අභ්‍යන්තරයේ ද සමෘද්ධිමත් වෙමින් පවතී.
වෙනස්කම් පවතින මෙම විශාල රටේ දේශනා කිරීමේ ආකාරය පිළිබඳ මද අවබෝධයක් ලබා ගැනීමට, මෙහි සිටින අපගේ දිස්ත්‍රික්ක අවේක්ෂකයින් පස්දෙනාගෙන් කෙනෙක් දුරස්තර ග්‍රාමීය ප්‍රදේශයේ ඇති සභාවන් සමහරක් බැහැ දකිත් ම අපිත් ඔහු හා එක් වෙමු. ඔවුනගේ ගමනට වර්ග සැතපුම් මිලියන 1.8කට වැඩි දේශ සීමාවක් පියැවෙන බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය, ක්වින්ස්ලන්ත ප්‍රාන්තයෙන් අඩක් හා මුළු උතුරු ප්‍රදේශය ම අයත් වේ. එය යුරෝපයෙන් එනම් කලින් සෝවියට් සංගමය යනුවෙන් හඳුන්වනු ලැබූ කොටස ඉවත් කළ විට, ඉතිරි වන දේශ සීමාවේ ප්‍රමාණය හා සමාන වේ.
අපගේ ගමන පටන් ගන්නේ, බටහිර ඕස්ට්‍රේලියාවේ අගනුවර වන පර්ත් නගරයේ සිට ය. මිලියන 1.2ක පමණ සෙනඟක් වාසය කරන මෙම අති නවීන නගරයේ, දැන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 49ක් ඇත. ඉංග්‍රීසි භාෂාවේ සභාවන්ට අමතර ව, එහි ග්‍රීක, ඉතාලියානු, පෘතුගීසි හා ස්පාඤ්ඤ සභාවන් මෙන් ම වෙනත් භාෂාවන්ට අයත් කුඩා කණ්ඩායම් ද ඇත. මුල් වැසියන්ට අයත් ජාතික සහෝදර සහෝදරියන්ගෙන් පමණක් සමන්විත සභාවක් ද එහි ඇති අතර ඔවුන් දේශනා සේවයේ දී සිය මූලික අවධානය යොමු කරන්නේ එම මහාද්වීපයේ සිටින මෙම දේශීය ආදිවාසී ජන පිරිස කෙරෙහි ය. මෙම යටහත් පහත් ජනයාගෙන් බොහෝ දෙනෙක් දැන් රාජ්‍යය පණිවුඩයට අනුකූලතාව දක්වමින් සිටිති. එහෙත් ප්‍රධාන නගරවලින් බැහැර ව තිබෙන තත්ත්වය කෙබඳු ආකාරයේ එකක් ද?
පර්ත් වෙතින් පිටත් ව අප ගමන් කරන්නේ සැතපුම් 1,100ක් උතුරෙන් පිහිටි හෙඩ්ලන්ඩ් තොට වෙතට ය. එහි චාරිකා එක්රැස්වීමක් පවත්වන්නට කටයුතු සූදානම් වෙමින් තිබේ. එම එක්රැස්වීමට සහභාගි වූ 289 දෙනාගෙන් වැඩි පිරිසක් එතැනට පැමිණ ඇත්තේ සැතපුම් 100ටත් 400ටත් අතර දුරක් ගමන් කිරීමෙන් ය. ඔවුන් හුදකලා ප්‍රදේශයන්ගෙන් පැමිණෙන අතර තමන්ට ළඟින් ම ඇති සභාවට යාම සඳහා ඔවුන් සැතපුම් 150ක් පමණ උල් ගල් සහිත ගල් පාරවල්වලින් ගමන් කළ යුතු ය. මෙම ගල්වලින් ඔවුන්ගේ කාර්වල ටයර් ද සිදුරු වේ. මෙම ප්‍රදේශයේ ඇති සභාවන් තුනක් වේගයෙන් ගොඩනැගීමේ ක්‍රමය භාවිතා කරමින්, මෑතක දී රාජ්‍යය ශාලාවන් ගොඩනගා ඇත.
හුදකලා ප්‍රදේශයන්හි ක්ෂණික ව ගොඩනගන ලද ශාලා
මෙම ප්‍රදේශයන්හි රාජ්‍යය ශාලාවක් ගොඩනැගීමත් එමෙන් ම නගර හෝ මහා නගරයන්හි රාජ්‍යය ශාලාවක් ගොඩනැගීමත් කොතරම් වෙනස් ද! ගොඩනැගිලි ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් සැතපුම් දාහක් දකුණෙන් පිහිටි පර්ත් හි සිට ප්‍රවාහනය කර ගත යුතු ය. ෆැරන්හයිට් අංශක 105 සිට 115 දක්වා වූ උෂ්ණත්වයක් මධ්‍යයේ රාජ්‍යය ශාලාව ගොඩනැගීම සඳහා සහෝදර සහෝදරියන් සිය ගණනක්, කලින් නියම කර ගන්නා ලද සති අන්තයේ මෙම දුරත් ඊට වැඩි දුරකුත් ගමන් කරති. දුරස්තර ප්‍රදේශයක වාසය කරන කුඩා ප්‍රජාවක් අතරට මෙවන් විශාල සෙනඟක් පැමිණීම ම සාක්ෂියක් වන්නේ ය. යපස් කණින නගරයක් වන ටොම් ප්‍රයිස් හි රාජ්‍යය ශාලාවක් ගොඩනගනු ලැබූ විට, එහි ප්‍රාදේශීය පුවත් පතේ මුල් පිටුවේ මෙසේ ප්‍රකාශ කර තිබුණි: “ටොම් ප්‍රයිස් හි තෙදිනකින් ‘ක්ෂණික ව ගොඩනගන’ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවට සම්බන්ධ වන ස්වේච්ඡා වෘත්තිකයන්ට හා සහායකයන්ට සාදර ඇරයුම්.”
එම නගරයේ සිටින සියල්ලන් ම වාගේ සහයෝගය දීමට උත්සුක ව සිටි බව පෙනෙන්නට තිබුණි. ටොන් 50ක් වූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීමට සාමාන්‍යයෙන් වැය වන ඩොලර් 11,000 වෙනුවට, ත්‍යාගශීලී ට්‍රක් රථ හිමියෙක් ඉන්ධන සඳහා පමණක් මුදල් ගෙවන්නැයි සහෝදරයන්ගෙන් ඉල්ලා සිටියේ ය. පළාතේ සිටින තීන්ත ආලේප කොන්ත්‍රාත්කරුවෝ තීන්ත ගැලුම් 26ක් පරිත්‍යාග කළහ. යන්ත්‍රානුසාරයෙන් භූමි ප්‍රදේශවල පස් අයින් කරන කොන්ත්‍රාත්කරුවන් ඒ සඳහා යන්ත්‍ර ලබා දුන් අතර, ආකරය පවත්වාගෙන යන සමාගම දොඹකරයක් ද නොමිලේ ලබා දුණි. ආගන්තුකයින් 300 දෙනාට නවාතැන් පහසුකම් සෙවීම ගැටලු සහිත වුවද, නගර වැසියන්ගෙන් ලැබුණු සහයෝගය විශිෂ්ට ය. සමහරෙක් දුරකථනයෙන් අමතා ඇඳන් ලබා දීමට ඉදිරිපත් වූහ. එක් ගෙහිමියෙක් දුරකථනයෙන් කථා කර සති අන්තයේ තමා නගරයෙන් බැහැර ව යනමුත් තමාගේ නිවසේ පසුපස දොර විවෘත කර තබන බව පැවසුවේ ය. “එම ව්‍යාපෘතිය අවසන් වනතෙක් නිවස ඔබගේ” යයි ඔහු කියා සිටියේ ය.
ප්‍රදේශයේ චාරිකාවට අයත් ට්‍රේලරයක් වැඩට ගැනීම පිණිස ඇතැම් සහෝදරයන් එය තිබෙන ස්ථානයේ ලිපිනය ලබාගෙන එය ගැනීමට එහි ගිය අවස්ථාවේ දී හාස්‍ය ජනක දෙයක් සිදු විය. “ආගමික හේතු සඳහා පැමිණෙන අයට අවසර නැත” යන දැන්වීම ගේට්ටුව මත තිබෙනු දැකීමෙන් ඔවුහු ව්‍යාකූලත්වයට පත් වූහ. එහෙත් එතැන ට්‍රේලරය තිබුණි. එබැවින් තමන් ඒ අවස්ථාවේ දී කසළ පටවා තිබූ එම ට්‍රේලරය ගන්නා බව එම නිවසේ සිටි කාන්තාවට ඔවුහු දැනුම් දුන්හ. ඔවුන් එය වෙනත් ස්ථානයකට ගෙන ගොසින් එය පිරිසිදු කරමින් සිටිය දී, හදිසියේ ම තේරුම් ගනු ලැබුවේ එය චාරිකාවේ ට්‍රේලරය නොවන බව ය! ට්‍රේලරයේ අයිතිකරුවා ගෙදරට පැමිණි විට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ඔහුගේ ට්‍රේලරය ගෙන ගිය බව ඔහුගේ භාර්යාව ඔහුට කීවා ය. එම සහෝදරයෝ මේ වන විට තමන් හිස් කර තිබූ ට්‍රේලරය, සිදු වූ වැරැද්ද පැහැදිලි කරමින් ආපසු භාර දුන්හ. ඒ සමඟ කදිම සාකච්ඡාවක් ඇති වූ අතර කලින් විරුද්ධවාදීන් ව සිටි මොවුන්ට අප ගැනත් අපගේ වැඩ ගැනත් අසන්නට බොහෝ ප්‍රශ්න තිබුණි. මෙහි දී නව රාජ්‍යය ශාලා බලන්නට ඔවුහු ආශාවෙන් පැමිණ සිටියහ.
මෙම ප්‍රදේශයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා විඳදරා ගැනීම තිබිය යුතු ය. මූලික ව ම, ගමන් කළ යුතු මහත් දුර ප්‍රමාණයක් ඇත. එක් පුරෝගාමි සහෝදරියක් හා ඇගේ ස්වාමිපුරුෂයා හෙඩ්ලන්ඩ් තොට සිට මාර්බල්බාර් දක්වා වූ කොටසේ ඇති නැවත බැලීම් හා බයිබල් පාඩම් පැවැත්වීම පිණිස ගල් අතුරා නැති, දූවිලි සහිත මාවත් දිගේ සැතපුම් 220ක වටයක් විධිමත් ව ගමන් කරති. මාර්බල්බාර් නම් නගරය ඕස්ට්‍රේලියාවේ ඇති වඩාත් ම උෂ්ණාධික ස්ථානයන්ගෙන් එකක් වන අතර එහි උෂ්ණත්වය ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලය තුළ ෆැරන්හයිට් අංශක 120ට වඩා වැඩි වේ.
ඕස්ට්‍රේලියාවේ “ඉහළ කොටසට”
තවත් උතුරට සැතපුම් 1,550ක් ගිය තැන පිහිටි ඩාවින්, චාරිකා එක්රැස්වීමක් පැවැත්වෙන ඊළඟ නගරයයි. දිස්ත්‍රික්ක අවේක්ෂක හා ඔහුගේ භාර්යාව මෙතැනට රිය පැදවීම සඳහා වැය වන දීර්ඝ කාලය පුද්ගලික පාඩම කරගෙන යාමට උපයෝගි කර ගනිති. මුලින් ම ඔවුහු දින පදය කියවා එය සලකා බලති. පසු ව ඔවුහු ටේප් පට අනුසාරයෙන් බයිබල් කියවීමට සවන් දෙති. ඔවුහු රිය පැදවීමේ දී මාරුවෙන් මාරුවට එය කරන විට මුරටැඹ හා පිබිදෙව්! ලිපි කියවීමේ දී ද තමන්ගේ වාරය ගනිති.
මාර්ග සංඥාවක් “මාර්ග දුම්රිය” ගැන ප්‍රවේසම් වන හැටියට ඔවුනට අනතුරු අඟවයි. මාර්ග දුම්රිය කියන්නේ සෑම රෝදයක ම එලවුම් බලය ඇති බලගතු ට්‍රක් රථයකට ආඳන ලද ට්‍රේලර් තුනකින් හෝ හතරකින් සමන්විත දිගින් අඩි 180කට වඩා වැඩි වන්නා වූ ප්‍රවාහන රථයකි. එබැවින් එවන් රථයක් පසු කර යන විට මාර්ගයේ විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඒවා පාවිච්චි කරනු ලබන්නේ දුරස්තර පිහිටා ඇති නගරවලට ගවයින් හා වෙනත් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ය.
මෙහි දේශගුණය නිතර ම උණුසුම් ව තිබෙන අතර නගරය අවට ප්‍රදේශය නිතර වියළි ය. ශුෂ්ක භූ දර්ශනය පුරා ම සමානාන්තර ව පිහිටි තුඹස්වලින් වැසී ඇති බැවින්, එය විශාල සොහොනක් යයි වරදවා කල්පනා කරන්නට පුළුවන. එය තැනීම සඳහා කුහුඹුවා පාවිච්චි කළ පස්වල පැහැය අනුව මෙම තුඹස්වල වර්ණය වෙනස් වන අතර එය අඩි තුනේ සිට අට දක්වා උස් ඒවා වන්නට පුළුවන. අනතුරුව, අපගේ සංචාරකයින් වික්ටෝරියා ගංගාව පසු කරත් ම, නිවසේ තනන ලද සංඥා බොහොමයක් ඔවුන්ගේ අවධානයට ලක් වේ. “අන්තරාවයි: පිහිනීමට අවසර නැත. මනුෂ්‍යයින් ව කන කිඹුලන් මෙම ගංගාවල සිටිනවා” යයි එකක් පවසයි. ඥානවන්ත ලෙස, ඔවුන් තීරණය කරන්නේ දිය නා සිසිල් විය හැකි වෙනත් තැන් සෙවීමටයි!
අවසානයේ, ඔවුහු සාමාන්‍යයෙන් “උස් අන්තය” ලෙස පොදුවේ හඳුන්වනු ලබන, ඕස්ට්‍රේලියාවේ උතුරු කොණට ළඟා වෙති. උතුරු ප්‍රදේශයේ අග නගරය වන ඩාවින් හි යෙහෝවඃ වහන්සේගේ විශාල සභාවන් දෙකක් ඇත. ඩාවින් හි පවතින මිශ්‍ර සංස්කෘතියේ ස්වභාවය චාරිකා එක්රැස්වීමකට යන විට පහසුවෙන් ම දැකගත හැකි ය. ඉන්දුනීසියාවේ යුද්ධ තත්ත්වයක් පවතින නැගෙනහිර ටිමෝර් හි කලින් වාසය කළ 30 හැවිරිදි චාර්ල්ස් ව හමුවන්න. ඔහුගේ චීන මව්පියන් මුතුන්මිත්තන් ව නමස්කාර කිරීමේ පුරුද්ද ඔහුට ඉගැන්වූහ. හෙතෙම ජූඩෝ හා කරාටේ වැනි සටන් කිරීමේ ක්‍රීඩාවන්හි ද බොහෝ සේ නියැලී සිටියේ ය. භූතාත්ම සමඟ තිබූ දැඩි බැඳියාව නිසා ඉන් ඉවත්වීම එතරම් පහසු වූයේ නැත. කෙසේ වෙතත්, ‘සැබෑව නුඹලා නිදහස් කරන’ බවට වූ යේසුස් වහන්සේගේ පොරොන්දුව මනසේ තබා ගනිමින්, ඔහු මෙම ජීවිත මාර්ගයෙන් ඉවත් විය. (යොහන් 8:32) “දැන් මට යෙහෝවඃ වහන්සේ ඉදිරියේ පවිත්‍ර හෘදය සාක්ෂියක් ඇති අතර දැන් මම උපස්ථායක සේවකයෙක් හැටියට සේවය කරනවා. මගේ ඉලක්කය වන්නේ උපස්ථායක සේවක පුහුණු පාසලට ඇතුළත් වීම” යයි ඔහු පවසයි.
ඊළඟට, පැපුවා නිව් ගිනියාවෙන් පැමිණි බෙවර්ලි ව හමුවන්න. “මුල දී සුදු ජාතිකයින්ට සාක්ෂි දැරීම පිළිබඳ ව මා තුළ තිබුණේ මද විශ්වාසයක්. ඊට හේතුව ඉංග්‍රීසි බස මගේ දෙවන භාෂාව වීමත්, ඕස්ට්‍රේලියානු උච්චාරණ විධිය සමඟ ඇතැම් ප්‍රකාශයන්, මට තේරුම් ගැනීම අපහසු කරවීමත් ය” යයි ඇය නොසඟවා කියන්නී ය. “එහෙත් යෙහෝවඃ වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් උන් වහන්සේ යහපත් බව රස බලා දැනගන්නැයි බයිබලය පවසන බව සිතේ තබා ගනිමින්, මම 1991 ජනවාරි මාසයේ පූර්ණ කාලීන පුරෝගාමි සේවය පටන් ගත්තා. මගේ පළමු බයිබල් ශිෂ්‍යයා දැන් පුරෝගාමියෙක් ලෙස සේවය කරනවා. ඇගේ දියණියන් දෙදෙනෙක් ද සත්‍යය පිළිගෙන ඇති අතර ඔවුන්ගෙන් කෙනෙක් ඇගේ ස්වාමිපුරුෂයා සමඟ පුරෝගාමි සේවය කරමින් සිටිනවා.”
ඩාවින් වෙතින් ඉවත් වන්නට පෙර, ඊට සැතපුම් 155ක් දුරින් පිහිටා ඇති බහු වාර්ගික කුරුල්ලන් සඳහා සුප්‍රකට කකාඩු ජාතික උද්‍යානයට අපි කෙටි ගමනක් යමු. මෙහි දී අපට මේ හුදකලා ප්‍රදේශයට ම සිටින එක ම ශුභාරංචිය දේශනා කරන්නිය ව හමු වෙනවා. මෙතරම් තනි වී සිටින විට පවා ආත්මික වශයෙන් ශක්තිමත් ව සිටින්නට ඇයට පුළුවන් වී ඇති ආකාරය අප ඇගෙන් විමසනවා. ඇය පිළිතුරු දෙන්නේ මෙසේ ය: “මුලින් ම, යාච්ඤාවෙන්. . . . මීට අමතර ව ‘මම නුඹ සමග සිටිමි; තැති නොගනින්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් නුඹ උසුලන්නෙමි’ යයි පවසන යෙසායා 41:10 වැනි ශුද්ධ ලියවිලි පදවලින් මම සහනයක් ලබනවා.”
ඩාවින් පෙදෙසට සැතපුම් 280ක් පමණ දකුණෙන් ජිල්ක්මිංගන් හි, අපට ඕස්ට්‍රේලියානු මුල් වැසියන් වන ජන කොටසට අයත් කුඩා කණ්ඩායමක් හමු වෙනවා. වසර ගණනාවකට මෙම ඕස්ට්‍රේලියානු මුල් වැසියන් සමූහය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සමූහයක් හැටියට සලකනු ලැබී ය. එසේ කිරීමට හේතු වූයේ ඔවුන්ගෙන් කිසිවෙක් හෝ බව්තීස්මය ලබා නොසිටියත් ඔවුන් විශාල පිරිසක් විධිමත් ව සමුළු හා එක්රැස්වීම්වලට සහභාගි වීම ය. එම සමූහය තමන් පවත්වා ගත් පවිත්‍රතාව වෙනුවෙන් නම්දරා සිටියහ. සතුටු විය හැකි ලෙසින්, ඔවුනගෙන් සමහරෙක් දැන් සත්‍යයට පක්ෂ ව ස්ථිර පියවර ගෙන බව්තීස්මය ලබා ඇත. ඔවුන් වනාහි ග්‍රාමීය ව ජීවත් වන ඕස්ට්‍රේලියානු මුල් වැසියන් අතරින් එවන් පියවරක් ගෙන ඇති පළමු පිරිස ය. තමන්ගේ ගෝත්‍රිකයින්ට අයත් ශතවර්ෂ ගණනාවක් පැරණි චාරිත්‍ර හා භූතාත්මීය පුරුදුවලින් නිදහස් වීමට නම්, මෙම යටහත් පහත් ජන පිරිසට සැබෑ නිර්භීතකමක් හා යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මය කෙරෙහි රඳා සිටීමක් තිබිය යුතු ය.
ඇලිස් ස්ප්‍රිංග්ස් වෙතට හා අවුට්බැක් ප්‍රදේශයෙන් ඉවත්වීම
දැන් අවස්ථාව පැමිණ ඇත්තේ “ඉහළ අන්තයෙන්” ඉවත් වී, සැතපුම් 1000ක් පමණ දකුණේ පිහිටි ඇලිස් ස්ප්‍රිංග්ස් වෙත යාමට ය. එය එම මහාද්වීපයේ සුප්‍රකට අයර්ස් රොක් හෙවත් පර්වතය අසල “රතු මධ්‍යයේ” පිහිටා තිබේ. මෙම ප්‍රදේශයේ ඇති සභාවන් දෙකෙන් පැමිණෙන 130 දෙනාට හෝ ඊට වැඩි පිරිසකට එක්රැස්වීමක් සඳහා ආසන පහසුකම් සැපයීමට මෙහි ඇති වායු සමීකරණය කරන ලද රාජ්‍යය ශාලාවට හැකියාවක් ඇත. තව ද, මෙහි පවත්වන ක්‍රිස්තියානි ඇසුර තුළ පොලිනීසියානුවන්, යුරෝපීයයන් හා ඕස්ට්‍රේලියානු මුල් වැසියන් එකට මිශ්‍ර වීමේ ප්‍රීති ජනක දර්ශනය අපට මෙහි දී නැවතත් දක්නට පුළුවන.
අවසාන වශයෙන් අපි ඇලිස් ස්ප්රිංග්ස්වලින් ඉවත් වී, අපගේ සංචාරක දිස්ත්‍රික්ක අවේක්ෂක හා ඔහුගේ භාර්යාව සමඟ අපි ගමනේ අන්තිම කොටස පටන් ගතිමු. මෙවර අපි එම මහාද්වීපය හරහා සැතපුම් 1,250ක් පමණ ගමන් කරන්නේ උතුරු හා නැගෙනහිර දෙසටයි. මේ ගමන අවසානයේ දී අපි ක්වින්ස්ලන්තයේ නිවර්තන වර්ෂා වනාන්තර කරා පිවිසෙන බැවින්, අපි එම ගමන පටන් ගනිත් ම අවුට්බැක් ප්‍රදේශවලින් සමුගන්නෙමු. මෙහි, උතුරු ක්වීන්ස්ලන්ත වෙරළේ—එනම් මහත් බාධක පරය පවතින ස්ථානයේ—පොදු ජනයා සමඟ සැසඳීමේ දී සාක්ෂිකරුවන්ගේ ඉහළ අනුපාතයක් පවතින සභාවන් බොහොමයක් ඇත.
කෙසේ වෙතත්, අපි තවත් චාරිකාවක එක්රැස්වීමකට සහභාගි වනතෙක් අපගේ සංචාරය අවසන් කරන්නට යන්නේ නැහැ. කෙයාර්න්ස්—ක්වින්ස්ලන්තයේ බාධක පරය පවතින ස්ථානයේ නිවර්තන නගරය—වෙතින් ගුවන් ගමන් ඇරඹූ අපි ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමි භාගයෙන් ඉවත් ව කේප්යෝක් අර්ධද්වීපයේ උතුරු අන්තයට ඉහළින්, ටෝරස් සමුද්‍ර සන්ධිය හරහා යමින්, තර්ස්ඩේ දූපත වෙතට පැමිණෙමු. ප්රචාරකයින් 23 දෙනෙක් සිටින කුඩා සභාවක් මෙහි තිබෙනවා. මෙම ගමනේ දී අප සහභාගි වූ අන්තිම සමුළුවට 63 දෙනෙක්ගේ පැමිණ සිටීම දැකීමට ලැබීම කොතරම් සතුටක් ද!
විවිධ වෙනස්කම්වලින් යුත් මෙම දේශයේ කරනු ලබන රාජ්‍යය දේශනා සේවය කෙරෙහි හෙළුවා වූ කෙටි බැල්මෙන් ඔබ සතුටු වූවා යයි අපි බලාපොරොත්තු වෙමු. ඇතැම් විට යම් දිනක දක්ෂිණ ධෘවයේ පිහිටි කුතුහලය ඇති කරවන මෙම දේශයට පැමිණ සිය අපූර්ව පැවරුම් තුළ සිය සේවය ඇදහිලිවන්ත ආකාරයකට ඉෂ්ට කරන සහෝදර සහෝදරියන් කෙළින් ම හමු වීමට ඔබටත් හැකියාවක් ලැබෙන්නට පුළුවන.
[23වන පිටුවේ සිතියම⁄පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
හෙඩ්ලන්ඩ් තොට
කැන්බරා
ටොම් ප්‍රයිස්
මාබල්බාර්
නව්මන්
ඩාවින්
කැතරින්
ඇලිස් ස්ප්‍රිංග්ස්
අයර්ස් රොක්
තර්ස්ඩේ දූපත
කෙයාර්න්ස්
ඇඩිලේඩ්
මෙල්බෝර්න්
හොබාර්ට්
සිඩ්නි
බ්‍රිස්බේන්
පර්ත්
[24වන පිටුවේ පින්තූරය]
බටහිර ඕස්ට්‍රේලියාවේ අග නගරය වන පර්ත්
[25වන පිටුවේ පින්තූරය]
වීදිවල සාක්ෂි දැරීමේ සේවය හොඳ ප්‍රතිඵල ලබා දෙයි