සොරකම වැඩිවෙමින් පවතින්නේ මන්ද?
රියෝ ඩි ජැනීරෝ—1992 ඔක්තෝබර් 18වන ඉරු දින. සුප්‍රසිද්ධ කොපකබානා හා ඉපනෙමා නම් වෙරළවල් ජනයාගෙන් පිරී ඇත. හදිසියේ ම, තමන් අතර සටන් කර ගනිමින් එම වෙරළවල් ආක්‍රමණය කොට යෞවන කණ්ඩායම් කිහිපයක්, වෙරළ මත සිටින ජනයා සතු ඕනෑ ම වටිනා දෙයක් සොරකම් කිරීමෙහි නියැලෙති. ඒ අවස්ථාවේ එහි සිටින කුඩා පොලිස් බට පිරිස උපකාරයක් කළ නොහැකි අසරණ තත්ත්වයකින් ඒ දෙස බලා සිටිති. රියෝ ඩි ජැනීරෝ වැසියන්ටත් එහි සිටින සංචාරකයින්ටත් එය දිවා කාලයේ දකින බිහිසුණු සිහිනයක් වැනි ය.
සැබවින් ම, දේපොළ හා සම්බන්ධ අපරාධ පොදු දෙයක් බවට පත් ව ඇත. විශාල නගරවල, සොරුන් යෞවනයින් ව පැහැරගෙන ගොස් ඇත්තේ—තව ද ඇතැම් අවස්ථාවල ඔවුන් ව මරා දැමීම පවා කර ඇත්තේ, ඔවුන්ගේ වටිනා ක්‍රීඩා සපත්තු සොරා ගැනීමට ය. ගෙවැසියන් නිවසේ සිටියත් නැතත්, සොරු නිවාස තුළට කඩා වැදෙති. වංක ගෘහ සේවිකාවෝ, නිවසේ බඩු තිබෙන තැන් හොඳින් දැනගැනීමෙන් පසු, ස්වර්ණාභරණ හා මුදල් සොරකම් කර අතුරුදහන් වෙති. සමූහයෝ වෙළෙඳ සල්වලින් බඩු පැහැර ගනිත්. බ්‍රසීලයේ වැඩි වන්නා වූ පුද්ගලයින් පැහැරගෙන යාම්වලින් දිස්වන ආකාරයට, මනාව සංවිධානය වූ කණ්ඩායම් මිනිසුන් ව පවා සොරකම් කරති. තව ද ඔබ ලබා ඇති අත්දැකීම් අනුව හා ඔබ ජීවත් වන සමාජයේ සිදු වී ඇති දේවලින් ඔබට වෙනත් උදාහරණ ඉදිරිපත් කරන්නට හැකියාවක් තිබෙන්නට පුළුවන. එහෙත් මෙතරම් සොරකම් සිදුවන්නේ මන්ද?
ජනයා සොරකම් කරන්නේ මන්ද?
වැඩිවන්නා වූ දිළිඳුකම හා මත් ද්‍රව්‍ය භාවිතය ප්‍රධාන හේතු දෙකක් වුව ද, පිළිතුර එතරම් පැහැදිලි එකක් නොවේ. “අපරාධ සඳහා තනි හේතුකාරකයක් සෙවීම නිෂ්ඵල දෙයක් හැටියට බොහෝ දුරට අත්හැර දමා ඇත” කියා ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා නිරීක්ෂණය කරයි. කෙසේ වෙතත්, එම කෘතිය ම යෝජනා කරමින් කියා සිටින්නේ සොරකම් කිරීම වැනි ගැටලු සාමාන්‍ය ජීවිතයකින් ලබන ද්‍රව්‍යමය සමත්වීම් හා විපාක නොලැබීම හේතුවෙන් යෞවනයින් තුළ හටගන්නා වූ නොවටිනා බවේ හා අමනාපයේ හැඟීම්වලට “කෙළින් ම සම්බන්ධ වී තිබෙන” බව ය. එසේ ය, භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගිකයා මත එල්ල කරන බලවත් පීඩනය නිසා, සොරකම් කිරීමෙන් මිසක තමුන් ආශා කරන දේ ගැනීමට බොහෝ දෙනෙකුට වෙනත් මඟක් නොපෙනේ.
කෙසේ වෙතත්, ද වර්ල්ඩ් බුක් එන්සයික්ලෝපීඩියා මෙසේ ද පැවසීම සිත්ගන්නා යමකි: “සිය ජීවන මාර්ගය දිගට ම නොවෙනස් ව පවතිනු ඇතැයි විශ්වාස කරන්නා වූ සම්ප්‍රදායික සමාජයන්හි අපරාධ අනුපාතය සාපේක්ෂිත වශයෙන් නොවෙනස් ව පවතී. ජනයා ජීවත් වන ස්ථානය හා මුදල් ඉපැයීම පිණිස තමන් කරන දෑ සම්බන්ධයෙන්—එමෙන් ම තමන්ගේ අනාගත සමෘද්ධිය සඳහා ඔවුනට තිබෙන බලාපොරොත්තුව සම්බන්ධයෙන්—වේගවත් වෙනස්වීම් සිදුවන සමාජයන්හි අපරාධ අනුපාතය වැඩි වීමට නැඹුරු වේ. මෙම විශ්වකෝෂය තවදුරටත් මෙසේ ද පවසයි: “යෞවනයින්ට ඇති රැකියා ප්‍රස්තාවන් වඩා අඩු ය. සොරකම් කිරීමෙන් ලැබෙන වේගවත් හා පොලඹවන සුලු ඉපැයීම් හා සසඳන කල, ලබා ගත හැකි නුපුහුණු රැකියාවන් චිත්තාකර්ෂණීය නොවන ඒවා ලෙස පෙනේ. අත්අඩංගුවට පත්වීමේ අවදානමට මුහුණ දීමට යෞවනයින් කැමති වන්නේ ඔවුන් ප්‍රසිද්ධියට පත් වූවන් නොවන හෙයින් ඔවුනට කීර්තිය අතින් වැඩි යමක් අහිමි නොවන බැවින් ය.”
කෙසේ වෙතත්, රැකියා විරහිත නැතහොත් අඩු වැටුප් ගෙවන රැකියාවල නිරත වන බොහෝ දෙනෙක් සොරකම් නොකරන අතර ලිපිකරු ක්ෂේත්රයේ හා කම්කරු ක්ෂේත්රයේ සේවකයින් විශාල සංඛ්‍යාවක් එය තමන්ගේ වැටුපේ කොටසක් ලෙසින් සුළු සොරකම්වල නිරත වෙමින් සිටිති. ඇත්ත වශයෙන් ම, ඇතැම් වංචාකාරී පුරුදු සඳහා, යම් සමාජ තත්ත්වයක් ද අවශ්‍ය වේ. දේශපාලනඥයින්, රජයේ සේවකයින් හා ව්‍යාපාරිකයින් සම්බන්ධ වූ විශාල මුදල් සොරකම් ගැන ඔබ අසා නැද්ද? සොරකම් කිරීම දිළිඳු අයට පමණක් සීමා වී නොමැති බවට කිසිදු සැකයක් නැත.
සොරකම් කිරීම සම්මත පිළිගැන්මකට ලක් කරමින්, බොහෝ විට චිත්‍රපට හා රූපවාහිනි වැඩසටහන් සොරකම් කිරීම විහිලුවක් බවට පත් කරන බව ද සිහියේ තබා ගන්න (වීරයා ඇතැම් විට සොරෙක් වන්නට ද පුළුවන). මෙවන් දෑ නැරඹීම විනෝදාස්වාදයක් ලෙස නම් කළ හැකි වුවද, ඒ සමඟ ම, සොරකම් කරන ආකාරය ද ප්‍රේක්ෂකයින්ට පෙන්වනු ලැබේ. සොරකම් කිරීම වාසිදායක ය යන අදහස සමහර විට සූක්ෂ්ම අයුරින් ඉදිරිපත් කරනු ලබනවා නොවේ ද? ගිජුකම, අලසකම හා දඬුවම් නොලැබ බේරී අන් සියල්ලන් ම මෙය කරන බවට වූ සිතුවිල්ල යනාදිය, නිසැක ව ම, සොරකම වැඩි වීමට දායක වේ. මනුෂ්‍යයෝ තමුන්ට ම ප්‍රේම කිරීම හා මුදලට ප්‍රේම කිරීම පවතින, පුරෝකථනය කරන ලද ‘අන්තරා සහිත කාලවල’ අප ජීවත් ව සිටින බවට කිසිදු සැකයක් නැත.—2 තිමෝති 3:1-5.
සොරකම් නොකරව
ලෝකයාට විකෘති වූ සාරධර්මයන් තිබුණ ද, “සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා” යන ආඥාවට කීකරු වීම අතිවැදගත් ය. (එපීස 4:28) පුද්ගලයෙක් පමණට වැඩියෙන් දේපොළ හා ආස්වාදයන් තක්සේරු කරයි නම් සොරකම් කරන විට මුහුණ දීමට සිදුවන අවදානම වටින්නේ යයි විශ්වාස කිරීමට තරම් මුළා විය හැකි ය. එහෙත් සොරකම් කිරීම දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ බරපතළ දෙයක් වන අතර එය තමාගේ අසල් වැසියා කෙරෙහි ප්‍රේමය නොමැතිකමක් විදහා පෙන්වයි. මීට අමතර ව, සුළු සොරකම් පවා කෙනෙකුගේ හෘදය දැඩි කරවන්නට හේතු විය හැකි ය. එමෙන් ම වංක කෙනෙකු හැටියට සලකනු ලැබීම ගැන කුමක් කිව හැකි ද? සොරෙකු විශ්වාස කරන්නට යන්නේ කවුද? ඥානවන්ත ලෙස, දේව වචනය මෙසේ පවසයි: “නුඹලාගෙන් කිසිවෙක් මිනීමරන්නෙක්වත් සොරෙක්වත් නපුර කරන්නෙක්වත් . . . මෙන් දුක් නොවිඳීවා.”—1 පේතෘස් 4:15.
ඔබ නිසැක ව ම සොරකම් වැඩිවීම ගැන ශෝක වනමුත්, අපරාධ පවතින ප්‍රදේශවල වෙසෙන අය ඒ සමඟ කටයුතු කරන්නේ කෙසේ ද? කලින් සොරුන් ව සිටි සමහර අය තමන්ගේ ජීවන රටාව වෙනස් කරගෙන ඇත්තේ කෙසේ ද? ලෝක ව්‍යාප්ත ව කවදා හෝ සොරකම් කිරීම අවසන් වේ ද? “සොරුන් නැති ලොවක්” යන මීළඟ ලිපිය කියවන්නට අපි ඔබට ආරාධනා කරන්නෙමු.