අයිස් හා ගින්න ඇති දේශයේ විඳදරා ගැනීමෙන් යුක්ත ව දේශනා කිරීම
අයිස්ලන්තය පිහිටා ඇත්තේ උතුරු අත්ලාන්තික් සාගරයේ උතුරු අමෙරිකාවත් යුරෝපයත් අතර සීමාවේ හරි මැද පමණ ය. එය ආක්ටික් වෘත්තයට හරියට ම යටින් පිහිටා තිබුණ ද, ජල ගුල්ම ප්රවාහයට ස්තුති වන්නට, එහි දේශ ගුණය බලාපොරොත්තු විය හැකි පමණට වඩා සෞම්‍ය ව පවතී. යුරෝපයේ ඇති විශාලතම ග්ලැසියරය අයිස්ලන්තයේ පිහිටා ඇති නිසාත්, එය ලෝකයේ වඩාත් ම ක්‍රියාකාරී යමහල් හෙවත් ගිනි කඳුවලින් සමන්විත ප්‍රදේශයන්ගෙන් එකක් ව පවතින නිසාත් එය අයිස් හා ගින්න පවතින දේශය යනුවෙන් ද හඳුන්වා ඇත. උණුසුම් වාෂ්ප හා ගෙන්දගම් අඩංගු වායු වර්ග නිකුත් කරන, එහි ඇති බොහෝ උණුදිය උල්පත් හා සොල්පටරාවන් ප්‍රසිද්ධ ව පවතී.
යුරෝපයේ ඇති දෙවන විශාලතම දූපත වන මෙහි වෙසෙන 2,60,000 දෙනා, දැනට වසර 1,100කට වැඩි කාලයකට පෙර මෙහි පදිංචි වූ, වයිකිංවරුන්ගෙන් පැවතෙන්නන් ය. අයිස්ලන්ත භාෂාව වයිකිං යුගයේ ස්කැන්ඩිනේවියානු භාෂාව වූ, පැරණි නෝර්ස් භාෂාවට බොහෝ දුරට සමාන ය. එම භාෂාව බොහෝ දුරට නොවෙනස් ව පැවත ඇත්තේ, අයිස්ලන්ත වැසියන් වැඩි වශයෙන් 13වන ශතවර්ෂයේ ලියන ලද, තමන්ගේ පැරණි කථාවන් කියවන්නට මහත් කැමැත්තක් දැක්වූ නිසා ය.
දහසයවන ශතවර්ෂය වන විට, බයිබලය අයිස්ලන්ත භාෂාවට පරිවර්තනය කිරීමට පටන් ගනු ලැබී ය. “අලුත් ගිවිසුම” 1540 දීත්, මුළු බයිබලය ම 1584 වන විටත් ලබා ගත හැකි ව තිබුණි. ජනයාගෙන් සියයට 90කට වැඩි සංඛ්‍යාවක් අයත් වන්නේ, රාජ්‍ය ආගම වන, එවැන්ජලිස්ත ලුතරන් පල්ලියට ය. සෑම නිවසක ම වාගේ බයිබලය දක්නට ලැබුණත්, එය දේව වචනය බව විශ්වාස කරන්නේ ස්වල්ප දෙනෙක් පමණකි. අයිස්ලන්ත ජාතිකයින් වැඩි දෙනෙක් ආගම සම්බන්ධයෙන් නිදහස් මත දරන අතර, පොදුවේ, නිදහස් චින්තකයින් වෙති.
ශුභාරංචිය අයිස්ලන්තය කරා ළඟා වේ
රාජ්‍යයේ ශුභාරංචිය මුලින් ම ඇසූ අයිස්ලන්ත ජාතිකයින් එවකට ජීවත් ව සිටියේ කැනඩාවේ ය. ගෙයෝග් ෆියල්නර් ලින්ඩාල් මොවුන්ගෙන් කෙනෙක් විය. ඔහුගේ මව්පියන් අයිස්ලන්තයෙන් පැමිණි අතර ඔහු කථා කළේ අයිස්ලන්ත භාෂාව ය. තමාගේ ජීවිතය යෙහෝවඃ දෙවියන් වහන්සේට කැප කිරීමෙන් මද කලකට පසු, ඔහු ශුභාරංචියේ පූර්ණ කාලීන දේශකයෙක් බවට පත් විය. වර්ෂ 1929යේ, ඔහුට අවුරුදු 40ක් ව තිබිය දී, ඔහු ශුභාරංචිය අයිස් හා ගින්න ඇති එම දේශයෙහි ජනයා වෙත ගෙන ගියේ ය.
එක් අයෙකුට කොතරම් භාරදූර කාර්යයක් ද! අයිස්ලන්තය වනාහි උතුරේ සිට දකුණට සැතපුම් 200ක් පමණ ද, නැගෙනහිරේ සිට බටහිරට සැතපුම් 300ක් පමණ ද වූ රටකි. පියෝඩ හා කඩතොලු ඇතුළු ව, මුහුදු ඉම සැතපුම් 4,000ක් පමණ දිග ය. ඒ කාලයේ ගමන් බිමන් යාමට, සැබෑ මාර්ග මෙන් ම වාහන හෝ වෙනත් නවීන ප්‍රවාහන ක්‍රම නොතිබුණු තරම් ය. එහෙත්, සහෝදර ලින්ඩාල් වසර දහයක් ඇතුළත මුළු දූපත ම පියවා පොත් දහස් සංඛ්‍යාවක් බෙදා හැරියේ ය. ඔහු වෙරළ ආශ්රිත ව බෝට්ටුවෙන් ගමන් කළ අතර, රට අභ්‍යන්තරයේ පිහිටි ගොවිබිම්වලට ඔහු ගිය අවස්ථාවන්හි, ඔහු අශ්වයන් දෙදෙනෙක් පාවිච්චි කළේ ය. මොවුන්ගෙන් එකෙක් ඔහු ව ද, අනිකා ඔහුගේ පොත් පත් හා සන්තක දේවල් ද ගෙන ගියේ ය.
වසර 18කට පමණ අයිස්ලන්තයේ සිටි එක ම සාක්ෂිකරුවා සහෝදර ලින්ඩාල් විය. ඔහු වෙහෙසා වැඩ කළත්, ඒ කාලයේ දී රාජ්‍යය සඳහා කිසිවෙක් ස්ථිර පියවරක් ගන්නා බව ඔහු දුටුවේ නැත. ගිලියඩ් වොච්ටවර් බයිබල් පාසලේ පළමු උපාධිධාරීන් එහි පැමිණි විට, ඔහුගේ දීර්ඝ, හුදකලා විසීම 1947 මාර්තු 25වන දින අවසන් විය. අස්වැන්න සඳහා වැඩිපුර සේවකයින් ඉල්ලා කළ ඔහුගේ යාච්ඤාවට යෙහෝවඃ වහන්සේ අවසානයේ පිළිතුරු දුන් විට ඔහුට දැනුන ප්‍රීතිය ඔබට සිතා ගන්නට පුළුවන. (මතෙව් 9:37, 38) වර්ෂ 1953 දී ඔහු කැනඩාවට හැරී එනතෙක් සහෝදර ලින්ඩාල් දිගට ම අයිස්ලන්තයේ සේවය කළේ ය.
අස්වැන්න සඳහා වැඩිපුර සේවකයන්
වර්ෂ 1947 දී පැමිණි මිෂනාරිවරුන් ඩෙන්මාර්ක් ජාතික සහෝදරයින් දෙදෙනෙකි. ඉන් වසර දෙකකට පසු තවත් මිෂනාරි සහෝදරයෝ පැමිණියහ. අයිස්ලන්තයේ පදිංචියට පැමිණ සිටි මිතුරු මිතුරියන් කීප දෙනෙක් සමඟ ඔවුන් දිගට ම දේශනා සේවය කරගෙන යත් ම, ප්‍රකාශන දහස් ගණනක් බෙදා දෙනු ලැබී ය. අයිස්ලන්ත ජාතිකයින් මහත් ආශාවෙන් කියවන අය වුවත්, වැඩි දෙනෙක් ශුභාරංචියට ප්‍රතිචාරය දැක්වූයේ නැත. වසර 27ක් පුරා හිටවීමෙන් හා වතුර වත් කිරීමෙන් පසු, ඉවසිල්ලෙන් ක්‍රියා කළ සහෝදරයෝ සිය මහන්සියේ ඵල දකින්නට පටන් ගත්හ. වර්ෂ 1956 දී අලුත් අය හත් දෙනෙක් රාජ්‍යය උදෙසා සිය ස්ථාවරය ගත් අතර යෙහෝවඃ වහන්සේට සිය ජීවිත කැප කළහ.
පසුගිය අවුරුදු දහය පුරා රාජ්‍යය ප්රචාරකයින් ප්‍රමාණය දෙගුණයකට වඩා වැඩි වී ඇත. දැන් එහි සභාවන් හතක් හා එක් හුදෙකලා කණ්ඩායමක් ඇති අතර, මුළුමනින් ම ශුභාරංචියේ ප්‍රචාරකයන් 280ක් සිටිති. මෙම සභාවන් බැහැ දැකීමට අපි දූපත වටා සංචාරයක යෙදෙමු.
අගනුවර වටා
එම වසර ගණනාව පුරා විඳදරා කටයුතු කළ සහෝදර සහෝදරියන්ට මහත් ආශීර්වාද ලැබී ඇත. එහි අගනුවර වන, රෙයික්යාවික් හි දැන් සමෘද්ධිමත් වූ සභාවන් දෙකක් ඇත. ඔවුහු, වර්ෂ 1975 දී කැප කරන ලද, ශාඛා කාර්යාලය ඇති ගොඩනැගිල්ලේ ම පිහිටා ඇති කදිම රාජ්‍යය ශාලාවක එක්රැස් වෙති.
ෆ්රෙත්රික් හා ඒඩා ද වර්ෂ 1956 දී බව්තීස්මය ලද අය අතර වූහ. “මිෂනාරිවරුන් පදිංචි ව සිටි අට්ටාලයේ කුඩා කාමරයක අපි රැස්වීම් පැවැත් වූ ආකාරය මට මතකයි” කියා ෆ්රෙත්රික් පවසයි. “එහි ඉඩ තිබුනේ පුටු 12කට පමණයි, එහෙත් සාමාන්‍ය සංඛ්‍යාවට වඩා වැඩි දෙනෙක් පැමිණි විට, අපි යාබඳ කුඩා කාමරයට යන දොරත් විවෘත කළා. අද දින සභාවන් දෙකක් රාජ්‍යය ශාලාව පුරවාලන කල, එය කොතරම් වෙනසක් ද!
පළමුවන එක්රැස්වීම පවත්වන ලද විට, ආහාර සේවා අංශය භාර ව කටයුතු කළේ ෆ්රෙත්රික්. “වැඩවලින් වැඩි කොටසක් මම කළේ තනිවයි. ඒත් සමඟ ම සෑම දවසක ම වැඩසටහනේ කොටස් තුනක් හෝ හතරක් මට පැවරී තිබීම අසාමාන්‍ය දෙයක් නොවේ. කුස්සියේ වැඩ කරන අතර මම උඩ වැස්මක් දමා ගත්තා. කථාවක් දීමට කාලය පැමිණි විට, මම මගේ කබාය දමාගෙන ශාලාවට ඉක්මනින් යනවා. බොහෝ අවස්ථාවන්හි උඩ වැස්ම ගලවන ලෙස සහෝදරයින් විසින් මට මතක් කරන්නට සිදු වුණා. දැන් එක්රැස්වීම්වලට සහභාගි වන අය 400ක් 500ක් පමණකුත්, වැඩසටහනේ කොටස් හසුරුවන්නා වූ කදිම වැඩිමහල්ලනුත් අපට ඉන්නවා. ආහාර සේවා අංශයේ උපකාරයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බොහෝ දෙනෙකුත් දැන් අපට ඉන්නවා.”
රෙයික්යාවික්ට සමීපතම සභාව පිහිටා තිබෙන්නේ, ඊට සැතපුම් 30ක් පමණ බටහිරෙන් පිහිටි කෙෆ්ලාවික් නගරයේ ය. අප එහි යා යුත්තේ ලාවා පිහිටි බිම් මතින්. අයිස්ලන්තයේ භූමි ප්‍රමාණයෙන් සියයට දහයක් වැසී ඇත්තේ ලාවාවලිනුයි. මෙම බිම් මත මුලින් ලයිකන හා පාසි වර්ග වැවෙන්නට පටන් ගත්තත්, ලාවා පැරණි තත්ත්වයක පවතින බිම් මත ඔබට කැලෑ බදරි හා පහත් ව වැවෙන පඳුරු දැකිය හැක.
කෙෆ්ලාවික්වල ඇති සභාවේ ප්රචාරකයින් 19 දෙනෙක් සිටින අතර එය පිහිටුවනු ලැබුවේ 1965 දී ය. ඒ අසලින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇති අතර එක්සත් ජනපදයේ හමුදා කඳවුරක් ද මෙහි පිහිටා තිබෙනවා. සාක්ෂිකරුවන් හට කඳවුර තුළ ගෙයින් ගෙට සේවය කරන්නට ප්‍රස්තාවක් ලැබී නැතත්, බයිබල් පාඩම් බොහොමයක් එහි පවත්වා ඇති අතර පුද්ගලයින් සෑහෙන සංඛ්‍යාවක් සත්‍යය ඉගෙන ගෙන ඇත්තාහ.
රෙයික්යාවික්ට සැතපුම් 35ක් නැගෙනහිරෙන් සෙල්ෆොස් නගරයේ තවත් සභාවක් තිබෙනවා. අයිස්ලන්තයේ විශාලතම කිරි පොළ ද ඇතුළු ව, ගවයන් හා බැටළුවන් සිටින කොළ පැහැති වගා බිම් අපට මෙහි බලා ගත හැක. මෙයට යන අතර දර්ශනීය මිටියාවතක ඇති කුඩා නගරයක් වන ක්වෙරාගෙර්තේ අපට පසුකර යාමට සිදු වෙනවා. දුර සිට නරඹන කල, මිටියාවත පුරා උණුදිය උල්පත්වලින් නගින වාෂ්ප කඳන් අපට බලා ගන්නට පුළුවන. මෙය රටේ ඇති වඩාත් ම පැතිර පවත්නා තාප ප්‍රදේශයන්ගෙන් එකක් වන අතර මෙම සම්පත් ප්‍රයෝජනයට ගැනීමටත් ගිම්හල් තක්කාලි, පිපිඤ්ඤ හා විවිධ මල් වර්ග සැපයීමටත් හරිතාගාර බොහොමයක් මෙහි ගොඩනගා තිබෙනවා.
මෙම ප්‍රදේශයේ කුඩා එහෙත් ක්‍රියාශීලී රාජ්‍යය ප්රචාරකයින් 19 දෙනෙක් සිටින සභාවක් තිබෙනවා. වර්ෂ 1988 එම සභාව පිහිටුවනු ලැබූ කාලයේ පමණ, මෙම කුඩා කණ්ඩායමට අනුබල දීමට සෙකුර්තූර් හා ගර්ත්රූන් ස්වාවා යන දෙදෙනා රෙයික්යාවික් සිට මෙහි පදිංචියට ආවා. සෙකුර්තූර් මෙහි සිටින එක ම වැඩිමහල්ලා ය. දැනට වසර දහයකට පමණ පෙර ඔහු යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වෙන්නට පෙර, ඔහු විවිධ සංගීත කණ්ඩායම්වල බෙරය (ඩ්‍රම් එක) වාදනය කළා, ප්‍රසිද්ධ සංගීතඥයෙක්. අද දින ඔහු ජීවත් වන්නේ ජනෙල් ශුද්ධ කරන්නෙක් හැටියට වැඩ කිරීමෙනි. මීට අමතර ව ඔහු සංගීතයත් උගන්වනවා. විනෝදාස්වාදය දෙන්නෙකු හැටියට ඔහු ගත කළ ජීවන රටාව මත් ද්‍රව්‍ය ඇබ්බැහිය, බේබදුකම හා බිඳුණු විවාහයක් වැනි බොහෝ ගැටලු ඔහු පිට ගෙනාවා. ජීවිතයට අරමුණයක් ඇති ව යෙහෝවඃ වහන්සේට සේවය කිරීමෙන් ඔහු දැන් කොතරම් තෘප්තිමත් ව සිටී ද!
නැගෙනහිර අන්තය වෙත
සෙල්ෆොස් වෙතින් පිටත් වන අප, සැතපුම් 420ක ගමනක යෙදුණා. මෙහිදී අප බොහෝ දුරට ගමන් කළේ පටු හා රළු බොරළු මාර්ගවලයි. මෙසේ අප නැගෙනහිර වෙරළේ තිබෙන රේතාර්ෆියර්තර් නම් නගරයේ තිබෙන ඊළඟ සභාව වෙත පැමිණෙනවා. එතැන් සිට පැය භාගයක් ගමන් කළ අප පැමිණියේ, අයර්ලන්තයේ වඩාත් ම ප්‍රසිද්ධ යමහල වන, හෙක්ලා පෙනෙන තැනකටයි. මෙම ශතවර්ෂය ඇතුළත එය හතර වතාවක් පිපිරී තිබෙනවා.
වර්ෂ 1973 දී වෙස්ට්මානඒයාර් හි (වෙස්ට්මන් දූපත්වල) විශාල යමහල් පිපිරීමක් සිදු වුණා. එහිදී, එහි වෙසෙන මුළු ජනගහණය වන 5,300ක් පමණ දෙනා පැය කීපයක් ඇතුළත ප්‍රධාන භූමි ප්‍රදේශයට ගෙන යන්නට සිද්ධ වුණා. එම නගරය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, එහි පදිංචි වී සිටි වැඩි දෙනෙක් ක්‍රමයෙන් නැවත පදිංචියට පැමිණියා. සාක්ෂිකරුවන් දෙදෙනෙක් දැන් එහි පදිංචි වී සිටින අතර ඔවුන් එහි වෙසෙන මෙම කුඩා ප්‍රජාවට ශුභාරංචිය දේශනා කරනවා. එතැනින් පැය දෙකක් ගමන් කරන අපට දක්නට ලැබෙන්නේ පැහැදිලි ව ම අයිස්ලන්තයේ විශාලතම ග්ලැසියරය වන යෝධ වාට්නායකූටල් හි සුන්දර දර්ශනයයි. එහි වර්ග ප්‍රමාණය වර්ග සැතපුම් 3,200කි. එහි යන මග දෙපස අපට ලස්සන දියඇලි හා ගංඟාවන් දක්නට ලැබෙනවා.
පැය දහයක් පමණ මාර්ගයේ ගත කළ අප, අපගේ ගමනාන්තයට පැමිණියා. රේතාර්ෆියර්තර් හි අපට අයිස්ලන්තයේ ළාබාල ම සභාවේ සිටින ප්රචාරකයින් 12 දෙනා හමු විය හැකියි. වර්ෂ 1988 අවසාන භාගයේ මෙම ප්‍රදේශයේ මිෂනාරි නිවසක් ගොඩනගන තෙක් එක ම සාක්ෂිකරුවෙක්වත් මෙහි ජීවත් වුණේ නැහැ. වර්ෂ 1963 සිට අයිස්ලන්තයේ ජීවත් වන ස්වීඩන ජාතික මිෂනාරි යුවළක් වන චෙල්ට හා ඊරස්ට මෙම පිටිසර ප්‍රදේශයේ වෙසෙන 15,000ක් පමණ ජනයාට සේවය කිරීමේ කාර්යය පවරනු ලැබුවා. වෙරළ දිගට සැතපුම් 300ක් පමණ විහිදී ඇති කුඩා මාලු අල්ලන ගම්මානවල විශාල පිරිසක් ජීවත් වෙනවා.
චෙල් මෙසේ පවසයි: “යෙහෝවඃ වහන්සේ අයිස්ලන්තයේ මෙම කොටසේ රාජ්‍යය කටයුතුවලට බොහෝ සේ ආශීර්වාද කර තිබෙන බවට කිසි ම සැකයක් නැහැ. වර්ෂ 1993 ජනවාරි 1වන දින සභාවක් පිහිටුවනු ලැබූ අතර හොඳ ප්‍රගතියක් ලබන අය සමඟ අපි හොඳ බයිබල් පාඩම් බොහොමයක් පවත්වනවා. සහෝදර ලින්ඩාල් අසුපිට ගිය කාලයේ පටන් ප්‍රවාහන ක්‍රම වෙනස් වී ඇතත්, අඳුරු ශීත මාසවල ෆෝ-වීල්-ඩ්‍රයිව් ජීප් රථයකින් පවා අයිස් ඇති පාරවල්වලින් ගිරි දුර්ග හරහා රිය පැදවීම සැමවිට ම පහසු නැහැ. වරක් එය අයිස් ඇති පාරකින් සුළං රැල්ලකින් ගසා ගොස් දෙතුන් වතාවක් පෙරළී පහළට ඇදී ගියා. තුවාල නොලබා බේරුණ අපි කොතරම් සතුටු වූවා ද!”
වසර 30ක් අයිස්ලන්තයේ ජීවත් වීමෙන් පසු, ඊරස් මෙසේ පවසන්නී ය: “පසුගිය කාලය පුරා උපකාර කරන්නට බොහෝ දෙනෙක් වෙනත් රටවලින් පැමිණ තිබෙනවා. බොහෝ දෙනෙකුට විවිධ හේතූන් නිසා ආපසු යන්නට සිදු වුව ද, හිටවීමේ හා වතුර වත් කිරීමේ වැඩයේ ඔවුන් මහත් සේ දායක වී තිබෙනවා. දැන් අපට එකතු වන අස්වැන්න දැකබලා ගැනීමේ ප්‍රස්තාව තිබෙන නිසා, අපට රැඳී සිටින්නට හැකි වීම ගැන අප සතුටු වෙනවා. යෙහෝවඃ වහන්සේ මෙහිත් තමන් වහන්සේගේ වැඩකටයුතු වේගවත් කරමින් සිටිනවා.”
වර්ධනයෙන් වැඩි ප්‍රමාණයකට හේතු වී ඇත්තේ අලුත් අය තමන්ගේ සේවා ස්ථානවල සිටින අයට සාක්ෂි දැරීම නිසා ය. ආට්ලි, මිෂනාරිවරුන්ගෙන් සත්‍යය ඉගෙන ගෙන තමා වැඩ කරමින් සිටි ගොඩනැගීමේ සමාගමේ අන් අයට කථා කරන්නට පටන් ගත්තා. ඔහු සමඟ සේවය කරමින් සිටි දෙදෙනෙක් දැන් දේශනා සේවයේ සහභාගි වෙනවා. ඉන් එක්කෙනෙක් 1992 අගෝස්තු මාසයේ තමාගේ භාර්යාවත් සමඟ බව්තීස්මය ලැබුවා. ඔහු සමඟ වැඩ කළ තුන්වන අයෙක් සාක්ෂිකරුවන් සමඟ බයිබලය ඉගෙන ගනිමින් සිටිනවා.
උතුරුකරයට යන මඟ ගනිමින්
රේතාර්ෆියර්තර් වෙතින් පිටත් ව අපි බටහිරට ගමන් කරනවා. ඊළඟ සභාව පිහිටා ඇත්තේ සැතපුම් 190ක් දුරින්, එනම් ආකරාරේ නගරයේ ය. එක් දහස් නවසිය පනස් ගණන්වල මුල් භාගයේ දී විශේෂ පූර්ණ-කාලීන දේශකයින් ව එහි සේවය සඳහා පවරා තිබුණා. මුලාරම්භයේ පටන්, මෙම සේවයට ඇතැම් දේවගැතියන් එල්ල කළේ දැඩි විරුද්ධත්වයක්. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට විරුද්ධ ව ජනයාට අනතුරු අඟවන්නට ප්‍රදේශයේ පුවත් පත්වල ලිපි ප්‍රසිද්ධ කරනු ලැබුවා. නගරයේ ජීවත් වූ බොහෝ දෙනෙක් මායාකාරී ක්‍රියාවන්හි ද සම්බන්ධ වී සිටියා. එහෙත් විවිධ පුරෝගාමින්ගේ හා මිෂනාරිවරුන්ගේ විඳදරා ගැනීමට හා ඉවසීමට ස්තුතිවන්ත වන්නට, අද දින රාජ්‍යය ප්රචාරකයින් 35 දෙනෙක් සිටින ක්‍රියාශීලී හා ප්‍රේමනීය සභාවක් එහි තිබෙනවා.
එහි සිටින වැඩිමහල්ලන්ගෙන් කෙනෙක් වන ෆ්රෙත්රික් කලින් මසුන් අල්ලන්නෙක්. වර්ෂ 1982 දිස්ත්‍රික්ක සමුළුවට සහභාගි වීමෙන් පසු, තමා ඉගෙන ගනිමින් සිටින්නේ සත්‍යය බව ඔහු නිසැක වූවා. ඔහු ආකරාරේට හැරී පැමිණියේ තමාගේ පවුලේ අයට, මිත්‍රයන්ට හා වැඩපොළේ අයට සාක්ෂි දැරීමේ අධිෂ්ඨානය ඇතිවයි. සභාවත් සමඟ තමාට වැඩි කාලයක් වැය කළ හැකි ලෙසින් මසුන් අල්ලන්නෙක් හැටියට වූ තමාගේ රැකියාවෙන් ඉවත්වීමට ෆ්රෙත්රික් සැලසුම් කළා. තමා සාක්ෂිකරුවෙක් වෙන්නට යන නිසා, ඔවුන් විවාහ වනතෙක්, තමන්ට එකට ජීවත් වන්නට බැරි බව ඔහු තමාගේ පෙම්වතිය වන හෙල්ගාට පැවසුවා. තමා ‘නොඇදහිලිකාරයෙක්’ විවාහ කර නොගන්නා නිසා, බයිබලය ඉගෙන ගන්නා ලෙසත් ෆ්රෙත්රික් ඇයගෙන් ඉල්ලා සිටියා. (1 කොරින්ති 7:39) ඔහු ව පුදුමයට පත් කරවමින් හෙල්ගා ඉගෙන ගන්නට පටන් ගත්තා. ඔවුන් 1983 අප්‍රේල් මාසයේ විවාහ වූ අතර ඉන් මද කලකට පසු බව්තීස්ම කරනු ලැබුවා. කලකට පසු ෆ්රෙත්රික්ගේ මවත් සහෝදරියත් සත්‍යය පිළිගත්තා.
ආකරාරේ සිට, කඳු වැටි තුනක් මතින් හා ලස්සන නිම්න බොහොමයක් තුළින් සැතපුම් 220ක් පමණ ගමන් කළ අප අන්තිමට ම නැවතුනේ ආක්රානස් නගරයෙයි. අපගේ ගමනෙන් වැඩි ප්‍රමාණයක් අප ගමන් කළ රළු හා පටු බොරළු මාර්ග හා සසඳා බැලීමේ දී, මෙහි රිය පැදවීම ප්‍රසන්න කරවමින් මාර්ගය හොඳින් සකසා තිබෙනවා. අයිස්ලන්තයේ ඇති කුඩා ම සභාව අපට ආක්රානස් හි දැකගත හැක—ප්රචාරකයින් පස් දෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් ම වැඩිමහල්ලන් ය. ඔවුහු වනාහි මකිදෝනියේ ඉල්ලීමට ප්‍රතිචාරය දැක් වූ පවුල් දෙකකි. ඔවුහු රෙයික්සාවික් හි පිහිටි විශාල සභාවන්ගෙන් එකක් අත්හැර අවශ්‍යතාවය වැඩි මෙම කුඩා නගරයේ සේවය කිරීමට මෙහි පදිංචියට පැමිණ තිබේ. (ක්‍රියා 16:9, 10) දැනට වසර දෙකකටත් වැඩි කාලයක් පුරා යෙහෝවඃ වහන්සේ වර්ධනය දෙන බවට නිසැක ව විශ්වාස කරමින්, ඔවුන් ඉවසීමෙන් යුක්ත ව මෙම ප්‍රදේශයේ ශුභාරංචිය දේශනා කර තිබේ.—1 කොරින්ති 3:6.
වර්ධනය සඳහා දීප්තිමත් බලාපොරොත්තු
භූ උෂ්ණත්ව ශක්තියෙන් හා කෘත්‍රිම ආලෝකයෙන් උණුසුම් කරන ලද හරිතාගාර සමඟින්, අයිස්ලන්තයේ ගොවීන්ට පළතුරු, එළවළු, මෙන් ම වෙනත් පැළෑටි වර්ග බොහොමයක් වවන්නට හැකි වී තිබේ. සමානාකාර ව, ආත්මික සත්‍යයෙන්, මෘදු පෙලඹීමේ උණුසුමෙන් හා යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මයේ ආශීර්වාදයෙන් සජ්ජිත ව සිටින සාක්ෂිකරුවන්, අයිස්ලන්ත ක්ෂේත්රයේ පුදුමාකාර ප්‍රතිඵල අත්දකිමින් සිට ඇත්තාහ.
මේ වසරේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කිරීමේ උත්සවයට පුද්ගලයින් 542ක් පැමිණි අතර නිවාස බයිබල් පාඩම් 200කට ආසන්න ප්‍රමාණයක් දැන් පැවැත්වේ. මීට අමතර ව, අලුත් ප්‍රදේශවල සේවය කරන්නට වූ දිරිගැන්වීමට ලැබෙන හිතකර ප්‍රතිචාරය, මෙම විශාල දූපතේ සියලු ජනයා මාහැඟි එඬේරාණන් වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හඬට සවන් දෙනු ඇති බවට ස්ථිරසාර විශ්වාසයක් අපට ලබා දෙයි. (යොහන් 10:14-16) පසුගිය වසර 64 පුරා අයිස් හා ගින්න පවතින දේශයේ ශුභාරංචිය දේශනා කිරීමෙහි මෙතරම් ඉවසීමක් හා විඳදරා ක්‍රියා කිරීමක් පෙන්වා ඇති එම ඇදහිලිවන්ත රාජ්‍යය ප්රචාරකයින් හට කොතරම් ප්‍රීතිදායක විපාකයක් ද!
[හිමිකම් විස්තර]
based on map by Jean-Pierre Biard