හංගේරියාව යෙහෝවඃ වහන්සේ එහි සිටින ස්වකීය ජනයා ව ආරක්ෂා කරන සේක
යුරෝපය මධ්‍යයේ පිහිටි හංගේරියාව, නිතර ම පාහේ ඉතිහාසයේ සිදු වූ බලවත් කැළඹීම්වලට මුහුණ දී ඇත. එහි ජනයා, තමන්ගේ පළමු රජ වන ස්ටීවන් විසින් 1001 දී බලෙන් නාමික ක්‍රිස්තියානින් කරවමින් කන්‍ය මරියාට තමන් ව කැප කර තිබුණ ද, බොහෝ දුක් විඳ ඇත්තාහ.
ගත වූ ශතවර්ෂයන් පුරා වෙනත් ජාතීන් විසින් නැවත නැවතත් යටත් කර ගැනීමට ඉඩ හළ, අභ්‍යන්තර ගැටුම් ගණනාවකින් හංගේරියාව දුර්වල කරනු ලැබී ය. මෙම ගැටුම්වල දී ගම්වල මුළු ජනගහණය ම සිඳ දමනු ලැබූ අතර පසු කාලයේ දී ඒවා විදේශීය ජනගහණයෙන් අනුයුක්ත කරනු ලැබී ය. මෙසේ, මෙහි මහා ජනයා ජාතීන් බොහොමයක මිශ්‍රණයක් බවට පත් විය. ආගමික වශයෙන් කිවහොත්, පසු කාලයේ දී ඇතැම් ප්‍රදේශයන්හි රෙපරමාදු ධර්මය පැතිර ගිය ද, රටේ ජනගහණයෙන් තුනෙන් දෙකක් තවමත් කතෝලිකයන් ව සිටි.
චාම් ආරම්භයක්
බයිබල් සත්‍යයේ බීජය මුලින් ම හංගේරියාවේ වපුරනු ලැබුවේ 1908 දී ය. මෙය කරනු ලැබුවේ, එවකට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව හඳුන්වනු ලැබූ, බයිබල් ශිෂ්‍යයන්ගෙන් සත්‍යය ඉගෙන ගත් කාන්තාවක් විසිනි. ඇයගේ දේශනා කිරීම නිසා, බොහෝ දෙනෙක් ශුභාරංචිය කෙරෙහි උනන්දු වූහ. ඉන් වැඩි කලක් යන්නට මත්තෙන්, එක්සත් ජනපදයෙන් හංගේරියාවට පැමිණි මනුෂ්‍යයන් දෙදෙනෙක්, අද දවසේ සිටින පුරෝගාමින් මෙන් පූර්ණ කාලීන ව ශුභාරංචිය පතුරුවා හැරියහ. සත්‍යය සෙමින්, එහෙත් ඒකාන්ත ලෙස පැතිර ගිය අතර මුද්‍රණාලයක් කෝලෝස්වාර් නගරයේ පිහිටුවනු ලැබී ය.
නගර දහයකින් පැමිණි බයිබල් ශිෂ්‍යයන් 67 දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහිකිරීමේ උත්සවයට පැමිණි 1922 දී, පළමු විශ්වාස කටයුතු වාර්තාව ලබා ගන්නා ලදී. ඔවුන්ගේ සාක්ෂි දැරීමේ සේවය ක්ෂණික බලපෑමක් ඇති කළේ ය. තව ද දේශනා සේවයට බාධා පැමිණ වීමට පූජකයන් රජයටත් පුවත් පත්වලටත් බලපෑම් කිරීම නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් විරුද්ධවාදිකම් ඇති විය.
ප්රහාරයන් තවත් ප්‍රබල වේ
වර්ෂ 1928 දී, සොල්ටාන් නයිස්ටොර් නම් කතෝලික පූජකයා මිලෙනියලිස්ට් බයිබල් ස්ටූඩන්ට්ස් (දහස් වසරවාදී බයිබල් ශිෂ්‍යයන්) යන මාතෘකාවෙන් යුත් පත්‍රිකාවක් නිකුත් කළේ ය. එහි බයිබල් ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ඔහු මෙසේ තරයේ ප්‍රකාශ කළේ ය: “මොවුන් බයිබලය පසුපස සැඟවී අහිංසකයන් ව මුලා කරන බැවින්, මොවුන් අවිවලින් පහර දෙන්නා වූ රතු බොල්ෂෙවික් වාදීන්ටත් වඩා දරුණු ය. හංගේරියානු රාජ්‍ය පොලිස් සේවය ඔවුන්ගේ ක්‍රියාකාරකම් කිට්ටුවෙන් පරීක්ෂා කරමින් සිටී.”
ඒ කාලය තුළ යෝසෙෆ් කිස් නම් ජ්වලිත සහෝදරයෙක් සභාවන් බැහැදකින්නට ආවේ ය. පොලිස් භටයන් රහසේ ඔහුගේ ඔත්තු බලන්නට පටන් ගත්හ. වර්ෂ 1931 දී, ඔහු සහෝදරයෙකුගේ නිවසෙහි සිටි විට ඔහු ව මවිතයට පත් කරවමින්, වහා ම පිට වන ලෙස පොලීසිය ඔහුට නියෝග කළේ ය. සහෝදර කිස් තමා සතු දේවල් අසුරන්නට පටන් ගනිත් ම, එක්තරා පොලිස් භටයෙක් තමාගේ රයිෆලයේ මිටෙන් ඔහුට ගසා “ඉක්මන් කරන්න, නැත්නම් ඔබට මෙයින් අනිනවා!” යයි තර්ජනය කළේ ය. සහෝදර කිස් සිනා වී, ආලේප ලත් ක්‍රිස්තියානියෙක් හැටියට තමාගේ ස්වර්ගීය බලාපොරොත්තුවට යොමු දක්වමින්, “එහෙම නම් මට ඉක්මනින් ම ගෙදර යන්නට පුළුවන් වේවි” යයි පිළිතුරු දුන්නේ ය.
භටයෝ දුම්රිය දක්වා සහෝදර කිස් පසුපස ගියහ. ඔහු 1931 ජූනි 20වන දින ඩෙබ්රෙකන් සභාවට පැමිණීමට නියමිත ව තිබුණ ද, ඔහු ව කිසිවිටෙකත් දක්නට ලැබුණේ නැත. ඔහුගේ සතුරන් ඔහු ව ඝාතනය කළ බවත්, සිය ‘ගෙදර’ වූ ස්වර්ගික තෑග්ග වෙතට ඔහු සැබවින් ම ගිය බවත් සහෝදරයෝ නිගමනය කළහ. ඔහුගේ සේවය නතර කරනු ලැබුව ද, බලධාරීන්ට සත්‍යයේ ආලෝකය සහමුලින් ම නිවා දැමීමට පුළුවන් වූයේ නැත.
සාක්ෂියක් දීමට බොහෝ විට උපාය දක්ෂතාවය ප්‍රයෝජනයට ගනු ලැබී ය. උදාහරණයක් වශයෙන්, 1930 ගණන්වල මැද භාගයේ, ටිසෝකොරාඩ් නගරයේ දී සහෝදරයෙක් මිය ගියේ ය. ඒ කාලයේ අවමගුල් පැවැත්විය හැකි වූයේ නිලධාරීන්ගේ අවසරය ඇති ව පමණකි. මෙහි දී සහෝදරයන්ට යාච්ඤාව සඳහා විනාඩියකුත් ගීතිකාව සඳහා විනාඩියකුත් පමණක් අවසර දෙනු ලැබී ය. මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබුණේ රයිෆල් හා බයිනෙත්තු අතැති ව අවමගුලට පැමිණි පොලීසිය විසිනි. එම අවමගුල පවත්වන ආකාරය ගැන තමන් තුළ කුතුහලයක් තිබූ නිසා බොහෝ නගර වැසියෝ ද පැමිණියහ.
මිනීපෙට්ටිය ඉදිරිපිට හිටගෙන සිටි සහෝදරයෙක් පැය භාගයකට යාච්ඤා කළ අතර, ජනයා ඔහු යාච්ඤා කළ ආකාරය ගැන පැවසුවේ ඔවුන් මීට පෙර කිසි දිනෙක එවැන්නක් අසා නොතිබූ බව ය. “පූජකයන් හය දෙනෙක් එම අවමංගල්‍යය පැවැත්තුවත්, එය එතරම් හැඟීම් දනවන එකක් නොවනු ඇත” යයි ඔවුහු පැවසූහ. හොඳ කටහඬක් තිබූ සහෝදරයෙක් ඉන් අනතුරුව ගීතිකාව මෙහෙය වන්නට පටන් ගත්ත ද, පොලීසිය නිශ්ශබ්ද වන ලෙස ඔහුට නියෝග කළේ ය. තමන්ට අපහසුවක් දැනුණ ද තමන් විසින් යාච්ඤාවට බාධා කරන්නට පුළුවන්කමක් නොතිබුණ බව පොලිස් නිලධාරීහු පසු ව කියා සිටියහ.
ප්රහාරයන් දිගට ම පවතිත් ම, රෙපරමාදු පල්ලියේ පූජකයෙක් වන ලායොෂ් සාබෝ, ඇන්ටික්‍රයිස්ට් බයි ද රිවර් ටිස්සා [ටිස්සා නදිය අසබඩ අන්ත ක්‍රිස්තු] නම් සිය 1935 විවරණිකාවේ මෙසේ ලීවේ ය: “ආගමේ නාමයෙන් ජනයාට මානසික වශයෙන් බොල්ෂෙවික් වාදය පෝෂණය කිරීම අපූරු බුද්ධිමත් අදහසක් විය . . . මාර්ක්ස් ක්‍රිස්තුස් වහන්සේගේ බාහිර පෙනුම පැළඳ ගත්තේ ය . . . අන්ත ක්‍රිස්තු සිය රතු ලෝගුව පැළඳගෙන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ මෙහි පැමිණ සිටියේ ය.”
වසර ගණනක් තහනම යටතේ
වර්ෂ 1939 දී යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු සහමුලින් ම තහනම් කරන ලදී. එය “ආගම් විරෝධී හා සමාජ විරෝධී” ක්‍රියාවලියක් හැටියට හංවඩු ගසනු ලැබී ය. ඇඩ්වෙන්ටිස්ට්, බැප්ටිස්ට්, එවැන්ජලිස්තවරු, හා ප්රෙස්බිටෙරියානුවෝ සාක්ෂිකරුවන්ට විරුද්ධ ව පත්‍රිකා නිකුත් කළහ. එහෙත් යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන් ව අත්නෑරිය අතර වෙනත් රටවල සිටින සාක්ෂිකරුවන් විසින් ඔවුන් ව රැකබලා ගනු ලැබී ය. මීට අමතර ව, හංගේරියාවේ සිටි දෙවියන් වහන්සේගේ ජනයාට ඇදහිල්ල ශක්තිමත් කරන බොහෝ අත්දැකීම් ලැබුණි.
උදාහරණයක් හැටියට, සහෝදරයෙක් චෙකෝස්ලොවැකියාවේ සිට තමාගේ පිට මත එල්ලන ලද මල්ලක් පුරවා අපගේ සඟරා ගෙනා විට, “ඔබගේ මල්ලේ මොනවද තිබෙන්නේ?” යයි රේගු නිලධාරියා ඇසුවේ ය. එම සහෝදරයා අවංක ව ම “මුරටැඹ” යයි පිළිතුරු දුන්නේ ය. එහි දී එම සහෝදරයා පිස්සුවෙන් සිටිනවා වැනි අදහසක් එම නිලධාරියා සිය අතෙන් ඉඟි කොට, ඔහුගේ ගමන යන්නට හැරියේ ය. මෙසේ, ආත්මික ආහාරය ආරක්ෂා සහිත ව හංගේරියාවට සැපත් විය.
එහෙත්, හිරිහැර කිරීම නැවතුනේ නැත. වැඩි වැඩියෙන් සහෝදරයන් ව අත්අඩංගුවට ගනු ලැබූ අතර විවිධ කාල පරිච්ඡේදයන් සඳහා සිර භාරයේ රඳවා ගන්නා ලදී. ඉන් පසු ව විශේෂ පරීක්ෂණ කණ්ඩායමකට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව සහමුලින් ම අසු කිරීමේ පැවරුම දෙනු ලැබී ය. වර්ෂ 1942 දී, පුරුෂයෝ, කාන්තාවෝ හා දරුවෝ එක්රැස් කර අශ්ව ඉස්තාල හා හිස් වූ යුදෙව් පාසල්වල දමනු ලැබූහ. මාස දෙකක් වධ දීමෙන් පසු, ඔවුන්ට නඩු පවරා වැරදිකරුවන් හැටියට තීන්දු කරනු ලැබී ය. සමහරු ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලැබූහ; අන්‍යයන් වසර 2 සිට 15 දක්වා සිරගෙට නියම කරන ලදී. සහෝදරයන් තිදෙනෙක්—ඩෙනෙෂ් ෆාලුවේගෙ ආන්ඩ්රස් බාර්තා හා යානොස් කොන්රඩ්—එල්ලා මැරීමට නියමය ලැබුව ද, පසු ව එම නියමය ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් බවට වෙනස් කරනු ලැබී ය. අනතුරුව, සහෝදරයන් 160 දෙනෙක් බොර් නම් ස්ථානයේ පිහිටි මරණ කඳවුරට ගෙන යනු ලැබී ය. දේශ සීමාව පසු කිරීමෙන් අනතුරුව, ඔවුන් පණ පිටින් හැරී නොඑනු ඇතැයි ඔවුන්ට කියන ලදි. මෙම කඳවුරට ගෙන යනු ලැබූ පිටුවහල් කරන ලද යුදෙව්වන් 6,000න්, පණ පිටින් ඉතුරු වුණේ 83 දෙනෙක් පමණකි. කෙසේ වෙතත්, හතර දෙනෙක් හැරුණු විට, සාක්ෂිකරුවන් සියලු දෙනා ම නැවත පැමිණියහ.
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් අතර ඇත්තෙන් ම දිවි පිදූ අය ද සිටියහ. දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගයේ, නාට්සිවරු සහෝදරයන් ගණනාවක් මරණයට පත් කළහ. බාර්ටලාන් සාබො, යානොස් සොන්ඩෝර් හා ආන්ටාල් හෝනිෂ් වෙඩි තබා මරණයට පත් කරන ලද අතර ලාජොස් ඩෙලී එල්ලා මරණු ලැබී ය.—මතෙව් 24:9.
හිතකර වෙනසක් තාවකාලික එකක් පමණි
දෙවන ලෝක යුද්ධයෙන් පසු, තත්ත්වය නැවතත් වෙනස් විය. සමගි ආණ්ඩුවක් මානව අයිතිවාසිකම්වලට ඉඩදෙන බව පොරොන්දු කළේ ය. කඳවුරුවලින් හැරී පැමිණි සහෝදරයෝ වහා ම දේශනා කරන්නටත්, සභා සංවිධානය කරන්නටත් පටන් ගත්හ. ඔවුන්ට හැඟුණේ, යෙහෝවඃ වහන්සේ විසින් ඔවුන්ට නිදහස දානය කොට තිබුණේ, ඔවුන් විසින් ද්‍රව්‍යමය සම්පත් එකතු කිරීම සඳහා නොව, උන් වහන්සේගේ මහත් නාමයට ප්‍රශංසා දෙනු සඳහා බව ය. වර්ෂ 1945 අවසානය වන විට, ක්‍රියාකාරී රාජ්‍යය ප්‍රචාරකයන් 590 දෙනෙක් සිටියහ. වර්ෂ 1947 දී, වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයක් හැටියට පාවිච්චි කිරීම පිණිස පිටිසර බද නිවාසයක් මිල දී ගනු ලැබූ අතර පළමුවන ජාතික සමුළුව ක්‍රීඩාගාරයක පවත්වන ලදී. ඊට 1,200 දෙනෙක් පැමිණි අතර හංගේරියානු රාජ්‍යය දුම්රිය සේවය, එම සමුළුවට ගමන් කරමින් සිටි අය සඳහා සියයට 50ක වට්ටමක් ද ලබා දුන්නේ ය.
කෙසේ වෙතත්, නිදහස වැඩි කාලයක් පැවතුනේ නැත. වැඩිකල් යන්නට මත්තෙන්, කොමියුනිස්ට් පක්ෂය බලය අත්කර ගත් අතර රජය වෙනස් විය. යෙහෝවඃ වහන්සේගේ ජනයාගේ වර්ධනය නව රජයේ අවධානයට යොමු විය, මන්දයත් වර්ෂ 1947 දී 1,253 දෙනෙක් ව සිටි ඔවුන්ගේ සංඛ්‍යාව 1950 වන විට 2,307ක් දක්වා වැඩි වී තිබුණු හෙයිනි. එම වසරේ රජයේ නිලධාරීහු දේශනා සේවය කෙරෙහි බාධා පමුණුවන්නට පටන් ගත්හ. දේශනා කරන්නට අවසර පත් අවශ්‍ය වූවද, ආණ්ඩුව ඒවා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ අතර ඒවා ඉල්ලුම් කළ අයට ජාතික ආරක්ෂක සේවයෙන් තලනු ලැබී ය. පුවත් පත් ලිපි ‘අධිරාජ්‍යවාදීන්ගේ නියෝජිතයන්’ යනුවෙන් නොකඩවා සාක්ෂිකරුවන් ව අවමානයට ලක් කරන්නට විය. කොමියුනිස්ට් වාදය බලයට පත්වීමට පෙර, ‘කොමියුනිස්ට්වාදී යුදෙව් අතකොලු’ හැටියට දොස් පවරා සාක්ෂිකරුවන් ව රැඳවුම් කඳවුරුවලට යවනු ලැබීම සැලකිය යුතු කරුණකි.
භීෂණය ඇරඹේ
වර්ෂ 1950 නොවැම්බර් 13වන දින, පළමුවන චාරිකාවේ අවේක්ෂක සමඟ ශාඛා අවේක්ෂක හා පරිවර්තකයා (කලින් මරණයට තීන්දු කරන ලද දෙදෙනෙක්) අත්අඩංගුවට ගනු ලැබී ය. ඔවුන් ව “මොළොක් කිරීමට” බුඩාපෙස්ට් හි ආන්ඩ්රාසි වීදියේ අංක 60 දරන ස්ථානයේ පිහිටි අප්‍රකට භූගත සිරගෙය වෙත ගෙන යන ලදී. ඊළඟ වසරේ පෙබරවාරි 2වන දින ඔවුන්ගේ නඩුව විමසනු ලැබී ය. ශාඛා අවේක්ෂක වසර දහයක, පරිවර්තක වසර නවයක, හා චාරිකා අවේක්ෂක වසර අටක සිර දඬුවමකට නියම වූහ. මේ තිදෙනාගේ ම දේපළ රාජසන්තක කරනු ලැබී ය. එම නඩු විභාගය පැවැත්වෙමින් තිබූ අතර තවත් සභා අවේක්ෂකයන් හතර දෙනෙකුට රජය පෙරළීමට වෑයම් කිරීමේ චෝදනා මත අවුරුදු පහ සිට හය දක්වා සිර දඬුවම් දෙනු ලැබී ය.
එම සහෝදරයන් ව, තමන්ට ලිපි, පාර්සල් හෝ ආගන්තුකයන් ලබාගත නොහැකි, උපරිම සුරැකුම් බන්ධනාගාරයකට දමනු ලැබී ය. ඔවුන්ගේ පවුල්වලට ඔවුන් පිළිබඳ කිසිදෙයක් දැනගත නොහැකි විය. ඔවුන්ගේ නම් එම මුරසෙබලුන් විසින් සඳහන් කිරීම පවා තහනම් විය. හඳුනා ගැනීම පිණිස, ඒ එක් එක්කෙනා අංකයක් සඳහන් ලී මුද්‍රාවක් තමන්ගේ බෙල්ලේ එල්ලාගෙන සිටියහ. “හිරකරුවන් ව නිකම් ම රැකබලා ගන්න එපා; ඔවුන්ට වෛර කරන්න” යනුවෙන් සංඥාවක් බිත්තිය මත පවා ලියා තිබුණි.
සාක්ෂිකරුවන් රහසින් කටයුතු මෙහෙය වන්නට පටන් ගත්ත ද, දේශනා කටයුත්ත නතර නොවී ය. අනෙක් සාක්ෂිකරුවෝ සිරගත වී සිටි අය වෙනුවෙන් දිගට ම ක්‍රියා කළහ. මද කලකින් ඔවුන් වෙනුවෙන් ක්‍රියා කළ අය ව ද අත්අඩංගුවට ගනු ලැබී ය. වර්ෂ 1953 වන විට, සහෝදරයන් 500කට අධික පිරිසක් වැරදිකරුවන් බවට තීන්දු කර හිරදඬුවම් නියම කරන ලදමුත්, ශුභාරංචිය දම්වැලෙන් බැඳ දැමීමට නොහැකි විය. මුරසෙබලුන්ගේ සිත්ගන්නා පොරොන්දුවලට වසඟ වී ඇදහිල්ල පාවා දුන්නේ සහෝදරයන් ස්වල්ප දෙනෙකු පමණකි.
දීප්තිමත් අපේක්ෂා
වර්ෂ 1956 උදාවත් සමඟ ම, ජනයා රජයට විරුද්ධ ව කැරලි ගසන්නට පටන් ගත්හ. සෝවියට් හමුදා එම කැරැල්ල මැඩපැවැත් වූ අතර කොමියුනිස්ට් පක්ෂය යළි බලය අත්කර ගත්තේ ය.
හිරබාරයට ගන්නා ලද සියලු ම සාක්ෂිකරුවන් නිදහස් කරන ලදමුත්, නම්දරා සිටි සහෝදරයන් කීපදෙනෙකුට නියම කරන ලද හිර දඬුවම් ගෙවන්නට ඔවුන් ව යළි හිරගෙදරට ගෙනයනු ලැබී ය, අලුත් අය ව වැරදිකරුවන් හැටියට නියම කරනු ලැබුවේ නැත. අවසානයේ, 1964 දී, තත්ත්වය දැඩි බවින් මදක් අඩුවන්නට විය. බලධාරීහු අවමගුල් හා විවාහ උත්සව යනාදියට බාධා පමුණුවන්නට තවදුරටත් කිසිවක් කළේ නැත. චාරිකා රැස්වීම් වනාන්තරවල පවත්වනු ලැබී ය. මේවායින් සමහරකට බාධා කරනු ලැබුව ද, වැඩිමනත් සාක්ෂිකරුවන් කිසිවෙකු ව හිරබාරයට යවනු ලැබුවේ නැත.
වර්ෂ 1978 දී අවේක්ෂණ කටයුතුවල යෙදී සිටි සහෝදරයන්ට වියානාවේ සමුළුවට යාමට අවසර දෙනු ලැබී ය. එම වසරේ පවා, බලධාරීන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට නීත්‍යානුකූල පිළිගැන්ම දානය කිරීමට පොරොන්දු වුව ද, මෙය ඇත්ත වශයෙන් ම සිදු වීමට තවත් වසර දහයක් ගත විය. වර්ෂ 1986 දී, බලධාරීන්ගේ දැනුම ඇති ව කාමරා වනාන්තරයේ යෞවන උයනේ, පළමු දිස්ත්‍රික්ක සමුළුව පවත්වනු ලැබී ය. මෙය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “දිව්‍ය සාමය” දිස්ත්‍රික්ක සමුළුව බව දක්වන දැන්වීමක් පවා සවි කරනු ලැබී ය. ඊළඟ වසරේ “යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය” සමුළුව පවත්වන ලද අතර 1988 දී සහෝදරයෝ “දිව්‍ය යුක්තිය” සමුළුව ප්‍රීතියෙන් භුක්ති වින්ඳාහ.
අන්තිමේ දී නිදහස!
වර්ෂ 1989 ජූනි 27 වන දින ආශ්චර්යවත් දිනයක් විය, මන්දයත් හංගේරියාවේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් නමැති ආගමික සංවිධානයට නිල පිළිගැන්ම දානය කරන ලිපිය සහෝදරයන්ට ලැබුණේ එවිට ය. ජූලි මාසයේ “දිව්‍ය භක්තිය” දිස්ත්‍රික්ක සමුළුව සඳහා රජය සතු බුඩාපෙස්ට් ක්‍රීඩාගාරයට 9,477 දෙනෙකු එක්රැස් වූහ. වර්ෂ 1990 පවත්වන ලද “පවිත්‍ර භාෂාව” දිස්ත්‍රික්ක සමුළුවට එම ශාලාව ම පාවිච්චි කරනු ලැබූ අතර එම සමුළුව හංගේරියාවේ වෙනත් විශාල නගර තුනක ද පවත්වනු ලැබී ය.
දැන් තහනම සහමුලින් ම ඉවත් කර තිබෙන නිසා, පළමු ජාත්‍යන්තර සමුළුව සංවිධානය කිරීමට ද හැකි විය. අයහපත් කාලගුණය නොසලකා, එය බුඩාපෙස්ට් නගරයේ නේප්ෂ්ටාඩ්යොන් හි පවත්වන ලද අතර උණුසුම් සහෝදර ප්‍රේමය ප්‍රීතියෙන් භුක්ති විඳින්නට 40,601 දෙනෙක් ඊට සහභාගි වූහ. පාලක මණ්ඩලයේ සාමාජිකයෝ සහභාගි වී කථා මගින් සහෝදරයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කළ අතර සමුළුවේ දී පූර්ණ වර්ණ චිත්රවලින් යුත් අලුත් පොත් හා විවරණිකා ඔවුහු මුදා හළහ.
අද දින සිදුවෙමින් තිබෙන දෙය
මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල හංගේරියානු මුද්‍රණය දැන් ඉංග්‍රීසි සඟරාවේ සිත්ගන්නා ආකාරයට ම සමගාමී ව ප්‍රකාශයට පත් කෙරේ. වර්ෂ 1992 පටන් යියර්බුක් නම් ප්රකාශනය ද හංගේරියානු බසින් ප්‍රකාශයට පත්වීම ඇරඹුණි. ශුභාරංචියේ ප්‍රචාරකයන් සංඛ්‍යාව වර්ෂ 1971 සිටි 6,352 පටන් 1993 ජනවාරි වන විට 13,136 දක්වා සීඝ්රයෙන් ඉහළ ගියේ ය.
අද දින, හංගේරියාවේ සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ආගමික නිදහස භුක්ති විඳින අතර නිදහසේ ගෙයින් ගෙට දේශනා කරන්නාහ. එහි සභාවන් 205ක් ඇති අතර 1992 අප්‍රියෙල් 17වන දින පවත්වන ලද මරණය සිහිකිරීමේ උත්සවයට 27,844 දෙනෙක් පැමිණියෝ ය. අවශ්‍ය තරම් රාජ්‍යය ශාලාවන් ලැබෙන තෙක්, සභාවන් පාසල්වල, සංස්කෘතික මධ්‍යස්ථානවල, හිස් බැරැක්කවල, හා කොමියුනිස්ට් පක්ෂයේ අත්හරින ලද කාර්යාල ගොඩනැගිලිවල දිගට ම රැස්වීම් පවත්වයි. වර්ෂ 1992 වන විට සභාවන් දහයක් තමන්ගේ ම රාජ්‍යය ශාලාවන් කැප කොට තිබූ අතර, වෙනත් ශාලාවන් ඉදි කෙරෙමින් පවතී.
සියලු වෙනස්වීම් හා විප්ලවයන් තිබියදීත්, සහෝදරයෝ ඇදහිලිවන්ත ව යෙහෝවඃ දෙවියන් වහන්සේගේත්, උන් වහන්සේගේ පුත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේත් පැත්තේ රැඳී සිට දිගට ම දේශනා කිරීමෙහි නියැලී ඇත්තාහ. කාලවල කුණාටු ඔවුන් ව විනාශ කර නැත, මන්දයත් යෙහෝවඃ වහන්සේ හංගේරියාවේ සිටින ස්වකීය ජනයා ව ආරක්ෂා කර ඇති බැවිනි.—හිතෝපදේශ 18:10.
[9වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
වියානා
ඕස්ට්‍රියා
බුඩාපෙස්ට්
ඩෙබ්රෙසන්
හංගේරියාව
රුමේනියාව
[10වන පිටුවේ පින්තූරය]
බුඩාපෙස්ට් හි එක්රැස් වූ යෙහෝවඃ වහන්සේගේ ජනයා