අපට බයිබලය අවශ්‍ය ද?
යෞවන රුසියානු කාන්තාවක් වන, ඔක්සානා, මොස්කෝවේ පදික වේදිකාවක පොත් වෙළෙඳාම් කරන්නෙකු බයිබලයක් ඉදිරිපත් කරනු දිටු විට මහත් ප්‍රීතියට පත් වූවා ය. ඔක්සානාගේ උද්‍යෝගය, බාධාවකින් තොර ව බයිබල් ලබා ගත හැකි රටකින් පැමිණි ඇගේ සහයකයා වූ ජෝන්ගේ සිත් ගත්තේ ය. “ඇයට දෙනු පිණිස එය මිල දී ගැනීමට—අදේව වාදියෙක් වන—මට වුවමනා විය” යයි ඔහු පිළිගනී. මුල දී ඔක්සානා විරුද්ධත්වය පළ කළ ද, පසු ව ඇය ජෝන්ගේ තෑග්ග පිළිගත්තා ය.
ඔක්සානා මෙන්, බොහෝ දෙනෙකුට, බයිබලයක් තමන් සතු කර ගැනීමට මහත් ආශාවක් ඇත. වසර ගණනාවකට බයිබලය නිදහසේ පාවිච්චි කිරීම මැඩපවත්වා ඇති රටවල මෙය විශේෂාකාරයෙන් සැබෑ වේ. උදාහරණයක් හැටියට, මෙම සඟරාවේ ප්‍රකාශකයෝ, පැරණි සෝවියට් ජනරජවලත්, එසේ ම ලෝකයේ වෙනත් කොටස්වලත් බයිබල් සඳහා පවතින ඉල්ලුම සපුරාලීමට දැඩි වෑයමක් දරමින් සිටිත්. මෙම ප්‍රදේශයේ ජීවත් වන බොහෝ දෙනෙකුට, පළමු වතාවට, බයිබලය පිළිබඳ නියම පරීක්ෂාවක් කිරීමට අවස්ථාවක් ලැබී ඇති අතර—බොහෝ දෙනෙක් එහි බලගතු පණිවුඩයට ආකර්ෂණය වෙති.
විවේචකයෝ සහ සැක කරන්නෝ
අනෙක් අතට, විශේෂාකාරයෙන් උතුරු යුරෝපයේ, ඉහත සඳහන් දෙයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය ආදර්ශනය කරමින්, බයිබලය කියවනු වෙනුවට පොත් රාක්කවල දූවිලි බැඳෙන තරමට ම එය නොසලකා හැර ඇත. “යල් පැන ගොස් ඇති ඉතිහාසය!” යයි පවසන සමහරෙක්, “එය ලියනු ලැබුවේ වෙනත් යුගයකට ය. නවීන දින මිනිසාට ඉන් වැඩක් නැත” යයි ද වැඩිදුරටත් පවසති. සුප්‍රකට පූජකයන් පවා, බයිබලය අපකීර්තියට පත් කරවන ප්‍රසිද්ධ ප්‍රකාශයන් කර ඇත. එංගලන්ත සභා අග්‍ර රාජගුරු ඩෙස්මන්ඩ් ටූටූ, “ස්ථීර වටිනාකමක් නොමැති කොටස් බයිබලයේ ඇත” කියා පවසා ඇති බවට, දකුණු අප්‍රිකානු පුවත් පතක් වන, ද ස්ටාර් වාර්තා කළේ ය. මෙවන් ප්‍රකාශයන් නිසා, තමන් බයිබලය කොතරම් බැරෑරුම් ලෙස සැලකිය යුතු දැයි දැනගැනීමේ ආශාවක් බොහෝ දෙනෙකු තුළ ජනිත වී ඇත.
මඟ පෙන්වීම සඳහා අවශ්‍යතාවයක්
විවේචකයන් මෙන් ම අදහන්නන් ද එක හා සමාන ව පෙර කවරදාකටත් වඩා, ඵලදායී විසඳුම් ලෝකයට අවශ්‍ය ව ඇති බව පිළිගත යුතු ය. “මිනිසා, තමාගේ පුද්ගලික කාරණා සම්බන්ධයෙනුත්, පොදුවේ සමාජයේත්, වෙනස්වීම් සිදුවන වේගය පාලනය කිරීමට ඉක්මනින් ඉගෙන නොගතහොත්, අපි මහත් . . . බිඳවැටීමකට . . . නියම වී සිටිමු” යයි ඇල්වින් ටොෆ්ලර්, ෆියූචර් ෂොක් නම් සිය පොතේ ලීවේ ය. එම අනතුරු ඇඟවීම නිකුත් කරනු ලැබුවේ දැනට වසර 20කටත් වැඩි කලකට පෙර ය. ටොෆ්ලර් කථා කළා වූ එම බිඳවැටීම මේ දැන් සිදු වන බවට පැහැදිලි ය.
මෙම ශතවර්ෂය එහි නිමාව කරා සමීප වෙත් ම, තාක්ෂණික සංවර්ධනයන් මෙන් ම මනුෂ්‍ය දර්ශනයන් මගින් ලෝකයේ ස්ථාවර බවක් ජනිත වී නැත. නව ලෝක ක්‍රමයක් සඳහා වූ මෑත කාලීන බලාපොරොත්තු මුළාවක් බව අවබෝධ වී ඇති අතර බොහෝ දෙනෙකුගේ ජීවිත නොනැසී ජීවත්වීම සඳහා වූ දෛනික සටනක් දක්වා පිරිහී ඇත.
ධනවත් හා දිළිඳු අය අතර ආර්ථික වෙනස විශාල පරතරයක් බවට පත් වී ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වයි. ලෝකයේ ධනයෙන් සියයට 82.7ක ම අයිතිය සංකේන්ද්‍රනය වී ඇත්තේ එහි ජනගහණයෙන් හුදෙක් සියයට 20ක් සමඟ බව මෑත කාලීන අධ්‍යනයක් අඟවයි. යුද්ධ, සාගත, රෝග, කැරළි ගැසීම්, හා රාජ විප්ලව යනාදිය බොහෝ රටවල නිතර අසන්නට දකින්නට ලැබීම පුදුමයක් ද? පිරිහෙමින් පවත්නා ජීවන තත්ත්වය හමුවේ සාර්ථක ව කටයුතු කිරීමට වූ පීඩනය ජනයාගේ චිත්ත වේගය කෙරෙහි අධික වෙහෙසක් ඇති කරමින් සිටී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සමාජයේ මූලික ම ඒකකය වන, පවුල පවා පිරිහෙමින් පවතී.
“ස්ථාවර බවක් හා සුරක්ෂිත බවක් සොයා ගැනීමට සහමුලින් ම අලුත් ක්‍රම සෙවීම” මනුෂ්‍යයාගේ වගකීම බව ටොෆ්ලර් වැනි, බොහෝ දෙනෙකු යෝජනා කළ ද, මනුෂ්‍යයන් තමන්ට ම විසඳුම් ලබා දීමට අසමත් තත්ත්වයක සිටින බව සාක්ෂිවලින් තහවුරු වෙයි.
එක ම විකල්පය
දැනට වසර 3,500කට පමණ පෙර ලිවීම ආරම්භ කළා වූ, ශුද්ධ බයිබලය, ගත වූ ශතවර්ෂයන් පුරා වෙනස් වී නොමැත. එහි ප්‍රතිපත්ති නොසැලී පවතී. උදාහරණයක් වශයෙන්, යෙරෙමියා 10:23, [NW] හි ඇති වදන්, පෙර කවරදාකටත් වඩා අද දවසේ සැබෑ බවට තහවුරු වී ඇත: “භූමික මිනිසාට තමාගේ මාර්ගය අයිති නැත. ගමන් කරමින් සිටින මිනිසාට තමාගේ පියවර මෙහෙය වීමටවත් අයිතියක් නැත.” මනුෂ්‍යයන්ට තමන්ගේ මාර්ගය නියම කිරීමට හැකියාවක් නැත්නම්, එය කළ හැක්කේ කවරෙකුට ද? මඟ පෙන්වීම සඳහා ඇති එක ම සැබෑ ප්‍රභවය වෙතට, බයිබලය යොමු දක්වයි: “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] වන මමය.”—යෙසායා 48:17.
බයිබලයේ පිටු තුළින්, අපට ම උපකාර සපයා ගැනීමට යෙහෝවඃ දෙවියන් වහන්සේ උගන්වමින් සිටින සේක. අප ගමන් කළ යුතු ක්‍රමය පෙන්වන අවවාදයන්ගෙන් ඒවා පිරී ඇත. එය ලියන ලද දවසේ මෙන් ම අද දිනටත් එහි උපදෙස් අදාළ ව පවතී. මතු ලිපිය අපගේ නවීන දින සඳහා වන බයිබලයේ ප්‍රායෝගිකත්වය පරීක්ෂා කර බලනු ඇත. සෞඛ්‍ය සිට ධනය, පවුල් ජීවිතය, හා පුද්ගලික හැසිරීම දක්වා යන විවිධාකාර විෂයන් සම්බන්ධයෙන් බයිබලය අද දින ලෝකයේ ගසා ගෙන යන වැලි මැද තිබෙන ස්ථිර පර්වතයක් බව ඔබට දැකිය හැකි වනු ඇත.
[4වන පිටුවේ පින්තූරය]
අද දවසේ පවතින පීඩාකාරී ලෝකය තුළ බයිබලය ස්ථාවරත්වයේ නැංගුරමක් වේ