බහමාස් දූපත්වල වෙනස් ආකාරයක සොයා ගැනීමක්
ෆ්ලෝරීඩා ව හා කියුබාව අතර ඇති ඝන නිල් මුහුද හරහා යාමට තබා ඇති පඩි ගල් මෙන්, බහමාස් දූපත් 1992 දී ලෝකයේ ජනමාධ්‍යය මගින් පෙර නොදුටු විරූ අවධානයක් ලැබී ය. ඒ මන්ද? ඊට හේතුව 1492 ක්‍රිස්ටෝෆර් කොලොම්බස් අමෙරිකාවන් සොයා ගත් විට, ඔහුගේ එම ඓතිහාසික මුහුදු ගමනේ දී මුලින් ම සොයා ගත් රට හැටියට බලධාරීන් බොහෝ දෙනෙක් බහමාස් දූපත් සලකන හෙයිනි. ඔක්තෝබර් 12වන දින සිදු වූ කොලොම්බස්ගේ එම ගොඩබැසීමේ 500වන සංවත්සරය ජාත්‍යන්තර අවධානයට යොමු විය.
එහෙත්, මෙම පන්සියවන සංවත්සරය පිළිබඳ ව දැඩි උණුසුමකින් අපවාද එල්ල නොවූවා ද නොවේ. කළු ජාතික නීතිඥයන්ගේ 23වන ජාතික සම්මේලනය අමතමින්, (අන්තර් ජාතික අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයෙක් වන) ජෝන් කැරූ වාර්තා ගත ලෙසින් කියා ඇත්තේ, කොලොම්බස් “කැරෙබියානු දූපත්වල වෙසෙන්නන් බොහෝ දෙනෙකු ව මරණයට පත් කිරීම වෙනුවෙන් වගකිව යුතු ය” යනුවෙනි.—ද නසව් ගාඩියන්.
කොලොම්බස්ට හමු වී, “රූප සම්පන්න සිරුරු හා ඉතා අලංකාර මුහුණු ඇති, හොඳින් වැඩුනු” අය හැටියට විස්තර කළ සාමකාමී ස්වදේශිකයන්ගේ පෙළපත අද දින, බහමාස් දූපත්වල වෙසෙන 2,50,000ක් වූ දේශීය ජනගහණයෙන් කිසිවෙකුට සොයා ගත නොහැකි ය. එම දූපත් වැසියන්ට සිදු වූයේ කුමක් ද? ඒ හිස්ටොරි ඔෆ් ද බහාමාස් නම් ග්‍රන්ථය මෙසේ පිළිතුරු දෙයි: “වර්ෂ 1500 හා 1520 අතර කාලයේ බහමාස් දූපත්වල සම්පූර්ණ ජනගහණය, ඇතැම් විට 20,000ක් පමණ වූ ලුකෙයෝ ජාතිකයන් ව” හිස්පැනියෝලා හි ස්පාඤ්ඤ රත්රන් ආකරවල වහලුන් හැටියට වැඩ කරන්නට “බලෙන් ගෙනයනු ලැබූහ.”
මෙසේ ජනගහණය ඉවත් කරන ලද බහමාස් දූපත්, මුලින් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ද, පසු ව “පක්ෂ ග්රාහීන්” විශාල කණ්ඩායම් විසින් ද “යළිත් සොයාගනු” ලැබී ය. මින් පසු ව සඳහන් කරන ලද අය, ප්‍රධාන වශයෙන් උතුරු අමෙරිකාවෙන් පැමිණි වතු හිමියන් වූහ. බ්‍රිතාන්‍ය කිරීටයට පක්ෂග්රාහී වූ මොවුහු, එවකට එම මහාද්වීපයේ ක්‍රමයෙන් එළිදකිමින් තිබූ ස්වාධීනත්වය සඳහා වූ යුද්ධයෙන් පලා ගියහ. අද දවසේ සිටින බහමාස් වැසියෝ ප්‍රධාන වශයෙන් මෙම පදිංචිකරුවන්ගෙන් හා ඔවුන්ගේ වහලුන්ගෙන් පැවතෙන්නන් වන්නාහ. නිදහස ලැබීමෙන් පසු වහලුන් බොහෝ දෙනෙක් වැඩිදුරටත් තමන්ගේ මුල් ස්වාමිවරුන්ගේ නාමයන් දිගට ම තබා ගත්හ.
තවත් වර්ගයක් සොයා ගැනීම
කොලොම්බස් යම් ආකාරයක මිෂනාරිවරයෙක් වූ බව ඔහු විසින් ම සැලකූ බවට බොහෝ සෙයින් කල්පනා කළ හැකි ය. “දෙවියන් වහන්සේ මා ව අලුත් අහසේ හා අලුත් පොළොවේ දූතයා කළ සේක. . . . එය සොයා ගත හැකි ස්ථානය උන් වහන්සේ මට පෙන්වූ සේක” යයි වාර්තා ගත ලෙසින් ඔහු පවසා ඇත. එහෙත්, ඉන් විපාක වූ විනාශය තහවුරු කර ඇත්තේ ඊට පටහැනි යමකි. දෙවියන් වහන්සේ විසින් පොරොන්දු වූ ධර්මිෂ්ඨ ‘අලුත් අහසට හා අලුත් පොළොවට’ තවත් ආකාරයක සොයා ගැනීමක් සිදු වන තුරු බලා සිටින්නට සිදු විය.—2 පේතෘස් 3:13.
වර්ෂ 1926 දී, එඩ්වර්ඩ් මැක්කෙන්සි හා ඔහුගේ බිරිඳ, බහමාස් දූපත්වලට පැමිණියහ. ඔවුන්ට පෙර එහි පැමිණි ගවේෂකයන් මෙන් නොව, මෙම නිහතමානි ජැමෙයිකානු යුවළ පැමිණියේ, තමන්ට නිධානයක් බෙදා දිය හැකි අවංක හෘද ඇත්තවුන් සොයමින් ය. මොවුහු දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය බහමාස් දූපත්වලට ගෙනා ප්‍රථමයෝ වූහ. (මතෙව් 13:44; 24:14) එම වසරේ ම, යම් කලකට පසු තවත් ජැමෙයිකානුවන් දෙදෙනෙක් වන ක්ලැරන්ස් වෝල්ටර්ස් හා රේචල් ග්‍රෙගරි ඔවුන්ට එක් වූහ. වර්ෂ 1928 වන විට බහමාස් දූපත්වල රාජ්‍යය ප්‍රචාරකයන් හත් දෙනෙක් සිටියහ. වසර හතරක් පුරා දූපත් වැසියන්ට ශුභාරංචිය දේශනා කිරීමට ඔවුහු වෙහෙසා ක්‍රියා කළහ.
ඉන් පසු ව, බලවත් කථිකයෙක් වූ ඊ. පී. රොබර්ට්ස් ට්‍රිනිඩෑඩ් හි සිට පැමිණියේ ය. ජනප්‍රිය රැස්වීම් ශාලාවල ඔහු දුන් ප්‍රසිද්ධ දේශන බොරු විශ්වාසයන් ඉවත් කළ අතර බොහෝ දෙනෙකුගේ හෘදයන් බයිබල් සත්‍යයෙන් පුබුදුවාලීමට මහත් සේ දායක විය. යථා කාලයේ දී ඩී. ඕ. යනුවෙන් ආදරයෙන් අමතන ලද ඩොනල්ඩ් ඔස්කාර් මරේ ද එම රැස්වීම්වලින් එකක දී අසුන්ගෙන ප්‍රමුදිත ව සවන් දී සිටියේ ය.
දේශනා කටයුත්ත වෙනුවෙන් උපකාරය සඳහා කළ ඔහුගේ උද්යෝගි යාච්ඤා පිළිබඳ ව ඩී. ඕ. මරේ කථා කළ ආකාරය මිෂනාරිවරියක් වන නැන්සි පෝර්ටර්ට හොඳින් මතක ය. වර්ෂ 1947 දී, නැන්සි, හා ඇගේ ස්වාමිපුරුෂයා වූ ජෝර්ජ්, හා තවත් දෙදෙනෙක්, වොච් ටවර් සමිතිය විසින් බහමාස් දූපත්වලට යවන ලද මුල් ම මිෂනාරිවරුන් වූහ. ඇය මෙසේ සිහිපත් කරයි: “අපි ගිය පළමුවන රැස්වීම අපට කිසි දවසක අමතක වෙන්නේ නැහැ. ඊට නව දෙනෙක් හෝ දස දෙනෙක් පැමිණ සිටියා. සහෝදර මරේ සභාපති ව සිටි අතර මිෂනාරිවරුන්ගේ පැමිණීම වෙනුවෙන් යෙහෝවඃ වහන්සේට ස්තුති කරමින්, ඔහු යාච්ඤාවකින් ආරම්භ කළා. උපකාරය ඕනෑ ව තිබුණා කී ඔහු, එනිසා ‘අපි මෙතරම් කාලයකට උපකාරය ඉල්ලා යාච්ඤා කර තිබෙනවා.’ සමිතිය උපකාරය එවීමට පොරොන්දු දුන් අතර දැන් අප මෙහි පැමිණ තිබෙනවා. ඒ යාච්ඤාව කොතරම් සිත් ගත්තේ ද කියතොත් එය අපට එහි නැවතීමේ වැදගත්කමකුත්, කිසි දවසක යළිත් නොයාමට හැඟීමකුත් ඇති කළා.” දැන්, වසර 45ක් පමණ ගත වී ඇතත්, ඇගේ ස්වාමිපුරුෂයා ද මිය ගොසින් තිබුණත්, සහෝදරි පෝර්ටර් තවදුරටත් එම දූපත් වැසියන් වෙත රාජ්‍යයේ සහනදායී පුවත රැගෙන යමින් සිටින්නී ය.
පූර්ණ කාලීන දේව සේවකයන්ගෙන් හා නැව්වලින් දූපත්වලට පැමිණි වෙනත් අයගෙන්, රාජ්‍යය දේශනා සේවය බහමාස් දූපත්වල ඵලදායී වී ඇත්තේ විශේෂයෙන් ම 1947 සිට ය. ශුභාරංචිය දුරස්තර ජනාවාසවලට ගෙන යාමට ඔවුනට බොහෝ විට රැවටිලිකාර වැලි කණ්ඩි හා කුඩා දිය රැලි සහිත නොගැඹුරු තැන් තරණය කර අනතුරුව වතුරේ බැස වෙරළට ගමන් කරන්නට සිදු විය. මුලදී දරන ලද පරිශ්රමයන් අද දවස දක්වා ම ඵල දරමින් තිබේ.
වර්ෂ 1950 දී යම් වැදගත් සිද්ධියක් සිදු විය. එම වසරේ දෙසැම්බර් මාසයේ, එවකට වොච් ටවර් සමිතියේ සභාපති ව සිටි, නේදන් එච්. නෝර් හා ඔහුගේ ලේකම්, මිල්ටන් ජී. හෙන්ෂෙල් පළමු වතාවට බහමාස් දූපත් වෙත පැමිණියහ. ජෙයිල් ඇලෙයි නම් මාවතේ පිහිටි, මදර්ස් ක්ලබ් හෝල් නමැති කුඩා ලී ගොඩනැගිල්ලට රැස් ව සිටි 312 දෙනෙකුට නෝර් කථා කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා දෛනික පුවත් පතක සංස්කාරක ද ඇතුළු සුප්‍රකට අය කීපදෙනෙක් ද එහි පැමිණ සිටියහ. එම රාත්‍රියේ, සහෝදර නෝර් බහමාස් දූපත්වල ශාඛා කාර්යාලයක් පිහිටුවීම ගැන නිවේදනය කළේ ය.
දූපත් වැසියන්ගේ මිත්‍රශීලී ප්‍රතිචාරය
බහමාස් දූපත්වල වෙසෙන මිත්‍රශීලී ජනයා සාමාන්‍යයෙන් රාජ්‍යය පණිවුඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වා ඇත්තාහ. එහෙත්, ඔවුන් සියල්ලන් වෙත ම ළඟා වීම අභියෝගයක් වී ඇත. එය එසේ වන්නේ මන්ද? සැබවින් ම, ජනයාගෙන් වැඩි කොටසක් එහි අගනුවර වන, නසවු හි හා අසල පවතින ග්රේන්ඩ් බහමාස් හි ජීවත් වුවත්, අන්‍යයන් එම දූපත් සමූහය සකසන්නා වූ විශාල වූ දූපත් 15වේ හා දීපිකාවන් හා අතෝල 700න් සමහරකත් විසිරී සිටිත්.
අවශ්‍යතාවය දකිමින්, දේශනා කිරීමේ කටයුත්තට උපකාර කරනු පිණිස, දිනෙන් දින වැඩිවන්නා වූ පළාත් බද සාක්ෂිකරුවන් හා වෙනත් තැන්වලින් පැමිණි බොහෝ දෙනෙක් කුඩා දූපත් ප්‍රජාවන් තුළ පදිංචියට පැමිණ ඇත්තාහ. ප්‍රශංසා කළ හැකි ලෙසින්, ඔවුන් එසේ කර ඇත්තේ සැලකිය යුතු පරිත්‍යාගයන් හා වියදම් දැරීමක් මධ්‍යයෙහි ය. එහෙත් ඔවුන්ගේ වෑයම් සඳහා අපමණ විපාක ලැබී ඇත.
එක් යෞවන යුවළක් ඇන්ඩ්‍රෝස් නම් විශාල දූපතේ පදිංචියට පැමිණියහ. දිනක් ගෙයින් ගෙට යන අතර ඔවුන්ට හෙයිටිවලින් පැමිණි සංක්රාමිකයෙක් හමු විය. බහමාස් දූපත්වල මෙබඳු අය දහස් සංඛ්‍යාවක් ජීවත් වෙති. ඒ පුද්ගලයා කෙළින් ම නිවාස බයිබල් පාඩමකට කැමති විය. පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නම් පොතේ ඉංග්‍රීසි හා ප්‍රංශ පිටපත් භාවිතා කරමින්, එම රාත්‍රියේ ම පාඩමක් පටන් ගනු ලැබී ය. ඊළඟ සන්ධ්‍යවේ, ඔහු ඔහුගේ පළමුවන ක්‍රිස්තියානි රැස්වීමට පැමිණියේ ය. ඉක්මනින් ම, ඒ තැනැත්තා දුම්පානය නවතා, ඉක්මන් ප්‍රගතියක් ලැබ, දේශනා සේවයේ හවුල් වන්නට පටන් ගති.
වසර පහක් පුරා මේ තැනැත්තා හෙයිටි හි ජීවත් වූ සිය පවුලෙන් කිසිවක් අසා නොතිබුණ ද, ඔහු බව්තීස්මය ලබන්නට තිබූ උදෑසන, ඔහුට සිය පවුලෙන් පටිගත කරන ලද ටේප් පටයක් ලැබුණි. ඔවුන්ට කියන්නට තිබුණේ කුමක් ද? ඔවුහු යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බවට පත් වූ ආකාරය විස්තර කළහ. ඔහුගේ සහෝදරිය මේ වන විටත් ස්ථාවර පුරෝගාමියෙක්, නැතහොත් පූර්ණ කාලීන දේශිකාවක් ව සිටින බව, පැහැදිලි කළ අතර සාක්ෂිකරුවන් සොයා ඔවුන් සමඟ බයිබලය පාඩම් කරන ලෙස ඔවුහු ඔහුට අවවාද කළහ. තමන් හරි දෙය කරමින් සිටින බවට පූර්ණ විශ්වාසයක් සහිත ව, ඒ මනුෂ්‍යයා එදින බව්තීස්මය ලද බව, අමුතුවෙන් කිව යුතු නොවේ.
මෙවන් උද්යෝගිමත් ප්රතිචාරයන් පළාත් බද සාක්ෂිකරුවන්ගේ හෘදයන් උණුසුම් කර ඇත. ඔවුන් අතර දිනෙන් දින වැඩි වන්නා වූ සංඛ්‍යාවන් පූර්ණ කාලීන එවැන්ජලිස්තවරුන්ගේ කාර්ය භාරය භාරගෙන ඇති අතර මෙය වර්ධනය සඳහා දායක වී ඇත. එනිසා වර්ෂ 1988 වන විට, බහමාස් දූපත්වල රාජ්‍යය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 1,000 කරා ළඟා විය. අද දින, ඇත්තෙන් ම සියලු ම විශාල දූපත්වල ම වාගේ, විසිරී ඇති සභාවන් 19ක, රාජ්‍යය ප්‍රචාරකයන් 1,300ක් පමණ සිටිති.
අනාගතය සඳහා සූදානම්
සංඛ්‍යාත්මක වශයෙන් ඔවුන් ලබා ඇති වර්ධනය නිසා, සාක්ෂිකරුවන්ට තමන්ගේ වාර්ෂික සමුළු පැවැත්වීමට අවශ්‍ය තරම් පහසුකම් ඇති විශාල ස්ථාන සොයා ගැනීමෙහි දුෂ්කරතා ඇති විය. සෙනඟට ප්‍රමාණවත් වන පරිදි, වෙනස් දූපත් දෙකක සමුළු දෙකක් පැවැත්වීමට සිදු විය. මෙසේ, අලුත් ශාඛා කාර්යාලයක් සමඟ එක්රැස්වීමේ ශාලාවක් ගොඩනැගීමට සැලසුම් සම්පාදනය කරනු ලැබී ය. මෙහි වැඩ 1989 දෙසැම්බර් මාසයේ ආරම්භ විය. ජාත්‍යන්තර හා ප්‍රාදේශීය සේවකයෝ “ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] මෙන් සිතෙන් [මුළු ආත්මයෙන් NW]” එම ව්‍යාපෘතියේ සේවය කළහ.—කොලොස්සි 3:23.
මෙතෙක් බහමාස් දූපත්වල විශාලතම හා ප්‍රීතිමත් ම සාක්ෂිකරුවන්ගේ එක්රොක් වීම, එම අලුත් ශාඛා කාර්යාලය හා එක්රැස්වීම් ශාලාව කැප කරන ලද 1992, පෙබරවාරි 8 හා 9 දිනයන්හි සිදු වූ බව නිසැක ය. දූපත්වල සියලු කොටස්වල වෙසෙන සහෝදරයන් එම සිද්ධියට සූදානම් වෙත් ම උත්සුක බලාපොරොත්තුව වැඩි වන්නට විය. කාලගුණය අසාමාන්‍ය ලෙස සිසිල් ව තිබූ අතර කැප කිරීමට පෙර දින රාත්‍රියෙහි වැසි ඇදහැලුනි. එහෙත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ජෝන් ඊ. බාර්, “දිව්යාණ්ඩුවේ වර්ධන ගීතය” නම් කැප කිරීමේ දේශනය ඉදිරිපත් කරත් ම, ඊට සහභාගි වූ ප්‍රමුදිත 2,714කගේ ප්‍රීතිය ඒ කිසිවකට, අඩු කළ නොහැකි විය.
මෙවන් ප්‍රීතිමත් මෙන් ම පොලඹවන සුලු අවස්ථාවක් සඳහා ස්වර්ගීය පියාණන් වන, යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි වූ කෘතඥ පූර්වක භාවයකින් හදවත් උතුරා ගියේ ය. එහි පැමිණි සිටි අය භෞතික වැඩීම සඳහා අවශ්‍ය කරවන ආත්මික ඉගැන්වීමේ කාර්යයට තමන්ගේ පූර්ණ ශක්තිය යෙදවීමට වඩා දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්හ.
කොලොම්බස්ගේ සොයා ගැනීම මෙම දූපත් වැසියන්ගේ යහපතට දායක වූ වර්තන ලක්ෂයක් දැයි තවදුරටත් විවාදයට භාජනය වන්නට පුළුවන. එහෙත්, බහමාස් දූපත්වල වෙසෙන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, නොදන්නා තැන්වලට නිර්භීත ව ගමන් කරන්නට තමන්ගේ ආත්ම පරිත්‍යාගි ස්වභාවය තමන් ව පෙලඹ වූ රාජ්‍යය ප්‍රචාරකයන් සැපයීම සඳහාත්, මහිමාන්විත ශුභාරංචිය ආත්මික වශයෙන් නැවුම් ප්‍රදේශයන් කරා ගෙන ඒම සඳහාත් දෙවියන් වහන්සේට එක්සත් ව කෘතඥ පූර්වක වෙති. ඔවුන්ගේ සේවය හා “සොයා ගැනීම” බහමාස් දූපත්වල වෙසෙන සත්‍යය සොයන සියල්ලන්ට නොසැසඳිය හැකි ආත්මික සම්පත් ලබා දීමෙහි විපාක වී ඇත.
[පින්තූර]
පිදුරු වෙළෙඳාම් පොළේ දේශනා කිරීම
ශුභාරංචිය බෙදා ගැනීමට ජල තරණය කරමින් වෙරළට ගමන් කිරීම
ශාඛා කාර්යාලය එක්රැස්වීමේ ශාලාවට මුහුණ ලා කන්දක් මත ඉදිකර ඇත