සහනාධාර සැපයීම ක්‍රිස්තියානි ප්‍රේමය පිළිබිඹු කරයි
“සහෝදර සමාගමට ප්‍රේමකරපල්ලා” යයි ප්‍රේරිත පේතෘස් සිය සෙසු ක්රිස්තියානින්ගෙන් උදක් ම ඉල්ලා සිටියේ ය. (1 පේතෘස් 2:17) එවන් ප්‍රේමයක් ජනයා ව අව්‍යාජ සහෝදරත්වයක් තුළ ඒකරාශී කරමින් වාර්ගික, සමාජයීය හා ජාතික සීමාවන් පසු කර යා යුතු ව තිබිණ. මුල් ක්‍රිස්තියානින් තුළ ද්‍රව්‍යවාදී අවශ්‍යතාවයන් පැන නැගුන කල, අවශ්‍යතාව ඇත්තවුන් අතර බෙදා හැරීම සඳහා ප්‍රේරිතවරුන්ට සම්මාදම් දීමට ප්‍රේමය බොහෝ දෙනෙකු ව පෙලඹවී ය. “සියල්ලෝ . . . සියලු දේ පොදුවේ තබාගත්තෝය” යයි වාර්තාව පවසයි.—ක්‍රියා 2:41-45; 4:32.
වර්ෂ 1991 දී, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය, පැරණි සෝවියට් සංගමයේ ඇතැම් කොටස් ද ඇතුළු ව, නැගෙනහිර යුරෝපයේ වෙසෙන අවශ්‍යතාවය ඇති සිය සහෝදරයන්ට කෑම බීම ඇඳුම් පැළඳුම් සපයන ලෙස බටහිර යුරෝපයේ ඇති වොච් ටවර් සමිතියේ ශාඛා කිහිපයකට ආරාධනා කළ විට, එවන් ප්‍රේමයක් ප්රත්යක්ෂ විය. මීට සම්බන්ධ වූ සමහරක් ශාඛාවලින් ලැබුණු වාර්තා අපි මෙහි ඉදිරිපත් කරන්නෙමු.
ස්වීඩනය
වර්ෂ 1991 දෙසැම්බර් 5වන දින, අවශ්‍යතාවය විස්තර කරන ලිපියක් ස්වීඩනයේ ඇති සභා 348ට ම තැපැල් කරනු ලැබී ය. ක්ෂණික ප්‍රතිචාරයක් ලැබුණි. දින ස්වල්පයක් ඇතුළත, පිටි ටොන් 15ක්, පිසීමට ගන්නා තෙල්, ටින්වල අහුරන ලද මස්, පිටි කිරි වැනි දෑ පුරවන ලද පළමු අර්ධට්රේලරය, රුසියාවේ සැන් පීටර්ස්බර්ග් බලා ගමන් ඇරඹී ය. එහි වෙසෙන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ට්‍රක් රථය හිස් කර, ඉක්මනින් ම අවශ්‍යතාවය ඇත්තවුන්ට බඩු මිටි 750 බෙදා දුන්හ. පසු ව, තවත් අර්ධට්රේලර් දෙකක් මගින් රුසියාවට බඩු ප්‍රවාහනය කරනු ලැබී ය. සමස්තයක් වශයෙන්, ස්වීඩනයෙන් ටොන් 51.5කට වැඩි ප්‍රමාණයක් නැව්ගත කරනු ලැබී ය.
ඇඳුම් හා පාවහන් පරිත්‍යාග කිරීමට වූ කැමැත්ත බලාපොරොත්තු වූ ප්‍රමාණය ඉක්මවා ගියේ ය. ඇඳුම් පෙට්ටි ගොඩවල් වේගයෙන් රාජ්‍යය ශාලාවල ගොඩ ගැසෙන්නට විය. බොහෝ ක්‍රිස්තියානිහු තමන්ගේ ම ඇඳුම් පරිත්‍යාග කළහ. අන් අය අලුත් දේවල් මිලට ගත්හ. එක් සහෝදරයෙක් සූට් පහක් මිල දී ගත්තේ ය. ඉන් පුදුමයට පත් වෙළෙඳසල් හිමියා අරමුණ දැනගත් විට, තවත් සූට් පහක් පරිත්‍යාග කළේ ය. තවත් සහෝදරයෙක් මේස්, අත්මේස්, හා කර ලේන්සු පෙට්ටියක් මිල දී ගත්තේ ය. ඔහුගේ අරමුණ පැහැදිලි කළ විට, අයිතිකරුවා අලුත් සූට් 30ක්, සූට් 2ක මිලට පිරිනැමී ය. එක්තරා ක්‍රීඩා භාණ්ඩ වෙළෙඳසල් හිමියෙක් අලුත් පාවහන් හා බූට්ස් ජෝඩු 100ක් පරිත්‍යාග කළේ ය.
මේ ද්‍රව්‍ය සියල්ල ඉන් අනතුරුව, වර්ගීකරණය කර, නැවත අහුරා, පැටවීම පිණිස ශාඛාවට ගෙනෙනු ලැබී ය. අර්ධට්රේලර් 40ක අල්ලන ප්‍රමාණයට සමාන—ඇඳුම්, ශාඛාවේ විශාල ප්‍රදේශයක ගොඩගසා තිබුණි! පුරුෂයන්ට, කාන්තාවන්ට, හා දරුවන්ට යනාදි වශයෙන් බෙදා වෙන්කර මළුවල ඇහිරීම සඳහා සහෝදර සහෝදරියෝ සති ගණනාවක් වැඩ කළහ. ඒ ඇඳුම් ආරක්ෂා සහිත ව රුසියාවටත්, යුක්රේනියාවටත්, හා එස්ටෝනියාවටත් ගෙන යාම සඳහා වෙනස් අර්ධට්රේලර් පහළොවක් යොදා ගනු ලැබී ය.
පැරණි සෝවියට් සංගමයට සමිතියේ ට්‍රක් රථය අට වාරයක් පදවාගෙන ගිය සහෝදරයෙක් මෙසේ පැවසී ය: “ගමනාන්තයේ අපගේ සහෝදරයන් අප ව පිළිගත් ආකාරය මහත් විපාකයක් විය. ඔවුහු අප ව සිප වැළඳ ගත් අතර ඔවුන්ට දේවල් හිඟ ව තිබියදීත්, ඔවුහු නිර්ලෝභී භාවයේ මාහැඟි පාඩමක් අපට දුන්හ.”
ෆින්ලන්තය
ෆින්ලන්තයේ දැඩි ආර්ථික පසුබැස්මක්, පුළුල් ව පැවති රැකියා විරහිත භාවයක්, හා ආර්ථික ගැටලු තිබුණ ද, පැරණි සෝවියට් සංගමයේ වෙසෙන සිය සහෝදරයන්ට උපකාර කිරීමට, දළ වශයෙන් 18,000ක් පමණ වන ෆින්ලන්ත සහෝදරයන් තුළ තිබූ කැමැත්ත ඉමහත් ය. ඔවුහු විශාල පෙට්ටි 4,850ක ආහාර ටොන් 58ක් සැන් පීටර්ස්බර්ග්, එස්ටෝනියා, ලැට්වියා, ලිතුවේනියා, හා කාලිංන්ග්රෑඩ් වෙතට යැවූහ. ඔවුහු ට්‍රක් රථවල හිස් ව තිබූ තැන් ඇඳුම් ඝන අඩි 420කින් පිරවූහ. පාවිච්චි කරන ලද මෝටර් රථ හා වෑන් රථ 25ක් පමණ ද රාජ්‍යය වැඩවල පාවිච්චිය සඳහා පරිත්‍යාග කරනු ලැබී ය.
ආහාර පෙට්ටිවලින් සමහරක් සැන් පීටර්ස්බර්ග් ප්‍රදේශයේ ස්ලැන්ටෙහි ප්‍රචාරකයන් 14 දෙනෙකුගෙන් යුත් සභාවකට ලැබුණි. ඔවුහු ලිපියක් ලියමින් මහත් අගැයීමක් ප්‍රකාශ කළහ. “අපගේ සභාවේ වයස්ගත සහෝදරියන් දසදෙනෙක් සිටිති. අපගෙන් බොහෝ දෙනෙක් බරපතළ ලෙස රෝගාතුර ව සිටින අතර ආහාර ගැනීම පිණිස පැය ගණන් පෝලිම්වල සිටිය නොහැකි ය. කෙසේ වෙතත්, අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ මෙම දුෂ්කර කාලවල අධෛර්යවත් වීමට කිසි ම හේතුවක් නොදෙනමුත්, අපගේ හදවත් ප්‍රීතියෙන් පුරවන සේක. අපි නිවාස බයිබල් පාඩම් 43ක් පවත්වන්නෙමු.” සැන් පීටර්ස්බර්ග් හි සහෝදරියක් සහනාධාර පාර්සලය ලද විට, ඇගේ හැඟීම්වලට එය කොතරම් බලපෑවා ද කිවහොත්, එය විවෘත කරන්නට පෙර ඇය පැය දෙකකට ඇඬුවා ය.
ඩෙන්මාර්කය
බෝල්ටික් මුහුදට ඇතුල් වන තැන පිහිටි මෙම කුඩා රටේ වෙසෙන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් 16,000ක් පමණ එකතු වී, ආහාර ටොන් 64කින් යුත් පෙට්ටි 4,200කුත්, උසස් වර්ගයේ ඇඳුම් පෙට්ටි 4,600කුත්, අලුත් පාවහන් ජෝඩු 2,269කුත් අඩංගු ට්‍රක් රථ 19ක් යුක්රේනියාවට යැවූහ. ජර්මනියේ වෙසෙන සහෝදරයෙක් මේ සඳහා පාවිච්චිය පිණිස ට්‍රක් රථ පහක් එම ශාඛාවට දුන් අතර, ඔහු අනතුරුව ඒවා යුක්රේනියාවේ සහෝදරයන්ට පරිත්‍යාග කළේ ය. සිය රටට ආපසු පැමිණෙමින් සිටි එක් රියැදුරෙක් මෙසේ පැවසී ය: “අප ගෙන ගියාට වැඩි යමක් රැගෙන පැමිණි බව අපි සොයා ගත්තෙමු. යුක්රේනියාවේ වෙසෙන අපගේ සහෝදරයන් විසින් පෙන්වන ලද ප්‍රේමයත්, පරිත්‍යාගී ස්වභාවයත් අපගේ ඇදහිල්ල අතිශයින් ශක්තිමත් කළේ ය.”
එම රියැදුරන්ට පැරණි සෝවියට් සංගමයේ මාවත්වල සිටි සොරුන් ගැන පරීක්ෂාකාරී ව සිටින්නට සිදු විය. ඩෙන්මාර්ක් ට්‍රක් රථවලින් එකක් එම ප්‍රදේශය හරහා ගමන් කරන්නට දින කීපයකට පෙර, එම මාර්ගයේ සොරකමක් සිදු වී තිබුණි. මෙහි දී වෙනත් සහනාධාර සංවිධානයකට අයත් ට්‍රක් රථ පහක්, හෙලිකොප්ටර් හා අර්ධ ස්වයංක්‍රීය තුවක්කු යොදා ගෙන සොරුන් විසින් නවතා තිබුණි. ඔවුහු එහි රියැදුරන් ව මාර්ගයේ දමා, ට්‍රක් රථ පහ ම රැගෙන ගියහ. මෙවන් අවදානමක් තිබුණ ද, ඩෙන්මාර්ක් ශාඛාවෙන් එවන ලද සියලු ම සැපයුම් ආරක්ෂා සහිත ව සහෝදරයන් කරා ළඟා විය. ආපසු හැරී යන විට, ඔවුහු මහත් ආයාසයක් දරා ඉංග්‍රීසි බසින් ලියන ලද මෙම සටහන එක් රියැදුරෙකුට භාර කළහ: “හිතවත් ඩෙන්මාර්ක් සහෝදර සහෝදරියෙනි, අපට ඔබගේ ආධාර ලැබුණා. යෙහෝවඃ වහන්සේ ඔබට විපාක දෙනවා ඇති.”
නෙදර්ලන්තය
නෙදර්ලන්ත ශාඛාව පාර්සල් 2,600ක ආහාර ටොන් 52ක් යැවී ය. ඒවා යුක්රේනියාවට ට්‍රක් රථ සමූහ දෙකකින් ප්‍රවාහනය කරනු ලැබී ය. අවස්ථා දෙකේ දී ම එම ට්‍රක් රථ හය එතැන දමා ගොස් ආපසු පැමිණි අතර එසේ කරනු ලැබුවේ ජර්මනියේ සහෝදරයන් විසින් නැගෙනහිර යුරෝපාකරයේ රාජ්‍යය වැඩ සඳහා ඒවා පරිත්‍යාගයන් වූ නිසා ය. යුක්රේනීය සහෝදරයෝ එම ආහාරවලින් වැඩි ප්‍රමාණයක් වැඩිමනත් අවශ්‍යතාවයක් තිබූ මොස්කෝවට, සයිබීරියාවට, හා වෙනත් තැන්වලට යැවූහ. එපමණක් නොව, ඇඳුම් හා පාවහන් ඝන අඩි 26,000ක් ලන්දේසි සහෝදරයන් විසින් පරිත්‍යාග කරනු ලැබී ය. ඒවා පුද්ගලික මෝටර් රථයකින් ආරක්ෂාව සපයන ලද ට්‍රක් රථ 11කින්, යුක්රේනියාවේ ලවීෆ් වෙත ගෙනෙනු ලැබී ය.
ජර්මනිය හා පෝලන්තය හරහා දීර්ඝ ගමනකින් පසු, එම ට්‍රක් රථ කිසිදු අපහසුවක් නොමැති ව යුක්රේනියාවේ රේගුවෙන් අනුමතවී, පෙ.ව. 3.00ට ලවීෆ් අවට ප්‍රදේශය කරා ළඟා විය. එහි රියැදුරන් මෙසේ වාර්තා කළහ: “ටික වේලාවක් ඇතුළත, ට්‍රක් රථය ගොඩබෑම සඳහා සහෝදරයන් 140කින් යුත් බලඇණියක් එහි සිටියහ. වැඩ අරඹන්නට පෙර, මෙම යටහත් පහත් සහෝදරයෝ එක්සත් යාච්ඤාවක් ඉදිරිපත් කිරීමෙන්, යෙහෝවඃ වහන්සේ කෙරෙහි සිය රඳා පැවැත්ම පෙන්වූහ. වැඩ අවසන් වූ විට, යෙහෝවඃ වහන්සේට ස්තුති යාච්ඤාවක් ඔප්පු කිරීමට ඔවුහු අප ව යළිත් එක්රැස් කළහ. තමන්ට තිබූ ටිකෙන් බහුල ලෙස දුන්නා වූ, එහි වෙසෙන සහෝදරයන්ගේ ආගන්තුක සත්කාරය භුක්ති විඳීමෙන් පසු, ඔවුහු අපත් සමඟ ප්‍රධාන මාර්ගය දක්වා පැමිණි අතර, එහි දී ඔවුන් අපෙන් සමුගැනීමට පෙර මාර්ගයේ පැත්තක යාච්ඤාවක් ඔප්පු කළහ.
“ආපසු එන ගමනේ දී, සිදු වූ දේවල් ගැන කල්පනා කරන්නට බොහෝ දේ තිබුණි: ජර්මනියේ හා පෝලන්තයේ මෙන් ම ලවීෆ් හි අපගේ සහෝදරයන්ගේ ආගන්තුක සත්කාරශීලී ස්වභාවය; ඔවුන්ගේ ප්‍රබල ඇදහිල්ල හා යාච්ඤා පූර්වක ආකල්පය; තමන්ට ම අවශ්‍යතාවක් ඇති තත්ත්වයක සිටිය දී, නවාතැන් හා ආහාර සැපයීමේ ඔවුන්ගේ ආගන්තුක සත්කාරශීලීත්වය; එකිනෙකා කෙරෙහි ඇති ඔවුන්ගේ එක්සත් භාවයේ හා සමීපත්වයේ විදහා පෙන්වීම; හා ඔවුන්ගේ කෘතඥ පූර්වකත්වය. ඉතා බහුල ලෙස පරිත්‍යාග කර තිබූ, අපගේ ම දේශයේ සිටින සහෝදර සහෝදරියන් ගැන ද අපි කල්පනා කළෙමු.”
ස්විට්සර්ලන්තය
ස්විට්සර්ලන්ත ශාඛාව යාකොබ් 2:15, 16න් උපුටා දක්වමින් එහි වාර්තාව ආරම්භ කරයි: “සහෝදරයෙක් නොහොත් සහෝදරියෙක් ඇඳුම් නැතුව, දවස්පතා කෑම නැතුව සිටිද්දී, නුඹලාගෙන් යමෙක්: සමාදානයෙන් පලයල්ලා, උණුහුම්වෙයල්ලා, කෑම කා තෘප්තියට පැමිණියල්ලායයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප්‍රයෝජනයක්ද?” ඉන් අනතුරුව එම වාර්තාව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි: “පාලක මණ්ඩලය අවශ්‍යතාව ඇති අපගේ සහෝදරයන්ට ද්‍රව්‍යාධාර සපයන ලෙස අපෙන් ඉල්ලා සිටි විට, මෙම ශුද්ධ ලියවිලි වගන්තිය මතක් විය.
“සෑම කෙනෙක් ම වහා ක්‍රියාත්මක වූහ! යුක්රේනියාවේ වැඩ සඳහා ජර්මනියෙන් පරිත්‍යාග කරන ලද ට්‍රක් තුනක් සමඟින් දින දෙකකින් පාර්සල් 600ක අහුරන ලද ආහාර ටොන් 12ක් එහි යවනු ලැබී ය. සියල්ල ආරක්ෂා සහිත ව ලැබුණු බවට වූ පුවත මෙහි සිටින සහෝදරයන් තුළ මහත් ප්‍රීතියක් ඇති කළේ ය. මේ අතර, සභාවන් ඇඳුම් එකතු කළ අතර, ඉක්මනින් ම අපගේ ශාඛාව පෙට්ටි, සූට්කේස් හා මළුවලින් පිරී ඉතිරී තිබුණි! ළමා ඇඳුම් තිබූ ඒවායේ, ඈත උතුරේ වෙසෙන නාඳුනන මිත්‍රයන් සඳහා ස්විට්සර්ලන්ත දරුවන්ගෙන් වූ සෙල්ලම් භාණ්ඩ ද අඩංගු ව තිබුණි. ඇඳුම් අතර බොහෝ චොකලට් ද අහුරනු ලැබී ය.”
මේ සියල්ල එහි යැවිය හැක්කේ කෙසේ ද? වාර්තාව මෙසේ පවසයි: “අර්ධට්රේලර් දෙකක් හා රියැදුරන් හතර දෙනෙක් අපගේ සේවය සඳහා වෙන් කරමින්, ප්‍රංශ ශාඛාව අපට සහය විය. මීට අමතර ව, යුක්රේනියාවට ටොන් 72ක් යැවීම සඳහා, අපගේ ශාඛාවට අයත් එක් ට්‍රක් රථයක් හා දේශීය සහෝදරයන්ට අයත් ට්‍රක් රථ හතරක් අවශ්‍ය විය.” අඩි 500ක් දිගැති, එම රථ පේළිය, ආරක්ෂා සහිත ව ලවීෆ් ගබඩාවට ළඟා වූ අතර, ඒවා ගොඩබෑම පිණිස එම දේශයට අයත් සහෝදරයන් සිය දෙනෙක් බලා සිටියහ. ඔවුන්ගේ මුහුණුවල මහත් අගැයීමක් දක්නට තිබූ බැවින්, භාෂා ප්රශ්නය බාධාවක් නොවූ බව එම රියැදුරෝ වාර්තා කළහ.
ඔස්ට්‍රියාව
ඔස්ට්‍රියානු සහෝදරයන් යුක්රේනියාවේ ලවීෆ් හා උස්ගොරොඩ් වෙතට ආහාර ටොන් 48.5ක්, ඇඳුම් පෙට්ටි 5,114ක් හා පාවහන් ජෝඩු 6,700ක් යැවූහ. ඔවුන් වැඩිදුරටත් ආහාර ටොන් 7ක්, ඇඳුම් පෙට්ටි 1,418ක් හා පාවහන් ජෝඩු 465ක් පැරණි යුගෝස්ලාවියාවේ බෙල්ග්‍රේඩ්, මොස්ටාර්, ඔසිජෙක්, සරායෙවෝ, හා සාග්‍රෙබ් යනාදි තැන්වලට ද යැවූහ. ශාඛා වාර්තාව මෙසේ පවසයි: “අප අර්ධට්රේලර් 12ක් පිරවූ අතර ඒවාට සැතපුම් 21,000ක් ගමන් කරන්නට සිදු විය. මෙම ප්‍රවාහනය කිරීමේ වැඩි කොටසක් කරනු ලැබුවේ බඩු ප්‍රවාහන ව්‍යාපාරයක් සතු සහෝදරයෙක් හා ඔහුගේ පුත්‍රයා විසිනි.”
පරිත්‍යාග කරන ලද ඇඳුම් සම්බන්ධයෙන් බලන කල, එම වාර්තාව තවදුරටත් මෙසේ ද පවසයි: “අපි රැස්වීම් ශාලාවක් ප්‍රධාන ගබඩාව ලෙස පාවිච්චි කළෙමු. ඉඩ මදිවන තෙක් පුරවන ලද ට්‍රක් රථ ගලා එන්නට විය. මෝසෙස්ගේ දවස්වල දී මෙන්, තවත් ගෙන ඒමෙන් ජනයා ව වළක්වන්නට සිදු විය. (නික්මයාම 36:6) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් නොවන ඇතැම් අය ද මුදල් පරිත්‍යාග කළහ. ‘ඊට හේතුව මෙයාකාරයෙන් අවශ්‍යතාවය ඇත්තවුන්ට ඒවා ලැබෙන බව අපි දනිමු’ යයි ඔවුහු පැවසූහ. අපට ඉතා අවශ්‍ය ව තිබූ පෙට්ටි ද කිසි ගෙවීමකින් තොර ව ලෝකයේ සමාගම්වලින් ලබා ගත හැකි විය.” ඒවා වර්ගීකරණය කර ඇහුරූ සහෝදර සහෝදරියන්, අවුරුදු 9 සිට 80 දක්වා වයස් ගත අය වූහ. ඔවුහු ඒ එක් එක් සූට් එකට ඔබින ටයි පටිය පවා ගැලපීමට වෑයම් කළහ.
“සෑම සැපයුමක් ම එතරම් අපහසුවක් නොමැති ව කළ හැකි ලෙසින්, විවිධ සහනාධාර ප්රවාහනයන්ට අවසර දීමෙනුත්, අවශ්‍ය ලියකියවිලි සපයා දීමෙනුත් ඔස්ට්‍රියාවේ හා දේශ සීමාවන්හි අධිකාරීහු ඉතා උපකාරශීලී වූහ” යයි ද එම වාර්තාව පවසයි.
ඉතාලිය
රෝමයෙන් ආහාර ටොන් 188ක් විශාල ට්‍රක් රථ සමූහ දෙකකින් ඔස්ට්‍රියාව, චෙකොස්ලොවැකියාව, හා පෝලන්තය හරහා පැරණි සෝවියට් සංගමයට යවනු ලැබී ය. ඒ සෑම ට්‍රක් රථ සමූහයකට ම රියැදුරන් හයදෙනෙක්, කාර්මිකයෙක්, මෝටර් රථ විදුලි කාර්මිකයෙක්, භාෂා පරිවර්තකයෙක්, බඩු භාර දෙන්නෙක්, ආහාර පිසින කෙනෙක්, වෛද්‍යවරයෙක් හා ජීප් රථයකින් ගමන් කළ ගමන් නායකයෙක් මෙන් ඇදගෙන යා හැකි තාවකාලික වාස රථයක් ඇති සහෝදරයෙක් අයත් වූහ.
ආහාර, සැපයුම් සමාගම් හතකින් ගනු ලැබී ය. එම ශාඛාව මෙසේ වාර්තා කරයි: “අපට සැපයුම් කරන අය ඊට හේතුව දැන ගත් විට, සමහරෙක් හවුල් වන්නට කැමැත්ත ප්‍රකාශ කළහ. පස්ටා හා සහල් රාත්තල් සිය ගණනක් මෙන් ම අහුරන පෙට්ටි, ලෝකයේ සැපයුම්කරුවන් විසින් පරිත්‍යාග කරනු ලැබී ය. තවත් අය ට්‍රක් රථ සඳහා හිම මත රථ ධාවනය කිරීමට යොදන ටයර් පරිත්‍යාග කළහ, නැතහොත් මුදල් සම්මාදම් දීමට ඉදිරිපත් වූහ.
“ඉතාලියේ සහෝදරයන් උපකාර කිරීමට ලැබුණ මෙම ප්‍රස්තාව අගය කළහ. දරුවන්ට ද දායක වීමට කැමැත්තක් තිබිණ. අවුරුදු-පහක්-වයසැති පිරිමි දරුවෙක්, ‘රුසියාවේ සහෝදරයන් සඳහා අහස තරම් උසැති බලමාලු ටින් එකක්’ මිල දී ගැනීමට සෑහේ යයි තමා බලාපොරොත්තු වූ කුඩා සම්මාදමක් එව්වේ ය. කුඩා දැරියක් පාසලේ තමා ලද ඉහළ ලකුණු සංඛ්‍යාවන් නිසා, ඇයගේ මව්පියන්ට තෑග්ගක් මිල දී ගැනීමට තම ආච්චි හා සීයාගෙන් යම් මුදලක් ලැබුවා ය. ‘එහෙත්, මට අනුභව කිරීමට තිබෙන හොඳ දේවල් සියල්ල මාගේ සහෝදරයන් බොහෝ දෙනෙකුට නොමැති බව මා ඇසූ විට, මට මාගේ දෙමව්පියන් සඳහා මිල දී ගත හැකි හොඳ ම තෑග්ග එම සහෝදරයන්ට උපකාර කිරීම යයි මම කල්පනා කළෙමි.’ ඇය සෑහෙන මුදල් ප්‍රමාණයක් සම්මාදම් පෙට්ටියේ දැමුවා ය. ‘මට වැඩි මුදල් ප්‍රමාණයක් යැවීමට හැකි වනු පිණිස, මම උසස් ලකුණු ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි’ යයි ඇය පැවසුවා ය.” යුක්රේනියාවේ සහෝදරයන්ගෙන් ලැබුණ උණුසුම් අගැයීමේ ලිපිත්, ඉතාලියානු සහෝදරයන්ගේ බොහෝ අගැයීමේ වදනුත්, එමෙන් ම සැපයුම් සූදානම් කිරීමේ හා ගෙන ගොස් භාර දීමේ මාහැඟි අත්දැකීමත් පොලඹවන, දිරිගන්වන, හා එක්සත් කරවන සුලු වූ බව පවසමින් එම ශාඛා වාර්තාව අවසන් වේ.
නියෝජිතයන් දහස් සංඛ්‍යාවක් සඳහා ආහාර
පැරණි සෝවියට් සංගමයේ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පළමු ජාත්‍යන්තර සමුළුව 1992 ජූනි 28-30 දක්වා රුසියාවේ, සැන් පීටර්ස්බර්ග් හි කිරොව් ක්‍රීඩාංගනයේ පවත්වනු ලැබී ය. “ආලෝකය දරන්නෝ” යන තේමාවෙන් පවත්වන ලද මෙම සන්ධිස්ථානයක් බඳු සමුළුවට, රටවල් 28කින් පැමිණි නියෝජිතයන් 46,200ක් සහභාගි වූහ. එය මුළු “සහෝදර සමාගමට” වූ ක්‍රිස්තියානි ප්‍රේමය විදහා පෙන්වීමට තවත් ප්‍රස්තාවක් පිරිනැමී ය.—1 පේතෘස් 2:17.
ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය, හා බටහිර යුරෝපයේ වෙනත් රටවලින් එවන ලද ටොන් ගණන් ආහාර, පැරණි සෝවියට් සංගමයේ සමුළු නියෝජිතයන් දහස් සංඛ්‍යාවකට සමුළුවේ දී අනුභව කිරීම පිණිස නොමිලේ බෙදා දෙනු ලැබී ය. අවසාන සැසිවාරයෙන් පසු ඔවුන් ඉවත් ව යන විට, ගමනේ දී අනුභව කිරීමට ඔවුන්ට ආහාර පාර්සලය බැගින් ද දෙනු ලැබී ය.
මෙහි සඳහන් වාර්තා, දීම එක් පැත්තකට පමණක්, එනම් නැගෙනහිරට පමණක් ගලා ගොස් නැති බව පෙන්වයි. දීමේ හුවමාරුවක් සිදු වී ඇත, එසේ ය, ආහාර හා ඇඳුම් නැගෙනහිරට ගලා ගොස් ඇත. එහෙත් අසංඛ්‍යාත හද උණුසුම් කරවන ප්‍රේමයේ ප්‍රකාශයන් මෙන් ම පීඩනයේ හා දුෂ්කරත්වයේ දශකයන් තුළ යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකයන් දහස් සංඛ්‍යාවකගේ දෘඪෝත්සාහය හා ඇදහිල්ල පිළිබිඹු කරමින් ඇදහිල්ල ප්‍රබෝධවත් කරවන අත්දැකීම්, බටහිර දෙසට ඇදී ගොස් ඇත. මෙසේ, දෙපැත්ත ම “ගැනීමට වඩා දීම ආශීර්වාදයකැයි [සන්තෝෂදායකැයි NW]” යන යේසුස් වහන්සේගේ වදන්වල සත්‍යතාව අත්දැක ඇත.—ක්‍රියා 20:35.
[21වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]
1. ෆින්ලන්තයෙන්: ස. පීටර්ස්බර්ග්; රුසියාවේ, ටාල්ඉන් හා ටාර්ටු; එස්ටෝනියාවේ, රිගා; ලැට්වියාවේ, විල්නියස් හා කවුනස්; ලිතුවේනියාවේ, කාලින්ග්රාඩ්; රුසියාවේ, පෙට්රෝසාවොඩ්ස්, කාරෙලියාවේ
2. නෙදර්ලන්තයෙන්: යුක්රේනියාවේ, ලවීෆ්
3. ස්වීඩනයෙන්: රුසියාවේ, සැන් පීටර්ස්බර්ග්; යුක්රේනියාවේ, ලවීෆ්; රුසියාවේ, ඥෙවිනාමිසක්
4. ඩෙන්මාර්කයෙන්: රුසියාවේ, සැන් පීටර්ස්බර්ග්; යුක්රේනියාවේ, ලවීෆ්
5. ඔස්ට්‍රියාවෙන්: යුක්රේනියේ, ලවීෆ්; සාග්‍රෙබ් හි බෙල්ග්‍රේඩ්, මොස්ටාර්, ඔසිජෙක්, සරායේවෝ (පැරණි යුගෝස්ලාවියාවේ)
6. ස්විට්සර්ලන්තයෙන්: යුක්රේනියාවේ, ලවීෆ්
7. ඉතාලියෙන්: යුක්රේනියාවේ, ලවීෆ්
[23වන පිටුවේ පින්තූර]
ස්වීඩනයේ ශාඛාවේ ඇති ඇඳුම් පෙට්ටි
සහනාධාර පැටවීම
එක් පාර්සලයක ආහාර ද්‍රව්‍ය
ඩෙන්මාර්කයෙන් එවන ලද බේකන් හා හැම්
ට්‍රක් රථ 11ක් හා මෝටර් රථ 1කින් යුත් රථ සමූහය
ඔස්ට්‍රියා ශාඛාවේ පාර්සල් හා ඇදුම් අහුරන පෙට්ටි
යුක්රේනියාවේ, ලවීෆ් හි ට්‍රක් රථ ගොඩබාන විට