රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
ඔවුහු තමන්ගේ ජීවිත ක්‍රමය වෙනස් කර ගත්හ
ඔවුන් පාරවල් මත අන්‍යයන් සමඟ කථා කරනු, ගෙයින් ගෙට යමින් උනන්දුව දක්වන අය හමුවනු, එසේත් නැතහොත් තමන්ගේ රාජ්‍යය ශාලාවල ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙනු ඔබ දැක ඇති බව නිසැක ය. අප කථා කරන්නේ මනාව ඇඳ පැළඳ ගත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ගැන ය. ඔවුන්ගේ මව්පියන් ඔවුන්ට එයාකාර වන්නට ඉගැන් වූ නිසා ඔවුන් සාක්ෂිකරුවන් ව සිටින්නේ යයි ඔබ නිගමනය කළ හැකි අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සම්බන්ධයෙන් ද සිදු ව ඇත්තේ එම දෙය ම ය. අනෙක් අතට, අතිශය වෙනස් පසුබිමක් ඇත්තා වූ ද, පෙර ජීවිතය දැන් ගත කරන ජීවිතයට වඩා සහමුලින් ම වෙනස් වූ ද යෞවනයන් සමහරෙක් මොවුන් අතර සිටිත්. ඇත්ත වශයෙන් ම, මීළඟ පිටුවේ පෙන්වා ඇති අය, අපරාධ හා මත් ද්‍රව්‍ය ඇබ්බැහිය එදිනෙදා සිදුවීමක් ව තිබූ කණ්ඩායම් සමඟ ඇසුරු කළ අය ව සිටියහ. මෙතරම් පූර්ණ ආකාරයකට තමන්ගේ ජීවිත වෙනස් කිරීමට ඔවුන් ව පෙලඹ වූයේ කුමක් ද? අපි නොර්වේ රටේ නගරයකට ගොස්, මෙවන් වෙනස්කම් කළ සමහරක් යෞවනයන් හමුවෙමු.
වෙනස්කම සඳහා අත්තිවාරම
ගෙයින් ගෙට සේවයේ දී සාක්ෂිකරුවන් දෙදෙනෙකුට ඇනටි හමු වූ විට, ඇයගේ වයස අවුරුදු 19කි. “යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ කථා නොකරන ලෙස මට බොහෝ වර පවසා තිබුණ ද, කරුණු දැනගැනීමට මා තුළ මහත් කුතුහලයක් තිබූ බැවින්, මම ඔවුන් ව ඇතුළට ආරාධනා කළෙමි” යයි ඇය මතකයට නගයි. ඇය වයස අවුරුදු 11 පටන්, මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නියක් ව සිටි අතර ගෙවල් බිඳ සොරා ගැනීම් හා මෝටර් රථ සොරකම් කීපයකට ද ඇය හවුල් වී තිබුණි.
රාජ්‍යයේ ශුභාරංචිය ඇයගේ සිත් ඇද ගත්තේ ය. වයස අවුරුදු පහක් ව තිබිය දී, මරණයෙන් මව අහිමි වී සිටි නිසා, නැවත නැගිටීමේ බලාපොරොත්තුව විශේෂාකාරයෙන් ඇය ව දිරිගැන්වී ය. එනිසා ඇය නොමිලේ පවත්වන බයිබල් පාඩමක් පිළිගෙන, රාජ්‍යය ශාලාවේ රැස්වීම්වලට එන්නට පටන් ගත්තා ය. ඇය තම පෙම්වතාටත්, අන්‍යයන්ටත් තමා ඉගෙන ගනිමින් සිටි දෙය පැවසුවා ය. ප්‍රතික්‍රියාව? ඔවුන්ට සැබෑ නමස්කාරයත් සමඟ කිසිසේත් හවුල් වන්නට අවශ්‍යතාවයක් නොතිබූ අතර ඇය ව බුද්ධිශෝධනයකට ලක් කර ඇති බව පවසමින් ඔවුහු ඇනටිට දොස් තැබූහ. එහෙත්, වඩාත් විරුද්ධත්වය පළ කළ සමහරෙක් පසු ව බයිබලය පාඩම් කරන්නට පටන් ගත්හ.
උදාහරණයක් වශයෙන්, අවුරුද 20ක් වයසැති යෞවනයෙක් වන එස්පෙන් ව ගන්න. ඔහුට ඇනටිගේ ප්‍රේමවන්තයාගෙන් රාජ්‍යය ශුභාරංචිය දැන ගන්නට ලැබුණ අතර ඔහු එකෙණෙහි ම බයිබල් පාඩමක් ඉල්ලා සිටියේ ය. කෙසේ වෙතත්, ඔහුත් මත් ද්‍රව්‍ය නීති විරෝධී ව ගෙන්වීම හා ඇනටි මෙන්, ගෙවල් බිඳ සොරා ගැනීම් කීපයකට සම්බන්ධ වී සිටීම නිසා, මාස හතරක සිර දඬුවමක් විඳිය යුතු ව සිටියේ ය. ඒ වන විට ඔහු දුම් කොළ, මරිජුවානා, හා වෙනත් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙක් ද විය. දැන්, මෙවන් දේවල නියැලී සිටි කෙනෙකුට බයිබලය ඉගෙන ගැනීමට පෙලඹ විය හැක්කේ කුමකට ද? එස්පන් සිය ජීවිත ක්රමයේ හිස් භාවය හා අරමුණක් නොතිබීම වටහා ගන්නට පටන් ගත්තේ ය. ඔහු මෙසේ ප්‍රකාශ කරයි: “ජීවිතයේ අරමුණක් මට දුන් අනාගතයක් පිළිබඳ බයිබලේ පොරොන්දු මගින් මම ඇද ගනු ලැබීමි. එනිසා, මට සත්‍යය කියා දී තිබුණේ දැයි දැනගැනීමට මම ඉගෙන ගන්නට පටන් ගත්තෙමි.”
බයිබලය ඉගෙන ගන්නට වෙනත් අයටත් වුවමනා ය
එම කාලයේ දී පමණ, එම යෞවන කණ්ඩායමට ම අයත් යෞවනයෙකුට ශුභාරංචිය අසන්නට ලැබුණ අතර ඔහුත් පාඩම් කරන්නට හා රැස්වීම්වලට පැමිණීමට පටන් ගත්තේ ය. ඊළඟට, මෙම යෞවනයන්ගෙන් තවත් කෙනෙක් සමඟ පාඩමක් පටන් ගන්නා ලද අතර ඔහුත් රැස්වීම්වලට පැමිණීමට පටන් ගත්තේ ය. ඉන් වැඩි කලක් යන්නට මත්තෙන්, තවත් යෞවනයෙක් බයිබලය ඉගෙන ගැනීමෙහි හා ආත්මික ප්‍රගතියක් පෙන්වීමෙහි සිය මිත්‍රයන් හා එක් විය. අනතුරුව මෙම කණ්ඩායමට ම අයත් තවත් යෞවනයෙක් සිය මිත්‍රයන් කරමින් සිටි ඒකාන්ත වෙනස්කම් ගැන පැහැදුන අතර, ඔහුටත් කෙටි කලක් ඇතුළත බයිබලය ඉගෙන ගැනීමට වුවමනාවක් තිබුණි.
මෙම කණ්ඩායමට ම අයත් යෞවන සංගීතඥයෙක් වන ගිල්බර්ට්, දැන් බයිබලය ඉගෙන ගන්නට පටන් ගත්තේ ය. ඔහුගේ මව්පියන් දෙදෙනා ම පිළිකාවෙන් මිය ගොස් සිටි නිසා ඔහු නැවත නැගිටීම පිළිබඳ බයිබලයේ බලාපොරොත්තුවෙන් සහනයක් ලැබී ය. (යොහන් 5:28, 29) ඔහුත් මරිජුවානා පාවිච්චි කරමින් සල්ලාල ජීවිතයක් ගත කරමින් සිටි අතර රොක් සංගීතයේ ප්‍රසිද්ධ ගායකයෙක් වීමට ඔහු තුළ මහත් ආශාවක් තිබුණි. කෙසේ වෙතත්, කාලය ගෙවී යත් ම, ඔහු කදිම ආත්මික ප්‍රගතියක් ලැබූ අතර යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙක් වීමට තීරණය කළේ ය. අවසානයේ, එස්පන්ගේ බාල සොහොයුරා බයිබලය පරීක්ෂා කරන්නටත් සාක්ෂිකරුවන් ඇසුරු කරන්නටත් පටන් ගත්තේ ය.
බයිබල් සත්‍යය ජීවිත වෙනස් කරයි
පිළිවෙළකට නැති ඇඳුම් ඇඳ, නොපීරන ලද හිසකෙස් සහිත ව, මත් ද්‍රව්‍ය, සොරකම්, හා වෙනත් අපරාධවල නියැලී සිටි මෙම යෞවනයන් තුළ මහත් වෙනසක් සිදු විය. ඇනටි රාජ්‍යයේ කදිම ප්‍රචාරිකාවක් ව සිටින අතර පුරෝගාමියෙක් ලෙස වසරක් පමණ සේවය කර ඇත. එස්පෙන් හා ගිල්බර්ට් උපකාරික පුරෝගාමින් ලෙස සේවය කර ඇති අතර ඔවුහු උපස්ථායක සේවකයන් ද වෙති. ඔවුන් දෙදෙනා ම ක්‍රිස්තියානි සභාව තුළ විවාහ වී ඇත. ඔවුන්ගේ කණ්ඩායමට අයත් ව සිටි තවත් හතර දෙනෙක් ද ජ්වලිත රාජ්‍යය ප්‍රචාරකයන් වෙති!
එස්පෙන් ගත කළ යුතු වූ මාස හතරක සිර දඬුවම ගැන කුමක් කිව හැකි ද? ඔහු තම ජීවිතයේ කළ වෙනස්කම් නිසා, ඔහුගේ දඬුවම පැය 80ක සමාජ සේවය සඳහා වෙනස් කරනු ලැබී ය. පොලීසියේ හා වෙනත් අයගේ එකඟත්වය මත ඔහු මෙම පැය ගණන තම පළාතේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවේ වැඩ කරමින් ගත කළේ ය. පොලීසිය මෙම විධිවිධානය ගැන අතිශයින් සතුටු විය.
එසේ ය, ලොව වටා සිටින වෙනත් බොහෝ යෞවනයන්ට අපරාධකාරී පසුබිම් ඇත. එහෙත් දේව වචනය ඔවුන්ට වැදගත් වන ප්‍රශ්න සඳහා පිළිතුරුත් අනාගතය පිළිබඳ නිසැක බලාපොරොත්තුවකුත් දී ඇත. එනිසා, ඔවුන් තවදුරටත් අපරාධකරුවන් හෝ මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් ව නොසිටින අතර ඔවුන් පිළිවෙළක් නොමැති ව ඇඳ පැළඳ යන්නේ ද නැත. සිය ජීවිත පිළිවෙළ වෙනස් කර සිටින මොවුන්, හරියට ම ඉහත සඳහන් කරන ලද අය හා සමාන ය—එනම් හොඳින් ඇඳ පැළඳ ගත්, යෙහෝවඃ වහන්සේගේ ක්‍රියාශීලී යෞවන සාක්ෂිකරුවෝ ය. අද දවසේ බොහෝ යෞවනයන්ට ඇති ගැටලු සඳහා බයිබලයේ ඇති කල්පවතින පිළිතුර, තවත් අයට දැන්වීමට ඔවුන් හට වුවමනාවක් ඇත.—1 කොරින්ති 6:9-11 බලන්න.
[8වන පිටුවේ පින්තූරය]
එස්පෙන්, ඇනටි, හා ගිල්බර්ට්