බෙ ල් ජි ය මේ “සියලු ආකාරයේ මනුෂ්‍යයන්” කරා සමීප වීම
දෙවියන් වහන්සේගේ කැමැත්ත නම්, “සියලු [ආකාරයේ NW ] මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීම” බව, ප්‍රේරිත පාවුල් සිය සෙසු ආලේප ලත් ක්‍රිස්තියානින්ට මතක් කර සිටියේ ය. මේ සඳහා සවන් දීමට කැමැත්තක් දැක්වූ සියල්ලන්ට ම තමන් විසින් රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කළ හැකි වනු පිණිස, “සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක්” තමන්ට ලබා දෙන ලෙස ඔවුන් යාච්ඤා කළ යුතු ව තිබිණ.—1 තිමෝති 2:1-4.
අද දින, ශුභාරංචිය සමඟින් “සියලු [ආකාරයේ NW ] මනුෂ්‍යයන්” කරා සමීප වීම, බෙල්ජියමේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හට යම් විශේෂ අර්ථයක් ගනී. දෙවන ලෝක යුද්ධයේ පටන්, ටන්ගානිකා කලපුව තුළට නැතහොත් මිචිගන් විලෙන් භාගයක් තුළට පහසුවෙන් ගිල්විය හැකි වූ, මෙම කුඩා රට, එහි වාර්ගීය හා සංස්කෘතික සැකැස්මෙහි ප්‍රබල වෙනස්කම්වලට භාජනය වී ඇත. එහි පාරම්පරික ව ජීවත් වන්නා වූ ප්‍රජාවන් තුනට—එනම් ෆ්ලෙමිෂ් (ලන්දේසි), ප්‍රංශ, හා ජර්මානු අයට—අමතර ව, දැන් බෙල්ජියමේ විවිධ භාෂාවන්ට හා සංස්කෘතීන්ට අයත් සමූහයා ජීවත් වෙති. නාමික ව ඉන් කීපයක් පවසතොත්, එහි දැන් ආරාබියානු, තුර්කි, ඉන්දියානු, චීන, පිලිප්පීන, අප්‍රිකානු, හා අමෙරිකානු ජනයා වෙසෙති. බෙල්ජියමේ ජීවත් වන සෑම 10 දෙනෙකුගෙන් ම එක් අයෙක් විදේශී සම්භවයකින් පැමිණියේ යයි ගණන් බලා ඇත.
මෙසේ, ලෝක ව්‍යාප්ත ව වෙසෙන සිය සෙසු ක්‍රිස්තියානින් මෙන්, බෙල්ජියමේ වෙසෙන සාක්ෂිකරුවෝ, ශුභාරංචිය සමඟින් “සියලු [ආකාරයේ NW ] මනුෂ්‍යයන්” කරා සමීප වීමේ අභියෝගයට මුහුණ දී සිටිත්. විවිධාකාර ජාතීන්ට අයත් ජනසමූහයක් අතර දේශනා කිරීම කොයි ආකාර ද? යමෙක්, සම්පූර්ණයෙන් ම වෙනස් වූ සංස්කෘතිමය හා ආගමික පසුතලයක් ඇති පුද්ගලයන් වෙත එළඹෙන්නේ කෙසේ ද? එමෙන් ම බයිබල් පණිවුඩයට ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් වේ ද?
මුලපිරීම ප්‍රතිඵල ගෙනදෙයි
රාජ්‍යය ශුභාරංචිය පිළිබඳ ව “සියලු [ආකාරයේ NW ] මනුෂ්‍යයන්” සමඟ කථා කිරීම ප්‍රීති දායක හා උනන්දුව දනවන අත්දැකීමකි. ජනාකීර්ණ වීදිවල, පොදු වෙළෙඳ සැල්වල, පොදු ප්‍රවාහන පහසුකම්වල, ගෙයින් ගෙට යෑමේ දී සියලු මහාද්වීපයන්ගෙන් පැමිණි ජනයා හමුවේ. කෙටි මුලපිරීමක් සමඟින්, රාජ්‍යය ප්‍රචාරකයෙකුට පහසුවෙන් ම සාකච්ඡාවක් පටන් ගත හැකි අතර මෙය බොහෝ විට මාහැඟි ප්‍රතිඵලවලට මඟ පාදයි.
බස් නැවතුම් පොලක සිටිය දී, එක්තරා සාක්ෂිකාරියක් උණුසුම් මදහසක් පමණක් පාමින් අප්‍රිකානු කාන්තාවක් සමඟ සාකච්ඡාවකට මුල පිරුවා ය. එම කාන්තාව දේව රාජ්‍යය සම්බන්ධයෙන් අසන්නට ලැබීම ගැන ඉක්මනින් ම සිය ප්‍රීතිය පළ කළ අතර බයිබලය ගැන තවත් දැනගැනීමට ද කැමති බව කියා සිටියා ය. ඇය මුරටැඹ සහ පිබිදෙව්! සඟරා පිළිගෙන තමාගේ ලිපිනය සාක්ෂිකාරියට දුන්නා ය. තමා ඉක්මනින් ම ඇය ව බලන්නට එන බව සාක්ෂිකාරිය පැවසූ විට, එම කාන්තාව මෙසේ පවසමින් ඊට බාධා කළා ය. “එපා! එපා! ඔයා එන විට මටත් ගෙදර ඉන්න පුළුවන් වෙන විදිහට අපි නිශ්චිත වේලාවක් නියම කර ගනිමු.”
ඉන් දින තුනකට පසු, එම සාක්ෂිකාරිය ඇය ව හමු වීමට නියමිත ව තිබූ විට, තමා එම කාන්තාවගේ ලිපිනය නැති කර ගෙන තිබූ බව ඇය සොයා ගත්තා ය. එහෙත් මාර්ගයේ නම මතක තිබූ නිසා, තමාට අප්‍රිකානු නාමයක් සොයා ගත හැකිදැයි බැලීමට ඇය ගොසින් සෑම ගෙයක් ම පරීක්ෂා කළා ය. තමා සොයමින් සිටි දෙය නොසොයා ම ඇය මාර්ගයේ කෙළවරට පැමිණියා ය. එය කොතරම් බලාපොරොත්තු සුන් වීමක් ද? ඇය එතැනින් පිටත් වන්නට සූදානම් වෙමින් සිටිය දී, හදිසියේ ම, ඇය බලාපොරොත්තු වෙමින් සිටි කාන්තාව ඇය ඉදිරියේ පෙනි සිටි අතර එය හමුවීම සඳහා හරියට ම ඔවුන් යොදාගෙන තිබූ වේලාව විය! නිවාස බයිබල් පාඩමක් පටන් ගනු ලැබී ය.
වෙනස් සිරිත් විරිත්, විශ්වාසයන්, හා සම්ප්‍රදායන් ගැන කුමක් කිව හැකි ද? උදාහරණයක් හැටියට හින්දු විශ්වාසයන් ගැන කුමක් කිව හැකි ද? එක් පුරෝගාමි සහෝදරියක් ඇය රීසනිං ෆ්‍රොම් ද ස්ක්‍රිප්චර්ස් නම් පොතෙන් කියවා තිබූ දෙය සිහිපත් කළා ය. එහි මෙසේ සඳහන් වේ: “හින්දු දර්ශනයේ සංකීර්ණත්වයන් සමඟ ක්‍රියා කිරීමට වෑයම් දරනු වෙනුවට, ශුද්ධ බයිබලයේ ඇති තෘප්තිය ලබා දෙන්නා වූ සත්‍යයන් ඉදිරිපත් කරන්න. . . . උන් වහන්සේගේ වචනයේ ඇති පැහැදිලි සත්‍යයන් ධර්මිෂ්ඨකම සඳහා සාපිපාසා ඇත්තවුන්ගේ හෘදයන් කරා ළඟා වෙනවා ඇත.”
බයිබල් පාඩමක් පිළිගත්, ඉන්දියාවෙන් පැමිණි කාන්තාවක් වන කාෂි හමු වූ විට, එම පුරෝගාමි සහෝදරිය හරියට ම කළේ ද එය ම ය. කාෂි ස්ථාවර ප්‍රගතියක් ලැබූ අතර ඉක්මනින් ම තමා ඉගෙන ගනිමින් සිටි දේවල් පිළිබඳ ව ඇය ඇගේ සියලු මිත්‍රයන්ට කථා කරන්නට පටන් ගත්තා ය. දිනක් එම සාක්ෂිකාර සහෝදරියට තානාපතියෙකුගේ භාර්යාවක් හමු වූ අතර, “කාෂිට බයිබලය උගන්වන්නේ ඔබ ද?” යයි ඇය ඇසුවා ය. “ඇය කොතරම් දක්ෂ ගුරුවරියක් ද! කාරණා බොහොමයක් පිළිබඳ ව මට ඒත්තු ගන්වන්නට ඇය සමත් වුණා. හින්දු භක්තියේ සිටි කාන්තාවක් වන ඇය, කතෝලිකයෙක් වන මට බයිබලය ඉගැන්වීම ගැන සිතා බලන්න!” යයි ඇය පැවසූ විට. එම පුරෝගාමි සහෝදරිය අතිශයින් පුදුමයට පත් වූවා ය.
ඔබට පිලිප්පීන ජාතිකයන් හමු වන විට, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් බයිබලය ප්‍රිය කරන බව ඔබට වහා තේරුම් ගත හැකි ය. ඔවුන් උණුසුම් හෘදයන් ඇති හා ආගන්තුක සත්කාරශීලී අය වන අතර, ඔවුන් සමඟ සංවාදයක් ආරම්භ කිරීම ඉතා පහසු දෙයකි. එක් පිලිප්පීන ජාතික කාන්තාවක් කිසි ම පසුබට වීමකින් තොර ව සඟරා දෙකක් පිළිගත් නමුත් තමා කතෝලිකයෙක් ව සිටි නිසා, ඇය ඒවා වීසි කර දැම්මා ය. ඉන් සති කීපයකට පසු ඇය යළිත් සඟරා දෙකක් නැවතත් පිළිගත් අතර ඇය ඒවා තමාගේ අත් බෑගයේ දැමුවා ය. දිනක් රාත්‍රියේ යමක් කියවීමට ආශාවක් ඇය තුළ පහළ විය. උනන්දුව දනවන යමක් සෙවීමෙන් පසු, ඇයට එම සඟරා හමු විය. දෙගිඩියාවෙන් ඇය කියවන්නට පටන් ගත් අතර, ඇයගේ උනන්දුව වර්ධනය විය. ඉන් වැඩි කලක් යන්නට මත්තෙන්, එක් සාක්ෂිකරුවෙක් ඇයගේ නිවසට ගිය අතර, එම කාන්තාව ප්‍රශ්න බොහොමයක් ඇසුවා ය. ඇය තමාගේ කතෝලික විශ්වාසයන් බයිබලය පවසන දෙය සමඟ සැසඳුවා වූ පළමුවන වතාව මෙය විය. තර්කානුකූල වූ, ශුද්ධ ලියවිලිමය ඉදිරිපත් කිරීම, තමා අවසානයේ සත්‍යය සොයා ගෙන ඇති බව ඇයට ඒත්තු ගන්වන ලදි.
‘නුඹේ ආහාර පිටතට දමාපන්න’
විදේශී වැසියන් බොහෝ දෙනෙක් බෙල්ජියමේ සිටින්නේ ව්‍යාපාර හේතූන් උදෙසා හෝ පිළිගත් තානාපති කාර්යාල 150න් එකක හෝ යුරෝපීය ප්‍රජා කොමිසමේ සේවය කිරීම හෝ පිණිස ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එහි සිටින්නේ වසර ස්වල්පයක් පමණකි. ඔවුන්ට සාක්ෂි දැරීම හා ඔවුන් සමඟ බයිබලය පාඩම් කිරීම මුල දී ඵල රහිත යයි පෙනෙන්නට පුළුවන. එහෙත් බයිබලය අපට මෙසේ සිහිගන්වයි: “නුඹේ ආහාර ජලය මතුපිට දමාපන්න. කුමක්හෙයින්ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි.” (දේශනාකාරයා 11:1) බොහෝ විට ප්‍රතිඵල පුදුම කරවන ලෙසින් විපාකදායක ය.
සාක්ෂිකාරියකගෙන් නිති පතා සඟරා ලැබූ අමෙරිකානු කාන්තාවක් හා සම්බන්ධයෙන් සිදු වූයේ මෙයයි. කල් යාමේ දී එම සාක්ෂිකාරිය බයිබලය නිති පතා ඉගෙන ගැනීමේ ප්‍රයෝජන පෙන්වා දුන් අතර, ඇය සමඟ බයිබලය පාඩම් කිරීමට ඉදිරිපත් වූවා ය. එම කාන්තාව එය පිළිගෙන සීඝ්‍ර ප්‍රගතියක් ලැබුවා ය. ඉක්මනින් ම ඇය සැබෑ හා බොරු ආගම අතර වෙනස දුටුවා ය. ඇය එනිසා ඇයගේ නිවසෙන් සියලු ම ආගමික පිළිම ඉවත් කළා ය. එවිට එක්සත් ජනපදයට ආපසු යාමට ඇයට කාලය එළඹුණි. එය ඇගේ ආත්මික ප්රගතියේ අවසානය අදහස් කළේ ද? එම කාන්තාව දිගට ම ඇයගේ පාඩම කරගෙන ගිය බවත්, යෙහෝවඃ දෙවියන් වහන්සේට ඇයගේ ජීවිතය කැප කර ඇති බවත්, බව්තීස්මය ලැබූ බවත් දන්වමින්, එක්සත් ජනපදයේ සාක්ෂිකාරියකගෙන් ඇය දුරකථන ඇමතුමක් ලැබූ විට, එම සාක්ෂිකාරියගේ ප්‍රීතිය හා පුදුමය සිතා බලන්න. ඇත්ත වශයෙන් ම, ඇය ඒ වන විට උපකාරික පුරෝකාමි සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියා ය.
කලින් සඳහන් කරන ලද කාෂි නම් ඉන්දියානු කාන්තාව හා පිලිප්පීන කාන්තාව සම්බන්ධයෙන් ද මේ දෙය ම සිදු විය. කාෂි ඉන්දියාවට හැරී ගිය විට, ඇයත් ඇයගේ ස්වාමිපුරුෂයාත් තමන්ගේ බයිබල් පාඩම යළි පටන් ගත්හ. අවසානයේ දී ඔවුන් දෙදෙනා ම යෙහෝවඃ වහන්සේට තමන් ව කැප කළ අතර දේශනා සේවයේ හවුල් වූහ. වෙනත් සාක්ෂිකරුවන් නොසිටි ප්‍රදේශයක ඔවුන් ජීවත් වූ නිසා, සභා පොත් පාඩමක් පැවැත්වීමට ඔවුන් සිය නිවස ඉදිරිපත් කළහ. තමාගේ සෞඛ්‍යය තත්ත්වයන් ඉඩ හළ ප්‍රමාණයට කාෂි උපකාරික පුරෝගාමියක ලෙස සේවය කළ අතර ඇය 31 දෙනෙක් සහභාගි වන, නිවාස බයිබල් පාඩම් 6ක් පවත්වමින් සිටින්නී ය. සමානාකාරයෙන්, කල් යත් ම එම පිලිප්පීන කාන්තාව එක්සත් ජනපදයේ පදිංචියට ගිය අතර කැප වීම හා බව්තීස්මය දක්වා වර්ධනය වී ස්ථාවර පුරෝගාමි සහෝදරියක් වූවා ය. බෙල්ජියමේ වෙසෙන රාජ්‍යය ප්‍රචාරකයන් තම ක්ෂේත්රයේ ජනයාට දිගට ම දේශනා කරත් ම ඔවුන් බොහෝ දෙනෙක් තුළ මෙවන් ප්‍රීතිමත් ප්‍රතිඵල භුක්ති විඳින්නට ලැබේ.
භාෂා පිළිබඳ අභියෝගය
“සියලු [ආකාරයේ NW ] මනුෂ්‍යයන්” හට දේශනා කිරීමට වූ කාර්ය පැවරුම ඉෂ්ට කරනු පිණිස, ශාඛා කාර්යාලයට සිය ගණනකට වැඩි භාෂා ගණනකින් බයිබල් ප්‍රකාශන තබා ගැනීමට සිදු ව ඇත. දැන් භාෂා 10කින් බෙල්ජියමේ සභාවන් පිහිටුවා ඇත. එහි ඇති සභාවන් 341න්, 61ක් විදේශී භාෂාවන්ගෙන් වන අතර එහි වෙසෙන රාජ්‍යය ප්‍රචාරකයන් 26,000න්, 5,000ක් විදේශීය ජාතීන්ට අයත් අය වෙති. එහි එක් සභාවකට විවිධ රටවල් 25කින් පැමිණි පුරුෂයෝ හා ස්ත්‍රීහු ඇතුළත් ව සිටිත්. ඔවුන්ගේ රැස්වීම්වල ඇති ජාතිමය හා වර්ගික විවිධත්වය සිතා බලන්න! එහෙත් එම සහෝදරයන් අතර පවත්නා ප්‍රේමය හා එක්සත් භාවය සැබෑ ක්‍රිස්තියානි ගෝලකමේ බලගතු සාක්ෂියක් වන්නේ ය.—යොහන් 13:34, 35.
විදේශීය භාෂාවන්ගෙන් ශුභාරංචිය ඇසීමේ අවශ්‍යතාවය ඇති බොහෝ දෙනෙකු බෙල්ජියමේ ජීවත් වන බැවින්, ඇතැම් ප්‍රචාරකයන් තුර්කි, අරාබීය, හා චීන වැනි දුෂ්කර භාෂාවන් ඉගෙන ගැනීමේ අභියෝගය පිළිගෙන ඇත. ඔවුන්ගේ වෑයමට මහත් ආශීර්වාද ලැබී තිබේ.
අරාබීය ජනයා අතර සේවය කරන අය බයිබලයේ ඇති ප්‍රායෝගික වටිනාකම ගෙනහැර දැක්වීමෙන් තමන්ට බොහෝ විට ඒ කෙරෙහි උනන්දුව ඇවිස්සිය හැකි බව සොයා ගනිති. එක් රාජ්‍යය ප්‍රචාරකයෙක් අරාබීය කථිකාචාර්යවරයෙක් සමඟ සිත් ගන්නා සාකච්ඡාවක් පැවැත්වුව ද, ඉන් පසු වසර තුනකට එම කථිකාචාර්යවරයා ව සොයා ගත නොහැකි ව සිටියේ ය. පහසුවෙන් අධෛර්යට පත් නොවී, එම ප්‍රචාරකයා එම කථිකාචාර්යවරයා සඳහා වූ බයිබල් ප්‍රශ්න කීපයක් සහිත සටහනක් තබා යෑමට තීරණය කළේ ය. මෙය ඔහු ව කොතරම් කුතුහලයට පත් කළේදයත්, ඔහු බයිබලය පිළිබඳ පරමාර්ථයකින් යුත් පරීක්ෂාවක් කරන්නට කැමති විය. ඔහු තමා සොයා ගත් දෙය පිළිබඳ ව කොතරම් පුදුම වූයේදයත්, මුස්ලිම් භක්තිකයන් වූ ඔහු හා ඔහුගේ භාර්යාව යන දෙදෙනා ම, එකට බයිබලය කියවීමට සමහරක් සවස් භාගයන් වෙන් කළහ.
ප්‍රධාන නගරවල වෙසෙන, සංඛ්‍යාවෙන් විශාල වූ චීන ජනයාට උපකාර කිරීමට වෑයම් කරන අයට භාෂා බාධකයට අමතර ව ජයගත යුතු ව ඇති තවත් බාධකයක් ඇත. චීන ජාතිකයන් බොහෝ දෙනෙක් මැවුම්කරුවාණන් හැටියට දෙවියන් වහන්සේ කෙරෙහි හෝ දේව වචනය හැටියට බයිබලය කෙරෙහි විශ්වාස කරන්නේ නැත. එහෙත්, කුතුහලයෙන් සිටින ඔවුහු එය පවසන දෙය දැනගැනීමට කැමැත්තෙන් සිටිත්. ඔවුහු කියවීමට ඇලුම්කමක් දක්වන පාඨකයන් ද වෙත්. තමන් සමඟ තබා යන බයිබල් ප්‍රකාශන කුමක් හෝ වේවා, බයිබලයෙන් වැඩි කොටසක් පවා වේවා, දින කීපයක් ඇතුළත කියවා නිම කිරීම ඔවුන්ට අසාමාන්‍ය දෙයක් නොවේ. ඔවුන්ගේ හෘදය හරි නම්, ඔවුන් දේව වචනයේ බලයෙන් පෙලඹෙනු ඇත.
මැවුම්කරුවෙක් පිළිබඳ අදහස පිළිගැනීම ඉතා දුෂ්කර යයි එක් චීන ජාතික කාන්තාවකට දැනුණි. එහෙත් දෙවන පාඩම තුළ, ඇය මෙසේ පැවසූ විට ඇයගේ නෙතට කඳුළු උනන්නට විය: “දැන් මම යෙහෝවඃ දෙවියන් වහන්සේ විශ්වාස කරමි, මන්දයත් බයිබලය වසර 1,600ක කාල පරිච්ඡේදයක් පුරා මනුෂ්‍යයන් 40 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් විසින් ලියනු ලැබ තිබියදීත් එය එක් තේමාවක් සමඟ පූර්ණ එකඟත්වයකින් පවතිද්දීත් එම ලිවීමට මඟ පෙන්වා තිබිය යුත්තේ යෙහෝවඃ දෙවියන් වහන්සේ විය යුතු ය. එය එතරම් ම තර්කානුකූලයි!”
ට්රෑම් රථයකින් යන විට සාක්ෂිකාරියක් වෙනත් චීන ජාතික කාන්තාවක් වෙත එළඹුණා ය. “ඔබ ක්‍රිස්තියානියෙක් ද?” යයි ඇය එම සාක්ෂිකාරියගෙන් ඇසුවා ය. තමන් ක්‍රිස්තියානින් යයි කියා ගන්නා අය අතර මෙතරම් පරස්පර විරෝධී තත්ත්වයන් තිබීම ගැන තමා කලකිරී සිටින බව ඇය එවිට පැවසුවා ය. එම සාක්ෂිකාරිය ඇය පැවසූ දෙයට එකඟ වුව ද, බයිබලය පරස්පර විරෝධී තත්ත්වයක නොතිබෙන බව පැහැදිලි කළා ය. එය කථා කරමින් සිටිනවාත් සමඟ ම එම කාන්තාවට ට්රෑම් රථයෙන් බැසීමට අවස්ථාව එළඹුණි. ඇය තමාගේ ලිපිනය එම සාක්ෂිකාරියට දුන් අතර ඇය ඈ බලන්නට ගිය කල, එම කාන්තාව මෙසේ හඬ නගා පැවසුවා ය: “මා මේ ගැන දැන සිටියා නම්, මට මීට වසරකට කලින් එම ට්රෑම් රථයෙන් ගමන් කරන්නට තිබුණා!” තමා අදහස් කළ දෙය විමසන ලද විට, එම කාන්තාව මෙසේ පැහැදිලි කළා ය: “ඒ මා ට්රෑම් රථයෙන් විශ්වවිද්‍යාලයට ගිය පළමුවන වතාව ය. ඉතින් ඔබට සිතා ගත හැකි ද? මම එක් වසරක් අපතේ හැර තිබෙනවා!” ඇය චීනයට හැරී යන්නට මත්තෙන් මාස කීපයකට හෝ බයිබලය ඉගෙන ගැනීමට හැකි වීම ගැන අතිශයින් සතුටු වූවා ය.
මෙවන් අත්දැකීම් බෙල්ජියමේ සාක්ෂිකරුවන්ට පාඩමක් උගන්වා ඇත. “උදයේ නුඹේ බීජ වපුරාපන්න, සවසත් නුඹේ අත නවත්වා නොගනින්න. මක්නිසාද සඵලවෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වේද කියා නුඹ නොදන්නෙහිය” යයි බයිබලය පවසයි. (දේශනාකාරයා 11:6) භාෂා, සිරිත් විරිත් හා සම්ප්‍රදායන් පිළිබඳ බාධකවලින් ගොඩ ඒමට යොදනු ලබන ප්රයත්නයන් එහි ප්රතිඵලවල පමණට අගනේ ය. මෙහිලා ලැබෙන හද උණුසුම් කරවන අනුකූලතාව, දෙවියන් වහන්සේ සැබවින් ම, “තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න” බව, අන් සියල්ල අභිබවා සනාථ කරයි.—ක්‍රියා 10:34, 35.