නයිජීරියානු ශ්‍රේෂ්ඨාධිකරණය ආගමික නිදහස තහවුරු කරයි
ගම්වැසියෝ ගොවියෙකුගේ අස්වැන්න මංකොල්ල කති. තවත් අය ගඩොල් බඳින්නෙකුගේ ගෙට කඩා වැද ඔහුගේ ආවුද පැහැර ගෙන යති. තවත් පිරිසක් මිල දී ගැනීමෙන් හා විකිණීමෙන් ගැහැණියක ව වළක්වති. ඒ අයුරින් තාඩන පීඩන සිදු කරන්නේ මන් ද? ඊට හේතුව, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව සිටින මෙයට ගොදුරු වූ සියල්ලන්, වයස් පන්ති සංයෝජනයන්හි හවුල් නොවී ම ය. ‘ඒ කුමක ද?’ කියා ඔබ කල්පනා කරනවා විය හැක.
වයස් පන්ති සංයෝජනයක් වනාහි එක ම ගමේ, එක ම කාලයේ ඉපදුන, සාමාන්‍යයෙන් පුරුෂයන්ගෙන් සැකසුන ජන සමූහයකි. වයස් පන්ති සමූහයන් නැගෙනහිර නයිජීරියාවට පොදු දෙයකි. ඔවුන් ප්‍රජා ව්‍යාපෘතියකට අනුග්‍රහය දැක්විය හැකිමුත්, සාමාජිකයන් වැඩිහිටි භාවයට පත්වී සිටින බව පෙන්වීමට රූප නමස්කාරයේ නියැලී භූතාත්ම පිළිවෙත්වල ද නියැලෙන්නට පුළුවන. බයිබලය සැබෑ ක්‍රිස්තියානින් සඳහා මෙවන් වත් පිළිවෙත් තහනම් කරන බැවින්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් එවන් සමූහයන්ට කිසිසේත් හවුල් වන්නේ නැත.—1 කොරින්ති 10:20, 21; 1 යොහන් 5:21.
සැමුවෙල් ඔකොග්බුවර් නයිජීරියාවේ, ආබා හි ඇඳුම් මසන්නෙකු ලෙස වැඩ කළේ ය. වර්ෂ 1978 මුල් භාගයේ, අලායි හි, උමුන්කාලු වයස් පන්ති සංයෝජනයේ සාමාජිකයෝ, සෞඛ්‍යය මධ්‍යස්ථානයක් ගොඩනැගීමට උපකාර කිරීමට “බද්දක්” ගෙවන ලෙස ඔහුගෙන් බලකර සිටියහ. සැබෑ ක්‍රිස්තියානියෙක් හැටියට, සැමුවෙල් වෙනත් ජනයාට උපකාර කිරීමට දැඩි ප්රයත්නයන් ගන්නා නමුත්, ඔහු හෘදය සාක්ෂියට එකඟ ව එම වයස් පන්ති සමූහය සමඟ සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළේ ය. එම වසරේ අප්‍රියෙල් 22වන දින, එම සමූහයේ සාමාජිකයන් හය දෙනෙක් ඔහුගේ සාප්පුව තුළට කඩාවැදී, ඔහුගේ මහන මැෂිම අත්පත් කර ගත්තේ, මුදල් ගෙවනතෙක් එය තමන් සතු ව තබා ගන්නා බව පවසමිනි. තමා ඔවුන්ගේ සංයෝජනයේ සාමාජිකයෙක් නොවන නිසා කිසිවක් ගෙවීමට තමා බැඳී නොසිටින බව පවසමින් සැමුවෙල් සිය විරුද්ධත්වය ඵල කළේ ය. සැමුවෙල්ට තමාගේ මහන මැෂිම ලබා ගත නොහැකි වූ විට, ඔහු කාරණය අධිකරණයට ගෙන ගියේ ය.
අධිකරණයෙන් අධිකරණයට
ප්‍රධාන මහේස්ත්‍රාත්, එම වයස් පන්ති සංයෝජනය තර්කයට භාජනය කරමින් කියා සිටියේ, සැමුවෙල්ගේ වයස නිසා, ඔහු කණ්ඩායමට ඉබේ ම ඇතුළත් වන බවත්, තම තමන් ම ගෙවීමට බැඳී සිටි ඕනෑ ම බද්දක් ගෙවීමට ඔහු ද වගකීමෙන් බැඳී සිටි බවත් ය. වැඩිදුරටත්, සාමාජිකයෙක් බද්දක් නොගෙව්වේ නම් ප්‍රදේශයේ සිරිත අනුව, ඔහු එසේ කරනතෙක් ඔහුගේ වස්තු අත්පත් කර ගනු ලබන බවත් ඔවුහු තර්ක කළහ.
එම උසාවිය ඊට එකඟ නොවී ය. වයස් පන්ති සමූහයක සාමාජිකයෙක් වීමට සැමුවෙල්ට බල කළ නොහැකි යයි 1980 පෙබරවාරි 28වන දින, එය තීන්දු කළේ ය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ පැවසී ය: “පුරවැසියෙකුට සමාගම් පැවැත්වීමට ඇති නිදහස අහිමි කරවන චාරිත්‍රයක්, නයිජීරියානු පෙඩරල් සමූහාණ්ඩු ව්‍යවස්ථාවේ 37වන වගන්තියට පටහැනි වන අතර, එමනිසා ඊට නීතියේ බලය ලබා ගත නොහැකි ය.”
එම වයස් පන්ති සමූහය මෙම තීන්දුව පිළිබඳ ව මහාධිකරණයට අභියාචනා කර ජය ගත්හ. එහි දී විනිශ්චයකරුවා බද්ද ගෙවන ලෙස සැමුවෙල්ට නියෝග කළේ, එය ඔහුගේ වාර්ගික ප්‍රජාවේ දියුණුවට දායක වීමට ක්‍රමයක් යයි පවසමිනි.
එවිට අයුක්තියක් යයි තමා දුටු දෙයට එරෙහි ව සැමුවෙල් අභියාචනයක් ඉදිරිපත් කළේ ය. අභියාචනාධිකරණය සැමුවෙල්ට හිතකර ලෙසින් මහාධිකරණයේ තීන්දුව වෙනස් කළේ ය. පරාජය පිළිගැනීමට නොකැමති වූ වයස් පන්ති සමූහය එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ගියේ ය.
මේ අතර, එම සමූහයේ සාමාජිකයෝ සැමුවෙල්ගේ ගමේ වැඩ බහුල ව සිටියහ. සාක්ෂිකරුවන් සියලු ම ප්‍රජා ව්‍යාපාරවලට විරුද්ධ බව වාද කරමින්, ප්‍රදේශයේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කටයුතු තහනම් කරන ලෙස ඔවුහු ගම්මුලාදෑනියාට ඒත්තු ගැන්වූහ. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ කටයුතු කරන සෑම කෙනෙකුට ම දඩ ගසන බව හඬබෙරකරුවා නිවේදනය කළේ ය. අසල්වැසි නගරවල සාක්ෂිකරුවෝ මැදිහත් වී ගමේ වැඩිහිටි අයට කාරණය නිරවුල් කළහ. දෙවියන් වහන්සේගේ ජනයා කිසි ලෙසකින් ප්‍රජා සංවර්ධනයන්ට විරුද්ධ නොවන බව ඔවුහු පැහැදිලි කළහ. ඇත්ත වශයෙන් ම, වයස් පන්ති සමූහයන් විසින් මෙහෙයවනු නොලබන ප්‍රජා ව්‍යාපාරයන් සඳහා තමා සම්මාදම් කර ඇති බවට වූ බිල්පත්, සැමුවෙල් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එවිට ගමේ වැඩිහිටියෝ සාක්ෂිකරුවන් නෙරපීමට වූ සිය තීරණය වෙනස් කළහ.
ආගමික නිදහස ජයග්‍රහණය කරයි
වර්ෂ 1991 ඔක්තෝබර් 21වන දින, නයිජීරියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස් දෙනෙක් සැමුවෙල්ට පක්ෂ ව ඒකමතික ව තීන්දුවක් ප්‍රකාශ කළහ. විනිශ්චයකාර පෝල් න්වෝකේඩී විසින් දුන් ප්‍රධාන තීන්දුව පැහැදිලි කරමින් විනිශ්චයකාර අබුබකර් වාලි මෙසේ පැවසී ය: “සැමුවෙල් ගෙවන්නට විරුද්ධත්වය ඵල කරන්නේ, පනවන ලද බද්දට නොව, නමුත් ඔහු යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සාමාජිකයෙක් ව සිටීම නිසා, ඕනෑ ම සමිතියක, සමාජයක හෝ වයස් පන්තියක සාමාජිකයෙක් වීම තමාගේ ආගමික විශ්වාසයට විරුද්ධ වූ පටහැනි දෙයක් වන නිසා ය.”
එම විනිසුරු තැන සිය කථාව මෙසේ දිගට ම කර ගෙන ගියේ ය: “වර්ෂ 1963 ව්‍යවස්ථාවේ, 24 (1) වගන්තිය සියලු ම නයිජීරියානු පුරවැසියන්ට හෘදය සාක්ෂියේ, සිතීමේ හා ආගමේ නිදහස සහතික කළේ ය. විත්තිකරුට වයස් පන්තියට එකතු වීම තහනම් කරන්නා වූ, තමාගේ ආගමේ, සිතුවිල්ලේ, හා හෘදය සාක්ෂියේ මූලප්රඥප්තියට එල්බ සිටින්නට අයිතියක් ඇත. මෙය මර්දනය කරන්නා වූ ඕනෑ ම චාරිත්‍රයක් ව්‍යවස්ථාවට පටහැනි වන අතර එනිසා ඒවා ඊට සරිලන සේ අවලංගු කරනු ලැබේ.”
කෙටියෙන් කියතොත්, සාමාජිකත්වයක් ලබා ගැනීම ප්‍රජා චාරිත්‍රයක් ව තිබිය හැකි වුවත්, වයස් පන්ති සමූහයකට එක් වීමට නීත්‍යානුකූල ව කිසිදු පුද්ගලයෙකු හට බල කළ නොහැකි යයි, එම අධිකරණය තීන්දු කළේ ය. ගෙවන්නට කියා සිටින මුදල ප්‍රජා සංවර්ධනයන් සඳහා යෙදවෙතත්, තමා සාමාජිකයෙක් ව නොසිටින සංයෝජනයක් තුළින් ගෙවන්නට කියා සිටින මුදල ගෙවීමට කිසිවෙකුට නීත්‍යානුකූල ව බල කළ නොහැකි යයි ද එය තීන්දු කළේ ය. පෙනෙන හැටියට සුළු වූ මෙම කාරණයෙහි, සියලු නයිජීරියානුවන් හට ආගමික නිදහස සනාථ කරනු ලැබී ය.