ක්‍රිස්තියානි ශුද්ධකම
ක්‍රිස්තියානින්ගේ නායකයාණන් වන, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ, මිනිසෙකු ලෙස ඉපදුණු විට, ශුද්ධ ව සිටි සේක (ලූක් 1:35), තව ද උන් වහන්සේ එම පවිත්‍ර භාවය හෙවත් ශුද්ධකම සිය භූමික ජීවිතය පුරා ම පවත්වා ගත් සේක. (යොහ. 17:19; ක්‍රියා 4:28; හෙබ්‍රෙ. 7:26) මෙම ශුද්ධකම මුළුමනින් ම පරිපූර්ණ වූ එකක් වූ අතර, උන් වහන්සේගේ සිතිවිලි, වචන, සහ ක්‍රියාවල එය පිරී තිබුණි. යාගික මරණයක් දක්වා ම මෙම ශුද්ධකම පවත්වා ගැනීමෙන්, උන් වහන්සේ අන්‍යයන් හට මෙම ශුද්ධකම අත්කර ගැනීමට හැකි කර වූ සේක. ඒ හේතුවෙන්, උන් වහන්සේගේ අඩි පාරේ ගමන් කරන්නන් වීමට කැඳවනු ලැබූ අය ව “ශුද්ධවූ කැඳවීමකින් කැඳවා” ඇතැයි කියැවේ. (2 තිමෝ. 1:9) ඔවුන් යෙහෝවඃ වහන්සේගේ ආලේප ලත් අය හෙවත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මික සහෝදරයන් බවට පත් වී තිබෙන අතර, ඔවුන් ව “ශුද්ධ අය” හෙවත් “ශුද්ධවන්තයන්” ලෙස හඳුන්වනු ලැබේ. (රෝම. 15:26; එපී. 1:1; පිලි. 4:21) ඔවුන් ශුද්ධකම ලබන්නේ, ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ පූජාව තුළ ඇදහිල්ල තැබීමෙන් ය. (පිලි. 3:8, 9; 1 යොහ. 1:7) එමනිසා, ඔවුන් තුළ ශුද්ධකම සහජයෙන් ම නොතිබේ, නැතහොත් එය ඔවුන්ට ම හිමි ඔවුන්ගේ ම දෙයක් නොවේ, නමුත් එය පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළිනි.—රෝම 3:23-26.
සභාවේ ජීවමාන සාමාජිකයන් ව “ශුද්ධ අය” හෙවත් “ශුද්ධවන්තයන්” ලෙස යොමු දක්වන බොහෝ ශුද්ධ ලියවිලි පාඨයන්ගෙන් පැහැදිලි කරන්නේ, කිසියම් මිනිසෙකු හෝ සංවිධානයක් විසින් යමෙකු ව ශුද්ධ තැනැත්තෙක් හෝ “ශුද්ධවන්තයෙක්” බවට පත් නොකරන බවත්, “ශුද්ධවන්තයෙක්” කරවීම සඳහා එවැනි අයෙකු මිය යන තෙක් බලා සිටීමට අවශ්‍ය නොවන බවත් ය. ඔහු “ශුද්ධ තැනැත්තෙක්” වනු ඇත්තේ, ක්‍රිස්තුස් වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෙකු වීමට දෙවියන් වහන්සේ ඔහු ව කැඳවනු ලැබීම මගිනි. පොළොව මත සිටිද්දී දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ ඔහු ශුද්ධ වන අතර, යෙහෝවඃ දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ පුත්‍රයාණන් ස්වකීය ශුද්ධ දේව දූතයන් සමඟ වාසය කරන්නා වූ ස්වර්ගික විෂයේ ජීවත්වීම සඳහා ඔහු හට බලාපොරොත්තුවක් තිබේ.—1 පේතෘ. 1:3, 4; 2 ලේක. 6:30; මාක්. 12:25; ක්‍රියා 7:56.
පිරිසිදු හැසිරීම අත්‍යවශ්‍ය ය. යෙහෝවඃ වහන්සේ ඉදිරියේ මෙම ශුද්ධ පිහිටීම තිබෙන අය, දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ උපකාරය ඇතුව, දෙවියන් වහන්සේගේ හා ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධකම අත්කර ගැනීමට දැඩි ප්‍රයත්නයක් දරති. (1 තෙස. 3:12, 13) මින් අවශ්‍ය කරවන්නේ, දෙවියන් වහන්සේගේ සත්‍යතාවයේ වචනය පාඩම් කිරීම සහ එය ඔවුන්ගේ ජීවිතවලට අදාළ කර ගැනීමයි. (1 පේතෘ. 1:22) යෙහෝවඃ වහන්සේගේ හික්මවීමට ප්‍රතිචාරය දැක්වීම ඉන් අවශ්‍ය කරවයි. (හෙබ්‍රෙ. 12:9-11) ඒ සමඟ ම අපේක්ෂා කළ හැකි දෙය නම්, පුද්ගලයෙක් නියම ලෙස ශුද්ධ නම්, ඔහු ශුද්ධකමේ, පිරිසිදුකමේ, සහ සදාචාරාත්මක ඍජු භාවයේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බව ය. පුරාණ පූජාසනය මත ඔප්පු කරන ලද පිළිගත හැකි පූජාවන් ශුද්ධ වූවාක් මෙන්, ක්‍රිස්තියානින් තම ශරීර, ශුද්ධ පූජාවක් මෙන් දෙවියන් වහන්සේට ඔප්පු කරන ලෙසට අවවාද කරනු ලැබ තිබේ. (රෝම 12:1) හැසිරීමේ දී ශුද්ධකම තිබීම ආඥාවකි: “නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් මුළු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා. මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.”—1 පේතෘ. 1:15, 16.
ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයන් බවට පත් වන්නා වූ අය, “ශුද්ධවන්තයන් සමග එක නුවර වැසියෝව දෙවියන් වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නෝය.” (එපී. 2:19) යෙහෝවඃ වහන්සේ උදෙසා ශුද්ධ මාලිගාවක ජීවමාන ගල්වලට ඔවුන් ව සමාන කර තිබෙන අතර, “රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වෙති.” (1 පේතෘ. 2:5, 9) ඔවුන් “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් [ඔවුන් ව ම] පවිත්‍ර කරගනිමින් දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව ශුද්ධකම සම්පූර්ණ කර” ගත යුතුයි. (2 කොරි. 7:1) යම් ක්‍රිස්තියානියෙක්, තමාගේ මාංසික සිරුර අපවිත්‍ර කරන හෝ හානි කරන යම් පුරුද්දක් පවත්වා ගෙන යයි නම්, නැතහොත්, එය කෙලෙසයි නම් නැතහොත් අපිරිසිදු කර ගනියි නම්, එසේ නැතහොත්, බයිබලයේ මූලධර්ම හෝ සදාචාරයන්වලට පටහැනි ව යයි නම්, ඔහු දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේවත් භය වන්නේවත් නැති අතර, ඔහු ශුද්ධකමෙන් ඉවතට හැරී යන්නේ ය. අපවිත්‍රකම පවත්වාගෙන යමින් ශුද්ධ ව සිටීමට යමෙකුට නොහැක. it-1 pp 1130/31