“මා වෙතට හැරී එන්න, එවිට මමත් ඔබ වෙතට හැරී එන්නෙමි”
එම පවුල ප්‍රීතියෙන් යුතු ව විනෝද ගමනක යෙදී සිටියේ වන ලැහැබක ය. එවිට, පවුලේ බාලයා වන පීටර්, කඳු බෑවුමක් දිගේ පහළට ලේනෙක් පසුපස එළවමින්, ඔවුන්ගේ ගමන් මගෙන් ඉවත් විය. හදිසියේ ම, අහස වළාකුළුවලින් බර වී, වැසි වසින්නට පටන් ගති. මුල දී එය මද වැස්සක් වුව ද, ක්‍රමයෙන් එය තද වැස්සක් බවට පත් විය. එම පවුල ඉක්මනින් ම තමන්ගේ බඩු බාහිරාදිය එකතු කරගෙන ඔවුන්ගේ වාහනය වෙත දිව යන්නට විය. අනතුරුව සියල්ලෝ ම පීටර් කොහේ දැයි කල්පනා කරමින් සිටියහ.
මේ අතර, පීටර්, තම පවුලේ උදවිය කරා එන්නට වෑයම් කරමින් සිටියේ ය. ඉදිරියේ තිබෙන දේ බැලීම අපහසු වූ අතර, කන්ද ඉහළට වූ ගමන් මඟ වර්ෂාව නිසා ලිස්සන සුලු තත්ත්වයක තිබිණ. බලාපොරොත්තු නොවූ ආකාරයකට, ඔහු සිට ගෙන සිටි තැන ගිලාබසින්නට වූ අතර, ගැඹුරු, සැඟවුණු වළක් තුළට හේ ඇද වැටුණි. ඉන් ගොඩ එන්නට ඔහු වෑයම් කළ ද, එහි පැති ඉතා ලිස්සන සුලු විය.
කඳු පහළට ගලා ආ වැසි ජලයෙන් එම වළ මඩෙන් පිරෙන්නට විය. පීටර් සිටියේ ඒ තුළ ගිලීමට ඔන්න මෙන්න කියා ය. එහෙත් එවිට ඔහු ව සොයා ගත් ඔහුගේ පියා, කඹයක් ආධාරයෙන් ඔහු ගොඩට ගත්තේ ය. පසු ව, ඉබාගාතේ යාම හේතුවෙන් පීටර් හොඳින් බැනුම් ඇසුවේ ය. එහෙත්, සිය මවගේ තුරුළේ, ඇතිරිලිවලින් පොරවනු ලැබ සිටි නිසා එම බැනුම් ඇසීම ඔහුට එතරම් අසීරු දෙයක් වූයේ නැත.
දෙවියන් වහන්සේගේ ජනයා අතර සිටින සමහරෙකුට සිදු වන දෙය මෙම අත්දැකීම මගින් ඉතා හොඳින් විස්තර වෙයි. මේ දේවල පිළිවෙළේ ගැඹුරු වළ තුළට වැටී ඇති ඔවුහු, ඉන් බඩ ගා එළියට පැමිණ යෙහෝවඃ වහන්සේගේ සංවිධානයේ ක්ෂේමභූමිය වෙත හැරී එන්නට මහත් ආයාසයක් දරමින් සිටිති. යෙහෝවඃ වහන්සේ දයානුම්පාවෙන් යුක්ත ව, ‘කඹයක් පහත් කර’ ඔවුන් ව යළිත් ආරක්ෂිත තත්ත්වයට ගෙන ඒම සඳහා උපකාර කිරීම කොතරම් සතුටක් ද!
යෙහෝවඃ වහන්සේගේ දයාවන්ත ක්‍රියා
අතීතයේ ඊශ්‍රායෙල්වරුන්ගේ කාලයේ, දේවමාලිගාව ගොඩනැගීම අවසන් කළ පසු, දේවමාලිගාව දෙසට යොමු කරන ලද කන්නලව් අසන මෙන්, සාලමොන් යෙහෝවඃ වහන්සේගෙන් ආයාචනා කළ කැප කිරීමේ යාච්ඤාවක් ඔප්පු කළේ ය. එවිට ඔහු මෙසේ පැවසී ය: “පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් [ඉශ්රායෙල්වරුන්] ඔබට විරුත්ටධව පව්කරන්ටත් ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවාදෙන්ටත් . . . ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් ඒ කාරණා සිතට ගෙන හැරී ඔවුන් වාලට ගත් අයගේ දේශයේදී ඔබට කන්නලව් කොට . . . යාච්ඤා කළොත් . . . ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද [ඇසුව මැනව].”—1 රාජාවලිය 8:46-49.
ඊශ්‍රායෙල්ගේ ඉතිහාසය තුළ බොහෝ අවස්ථාවන්හි සාලමොන්ගේ ඉල්ලීම ඉෂ්ට විය. දෙවියන් වහන්සේගේ සෙනඟ නිතර නිතර වෙනතකට යොමු වී උන් වහන්සේ ව අත්හළහ. පසු ව තමන්ගේ වැරැද්ද තේරුම් ගත් ඔවුහු, උන් වහන්සේ සොයමින් ආපසු හැරී පැමිණියහ. එවිට යෙහෝවඃ වහන්සේ ඔවුන්ට සමාව දුන් සේක. (ද්විතීය කථාව 4:31; යෙසායා 44:21, 22; 2 කොරින්ති 1:3; යාකොබ් 5:11) මලාකී තුළින්, යෙහෝවඃ වහන්සේ මෙසේ පැවසූ විට, උන් වහන්සේ ස්වකීය සෙනඟ සමඟ අවුරුදු දහසක් පුරා කටයුතු කළ ආකාරය සමාලෝචනය කළ සේක: “නුඹලාගේ පියවරුන්ගේ දවස්වල පටන්ම නුඹලා මාගේ නියෝග නොපවත්වා, එයින් අහක්ව ගියහුය. මා වෙතට හැරී වරෙල්ලා, මමත් නුඹලා වෙතට හැරී එන්නෙමි.”—මලාකී 3:7.
පැකිළීමට හේතු
ඊශ්‍රායෙල්වරුන් සම්බන්ධයෙන් සිදුවූවාක් මෙන්, අද දින ද දෙවියන් වහන්සේගේ සෙනඟගෙන් සමහරෙක්, පිටු පා යෙහෝවඃ වහන්සේගේ සංවිධානයෙන් තමන් වෙන් කර ගනිති. හේතුව? පීටර් විසින් එළවාගෙන ගිය ලේනා මෙන්, මුල දී අහිංසක යමක් මෙන් පෙනෙන යම් දෑ සමහරු ලුහු බඳිති. ඒඩා සම්බන්ධයෙන් සිදුවූයේ ද මෙයයි. ඇය මෙසේ වාර්තා කරන්නී ය: “දිවා ආහාරය ගැනීමට එක් ව අසළ භෝජනාගාරයකට යාම, එකට වැඩ කරන අප සියල්ලන්ගේ පුරුද්දක් ව තිබුණා. එනිසා දවස අවසානයේ කෝපි කෝප්පයක් පානය කිරීමට ඔවුන් මට ආරාධනා කළ විට, එය පිළිගැනීමට අපහසු දෙයක් වුණේ නැහැ. රැස්වීම් හෝ දේශනා කිරීමට පාවිච්චි කළ යුතු කාලය මේ සඳහා පාවිච්චි කරමින් නොසිටින බව මම මා තුළ ම තර්ක කරන්නට වුණා. මෙය 1 කොරින්ති 15:33 හි ප්‍රතිපත්තිය පිළිපැදීමට අසමත්වීමක් යයි මට වැටහුණේ නැහැ.
“වැඩි කලක් ගත වන්නට මත්තෙන්, සෙනසුරාදා දිනයන්හි මම ඔවුන් සමඟ අසු පිට ගමන් යාමට පටන් ගත්තා. පසු ව මම ඔවුන් සමඟ චිත්‍රපට හා නාට්‍ය සංදර්ශනවලට යන්නට වුණා. එනිසා මට සමහරක් රැස්වීම් අතපසු වුණා. අන්තිමේ දී, මම කිසි ම රැස්වීමකට ගියේවත් දේශනා සේවයේ සහභාගි වුණේවත් නැහැ. සිදුවෙමින් තිබෙන දෙය මා තේරුම් ගත් විට, මා තවදුරටත් සංවිධානය සමඟ ඇසුරු කරමින් සිටියේ නැහැ.”
තවත් අවස්ථාවන්හි දී, මීට හේතුව, දෙවියන් වහන්සේට සේවය කිරීමට තමා නුසුදුසු යයි කෙනෙකුට හඟවන බරපතළ වූ සැඟවුණු පාපයක් විය හැකි ය. (ගීතාවලිය 32:3-5) එසේත් නැතහොත් පුද්ගලයෙක්, සාලමොන් පැවසූ ආකාරයට, “පව් නොකරන මනුෂ්‍යයෙක් නැත” යන කරුණ වටහා නොගෙන, ක්‍රිස්තියානි ආශ්‍රිතයන් විසින් කියන ලද හෝ කරන ලද යමකින් පැකිළෙන්නට පුළුවන.—1 රාජාවලිය 8:46; යාකොබ් 3:2.
තවත් අය අධෛර්යයට පත්වන්නේ, හික්මවීමක් ලබන විට ය. (හෙබ්‍රෙව් 12:7, 11) ද්‍රව්‍යවාදී ජීවන රටාවන්ට ඇති ආකර්ෂණය ද බොහෝ දෙනෙකු ව දෙවියන් වහන්සේට සේවය කිරීම නැවැත්වීමට තුඩු දී තිබේ. බොහෝ විට, ලෞකික සාර්ථකත්වයන් සොයමින්, ඔවුන් ලෞකික කටයුතුවල කොතරම් ඇලී ගැලී සිටිනවා ද කියතොත්, ඔවුන්ගේ ජීවිතවල දෙවියන් වහන්සේගේ සේවය කිරීමට කිසි ම වේලාවක් නොමැති තරම් ය. (මතෙව් 13:4-9; 1 තිමෝති 6:9, 10) එවන් අය සිටින්නේ බලාපොරොත්තුවක් නැති තත්ත්වයක ද?
ඔබ යෙහෝවඃ වහන්සේගේ ආරාධනයට ප්‍රතිචාර දක්වනු ඇත් ද?
එක් අවස්ථාවක දී යේසුස් වහන්සේ තේරුම් ගැනීමට අපහසු යමක් පැවසූ අතර, සමහරෙක් ඉන් පැකිලුණෝ ය. වාර්තාව මෙසේ පවසයි: “උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොහැසුරුණෝය.” එහෙත් සියල්ලන් ම පැකිලුණේ නැත. බයිබල් වාර්තාව වැඩිදුරටත් පවසනුයේ මෙසේ ය: “නුඹලාත් අහක්ව යන්ට කැමැතිදැයි යේසුස්වහන්සේ දොළොසගෙන් ඇසූසේක. සීමොන් පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය.” (යොහන් 6:66-68) යේසුස් වහන්සේ අත්හැරීම විනාශකාරී වනු ඇතැයි යේසුස් වහන්සේගේ ප්‍රේරිතයෝ ප්‍රඥාවන්ත ලෙස තේරුම් ගත්හ.
වැටී යන සමහරු අවසානයේ දී ඒ හා සමාන නිගමනයකට එළඹෙති. දෙවියන් වහන්සේගේ සංවිධානය අත්හැර යාම විනාශකාරී වූ පියවරක් බවත්, ජීවනයට මඟ පෙන්වන වචන තමන්ට සොයා ගත හැක්කේ යෙහෝවඃ වහන්සේ හා ක්‍රිස්තුස් වහන්සේ සමඟ පමණක් බවත් ඔව්හු තේරුම් ගනිති. එවන් අවබෝධයක් ලැබීමත් සමඟ, යළි සලකා බැලීමට, යෙහෝවඃ වහන්සේගෙන් සමාව ඉල්ලා උන් වහන්සේ වෙතට හැරී ඒමට, තවමත් පමා වැඩි නැති බව ද ඔවුන් වටහා ගත යුතු ය. “මා වෙතට හැරී එන්න, එවිට මමත් ඔබ වෙතට හැරී එන්නෙමි” යන ආරාධනය පිරිනැමුවේ යෙහෝවඃ වහන්සේ ම ය.—මලාකී 3:7, NW.
ඇත්තෙන් ම, යෙහෝවඃ වහන්සේට සේවය කිරීමෙහි හැර, අවංක ක්‍රිස්තියානියෙකුට සතුට ලැබිය හැක්කේ වෙන කොතැනක ද? යමෙක් යම් කලකට දෙවියන් වහන්සේගේ සංවිධානයේ කොටසක් ව සිටීමෙන් පසු අයාලේ යන්නේ නම්, බාහිර ලෝකය තුළ තිබෙන කුමක් ඔහු ව ඩැහැගැනීමට මාන බලාගෙන සිටී ද? තමා දැන් එන්ට එන්ට ම දරුණු වෙමින් තිබෙන ලෝකයක කොටසක් බව ඔහු වහා වටහා ගනු ඇත. යෞවන පීටර්ගේ ජීවිතයට තර්ජනය කළ මඩ වළ වැනි, භයානක හා අප්‍රසන්න ලෝකයක, කුහකකම්, බොරු කීම්, වංචා කිරීම්, හා දුරාචාරය යනාදියෙන් ගහණ වූ දේවල පිළිවෙළක තමා ඇලී ගැලී සිටින බව ඔහු තේරුම් ගනු ඇත. ඔහු හොඳ සිහිය ලැබ, තමාගේ සදාකාල ජීවිතය අනතුරට ලක් වී ඇති බව වටහා ගත් විට, වහා ම එම තත්ත්වයෙන් තමා ව මුදවා ගැනීමේ ලා ඔහු ක්‍රියා කළ යුතු ය. එහෙත්, හැරී ඒම එතරම් පහසු නොවෙන්නට පුළුවන.
ඔබත් යෙහෝවඃ වහන්සේ වෙතට හැරී ඒමට වෑයම් කළමුත් එය අපහසු බව දැනුණ කෙනෙක් ද? එසේ නම් ඔබට උපකාරය අවශ්‍ය බව දැනගන්න. එසේ ම දෙවියන් වහන්සේගේ සංවිධානයේ සිටින ඔබගේ සහෝදර සහෝදරියන් ඔබට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින බව විශ්වාස කරන්න. එහෙත් ඔබගේ ආශාව යෙහෝවඃ වහන්සේට පෙන්වීමට ඔබ වෑයමක් දැරිය යුතු ය. ‘හොඳ සිහිය ලැබ’, ‘ඇත්ත වශයෙන් ම යෙහෝවඃ වහන්සේ වෙතට හැරී ඒමට’ කාලය මෙයයි.—1 රාජාවලිය 8:47.
හැරී ඒමට උපකාර කරනු ලැබී ය
යෙහෝවඃ වහන්සේ වෙතට හැරී ඒමට තමාට උපකාර කළ දෙය ඒඩා විස්තර කරන්නී ය: “හරියට ම වඩාත් උචිත මොහොතේ, මා සමඟ පාඩම පැවැත්වූ සහෝදරිය තමා සමඟ චාරිකා එක්රැස්වීමකට පැමිණීමට මට ආරාධනා කළා. ඇය එතරම් කරුණාවන්ත වූණා! තව ද ඇය මට කොහෙත් ම දොස් තැබුවේ නැහැ! ඇය මට එතරම් මහත් ප්‍රේමයක් පෙන්නුවා. මා මගේ අන්තිම රැස්වීමට පැමිණ මේ වන විට වසරක් ගත වී තිබුණත්, ලෝකයේ හිස්කම ගැනත්, එහි මතුපිටින් පෙනෙන්නට ඇති ආකර්ෂණීයත්වය පසුපස ඇති දුක්මුසු භාවය, නිෂ්ඵලත්වය, හා දුරාචාරය ගැනත් මම මෙනෙහි කරන්නට වුණා. එබැවින් එක්රැස්වීමට පැමිණීමට මා තීරණය කළේ මේ නිසයි. එක්රැස්වීම පැවැත්වෙන, රඟහළට පැමිණි පසු, මම අන්තිම ආසන පේළියට ගොස් අඳුරු කොනක සැඟවී හිඳ ගත්තා. සහෝදරයන් මා ව දැක ප්‍රශ්න අසනවාට මම කැමති වුණේ නැහැ.
“කොහොම වුණත්, එම වැඩසටහන ඇත්තෙන් ම මට අවශ්‍ය උපදෙස් ඉදිරිපත් කළා. එය අවසන් වූ විට, යෙහෝවඃ වහන්සේගේ ජනයා වෙත හැරී ඒමට පමණක් නොව මගේ මුළු හෘදයෙන් ම උන් වහන්සේට මා භක්තියෙන් සේවය කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටියා. සහෝදරයන් මා ව ඉතා උණුසුම් ලෙස පිළිගත්තා, ‘අකීකරු පුත්‍ර’ මෙන් වූ මා හැරී ආවා.” (ලූක් 15:11-24) ඒ සියල්ල සිදුවූයේ වසර ගණනාවකට පෙර වූ අතර, දැන් ඒඩා වසර 25කට වැඩි කාලයක් පූර්ණ-කාලීන සේවයේ යෙදී සිටින්නී ය.
නොමඟ ගිය තවත් තැනැත්තෙකු සම්බන්ධයෙන් ද මීට සමාන සතුට ගෙන දෙන ප්‍රතිඵල දැකිය හැකි ය. ඇතැම් වැඩිමහල්ලෝ බයිබල් ප්‍රතිපත්තිවලට වඩා තමන්ගේ ම කල්පනාවන්ට අනුව උපදෙස් හෝසේට දුන්හ. මින් අධෛර්යටත් නුරුස්නා ගතියටත් පත්, හෝසේ, අන්තිමේ දී අක්‍රියාශීලී තත්ත්වයට පත් විය. ඔහු අවුරුදු අටකට දෙවියන් වහන්සේගේ ජනයාගෙන් ඉවත් ව සිටි අතර, ඒ කාලය තුළ ඇදහිල්ලේ නැති තැනැත්තියක් හා විවාහ වී පියෙකු බවට පත් ව, ඔහුගේ දරුවන්ගෙන් එක්කෙනෙකු ව කතෝලික පල්ලියේ බව්තීස්ම වීමටත් ඉඩ හැරියේ ය.
අවසානයේ දී, ඔහුට උපකාර ලැබුණේ චාරිකා අවේක්ෂක ඔහු කෙරෙහි එඬේර බැහැදැකීමක් කොට, එලෙස ම බැහැදැකීම් කරන ලෙස වැඩිමහල්ලන් ව ද දිරිගැන්වූ විටයි. ඔහු ව යළි යථා තත්ත්වයට පත් කරන ලද අතර, තම භාර්යාව සත්‍යය කෙරෙහි උනන්දුවක් දක්වනු දැකීමට ද ඔහු සතුටු විය. දැන් හෝසේ සභාවේ වැඩිමහල්ලෙක් ලෙස සේවය කරයි. මෙම අත්දැකීම් දෙක පෙන්වන ආකාරයට, යෙහෝවඃ වහන්සේ, හැරී එන ලෙස තමන් වහන්සේ විසින් කරන ප්‍රේමනීය ආරාධනයට ප්‍රතිචාරය දක්වන අයගෙන් ආශීර්වාද වළක්වන්නේ නැත.
එනමුත්, එවන් ආශීර්වාදයන් භුක්ති විඳිනු පිණිස, යමෙක් මුලින් ම පිරිනමනු ලබන උපකාරය අගය කර ඊට ප්‍රතිචාරය දැක්විය යුතු ය. සභාවන් බොහොමයක අක්‍රියාශීලී වී ඇති අය ව සහෝදරයන්ට මතක ඇති අතර, ඔවුහු කලින් කලට, ඔවුන්ට උපකාර කිරීමට වෑයම් දරමින්, ඔවුන් ව බැහැ දකිති. එවන් උපකාරයට ප්‍රතිචාරයක් දැක්වීම යෙහෝවඃ වහන්සේගේ දයාව අගය කිරීමකි.—යාකොබ් 5:19, 20.
සත්‍ය වශයෙන් ම, “මා වෙතට හැරී එන්න” යන යෙහෝවඃ වහන්සේගේ ආරාධනයට ප්‍රතිචාරය දැක්වීමට කාලය මෙයයි. (මලාකී 3:7, NW; යෙසායා 1:18) තවදුරටත් බල බලා නොසිටින්න. ලෝක සිද්ධීන් පුදුම සහගත වේගයකින් සිදුවෙමින් පවතී. ඉදිරියේ ඇති කැළඹීම් සහිත කාලය තුළ දී සිටිය හැකි හොඳ ම ස්ථානය නම්, යෙහෝවඃ වහන්සේගේ සංවිධානය තුළ උන් වහන්සේගේ ආරක්ෂාව යටතේ සුරක්ෂිත ව ය. යෙහෝවඃ වහන්සේගේ උදහසේ මහත් දවසේ දී, උන් වහන්සේගේ මහත් කෝපයෙන් සඟවනු ලැබීමේ ස්ථිර බලාපොරොත්තුව තිබෙන්නේ, උන් වහන්සේ තුළ රැකවරණය ලබන අයට පමණි.—ශෙපනියා 2:2, 3. w92 8/1
“මා වෙතට හැරී එන්න” යන යෙහෝවඃ වහන්සේගේ ආරාධනයට ඔබ ප්‍රතිචාරය දක්වනු ඇත් ද?