ඇදහිල්ලෙන් සුව කිරීමට දෙවියන් වහන්සේගේ අනුමැතිය තිබෙනවා ද?
“අද අපි පුදුම දේ දුටිමු!” එසේ ය, බලාසිටින්නෝ පුදුමයෙන් පුදුමයට පත්වූහ. තද බල ලෙස අංශ භාග රෝගයෙන් පෙළුණු මිනිසා ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ම සුවය ලබා සිටී. සුව කරන්නා, එම මිනිසාට මෙසේ කීවේ ය: “නැගිට ඇඳ රැගෙන නුඹේ ගෙදරට පලයන්න.” මිනිසා හරියට ම කළේ එයයි! ඔහු තවදුරටත් අංශ භාග රෝගයෙන් පෙළුණේ නැත. එතැන රැස්වී සිටි පිරිස, “දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට” පටන් ගැනීම පුදුමයක් නොවේ! (ලූක් 5:18-26) මීට අවුරුදු 2,000කට පමණ පෙර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් කරන ලද මෙම සුව කිරීමට දෙවියන් වහන්සේගේ අනුමැතිය තිබූ බව සක්සුදක් සේ පැහැදිලි ය.
අද දින ගැන කුමක් කිව හැකි ද? අද දින වෛද්‍යමය ප්රතිකාරවලින් කිසි ම සුවයක් ලබා ගැනීමට නොහැකි අයට, ප්රාතිහාර්යමය සුව කිරීම, තවමත් ලබා ගත හැකි හොඳ සුව කිරීමේ ක්‍රමයක් ද? යේසුස් වහන්සේ සුව කිරීමේ ප්රතිහාර්යන් සිදු කළ සේක. අද දින ඇදහිල්ලෙන් සුව කරන්නෝ, උන් වහන්සේ ව අනුකරණය කරනවා යයි කියා සිටිති. ඔවුන්ගේ ප්‍රකාශයන් දෙස අප බැලිය යුත්තේ කෙසේ ද?
ඇදහිල්ලෙන් සුව කිරීම යනු, “යාච්ඤාව සහ දෙවියන් වහන්සේ වෙත දක්වන ඇදහිල්ල මගින් රෝගවලට ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක්” ලෙස අර්ථ දක්වා තිබේ. එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා මෙසේ තහවුරු කරයි: “ක්‍රිස්තියානි ධර්මය තුළ වූ ඇදහිල්ලෙන් සුව කිරීමේ ඉතිහාසය ආරම්භ වූයේ, යේසුස් වහන්සේගේ සහ ප්‍රේරිතයන්ගේ මවිතකර පුද්ගලික දේව සේවා ක්‍රියාකාරකම් සමඟ ය.” එසේ ය, යේසුස් වහන්සේ කැපී පෙනෙන සුව කිරීම් කළ සේක. අද දින සිටින ඇදහිල්ලෙන් සුව කරන්නන්, යේසුස් වහන්සේ කළාක් මෙන් ප්රාතිහාර්ය සිදුකරනවා ද?
ඇදහිල්ල—අවශ්‍යතාවයක් ද?
බ්ලැක්’ස් බයිබල් ඩික්ෂනරි පවසන පරිදි, යේසුස් වහන්සේ, “සිය සුව කිරීමේ ප්රාතිහාර්යන් සඳහා [ඇදහිල්ල] අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙස විශේෂයෙන් සඳහන් කළ සේක.” නමුත් සැබෑ තත්ත්වය වූයේ එය ද? අසනීපයකින් පෙළෙන තැනැත්තෙකු ව සුව කරනු ලැබීමට පෙර ඔහුට ඇදහිල්ල තිබිය යුතු බවක් උන් වහන්සේ එම තැනැත්තාගෙන් තරයේ ඉල්ලා සිටි සේක් ද? පිළිතුර නම් නැත යනුයි. සුව කරන්නාගේ පැත්තෙන් ඇදහිල්ල අවශ්‍ය වූ නමුත්, රෝගියාගේ පැත්තෙන් එය අනිවාර්යයෙන් ම අවශ්‍ය වූයේ නැත. එක් අවස්ථාවක, අපස්මාර රෝගයෙන් පෙළුණු පිරිමි ළමයෙකු ව සුව කිරීමට යේසුස් වහන්සේගේ ගෝලයෝ අපොහොසත් වූහ. එම පිරිමි ළමයා ව සුව කළ යේසුස් වහන්සේ, ඔහු ව සුව කිරීමට ගෝලයන් අසමත් වූ හේතුව ඔවුන්ට ඉන් පසු ව පැවසූ සේක. “උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය.”—මතෙව් 17:14-20.
මතෙව් 8:16, 17 හි පවසන පරිදි, යේසුස් වහන්සේ, “රෝගාතුරවූ සියල්ලන් සුවපත් කළසේක.” යේසුස් වහන්සේ වෙතට එළැඹීමට තමන්ට හේතු කරවූ යම් පමණක විශ්වාසයක් මෙම ජනයා හට තිබූ බව ඇත්ත ය. (මතෙව් 8:13; 9:22, 29) බොහෝ අවස්ථාවන්හි දී, උන් වහන්සේ ඔවුන් ව සුව කිරීමට පෙර, උන් වහන්සේ වෙතට පැමිණ එය ඉල්ලා සිටීමට ඔවුන්ට සිදු විය. කෙසේ වුවද, ප්රාතිහාර්ය සිදු කරනු ලබන පිණිස, කිසි ම ඇදහිල්ලේ ප්‍රකාශ කිරීමක් අවශ්‍ය වූයේ නැත. එක් අවස්ථාවක, යේසුස් වහන්සේ යනු කවුද කියාවත් නොදැන සිටි කොර මිනිසෙකු ව යේසුස් වහන්සේ සුව කළ සේක. (යොහන් 5:5-9, 13) යේසුස් වහන්සේ ව අත් අඩංගුවට ගනු ලැබූ රාත්‍රියේ දී, උත්තම පූජකයාගේ සේවකයා, අත් අඩංගුවට ගැනීම සඳහා පැමිණි උන් වහන්සේගේ සතුරන්ගෙන් යුත් කණ්ඩායමේ කෙනෙකු ව සිටියත්, උන් වහන්සේ මෙම මිනිසාගේ කපා දමනු ලැබූ කන සුව කළ සේක. (ලූක් 22:50, 51) ඇත්ත වශයෙන් ම, යම් අවස්ථාවන්හි දී, යේසුස් වහන්සේ මළවුන් ව පවා නැගිටෙවූ සේක!—ලූක් 8:54, 55; යොහන් 11:43, 44.
එවන් ප්රාතිහාර්යන් සිදු කරන්නට යේසුස් වහන්සේට හැකි වූයේ කෙසේ ද? මක්නිසාදයත් උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය හෙවත් ක්‍රියාකාරක බලය මත රඳා සිටි නිසා ය. සුව කිරීම කළේ මෙයයි, නැති ව අසනීප තැනැත්තාගේ ඇදහිල්ල නොවේ. ඔබ ශුභාරංචි පොත්වල වාර්තා කියවා බැලුවහොත්, යේසුස් වහන්සේ විසින් කරන ලද සුව කිරීම් උත්සවශ්‍රීයෙන් නොකරනු ලැබූ ඉතා සරල ඒවා වූ බව ඔබ දැනගන්නවා ඇත. ප්‍රදර්ශනය කිරීමක් හෝ චිත්ත වේගයන් ඇවිස්සීමෙන් වසඟ කර ගැනීමක් හෝ එහි නොවී ය. එපමණක් ද නොව, රෝගය කුමක් වුවත්, යේසුස් වහන්සේ කිසි විටෙකත් එය සුව කරන්නට අසමත් වූයේ නැත. උන් වහන්සේ සෑම විටෙක ම සාර්ථක වූ සේක, තව ද උන් වහන්සේ කිසි විටෙකත් ගාස්තුවක් අය කළේ නැත.—මතෙව් 15:30, 31.
වත්මන් සුව කිරීම් යේසුස් වහන්සේ කළ සුව කිරීම්වලට සමාන ද?
අසනීප වනාහි උග්‍ර ගැටලුවකි, තව ද එය අපට පහර දෙන විට, අප ඉන් සහනය සෙවීම ස්වභාවික ය. එනමුත්, අප ජීවත් වන්නේ, “මිනිසුන් ව, විශේෂයෙන් ම දුප්පත් අය ව මිනිසුන් ලෙස නොව, දේවල් ලෙස සෞඛ්‍යය සේවා වෘත්තිකයන් විසින් ප්‍රතිකාර කරනු ලබන” ප්‍රදේශයක නම්, තත්ත්වය කුමක් ද? එක් වෛද්‍යවරයෙක්, එක් ලතින් අමෙරිකානු රටක නිරීක්ෂණය කළ දෙය මෙයයි. ඇරත්, එම රටේ මෙන්, ‘තම වෘත්තිය පවත්වා ගෙන යාමට වෛද්‍යවරුන්ගෙන් සියයට 40ක් පමණක් සුදුසුකම් ලැබ සිටින’ ප්‍රදේශයක අප සිටිනවා නම් තත්ත්වය කුමක් ද?
වෙන කිසි අයුරකින් සුවය ලබන්නට බැරි බව දකින බොහෝ දෙනෙක්, අඩු තරමින් ඇදහිල්ලෙන් සුව කිරීම ගැනවත් උත්සාහයක් කර බැලීම මැනවයි කල්පනා කිරීම මහත් පුදුමයට කරුණක් නොවේ. එහෙත්, ඇදහිල්ලෙන් සුව කරන්නන් විසින් සිදු කළා යයි කියා සිටින සුව කිරීම් මතභේදයට තුඩු දී තිබේ. නිදසුනක් වශයෙන්, බ්‍රසීලයේ, සාඕ පාවුලෝ නුවරේ, 70,000ක පමණ තක්සේරු කරන ලද සංඛ්‍යාවක් මෙවන් රැස්වීමකට පැමිණි අතර, මෙහි දී සුව කරන්නන් දෙදෙනා, ‘සබයේ සිටි අය විසින් විසි කරන ලද ඇස් කණ්ණාඩි සිය ගණනක් පයින් පාගා දැමුවේ, තමන්ට සුව වේ යයි විශ්වාස කිරීමට කැමති වූ, ඒවායේ අයිතිකරුවන්ගේ ඇස් පෙනීම නැවත ලබා දෙන බවට පොරොන්දු වෙමිනි.’ එක් සුව කරන්නෙක්, සම්මුඛ සාකච්ඡාවක දී, අවංක ව පිළිගත්තේ මෙසේ ය: “අප යාච්ඤා කරන සියලු රෝගාතුරයන් සුව වේවි යයි මට කියන්නට බැහැ. එය රඳා පවතින්නේ ඔවුන්ගේ ඇදහිල්ල මතයි. පුද්ගලයෙකුට විශ්වාසය තිබෙනවා නම්, ඔහු සුව වේවි.” යමෙකු ව සුව කිරීමට අසමත් වුණා නම්, දොස් පැවරුවේ රෝගියාගේ පැත්තෙන් ඇදහිල්ල මදිකමට ය. එහෙත්, එවන් සුව වීමට අසමත්වීමක දී, යේසුස් වහන්සේ දොස් පැවරුවේ, සුව කිරීම කරන තැනැත්තාගේ ඇදහිල්ලේ මඳකම නිසා ය.
පිළිකා රෝගය සහ අංශ භාග රෝගය සුව කරනවා යයි තවත් සුව කරන්නෙක් පොරොන්දු විය. සිදු වූයේ කුමක් ද? වේජා සඟරාව පවසන පරිදි, “පෙනෙන ලෙස, පොරොන්දුව ඉටු වුණේ නැත.” මෙම මිනිසා හැසුරුණු ආකාරය ගැන සවන් දෙන්න: “පැය දෙකක පමණ කාලයක් මුළුල්ලේ, [ඇදහිල්ලෙන් සුව කරන්නා] අදහන්නන්ගේ සිරුරුවල ලැගුම්ගෙන සිටින භූතයන් ව දුරු කිරීමේ අටියෙන්, දේශනා, යාච්ඤා, කෑගැසීම්, ගී ගැයීම්—පහර දීම්වලින් පවා සබයේ සිටින්නවුන් ව විනෝද කළේ ය. අන්තිමේ දී, ඔහු තම ටයි පටිය සහ අත්ලේන්සුව කුල්මත් වී සිටි සබය දෙසට විසි කර, ‘ස්වේච්ඡා සම්මාදම්’ එකතු කිරීම සඳහා, පිඟානක් අතින් අත යැවී ය.” යේසුස් වහන්සේ සහ සිය ප්‍රේරිතයෝ, ප්රාතිහාර්යමය සුව කිරීම් සඳහා කිසි විටෙකත් මුදල් ඉල්ලුවේ නැත, තව ද ඔවුන් කිසි විටෙකත් එවැනි අශෝභන නාට්‍යමය රඟ දැක්වීම් බඳු දේවල නියැලුණේ නැත.
එසේ නම්, වත්මන් ඇදහිල්ලෙන් සුව කරන්නන් යේසුස් වහන්සේ කළ දෙය කරන්නේ නැති බව පැහැදිලි ය. අනෙක, ඔවුන් කරන දෙය දෙවියන් වහන්සේ අනුමත කරනු ඇතැයි යන්න සිතීම උගහට ය. එහෙත්, අද දින ඕනෑ ම ප්රාතිහාර්යමය සුවයක් උන් වහන්සේ අනුමත කරන සේක් ද? එසේ නැත්නම්, අප හෝ අප ප්‍රේම කරන අය අසනීප වන විට, අපගේ ඇදහිල්ල අපට උපකාර කරන යම් වෙන මාර්ගයක් තිබේ ද? w92 6/1