ගොආජිරෝ ඉන්දියානුවෝ හොඳින් ප්‍රතිචාර දක්වති
විශාල ගසක සෙවණ යට වාඩි වී, බිම ගෑවෙන කළු ලෝගුවකින් සැරසී සිටි, මහලු කත ව පෙනුනේ හරියට වෙනත් ලෝකයකින් පැමිණියා වගේ. ඈ කථා කළේ ද අපට නුහුරු නුපුරුදු භාෂාවකින්. “ආපසු එන්න.” ඈ උද්යෝගයෙන් යුතු ව පැවසුවා. ඈ වටේට වාඩිගෙන සිටි ඇගේ ම වර්ගයට අයත් අනෙකුත් මිනිසුන් 50 දෙනා ව පෙන්වමින් ඈ මෙසේ ද පැවසුවා: “ඔයගොල්ලො ආපසු එනවාට අපි සියල්ලන් ම කැමතියි. සෑම සතියක ම එන්න!”
මේ මිනිසුන් කවුරුන් වී ද? ඔවුන් අප ව මීට පෙර කවදාවත් හමුවී නැතත්, අප ආපසු පැමිණෙනවාට ඔවුන් මේ තරම් ආශාවකින් සිටියේ ඇයි? කොලොම්බියාවට ඊසාන දිගින් හා යා බද වෙනිසියුලාවට වයඹින් පිහිටි ලා ගුවාජිරා අර්ධද්වීපයේ වාසය කරන ගොආජිරෝ ඉන්දියානුවන් සමඟ අප ගත කළ දවසක් ගැන කථා කිරීමට අපට අවසර දෙන්න.
පළමුවෙන් ම සිත් ඇද ගත් දේ
වෙනිසියුලාවේ අගනුවර වන කාරකාස් නුවරින් පිට වූ අප පළමුවෙන් ම ගමන නතර කළේ මරකයිබෝ නගරයේයි. අප නගරය තුළට ගමන් කරනවාත් සමඟ ම, දිගු, වර්ණවත් ලෝගුවලින් සැරසී සිටි තරුණ කතුන් තිදෙනෙක් පාර දිගේ ගමන් කරනවා අප දුටුවා. ඔවුන්ගේ ශරීර ලක්ෂණ සාමාන්‍ය වෙනිසුවෙලා වැසියෙකුට වඩා වෙනස් වුණා—උස් වූ කපෝලාස්ථි, දුඹුරු පාට හම, දිගු කළු වරලස. ඔවුන්ගේ පහසු, ගෞරව සම්පන්න ගමන දැක, පළමු වරට ගොආජිරෝ ඉන්දියානුවන් දැකීමෙන් අපගේ කුතුහලය ඇවිස්සුණා.
ලා ගුවාජිරා අර්ධද්වීපයට අප ගිය පළමු දවස පැහැදිලි සෞම්‍ය දවසක් වුණා. උදාහිරුගේ තද අව් රශ්මිය වැටෙන්නට පෙර, 50 දෙනෙකුගෙන් සමන්විත වූ අපි බසයට නැඟුණේ, මේ වෙනිසියුලාවේ ඈත ප්‍රදේශවලට බයිබල් පණිවුඩය ගෙන යාමට රට පුරා විශේෂ ප්රයත්නයකට හවුල්වීමේ උනන්දුවෙනුයි. අප යමින් සිටියේ කොලොම්බියාවේ දේශ සීමා මායිමේ පිහිටි පැරාගුවාචොන් වෙතයි.
මරකයිබෝ පුරයෙන් පිටත් වුණු අප, කුඩා නගර හා ගම් දනව් පසු කර ගියා, මේ සෑම එකකට ම වියන ලද සෙරෙප්පු කුට්ටම් හා මැන්ටාස් කියා හඳුන්වන දිග වර්ණවත් ලෝගු විකුණන කඩසාප්පු සංකීර්ණයක් හා කුඩා කඩ කාමර තිබුණා. සෑම ගමකට ම, චමත්කාර දසුනක් මවමින්, පිළිවෙළකින් යුත් වෙළෙඳ සංකීර්ණයක් තිබූ අතර, විවිධ වර්ණයන්ගෙන් සරසා තිබූ පල්ලි තිබුණා. සියලු ම මිනිසුන්ට තිබුණේ ඉන්දියන්වරුන්ගේ ගති ලක්ෂණයි. ඔවුන් අපට වඩා වෙනස් බවක් පෙනෙන්ට තිබුණත්, මේ අයගෙන් සමහරෙක් මුල් වෙනිසුවේලානු වැසියන් බව අපට ම මතක් කර ගන්නට අපට සිදු වුණා.
ගෙවල් සොයා යමින්
අවසානයේ දී, අප අපේ ගමනාන්තයට ආවා. පාර අයිනේ නොඋස් තාප්පයක් අසල විශාල සෙවණක් දුන් ගසක් යට අපගේ බසය නතර කළා. තාප්පයේ අනෙක් පැත්තේ තිබුණේ ගමේ පාසල—එය ඉරිදා දිනයක් බැවින් පාසල වසා තිබුණා.
කණ්ඩයාම් දෙකකට බෙදුණු අප, ගෙවල් සොයා යමින් ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කළා. එදින දහවල් තුනට පාසල් භූමියේ ගොආජිරෝ භාෂාවෙන් දෙනු ලබන බයිබල් කථාවට සෑම කෙනෙකු ව ම ආරාධනා කිරීමට අපට තිබුණා. අප සමඟ හවුල් වූයේ ස්වදේශක ගොආජිරෝ ඉන්දියානු කතක් වූ එවැලින්ඩා ය. අපට ස්පාඤ්ඤ භාෂාව කථා කිරීමට හැකි ව තිබුණත්, ගොආජිරෝ භාෂාව ගැන අප කිසිවක් නොදැන සිටි නිසා, මේ මගින් අප ව පිළිගනු ලැබේවි කියා අප තුළ බලාපොරොත්තුවක් තිබුණා.
ගමෙන් පිටතට පැමිණීමත් සමඟ ම, ගෙවල් අතර බොහෝ දුරක් ඇවිදින්නට අපට තිබුණා. දෙපැත්තේ ම ඝන පඳුරු තිබූ, දිග, කෙළින් පාරක අප ගමන් කරනවාත් සමඟ ම, අවුරුදු දහයක පමණ කුඩා පිරිමි ළමයෙක් අපගේ පැත්තකින් අප සමඟ පයින් ගමන් කරමින් කුතුහලයෙන් මෙන් අප දෙස බලමින් සිටියා. ඔහු දෙස බලා මඳ සිනහවක් පෑ එවැලින්ඩා, අප මෙම ප්‍රදේශයට පැමිණීමේ අරමුණ ගැන ගොආජිරෝ බසින් ඔහුට පැහැදිලි කළා. ඔහුගේ නම වූයේ ඕමාර්, කථාවට පැමිණෙන ලෙස අප ඔහුට ආරාධනා කළායින් පසු, ඔහු ඉවත් ව දිව ගියා.
මෙම පාරෙන් කුඩා අඩි පාරකට අප පිවිසුනු අතර, ළඟ දී පැවති වර්ෂාව නිසා ඒ වන විටත් එය තෙත් ගතියකින් තිබුණා. මෙය කොලොම්බියාව සහ වෙනිසුවෙලා අතර හොර බඩු ගෙන යන්නන්ගේ අඩිපාරක් බව අපට දැනගන්නට ලැබුණා. වාතය හොඳින් වැඩුණු ගහකොළවල සුවඳින් නැහැවී තිබුණා. තෙතමනයෙන් යුත් තාපය අපට මඳක් පීඩාකාරී වුවත්, එය අපගේ උද්යෝගය බාල කළේ නැහැ. මොනවා වුණත්, සියලු ම අපහසුතාවයන් අමතක වී ගියේ, උෂ්ණ කලාපයට අයත් ඝන වනය පසු කොට අප හදිසියේ ම විශාල එළිමහන් ප්‍රදේශයකට අවතීර්ණ වූ විටයි—ඒ නම් සුපුරුදු ගොආජිරෝ ජනපදයක්.
ගොආජිරෝ වැසියන් සමඟ මුහුණට මුහුණලා
සුදු, කළු සහ දුඹුරු ලපවලින් යුත් එළුවන් කිහිප දෙනෙක්, ශාන්ත ගතියෙන් යමක් විකමින් සෙවණේ වැතිර සිටියා. ගස් දෙකක් අතර බැඳ තිබූ එල්ලෙන ඇඳක හාන්සි වී සිටි මවක් ඇගේ ළදරුවාට කිරි දෙමින් සිටියා. පොඩිත්තන් දෙදෙනෙක් ඒ අසල සෙල්ලම් කරමින් සිටියා. ඈ සිටියේ කටු මැටි බිත්තිවලින් සාදා අතු සෙවිලි කළ ගේ වටා දමා තිබූ කම්බි වැටෙන් පිට පැත්තෙයි. ඒ අවට පෙදෙසේ කුඩා මඩු කිහිපයක් ද තිබුණා. පෙනෙන හැටියට ඉන් එකක් කුස්සිය වගේ, මොකද ඒකේ බිම තිබූ ඇවිලෙන දර ලිප මත කල්දේරම් වගේ කළ ගෙඩි තිබුණා. ඒ අසල එළු හම් වේලෙන්නට දමා තිබුණා.
අප ළඟාවෙමින් සිටිනවා දුටු ගේට්ටුව ළඟ සිටි මිනිසෙක්, හනික ඉදිරියට දිව ගොස් කුඩා බංකු දෙකක් රැගෙන ඇවිත්, එල්ලෙන ඇඳෙහි සිටි ස්ත්‍රිය අසල තැබුවා. මේ මිනිසා හා ස්ත්‍රියට ඔවුන්ගේ බසින් ආචාර කළ එවැලින්ඩා, පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න නමැති පිංතූර සහිත විවරණිකාව යොදා ගනිමින් අනාගතය සඳහා වූ ශුද්ධ ලියවිලිමය බලාපොරොත්තුව ඔවුන්ට පැහැදිලි කළා! මෙම ප්‍රදේශයේ තිබූ සාමකාමී තත්ත්වය අපට කියා පෑවේ, ජාත්‍යන්තර අර්බුද ගැන හෝ නගරය තුළ සිදුවන ජාවාරම්වල වැඩි වීම ගැන කථා කිරීම මෙතැනට ගැලපෙන්නේ නැති බවයි. ගොආජිරෝ ඉන්දියානුවන් ස්වභාවයෙන් ම වැඩිය කථා බහ නොකරන හුදෙකලා අය නිසා, මුලින් ම උණුසුම් බවක් හා අව්‍යාජ පුද්ගලික සැලකිල්ලක් පෙන්වීම වැදගත් දෙයක් බව කණ්ඩායමේ සිටි එක් සාක්ෂිකරුවෙක් පහදා දී තිබුණා. ඈ මෙසේ පැවසුවා: “අපි බොහෝ විට අහන්නේ පවුලේ සෞඛ්‍යය තත්ත්වය ගැන, ඔවුන්ගේ අස්වනු ගැන, ළඟදී වැසි වැස තිබුණා ද නැද්ද, ඒ වගේ දේවල් ගැනයි. දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කථා කොට, යෙහෝවඃ වහන්සේ ඉතා ඉක්මනින් ම සියලු දුක් කම්කටොළු හා ඔවුන් විශේෂයෙන් බිය වන සාතන් වන යක්ෂයා ව ඉවත් කර දමන්නට යන බවත් පෙන්වීමට මෙය අපට මාර්ගය විවෘත කර දෙනවා.”
එවැලින්ඩා කථා කරනවාත් සමඟ ම, ඈට සවන් දෙමින් සිටි අය ඊට එකඟ වන බවක් පළ කළා, වැඩි වේලාවක් යන්නට මත්තෙන්, තවත් ස්ත්‍රියක් සහ දරුවන් කිහිප දෙනෙක් අපට එකතු වුණා. එක් මිනිසෙකුට භාර්යාවන් එක්කෙනෙකුට වඩා වැඩියෙන් තබා ගැනීමට ගොආජිරෝ නීතියෙන් අවසර දී තිබෙන බව අපි කලින් දැන ගෙන තිබුණා. මේ පවුලේ තත්ත්වය එය විය හැකි ද? මරකයිබෝ නුවර ජීවත්වන, 21 හැවිරිදි, සිත් ගන්නා පෙනුමක් ඇති යෙනී ගැන මේ වෙලාවේ අපට මතක් වුණා. පොහොසත් ගොආජිරෝ මිනිසෙක් ඈට හොඳ දෑවැදි මුදලක් ඉදිරිපත් කළා, නමුත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් නොවන ඇගේ දෙමාපියෝ මේ ගැන භේද වී සිටියා. ඇගේ මව මේ ඉල්ලීමට එකඟ වුණත්, යෙනීගේ පියා ඊට එකඟ වුණේ නැහැ. මේ යෝජනාව ගෙනා තැනැත්තා ඒ වන විටත් යෙනීගේ සහෝදරියක සමඟ විවාහ වී සිටියා!
එවැලින්ඩා ඇගේ ඉදිරිපත් කිරීම අවසන් කළායින් පසු, මෙම මිනිසා විවරණිකාවක් ලබා ගත්තා. ඔහුට පිටුපසින් සිට ගෙන සිටි ස්ත්‍රිය ද විවරණිකාවක් ඉල්ලා සිටියෙන්, ඒ ගැන අනුග්‍රහ දක්වන්නට අප සතුටු වුණා. ඒ වන විට අපගේ අනෙක් මිතුරන් අප ව පසු කර ගොස් තිබුණා. මේ නුහුරු නුපුරුදු පරිසරය තුළ අතරමං වෙන්නට වුවමනා නැති නිසා, දහවලේ පැවැත්වෙන කථාවට පැමිණෙන ලෙස එම පවුලට ආරාධනා කළ අපි එම ස්ථානයෙන් පිටත් වුණා.
කණ්ඩායමට අයත් එක් සාක්ෂිකරුවෙක් තමාට සිදු වූ දෙයක් ගැන පැවසුවා. එල්ලෙන ඇඳක සිටි එක් මිනිසෙකු ඔහුට සාවධාන ව සවන් දෙමින් සිටි අතර, ඔහුගේ බිරිඳ, අඹරා ගත් ධාන්‍ය වර්ගයකින් සාදන ලද චිචා වීදුරු දෙකක් ගෙන ආවා. ආචාරශීලී ව මෙය පිළිගත් අපගේ සහෝදරයා එය පානය කළා. පසු ව, ඔහුගේ ගොආජිරෝ හවුල්කාරිය, මැගලි, එය සාදනු ලැබූ ආකාරය විස්තර කළා. සාමාන්‍යයෙන්, ධාන්‍යය අඹරා ගනු ලබන්නේ කටේ දත්වලින්! ඔහුගේ මුහුණ සුදුමැලි වේගන යනවා දුටු ඈට ඇගේ සිනහාව වාවා ගත නොහැකි වුණා.
බයිබල් පණිවුඩය රැගෙන තම නිවසට ඒමට මහන්සි ගන්නා අපගේ සහෝදරයන් ව දැක ඒ ගැන පැහැදුනු වෙනත් ඉන්දියානු මහතෙක්, ඔහුගේ එල්ලෙන ඇඳෙන් පිටතට ආවා. ඔහු කමිසයක් දමා ගෙන, අතපසු වී සෙවීමට දුෂ්කර ව තිබූ, මිනිසුන් පදිංචි ව සිටි ස්ථානයක් කරා පුද්ගලික ව ඔවුන් ව යොමු කළා.
අපගේ මිතුරන් කිහිප දෙනෙක් පවුලක වැඩිහිටියන් සමඟ කථා බහ කරමින් සිටි, එළිමහන් තැනකට ආ අපට දැක ගන්නට ලැබුණේ, ගහක් යට සිට ගෙන සිටි, ඉදිරියට නෙරා ගිය උදරයන් සහිත, නිරුවත් කුඩා ළමුන් සමූහයක්. මේ තත්ත්වය උද්ගත වී තිබෙන්නේ, මන්දපෝෂණය හා පරපෝෂිතයන්ගේ ඒකාබද්ධ වීමක් නිසා යයි අප දැනගත්තා. මේ මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකුට නල ජලය හෝ විදුලිය තිබුණේ නැහැ. ඇත්තෙන් ම, ඒ කියන්නේ, ඔවුන්ට ශීතකරණ, විදුලි පංකා, හෝ විදුලි පහන් තිබුණේ නැහැ.
බලාපොරොත්තු නොවූ සංඛ්‍යාවක් පැමිණේ
උදේ වරුව ඉතා වේගයෙන් ගෙවී ගොස් තිබුණා. අපගේ දිවා ආහාර ගැනීමට අප නැවත බස්රිය වෙත යනවාත් සමඟ ම, අප සිතුවේ ආරාධනා ලැබූ කී දෙනෙක්, දහවලේ පැවැත්වෙන අපගේ බයිබල් කථාවට පැමිණේවි ද යන්නයි.
පස්වරු 2:45ට පමණ, අප සිතුවේ, ප්‍රදේශයේ භාෂාවෙන් මිනිත්තු 45ක කථාවක් දීමට සූදානමින් සිටි අපගේ ගොආජිරෝ සහෝදරයාගේ සබය වනු ඇත්තේ බසයෙන් පැමිණි අය වන අප පමණක් ද කියායි. නමුත් නැහැ! පළමු කුඩා පවුල ලජ්ජාවෙන් මෙන් පාසල් භූමියට පැමිණියා. සෑම කෙනෙක් විසින් ම ඔවුන් ව සාදරයෙන් පිළිගැනීම ගැන ඔවුන් මවිතයට පත් වන්නට ඇති. ඊළඟ මිනිත්තු කිහිපය තුළ, තවත් බොහෝ අය ආවා, පැහැදිලි ව ම සමහරක් අය බොහෝ දුර ගෙවා ගෙන පැමිණ තිබුණා. එළුවන් කිහිප දෙනෙක් සහිත එළිමහන් පෙදෙසේ විසූ පවුල ද ඇවිත් තිබුණා! ඒ එල්ලෙන ඇඳේ කාන්තාව ලස්සන කළු මැන්ටාවෙන් සැරසී සිටින විට මොනතරම් වෙනස් ද! අපට පාරේදී හමුවුනු කුඩා ඕමාර් ද පැමිණ සිටියා, පෙනෙන විදිහට තනි ව ම වගේ. තවත් අය පැමිණෙනවාත් සමඟ ම, බංකුවක් සේ යොදා ගත් පාසල් භූමියේ වූ පඩිය පිරී ගියා. ඒ වේලාවේ දී, අපගේ මිත්‍ර බස් රියදුරා ආසන බසයෙන් ගලවා, කථාව අතරතුර එයට සවන් දෙන අයට වාඩිවීමට සැලැස්සුවා.
මුළුමනින් ම ගොආජිරෝ ඉන්දියානුවන් 55ක් වාඩිවී, එඩුවාඩෝගේ බයිබල් කථාවට සවන් දුන්නා. ඒ වුණත් ඔවුන් මුළුමනින් ම නිහඬ ව සිටියේ නැහැ. කථිකයා සඳහන් කළ කරුණකට ඔවුන් එකඟ වුණා නම්, ඊට ඔවුන්ගේ අනුමැතිය පළ කරමින් හූ මිටි දුන්නා. පැමිණෙන්නට යන දුෂ්ටකමේ නිමාව ගැන ඔහු කථා කළ අවස්ථාවේ දී, මෙම ලිපියේ ආරම්භයේ දී සඳහන් වූ වයසක කත, ඊට හවුල් වී, “අපොයි ඔව්, දුෂ්ටකම හුඟක් තියෙනවා” යයි සියල්ලන්ට ඇහෙන තරමට මහ හඬින් පැවසුවා. “ඇත්තෙන් ම කියනවා නම්, සමහරක් දුෂ්ට මිනිස්සු මෙතැන ම වාඩි වෙලා සිටිනවා. මා හිතනවා ඒ අයත් අහගෙන ඉන්නවා කියලා!” සහෝදර එඩුවාඩෝ උපයාශීලී ව පවසනු ලැබූ දේ පිළිගෙන, ඔහුගේ කථාව දිගට ම කරගෙන ගියා.
කථාව හමාර වුණායින් පසු, අපගේ එක් කණ්ඩායමක් ඡායාරූපයක් ගත්තා. එයට කැමති වුණ ගොආජිරෝනුවෝ, පොළොව මත ජීවිතය විවරණිකාව ඔවුන් විසින් ඊළඟ ඡායා රූපයට අල්ලා ගෙන සිටිය යුතුදැයි ඇසුවා. සමහරු ක්‍රමක්‍රමයෙන් ඉවත් ව ගිය නමුත්, ඔවුන්ගෙන් අඩක් පමණ නැවතී සිට, අප බසයට නගිනවා බලා සිටියා. අප නැවත එන බවට පොරොන්දු කරවා ගත් ඔවුහු, අපගේ බසය නොපෙනී යන තෙක් ම අත වැනුවා.
අප බසයෙන් එතැනින් ඉවත් ව ගියාත් සමඟ ම අපට දැනුණේ, මෙම මිනිසුන් වෙත දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ගෙන යාම අපට ලැබුණු වරප්‍රසාදයක් බවයි. බොහෝ දෙනෙක් එය ඇසුවේ ජීවිතයේ පළමු වතාවටයි. මරකයිබෝ නුවර සිටින සාක්ෂිකරුවන් ඔවුන්ගේ ඊළඟ ගමන ගැන ඒ වන විටත් කථා කරමින් සිටියා. මේ කථාන්තරයට මතු සම්බන්ධ කොටසක් තිබෙනු ඇත් ද?
සාර්ථක මතු සම්බන්ධ කොටස
සති දෙකකට පසු ව සහෝදරයන් ආපසු ගියා. බයිබල් පොත් පත් ගණනාවක් බෙදා දෙනු ලැබුවා. උනන්දුව දැක්වූ අය වෙත නැවත බැලීම් කරනු ලැබුවා. නිවාස බයිබල් පාඩම් පටන් ගැණුනා. එපමණක් නොවෙයි, ඉන්දියානුවන් 79 දෙනෙක් ඊළඟ එළිමහන් ප්‍රසිද්ධ රැස්වීමට පැමිණියා. ඒ අවස්ථාවේ අපගේ සහෝදරයන් කථා කරමින්, චාරිකා එක්රැස්වීමක් තිබෙන නිසා සති දෙකකින් නොව, සති තුනකින් තමන් ආපසු එන බව පැහැදිලි කළා. ඉන්දියානුවන් අන්දුන් කුන්දුන් වුණා. “ඊට ඉස්සර වෙලා අපි මැරේවි!” ඔවුන්ගෙන් කෙනෙක් පැවසුවා. චාරිකා එක්රැස්වීමක් කියන්නේ කුමක් ද කියා ඔවුන් ඇසුවා. එය කොතරම් සිත් ඇදගත්තා ද කිවහොත් ඔවුන්ටත් එහි යාමට වුවමනා බව ඔවුන් තීරණය කළා! මේ පිළිබඳ ව විධිවිධාන යෙදුණා, මරකයිබෝ නුවර පැවැත්වුණු චාරිකා එක්රැස්වීමට සහභාගි වීමට ඔවුන්ගෙන් 34 දෙනෙකුට හැකි වූ අතර, ස්පාඤ්ඤ බසින් ඉදිරිපත් වුණු එම වැඩසටහන තේරුම් ගන්නට ගොආජිරෝ කථා කරන සහෝදරයන් ඔවුන්ට උපකාර කළා.
යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත නම්, “සියලු ආකාර මනුෂ්‍යයන්, . . . සත්‍යය පිළිබඳ ව ඒකාන්ත දැනුමක් ලබා ගැනීමට පැමිණීමයි.” (1 තිමෝති 2:3, 4, NW) ලා ගුවාජිරෝ අර්ධද්වීපයේ වෙසෙන සත්‍යය සොයමින් සිටින මෙම ඉන්දියානුවන්ගෙන් එවැනි සතුටුදායක ප්‍රතිචාරයක් දක්නට ලැබීම මොනතරම් ප්‍රීතියක් ද! w92 5/15
බයිබල් සත්‍යයෙන් ප්‍රබෝධවත් වූ ජීවිත
නව යොවුන් වියේ පසුවන ගොආජිරෝ ජාතික අයිරිස් සහ මාර්ගරීටා, පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න නමැති විවරණිකාව දැක ප්‍රීතියෙන් ඉපිළ ගියා! එහෙත් ඔවුන්ට ගැටලුවක් තිබුණා. කියවන විදිහ ඔවුන් දැනගෙන සිටියේ නැහැ. ඔවුන්ට කථා කළ සාක්ෂිකරුවන් ලර්න් ටු රීඩ් ඇන්ඩ් රයිට් නමැති කුඩා පොත් පිංච මාර්ගයෙන් ඔවුන්ට උදව් කිරීමට කැමැත්ත පළ කළා. වැඩි කල් යන්නට මත්තෙන්, කියවීමටත් යෙහෝවඃ වහන්සේගේ නාමය නිවැරදි ව උච්චාරණය කිරීමටත් හැකි වීම ගැන ඒ ගැහැණු ළමයි මහත් සේ සතුටට පත්වුණා.
ඔවුන් වර්ධනය වනවාත් සමඟ ම, බයිබලයේ විස්තර කර ඇති පුදුමාකාර බලාපොරොත්තුව ගැන ඔවුන් මවිතයට පත් වුණා. සියලු මිනිස් වර්ගයා නිදහස භුක්ති විඳිනු ඇතැයි යන පොරොන්දුව විශේෂයෙන් ඔවුන්ගේ සිත් ගත්තා. “නව යොවුන් වියේ අය හැටියට අපගේ මෙහි ජීවිතය හරි ම දුක්බරයි” කියා ඔවුන් පැහැදිලි කළා. “සාමාන්‍යයෙන් ම ඉතා ළාබාල අවදියේ දී අප ව විවාහ කර දෙනවා, අනික, ස්ත්‍රී දූෂණය මෙහි නිතරම පවතින අන්තරායක්.”
අයිරිස් සහ මාර්ගරීටාට කැපී පෙනෙන දෙයක් වුණේ ඔවුන් මරකයිබෝ නුවර පැවති චාරිකා එක්රැස්වීමට පැමිණීමයි. ඔවුන්ගේ හදවත් තුළ තිබූ ප්‍රීතිය ඔවුන්ගේ මුහුණින් පිළිබිඹු වුණා, විශේෂයෙන් ම ගීතිකා ගායනා කරන අතරතුරේ දී ය. ඔවුන් සෑම විට ම දොර ළඟට වී සාක්ෂිකරුවන් ඔවුන්ගේ බයිබල් පාඩමට එන තෙක් පුල පුලා බලා සිටියා, ඇරත් ඔවුන්ගේ ගමේ පවත්වන ලද එක ම ප්‍රසිද්ධ කථාවක්වත් ඔවුන් අතපසු කළේ නැහැ. යෙහෝවඃ දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ අරමුණ ගැන දැනුම ලැබීමෙන්, තමන්ගේ ජීවිත සැබවින් ම ප්‍රබෝධවත් වී ඇති බව මෙම යෞවන ගැහැණු ළමුන් දෙදෙනාට හැඟෙනවා.