ගිබියොන්වරු ඔවුහු සාමය සෙව්වෝ ය
ඉහත පින්තූරයෙන් දැක්වෙන කඳුමුදුනේ පිහිටා ඇති නගරය, යෙරුසලමට උතුරින් සැතපුම් හයක් පමණ දුරින් වූ පැරණි ගිබියොන් නගරය තිබූ ස්ථානය ලෙස හඳුන්වා තිබේ.
යෝෂුවා ඊශ්‍රායෙල් සෙනඟ ව පොරොන්දු දේශයට මඟ පෙන්වා යෙරිකෝව පරාජය කර වැඩි කළක් යන්නට මත්තෙන් ගිබියොන් නගරයට විශේෂ තැනක් ලැබුණු බව ඔබ දන්නවා විය හැකි ය. පැහැදිලි ව ම දිව්‍ය මඟ පෙන්වීමක් තිබුණා වූ ඊශ්‍රායෙල් ජනතාවට එරෙහි ව නැගී සිටීමට තමන්ට නොහැකි බව ගිබියොන් හි විසූ කානාන්වරු වටහා ගත්තෝ ය. කරන්නේ කුමක් ද? ප්‍රයෝගයක් යෙදූ ගිබියොන්වරු, ඈත රටක සිට පැමිණෙන වෙළෙඳුන් සේ බොරුවට ඇඟ වූ නියෝජිතයන් ව යැවූහ. ඊශ්‍රායෙල්වරු ඔවුන් සමඟ ගිවිසුමක් කළ නිසා, සාමය සඳහා ගත් මෙම ප්රයත්නය සාර්ථක විය. ඔවුන්ගේ උපාය හෙළි වූ විට, ගිබියොන්වරු දර එකතුකරන්නන් සහ වතුර අදින්නන් බවට පත් වූවෝ ය.
මෙම මිනිසුන් සාමය සෙවූ අවස්ථාවේ දී, දෙවියන් වහන්සේ ඊට අසතුටු නොවන්නට ඇත. ගිබියොන්වරුන්ට රජවරුන් පස්දෙනෙකුගෙන් තර්ජන ඇති වූ විට, ඔවුන් ව ආරක්ෂා කරන්නට උන් වහන්සේ යෝෂුවාට අනුබල දුන් සේක. එම යුද්ධය සඳහා දවල් කාලය දිගු කිරීමට යෙහෝවඃ වහන්සේ ප්රාතිහාර්යයක් පවා කළ සේක.—යෝෂුවා 9:3-27; 10:1-14.
මෙම ගොඩැල්ල මත තද ගල තුළට කපන ලද ගැඹුරු වලක්, හෙවත් පොකුණක් භූ කැනීම් කරන්නන් විසින් සොයා ගෙන තිබේ. මේ තුළින් පහළට බැස, පොළොව යට තිබූ තැනකින් වතුර ගන්නට ගිබියොන්වරුන්ට හැකි විණි. මෙය 2 සාමුවෙල් 2:13 හි සඳහන් “ගිබියොන් පොකුණ” වූවා වන්නට ඇත් ද? ගල තුළට කපා තිබූ පොළොව යට ගබඩා ද, මුද්‍රිකපානය සාදන උපකරණ විශාල ප්‍රමාණයක් ද පුරාවිද්‍යාඥයෝ සොයා ගත්හ. එසේ ය, ගිබියොන් නගරය වනාහි මුද්‍රිකපානය සෑදීමේ මධ්‍යස්ථානයක් වූ බව පෙනෙන්නට තිබේ.
දාවිත්ගේ කාලයේ දී, සැබෑ දෙවියන් වහන්සේගේ කූඩාරම හෙවත් මණ්ඩපය පිහිටා තිබුණේ මෙහි ය. සාලමොන් රජ පූජා ඔප්පු කිරීම සඳහා මෙහි පැමිණියේ ය. යෙහෝවඃ වහන්සේ සාලමොන්ට සිහිනයකින් පෙනී සිට, “ප්‍රඥාවන්ත සහ තේරුම් ගැනීම සහිත හදවතක් ද” එමෙන් ම වස්තුව ද දෙන්ට පොරොන්දු වූ සේක. (1 රාජාවලිය 3:4-14, NW ; 2 ලේකම් 1:3) මෙහි ගිබියොන් හි වාසය කළ ජනයාගෙන් පැවතෙන්නන් පසු කලක දී, දෙවියන් වහන්සේගේ ජාතිය අතර විශේෂ වරප්‍රසාද ලැබූ බව මෙම කලාපයේ පිටු 12-17 දක්වා ඇති ලිපියේ විස්තර කරයි. ඒ කෙසේදැයි ඔබ දන්නවා ද? w92 4/15
Pictorial Archive (Near Eastern History) Est.