සවන් දෙන කෙනෙක් අපට අවශ්‍ය ය
මිනිසුන් වශයෙන්, අපි ජීවිතයේ ප්‍රීතිය හා තෘප්තිය සෙවීමට වෑයම් කරන්නෙමු. එහෙත් පුද්ගලික ගැටලු පැන නගින විට, අපගේ කරදර ගැන කථා කරන්නට යමෙකු සිටීම කොතරම් උපකාරවත් මෙන් ම සහනදායී ද!
ආචාර්ය ජෝර්ජ් එස්. ස්ටීවන්සන් මෙසේ පවසයි: “සිතේ පවතින දේ කවරෙකුට හෝ පැවසීම පීඩාවෙන් සහනයක් ලැබීමට උපකාරවත් වේ, ඔබගේ කනස්සල්ලට හේතුව වඩාත් පැහැදිලි ව දැකීමට ඔබට උපකාරවත් වේ, බොහෝ විට ඒ පිළිබඳ ව ඔබට කළ හැකි දෙය දැකීමට ඔබට උපකාරවත් වෙයි.” ආචාර්ය රෝස් හිල්ෆර්ඩිං මෙසේ නිරීක්ෂණය කළා ය: “අප සියල්ලන්ට ම අපගේ කරදර බෙදා හදා ගැනීමට සිදු වේ. අප කනස්සල්ල බෙදා හදා ගත යුතු ය. සවන් දීමට කැමති එමෙන් ම තේරුම් ගැනීමට හැකියාව ඇති යමෙක් ලෝකයේ සිටින බව අපට හැඟී යා යුතු ය.”
ඇත්ත වශයෙන් ම, කිසි මිනිසෙකුට සහමුලින් ම මෙම අවශ්‍යතාවය සපුරාලිය නොහැකි ය. කාලයේ හා වෙනත් සාධකවල සීමාවන් හේතුවෙන්, අප විශ්වාසය තබන මිනිසුන් වඩාත් අවශ්‍ය වූ විටක දී, අප ළඟ නොසිටින්නට පුළුවන, නැතහොත් අපගේ කිට්ටු ම මිත්‍රයන් සමඟ පවා ඇතැම් කාරණා සාකච්ඡා කිරීමට අප පසුබට වෙනවා විය හැක.
කෙසේ වෙතත්, සැබෑ ක්‍රිස්තියානිහු, කිසිවිටෙකත් සහමුලින් ම සවන් යොමන කෙනෙක් නැති ව නොසිටිති, මන්දයත් යාච්ඤාවේ මාවත සැම විට ම විවෘත ව තිබෙන නිසා ය. යෙහෝවඃ නම් නාමය දරන, අපගේ මැවුම්කරුවාණන්ට යාච්ඤා කිරීමට බයිබලය පුන පුනා අප ව දිරිගන්වයි. යේසුස් වහන්සේගේ නාමයෙන් මෙන් ම, දේව කැමැත්තට එකඟ ව, අවංක ලෙස යාච්ඤා කිරීමට අපට මඟ පෙන්වා තිබේ. පෞද්ගලික මෙන් ම රහසිගත කාරණා පවා යාච්ඤාවට සුදුසු විෂයන් වෙයි. “සියල්ලෙහිදී . . . නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා” යයි පිලිප්පි 4:6 අපට පවසයි. කොතරම් විශිෂ්ට දීමනාවක් ද! අපගේ විශ්වයේ පරමාධිපති පාලකයාණෝ, තමන් වහන්සේ කරා එළැඹීමට සිය යටහත් පහත් සේවකයන් කැමති ඕනෑ ම අවස්ථාවක, ඔවුන්ගේ යාච්ඤා පිළිගැනීමට හා ඒවාට සවන් දීමට නිතර සූදානමින් සිටින සේක.—ගීතාවලිය 83:17; මතෙව් 6:9-15; යොහන් 14:13, 14; 1 යොහන් 5:14.
එහෙත්, දෙවියන් වහන්සේ සැබවින් ම සවන් දෙන සේක් ද? යාච්ඤාව බලපෑමෙන් යුතු ද, මිනිස් හැකියාවන්ට සීමා වී තිබේ ද කියා ඇතැමෙක් කල්පනා කරන්නට පුළුවන: පුද්ගලයෙක් තමාගේ සිතුවිලි පිළිවෙළකට සකස් කර එය වචනයෙන් ප්‍රකාශ කරමින් යාච්ඤා කරයි. මෙසේ තම ගැටලුව පැහැදිලි ව තේරුම් කර ගැනීමෙන් පසු, උචිත විසඳුමක් සොයන ඔහු, එය සොයා ගැනීමට දායක විය හැකි සෑම දෙයක් කෙරෙහි ම සාවධානයෙන් සිටී. ඔහුගේ ගැටලුව විසඳුණු පසු, ඔහු දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා වුවත්, ආශා කළ ප්‍රතිඵල ගෙන දුන්නේ ඇත්ත වශයෙන් ම ඔහුගේ ම මනස හා වෑයම ය.
අද දින බොහෝ දෙනා සිතන්නේ, යාච්ඤාවට සැබවින් ම ඇත්තේ එපමණක් යයි කියා ය. ඔබත් එසේ ද? ඒ අයුරින් යාච්ඤාවේ බලය සීමිත ද? පිළිතුරු ලැබීමෙහි ලා, යාච්ඤාවට එකඟ වූ පුද්ගලයෙකුගේ මානසික හා ශාරීරික වෑයම් වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බව සැබෑවකි. කෙසේ නමුත්, විෂයට අදාළ ව දෙවියන් වහන්සේගේ ම කාර්ය භාරය ගැන කුමක් කිව හැකි ද? ඔබ දෙවියන් වහන්සේට යාච්ඤා කරන විට උන් වහන්සේ සවන් යොමන සේක් ද? එහි අඩංගු දෙයට සැලකිල්ල දක්වමින් හා ඒවාට ප්‍රතිචාරය දක්වමින්, උන් වහන්සේ ඔබගේ යාච්ඤා වැදගත් ලෙස සලකන සේක් ද?
මෙම ප්‍රශ්නවලට පිළිතුරු වැදගත් ය. දෙවියන් වහන්සේ අපගේ යාච්ඤාවලට අවධානය යොමු නොකරන සේක් නම්, එවිට යාච්ඤාව හුදෙක් මනෝවිද්‍යාත්මක වටිනාකමකට නොවැඩි යමක් නොවනු ඇත. අනෙක් අතට, දෙවියන් වහන්සේ අපගේ සෑම යාච්ඤාවක් ම පිළිගෙන සැලකිල්ල දක්වමින් සවන් යොමන සේක් නම්, එවන් සැපයුමක් උදෙසා අප කොතරම් කෘතඥපූර්වක විය යුතු ද! සෑම දිනක ම එම සැපයුමෙන් ප්‍රයෝජන ගැනීමට එය අප ව පෙලඹ විය යුතු ය.
මීළඟ ලිපියේ මෙම විෂය සම්බන්ධයෙන් වැඩි විස්තර සාකච්ඡා කොට ඇති බැවින්, දිගට ම කියවීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු. w92 4/15