දෙවියන් වහන්සේගේ නිදහසේ නව ලෝකය ජයනද දෙමින් පිළිගැනීම
“උන්වහන්සේ [දෙවියන් වහන්සේ] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.
1, 2. සැබෑ නිදහස ගෙන දිය හැක්කේ කවරෙකුට පමණක් ද, එමෙන් ම උන් වහන්සේ පිළිබඳ ව අපට බයිබලයෙන් කුමක් ඉගෙන ගත හැකි ද?
අනාගතවක්තෘ යෙරෙමියා පැවසූ දෙයෙහි සත්‍යතාවය ඉතිහාසය විසින් ඔප්පු කොට තිබේ: “භූමික මිනිසාට තමාගේ මාර්ගය අයිති නැත. ගමනෙහි යෙදෙන මිනිසාට තමාගේ පියවර මෙහෙය වීමටවත් අයිති නැත.” මිනිසාගේ පියවර නිසි අයුරින් මෙහෙය විය හැක්කේ කවරෙකුට පමණක් ද? යෙරෙමියා තවදුරටත් මෙසේ පවසන්නට යෙදුණි: “අහෝ, යෙහෝවඃ වහන්ස, මා නිවැරදි කළ මැනව.” (යෙරෙමියා 10:23, 24, NW) එසේ ය, මිනිස් පවුලට පීඩා කරන්නා වූ ගැටලුවලින් සැබෑ නිදහස ගෙන දිය හැක්කේ යෙහෝවඃ වහන්සේට පමණි.
2 තමන් වහන්සේට සේවය කරන අයට නිදහස ගෙනෙන්නට යෙහෝවඃ වහන්සේට තිබෙන හැකියාව ගැන බොහෝ ආදර්ශ බයිබලයේ අඩංගු ව ඇත. “ඉවසිල්ල [විඳදරා ගැනීම NW] කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.” (රෝම 15:4) බොරු නමස්කාරයට එරෙහි ව යෙහෝවඃ වහන්සේගේ විනිශ්චයන් ද වාර්තා ගත කොට තිබූ අතර, මේවා “කාලවල [දේවල පිළිවෙළේ NW] කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද [අනතුරු ඇඟවීමක් NW]” ලෙස ක්‍රියා කරයි.—1 කොරින්ති 10:11.
ස්වකීය සෙනඟ නිදහස් කිරීම
3. යෙහෝවඃ වහන්සේ, ස්වකීය සෙනඟ මිසරයේ දී නිදහස් කිරීමට ඇති ස්වකීය හැකියාව පෙන්වූයේ කෙසේ ද?
3 බොරු නමස්කාරයට එරෙහි ව විනිශ්චය ඉටු කිරීමටත්, දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා වූ අය ව නිදහස් කිරීමටත් උන් වහන්සේට ඇති හැකියාව පිළිබඳ නිදසුනක්, පුරාතන කාලවල උන් වහන්සේගේ සෙනඟ මිසරයේ වහල් භාවයේ සිටි විට සිදු විය. නික්මයාම 2:23-25 මෙසේ පවසයි: “වහල් වැඩ නිසා ඔවුන්ගේ මොරගැසීම [සැබෑ NW] දෙවියන්වහන්සේ වෙතට පැමුණුණේය. දෙවියන්වහන්සේ ඔවුන්ගේ කෙඳිරිගෑම” ඇසූ සේක. මිසරයේ බොරු දෙවිවරුන්ට එරෙහි ව ස්වකීය ශ්‍රේෂ්ඨත්වය අති භයානක ලෙස විදහා පෙන්වීමක් වශයෙන්, සර්වබලධාරී දෙවියන් වහන්සේ එම ජාතිය කෙරෙහි වසංගත දහයක් ගෙනා සේක. ඒ සෑම වසංගතයක් ම අභිප්‍රාය කොට තිබුණේ, මිසරයේ දෙවියන් බොරු බවත්, ඔවුන්ට නමස්කාර කළ මිසරවරුන්ට උපකාර කරන්නට ඔවුන්ට නොහැකි බවත් පෙන්වමින්, එක් එක් මිසර දෙවියා ව අවමානයට පත් කිරීමට ය. මෙසේ ස්වකීය සෙනඟ මුදා ගත් දෙවියන් වහන්සේ, රතු මුහුදේ දී ඵාරාවෝ හා ඔහුගේ හමුදාවන් විනාශ කළ සේක.—නික්මයාම, පරිච්ඡේද 7 සිට 14.
4. දෙවියන් වහන්සේ කානානිවරුන්ට එරෙහි ව ස්වකීය විනිශ්චය ඉටු කිරීම අයුක්ති සහගත නොවනුයේ මන්ද?
4 දෙවියන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ව කානාන් දේශයට ගෙනා විට, භූතයන් නමස්කාර කළ එහි සිටි පුරවැසියන් විනාශ කරන ලද අතර, එම දේශය දෙවියන් වහන්සේගේ ජනයාට දෙනු ලැබී ය. සර්වලෝක පරමාධිපතියාණන් වශයෙන්, යෙහෝවඃ වහන්සේට නීච ආගම් කෙරෙහි ස්වකීය විනිශ්චයන් ඉටු කිරීමට අයිතිය ඇත. (උත්පත්ති 15:16) තව ද කානානීය ආගම ගැන, හේලීගේ බයිබල් හෑන්ඩ්බුක් මෙසේ පවසයි: “කානානීය දෙවිවරුන් . . . පිළිබඳ වන්දනාමාන කිරීම . . . අතිශයෙන් සීමා රහිත සල්ලාල උත්සවවලින් සමන්විත විය; ඔවුන්ගේ දේවස්ථාන අවකල් ක්‍රියාවල මධ්‍යස්ථාන විය. . . . තම ආගමික චාරිත්‍ර විධියක් ලෙස, තම දෙවිවරුන් ඉදිරියේ, සීමාවක් නොමැති ව දුරාචාරයේ නියැලීමෙන් ද, අනතුරුව එම දෙවිවරුන්ට ම යාගයක් ලෙස; සිය කුලුඳුල් දරුවන් ඝාතනය කිරීමෙන් ද කානානිවරු වන්දනාමාන කළහ. ජාතික පරිමාණයකින්, කානාන් දේශය යම් ආකාරයක සොදොමක් හා ගොමෝරාවක් වූ බව පෙනේ.” ඔහු තවදුරටත් මෙසේ ද පැවසී ය: “මෙවන් පිළිකුල් කටයුතු අශික්ෂිතයන් හා තිරිසන්කමෙන් යුත් ශිෂ්ටාචාරයකට වැඩිදුරටත් පැවතීමට යම් අයිතියක් තිබුණි ද? . . . කානාන් නගරයන්හි නටඹුන්වල කැණීම් කරන පුරාවිද්‍යාඥයෝ, දෙවියන් වහන්සේ ඔවුන් ව විනාශ කළාට පෙර එසේ නොකිරීම ගැන පුදුම වෙති.”
5. දෙවියන් වහන්සේ ස්වකීය පුරාතන සෙනඟ මුදා ගැනීම අපගේ කාලයට ආදර්ශයක් ලෙස පවතිනුයේ කෙසේ ද?
5 දෙවියන් වහන්සේ විසින් බොරු නමස්කාරයට එරෙහි ව ක්‍රියා කිරීම ද, උන් වහන්සේගේ ගිවිසුමේ සෙනඟ මුදා ගැනීම ද, ඔවුන්ට පොරොන්දු දේශයක් සැපයීම පිළිබඳ වාර්තාව පැමිණෙන්නා වූ දේවල පෙර ඡායාවක් ලෙස ක්‍රියා කරයි. එය, දෙවියන් වහන්සේ මේ ලෝකයේ බොරු ආගම් හා ඊට අනුබල දෙන්නන් විනාශ කර ස්වකීය නවීන දින සේවකයන්ට ධර්මිෂ්ඨ වූ නව ලොවක් උදා කරනු ඇති ඉතා නුදුරු අනාගතයට යොමු දක්වයි.—එළිදරව් 7:9, 10, 13, 14; 2 පේතෘස් 3:10-13.
දෙවියන් වහන්සේගේ නව ලෝකය තුළ සැබෑ නිදහස
6. දෙවියන් වහන්සේ නව ලෝකයෙහි සපයනු ඇති ආශ්චර්යවත් නිදහස්කම් සමහරක් මොනවා ද?
6 නව ලෝකය තුළ, දෙවියන් වහන්සේ මිනිස් පවුල උදෙසා අරමුණු කළ නිදහසේ සියලු ආශ්චර්යවත් ආකාරයන්ගෙන් ස්වකීය සෙනඟට ආශීර්වාද කරනු ඇත. දේශපාලන, ආර්ථික, හා බොරු ආගමික මූලයන්ගෙන් ලැබෙන පීඩාවලින් නිදහස තිබෙනු ඇත. ජනයාට පොළොව මත සදාකාලයට ම ජීවත්වීමේ අපේක්ෂාව සමඟින්, පාපයෙන් හා මරණයෙන් නිදහස පවතිනු ඇත. “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකරගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:29; මතෙව් 5:5.
7, 8. නව ලෝකයෙහි පරිපූර්ණ සෞඛ්‍ය තත්ත්වයක් යළි ලබා ගැනීමෙහි ලා කුමක් අත්දකිනු ඇත් ද?
7 එම නව ලොව උදාවීමත් සමඟ, එහි වැසියන් ආශ්චර්යවත් ලෙස පරිපූර්ණ සෞඛ්‍ය තත්ත්වයකට යළි පත් කරනු ලබනවා ඇත. යෝබ් 33:25 මෙසේ පවසයි: “දරුවෙකුගේ මාංසයට වඩා ඔහුගේ මාංසය අලුත්වී, ඔහු තමාගේ යෞවන දවස්වලට නැවත පැමිණෙනවා ඇත.” යෙසායා 35:5, 6 මෙසේ පොරොන්දු කරයි: “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව [සතුටින් NW] ගී කියන්නේය.”
8 මහලු විය හා දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් නිසා ශරීර ආබාධ ඇති ඔබ සමහරෙකු, නව ලෝකයේ සෑම උදෑසනක් පාසා ම සුවෙන් හා ප්‍රාණවත්කම ඇති ව පිබිදීමට ලැබීම කල්පනා කර බලන්න. ඔබේ හමේ රැළිවලට තවදුරටත් චර්ම ආලේපන අවශ්‍ය නොවන ලෙසින්—සිනිඳු, සෞඛ්‍ය සම්පන්න හමකට පත් කරනු ලැබ තිබේ. ඔබගේ දුර්වල නැත්නම් අන්ධ ඇස් පරිපූර්ණ දෘෂ්ටියට පත් ව ඇත—තවදුරටත් ඇස් කණ්ණාඩි අවශ්‍ය නැත. පූර්ණ ඇසීම නැවත ලැබී ඇත—ශ්‍රව්‍යාධාරක ඉවත් කරන්න. කොර අවයව දැන් ශක්තිමත් ව හා පූර්ණ කොට ඇත—සැරයටි, කිහිලි කරු, හා රෝද පුටු පසෙකට දමන්න. තවදුරටත් රෝග නොපවතිනු ඇත—සියලු ඖෂධ ඉවතට දමන්න. මෙසේ යෙසායා 33:24 පුරෝකථනය කරනුයේ: “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” ඔහු තවදුරටත් මෙසේ ද පවසයි: “ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.”—යෙසායා 35:10.
9. යුද්ධ සදාකාලයට ම අවසන් කරනු ලබනවා ඇත්තේ කෙසේ ද?
9 තවදුරටත් කිසිවෙක් යුද්ධයට බිලි කරනු නොලබනවා ඇත. “[දෙවියන් වහන්සේ] පොළෝ කෙළවර දක්වා යුත්ටධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදාමා, රථ ගින්නෙන් දවනසේක.” (ගීතාවලිය 46:9) යෙසායා 9:6 හි “සමාදානයේ කුමාරයා” ලෙස හඳුන්වන, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පාලකයාණන් වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් යුධ අවිවලට කිසි කලෙක ඉඩ නොදෙනු ඇත. හත්වන පදය තවදුරටත් මෙසේ පවසයි: “උන්වහන්සේගේ ආණ්ඩුවේ [කුමාර පාලනය NW] විශාලත්ටයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.”
10, 11. පූර්ණ සාමය පොළොව සඳහා කුමක් අදහස් කරනු ඇත් ද?
10 යුධ අවිවලින් තොර ව සිටීම, මිනිස් වර්ගයාටත්, මෙම පොළොවටත් කොතරම් ආශීර්වාදයක් වනු ඇත් ද! මන්දයත්, මීට ඉහත යුද්ධවල පාවිච්චි කරන ලද අවි වර්තමානයෙත් තවදුරටත් මිනිසුන් විනාශ කරයි. එක් රටක, එනම් ප්‍රංශයේ, මීට ඉහත යුද්ධවලදී අත්හැර දමන ලද පුපුරන ද්‍රව්‍ය ඉවත් කරන අතරතුර, 1945 පටන් බෝම්බ නිෂ්ක්‍රීය කරන ප්‍රවීණයන් 600කට වැඩි සංඛ්‍යාවක් මරණයට පත් වී ඇත. එහි බෝම්බ නිෂ්ක්‍රීය කරන ආයතනයේ ප්‍රධානියා මෙසේ පැවසී ය: “වර්ෂ 1870 ප්රංස-ප්රසියන් යුද්ධයේ සක්‍රීය කාලතුවක්කු උණ්ඩ තවමත් අපට හමුවේ. පළමුවන ලෝක යුද්ධයේ විෂ සහිත ග්‍රෙනේඩ්වලින් පිරි විල් ඇත. ඇතැම් අවස්ථාවල, ට්‍රැක්ටරයක් පදවන ගොවියෙක් IIවන ලෝක යුද්ධයේ දී පාවිච්චි කළ සන්නාහ ටෑන්ක්රථවලට එරෙහි ව තබන ලද බිම්බෝම්බයක් උඩින් යමින් එය පිපිරී මිය යයි. අපොයි, මේ දේවල් සෑම තැනක ම තිබෙනවා.” දැනට වසර දෙකකට පෙර ද න යෝක් ටයිම්ස් මෙසේ ප්‍රකාශ කළේ ය: “දෙවන ලෝක යුද්ධයේ අවසානයේ පටන් ගත වූ වසර 45 ඇතුළත, [බෝම්බ නිෂ්ක්‍රීය ඒකක ප්‍රංශ] භූමියෙන් ෂෙල් වෙඩි මිලියන 16ක්, බෝම්බ 4,90,000ක් හා ජලය යට සවිකරන බෝම්බ 6,00,000ක් ඉවත් කර ඇත. . . . දණිස් ප්‍රමාණයක් යටින් අවි ඇති නිසා අක්කර මිලියන ගණනක්, වැටවල් යොදා සීමා කර, ඒ වටේට: ‘අල්ලන්න එපා, එය මාරාන්තිකයි!’ යන අනතුරු ඇඟවීම් පුවරු තබා තිබේ.”
11 අලුත් ලෝකය මොනතරම් වෙනස් වනු ඇද්ද! සියල්ලන්ට ම හොඳ නිවාස, ඕනෑ තරම් ආහාර මෙන් ම මුළු පොළොව පාරාදීසයක් බවට පත් කිරීමේ විපාකදායි, සාමකාමී කටයුත්ත තිබෙනු ඇත. (ගීතාවලිය 72:16; යෙසායා 25:6; 65:17-25) ඉන් අනතුරුව කිසි කලෙක පොළොව හා ජනයා මිලියන සංඛ්‍යාත පුපුරන උපකරණවලින් පහර නොලබනවා ඇත. තමන් කෙරෙහි ඇදහිල්ල පෙන්වූ තැනැත්තෙකුට යේසුස් වහන්සේ: “නුඹ මා සමග පාරාදීසයෙහි සිටින්නෙහිය” යයි පැවසූ විට, උන් වහන්සේගේ මනසේ තිබුණේ එවන් නව ලෝකයකි.—ලූක් 23:43.
ජීවනය සඳහා සමස්ත ලෝක අධ්‍යාපනය
12, 13. යේසුස් වහන්සේ හා යෙසායා අපගේ කාලය සඳහා පුරෝකථනය කළේ කිනම් සමස්ත ලෝක අධ්‍යාපන කාර්යයක් ද?
12 යම් පුද්ගලයෙක් දෙවියන් වහන්සේගේ නව ලෝකය ගැන ඉගෙන ගන්නා විට, අපගේ දවසේ, සැබෑ නමස්කාරය සඳහා සංවිධානය වූ ලෝක ව්‍යාප්ත සභාවක් යෙහෝවඃ වහන්සේ බිහිකර ඇති බව ද ඔහු තවදුරටත් ඉගෙන ගනී. එය නව ලෝකයේ කේන්ද්‍රික කොටස වන අතර, දෙවියන් වහන්සේ ස්වකීය අරමුණු ගැන අන්‍යයන්ට උපදෙස් දීමට එය දැන් පාවිච්චි කරමින් සිටින සේක. මෙම ක්‍රිස්තියානි සංවිධානය මින් පෙර කිසිදා සිදු නොවූ විරූ ස්වභාවයේ හා ප්‍රමාණයේ සමස්ත ලෝක අධ්‍යාපන කටයුත්තක් ඉටු කරමින් සිටී. මෙය සිදු වනු ඇතැයි යේසුස් වහන්සේ පුරෝකථනය කළ සේක. උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව [ජනාවාස පොළොව NW] මුළුල්ලේ ප්‍රකාශකරනු [දේශනා කරනු NW] ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.”—මතෙව් 24:14;
13 යෙසායා ද මෙම සමස්ත ලෝක අධ්‍යාපන කාර්යය ගැන කථා කළේ ය: “මතු දවස්වලදී [අපගේ කාලයේ දී] ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ගෘහයේ කන්ද [උන් වහන්සේගේ උත්කෘෂ්ට නමස්කාරය] . . . පිහිටුවනලදුව . . . සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය. බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: වරෙල්ලා, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] කන්දට . . . යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමු.”—යෙසායා 2:2, 3.
14. අපට අද දවසේ දෙවියන් වහන්සේගේ ජනයා ව හඳුනාගත හැක්කේ කෙසේ ද?
14 එබැවින්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය සම්බන්ධ සමස්ත ලෝක සාක්ෂි දැරීමේ මෙම කාර්යය, අප මෙම දුෂ්ට පිළිවෙළේ අන්තිම ආසන්නයේ සිටින බවටත් සැබෑ නිදහස අතළඟ ම ඇති බවටත් ස්ථිර සාක්ෂියක් වෙයි. දෙවියන් වහන්සේගේ නව ලෝකය පිළිබඳ බලාපොරොත්තුවෙන් පූර්ණ පණිවුඩය ඇති ව ජනයා හමු වීමට යන්නන්, ක්‍රියා 15:14 හි, ‘දෙවියන් වහන්සේගේ නාමයට සෙනඟක්’ ලෙස විස්තර කර ඇත. යෙහෝවඃ වහන්සේගේ නාමය දරමින්, යෙහෝවඃ වහන්සේ ගැනත්, උන් වහන්සේගේ රාජ්‍යය ගැනත් සමස්ත ලෝක සාක්ෂියක් දෙන්නේ කවුරුන් ද? විසිවන ශතවර්ෂයේ ඓතිහාසික වාර්තාව: යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් පමණක් යයි පිළිතුරු දෙයි. අද දින ඔවුහු ලොව පුරා සභාවන් 66,000කට වැඩි සංඛ්‍යාවක මිලියන හතරකට වැඩි සංඛ්‍යාවක් ව සිටිති.—යෙසායා 43:10-12; ක්‍රියා 2:21.
15. දේශපාලන කටයුතු හා සම්බන්ධයෙන්, අපට දෙවියන් වහන්සේගේ සැබෑ සේවකයන් හඳුනා ගත හැක්කේ කෙසේ ද?
15 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් රාජ්‍යය දේශනා කිරීමේ වැඩය පිළිබඳ අනාවැකි සම්පූර්ණ කරමින් සිටින බවට තවත් සාක්ෂියක් යෙසායා 2:4 හි සඳහන් වේ: “ඔවුහු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුත්ටධව කඩුව ඔසවන්නේවත් තවත් යුත්ටධ ඉගෙනගන්නේවත් නැත.” එබැවින්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සමස්ත ලෝක දේශනා කටයුත්තෙහි නියැලෙන්නන් ‘තවදුරටත් යුද්ධ ඉගෙන ගත යුතු නැත.’ ඔවුන් “ලෝකයේ කොටසක් නොවිය” යුතු බව යේසුස් වහන්සේ පැවසූ සේක. (යොහන් 17:16, NW) මින් අදහස් කරන්නේ, ඔවුන් දේශපාලන කටයුතුවල මධ්‍යස්ථ ව සිට, ජාතීන්ගේ මත භේද සහ යුද්ධවල පැත්තක් නොගෙන සිටිය යුතු බව ය. ලෝකයේ කොටසක් නොවී, තවදුරටත් යුද්ධ ඉගෙන නොගනිමින් සිටින්නේ කවරහු ද? විසිවන ශතවර්ෂයේ ඓතිහාසික වාර්තාව යළිත් සාක්ෂි දරන්නේ: යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් පමණක් ය කියා ය.
16. දෙවියන් වහන්සේගේ සමස්ත ලෝක අධ්‍යාපන ක්‍රියාවලිය කොතරම් පුළුල් ප්‍රමාණයකට සිදුවනු ඇත් ද?
16 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සමස්ත ලෝක අධ්‍යාපන කාර්යය, දෙවියන් වහන්සේ වත්මන් දුෂ්ට ලෝකය එහි අවසානයට ගෙන ඒමෙන් පසු පවා තවදුරටත් සිදුවනු ඇත. යෙසායා 54:13 පවසනුයේ: “නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] විසින් උගන්වනු ලබන්නෝ වෙති.” මෙම ඉගැන්වීම කොතරම් පුළුල් වන්නේ ද යත්, යෙසායා 11:9 මෙසේ පුරෝකථනය කරන්නේ ය: “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” දිගට ම සිදු කෙරෙන අධ්‍යාපනය අවශ්‍ය වන්නේ මේ ලෝකයේ අවසානයෙන් බේරී ජීවත් වන්නා වූ අයට, හා නව ලෝකයේ ඔවුන් හට ඉපදිය හැකි දරුවන්ට පමණක් නොව, නමුත් මරණින් නැවත නැගිටීමෙන් ජීවිතයට පැමිණෙන්නා වූ බිලියන ගණන් අයටත් ය. අවසානයේ දී, පොළොව මත ජීවත් වන්නා වූ සෑම කෙනෙකුට ම දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ සීමාවන් තුළ සිය නිදහස් කැමැත්ත සුදුසු ලෙස පාවිච්චි කිරීමට උගන්වනු ලබනවා ඇත. එහි ප්‍රතිඵලය? “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:11.
දැන් පවා මහත් නිදහසක්
17. මෝසෙස් දෙවියන් වහන්සේගේ පුරාතන සෙනඟට කරන්නට කීවේ කුමක් ද?
17 පුරාතන ඉශ්රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල්වීමට ඔන්න මෙන්න කියා තිබිය දී, මෝසෙස් ඔවුන්ට කථා කොට මෙසේ පැවසී ය: “නුඹලා හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී නුඹලා විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද නුඹලාට ඉගැන්වීමි. එබැවින් ඒවා පවත්වමින් කරපල්ලා; මක්නිසාද මෙය මනුෂ්‍ය වර්ගයන් ඉදිරියෙහි නුඹලාගේ ප්‍රඥාවත් නුඹලාගේ නැණවත්කමත්ය, ඔවුන් මේ සියලු පනත් අසා: සැබවින්ම මේ මහත් ජාතිය ප්‍රඥාවන්තවූ නුවණ ඇත්තාවූ සෙනගක්යයි කියනවා ඇත. මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] අප යාච්ඤාකරන සියලු ප්‍රස්තාවයන්හිදීම උන්වහන්සේ අපට ළංව සිටින්නාක් මෙන් වෙන කොයි මහත් ජාතියකට දෙවිකෙනෙක් ළංව සිටින්නේද?”—ද්විතීය කථාව 4:5-7.
18. දැන් පවා දෙවියන් වහන්සේට සේවය කරන්නා වූ අයට ලැබෙන මහත් නිදහස්කම් මොනවා ද?
18 අද දවසේ යෙහෝවඃ වහන්සේට නමස්කාර කරන මිලියන සංඛ්‍යාත අය ද ඔන්න මෙන්න කියා සිටින්නේ, පොරොන්දු දේශයකට—නව ලෝකයට ය. ඔවුහු දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන්ට කීකරු වන නිසා, ඔවුන් උන් වහන්සේ ව තමන්ට සමීප ව තබා ගන්නා අතර අන් සියලු සෙනඟගෙන් පැහැදිලි ව වෙන්කොට හඳුනාගත හැකි තත්ත්වයක සිටිති. දැනටමත් දෙවියන් වහන්සේ ඔවුන් ව බොරු ආගමික සංකල්පයන්, වාර්ගිකත්වය, අනිසි මත් ද්‍රව්‍ය භාවිතය, ජාත්‍යාලය, යුද්ධ හා ලිංගික ව බෝවන වසංගත රෝග යනාදියෙන් මුදාගෙන ඇත. එපමණක් ද නොව, උන් වහන්සේ ඔවුන් ව බිඳිය නොහැකි ප්‍රේමයේ ජාත්‍යාන්තර සහෝදරත්වයකින් එක්සත් කර ඇත. (යොහන් 13:35) ඔවුන් අනාගතය ගැන නොකැළඹී සිටිනවා පමණක් නොව ‘සිතේ [හෘදයේ යහපත් තත්ත්වය නිසා NW] ප්‍රීතියෙන් ගී කියති.’ (යෙසායා 65:14) පාලකයාණෝ හැටියට දෙවියන් වහන්සේට සේවය කිරීමෙන් දැන් පවා ඔවුන් භුක්ති විඳින්නේ මොනතරම් මහත් නිදහසක් ද!—ක්‍රියා 5:29, 32; 2 කොරින්ති 4:7; 1 යොහන් 5:3.
අන්‍යයන් ව බොරු විශ්වාසයන්ගෙන් නිදහස් කිරීම
19, 20. මළවුන්ගේ තත්ත්වය සම්බන්ධ බයිබල් ඉගැන්වීමෙන් ජනයා ව නිදහස් කරනු ලබන්නේ කෙසේ ද?
19 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දේශනා කරන්නා වූ බොහෝ දෙනෙක් ද මෙම නිදහස්කම් සොයා ගැනීමට පැමිණෙති. උදාහරණයක් හැටියට, මුතුන් මිත්තන් නමස්කාර කෙරෙන රටවල ද, මළවුන් කිසි ස්ථානයක සප්රාණික ව නොසිටින බවත්, ජීවත් ව සිටින්නන්ට හානි කළ නොහැකි බවත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ අන්‍යයන් හට දන්වමින් සිටිති. “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති” යයි පවසන, දේශනාකාරයා 9:5 සාක්ෂිකරුවෝ හුවා දක්වති. කෙනෙක් මැරුණ විට “ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ” යනුවෙන් පවසන ගීතාවලිය 146:4ට ද ඔවුහු තවදුරටත් යොමු දක්වති. එබැවින් සුවකිරීම් කරන්නටවත් ජීවත් ව සිටින්නන් භය කරන්නටවත් අවතාර ආත්ම හෝ අමරණීය ආත්ම කිසිත් නොමැති බව බයිබලය පෙන්වයි. එබැවින්, යකැදුරන්ගේ හෝ පූජකයන්ගේ සේවය ලබා ගැනීමට, වෙහෙසා උපයන මුදල් නාස්ති කිරීමේ අවශ්‍යතාවයක් නැත.
20 මෙවන් ඒකාන්ත බයිබල් අවබෝධය ජනයා ව නිරාගින්නේ හා ශුද්ධගිනිස්ථානයේ බොරු ඉගැන්වීම්වලින් මුදාලයි. මළාහු ගැඹුරු නින්දක මෙන්, කිසිවක් නොදන්නා තත්ත්වයක සිටින බවට වූ බයිබල් සත්‍යය ජනයා ඉගෙන ගත් විට, ඔවුහු තවදුරටත් තමන් ප්‍රේම කළ මළාහු අයට සිදු වූ දෙය ගැන කරදර නොවෙති. ඒ වෙනුවට, ප්‍රේරිත පාවුල්: “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේය” යයි පැවසූ විට, ඔහු කථා කළ එම ආශ්චර්යවත් අවස්ථාව එළඹෙන තෙක් ඔවුහු බලා සිටිති.—ක්‍රියා 24:15.
21. නැවත නැගිටුවනු ලබන්නන් අතරට නිසැක ව ම ඇතුල් කරනු ලබනවා ඇත්තේ කවරහු ද, එමෙන් ම බොහෝදුරට ඔවුන්ගේ ප්‍රතික්‍රියාව කොයි ආකාර එකක් වනු ඇත් ද?
21 මළවුන්ගේ නැවත නැගිටීමේ දී, මළවුන් ආදම්ගෙන් උරුම වූ මරණයෙන් සදාකාලයට ම නිදහස් කරන ලද පොළොවක් මත යළි ජීවත් වන්නට යනවා ඇත. මෙසේ නැවත නැගිටින මළවුන් අතර මොලෙක් වැනි කානානීය දෙවිවරුන්ට ඔප්පු කරන ලද දරුවන් ද, ඇස්ටෙක් දෙවිවරුන්ට ඔප්පු කරන ලද යෞවනයන් ද, යුද්ධයේ දෙවියන්ට ඔප්පු කරන ලද අසංඛ්‍යාත මිලියනයන් ද සිටිනු ඇත. කලින් බොරු විශ්වාසවලට ගොදුරු වූ ඔවුන්, කොතරම් විස්මපත් ව හා ප්‍රීතිමත් ව සිටිනු ඇත් ද! එසේ නැවත නැගිටුවනු ලැබූවන්ට, එවිට මෙසේ සන්තෝෂයෙන් ප්‍රකාශ කළ හැකි වනු ඇත: “එම්බා මරණය, නුඹේ වසංගත කොතැනද? එම්බා මිනීවළ [ෂෙයෝලය NW], නුඹේ විනාශය කොතැනද?”—හොෂෙයා 13:14.
යෙහෝවඃ වහන්සේ ව සොයන්න
22. අපට දෙවියන් වහන්සේගේ නව ලෝකයේ ජීවත් වන්නට වුවමනා නම්, අප මතකයේ තබා ගත යුත්තේ කුමක් ද?
22 සැබෑ නිදහස පවතිනු ඇති, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ නව ලෝකයේ ඔබට ජීවත් වන්නට වුවමනා ද? එසේ නම්, 2 ලේකම් 15:2 හි ඇති මෙම වදන් හෘදයට ගන්න: “නුඹලා ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] සමග සිටින තුරු උන්වහන්සේ නුඹලා සමග සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත.” තව ද දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගැනීමටත්, උන් වහන්සේ ව ප්‍රසන්න කිරීමටත් වූ ඔබගේ අවංක වෑයම නොසලකා හරිනු නොලබන බවත් මතකයේ තබා ගන්න. දෙවියන් වහන්සේ “උන්වහන්සේ [ඉතා ඕනෑකමින් NW] සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බව” හෙබ්‍රෙව් 11:6 පවසයි. තව ද රෝම 10:11 මෙසේ පවසයි: “උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට [බලාපොරොත්තු කඩ වීමට NW] නොපැමිණෙන්නේය.”
23. අප දෙවියන් වහන්සේගේ නිදහසේ නව ලෝකය ජයනද දෙමින් පිළිගත යුත්තේ මන්ද?
23 දෙවියන් වහන්සේගේ සැබෑ නිදහසේ නව ලොව ක්ෂිතජයේ මතුවීමට තදාසන්නයි. එහි දී, “මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහසට පැමිනෙන්නේය.” තව ද “[දෙවියන් වහන්සේ] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය.” (රෝම 8:21; එළිදරව් 21:4) එවිට යෙහෝවඃ වහන්සේගේ මෙහෙකරුවන් සියල්ල තමන්ගේ හිස් ඔසවා, මෙසේ හඬනගා ප්‍රකාශ කිරීමෙන් දෙවියන් වහන්සේගේ නව ලෝකය ප්‍රීතියෙන් ජයනද මැද පිළිගන්නවා ඇත. ‘අවසානයේ ලැබූ සැබෑ නිදහසට, යෙහෝවඃ වහන්ස, ඔබට ස්තුති වේවා!’ w92 4/1
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?
◻ යෙහෝවඃ වහන්සේ, ස්වකීය සෙනඟ මුදා ගැනීමට ඇති ස්වකීය හැකියාව කෙසේ නිරූපනය කළ සේක් ද?
◻ දෙවියන් වහන්සේගේ නව ලෝකයේ කිනම් ආශ්චර්යවත් නිදහස්කම් තිබෙනු ඇත් ද?
◻ යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයා ව ජීවනය සඳහා උගන්වමින් සිටින්නේ කෙසේ ද?
◻ යෙහෝවඃ වහන්සේට සේවය කිරීමෙන් දෙවියන් වහන්සේගේ ජනයා දැන් පවා භුක්ති විඳින සමහරක් නිදහස්කම් මොනවා ද?
[10වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃ වහන්සේ, ස්වකීය නමස්කාරකයන් මුදා ගනිමින්, මිසරයේ බොරු දෙවිවරුන්ට එරෙහි ව ස්වකීය ශ්‍රේෂ්ඨත්වය පෙන්වූ සේක
[12, 13වන පිටුවල පින්තූර]
අද දින, දෙවියන් වහන්සේගේ සැබෑ සේවකයන් ව හඳුනාගනු ලබන්නේ, සමස්ත ලෝක අධ්‍යාපන කාර්යය කරගෙන යාම සහ උන් වහන්සේගේ නාමය දැරීම මගිනි