යුද්ධයෙන් බිඳී පවතින ලයිබීරියාවේ ක්‍රිස්තියානි අඛණ්ඩතාවය පැවැත්වීම
සියැසින් දුටු සාක්ෂිකරුවෙකු පැවසූ පරිදි
“අලි සටන් කරන විට, තණකොළ ද පොඩි වේ.” එම බටහිර අප්‍රිකානු ආප්තෝපදේශය ලයිබීරියාවේ මෑත කාලීන යුද්ධයේ දී සිදු වූ දෙය කොතරම් හොඳින් සංක්ෂේප කොට දක්වයි ද! මෙහි දී 20,000ක් පමණ ජනයාගේ ජීවිත විනාශ වූ අතර මිලියන 2.6ක් වන රටේ ජනගහණයෙන් අඩකට උන්හිටි තැන් අහිමි විය. පීඩා විඳි බහුතරය භටයන් නොව; එහි “තණකොළ”—එනම් අහිංසක පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් ය.
වර්ෂ 1989 දෙසැම්බර් මාසයේ දී යුද්ධය ආරම්භ වූ විට, ලයිබීරියාවේ විසූ 2,000ක් පමණ වන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ප්‍රමාණයෙන් ස්ථිර වර්ධනයක් භුක්ති විඳිමින් සිටි අතර අනාගතය දෙස නිසැක බැල්මක් ඇති ව සිටියහ. කනගාටුදායක ලෙස, ඔවුන් ද ‘පොඩි කරන ලද තණකොළ’ අතර විය.
යුද්ධයේ ව්‍යාප්තිය
කෝට් ඩේව්·වා සමඟින් පිහිටි ලයිබීරියාවේ දේශ සීමාවේ යුද්ධය පටන් ගත් අතර නොපමාව යුද්ධ සරණාගතයෝ, වැසියන් මිලියන භාගයක් පමණ වෙසෙන, එහි අගනුවර වන, මොන්රෝවියාවට පලා යාමට පටන් ගත්හ. වර්ෂ 1990 මාර්තු සිට මැයි දක්වා සටන් දකුණු දෙසට විහිදී යත් ම, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මිෂනාරිවරුන් පළමු ව ගන්ටාවෙනුත් අනතුරුව ගබන්ගාවෙනුත් ඉවත් කරන ලදි. ඔවුහු මෙම නගරවලින් අන්තිමට ම ඉවත් වූ ජන පිරිස අතර වූහ. වර්ෂ 1990 ජූලි 2වන දින යුද්ධ බලකායන් මොන්රොවියාවට ඇතුල් වූ විට, යුද්ධය උග්රාවස්ථාවකට පත් විය.
ඒ සමඟ ඇති වූ සංත්රාසයට මුහුණ දීමට කිසිවෙකු සූදානම් ව සිටියේ නැත. වෙනස් හමුදාවන් තුනක් ප්‍රබල තුවක්කු, රොකට්, හා ග්‍රෙනේඩ් යවන උපකරණ ඇති ව වීදිවල සටන් කළහ. වෛර කරන ලද ගෝත්‍රයක සාමාජිකයන් වීම නිසා ඝාතනය කරනු නොලැබූ අය නිතර හිරිහැර කිරීම්වලට හා සෝදිසි කිරීම්වලට භාජනය වූහ. අගෝස්තු මස එක් රාත්‍රියක, සාන්ත පීතරගේ ලුතරන් පල්ලියේ රැකවරණය ලැබූ පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් 600කට වැඩි දෙනෙක්, යුද්ධයෙන් උමතු වූ ඝාතක බල ඇණියක් විසින් මරණයට පත් කරනු ලැබූහ.
සිය ගණනක් තමන් ඇඳ ගෙන සිටි ඇඳුම්වලින් පමණක් සටන් පැවති තැන්වලින් පලා ගියහ. මෙහි දී පවුල් වෙන් වූ අතර ඉන් පසු ව මාස ගණනාවක් ගත වන තුරු යළි එක් විය නොහැකි ව සිටියහ. මොන්රෝවියාවේ ජීවත් වූ මුළු ජනගහණය ම වාගේ වෙනස් වී යනු දක්නට ලැබිණ. මෙසේ හිස් වූ නිවාසවල භටයන් මෙන් ම නගරයේ වෙනත් කොටස්වලින් පැමිණි සරණාගතයෝ පදිංචි වූහ. මොන්රෝවියාවේ ජනගහණයෙන් අඩකට වැඩි ප්රමාණයකගේ උන්හිටි තැන් අහිමි විය. වැඩි දෙනෙකුට තමන් සතු සියල්ල මෙන් ම අඩු තරමින් එක් ඥාතියෙකු හෝ මරණින් අහිමි විය. සමහරෙකුට ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් අහිමි විය.
තත්ත්වය කොතරම් අර්බුදකාරී වූයේදයත්, තවත් බටහිර අප්‍රිකානු රටවල් පහක් යළි සාමය ඇති කිරීමට භට හමුදා යැවී ය. වර්ෂ 1990 ඔක්තෝබර් අග වන විට, බොහොමයක් සටන් නැවතී තිබිණි. එහෙත් සාගතය, දැවී ගිය නුවර මත ආවරණයක් මෙන් පතිත විය. මොන්රෝවියාවේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් තුනෙන් කොටසක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවත් සෑම දිනක ම මිනිසුන් සියයකට වැඩි දෙනෙක් මිය යන බවත් සහනාධාර ආයතන එක් අවස්ථාවක වාර්තා කළේ ය. අනිසි ලාභ ලබන්නන් විසින් කටයුතු වඩාත් දුෂ්කර කරනු ලැබී ය; බොහෝ දෙනෙක් සහනාධාර සහල් සොරකම් කර කෝප්පයක් ඩොලර් 20කට හෝ ඊට වැඩි මුදලකට විකුණූහ. නගරයේ ජල, සෞඛ්යාරක්ෂක හා විදුලි සේවාවන් සහමුලින් ම විනාශ කරනු ලැබූ බැවින්, රෝග, විශේෂයෙන් කොලරාව දක්නට ලැබිණ.
මොන්රෝවියාවේ ජීවත් වෙමින් සිටි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ දළ වශයෙන් දහසක් පමණ මහත් සේ පීඩා වින්ඳාහ. බහුතරයක් නගරයෙන් ගම්වලට පලා ගිය අතර අන්‍යයන් නැවෙන් ඝානාවට හා නයිජීරියාවට, නැතහොත් මාර්ගවලින් කෝට් ඩේව්·වා හෝ සියරා ලියෝන් වෙත ගියහ. වර්ෂ 1990 ජූලි පටන් දෙසැම්බර් දක්වා 30 දෙනෙකුට වැඩි සාක්ෂිකරුවන් සංඛ්‍යාවකට සිය ජීවිත අහිමි විය. සමහරෙක් වෙඩි පහරින් මිය ගිය අතර වෙනත් අය අසනීප හා කුසගින්න නිසා මිය ගියහ. උපස්ථායක පුහුණු පාසලේ අමෙරිකානු මිෂනාරි උපාධිධාරීන් වන ඇලන් බැටී හා ආතර් ලෝසන්, ඝාතනය කරන ලද අය අතර වූ බව පෙනෙන්නට තිබේ. එම භයානක කාලය තුළ ඥාතීන් හා මිත්‍රයන් අහිමි වූ අප වැනි අයට බයිබලය මත පදනම් නැවත නැගිටීමේ බලාපොරොත්තුව කොතරම් සහනයක් ද!—ක්‍රියා 24:15.
ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රිස්තියානි සහෝදරත්වය
යුද්ධය දිගට ම පවතිද්දී, උන්හිටි තැන් අහිමි වූ සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් රැකවරණය පතා නගරයේ අනෙක් පැත්තේ පිහිටා තිබූ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයටත් මිෂනාරි නිවාසයටත් දිව ගියහ. සමහරෙක්, තමන් ප්‍රදේශයේ භටයන් ඝාතනය කරමින් සිටි ගෝත්‍රයේ සාමාජිකයන් වූ බැවින්, ආරක්ෂාව ඉල්ලා සිටියහ. බොහෝ දෙනෙකුට ශාඛාවේ වැඩ පවරනු ලැබූ අතර ඔවුන් පිසීමේ හා ශුද්ධ පවිත්‍ර කිරීමේ මාහැඟි උපකාරයක් වූ අතර අන්‍යයන්ට පිටස්තර තත්ත්වයන් යහපත් වූ අවස්ථාවන්හි අසල වගුරුවලින් කෑමට සුදුසු පලා වර්ග එකතු කිරීම පවරනු ලැබී ය.
ජනයා මිෂනාරිවරුන්ගේ නිදන කාමරවල, කොරිඩෝවල පොත් පත් බෙදා හැරීමේ අංශයේ, හා කාර්යාල යන, සෑම තැන ම නිදා ගත්හ. අපි වැසිකිලි තනා ඒවා පවත්වාගෙන ගියෙමු. ස්ත්රීන්ට හෙදියන් ලෙස සේවය කිරීමට පවරනු ලැබූ අතර ඔවුහු සාර්ථක ව බොහෝ මැලේරියා හා උණ රෝගීන්ට ප්‍රතිකාර කළහ. බොහෝ විට ගැටලුව වූයේ පාචනයයි.
බෝම්බවලට මුහුණ දෙන ආකාරය ද ඇතුළු ව, නිවසේ දී ක්‍රියා කරන සුවිශේෂී ක්‍රම සඳහා කටයුතු සූදානම් කළෙමු. මෙසේ, විරුද්ධවාදී බල ඇණි ප්‍රභල ෂෙල් වෙඩිවලින් සටන් කරන විට, ඉක්මනින් ම ශාඛාවේ රැකවරණයක් ඇති තැන්වලට යාමට අපි පුහුණුවක් ලැබීමු. අපගේ අඩි දහයක් උස බිත්තිය යම් ආරක්ෂාවක් වුවද, එය යම් දෙයක වැදීම හේතු කොට ගෙන දිසාව වෙනස් වූ උණ්ඩ නැවැත්වීමට ප්‍රමාණවත් නොවී ය. අපගේ වහලේ තිබූ සිදුරු නිසා වැඩි කල් යන්නට මත්තෙන් එය ගම්මිරිස් පෙරනයක ස්වරූපයක් ගත්තේ ය.
තම හවුල් සාක්ෂිකරුවන් වෛර කරන ලද ගෝත්‍රයකට අයත් වූ බැවින් ඔවුන් ව මරන්නට සෙවූ අයගෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට බොහෝ දෙනෙක් සිය ජීවිත පරදුවට තැබුවාහ. දිනක් හඬා වැළපෙන ක්‍රිස්තියානි සහෝදරියක් ඇයගේ බේරී ජීවත් වූ දෙසතියක් වයසැති ළදරුවා හා අනෙක් දරුවන් සමඟින් ශාඛා කාර්යාලයට පැමිණියා ය. ඇයගේ ස්වාමිපුරුෂයා හා නහඹර පුත්‍රයා ඇයගේ ම ඇස් ඉදිරියේ වෙඩි තබා මරණයට පත් කර තිබුණා පමණි. මිනී මරුවන් ඔවුන් ව සොයන්නට නැවත හැරී පැමිණි විට වෙනත් සාක්ෂිකරුවෙක් විසින් ඇයවත්, ඇයගේ වෙනත් දරුවනුත් සාර්ථක ව සඟවා ගෙන තිබුණි.
තවත් එක් පවුලක් ව බව්තීස්ම නොවූ එක් ප්‍රචාරිකාවක් විසින් ඇගේ ගෝත්‍රිකයන් අතින් මැරුම් කෑමෙන් ආරක්ෂා කොට තිබූ අතර, එම පවුල ඈ සමඟ ශාඛාවට පැමිණියෝ ය. පසු ව, තත්ත්වය වෙනස් වී බව්තීස්ම නොවූ ප්රචාරිකාව අනතුරට පත් වූ විට, එම පවුල ඇය ව තමන්ගේ ගෝත්රිකයන්ගෙන් ගලවා ගත්හ.
මිෂනාරිවරු නැවත නැවතත් ශාඛා කාර්යාලයේ ගේට්ටුවේ සිට අවි ගත් අය සමඟ කථා කර එම භූමිය පරීක්ෂා කිරීමෙන් නැතහොත් මංකොල්ල කෑමෙන් වැළැක්වීමට වෑයම් කළහ. වරක් කෝප වූ කණ්ඩායමක් බලෙන් ඇතුල් ව අප වෙත තුවක්කුව එල්ල කරමින්, එක්තරා ගෝත්‍රයකට අයත් අය ව අප සඟවා ගෙන සිටින බව තරයේ කියා සිටියහ. පළාතේ සාක්ෂිකරුවන්, අප පවත්වමින් සිටි ක්‍රිස්තියානි රැස්වීමෙහි නිශ්චල ව හිඳ ගෙන සවන් දීමෙන්, හැසිරුනු සන්සුන් ආකාරය දැකීමට ඔවුහු විස්මපත් වූහ. ඔවුන් ගෙය සෝදිසි කළමුත් තමන් සොයමින් සිටි දෙය සොයා ගත නොහැකි විය. අප හමුදා භටයන් හෝ ඔවුන්ගේ යම් සතුරෙක් සඟවා ගෙන නොසිටි බව බලහත්කාරයෙන් ඇතුල් වූවන්ට සහතික කිරීමට අපට සෑම විට ම හැකි විණි. ක්‍රිස්තියානින් වශයෙන් අපි මධ්‍යස්ථ වූවෙමු.
වරක් දරුණු සටන් සිදු වෙමින් තිබිය දී, සාක්ෂිකරුවන් කණ්ඩායමක් මාරාන්තික පිළිකාවක් ඇති සහෝදරයෙක් උසුලා ගෙන ශාඛාවට පැමිණියහ. කනගාටුදායක ලෙස, හෙතෙම නොබෝ වේලාවකින් මිය ගියේ ය. මිදුලේ මිනී වළක් හාරන ලද අතර අප පැවැත්වූයේ කොතරම් චිත්ත වේගයෙන් පිරි අවමඟුලක් ද! එම සහෝදරයා වසර ගණනාවක ඇදහිලිවන්ත සේවයක් කළ අපගේ පළාත් බද වැඩිමහල්ලන්ගෙන් අනගිතම කෙනෙකි. වෙඩි හඬින් යුත් පසුතලයක, ප්‍රවේශ ශාලාවේ දෙන ලද අනුස්මරණ කථාවට සරණාගතයන් සියයක් පමණ එක්රැස් වූහ.
ආහාර හා ජලය ලබා ගැනීම
ආහාර සැපයුම අතිශයෙන් සීමිත විය. යුද්ධය පටන් ගැනීමට පෙර පවා, වෙළෙන්දන් භාණ්ඩ ගෙන්වීම නවතා තිබුණි. මෙසේ, නගරයේ ඉතිරි ව තිබුණේ සුළු ආහාර ප්රමාණයකි. ශාඛාවේ තිබූ අපගේ ආහාර ප්‍රමාණය අපගේ පවුලේ සාමාජිකයන් 12 දෙනාට මාස ගණනාවකට සෑහෙන්නට ඇතිමුත්, අප සමඟ ඇතැම් අවස්ථාවල මහත් සේ අසරණ ව සිටි සාක්ෂිකරුවන් නොවන අසල් වැසියන් ද ඇතුළු ව, 200 දෙනෙක් දක්වා පිරිසක් සිටියහ. සෑම කෙනෙක් ම දිනකට එක් සුළු ආහාර වේලකට සීමා විය; අපි මෙවන් සීමා කරන ලද ආහාර මගින් මාස ගණනාවක් නොනැසී ජීවත් වූවෙමු. සෑම කෙනෙක් ම සාගිනි ව සිටියහ. ළදරුවෝ නිකම් සම සහ ඇටකටු බවට වැහැරී, ඉතා දුබල ව සිය මව්පියන්ගේ දෑතේ එල්ලී සිටියහ.
ඉක්මනින් අප රැස්කර තබා තිබූ ආහාර ප්‍රමාණය අඩු වන්නට පටන් ගත්තේ ය. අපට තවත් ආහාර ලබා ගත හැක්කේ කොතැනින් ද? මොන්රෝවියාවේ කිසි ම සාප්පුවක් විවෘත කර තිබුණේ නැත. බලන සෑම තැනක ම, කුසගින්නෙන් පෙළෙන අය ආහාර සොයමින් වීථිවල සැරිසරමින් සිටියහ. මිනිස්සු—බල්ලන්, බළලුන්, හා මීයන් ඇතුළු ව—ඕනෑ ම දෙයක් ආහාරයට ගත්හ. ශාඛාවෙන් මිෂනාරිවරුන් දෙදෙනෙක් සටන් නිම වී තිබූ, සැතපුම් 40ක් දුරින් පිහිටි නගරයක් වන, කාකාටාවට යාමට තීරණය කළහ.
ඔවුන්, තමන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බව හදුන්වා දීමට මෝටර් රථයේ කවුළුවල මුරටැඹ සඟරා හා සලකුණු අලවා ගත්හ. විවිධ මුරපොළවල් ඉක්ම යාමෙන් පසු, තම ළපැත්තේ ග්‍රෙනේඩ් හා පසෙක රිවෝල්වරයක් එල්ලා ගෙන සිටි තරබාරු මනුෂ්‍යයෙක් විසින් ඔවුන් නවතා ප්‍රශ්න කරනු ලැබී ය. තමන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බව හඳුන්වා දුන් ඔවුහු, තමන්ට යම් පමණ ආහාර ගැනීමට කාකාටාවට යාමට අවශ්‍ය බව ඔහුට කියාසිටියහ.
“මා පසු පසින් එන්න, මමයි මෙහෙ සටන් අණදෙන නිලධාරියා” යයි ඔහු පැවසී ය. ඔහු ඔවුන් ව ඔහුගේ මූලස්ථානය වෙත ගෙන ගියේ ය. ඔවුන් උන්හිටි තැන් අහිමි වූවන් ව රඳවා ගෙන සිටින බව දැනගැනීමෙන් පසු, රාත්තල් 100ක් බැගින් අඩංගු හාල් ගෝනි 20ක් අපගේ ශාඛාවට භාර දෙන ලෙස ඔහු ඔහුගේ මිනිසුන්ට නියෝග කළේ ය! තව ද, කාකාටාව වෙත යාමට ඔවුන්ට අවසර පත්‍රයක් නිකුත් කරන ලද අතර, ඉතිරි මුරපොළවල් හරහා ආරක්ෂා සහිත ව ඔවුන් ව කැඳවා ගෙන යාමට සන්නද්ධ භටයෙකු ව දෙනු ලැබී ය.
කාකාටාවේ දී ඔවුන්ට ගබඩාවක අයිතිකරුවෙක් ව සිටි අපගේ ක්‍රිස්තියානි සහෝදරයෙක් වන ආබ්‍රහම් හමු විය. හෙතෙම පිටිකළ කිරි, සීනි, ටින්වල අසුරන ලද එළවළු, මෙන් ම වෙනත් අවශ්‍ය කරවන ද්‍රව්‍ය ද ඇතුළු ව, ආහාර පෙට්ටි අප වෙනුවෙන් තොග වශයෙන් රැස් කරගෙන තිබුණි. මෙම ගමන තුළ අපගේ සහෝදරයන්ට සලකන ලද ආකාරය දැකීම ඇත්තෙන් ම පුදුම සහගත ය. අප අපගේ ආහාරය අපගේ මිත්‍රයන් හා අසල් වැසියන් සමඟ බෙදා ගැනීම ගැන යෙහෝවඃ වහන්සේ ප්‍රසන්න වන්නට ඇත, මන්දයත් දැන් අපගේ ආහාර තොගවල අඩුපාඩු සැපිරෙමින් තිබිණි.—හිතෝපදේශ 11:25.
මොන්රෝවියාවේ අනෙක් පැත්තේ ද, මිෂනාරි නිවාසයක සිටි මිෂනාරිවරුන් උන්හිටි තැන් අහිමි වූවන් රැකබලා ගනිමින් සිටි අතර ඔවුහු ද අනපේක්ෂිත මූලාශ්රයන්ගෙන් උපකාරය ලැබූහ. උදාහරණයක් හැටියට, මිෂනාරිවරයෙක්, දැනට වසර 16කට පමණ පෙර හමුදා භටයෙක් පදිංචි ව සිටි ප්‍රදේශයක සේවය කළ බව භටයාට මතක් වූ විට, ඔහුගෙන් හාල් මලු තුනක් ලබා ගත්තේ ය. තවත් මිෂනාරිවරයෙක් යුද්ධ කරන්නා වූ එක් පක්ෂයක නායකයා සමඟ පුද්ගලික ව කළ සම්මුඛ සාක්ච්ඡාවකින් පසු හාල් මලු හතරක් ලබා ගත්තේ ය.
එක් අවස්ථාවක ජලය හිඟකම නිසා අප ශාඛාවෙන් ඉවත් විය යුතු යයි හැඟුණි. අපගේ ළිඳ යම් කලකට අප ප්‍රදේශයේ බොහෝ දෙනෙක් සඳහා බොන වතුර සපයන එක ම උල්පත බවට පත් විය. කෙසේ වෙතත්, අපගේ පොම්පය සඳහා වූ විදුලි ජනකය සඳහා ඉන්ධන සැපයුම අඩු වන්නට පටන් ගති. සටන් ආරම්භ වූ මුල් දවස්වල අපගේ ශාඛාවේ රැකවරණය ලැබූ එක් මනුෂ්‍යයෙක් අපේ ගැටලුව ගැන ඇසූ විට, අප ඔහුට කර තිබූ දෙය අගයමින් ඔහු අපට ඉන්ධන සොයා දුණි, එබැවින් අපගේ ජල සැපයුම කිසි විටෙක අඩුනොවී ය.
ආත්මික ශක්තිය පවත්වා ගැනීම
වර්ෂ 1990 ඔක්තෝබර් මාසයේ ලයිබීරියාවෙන් පිටවන ලෙස මිෂනාරිවරුන්ගෙන් අන්තිමයන් වන අපගෙන් උදක්ම ඉල්ලා සිටි විට, අපගේ මනසේ තිබූ මූලික ම දෙය වූයේ, අපගේ සහෝදර සහෝදරියන් තත්ත්වයන්ට කෙසේ මුහුණ දෙනු ඇද්ද? යන්න ය. එවක් පටන් අපට ලැබී ඇති වාර්තා අනුව, ඔවුන් සේවයේ කඩිසර ව යෙදී සිටි බව පැහැදිලි වේ.
යුද්ධයට පෙර සාක්ෂිකරුවෙක් සාමාන්‍යයෙන් සෑම මසක ම සේවයේ ගත කළ කාලය පැය 17ක් පමණ විය. එහෙත්, යුද්ධ කාලයේ, ආහාර සෙවීම සඳහා නිතර ලඳු කැලෑ බද තැන්වල සැරිසරන්නට සිදු වුවද, සමහරක් සභාවන්හි සාක්ෂිකරුවන්, ප්‍රචාරකයෙකු සඳහා පැය 20කට වැඩි සාමාන්‍යයක් වාර්තා කර තිබුණි! වැඩිදුරටත්, මුරටැඹ සඟරා හිඟය හේතුවෙන්, අපගේ සහෝදරියන් බොහෝ දෙනෙක් ඉරුදින පාඩම සඳහා බෙදා ගැනීමට වැඩි පිටපත් ප්‍රමාණයක් තිබෙන පරිදි, පාඩම් ලිපි අතින් පිටපත් කළෝ ය.
මොන්රෝවියාවට තදාසන්න ව තිබූ සභාවන් හතර, නගරයේ සටන්වලින් ගැලවී පලා ආ සාක්ෂිකරුවන්ගෙන් පිරී පැවතිණ. මෙම මිත්‍රයන්ට තමන් සතු සියල්ල අහිමි වී තිබූ නිසා, යමක් ඇහිඳ ගැනීමටවත් සිය නිවාසවලට හැරී යා නොහැකි විය. ඇත්ත වශයෙන් ම, මාස ගණනාවකට බොහෝ දෙනෙක් තමන්ගේ ම දරුවන් හා මව්පියන්ගෙන් වෙන් ව සටන් පැවති තීරුවේ විරුද්ධ පැතිවල පවා සිටියහ! මාර්තු 30වන දින පැවති යේසුස් වහන්සේගේ මරණය සිහි කිරීමේ උත්සවයට, මෙම සභාවන් හතරට ම පැමිණි මුළු එකතුව 1,473ක් විය.
මොන්රෝවියාවේ සිටි සාක්ෂිකරුවන් 300ක් පමණ දෙනා, ඊට හුදෙක් සති කිහිපයකට පෙර පැවති සාගින්න හේතුවෙන් ශාරීරික වශයෙන් දුර්වල ව තමන්ට ඇවිදීමට පවා නොහැකි ව සිටිය ද, මරණය සිහි කිරීමේ මාසය තුළ උපකාරික පුරෝගාමි සේවයේ යෙදීමට විශේෂිත වෑයමක් ගත්හ. ඔවුන් මරණය සිහි කිරීමේ උත්සවයට ජනයාට ආරාධනා කිරීමට වෙහෙස වී ක්‍රියා කළ අතර, 1,116 දෙනෙක් ඊට පැමිණ සිටියහ.
මොන්රෝවියාවේ එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මෙසේ කරුණු දැක්වී ය: “අපි 1990 දෙසැම්බර් මාසයේ පටන් නැවතත් අපගේ රාජ්‍යය ශාලාවේ රැස්වීමට තීරණය කර ගත්තෙමු. අපගේ රැස්වීමට පළමුවෙන් ම 17ක් පැමිණියෝ ය. අනතුරුව එය 40ක් දක්වා වැඩි වී, යම් කලකට 40 ගණන්වල පැවතිණ. ඉන් පසු පෙබරවාරි 24වන දින, අපගේ පැමිණීම 65ක් දක්වා වර්ධනය වී ඉන් සතියකට පසු 85ක් විය. තව ද, මාර්තු මාසයේ උපකාරික පුරෝගාමි සේවයේ යෙදීමට වූ ආරාධනාවට සභාවේ සියල්ලන් ම වාගේ ප්‍රතිචාරය දැක්වූහ.
අන්‍යයන් කෙරෙහි සැලකිල්ල දැක්වීම
“අපගේ පල්ලියේ සහෝදරයෝ යුද්ධ සමයේ සහකාර ඇදහිලිවන්තයන් සඳහා වැය කිරීමට කාලයක් නොවන පමණට, [විරුද්ධ ගෝත්‍රයන්හි] එකිනෙකා ඝාතනය කිරීමෙහි කඩිසර ව යෙදී සිටියහ” යයි සාක්ෂිකරුවන්ගේ එක් සාක්ෂිකාර නොවන ඥාතියෙක් සඳහන් කළේ ය. එහෙත් යෙහෝවඃ වහන්සේගේ ජනයා සම්බන්ධයෙන් තත්ත්වය කොතරම් වෙනස් වී ද!
උදාහරණයක් වශයෙන්, අසල් වැසි සහනාධාර කණ්ඩායමක සභාපති තැන, වර්ෂ 1991 පෙබරවාරි මස ශාඛාව බලා ගනිමින් සිටි සහෝදරයන්ට මෙසේ ලීවේ ය: “මෙම ලිපිය, අපගේ ජනයාට ආහාර බෙදා දීමේ දී, ඔබ දිගට ම අපට ලබා දුන් ගබඩා පහසුකම් සඳහා ඔබටත් ඔබ ආයතනයටත් ස්තුතියේ හා අගැයීමේ ලකුණක් වේ. ඔබගේ මානවහිතවාදී හැසිරීම සමිතියක් වශයෙන් රටට සාමය හා හොඳ හිත ගෙන ඒමට ඔබගේ කැමැත්ත පෙන්වයි. කරුණාකර දිගට ම ඔබගේ යහපත් සේවයන්හි යෙදෙන්න.”
වෙනත් රටවල වෙසෙන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ සිය ලයිබීරියානු සහෝදරයන්ගේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාරය දැක්වීමට යුහුසුලු වූහ. බටහිර අප්‍රිකාවේ සියරා ලියෝන් හා කෝට් ඩේව්·වා, හා යුරෝපයේ නෙදර්ලන්තය, හා ඉතාලිය, මෙන් ම එක්සත් ජනපදය වැනි රටවලින් සහනාධාරසපයන ලදි.
සිය මව වෛර කරන ලද ගෝත්‍රයක කෙනෙක් වූ බැවින් ඝාතනය කරනු ලැබූ, එක්තරා ළදැරියක්, තමා ලද ආධාර වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කළා ය. ඇය මෙසේ ලීවා ය: “ඔබ මට එවන සියල්ල වෙනුවෙන් ස්තුතියි. මාගේ මව මා අසල සිටින බව ඔබ මට දැනෙන්නට සලස්වනවා. මට ඇයත් මාගේ බාල සහෝදරයාත් යුද්ධයේ දී අහිමි වුණා. ඔබ සියල්ලන්ට ආශීර්වාද කරන්නැයි මා යෙහෝවඃ වහන්සේගෙන් ඉල්ලනවා. මගේ වයස අවුරුදු 11යි.”
හය දෙනෙකුගෙන් යුත් පවුලක් ඇත්තා වූ ද, එමෙන් ම තම බිරිඳට ඇයගේ ගෝත්‍රික සම්භවය නිසා මාස ගණනාවකට සැඟවී සිටින්නට ද වූ සහෝදරයෙක්, තවදුරටත් තමා ලැබූ උපකාරය වෙනුවෙන් මෙසේ ස්තුති පූර්වක විය: “අපි සොරකම් කිරීමට හෝ ඔවුන්ගේ දේපළ විකිණීමට ජනයාගේ නිවාසවලට කඩාවැදී නැත, එහෙත් අපගේ අසල් වැසියන් මෙන් නොව, අපට ඇති ස්වල්පය ඥානවන්ත ලෙස පාවිච්චි කිරීමට අප දන්නා බැවින්, හැමදා ම අපට කෑමට යමක් තිබෙනවා. මෙය අප ඉගෙන ගෙන ඇත්තේ යෙහෝවඃ වහන්සේගෙන් ය.”
සිය භාර්යාව හා දරුවන් දෙදෙනා ද කැටුව කෝට් ඩේව්·වා වෙත පලා ගිය සහෝදරයාගේ ද චිත්ත ස්වභාවය ඉතා චමත්කාරජනක විය. ඔහු විසින් අත්හැර දමනු ලැබූ කදිම නිවස පසු ව පොළොවට ගිනිබත් කරන ලදි. එහෙත් තමාට මහත් වේදනාවක් වූයේ, තමාගේ නිවස අහිමි වීම නොව, තමාගේ දිව්‍යාණ්ඩු පුස්තකාලය අහිමි වීම යයි ඔහු කියා සිටියේ ය!
ඉගෙන ගන්නා ලද අනගි පාඩම්
ආපසු හැරී බැලීමේ දී, යෙහෝවඃ වහන්සේ අපට අනගි පාඩම් බොහොමයක් උගන්වා තිබෙන බව මට අගය කළ හැකි ය. සිය අඛණ්ඩතාව පවත්වමින් බේරී ජීවත් වුණා වූ ද, එසේ ම තමන්ගේ අඛණ්ඩතාව පවත්වමින් මිය ගියා වූ ද, බොහෝ දෙනෙක් ගැන පුද්ගලික ව දැන සිටීම හේතුවෙන්, මතු දැක්වෙන වදන් ලියූ ප්‍රේරිත පාවුල්ගේ මානසික ආකල්පය ඇති ව සිටීමේ වැදගත්කම අගය කිරීමට මම ඉගෙන ගතිමි: “මක්නිසාද ජීවත්වෙමු නම් ස්වාමීන්වහන්සේ[යෙහෝවඃ වහන්සේ NW] උදෙසා ජීවත්වෙමුව; නසිමු නම් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] උදෙසා නසිමුව. ඒ නිසා ජීවත්වෙතත් මැරෙතත් අපි ස්වාමීන්වහන්සේගේය [යෙහෝවඃ වහන්සේගේ ය NW].”—රෝම 14:8.
වෙනත් දීර්ඝ කාලීන මිෂනාරිවරයෙක් මෙසේ සඳහන් කළේ ය: “මේ සියල්ල තුළින් අප ඉගෙන ගත්තේ, යෙහෝවඃ වහන්සේ අසහාය උපකාර කරන්නෙකු වන බවයි. පාවුල් මෙසේ පැවසුවාක් මෙන්: ‘මරණ තීන්දුව ලැබුවාක් මෙන් අපට හැඟුණි. එසේ වූයේ, අප කෙරෙහි ම විශ්වාසය නොතබා, මළවුන් උත්ථාන කරන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ විශ්වාසය තබන පිණිස ය.’ ” (2 කොරින්ති 1:9 නව අනුවාදය; ගීතාවලිය 30:10) ඔහු තවදුරටත් මෙසේ ද පැවසී ය: “යෙහෝවඃ වහන්සේගේ ජනයා වනාහි ඇත්ත වශයෙන් ම, යේසුස් වහන්සේ හුවා දැක් වූ ආත්ම පරිත්‍යාගී ප්‍රේමයක් පැළඳ ගත් සහෝදරත්වයක් බව මෙම යුද්ධය අපට ඒත්තු ගැන්වී ය.”—යොහන් 13:35.
වර්ෂ 1990 ඔක්තෝබර් මස සටන් සමයේ රටෙන් ඉවත්වීමට සිදු වූ මිෂනාරිවරුන්ගෙන් අප සමහරෙකුට ලයිබීරියානු සහෝදරියකගෙන් ලැබුණු ලිපියක්, අපගේ ක්‍රිස්තියානි සහෝදරත්වයේ දැඩි බව මනාව පැහැදිලි කරයි. “ඔබ ඉක්මනින් ම හැරී ලයිබීරියාවට පැමිණ අපට එක්රැස්වීමක් පැවැත්වීමට හැකියාවක් ලැබේවා යයි මම යාච්ඤා කරමි” යයි ඇය ලිව්වා ය. “ඇත්තෙන් ම! මට ඒ දින උදාවන තුරු සිටිය නොහැක. ඒ පිළිබඳ සිතුවිල්ල පවා මා ව සතුටට පත් කරයි.”
එසේ ය, සාමාන්‍ය ක්‍රිස්තියානි කටයුතු නැවතත් ලයිබීරියාවේ සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වනු දකින්නට ලැබේ නම්, එය කොතරම් ආශ්චර්යක් වනු ඇද්ද! අපගේ සහෝදරිය හරි ය: මිෂනාරිවරුන් මෙන් ම වෙනත් සරණාගතයන්ගේ හැරී ඒමෙන් පසු මොන්රෝවියාවේ පළමුවන එක්රැස්වීම ඉතා ප්‍රීතිමත් එකක් වනු නියතයි. ඒ ගැන කිසි සැකයක් නැත! w92 1/1
[26වන පිටුවේ පින්තූරය]
යුද්ධ සමයේ ශාඛා කාර්යාලයේ සිටි උන්හිටි තැන් අහිමි වූ සාක්ෂිකරුවන්ගේ දරුවෝ
[29වන පිටුවේ පින්තූරය]
කෝට් ඩේව්·වා හි සාක්ෂිකරුවන් විසින් පරිත්‍යාග කරන ලද ඇඳුම් ලයිබේරියානු සරණාගතයන් තෝරන අයුරු