ඕනෑ ම ආගමක් හොඳට ම ප්‍රමාණවත් ද?
“අපගේ කාලයන්හි ඉරණම ඉතා දුඃඛ දායක ය. අපට ආගමක් අවශ්‍ය ය, නමුත් ඊට සරිලන දෙවි කෙනෙක් අපට කිසි තැනක සොයා ගත නොහැකි ය.”—රොමේනියානු ජාතික කවියෙකු හා දර්ශනවාදියෙකු වූ, ලුසියන් බ්ලාගා
“ආගම හා පැවිදි පක්ෂය ප්රගතියේ හා නිදහසේ ප්‍රධානතම සතුරන් අතර සිට ඇත, එමෙන් ම ඇතැම් විට ඒවා තවත් දිගු කලකට එසේ සිටිනු ඇත.”—බල්ගේරියානු කවියෙකු වූ, ක්‍රිස්ටෝ බොටෙව්
අවංක අය බොහෝ දෙනෙක් තමන් හිර වී සිටින බවට හැඟෙන උභතෝකෝටික ප්රශ්නය මේ සමඟ වූ උපුටා දැක්වීම්වල ප්රතිනාද වෙයි. ආගමේ අවශ්‍යතාව ඔවුනට හද පත්ලෙන් දැනෙතත්, පූජක පක්ෂය උගන්වන අභිරහස් දෙවියන් වහන්සේ, ඔවුනට තේරුම් ගත හැකි එමෙන් ම ප්‍රේම කළ හැකි දෙවි කෙනෙක් නොවේ. එපමණක් නොව, පූජකයින් හා ඔවුන්ගේ ආගම් මිනිසාගේ ප්‍රගතියට හා නිදහසට බාධා පැමිණ වීමට බොහෝ දෑ කර ඇති බව ඔවුනට වැටහෙයි. එසේ ය, ආගම සඳහා අවශ්‍යතාව වැඩි වැඩියෙන් තේරුම් ගන්නවාත් සමඟ ම, අවංක අය හුදෙක් ඕනෑ ම ආගමකින් සෑහීමකට පත් නොවනු ඇත.
වැදගත් වෙනසක්
ආගම මනුෂ්‍ය වර්ගයාගේ සැකැස්මේ හා ඉතිහාසයේ මූලික කාර්ය භාරයක් ඉටු කරයි. ආගම වනාහි “මිනිස් අත්දැකීම්වල, සංස්කෘතියේ, හා ඉතිහාසයේ මූලික කාරණයක්” ලෙස කථා කරන ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටනිකා, තවදුරටත් මෙසේ පවසයි: “ආගමික ආකල්පයන් හා පක්ෂපාතිත්වයන් පිළිබඳ සාක්ෂි මිනිස් ජීවිතයේ සෑම පාර්ශ්වයක ම පවතින්නේ ය.” එහෙත් ඉතිහාසය පෙන්වන්නේ, ලෝකයේ ප්‍රධාන පෙළේ ආගම් කිසිවක් මිනිස් වර්ගයාට ආශීර්වාදයක් වී නොමැති බව ය.
ඉන්දියාවේ රාජ්‍ය දේශපාලඥ ජවහර්ලාල් නේරු වරක් පැවසුවේ මෙසේ ය: “ආගම යනුවෙන් හඳුන්වනු ලබන දර්ශනය, නැතහොත් අඩු තරමේ සංවිධානාත්මක ආගම, ඉන්දියාවේ මෙන් ම වෙනත් තැන්වල, අප තුළ මහත් සංත්රාසයක් දනවා ඇත.” ආගමේ නාමයෙන් මෙහෙයවා ඇති යුද්ධ හා කර ඇති අපරාධ සලකා බැලීමේ දී, ඔබට අවංක ව ඔහු සමඟ එකඟ නොවී සිටිය හැකි ද?
දහඅට වන ශතවර්ෂයේ, ප්‍රංශ ජාතික දර්ශනවාදී, වොල්ටෙයාර් සිත් ගන්නා සුලු විශේෂ යමක් හුවා දැක්වී ය. “ආගම, අති දුෂ්ට ක්‍රියාවන් උපදවා ඇති බව, ඔබ කියන්නෙහි ය. ඒ වෙනුවට ඔබ කිව යුත්තේ මිථ්‍යා ඇදහිලි, එනම් දුකින් පෙළෙන අපගේ පෘථිවිය පාලනය කරන මිථ්‍යා ඇදහිලි කියා ය. මිථ්‍යා ඇදහිලි වනාහි අප මහෝත්තම තැනැන් වහන්සේට පිදිය යුතු නිර්මල නමස්කාරයේ කෲරතම සතුරා ය” යයි ඔහු ලීවේ ය. වොල්ටෙයාර් තම වකවානුව තුළ පැවති ආගමික නුරුස්සීමේ ප්‍රතිපත්තිය සමඟ සටන් කළ ද, විශ්වයේ නිර්මාතෘවරයාණෝ ලෙස දෙවියන් වහන්සේ කෙරෙහි වූ සිය විශ්වාසය හෙතෙම පවත්වා ගත්තේ ය. ඔහු සැබෑ හා බොරු ආගම අතර වෙනසක් ඇති බව දුටුවේ ය.
තෝරා ගැනීමට අවශ්‍යතාවක්
සියල්ලෝ ම වොල්ටෙයාර් සමඟ එකඟ නොවෙති. සියලු ආගම්වල යහපතක් තිබෙන බවට ඇතැම්හු කියා සිටිත්. එබැවින්, සැබෑ ආගම සොයා ගැනීමට සැබෑ අවශ්‍යතාවයක් ඔවුනට නොදැනේ. එවන් අය, මෙසේ ලියූ ප්‍රොපේත යෙසායා විසින් දෙන ලද අනතුරු ඇඟවීමට අවධානය යොමු කළ යුතු ය: “නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නාවූ, එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නාවූ, මිහිර වෙනුවට තික්තත් තික්ත වෙනුවට මිහිරත් තබන්නාවූ අයට දුක් වේ!” (යෙසායා 5:20) බොරු ආගම නිපදවා ඇත්තේ මිනිස් ප්‍රජාවට නපුරු වූ දේවල් ය. ආත්මික අන්ධකාරයක් ඇති කර තිබෙන එය, අවංක හදවත් ඇත්තවුන්ගේ මුඛයේ තික්ත රසයක් තබා ඇත.
එබැවින්, තෝරා ගැන්ම පවතිනුයේ, අදේවවාදියෙක් වීම හා ඕනෑ ම ආගමක් කෙරෙහි විශ්වාසය තැබීම අතර නොවේ. එය එතරම් ම සරල දෙයක් නොවේ. යම් කිසිවෙක් දෙවියන් වහන්සේ සඳහා අවශ්‍යතාවය වරෙක තේරුම් ගත් විට, ඔහු සැබෑ ආගම සඳහා සෙවීමක් කළ යුතු ය. ගවේෂකයෙකු වූ එමීල් ප්වාලැ’ ලෙ ග්‍රොන් ඇට්ලස් ඩේ රිලීජොන්ස් (ආගම් පිළිබඳ විශාල සිතියම් පොත) නම් පොතේ සිත් ගන්නා ලෙස සඳහන් කළාක් මෙන්: “[ආගම්] උගන්වන හා ඉල්ලා සිටින දේවල් කොතරම් මහත් සේ වෙනස් ද කිවහොත්, ඒ සියල්ල විශ්වාස කිරීමට නොහැකි තරම් ය.” මීට එකඟ ව, ප්‍රංශ එන්සයික්ලෝපීඩියා යූනිවර්සාලිස් (විශ්ව කෝෂය) පවසනුයේ මෙසේ ය: “විසිඑක් වන ශතවර්ෂය ආගම වෙත හැරී ආවොත් . . . තමා වෙත ඉදිරිපත් කරනු ලබන ශුද්ධ දේවල් සැබෑ ද නැතහොත් බොරු ද කියා තීරණය කිරීමට මිනිසාට සිදුවනු ඇත.”
හරි ආගම තෝරා ගත යුතු අයුරු
හරි ආගම තෝරා ගැනීමට අපට මඟ පෙන්වනු ඇත්තේ කුමක් ද? එන්සයික්ලෝපීඩියා යූනිවර්සාලිස් සැබෑවේ වැදගත්කම ගෙනහැර දක්වන විට එය නිවැරදි ය. බොරු උගන්වන ආගමක් සැබෑ විය නොහැකි ය. එතෙක් මෙතෙක් පොළොව මත ජීවත් වූ ශ්‍රේෂ්ඨතම දිවැස්වරයා පැවසුවේ මෙසේයි: “දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුය.”—යොහන් 4:24.
එම දිවැස්වරයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වූ අතර උන් වහන්සේ තවදුරටත් මෙසේ වදාළ සේක: “පිටතින් බැටළු වෙස් ගෙන පැමිණෙන එහෙත් ඇතුළතින් රෞද්‍ර වෘකයන් වන, බොරු ආගමික ගුරුවරුන්ගෙන් ප්‍රවේසම් වන්න. ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනා ගත හැකි ය. . . . හොඳ ගස හොඳ ඵල දරනමුත් නරක ගස නරක ඵල දරයි.” (මතෙව් 7:15-17, ෆිලිප්ස්) ලෝකයේ “ශ්‍රේෂ්ඨ” ආගම්වලත්, අනතුරුව ජනිත වූ නිකායන් හා ඇදහිලි ක්‍රමවලත් නරක ඵල දැකීමෙන්, අවංක අය බොහෝ දෙනෙක් දෙස බලන්නට පටන් ගෙන ඇත්තේ ‘නරක ගස්’ ලෙසට ය. හුදෙක් හොඳට ම ප්‍රමාණවත් මදි ය. එහෙත් ඔවුන්ට සැබෑ ආගම සොයා ගත හැක්කේ කෙසේ ද?
තෝරා ගැනීමක් කරන්නට පෙර ක්‍රිස්තියානි ලෝකය තුළ හා ඉන් පිටත ඇති දහස් සංඛ්‍යාත ආගම් සියල්ල ඉගෙන ගත නොහැකි බව ප්රත්යක්ෂ ය. කෙසේ වෙතත්, යේසුස් වහන්සේ වදාළාක් මෙන්, අප සැබෑ ව හා එහි ඵල උරගල ලෙස පාවිච්චි කරන්නෙමු නම්, සැබෑ ආගම හඳුනා ගැනීමට හැකි ය.
සැබෑ ව හා ඵල
යේසුස් වහන්සේ සැබෑ ව ගැන සඳහන් කළ සේක. මේ සම්බන්ධයෙන් ගත් කල, ආගම් බොහොමයක බොහෝ සෙයින් පැතිර පවතින බව දක්නට ලැබෙන, ඉපැරණි මිථ්‍යා විශ්වාසයන් හා ග්‍රීක් දර්ශනයන්ගෙන් උපයා ගන්නා ලද ආගමික බොරු ප්‍රතික්ෂේප කරනුයේ කිනම් ආගමික කණ්ඩායම ද? මිනිස් ආත්මය සහජයෙන් ම අමරණීය බවට වූ ඉගැන්වීම එවන් එක් බොරුවකි.a මෙම ඉගැන්වීම, දෙවියන් වහන්සේ ව අගෞරවයට පත් කරන්නා වූ නිරාගින්න පිළිබඳ මූල ධර්මය උද්ගත වීමට සලස්වා ඇත.
යේසුස් වහන්සේ ද ඵල සඳහන් කළ සේක. මේ සම්බන්ධයෙන් සලකා බලන කල, ප්‍රේමය සහ අන්‍යෝන්‍ය අවබෝධය මගින් වාර්ගිකත්ව, භාෂිතමය, හා ජාතික සීමාවන් යනාදිය ජය ගෙන ඇති සැබෑ ජාත්‍යන්තර සහෝදරත්වයක් ඇති කොට තිබෙන ආගමක් ඔබ දන්නෙහි ද? ජාතිවාදයේ හෝ ආගමේ නාමයෙන් සිය සහෝදරයන් හා සහෝදරියන්ට වෛර කර, ඔවුන් ව මරා දැමීමට දේශපාලඥයන් හෝ ආගමික නායකයන් විසින් තමන් පෙලඹ වීමට ඉඩ දෙනවාට වඩා හිංසා පීඩා විඳින්නා වූ සාමාජිකයන්ගෙන් සමන්විත යම් ලෝක ව්‍යාප්ත ආගමික සමූහයක් ගැන ඔබ දන්නෙහි ද? එවන් ආගමික බොරු ප්‍රතික්ෂේප කරමින් මෙවන් ඵල උපදවා ඇති ආගමක්, එය සැබෑ එක බවට බලගතු සාක්ෂි ඉදිරිපත් කරනු ඇත, එසේ නොවේ ද?
සැබෑ ආගම අද දින පිළිපදිනු ලබමින් තිබේ
එවන් ආගමක් පවතී ද? සැබවින් ම, තිබේ. එහෙත් එය ලෝකයේ ප්‍රධාන ආගම්වලින් එකක් නොවන බව ඔබ පිළිගත යුතු ය. මෙය අප ව පුදුමයට පත් කළ යුතු ද? නැත. සිය සුප්‍රකට කන්ද උඩ දේශනයෙහි, යේසුස් වහන්සේ පැවසුවේ මෙසේයි: “පටු දොරටුවෙන් ඇතුල්වෙයල්ලා. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය”—මතෙව් 7:13, 14.
එබැවින් සැබෑ ආගම සොයා ගත හැක්කේ කොතැනක ද? යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් මෙම ‘පටු එමෙන් ම අවහිර පාරේ’ ගමන් කරන ජාත්‍යන්තර සමූහයක් සකසන බව පූර්ණ නිහතමානිත්වයෙන් හා අවංකත්වයෙන් යුතු ව අප කිව යුතු ය. ප්‍රධාන පෙළේ ආගම් පරිභව සහිත ව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව නිකායක් ලෙස හඳුන්වන බව සැබෑවකි. එහෙත් පොදු යුගයේ පළමුවන ශතවර්ෂයේ ධර්මභේදී ආගමික නායකයින් මුල් ක්‍රිස්තියානින් ව හැඳින්වූයේ හරියට ම ඒ අයුරින් ම ය.—ක්‍රියා 24:1-14.
තමන්ට සැබෑ ආගම තිබෙන බවට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට නිසැකකමක් තිබෙන්නේ මන්ද? ඇත්තෙන් ම, රටවල් 200කට වඩා ව්‍යාප්ත වෙමින් ජාතිමය, වාර්ගික, භාෂාමය, හා සමාජීය පන්ති යනාදියෙහි බෙදීම් ජය ගනිමින් තිබෙන්නා වූ ජාත්‍යන්තර සහෝදරත්වයකින් ඔවුහු සකස් වී සිටිති. එසේ ම ඔවුහු, බයිබලය පවසන දෙයට පැහැදිලි ව ම පටහැනි වන්නා වූ—කොතරම් ඉපැරණි වුවත්—මූල ධර්ම විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරති. එහෙත් ඔවුන් මෙවන් අගනා තත්ත්වයකට පත් වූයේ කෙසේ ද? එමෙන් ම සැබෑ ආගම පිළිපැදීමට අයත් වනුයේ කුමක් ද? මෙය ද, ආගමට සම්බන්ධිත වෙනත් ප්‍රශ්න ද මීළඟ ලිපි දෙකේ සාකච්ඡා කරනු ලබනවා ඇත. w91 12/1
[පාදසටහන්වල]
a මෙම විශ්වාසයේ මිථ්‍යාදෘෂ්ටික මූලාරම්භය පිළිබඳ සවිස්තර සාක්ෂි ලබා ගැනීම සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔෆ් න්යූ යෝක් ඉන්ක්., විසින් ප්‍රසිද්ධ කරන ලද මෑන්කයින්ඩ්’ස් සර්ච් ෆෝ ගෝඩ් නම් පොතේ 52-7 පිටු බලන්න.
[7වන පිටුවේ පින්තූරය]
කුරුස යුද්ධ බොරු ආගමේ නපුරු ඵලවල කොටසක් විණි
[හිමිකම් විස්තර]
Bibliothéque Nationale, Paris
[8වන පිටුවේ පින්තූරය]
සැබෑ ආගම යහපත් ඵල නිපදවයි