ආත්ම දමනය—මේ තරම් වැදගත් මන්ද?
“ඔබේ මුළු වීර්යයෙන් ඇදහිල්ලට යහපත්කම ද යහපත්කමට දැනගැන්ම ද, දැනගැන්මට ආත්ම දමනය ද, . . . එකතු කරන්න.”—2 පේතෘස් 1:5, 6, 7, න.අ.
1. දහනව වන සියවසේ කායික ආත්ම දමනය පිළිබඳ ව කිනම් අපූරු ප්‍රදර්ශනයක් පෙන්වනු ලැබී ද?
නිසැක ව ම, ශරීරය පාලනය කිරීම පිළිබඳ වඩාත් පුදුම කරවන ප්‍රදර්ශනයන්ගෙන් එකක්, චාල්ස් බ්ලොන්ඩින් විසින් 19වන සියවසේ අග භාගයේ දී සපයනු ලැබී ය. එක් වාර්තාවක් පවසන පරිදි, ඔහු වාර ගණනාවක් නයගරා ඇල්ලෙන් එතෙර වී ඇති අතර, ප්‍රථම වතාවට ඔහු එසේ කරන ලද්දේ, වර්ෂ 1859 දී, අඩි 1,100ක් දිගැති, ජලයේ සිට අඩි 160ක් උසැති, තදට අදින ලද කඹයක් මතිනි. ඉන් පසු ව, සෑම වාරයක දී ම ඔහු සිය හැකියාව වෙනස් ආකාරයකට ප්‍රදර්ශනය කරමින්: නොපෙනෙන ලෙස බඳින ලදුව, හණ මල්ලක් තුළ, වීල්බැරෝවක් තල්ලු කරමින්, බොරු කකුල් මතින්, හා තමාගේ පිට මත මිනිසෙකු ව උසුලා ගෙන යමින් එසේ කළේ ය. තවත් පසුතලයක, හෙතෙම පොළොවෙන් අඩි 170ක් ඉහළින් අදින ලද කඹයක් මත බොරු කකුල් පැළඳ ගෙන කරණම් ගැසුවේ ය. එවන් සමබරතාවයක් පැවැත්වීම සඳහා අති මහත් කායික ආත්ම දමනයක් අවශ්‍ය වේ. තමාගේ වෑයම වෙනුවෙන්, බ්ලොන්ඩින්ට ප්රසිද්ධත්වයෙන් හා ධනයෙන් යන දෙකෙන් ම විපාක ලැබුණි.
2. කායික පාලනය අවශ්‍ය කරවන්නා වූ වෙනත් ආකාරයේ ක්‍රියාකාරකම් මොනවා ද?
2 කිහිප දෙනෙකුට පමණක්, එම ප්‍රදර්ශනයන්ට සමීප දේවල් නැවත කර පෙන්වන තත්ත්වයකට එළඹිය හැකි වුවත්, මනා සේ පුහුණු වූ කෞශල්යයන්හි නිරත වීමේ දී, නැතහොත් ක්‍රීඩාවන්හි දී, කායික ආත්ම-දමනයේ වැදගත්කම අප සියල්ලන්ට පැහැදිලි ව පෙනෙන්නකි. උදාහරණයක් හැටියට, අතීතයේ කීර්තියට පත් පියානෝ වාදක ව්ලැඩිමෙයාර් හොරොවිට්ස්ගේ ප්‍රවීණත්වය විස්තර කරමින්, එක් සංගීතඥයෙක් පැවසුවේ: “මාගේ සිත් ගත් දෙය නම්, මුළුමනින් ම පාලනයක් කෙරෙන බවට වූ හැඟීම ය. . . . ඇදහිය නොහැකි තරම් බලයකින් සන්නාහ සන්නද්ධ කර ඇති බවට වූ හැඟීම ය” යනුවෙනි. “පූර්ණ පාලනයකින් යුක්ත ව දශක අටක් පුරා ඉතා වේගයෙන් හසුරුවන ලද ඇඟිලි” ගැන හොරොවිට්ස් පිළිබඳ වූ තවත් වාර්තාවක කථා විය.
3. (අ) වඩාත් ම අවශ්‍ය කරවන්නා වූ දමනයේ ආකාරය කුමක් ද, එය නිර්වචනය කර ඇත්තේ කෙසේ ද? (ආ) බයිබලයේ “ආත්ම දමනය” ලෙස ගෙන හැර පා ඇති ග්‍රීක් වදනේ අර්ථය කුමක් ද?
3 මෙවන් කෞශල්‍යයන් වර්ධනය කර ගැනීමට මහත් පරිශ්‍රමයක් ඕනෑ කෙරේ. කෙසේ වෙතත්, ඊටත් වඩා වැදගත් මෙන් ම අභියෝගාත්මක දේ නම් ආත්ම දමනයයි. එය “යමෙකුගේ ම ආවේගයන්, චිත්තවේගයන්, නැතහොත් ආශාවන් කෙරෙහි ක්රියාවේ යොදවන සංයමය” ලෙස විස්තර කර ඇත. ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලෙහි, 2 පේතෘස් 1:6 හි හා වෙනත් තැන්වල “ආත්ම දමනය” ලෙස පරිවර්තනය කර ඇති වචනය, “තමාගේ ආශාවන් හා රාගයන්, විශේෂයෙන් තමාගේ කාමුක රුචිකත්වයන් කෙරෙහි අධිපතිකම් කරන්නා වූ යමෙකුගේ සත්ගුණවත් බලය” ලෙස විග්රහ කර ඇත. පුද්ගලික ආත්ම දමනය “මනුෂ්‍ය ජයග්‍රහණයන්හි අග්‍රස්ථානය” ලෙස පවා හඳුන්වා ඇත.
ආත්ම දමනය මේ තරම් වැදගත්වීමට හේතුව
4. ආත්ම දමනය නොමැතිකම නිසා කිනම් නරක ඵල නෙලා ගනු ලැබ තිබේ ද?
4 ආත්ම දමනය හීන වී යාම නිසා මොනතරම් අස්වැන්නක් කපා ගනු ලැබ තිබෙනවා ද! අද දින ලෝකයේ පවතින කරදර බොහොමයක් සිදු වනුයේ මූලික ව ආත්ම දමනයේ ඌනතාවය නිසා ය. සැබවින් ම, අපි ‘අන්තරා සහිත කාලවල් පවතින’ “අන්තිම දවස්වල” ජීවත් වන්නෙමු. මනුෂ්‍යයින් බොහෝ විට ගිජුකම නිසා “තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව [ආත්ම දමනය නැත්තෝ ව NW]” සිටින අතර, “දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේම” කිරීම මෙහි එක් ස්වභාවයකි. (2 තිමෝති 3:1-5) පසුගිය සේවා වසරේ දී, ප්‍රධාන වශයෙන් බරපතළ වැරදි හැසිරීම හේතුවෙන්, වැරදි කරන ලද පුද්ගලයන් 40,000ක් ක්‍රිස්තියානි සභාවේ ආශ්රයෙන් කපා දමනු ලැබීම, මෙම බැරෑරුම් සත්‍යය අප හට සනාථ කරවා ඇත. ප්‍රධාන කොට ලිංගික දුරාචාරයේ යෙදීම නිසා තරවටු කරනු ලැබූ බොහෝ දෙනා ද මෙයට එකතු කළ යුතු වුවත් මේ සියල්ලක් ම සිදු වූයේ ආත්ම දමනය පැවැත්වීමට අසමත්වීම නිසා ය. තව ද දීර්ඝ කාලයක් අවේක්ෂකයන් ව සිටි වැඩිමහල්ලන් එම හේතුව උදෙසා ම සිය වරප්‍රසාද සියල්ල අහිමි කර ගැනීම ද තවත් බැරෑරුම් ස්වභාවයක් ඇති කරවන සත්‍යයකි.
5. ආත්ම දමනයේ වැදගත්කම කෙසේ උපහැරණ කොට දැක්විය හැකි ද?
5 ආත්ම දමනයේ වැදගත්කම මෝටර් රථයකින් උපහැරණය කළ හැකි ය. චලනය වීමට හැකියාව සලසන රෝද හතරක් ද, ඉතා වේගයෙන් එම රෝද කරකැවිය හැකි බලගතු එන්ජිමක් හා එය නැවැත්විය හැකි තිරිංග ද එයට ඇත. කෙසේ නමුත්, සුක්කානමෙහි, ත්වරකයෙහි හා තිරිංගයන්හි පාලනය කරන ලද භාවිතයකින්, එම රෝදවල ගමන් මඟත්, ඒවා කරකැවෙන වේගයත්, එය නවත්වන අවස්ථාවත්, තීරණය කිරීමට රියදුරු ආසනයේ යමෙක් නොසිටියොත් බරපතළ විපත් සිදු විය හැකි ය.
6. (අ) ප්‍රේමය සම්බන්ධ කිනම් මිම්මක් ඒ අයුරින් ම ආත්ම දමනයට අදාළ කර ගත හැකි ද? (ආ) අප තවදුරටත් දෙන ලද කිනම් උපදේශය මතකයේ තබා ගත යුතු ද?
6 ආත්ම දමනයේ වැදගත්කම පමණ ඉක්මවා අවධාරණය කිරීම අපහසු ය. පළමුවන කොරින්ති 13:1-3 දක්වා ප්‍රේමයේ වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් පැවසූ දෙය, ආත්ම දමනය සම්බන්ධයෙන් ද අදාළ කර ගත හැකි ය. ප්‍රසිද්ධ කථිකයන් හැටියට අප කොතරම් දක්ෂ වුවත්, යහපත් අධ්‍යයන පුරුදු තුළින් අප කොතරම් දැනගැන්මක් හා ඇදහිල්ලක් ලබා සිටියත්, අන්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස අප කිනම් වැඩ කටයුත්තක් කරමින් සිටියත්, අප ආත්ම දමනය ක්‍රියාවෙහි යොදවන්නේ නැත්නම්, ඒ සියල්ල ම නිෂ්ඵල ය. “දුවන ස්ථානයෙහි සියල්ලන්ම දුවන නුමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද? එසේම නුඹලාත් ලබාගන්නා පිණිස දුවපල්ලා. දිනන පිණිස වීර්‍ය්‍යකරන්නාවූ සියල්ලෝම සියල්ලෙහි පමණ දැන [ආත්ම දමනයෙන් NW] හැසිරෙති” යන පාවුල්ගේ වදන් අප සිත් ඇති ව සිටිය යුතු ය. (1 කොරින්ති 9:24, 25) “තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා” යනුවෙන් 1 කොරින්ති 10:12 හි පාවුල්ගේ අනතුරු ඇඟවීම, සියලු කාරණාවල දී ආත්ම දමනයෙන් යුක්ත ව ක්‍රියා කරන්නට අපට උපකාර කරයි.
අනතුරු අඟවන ආදර්ශ
7. (අ) ආත්ම දමනය නොමැතිකම මනුෂ්‍ය වර්ගයා ව ප්‍රපාතයේ ගමන් මඟට යොමු කළේ කෙසේ ද? (ආ) ආත්ම දමනය පිළිබඳ තවත් කිනම් පැරණි ආදර්ශයන් ශුද්ධ ලියවිලි අපට ඉදිරිපත් කරයි ද?
7 තමාගේ කටයුතු පාලනය කිරීමට බුද්ධියට ඉඩ දෙනු වෙනුවට ච්ත්ත වේගයන්ට ඉඩ හැරීමෙන්, ආත්ම දමනය ක්‍රියාවට නැගීමට ආදම් අසමත් විය. එහි විපාකයක් වශයෙන් “පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්” විය. (රෝම 5:12) පළමු මිනී මැරීම සිදු වූයේ ද ආත්ම දමනය නොමැතිකම නිසා ය, මන්දයත්: ‘නුඹ කෝපව සිටින්නේ මන්ද? නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසා ද? පාපය දොරකඩ ලැග සිටියි; නුඹට එය කෙරෙහි ආණ්ඩු කළ හැකි ද?’ යනුවෙන් යෙහෝවඃ දෙවියන් වහන්සේ කායින්ට අනතුරු අඟවා තිබුණි. කායින්ට පාපය පාලනය කළ නොහැකි ව තිබූ නිසා, ඔහු සිය සහෝදර ආබෙල් ව මරණයට පත් කළේ ය. (උත්පත්ති 4:6-12) ලොත්ගේ භාර්යාව ද ආත්ම දමනය ක්‍රියාවට නැගීමට අසමත් වූවා ය. හුදෙක් හැරී බැලීමට ඇති වූ පරීක්ෂාව මැඩපවත්වන්නට ඇයට නොහැකි විණි. ආත්ම දමනය නොමැතිකම නිසා ඇයට සිදු වූයේ කුමක් ද? ඇගේ ජීවිතය ම ඇයට අහිමි වී යාමයි!—උත්පත්ති 19:17, 26.
8. පුරාතනයේ කිනම් මිනිසුන් තිදෙනාගේ අත් දැකීම් ආත්ම දමනයේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් අපට ඉදිරිපත් කරයි ද?
8 තමාට ආත්ම දමනය නොතිබූ නිසා යාකොබ්ගේ කුලුඳුල් පුත් රූබෙන්, සිය කුලුඳුල්කම අහිමි කර ගත්තේ ය. හෙතෙම යාකොබ්ගේ උප භාර්යාවන්ගෙන් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් සිය පියාගේ යහන කිලුටු කළේ ය. (උත්පත්ති 35:22; 49:3, 4; 1 ලේකම් 5:1) ඊශ්‍රායෙල්වරුන් කෙඳිරි ගෑමෙන්, පැමිණිලි කිරීමෙන් හා කැරලි ගැසීමෙන් මෝසෙස් ව පරීක්ෂා කළ ආකාරය සම්බන්ධයෙන් ඔහු කෝප වූ නිසා, මහත් සේ ආශා කළ පොරොන්දු දේශයට ඇතුල්වීමේ වරප්‍රසාදය ඔහුට අහිමි විය. (ගණන් කථාව 20:1-13; ද්විතීය කථාව 32:50-52) ‘දෙවියන් වහන්සේගේ ම හෘදයට එකඟ වූ මනුෂ්‍යයෙක්’ වන ඇදහිලිවන්ත දාවිත් රජ පවා, එක් අවස්ථාවක ඔහුට ආත්ම දමනය නොමැති වීම නිසා බරපතළ කරදරයකට මුහුණ පෑවේ ය. (1 සාමුවෙල් 13:14; 2 සාමුවෙල් 12:7-14) අප ආත්ම දමනය ක්‍රියාවට නැගිය යුතු බවට මේ සියලු ආදර්ශයන් අපට නිසි පදනමක් ඇති අනතුරු ඇඟවීමක් දෙයි.
පාලනය කිරීමට අපට අවශ්‍ය දෙය
9. ආත්ම දමනයේ වැදගත්කම කැපී පෙනෙන්නට සලස්වන සමහරක් ශුද්ධ ලියවිලි පද මොනවා ද?
9 පළමුකොට, ආත්ම දමනයට අපගේ සිතුවිලි සහ චිත්තවේගී හැඟීම් සම්බන්ධ ව පවතී. මේවා ශුද්ධ ලියවිල්ලේ “හෘදය” හා “වකුගඩු” වැනි වදන්වල සංකේතමය භාවිතයෙන් බොහෝ විට යොමු දක්වා ඇත. අපගේ මනසේ පවතින්නට අප ඉඩ දෙන දේවල් යෙහෝවඃ වහන්සේ ප්‍රසන්න කරන්නට වූ අපගේ වෑයමට ඇතැම් විට උපකාර කරයි, නැතහොත් ඊට බාධා පමුණුවයි. සැබෑ, පිරිසිදු, ගුණවත් දේවල් මෙනෙහි කරන ලෙසට පිලිප්පි 4:8 හි දක්නට ලැබෙන ශුද්ධ ලියවිලිමය උපදේශයට එකඟ ව ක්‍රියා කරන්නට නම්, ආත්ම දමනය අවශ්‍ය වේ. “මාගේ පර්වතයද මිදුම්කාරද වූ ස්වාමිනි [යෙහෝවඃ වහන්සේ NW] මාගේ . . . සිතෙහි [හෘදයෙහි NW] භාවනාද [මෙනෙහි කිරීම ද NW] ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා” යයි පවසමින්, ගීතිකාකාර දාවිත් මීට සමාන හැඟීම් යාච්ඤාවෙන් ප්‍රකාශ කළේ ය. (ගීතාවලිය 19:14) දසවන පනත, එනම් අසල් වැසියෙකුට අයත් කිසිවකට ආශා නොකිරීම, කෙනෙකුගේ සිතුවිලි පාලනය කිරීම අවශ්‍ය කරවී ය. (නික්මයාම 20:17) “ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය” යයි යේසුස් වහන්සේ පැවසූ විට, අපගේ සිතුවිලි හා චිත්තවේගයන් පාලනය කිරීමේ බරපතළකම හුවා දැක් වූ සේක.—මතෙව් 5:28.
10. කිනම් බයිබල් වගන්ති අපගේ කථාව පාලනය කිරීමේ වැදගත්කම අවධාරණය කරයි ද?
10 ආත්ම දමනයට අපගේ වචන, අපගේ කථාව ද සම්බන්ධ වේ. ඇත්තෙන් ම අපගේ දිව පාලනය කර ගැනීමට අපට උපදෙස් දෙන්නා වූ ශුද්ධ ලියවිලි පද බොහොමයක් ඇත. උදාහරණයක් හැටියට: සැබෑ “දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය, නුඹ පොළොවෙහිය; ඒ නිසා නුඹේ වචන ස්වල්ප වේවා.” (දේශනාකාරයා 5:2) “වචන බහුලවූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.” (හිතෝපදේශ 10:19) “නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියාපල්ලා . . . සියලු . . . කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.” එසේ ම පාවුල් තවදුරටත් මෝඩ කථාද නීච කවටකම්ද අප අතරෙන් පහකරන ලෙසට අපට උපදෙස් දෙයි.—එපීස 4:29, 31; 5:3, 4.
11. දිව පාලනය කිරීමේ ගැටලුව පිළිබඳ ව යාකොබ් කටයුතු කරන්නේ කෙසේ ද?
11 යේසුස් වහන්සේගේ අර්ධ සොහොයුරු, යාකොබ්, නොහික්මුණු කථාව හෙලා දකින අතර දිව පාලනය කිරීමට කොතරම් අපහසු දැයි පෙන්වයි. ඔහු මෙසේ පවසයි: “දිව කුඩා අවයවයක් නුමුත් ලොකුවට පාරට්ටුකරයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තුවෙනවා නොවේද! දිවද ගින්නක්ය. එය අපේ අවයවයන් අතරේ අධර්මිෂ්ඨකමේ ලෝකයක්ය. ඒක මුළු ශරීරය කිලුටු කොට, සකල ලෝකයට ගිනි අවුලවයි, ඒකට ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය [ගෙහෙන්නාවෙන් ය NW]. එසේය, සියලු ආකාර වන මෘගයෝද පක්ෂීහුද බඩගායන ජාතීන් හා මුහුදේ සත්ටයෝද මනුෂ්‍යයන් විසින් දමනය කරනු ලබති, දමනයකරනු ලැබුවෝය. නුමුත් දිව දමනයකරන්ට කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන. ඒක කැරළිකාරවූ, මරණීය විෂයෙන් පූර්ණවූ, නපුරු දෙයක්ය. එයින් ස්වාමිවූ [යෙහෝවඃ වූ NW] පියාණන්වහන්සේට අපි ප්‍රශංසාකරමුව; එයින් ම දෙවියන්වහන්සේගේ සමානත්ටය ලෙස මවනලද මනුෂ්‍යයන්ට අපි ශාපකරමුව. ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණ මෙසේ වීම යුතු නැත”.—යාකොබ් 3:5-10.
12, 13. අපගේ ක්‍රියාවන් හා හැසිරීම පාලනය කිරීමේ වැදගත්කම පෙන්වන සමහරක් ශුද්ධ ලියවිලි පද මොනවා ද?
12 ඇත්ත වශයෙන් ම, ආත්ම දමනයට අපගේ ක්‍රියාවන් ඇතුළත් ය. මහත් ආත්ම දමනයක් අවශ්‍ය වන්නා වූ එක් පැත්තක් නම්, විරුද්ධ ලිංගයේ අය සමඟ අප කටයුතු කරන විට ය. “ලිංගික දුරාචාරයෙන් පලා දුවපල්ලා” යයි ක්‍රිස්තියානින්ට අණ කර ඇත. (1 කොරින්ති 6:18, න ඉන්ටර්නැෂනල් වර්ෂන්) සිය ලිංගික උනන්දුව තමන්ගේ ම භාර්යාවන්ට සීමා කර ගන්නා ලෙස පුරුෂයන්ට අනුශාසනා දී ඇත්තේ ය. මෙහි කොටසක් මෙසේ පවසයි: “නුඹේම පොකුණෙන් වතුරද නුඹේම ළිඳෙන් උනන වතුරද බීපන්න.” (හිතෝපදේශ 5:15-20) “වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරන” බව ඉතා පැහැදිලි ව අපට පවසා ඇත. (හෙබ්‍රෙව් 13:4) ආත්ම දමනය විශේෂයෙන් අවශ්‍ය වන්නේ, තනිකඩ භාවයේ දීමනාව වර්ධනය කිරීමට වීර්ය දරන අයට ය.—මතෙව් 19:11, 12; 1 කොරින්ති 7:37.
13 “රන් අණ” ලෙසට සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන දෙය දුන් විට, සෙසු මිනිසුන් කෙරෙහි අප ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධ මූලික කරුණ යේසුස් වහන්සේ මෙසේ සංක්ෂිප්ත කොට දැක් වූ සේක: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.” (මතෙව් 7:12) සැබවින් ම, අන්‍යයන් අපට කිනම් ආකාරයකට සලකනවාට අප කැමති වන්නේ ද ඊට වෙනස් ව අන්‍යයන්ට සැලකීමට අප පොලඹවන අපගේ ආත්මාර්ථකාමී නැඹුරුවාවන් හෝ බාහිර පීඩනයන් හෝ පරීක්ෂාවන් යනාදියට ඉඩ නොදීමට අපට ආත්ම දමනය අවශ්‍ය වේ.
14. කෑම හා බීම සම්බන්ධයෙන් දේව වචනය කිනම් උපදේශයක් ඉදිරිපත් කරයි ද?
14 ඊළඟට, කෑම හා බීම පිළිබඳ ව ද ආත්ම දමනය සම්බන්ධ කෝණය තිබේ. “මුද්‍රිකපානයෙහි ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජුවූවන්ටවත් එක් නොවන්න,” යයි දේව වචනය ඥානවන්ත ලෙස උපදෙස් දෙයි. (හිතෝපදේශ 23:20) විශේෂයෙන් අපගේ දවස සම්බන්ධයෙන්, යේසුස් වහන්සේ මෙසේ අනතුරු ඇඟ වූ සේක: “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගනිල්ලා.” (ලූක් 21:34, 35) එසේ ය, ආත්ම දමනයට අපගේ සිතුවිලි හා හැඟීම් මෙන් ම අපගේ වචන හා අපගේ ක්‍රියාවන් ද සම්බන්ධ ව තිබේ.
ආත්ම දමනය එවන් අභියෝගයක් වීමට හේතුව
15. ක්‍රිස්තියානින් විසින් ආත්ම දමනය ක්‍රියාවට නැගීමට එරෙහි ව සාතන්ගේ විරුද්ධත්වයේ නියම ස්වභාවය ශුද්ධ ලියවිලිවල පෙන්වනුයේ කෙසේ ද?
15 සියලු ක්‍රිස්තියානින් දන්නා පරිදි, අප ආත්ම දමනය ක්‍රියාවට නැගීමට එරෙහි ව පෙළ ගැසී සිටින බලගතු බලවේගයන් තුනක් අපට ඇති බැවින්, ආත්ම දමනය පහසුවෙන් පැමිණෙන්නේ නැත. පළමුකොට, සාතන් හා ඔහුගේ භූතයෝ සිටිති. ඔවුන්ගේ නියම ස්වභාවය පිළිබඳ ව ශුද්ධ ලියවිලි කිසි සැකයකට ඉඩ තබා නැත. මෙසේ, යේසුස් වහන්සේ පාවා දෙනු පිණිස යූදස් පිටත් ව යාමට පෙර “සාතන් ඔහුට ආවේශ” වූ බව අපි කියවමු. (යොහන් 13:27) “ශුද්ධාත්මයාණන්වහන්සේ [ශුද්ධාත්මය NW] රවටා ගන්ට සාතන් නුඹේ සිත පිරෙවුවේ මක්නිසාද?” යයි ප්‍රේරිත පේතෘස් අනනියස්ගෙන් ඇසී ය. (ක්‍රියා 5:3) ඉතා උචිත ලෙස, පේතෘස්: “සිහි ඇතිව, අවදිව ඉඳිල්ලා. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය” යනුවෙන් ද අනතුරු ඇඟවී ය.—1 පේතෘස් 5:8.
16. ක්‍රිස්තියානින් මේ ලෝකය සම්බන්ධයෙන් ආත්ම දමනය ක්‍රියාවෙහි යෙදවිය යුත්තේ මන්ද?
16 ආත්ම දමනය විදහා දැක්වීමට වූ සිය වෑයමෙහි, ක්‍රිස්තියානින්ට “නපුරා” වන, සාතන් නම් යක්ෂයාගේ බලයට යටත් ව පවතින මෙම ලෝකය සමඟ ද පොර බදින්නට සිදුවේ. මේ සම්බන්ධයෙන්, ප්‍රේරිත යොහන් මෙසේ ලීවේ ය: “ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරල්ලා. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් [යමෙකු ජීවත් වන ආකාරය ප්‍රදර්ශනය කිරීමත් NW] පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ. ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.” අප ආත්ම දමනය ක්‍රියාවෙහි යොදවන්නේ නැති ව ලෝකයට ප්‍රේම කරන්නට වූ ඕනෑ ම නැඹුරුවාවකට දැඩි සේ එරෙහි ව නොසිටිනවා නම්, වරක් පාවුල්ගේ හවුල් වැඩකරුවෙක් ව සිටි දේමස් මෙන්, එහි බලපෑම්වලට අප යටත් වනු ඇත.—1 යොහන් 2:15-17; 5:19; 2 තිමෝති 4:10.
17. අප ඉපදී සිටින්නේ ආත්ම දමනය සම්බන්ධ කිනම් ගැටලුව සමඟින් ද?
17 ක්‍රිස්තියානින් හැටියට, උරුම ව ඇති අපගේ ම මාංසයේ දුර්වලත්වයන් හා අඩු-ලුහුඬුකම් සමඟ සාර්ථක ව පොර බැදීමට ද අපට ආත්ම දමනය අවශ්‍ය වේ. “බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ” යන සත්‍යයෙන් මිදෙන්නට අපට නුපුළුවන. (උත්පත්ති 8:21) දාවිත් රජ මෙන්, ‘පවට නැම්ම ඇති ව ප්‍රසව වේදනාවෙන් අප ව බිහි කරන ලද අතර පාප සහිත ව අපගේ මව්වරු අප පිළිසිඳ ගත්හ.’ (ගීතාවලිය 51:5 NW) අලුත උපන් දරුවෙක් ආත්ම දමනය ගැන කිසිවක් දන්නේ නැත. ඔහුට යමක් අවශ්‍ය වූ විට, එය තමාට ලැබෙන තෙක් ඔහු දිගට ම අඬයි. දරුවන් පුහුණු කිරීම පිළිබඳ එක් වාර්තාවක් පවසනුයේ: “දරුවන් තර්ක කරන්නේ වැඩිහිටියන්ට වඩා සහමුලින් ම වෙනස් වූ ආකාරයකට ය. දරුවන් තමුන් ගැන පමණක් සිතන අතර, ඔවුන්ට “තමන් ව වෙනත් අයෙකුගේ තත්ත්වයෙහි තැබීමට” නොහැකි නිසා, වඩාත් තර්කානුකූල ඒත්තු ගැන්වීමකට වුව ද ඔවුහු ප්‍රතිචාර නොදක්වති. සැබවින් ම, “මෝඩකම ළමයෙකුගේ සිතට බැඳී තිබේ.” කෙසේ නමුත්, “දඬුවම්කිරීමේ ඉපල” අදාළ කිරීමෙන්, තමා කීකරු විය යුතු නීති ඇති බවත්, ආත්මාර්ථකාමීත්වය දමනය කළ යුතු බවත්, ක්‍රමයෙන් ඔහු ඉගෙන ගනු ඇත.—හිතෝපදේශ 22:15.
18. (අ) යේසුස් වහන්සේ පැවසූ පරිදි, සංකේතමය හෘදයේ කිනම් නැඹුරුවාවන් ගැබ් ව තිබේ ද? (ආ) ආත්ම දමනය ක්‍රියාවෙහි යෙදවීමේ ගැටලුව සම්බන්ධයෙන් පාවුල් සාවධානයෙන් සිටි බව පෙන්වන්නේ ඔහුගේ කිනම් වදන්වලින් ද?
18 ඇත්තෙන් ම, ජන්මයෙන් ලැබූ අපගේ ආත්මාර්ථකාමී නැඹුරුවාවන් ආත්ම දමනය ක්‍රියාවට නැගීමෙහි ලා අභියෝගයක් ඉදිරිපත් කරයි. එම නැඹුරුවාවන් සංකේතමය හෘදයෙහි ගැබ් ව පවතී. මේ සම්බන්ධයෙන් යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් [හෘදයෙන් NW] නික්මෙන්නේය”. (මතෙව් 15:19) “මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි. ඉඳින් මම කැමති නැති දේ කරම් නම්, ඒක කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය” යයි පාවුල් ලිව්වේ ඒ නිසා ය. (රෝම 7:19, 20) කෙසේ නමුත්, මෙය පරාජය වන සටනක් නොවේ ය, මන්දයත් පාවුල් මෙසේ ලීවේ ය: “නුමුත් මාගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයි ලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.” සිය ශරීරය දමනය කිරීමට ආත්ම දමනය පැවැත්වීම අවශ්‍ය කරවී ය.—1 කොරින්ති 9:27.
19. පාවුල් තමාගේ ශරීරය දමනය කර ගත් බව ඔහුට හොඳින් කිව හැකි ව තිබුණේ මක්නිසා ද?
19 ආත්ම දමනය ක්‍රියාවට නැගීම අධි රුධිර පීඩනය, නාඩි තන්ත්රයේ ආබාධ, නින්ද නොයෑම, හිසරදය, අජීර්ණය යනාදි ශාරීරික සාධක බොහොමයක් හා සම්බන්ධ ව ඇති නිසා, පාවුල් තමාගේ ශරීරය දමනය කර ගත්තේ යයි ඔහුට මනා ලෙස කීමට හැකි විය. මීළඟ ලිපියේ ආත්ම දමනය ක්‍රියාවෙහි යෙදවීමට අපට උපකාරවත් වන්නා වූ ගුණාංග හා උපකාරකයන් අපි සලකා බලන්නෙමු. w91 11/15
ඔබට මතක ද?
◻ ආත්ම දමනය වැදගත් වන්නේ මන්ද?
◻ ආත්ම දමනයේ ඌනතාවය නිසා පාඩු විඳි ඇතැම් අයගේ ආදර්ශයන් මොනවා ද?
◻ අප ආත්ම දමනය ක්‍රියාවෙහි යෙදවිය යුත්තේ කිනම් අංශවල ද?
◻ අප විසින් ආත්ම දමනය ක්‍රියාවෙහි යෙදවීම අපහසු කරවන සතුරන් තිදෙනා කවරහු ද?
[10වන පිටුවේ පින්තූරය]
කෑම හා බීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානින් ආත්ම දමනය ක්‍රියාවෙහි යෙදවිය යුතු ය
[11වන පිටුවේ පින්තූරය]
ආත්ම දමනය, හානිකර ඕපාදූපවලින් වැළකී සිටීමට අපට උපකාර කරනු ඇත
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Historical Pictures Service