උපහැරණ හෘදයට ළඟා වීමේ ප්‍රධාන මාර්ගයකි
දාවිත්, තම ජීවිතය බේරා ගැනීම සඳහා දිවයමින් සිටියේ ය. ඔහුගේ සතුරා ඊශ්‍රායෙලයේ ආලේප ලත් රජු වන සාවුල් ය. කෙසේ වුවද, සාවුල් වනාහි දාවිත් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ඇවිලුණු වෛරයකින් පිරී සිටි මිනිසෙකි. තමාගේ මිනීමරු අභිලාෂය ඉටු කර ගැනීම පිණිස රජු දැන් සොල්දාදුවන් 3000ක් ගෙනැවිත් තිබුණේ ය. මේසා විශාල පිරිසකට මුහුණ දීම අසීරු කාර්යයක් වූ බැවින්, දාවිත් සහ ඔහුගේ මිනිස්සු වනාන්තරයේ ගුහාවක, ඇතුළත අඩියේ සැඟ වී සිටියෝ ය.
දාවිත් සහ ඔහුගේ මිනිසුන් කළුවරේ එකට මිරිකී තෙරපී සිටින විට, පුදුමාකාර ලෙස තත්ත්වය වෙනස් අතකට හැරිණි. සාවුල් රජ තමාගේ ශරීර කෘත්‍යය සඳහා එම ගුහාව තුළට ම බසියි. දාවිත් නිහඬ ව තම ආයුධය අතැති ව සතුරා ළඟට පැමිණෙයි. එහෙත් දාවිත්ගේ මිනිසුන් ව මවිතයට පත් කරවමින්, ඔහු රජු ව මරන්නේ නැත. ඔහු නිකම් ම සාවුල්ගේ ඇඳුමෙන් කොටසක් කපා ගනියි. මේ ගැන පවා ද කනගාටු වෙමින් දාවිත් මෙසේ පවසයි: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] අභිෂේකලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුත්ටධව මේ දේ කිරීමෙන් එනම් මාගේ අත දිගුකිරීමෙන් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] මා වලක්වනසේක්වා. මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] අභිෂේකලත් තැනැත්තාය.”—1 සාමුවෙල් 24:1-6.
මෙම බයිබල් වාර්තාව, දෙවියන් වහන්සේ විසින් දෙන ලද ආධිපත්‍යයට ගෞරව දැක්වීම ගැන ගැඹුරු පාඩමක් උගන්වයි. සමහරවිට ඍජු ව දෙන උපදෙසකට වඩා එය වඩාත් ප්‍රබල ව හෘදයට ළඟා වෙයි. අපට උපදෙස් දීම සඳහා දෙවියන් වහන්සේගේ වචනයේ වාර්තා වී ඇති කථාවන්හි බලය එවැනි ය.—රෝම 15:4.
මේ අනුව, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, ශුභාරංචිය දේශනා කරන විට, නිවාස බයිබල් පාඩම් පවත්වන විට, ශුද්ධ ලියවිලිමය කථාවන් දෙන විට, හෝ අනියම් සාක්ෂි දරන විට, යම් තොරතුරු සඳහන් කරනවාට වඩා වැඩි යමක් කිරීමට උත්සුක වෙති. අත්දැකීම් විස්තර කිරීමෙන් සහ උපහැරණ යොදා ගැනීමෙන් ඔවුහු හෘදයට කිඳා බැසීමට උත්සාහ කරති. ඔවුන්ගේ දිව්‍යාණ්ඩු සේවා පාසල් අත්පොත මෙසේ පැහැදිලි කරයි: “උපහැරණ උනන්දුව ප්‍රබෝධ කරන අතර, වැදගත් කරණු ඉස්මතු කර කෙනෙකුගේ චින්තන ක්‍රියාවලිය අවදි කරවනවා මෙන් ම නව සිතුවිලි ග්‍රහණය කිරීම ද වඩා පහසු කරයි. හොඳින් තෝරා ගත් උපහැරණ, බුද්ධිමය ආකර්ෂණය සමඟ, චිත්ත වේගීය සංඝට්ටනය එකට ඈඳයි. . . . ඇතැම් අවස්ථාවක, අගති සහගත හැඟීම් හෝ පක්ෂවාදිකමක් මඟ හැරීමට උපහැරණයක් භාවිතා කළ හැක.”a—168 පිටුව.
එසෙන්ෂල්ස් ඔෆ් පබ්ලික් ස්පීකිං නමැති තම පොතේ වැරන් ඩුබුවා මෙසේ සටහන් කරයි: “ලේඛකයා හෝ කථිකයා තමාගේ අදහස්, මිනිසුන්ගේ ක්‍රියා හෝ වචන තුළින් ප්‍රකාශ කරවීමෙන්, නීරස විෂයක් ජීවමාන වී වර්ණවත් වෙයි.” මෙසේ, දැනටමත් ලෙලදෙන හා ජීවනය ගෙන දෙන පණිවුඩයකට ජීවමාන බව සහ වර්ණ ගැන්වීම, හෘදයට ළඟා වීම සඳහා ක්‍රිස්තියානි දේව සේවකයන් හට ස්ථිර වශයෙන් ම උපකාරවත් වෙයි.
උගන්වන උපහැරණ
වඩාත් හොඳින් ක්‍රියාත්මක වන්නේ කිනම් ආකාරයේ උපහැරණ ද? සාමාන්‍යයෙන්, අසන්නන්ට පහසුවෙන් සම්බන්ධ විය හැකි යම් දෙයක් මත පදනම් වූ ඒවා ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබූ සේක. තම කන්ද උඩ දේශනාවේ දී, ලුණු, පහන්, සහ කුරුල්ලන් වැනි එවන් පොදු දේවල් ගැන උන් වහන්සේ කථා කළ සේක. (මතෙව්. 5:1–7:29) නිදසුනක් වශයෙන්, ඇතැම් විට පහන් රුකක් මත තබන ලද ඔලිව තෙල්වලින් දහනය වූ ලාම්පු ගැන කවුරුත් පාහේ දැන සිටියේ ය. එමනිසා, යේසුස් වහන්සේ මෙසේ පැවසූ විට, තමන් ආත්මික ආලෝකය දරන්නන් විය යුතු බව යේසුස් වහන්සේගේ ගෝලයන් වටහා ගත්තා විය යුතු ය: “මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් [කදිම NW] ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ අලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.” (මතෙව් 5:15, 16) යම් විෂයකට ගැලපෙන සංකීර්ණ නොවූ උපහැරණයක්, අදහස් සහ බයිබල් ඉගැන්වීම් පැහැදිලි කිරීමට ක්‍රිස්තියානි දේව සේවකයෙකුට උපකාරවත් වෙයි.
ඇතැම් විට යේසුස් වහන්සේගේ වඩාත් ප්‍රබල උපහැරණ නාභි ගත වූයේ මිනිසුන් මත ය. ලූක් 15 සහ 16 වෙනි පරිච්ඡේදවල වාර්තා වී ඇති ඒවා සලකා බලන්න. පව්කාරයන් සහ අයබදු එකතු කරන්නන් ව පිළිගැනීම සම්බන්ධයෙන්, ලියන්නන් සහ ඵරිසිවරුන් යේසුස් වහන්සේ ව විවේචනය කොට තිබුණි. මීට ප්‍රතිචාරයක් වශයෙන්, උන් වහන්සේ, මිනිසුන් ගැන හද දනවන සුලු කථාන්තර පැවසූ සේක. තමාගේ නැති වූ බැටළුවා ව සොයා ගත් එඬේරෙකු ගැන උන් වහන්සේ කථා කළ සේක, නැති වූ කාසියක් සොයා ගත් ස්ත්‍රියක ගැන, නැවත ගෙදර හැරී ආ නාස්තිකාර පුත්‍රයෙක් ගැන, සහ අධර්මිෂ්ඨ ගබඩා කරුවෙක් ගැන උන් වහන්සේ කථා කළ සේක.
යථාර්ථවාදී උපහැරණ සහ සත්‍ය ජීවිත අත්දැකීම් ක්‍රිස්තියානි දේව සේවකයෙකු හට ඉතා ප්‍රයෝජනවත් විය හැකි ය. නිදසුනක් වශයෙන්, වසර 60ක් පුරා ප්‍රසිද්ධ කථිකයෙකු ලෙස පුළුල් සංචාරයක යෙදුණු ඇලෙක්සැන්ඩර් එච්. මැක්මිලන් මළවුන් පිළිබඳ ව බයිබල් සත්‍ය පහදා දුන් ආකාරය ගැන සැලකිල්ලට ගන්න. ආත්මය කිසිවිටෙකත් මිය යන්නේ නැතැයි විශ්වාස කළ තම පියාගේ මරණයට මඳකට පෙර, මැක්මිලන් ඔහු සමඟ මෙසේ කථා බහේ යෙදී තිබිණි:
“මගේ පියා මගෙන් මෙසේ ඍජු ප්‍රශ්නයක් ඇසුවා: ‘පුතා, පොළොව පරිපූර්ණත්වයෙන් පිරවීමේ වැඩය පටන් ගන්නා තෙක් මා රාජ්‍යය කෙරෙහි බලා සිටින විට, මිනීවළේ දී මට තනිකමක් දැනේ වි ද?”
“කිසිදා නිසි ආකාරයට සිතා නැති එවන් වයසක පුද්ගලයෙකුට ඒ ආකාරයට පහසුවෙන් පිළිතුරක් දීමට යෞවනයෙකුට නොහැකි වූ පැනයකි, එය.
“ඔහුට පිළිතුරු දෙමින් මම මෙසේ ඇසුවෙමි: ‘තාත්තේ, ඔබ ඊයේ රාත්‍රියේ හොඳින් නිදාගත්තා ද?’
“ඔහු මෙසේ පිළිතුරු දුන්නා: ‘ඔව්, මගේ පුතා, දොස්තර මහතා මට නිදිපෙති ටිකක් දුන්නායින් පස්සේ, මට හොඳට නින්ද ගියා.’
“‘ඔබ නින්දේ සිටින විට ඔබට තනිකමක් දැනුනා ද?’
“‘නැහැ, මට එහෙම දැණුනේ නැහැ, මට කිසි වේදනාවක් දැණුනේ නැති නිසා මට සෑම වේලාවක ම හොඳින් නිදාගන්ට පුළුවන් නම් මා කැමතියි.’ ”
යෝබ් 14:13-15 සහ 3:17-19, ඒ. එච්. මැක්මිලන්, තම පියාට කියවා, මෙසේ පැවසී ය: “බලන්න තාත්තේ, මළවුන් සිටින්නේ මර නින්දක, අනෙක, ඒ තත්ත්වයේ සිටින කොට ඔවුන් කිසිවක් දන්නේ නැහැ, එහෙම නම්, ඔවුන්ට තනිකමක් දැනෙන්නේ කොහොම ද?”
මොනතරම් ප්‍රබල ඉගැන්වීමේ ක්‍රමයක් ද! ඔබ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකු නම්, මනසට හා හදවතට කාවදින්නා වූ ශුද්ධ ලියවිලි සහ උපහැරණයන් යොදා ගන්නට ඔබටත් පුළුවන.
උපහැරණ සොයා ගැනීම
එහෙත්, ප්‍රබල උපහැරණ සහ සත්‍යය ජීවිත කතා ඔබට සොයා ගත හැක්කේ කොහෙන් ද? බොහොමයක් ඔබගේ පුද්ගලික අත්දැකීම් සම්භාරයේ එකතු කරගත් ඒවායින් ගෙන හැර දැක්විය හැක. නිදසුනක් වශයෙන්, ඇදහිල්ලේ ආශීර්වාද, යාච්ඤාවේ බලය, හෝ දේව සේවය තුළ ලබන ප්‍රීතිය විදහා පෙන්වීමට ඔබට අවශ්‍ය ද? ඔබ කැප වූ ක්‍රිස්තියානි වරයෙකු නම්, පෙනෙන හැටියට ඔබගේ ජීවිතයේ ම නොයෙක් අවස්ථාවන් ගැන සඳහන් කරන්නට ඔබට හැකි වෙයි. සභා රැස්වීමක දී, හෝ සෙසු ක්‍රිස්තියානින් සමඟ කථා කරන විට කදිම අත්දැකීම් සොයා ගන්නට ඔබට හැකි වන්නට පුළුවන. එසේ නැතහොත්, යියර් බුක් ඔෆ් ජෙහෝවාස් විට්නසස් හි තිබෙන දිරිගන්වන සුලු අත්දැකීමක් කියවීමට ඔබට හැකි ය. ඇත්තෙන් ම, වොච්ටවර් පබ්ලිකේෂන් ඉන්ඩෙක්ස්, ලෝකයේ නන් දෙසින් පැමිණෙන මුද්‍රිත අත්දැකීම් ගැන දැනගන්නට අපට හැකියාව ලබා දෙයි.
වඩාත් බලපෑමෙන් යුතු ව අත්දැකීම විස්තර කරන්නට ඔබට හැක්කේ කෙසේ ද? එක දෙයක් නම්, යම් තරමක කුතුහලයක් ඇවිස්සීම මගින්, ඔබට සවන් දෙන්නන්ගේ අවධානය රඳවා තබා ගැනීමට ඔබට උපකාර කරයි. අත්දැකීමක් පටන් ගන්නට පෙර ඔබට මුලින් මෙසේ පැවසිය හැක: “යෙහෝවඃ වහන්සේ උන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබන අයට ආශීර්වාද කරන ආකාරය එක් පුරෝගාමියෙක් ඍජු ව ම තේරුම් ගත්තා.” එවිට ම, පූර්ණ කාලීන රාජ්‍යය දේශනාකරුවා භුක්ති වින්දේ කුමන ආශීර්වාද ද යන්න ගැන ඔබට සවන්දෙන අය කල්පනා කිරීමට පටන් ගනිති. ඒ ගැන ඔවුන්ට කීමට සහතික වන්න.
අත්දැකීමක් ඔබගේ ම වචනවලින් කීමට උත්සාහ කරන්න. සියලු තොරතුරු සපයන්න, මන්දයත් එසේ කිරීමෙන්, කථාව තදින් කාවදින්නට සලස්වයි. අදාළ වූ තත්ත්වයන් ගැන පැහැදිලි පින්තූරයක් ඇඳ දීම මගින්, ඔබට සවන්දෙන්නන් ව පහසුවෙන් පෙලඹ වීමට ඔබට හැක. එහෙත්, ඔබ එම අත්දැකීම පැවසීමට හේතුව තේරුම් ගැනීමට ඔවුන් අසමත් වෙන පරිද්දෙන්, ඔබ කථාන්තරය කීමේ දී එයට ඇලී ගැලී නොසිටීමට වග බලා ගන්න. තව ද, අතිශයෝක්තියෙන් වළකින්න, මන්දයත් මෙය කථාව වඩාත් උනන්දුව ඇති කරවන සුලු විය හැකි වුවත්, එයට ඔබගේ විශ්වාසනීයත්ව ය හීන කරවිය හැක. එම හේතුව නිසා ම, කනින් කොනින් ඇසූ දේවල් පැවසීමෙන් හෝ ඔබට සනාථ කිරීමට නොහැකි අත්දැකීම් විස්තර කිරීමෙන් ද වළකින්න.
බයිබලය ජීවමාන කරවීම
වඩාත් උපදේශාත්මක අත්දැකීම් බයිබලය තුළින් ම සොයා ගන්නට පුළුවන. නිදසුනක් වශයෙන්, යෙහෝවඃ දෙවියන් වහන්සේ උදෙසා ස්ථාවරයක් ගැනීමට දරුවන්ට හැකි යයි බයිබල් ශිෂ්‍යයෙකුට හෝ සබයකට පෙන්නුම් කිරීමට ඔබට වුවමනා වේ යයි සිතන්න. යෙහෝවඃ වහන්සේගේ ප්‍රොපේතවරයා වූ එලිෂා ගැන නාමන්ගේ භාර්යාවට කථා කළ නිර්නාමික දැරිය පිළිබඳ කථාව යොදා ගැනීමට ඔබ තීරණය කරනවා විය හැකි ය. පළමුවෙන් ම, 2 රාජාවලිය 5:1-5 හි සඳහන් විස්තරය කියවන්න. ඉන් පසු ඔබට මෙසේ ඇසිය හැක: “බොරු නමස්කාරය පැවති දේශයක දෙවියන් වහන්සේ කෙරෙහි අඛණ්ඩතාවය පැවැත්වීම මෙම දැරියට කොතරම් අමාරු වන්නට ඇද්දැයි කියා ඔබ සිතනවා ද? යෙහෝවඃ වහන්සේ සහ උන් වහන්සේගේ ප්‍රොපේතවරයා ගැන ඒත්තු යන අන්දමින් කථා කරන්නට ඈට ධෛර්ය අවශ්‍ය වූවා නොවේ ද?”
මෙම කථාව ජීවමාන කිරීමට, ඔබ කලින් කරන ලද ගවේෂණ ඔබට උපකාරවත් වන්නට පුළුවන. වොච්ටවර් පබ්ලිකේෂන් ඉන්ඩෙක්ස් හි, නාමන්, සිරියා සහ එලිෂා යන ශීර්ෂ පාඨ යටතේ ඇති තොරතුරු ඔබට උපකාරවත් වන බව ඔබ සොයා ගෙන තිබෙන්නට පුළුවන. න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් හි හරස් යොමු සටහන්, 2 රාජාවලියේ සඳහන් එම කථාවේ සිට ගීතාවලිය 148:12, 13 දක්වා ඔබ ව ගෙන ගියා විය හැක, අපට එහි මෙසේ කියවිය හැක: “තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, . . . ස්වාමීන්ට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රශංසා කරව්. මොව්හු ස්වාමීන්ගේ [යෙහෝවඃ වහන්සේගේ NW] නාමයට ප්‍රශංසා කෙරෙත්වා; මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.” දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ව කථා කිරීම සඳහා යෞවන අය හට මොනතරම් දිරිගැන්වීමක් ද!—ක්‍රියා 4:29-31.
ඔබ ක්‍රිස්තියානි දේව සේවකයෙකු නම්, මේ සම්බන්ධ ව ‘ඔබගේ ඉගැන්වීමට නිරන්තර අවධානය යොමු කරන්න’ (1 තිමෝති 4:16, NW) සත්‍යය නිකම් ම නොපවසන්න, එය උපහැරණය කරන්න. බයිබල් වාර්තාවන් ප්‍රාණවත් කොට, අර්ථවත් කරන්න. ගැලපෙන අත්දැකීම් සහ උපහැරණ යොදා ගන්න. හෘදයට ළඟා වීමේ මාර්ග මේවා ය. w91 9/15
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔෆ් න්යූ යෝක්, ඉන්ක් මගින් ප්‍රකාශිතයි.
[25වන පිටුවේ පින්තූරය]
යේසුස් වහන්සේ මෙන්, අද දින ක්‍රිස්තියානි දේව සේවකයන්ට ද, තමන්ගේ පණිවුඩය දැනුම් දීමට සහ හෘදයට කිඳාබැසීමට ප්‍රාණවත් උපහැරණ යොදා ගත හැක