සෝවියට් සංගමයෙන් විස්මයජනක වාර්තාවක්
වර්ෂ සියයක් සාක්ෂි දැරීමේ ප්‍රීතිමත් උච්චාවස්ථාව
“ලියාපදිංචි කිරීම සඳහා, ‘සො.ස.ජන.සං. හි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ’ ආගමික සංවිධානයන්ගේ විධායක මධ්‍යස්ථානයේ ප්‍රඥප්තියය.”
මෙය මෙම පිටුවෙහි නැවත මුද්‍රණය කර ඇති රුසියානු භාෂා ලියවිල්ලේ පළමු වචනවල පරිවර්තනයකි. සැබවින් ම මෙම වචන බොහෝ වූ යාච්ඤාවලට පිළිතුර නියෝජනය කරයි. ලියවිල්ල අත්සන්කර මුද්‍රා කරනු ලැබුයේ මොස්කව්හි දී රු.සෝ.එ.ස. (රුසියානු සෝවියට් එක්සත් සමාජවාදි ජනරජය) ජනරජ අධිකරණ අමාත්‍යංශයේ උසස් නිලධාරියකු විසිනි. ඉන් අදහස් වන්නේ සෝ.ස.ජන.සං. තුළ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් පිළිගත් ආගමික සංවිධානයක් බව ය. මෙසේ එම විශාල රටෙහි, එක සිය අවුරුදු ඉතිහාසයෙහි සංධිස්ථානයක් කරා ලඟා වී ඇත.
ඉතා සුළු ආරම්භයක්
එක සිය වසරක ඉතිහාසයක්? එසේ ය. නවීන කාලයෙහි, එම රටෙහි ආදීම දන්නා ශුභාරංචියේ දේශනාකරු වූයේ චාල්ස් ටේස් රසල් ය. ඔහු 1891 දී එහි ගිය ගමනක් ගැන වාර්තා කළේ ය. සයන්ස් වොච්ටවර් ඇන්ඩ් හෙරල්ඩ් ඔෆ් ක්‍රයිස්ට්ස් ප්‍රෙසන්ස් හි 1891 සැප්තැම්බර් කළාපයේ, යුරෝපා සංචාරයක් තුළ දී, ඔහු රුසියාවේ කිෂිනෙෆ් හි ගමන් කළ බව විස්තර කරයි. ඔහු එහි දී යේසුස් වහන්සේ තුළ විශ්වාස කළ, ප්‍රදේශයේ යුදෙව් පවුල්වලට දේශනා කිරීමට තැත්කරමින් සිටින එක්තරා යෝසෙප් රැබිනොවිච් නම් අයකු මුණ ගැසිණ. රැබිනොවිච් බැහැදැකීම සහ රාජ්‍යය ගැන ඔවුන්ගේ උනන්දුව දනවන සංවාදයන් රසල් දීර්ඝ ලෙස වාර්තා කරයි.
ශුභාරංචිය නැවත ඇසෙයි.
රසල්ගේ ගමනින් පසු දැන් සෝ.ස.ජන.සං නමින් දන්නා ප්‍රදේශයෙහි සාක්ෂිදැරීම ගැන අසනු ලැබුවේ ස්වල්ප වශයෙනි. නමුත් ප්‍රතිඵල අත්කර නොගත් බව ඉන් අදහස් නොකෙරේ. 1927 දී සෝවියට් සංගමයේ සභාවන් තුනක් ඔවුන්ගේ සිහිකිරීමේ උත්සව රැස්වීම්වල වාර්තා, සමිතියට එවූහ. නමුත් දෙවන ලෝක යුද්ධය දක්වා දියුණුව සීඝ්‍ර වූ බවක් නොපෙනේ. එම යුද්ධය යුරෝපය තුළ බොහෝ ජනයා හදිසි ලෙස අස්ථානගත වීම ප්‍රතිඵල විණි. මෙම ඔබමොබ යාම්වල පෙර නුදුටු එක් ප්‍රතිඵලයක් වූයේ, සෝවියට් සංගමය තුළට රාජ්‍ය දේශනාකරුවන්ගේ විශාල ගලා යාමකි.
නිදසුනක් වශයෙන්, 1946 පෙබරවාරී 1 ද වොච්ටවර් කළාපය වාර්තා කරන්නේ: “පළමුවෙන් යූක්රේණීය භාෂාවෙන් පෝලන්තයේ නැගෙනහිර කොටසේ දේශනා කළ දහසකට වැඩි ප්‍රචාරකයන් දැන් රුසියාවේ අභ්‍යන්තරයට ම මාරුකර යවා ඇත . . . එමෙන් ම, පළමුව රුමේනියාවේ කොටසක් වූ බෙස්සාරේබිවාවේ විසූ සියගණනක් සහෝදරයෝ දැන් රුසියාවෙහි පදිංචිකරුවන් වී, සියලු ජාතීන් ගෝලයින් කිරීමේ තම කාර්යය දිගට ම කරගෙන යති.”
තවදුරටත්, දෙවන ලෝක යුද්ධය තුළ දී බොහෝ සෝවියට් රටවැසියෝ නාට්සි දේශපාලන සිර කඳවුරු තුළ වඳවින්දාහ. සමහරුන් සඳහා, මෙම දරුණු අත්දැකීම්, බලාපොරොත්තු නොවූ ආශිර්වාද කරා මගපෙන්වී ය. රේවෙන්ස්බෲක් හි සිරකර සිටි තරුණ රුසියානු ස්ත්‍රීන් 300 දෙනෙකු ගැන එක් වාර්තාවක් කියයි. එහි දී ඔවුන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් මුණගැසී, සත්‍යයට ප්‍රතිචාර දක්වා බව්තීස්ම වීමේ තැන දක්වා දියුණු වූහ. සමාන දේවල් අනිත් කඳවුරු තුළත් සිදුවිය. මෙම අලුතින් බව්තීස්ම වූ සාක්ෂිකරුවන් යුද්ධයෙන් පසු නිදහස් කළ විට ඔවුන් රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය තමන් සමඟ ආපසු සෝවියට් සංගමය තුළට රැගෙන ගියහ. මෙමගින් දෙවන ලෝක යුද්ධය, සෝවියට් බලප්‍රදේශය තුළ රාජ්‍ය දේශනාකරුවන්ගේ සීඝ්‍ර වැඩිවීමක් ප්‍රතිඵල කරවී ය. වර්ෂ 1946 දී ප්රචාරකයින් 1600ක් එහි ක්‍රියාකාරී ව සිටින බව තක්සේරු කරනු ලැබී ය.
බන්ධනාගාරය තුළ දේශනාකිරීම
සෝවියට් සංගමය තුළ ශුභාරංචිය පතුරුවාලීමේ ප්‍රධාන කොටසක් ඉටුකිරීමෙහි, බන්ධනාගාර දිගට ම යෙදී සිටියහ. යුද්ධයෙන් පසු බලධාරීහු සාක්ෂිකරුවන් තර්ජනයක් ලෙස වැරදි අන්දමින් දර්ශනය කර බොහෝ අය සිරගත කළහ. නමුත් මෙය ඔවුන්ගේ දේශනාකිරීම නොනැවැත්වී ය. මනුෂ්‍යවර්ගයා සඳහා වඩා උසස් ම ප්‍රවෘත්තිය දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ පණිවුඩය බව ඔවුන් සැබවින් ම විශ්වාස කරන විට එය කෙසේ විය හැකි ද? එලෙස ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුන් සඳහා බන්ධනාගාරය ඔවුන්ගේ බලප්‍රදේශය විය. ඔවුන්ට සවන් දුන් සිරකරුවන් ගණනාවක් ප්‍රතිචාර දැක්වූහ. වර්ෂ 1957 වාර්තාවක් පවසන්නේ: “අද රුසියාවේ සත්‍යය තුළ සිටින බවට දන්නා සියල්ලන්ගෙන් සියයට හතලිහක් සත්‍යය ලබාගත්තේ බන්ධනාගාර හා කඳවුරු තුළ දී බව නිගමනය කර ඇත.”
මෙම නිරන්තර සිරගත කිරීමේ තර්ජනය මගින් සාක්ෂිකරුවන් අධෛර්යමත් කරනු ලැබ තිබේ ද? කිසි අයුරකින් නැත්තේ ය! වර්ෂ 1964 වාර්තාවක් මෙසේ පවසයි: “ඔවුන් මුදා හරිනු ලැබූ පසුව පණිවුඩය දේශනා කිරීම ඔවුන් නොනැවැත්වූ බැවින්, එම කඳවුරු තුළ දෙවෙනි වරට හෝ තුන්වෙනි වරට එහි සිටි සාක්ෂිකරුවෝ වූහ.” අනිත් අය, සම්බන්ධයෙන් එය පවසන්නේ, ඔවුන් සිරයට හෝ කඳවුර භාරයට පත් වූ අපරාධකරුවන් වූ බව ය. ඔවුන් එහි සිටින අතර සාක්ෂිකරුවන් මුණගැසුණහ. ඔවුන් සත්‍යය පිළිගෙන නිදහස්කර යැවීමට පෙර බව්තීස්මය දක්වා දියුණු වූහ.
පීඩනය අඩුවීමක්
වර්ෂ 1960 ගණන්වල මැද භාගයේ දී බලධාරීන් සාක්ෂිකරුවන් වෙත තද අඩු ලීලාවක් ඇති කර ගත්හ. යෙහෝවඃ වහන්සේගේ ජනයා පොදු නීති හා ආඥාවලට කිසි අයුරකින් තර්ජනයක් නොවන බව ඔවුන්ට ප්රත්යක්ෂ වූවා විය හැක. මෙසේ මෙම යටහත් පහත් ක්‍රිස්තියානින්ගේ ක්‍රියාකාරකම් තවමත් නීත්‍යානුකූල නොවන අතර, ඔවුන් ව භාජනය කරනු ලබන්නේ අත් අඩංගුවට ගැනීම් හා ගෙවල් සෝදිසි කිරීම් ස්වල්ප ගණනකට නිසා ඔවුන් එම පීඩනය අඩුවීම ගැන කෘතඥවෙති. ඔවුන්ගේ ප්‍රධාන ආශාව වූයේ තමුන්ගේ ක්‍රිස්තියානි ජීවිතය ගෙනයාමටත්, එය තමුන් මත රඳා ඇති දුර තෙක් සන්සුන් ව, මෘදු ව සහ සමාදාන ව වැඩ කිරීමටත් ය.—රෝම 12:17-19; 1 තිමෝති 2:1,2.
වර්ෂ 1966 දී සයිබීරියාවෙහි බොහෝ කාලයකට පිටුවහල් කරනු ලැබ සිටි සියලු දෙනා නිදහස් කර, රට ඇතුළත ඔවුන් කැමති ඕනෑම තැනකට යාමට ඉඩ හරින ලදි. අවුරුදු බොහෝ ගණනකට පසු, නැවත බොහෝ දෙනෙක් ගෙදර පැමිණියහ. නමුත් සමහරු එම ඵලදායී ක්ෂේත්රයෙහි රැඳීසිටීමට තෝරාගත්හ. ආපසු පැමිණි සියලු දෙනා රැඳීසිටීමට තෝරා නොගත්හ. යෞවන දැරියක ව සිටිය දී සිය පවුල සමඟ සයිබීරියාවට යවනු ලැබූ එක් සහෝදරියක් ඇගේ දෙමාපියන් සමඟ බටහිර රුසියාවට නැවත පැමිණ තිබුණි. නමුත් ඈ නැවතී සිටියේ ටික කලක් පමණි. ඈ කොපමණ එම බැහැපත්, සංග්‍රහශීලි සයිබීරියාවේ ජනතාවට ප්‍රේම කළේ ද යත්, ඇය තම පවුල හැරදා එම පිළිගන්නාසුලු ජනයාට දිගට ම දේශනා කිරීමට නැවත නැගෙනහිරට ගියා ය.
මෙම කාලය තුළ දී, පොදුවේ දක්නට ලැබූ අත්දැකීම්වලට එක් නගරයක සිට තව එකකට මාරුවෙමින් ගිය සහෝදරයෙකුගේ අත්දැකීම සම්බන්ධ වේ. ස්වල්ප කලකට පසු ඔහු තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු සොයා ගත්තේ ය. තුන් දෙන ම, ආධාරය සඳහා යාච්ඤා කළහ. සැනෙකින් ග්‍රීක් ඕතඩොක්ස් පසුබිමක් සහිත තරුණ ස්ත්‍රියක් ඔවුන්ට හමුවිය. ඇය කඩිනමින් ම සත්‍යය පිළිගෙන තවත් උනන්දුව දැක්වූ දෙදෙනෙක් වන ඇගේ මව හා නැගණිය වෙතට ද සහෝදරයන් ව කැඳවාගෙන ගියා ය. වාර්තාව අවසන් කරන්නේ මෙසේ ය. “අද මෙම සහෝදරයන් සමඟ මනුෂ්‍යයින් 40ක් සමාගම් පවත්වයි; ඔවුන්ගෙන් තිස් දෙනෙකු පසුගිය මාස හය ඇතළත සත්‍යය දැනගත්හ.”
එතෙකුදු වුවත්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් නීත්‍යානුකූල ව පිළිනොගැනීම හේතුවෙන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩාල කරනු ලැබුණි. රැස්වීම් පැවැත්වූයේ ප්‍රවේසම්කාරි ලෙස ය. දේශනා කරන ලද්දේ ප්‍රවේසමිනි. සිරගත කිරීම තවමත් සිදුවිය හැකි දෙයක් ව පැවතුණි. විවෘත ගෙයින් ගෙට සාක්ෂිදැරීම කළ නොහැක්කකි. කෙසේ වුවත්, එදිරිය හමුවේ මෙම ඇදහිලිවන්ත සෝවියට් ක්‍රිස්තියානිහු තමුන්ගේ දෙවියන් වහන්සේට විශ්වාසවන්ත ව සේවය කිරීමටත්, තම රටෙහි හොඳ පුරවැසියන් වීමටත් නොනවත්වා ක්‍රියා කළහ. (ලූක් 20:25) ඔවුන්ගේ ආකල්පය ප්‍රකාශකරමින් ඔවුන්ගෙන් කෙනෙකු ලීවේ මෙසේ ය. “යේසුස් වහන්සේ මගින් යෙහෝවඃ වහන්සේගෙන් සදාකාල ජීවිතය ලබා ගැනීම පිණිස සඳහට ම කෙනෙකුගේ ජීවිතය තුළ දී දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමටත්, සියලු ම පරීක්ෂා විඳදරාගෙන යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසවන්ත ලෙස රැඳීසිටීමත් මහත් වරප්රසාදයකි.” මෙම ඇදහිලිවන්ත සෝවියට් සාක්ෂිකරුවන් විඳදරාගැනීමේ සහ විශ්වාසවන්තභාවයේ කෙතරම් කදිම ආදර්ශයන් වී ඇත් ද!
අවසානයේ දී නිත්‍යානුකූල කරනු ලැබීම!
වර්ෂ 1988 දී සෝවියට් සංගමය හා සම්බන්ධ දේශවල කාරණා වෙනස්වීමට පටන් ගති. වඩා විශාල නිදහසක වාතාවරණයක් පැවතීමට පටන් ගත්තේ ය. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු සීමා කළ රටවල් නව ප්‍රතිපත්ති ඇති කරගැනුමට පටන්ගත්හ. විරෝධතා පැමිණෙයි යන බියක් නැති ව විවෘත ලෙස ක්‍රියා කිරීමට ඉඩහරිමින් පෝලන්තය, හන්ගේරියාව, රුමේනියාව සහ වෙනත් රටවල් මෙම අවංක ක්රිස්තියානින්හට නීත්‍යානුකූල පිළිගැනීම දානය කළහ. මෙම අවසන් අවුරුදු තුන, නැගෙනහිර යුරෝපයෙහි කෙතරම් ප්‍රීතිමත් අවුරුදු වී ඇත් ද! එහි වූ සහෝදරයන් ඔවුන්ගේ අලුත හමුවුනු නිදහස, රාජ්‍යයේ සාමකාමි පණිවුඩය පතුරුවාලීමට ප්‍රයෝජන කරගත් ආකාරය මොනතරම් ද! ලෝකයේ අනිත් ප්‍රදේශවල යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ඔවුන් සමඟ කෙසේ ප්‍රීති වීද!
සෝවියට් සාක්ෂිකරුවන් ව්‍යාප්ත වී යමින් තිබෙන නිදහසින් දැනටමත් ප්‍රයෝජන ලබා ඇත. දහස් ගණන්, සමහරුන් ආසියාවේ ශාන්තිකර සාගර වෙරළ තරම් දුර සිට 1989 දී පෝලන්තයෙහි පැවති නව යුගයක් බිහිකරන සමුළුවලට සහභාගි වූහ. නැවතත්, 1990 දී සෝවියට් සංගමයෙන් සාක්ෂිකරුවන් 17,454ක් වෝසෝවට පැමිණ සිටියහ. ඔවුන් සමඟ නිවෙස් කරා කුමන මතක සටහන් ඔවුන් ගෙන ගියෝ ද! බොහෝ අයවලුන් සෙසු ක්‍රිස්තියානින් ස්වල්ප දෙනෙකුන් සමඟ මිස කිසිදා නමස්කාර කර නොතිබුණි. දැන් ඔවුන් දස දහස් ගණන් සමූහයා අතර වූහ!
ඔවුන් ගියේ වඩ වඩා ඉඩදෙන සුලු බවට පත්වෙමින් තිබෙන සෝවියට් සංගමයකට ය. ලෝවටා සාක්ෂිකරුවන් බලා සිටිමින් විමතියට පත් වූහ: සෝවියට් සංගමය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් නීත්‍යානුකූල කරනු ඇත්තේ කවදා ද? එසේ ය, 1991 දී එය සිදුවිය—චාල්ස් ටේස් රසල්ගේ එහි ගමනින්, හරියට ම අවුරුදු සියයකට පසු! වර්ෂ 1991 මාර්තු 27 වනදා “සෝ.ස.ජන.සං. තුළ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ආගමික සංවිධානයන්ගේ විධායක මධ්‍යස්ථානය” මොස්කව්හි දී රු.සෝ.එ.ස. ජනරජ අධිකරණ අමාත්‍යවරයා විසින් ලියවිල්ලක අත්සන් කර ලියාපදිංචි කරන ලදි. සාක්ෂිකරුවන්ට ප්රදානය කරන ලද්දේ කුමන ආකාරයේ නිදහසක් ද?
අලුතින් ලියාපදිංචි කරන ලද ආයතනයේ නීත්‍යානුකූල ප්රඥප්තිය තුළ මෙම ප්රකාශනය ඇතුළත් ය: “යෙහෝවඃ දෙවියන් වහන්සේගේ නාමය සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් උන් වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යය මගින් මිනිස් වර්ගයා සඳහා ඇති ප්‍රේමනීය සැපයුම් දැනගැනීමට සැලැස්වීමේ ආගමික කටයුත්ත කරගෙන යාම මෙම ආගමික සංවිධානයේ අරමුණ වන්නේ ය.”
මෙය කිරීමට යන්නේ කෙසේ ද? ලැයිස්තුගත කර ඇති මාර්ගවලට ඇතුළත් වී ඇත්තේ, ප්‍රසිද්ධියේ දේශනා කිරීම හා ජනයාගේ නිවෙස් බැහැදැකීම; සවන් දීමට කැමති අයහට බයිබල් සත්‍යයන් ඉගැන්වීම, බයිබල් අධ්‍යයන ප්රකාශනවල ආධාරය සමගින් ඔවුන් හා නොමිළයේ බයිබල් පාඩම් පැවැත්වීම; පරිවර්තනය කිරීමට, ආනයනය කිරීමට, ප්‍රකාශ කිරීමට, මුද්‍රණයට සහ බයිබල් බෙදාහැරීම සැලසුම් යෙදීමට ය.
වැඩිමහල්ලන්ගේ මණ්ඩලයන් සහිත සභාවන්, රට සඳහා සාමාජිකයින් 7කින් යුත් මුලසුන් [ශාඛා] කමිටුවක්, සහ චාරිකා හා පළාත් අවේක්ෂකයින් ඇතුළු ව පාලක මණ්ඩලය යටතේ ඇති, සාක්ෂිකරුවන්ගේ සංවිධානය ද එම ලියවිල්ල සංක්ෂිප්ත ව පෙන්වයි.
පැහැදිලි ව ම, දැන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට, බොහෝ අන්‍ය රටවල ඔවුන් කරන්නා සේ, සෝවියට් සංගමය තුළ නිදහස් ලෙස හා විවෘත ලෙස ක්‍රියා කළ හැක. මෙම ඓතිහාසික ලියවිල්ල අත්සන් කිරීම හා එය ප්‍රසිද්ධ හා ආගමික සමිති සමාගම් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ ප්‍රධානියා විසින් මුද්‍රා කරනු ලැබීම දැකීමේත් වරප්‍රසාදය ලත් සත්දෙනෙකුගෙන් පස්දෙනෙක් වූ මුළසුන් කමිටුවේ සාමාජිකයින්ගේ සහ දීර්ඝ කාලීන ව සිටි සභා වැඩිමහල්ලන් පස්දෙනෙකුගෙත් ප්‍රීතිය ගැන සිතා බලන්න! සුදුසු ලෙස, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ මිල්ටන් හෙන්ෂල් සහ තියඩෝර් ජේරස් ද මෙම වැදගත් සිද්ධිය සාක්ෂිදැරීමට පැමිණ සිටියහ. රු.සෝ.එ.ස. ජනරජය විසින් අනුමත කරන ලද කණ්ඩායම්වලින් ඔවුන්ගේ ලියාපදිංචි කිරීමේ නිළ ලේඛනය පළමුවෙන් ම ලැබුවේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ය. එම විශ්වාසවන්ත රුසියානු සහෝදරයන් සඳහා එවන් ඉවසිලිවන්ත විඳදරාගැනීමකින් පසු එය මොන තරම් තිළිණයක් වී ද!
මෙම නීත්‍යානුකූලභාවය ලබා දුන් සෝවියට් බලධාරීන්ට සෑමතැනක ම සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ කෘතඥ වෙති. තම සෝවියට් සහෝදරයන්ගේ නව නිදහස සඳහා ඔවුන් මුළු හෘදයෙන් ම විශේෂවශයෙන් යෙහෝවඃ වහසන්සේට ස්තූති කරති. යෙහෝවඃ දෙවියන් වහන්සේට දැන් වඩාත් විවෘත ලෙස සේවය කළ හැකි සෝ.ස.ජන. සංගමයේ සහ අන්‍ය නැගෙනහිර යුරෝපීය රටවල සාක්ෂිකාර සගයින් සමඟ ඔවුහු ප්‍රීති සන්තෝෂ වෙති. ස්වකීය නාමය ප්‍රශංසාවට පත් කිරීමෙහි ඔවුන් මෙම නිදහස පූර්ණලෙස යොදාගන්නා විට යෙහෝවඃ වහන්සේ ඔවුන්ට බහුල ලෙස ආශිර්වාද කරන සේක්වා. w91 7/15.
මොස්කව් හි ක්‍රෙම්ලිනය
1990 දී සෝවියට් සංගමයෙන් පිටත පැවැත්වූ සමුළුවක රුසියානු නියෝජිතයෝ