අදදින දෙවියන් වහන්සේගේ දයාව අනුකරණය කරන්න
“ඉතින් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ NW] අතට භාරවන්නෙමු; මක්නිසාද උන්වහන්සේගේ අනුකම්පාව මහත්ය.”—2 සාමුවෙල් 24:14.
යෙහෝවඃ වහන්සේ මනුෂ්‍යයන්ට වඩා දයාවන්ත බව දාවිත් රජ අත්දැකීමෙන් දැන සිටියේ ය. දෙවියන් වහන්සේගේ මාර්ග හෝ මාවත් ඉස්තරම් බවට තිබූ නිසැකකම නිසා, උන් වහන්සේගේ මාර්ග ඉගෙනගෙන උන් වහන්සේගේ සත්‍යයෙහි හැසිරෙන්නට දාවිත් ආශා කළේ ය. (1 ලේකම් 21:13; ගීතාවලිය 25:4, 5) දාවිත් මෙන් ඔබටත් එසේ හැඟේ ද?
2 යමෙක් අපට එරෙහි ව පව් කළහොත් අප කළ යුත්තේ කුමක්දැයි යන කාරණාවල දී පවා, දෙවියන් වහන්සේගේ කල්පනාව ගැන බයිබලය අපට තීක්ෂණ බුද්ධිය ලබා දෙයි. පසු කලෙක ක්‍රිස්තියානි අවේක්ෂකයන් වීමට සිටී තමන්ගේ ප්‍රේරිතවරුන්ට යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “නුඹේ සහෝදරයා නුඹට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමග තනිව සිට ඔහුගේ වරද පෙන්වා දීපන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දීනාගත්තෙහිය.” මෙහි ඇතුළත්වන වරද නිකම් පෞද්ගලික මදිපුංචිකමක් නොව, නමුත් වංචාව හෝ අපහාසය වැනි බරපතළ වරදකි. මෙම පියවරෙන් කාරණය නිරාකරණය නොවන්නේ නම්, සහ සාක්ෂිකරුවන් සිටිත් නම්, වරදක් සිදු වූ බව ඔප්පු කිරීමට නිවැරදි පක්ෂය ඔවුන්වත් තමන් සමඟ ගෙනයා යුතු යයි යේසුස් වහන්සේ පැවසූ සේක. මෙය අන්තිම වශයෙන් ගන්නා පියවර ද? නැත. “ඔහු [පව්කාරයා] ඔවුන් කී දේත් පිළි නොගත්තොත්, සභාවට කියාපන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු නුඹට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.”—මතෙව් 18:15-17.
3 පව්කාරයෙකු “අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා” යනුවෙන් අදහස් කළේ කුමක්දැයි යන්න ප්‍රේරිතවරු, යුදෙව්වන් වූ නිසා දැන සිටියහ. යුදෙව්වරුන් අන්‍යජාතීන් සමඟ ඇසුරු කිරීම මගහැරිය අතර, රෝම සුංගම් අයකරන්නන් වශයෙන් වැඩ කළ යුදෙව්වන් ද ඔවුහු හෙලා දුටුවෝ ය.a (යොහන් 4:9; ක්‍රියා 10:28) එම නිසා, සභාව විසින් පව්කාරයෙකු ව ප්‍රතික්ෂේප කළහොත්, ඔහු සමඟ ඇති ඇසුර ඔවුන් නැවැත්විය යුතු බවට යේසුස් වහන්සේ ගෝලයන්ට අවවාද කරමින් සිටී සේක. කෙසේ වුවද, ඇතැම් අවස්ථාවල දී යේසුස් වහන්සේ සුංගම් අයකරන්නන් සමඟ සිටීම මෙයට ගැළපිය හැක්කේ කෙසේ ද?
4 ලූක් 15:1 මෙසේ පවසයි: “සියලු සුංගම් අයකරන්නෝද පව්කාරයෝද උන්වහන්සේගේ වචන අසන පිණිස උන්වහන්සේට ළංවෙවී ආවෝය.” සෑම සුංගම් අයකරන්නෙක් ම හෝ පව්කාරයෙක් ම එහි සිටියේ නැත, නමුත් “සියලු” යන්නෙන් අදහස් කළේ බොහෝ දෙනෙකුට ය. (ලූක් 4:40 සසඳන්න.) එහි සිටියේ කවරේ ද? තමන්ගේ පාපවලට සමාව ලබාගැනීමට කැමති අය ය. එබඳු වූවන්ගෙන් සමහරෙකු යොහන් බව්තීස්තගේ පසුතැවිල්ලේ පණිවුඩය වෙතට ඇදී ගියහ. (ලූක් 3:12; 7:29) එබැවින් වෙනත් අය යේසුස් වහන්සේ වෙතට පැමිණී විට, ඔවුන්ට දේශනා කිරීමෙන් උන් වහන්සේ මතෙව් 18:17 හි ඇති තමන්ගේ උපදේශය උන් වහන්සේ උල්ලංඝනය නොකළ සේක. “බොහෝ සුංගම් අයකරන්නෝද පව්කාරයෝද [යේසුස් වහන්සේට සවන් දී] ඔව්හු උන්වහන්සේ අනුව ගියෝය.” (මාර්ක් 2:15) මොවුහු වනාහි ඕනෑ ම උපකාරයක් ප්‍රතික්ෂේප කරමින්, නරක ජීවන මාර්ගයක යෑමට කැමති වූ අය නොවූවෝ ය. ඒ වෙනුවට, ඔවුහු යේසුස් වහන්සේගේ පණිවුඩයට සවන් දුන් අතර, එය ඔවුන්ගේ හදවත් පෙලඹුවේ ය. ඔවුහු තවමත් පව් කරමින් සිටියත්, සමහර විට ඔවුන් වෙනස්කම් කිරීමට උත්සාහ කරමින් සිටින්නට ඇත, නමුත් “යහපත් එඬේරා” ඔවුන්ට දේශනා කිරීමෙන් තම දයාවන්ත පියාණන් ව අනුකරණය කරමින් සිටි සේක.—යොහන් 10:14.
සමාව දීම, ක්‍රිස්තියානි යුතුකමකි
5 සමාව දීමට ඇති අපගේ පියාණන්ගේ කැමැත්ත පිළිබඳ මෙම උණුසුම් සහතිකයන් අපට තිබේ: “අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මමිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මමිෂ්ඨව සිටිනසේක.” “මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව් කළොත් ධර්මමිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.” (1 යොහන් 1:9; 2:1) නෙරපාදැමූ තැනැත්තෙකුට සමාව දිය හැකි ද?
6 එසේ ය. පසුතැවිලි නොවූ පාපයක් සඳහා යමෙක් ව නෙරපාදමන ලද අවස්ථාවේ දී, ඔහුට පසුතැවිලි වී දෙවියන් වහන්සේගේ සමාව ලබාගත හැකි බව සභාව නියෝජනය කරන වැඩිමහල්ලෝ ඔහුට විස්තර කර දෙති. රාජ්‍යය ශාලාවෙහි රැස්වීම්වලට ඔහුට පැමිණිය හැකි අතර, පසුතැවිලි වීමට ඔහුට උපකාර කළ හැකි බයිබල් උපදේශවලට සවන් දීමට එහි දී ඔහුට පුළුවන. (1 කොරින්ති 14:23-25 සසඳන්න.) යථා කාලයේ දී පිරිසිදු සභාව තුළ පිළිගත් සාමාජිකයෙකු වීම සඳහා ඔහුට පියවර ගත හැක. වැඩිමහල්ලෝ ඔහු සමඟ මුණගැසුණු විට, හෙතෙම පසුතැවිලි වී ඔහුගේ පව්කාර ක්‍රියාමාර්ගය අත්හැර තිබේදැයි යන්න නිශ්චය කිරීමට ඔවුහු උත්සාහ කරති. (මතෙව් 18:18) ඔහු පසුතැවිලි වී ඇත්නම්, 2 කොරින්ති 2:5-8හි ඇති ආදර්ශයට අනුව, ඔහු ව සාමාජිකයෙකු වශයෙන් පිළිගත හැක. ඔහු ව නෙරපාදමා වසර බොහෝමයක් ගත වී ඇත්නම්, දියුණුවීම සඳහා දැඩි උත්සාහයක යෙදීමට ඔහුට සිදුවනු ඇත. ඉන්පසු ආත්මික වශයෙන් ශක්තිමත් ක්රිස්තියානිවරයෙකු වීමට ඔහුට හැකිවන පිණිස ඔහුගේ බයිබල් දැනුම හා අගය කිරීම වර්ධනය කර ගැනීම සඳහා ඔහුට සෑහෙන උපකාරයක් ද අවශ්‍ය විය හැක.
යෙහෝවඃ වහන්සේ වෙතට ආපසු හැරී ඒම
7 එහෙත් නෙරපාදමන ලද පුද්ගලයෙකු වෙතට පිවිසීමට වැඩිමහල්ලන්ට ම මුල් පියවරක් ගත හැකි ද? එසේ ය. දයාව ප්‍රකාශ කරනු ලබන්නේ නිකම් දඬුවම් දීමෙන් නිෂේධාත්මක ව වැළකී සිටීමෙන් නොව, නමුත් බොහෝ විට ඒකාන්ත ක්‍රියා මගින් බව බයිබලය දක්වයි. යෙහෝවඃ වහන්සේගේ ආදර්ශය අපට තිබේ. තමාගේ නොඇදහිලිකාර ජනයා වහල්භාවයට යැවීමට පෙර, ඔවුන්ගේ ආපසු ඒමේ බලාපොරොත්තුව උන් වහන්සේ අනාගතය හෙළි කරන ආකාරයකින් ඔවුන් ඉදිරියේ තැබූ සේක: “එම්බා යාකොබ්, ඉශ්රායෙල්, මේ දේවල් සිහිකරපන්න, මක්නිසාද නුඹ මාගේ මෙහෙකරුවාය. . . . මම නුඹේ අපරාධ වලාපටලයක් මෙන්ද නුඹේ පාප වලාකුළක් මෙන්ද මකාදැමුවෙමි. මා වෙතට හැරී වරෙන්න; මක්නිසාද මම නුඹ මිදුවෙමි.”—යෙසායා 44:21, 22.
8 ඊළඟට, වහල්භාවය තුළ දී, යෙහෝවඃ වහන්සේ තව දුරටත් පියවර ගනිමින්, ඒකාන්ත ආකාරයකින් ක්‍රියා කළ සේක. ‘තමන් ව සොයා සම්බවන පිණිස’ උන් වහන්සේ තමන්ගේ නියෝජිතයන් වන අනාගතවක්තෘවරුන් ව ඊශ්‍රායෙල් වෙතට යැවූ සේක. (යෙරෙමියා 29:1, 10-14) එසකියෙල් 34:16 හි තමා ව එඬේරෙකුට ද ඊශ්‍රායෙල් ජනයා නැති වූ බැටළුවන්ට ද උන් වහන්සේ සමාන කළ සේක: “මම නැතිවූ එකා සොයන්නෙමි, පන්නාදමනු ලැබූ එකා දෙවනු ගෙනෙන්නෙමි.” යෙරෙමියා 31:10 හි, ඊශ්‍රායෙල්වරුන්ගේ එඬේරෙකුට යෙහෝවඃ වහන්සේ තමා ව සමාන කළ සේක. නැත, නැති වූ එකා තමා වෙතට එන තෙක් බැටළු ගාල ළඟ රැඳී සිටින එඬේරෙකු හැටියට උන් වහන්සේ තමාව ම සමාන නොකළ සේක; ඒ වෙනුවට, නැති වූ බැටළුවන් සොයන එඬේරෙකු වශයෙන් උන් වහන්සේ තමා ව දැක්වූ සේක. පොදුවේ සිටී මනුෂ්‍යයන් පසුතැවිලි නොවී වහල්භාවයේ සිටින විට දී, ඔවුන්ගේ ආපසු ඒම සඳහා මගපෑදීමට දෙවියන් වහන්සේ මුල් පියවර ගත් බව සැලකිල්ලට ගන්න. තව ද මලාකි 3:6ට එකඟ ව, ක්‍රිස්තියානි පිළිවෙළ සමඟ ක්‍රියා කිරීමේදීත් දෙවියන් වහන්සේ වෙනස් නොවනු ඇත.
9 නෙරපාදමන ලද සහ දැන් පසුතැවිලි වී සිටිය හැකි ඇතමෙක් කෙරෙහි මුල් පියවරවල් ගැනීම සඳහා හේතුවක් තිබිය හැකි බව මෙය යෝජනා නොකරයි ද? ක්‍රිස්තියානි සභාවෙන් දුෂ්ට මනුෂ්‍යයා ඉවත් කිරීමට ප්‍රේරිත පාවුල් උපදෙස් දුන් බව සිහිකරන්න. පසු ව ඔහුගේ පසුතැවිලිවීම නිසා ඔවුන්ගේ ප්‍රේමය ඔහුට තහවුරු කරන ලෙස ඔහු සභාවට උපදෙස් දුන්නේ ය, සභාව තුළ පිළිගත් සාමාජිකයෙකු වීමට මෙය ඔහුට මගපෑදුවේ ය.—1 කොරින්ති 5:9-13; 2 කොරින්ති 2:5-11.
10 කලින් උපුටා දක්වන ලද විශ්වකෝෂය මෙසේ පැවසී ය: ‘නෙරපාදැමීම සඳහා මූලික කාරණය නම්, කණ්ඩායමේ ප්‍රමිති ආරක්ෂා කිරීමට ය: “මුහුන් ටිකකින් මුළු පිඩ පිපෙයි.” (1 කොරි. 5:6). බයිබලයට සම්බන්ධ හා බයිබලයට අමතර පාඨවල මෙම අදහස පැහැදිලි ය, නමුත් 2 කොරි. 2:7-10හි ඇති පාවුල්ගේ ආයාචනයෙහි පදනම වූයේ නෙරපාදැමීමෙන් පසු ව පවා පුද්ගලයා සඳහා සැලකිල්ල ය.’ (ඇද අකුරු අපගේ ය.) එමනිසා, රැළේ සිටින එඬේරුන් විසින් අදදිනත් මේ ආකාරයේ සැලකිල්ල දැක්විය යුතු වීම තර්කානුකූල ය. (ක්‍රියා 20:28; 1 පේතෘස් 5:2) නෙරපාදමන ලද කෙනෙකු ආපසු එනු ඇතැයි කලින් සිටී මිතුරන් හා ඥාතීන් බලාපොරොත්තු වීමට ඉඩ ඇත; 1 කොරින්ති 5:11හි ඇති ආඥාවට ගරු කිරීමක් වශයෙන්, ඔවුහු නෙරපාදමන ලද කෙනෙකු සමඟ ඇසුරු නොකළෝ ය.b එබඳු කෙනෙකුට ආපසු පැමිණීමේ උනන්දුවක් තිබේදැයි යන්න නිශ්චය කිරීම සඳහා මුල් පියවර ගැනීමට ඔවුහු පත් කරන ලද එඬේරුන්ට ඉඩ හරිති.
11 ‘තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරන’ ඇදහිල්ලෙන් වැටීගිය අය වැනි, ඇතැම් නෙරපාදමන ලද පුද්ගලයන් කෙරෙහි මුල් පියවර ගැනීම වැඩිමහල්ලන්ට පවා සුදුසු නොවනු ඇත. මොවුහු වනාහි ‘විනාශක ධර්මභේද රහසින් උපදවන’ බොරු ගුරුවරුන් වන අතර, තමන්ගේ ව්‍යාජ වචනවලින් සභාව සූරා කති. (ක්‍රියා 20:30; 2 පේතෘස් 2:1, 3) හිතුවක්කාර හෝ ක්‍රියාශීලි ලෙස අවකල්ක්‍රියාවට අනුබල දෙන නෙරපාදමන ලද්දවුන් සෙවීම සඳහා කිසිදු පදනමක් බයිබලය සපයන්නේ නැත.—2 තෙසලෝනික 2:3; 1 තිමෝති 4:1; 2 යොහන් 9-11; යූද් 4, 11.
12 කෙසේ වුවද, නෙරපාදමන ලද බොහෝ දෙනෙකු ඒ ආකාරයේ පුද්ගලයෝ නොවෙති. තමා ව නෙරපාදැමීමට හේතු වූ බරපතළ වරද යමෙක් අත්හැර තිබෙන්නට පුළුවන. තව කෙනෙක් දුම්කොළ භාවිතා කර තිබෙන්නට පුළුවන, නැතහොත් අතීතයේ දී හෙතෙම ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කරන්නෙකු වී සිටින්නට ඇත, නමුත් දැන් ඔහු අන්‍යයන් ව වරදට පෙලඹීමට උත්සාහ කරමින් සිටින්නේ නැත. වහල්භාවයේ සිටි ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේ වෙතට හැරීමට පෙර පවා, ආපසු හැරී ඒමට ඔවුන්ට උනන්දු කරමින් උන් වහන්සේ නියෝජිතයන් යැවූ බව සිහිකරන්න. නෙරපාදමන ලද පුද්ගලයාගෙන් විමසීමක් කිරීමට පාවුල් හෝ කොරින්ති සභාවේ වැඩිමහල්ලන් මුල් පියවරක් ගත්තේ ද නැද්ද යන්න, බයිබලය නොපවසයි. එම මනුෂ්‍යයා පසුතැවිලි වී තමාගේ දුරාචාරය අත්හැරිය විට, ඔහු ව සාමාජිකයෙකු වශයෙන් නැවත පිළිගන්නා ලෙස පාවුල් සභාවට උපදෙස් දුන්නේ ය.
13 මෑත කාලවල දී වැඩිමල්ලෙකුට නෙරපාදමන ලද පුද්ගලයෙක් හමුවූ අවස්ථා තිබිණ.c සුදුසු අවස්ථාවේ දී නම්, පිළිගත් සාමාජිකයකු වීම සඳහා ගත යුතු පියවර එඬේරා කෙටියෙන් සඳහන් කළේ ය. මෙබඳු ඇතැම් පුද්ගලයෝ පසුතැවිලි වී නැවත සභාවට ඇතුල් කර ගන්නා ලදහ. එවැනි ප්‍රීතිදායක ප්‍රතිඵලවලින් අඟවන්නේ එඬේරුන් විසින් සිදු කරනු ලබන දයාවන්ත පිවිසීම්වලට ප්‍රතිචාරය දක්වන නෙරපාදමන ලද්දවුන් හෝ ආශ්‍රය අත්හැරගියවුන් සිටිය හැකි බව ය. නමුත් මේ කාරණය සමඟ කටයුතු කිරීමට වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේ ද? වැඩි ම වුණොත් අවුරුද්දකට වතාවක්, තමන්ගේ ප්‍රදේශය තුළ එබඳු පුද්ගලයන් සිටීදැයි වැඩිමහල්ලන්ගේ මණ්ඩලය සලකා බැලිය යුතු ය.d වසරකට වැඩි කලක් සඳහා නෙරපාදමා තිබෙන අය කෙරෙහි වැඩිමහල්ලන් අවධානය යොමු කළ යුතුයි. අවස්ථාවන්ට අනුව, එය උචිත නම්, (හැකි නම් එම තත්ත්වය ගැන හොඳන් දන්නා) වැඩිමහල්ලන් දෙදෙනෙකු එබඳු පුද්ගලයෙක් ව බැලීමට යාමට ඔවුහු කටයුතු සූදානම් කරති. බරපතළ, භයානක ආකල්පයක් දක්වන හෝ කිසිදු උපකාරයක් තමන්ට අවශ්‍ය නැතැයි දැනුම් දී තිබෙන කෙනෙකු ව බැලීමට යන්නේ නැත.—රෝම 16:17, 18; 1 තිමෝති 1:20; 2 තිමෝති 2:16-18.
14 කෙටි හමුවීමක් යොදා ගැනීම සඳහා එඬේරුන් දෙදෙනාට දුරකථනයෙන් ඒ ගැන විමසා බැලීමට පුළුවන, නැතහොත් සුදුසු අවස්ථාවක දී, එහි යාමට පුළුවන. හමුවීම තුළ දී, ඔවුන් පරුෂ හෝ උදාසීන නොවී, ඔවුන්ගේ දයාවන්ත සැලකිල්ල උණුසුම් ලෙස පිළිබිඹු කළ යුතුයි. අතීත සිද්ධිය සමාලෝචනය කරනවා වෙනුවට, යෙසායා 1:18 සහ 55:6, 7 සහ යාකොබ් 5:20 වැනි බයිබල් පාඨ ඔවුන්ට සාකච්ඡා කළ හැක. ඔහු දෙවියන් වහන්සේගේ රැළට ආපසු පැමිණීමට උනන්දුවක් දක්වන්නෙහි නම්, බයිබලය සහ වොච්ටවර් සමිතියේ පොත්පත් කියවීම ද, රාජ්‍යය ශාලාවෙහි රැස්වීම්වලට පැමිණීම වැනි පියවරවල් ඔහු ගත යුතු බව කාරුණික ව ඔවුන්ට විස්තර කර දිය හැක.
15 පසුතැවිල්ලක් දක්නට තිබේ ද නැද්ද සහ ආපසු වතාවක් යා යුතු ද නැද්ද නිශ්චය කිරීම සඳහා මෙම වැඩිමහල්ලන්ට ප්‍රඥාව හා වටහා ගැනීමේ ශක්තිය තිබිය යුතු ය. ඇතැම් නෙරපාදැමූවන් ‘පසුතැවිල්ලට පමුණුවන්ට නුපුළුන්’ බව, ඇත්ත වශයෙන් ම, ඔවුන් මතක තබාගත යුතු ය. (හෙබ්‍රෙව් 6:4-6; 2 පේතෘස් 2:20-22) හමුවීමෙන් පසු, දෙදෙනා විසින් කෙටි වාචික වාර්තාවක් සභාවේ සේවා කමිටුව වෙත ඉදිරිපත් කරනු ඇත. ඉන්පසු, ඔවුහු ද, තමන්ගේ ඊළඟ රැස්වීමේ දී වැඩිමහල්ලන්ගේ මණ්ඩලයට දැනුම් දෙති. වැඩිමහල්ලන්ගේ දයාවන්ත මුල් පියවර දෙවියන් වහන්සේගේ මතය පිළිබිඹු කර තිබෙනු ඇත: “මා වෙතට හැරී වරෙල්ලා, මමත් නුඹලා වෙතට හැරී එන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ NW] කියනසේක.”—මලාකි 3:7.
වෙනත් දයාවන්ත උපකාරය
16 නෙරපාදමන ලද පුද්ගලයන් කෙරෙහි එබඳු මුල් පියවරවල් නොගන්නා වූ අවේක්ෂකයන් නොවන අප ගැන කුමක් කිව හැකි ද? මෙම සැලැස්මට එකඟ ව හා යෙහෝවඃ වහන්සේ ව අනුකරණය කිරීමක් වශයෙන්, අපට කුමක් කළ හැකි ද?
17 යම්කිසිවෙක් නෙරපාදමා හෝ ආශ්රයෙන් ඈත් වී සිටින තුරු, පහත සඳහන් උපදේශය අප අනුගමනය කිරීම අවශ්‍ය ය: “නුමුත් සහෝදරයෙකැයි කියන ලද කෙනෙක් වේශ්‍යාකම් කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූපවඳින්නෙක්වත් නින්දා කරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම්, එබන්දෙකු සමග සමාගම් නොපවත්වන්ටද කෑමවත් නොකන්ටද දැන් නුඹලාට ලියමි.” (1 කොරින්ති 5:11) නෙරපාදමන ලද පුද්ගලයා සමඟ ජීවත්වන ක්‍රිස්තියානි පවුලේ සාමාජිකයන් පිළිබඳ අපගේ මතයට මෙම බයිබල් විධිවිධානය බලනොපෑ යුතු ය. සුංගම් අයකරන්නන්ට පුරාණ යුදෙව්වරු කෙතරම් වෛර කළේ ද කියතොත් ඔහුගේ පවුලේ අයට ද එය ප්‍රබල ලෙස බලපෑවේ ය. යේසුස් වහන්සේ එය අනුමත නොකළ සේක. උපකාරය ප්‍රතික්ෂේප කරන පව්කාරයෙකුට සැලකිය යුත්තේ ‘අන්‍යජාතියෙක් හා සුංගම් අයකරන්නෙක්’ හැටියට යයි යේසුස් වහන්සේ පැවසූ සේක; ක්‍රිස්තියානි පවුලේ සාමාජිකයන්ට එසේ සැලකිය යුතු යයි උන් වහන්සේ නොපැවසූ සේක.—මතෙව් 18:17.
18 විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් වන පවුලේ සාමාජිකයන්ට අප විශේෂයෙන් ම සහයෝගය දිය යුතු ය. තමන්ගේ ආත්මික ලුහුබැඳීම්වලට සැබවින් ම අධෛර්යය කළ හැකි නෙරපාදමන ලද කෙනෙකු සමඟ නිවසේ ජීවත්වීම නිසා ඔවුන් දැනටමත් වේදනා හා බාධක මුහුණපාමින් සිටීමට ඉඩ ඇත. ක්‍රිස්තියානීන් නිවසට පැමිණෙනවාට ඔහු අකමැති වන්නට පුළුවන; නැතහොත් පවුලේ පක්ෂපාත සාමාජිකයන් බැලීමට ඔවුන් පැමිණියහොත්, අමුත්තන්ගෙන් ඉවත් වී සිටීමට ඔහුට ආචාරශීලිකම නොතිබෙන්නට පුළුවන. සියලු ම ක්‍රිස්තියානි රැස්වීම් හා සමුළුවලට යාමට පවුලේ අය ගන්නා උත්සාහයන්ට ඔහු බධා කළ හැක. (මතෙව් 23:13, සසඳන්න.) මෙසේ අවාසිදායක තත්ත්වයක සිටින ක්‍රිස්තියානීන්ට අපගේ දයාව ලැබීම සැබවින් ම සුදුසු ය.—2 කොරින්ති 1:3, 4.
19 අපට මෘදු දයාව දැක්විය හැකි එක් ක්‍රමයක් නම් පවුලේ සිටින එබඳු විශ්වාසවන්ත අය සමඟ ‘සැනසිලිදායක ලෙස කථා කරමින්’ සහ දිරිගන්වන සුලු කථා බහක යෙදීමෙන් ය. (1 තෙසලෝනික 5:14) රැස්වීම්වලට පෙර හා පසුව ද, ක්ෂේත්‍ර සේවය තුළ දී හෝ එකට සිටින වෙනත් අවස්ථාවල දී සහයෝගය දීමට කදිම අවස්ථා තිබේ. නෙරපාදැමීම ගැන සඳහන් කිරීමට අපට අවශ්‍ය නැත, නමුත් බොහෝ වර්ධනය ගෙන දෙන දේවල් සාකච්ඡා කිරීමට අපට පුළුවන. (හිතෝපදේශ 25:11; කොලොස්සි 1:2-4) පවුලේ සිටින ක්‍රිස්තියානීන් ව ආත්මික වශයෙන් රැකබලා ගැනීම වැඩිමහල්ලන් විසින් නොකඩවා සිදු කරනු ලබන අතර, නෙරපාදමන ලද පුද්ගලයා සමඟ කටයුතු නොකර අපටත් බැහැදැකීමට යාමට හැකි බව පෙනී යාමට පුළුවන. අප බැහැදැකීමට යන විට හෝ දුරකථනයෙන් කථා කරන විට නෙරපාදමනු ලැබූ තැනැත්තා පිළිතුරු දෙනු ලැබුවහොත්, අප සොයන ක්‍රිස්තියානි ඥාතියා සිටීදැයි ඇසිය හැක. සමහර අවස්ථාවල දී ඇසුරු කිරීම සඳහා අපගේ නිවසට පැමිණීමට ක්‍රිස්තියානි සාමාජිකයක්ට ආරාධානාවක් පිළිගැනීමට හැකිකමක් තිබිය හැක. කාරණය නම්: ඔවුහු—බාල සහ මහලු—අපගේ සෙසු සේවකයන් වෙති, දෙවියන් වහන්සේගේ සභාවේ ප්‍රේමනීය සාමාජිකයෝ වෙති, එබැවින් ඔවුන් ව තනි නොකළ යුතු ය.—ගීතාවලිය 10:14.
20 නෙරපාදමන ලද කෙනෙකු නැවත සභාවේ සාමාජිකයෙකු වශයෙන් පිළිගත් විට, දයාව දැක්වීම සඳහා තවත් ක්ෂේත්රයක් විවෘත වේ. ‘එක පව්කාරයෙකු පසුතැවිලි වන’ විට, ස්වර්ගයේ ඇති වන සතුට යේසුස් වහන්සේගේ උපමා අවධාරණය කළේ ය. (ලූක් 15:7, 10) නෙරපාදමන ලද මනුෂ්‍යයා පිළිබඳ ව, පාවුල් කොරින්තිවරුන්ට මෙසේ ලීවේ ය: “එබඳු තැනැත්තා යම් විධියකින් ඔහුගේ අධික ශෝකයෙහි ගිලී නැති නොවන පිණිස ඔහුට කමාවෙන්ටද ඔහු සනසන්ටද ඊට වඩා නුඹලාට යුතුය. එබැවින් ඔහු කෙරෙහි තිබෙන නුඹලාගේ ප්‍රේමය ස්ථිරකරන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.” (2 කොරින්ති 2:7, 8) පුද්ගලයෙකු සභාවට නැවත පිළිගත් පසු දවස් හා සති තුළ දී එම උපදේශය අපි කල්පනාකාරී ව හා ප්‍රේමණීය ලෙස අදාළ කර ගනිමු.
21 අප මගහැරීමට අවශ්‍ය අවදානමක් අකීකරු පුත්‍රයා පිළිබඳ යේසුස් වහන්සේගේ උපමාව පෙන්නුම් කරයි. අකීකරු පුත්‍රයාගේ ආපසු පැමිණීමේ දී වැඩිමහල් සහෝදරයා සතුටු වූයේ නැත, නමුත් අමනාපයෙන් සිටියේ ය. පසුගිය වරදක් කෙරෙහි අමනාපය ඇතුව හෝ පුද්ගලයෙකු නැවත සභාවට පැමිණීම නිසා ඊර්ෂ්‍යාව ඇතුව, ඒ හා සමාන නොවී සිටිමු. ඒ වෙනුවට, යෙහෝවඃ වහන්සේගේ ප්‍රතිචාරය විදහාපෑවා වූ, පියා මෙන් වීම අපගේ ඉලක්කය වන්නෙමු. නැති වූ මිය ගියාට සමාන වූ තමාගේ පුත්‍රයා, ආපසු සම්බ වූ කල ජීවිතයට පැමිණියාක්මෙන් සමාන වූ බැවින් පියා සතුටු වූයේ ය. (ලූක් 15:25-32) ඒ අනුව, නැවත සභාවට ඇතුළත් කරගත් සහෝදරයා සමඟ අපි නිදහස් ලෙස කථා කරන්නෙමු නැතහොත් ඔහු ව දිරිගන්වන්නෙමු. එසේ ය, අපගේ කමාකරන හා දයාවන්ත ස්වර්ගීක පියාණන් කරන්නාක් මෙන්, අප දයාව පෙන්වන බව පැහැදිලි කළ යුතු ය. —මතෙව් 5:7.
22 අපගේ දෙවියන් වහන්සේ අනුකරණය කිරීමට අපට වුවමනා නම්, උන් වහන්සේගේ ආඥා හා උන් වහන්සේගේ යුක්තියට එකඟ ව අප දයාව දැක්විය යුතු බවට කිසිදු ප්‍රශ්නයක් නැත. ගීතිකාකාරයා උන් වහන්සේ ව මේ ආකාරයට විස්තර කරයි: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ NW] දයාවන්තය. අනුකම්පාවෙන් පූර්ණය; උදහස්වීමට ප්‍රමාදය, මහත් කරුණාවෙන් යුක්තය. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ NW] සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.” (ගීතාවලිය 145:8, 9) ක්‍රිස්තියානීන්ට අනුකරණය කිරීමට මොනතරම් ප්‍රේමනීය සැලැස්මක් ද! w91 4/15
[පාදසටහන්වල]
a “පලස්තීනයේ සිටී යුදෙව් ජනයා විසින් හේතු කිහිපයක් සඳහා සුංගම් අයකරන්නන් ව විශේෂයෙන් ම හෙලා දකිනු ලැබී ය: (1) ඊශ්‍රායෙල් දේශය අල්ලාගෙන සිටි විදේශ බලයකට ඔවුහු මුදල් එකතු කළෝ ය. මෙසේ වක්‍ර ලෙස මෙම කෲර විදෙස් බලයට ඔවුහු සහයෝගය දුන්නෝ ය; (2) තමන්ගේ ම ජනයාගේ වියදමෙන් ඔවුන් පොහොසත් වෙමින්, ඔවුහු අපකීර්තිමත් ලෙස ප්‍රතිපත්තිගරුක නැති අය ය; තවද (3) ඔවුන්ගේ වැඩය නිසා නිතිපතා අන්‍යජාතීන් සමඟ සබඳකම් පැවැත්වීමට ඔවුන්ට සිදුවිය, මෙසේ ඔවුහු චාරිත්‍රානුකූල ව අපිරිසිදු වූවෝ ය. අලුත් ගිවිසුමෙහි හා යුදෙව් ආගමික නායකයන්ගේ පොත්පත්වල සුංගම් අයකරන්නන් ව හෙලා දැක තිබේ. . . . දෙවනුවට සඳහන් කළ පොත්පත්වලට එකඟ ව, සුංගම් අයකරන්නාගේ පවුලේ අයට පවා වෛර කළ යුතු ව තිබිණ.”—ද ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් බයිබල් එන්සයික්ලොපීඩියා.
b ක්රිස්තියානිවරයෙකුගේ නිවසක නෙරපාදමන ලද ඥාතියෙක් සිටිත් නම්, සාමාන්‍ය, දිනපතා නිවසේ කටයුතු හා ක්‍රියාවල දී එම තැනැත්තා තවමත් එහි කොටසක් විය යුතුයි. පවුලක් වශයෙන් ආත්මික කාරණා සාකච්ඡා කරන විට එහි සිටීමත් මීට ඇතුළත් විය හැක.—1988 නොවැම්බර් 15වන ද වොච්ටවර් සඟරාවේ පිටු 19-20 බලන්න.
c 1991 යර්බුක් ඔෆ් ජෙහෝවාස් විට්න’සර්ස්, පිටු 53-4 බලන්න.
d යම් සාක්ෂිකරුවෙක්, ගෙයින් ගෙට දේශනාකිරීමේ දී හෝ වෙනත් ආකාරයකින්, තමන්ගේ ප්‍රදේශයේ නෙරපාදමන ලද පුද්ගලයෙක් සිටින බව දැනගතහොත්, එම තොරතුරු ඔහු වැඩිමහල්ලන්ට දිය යුතු ය.
මෙම කාරණා ඔබ සැලකිල්ලට ගත්තෙහි ද?
◻ යුදෙව්වරු සුංගම් අයකරන්නන් ව හා පව්කාරයක් ව සැලකුවේ කෙසේ ද, නමුත් එබන්දන්ගෙන් සමහරෙකු සමඟ යේසුස් වහන්සේ කටයුතු කළේ මන්ද?
◻ නැති වූ බොහෝ දෙනෙකු කෙරෙහි දයාවන්ත ලෙස මුල් පියවරක් ගැනීම සඳහා තිබෙන ශුද්ධලියවිලි පදනම කුමක් ද?
◻ වැඩිමහල්ලන්ගේ මණ්ඩලවලට එබඳු මුල් පියවරක් ගත හැක්කේ කෙසේ ද, සහ කවරෙකු කෙරෙහි ද?
◻ නැවත සභාවට පිළිගත්තවුන් කෙරෙහි හා නෙරපාදමන ලද අයගේ පවුල් කෙරෙහි අප දයාව දැක්විය යුත්තේ කෙසේ ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1. දෙවියන් වහන්සේගේ දයාව ගැන දාවිත්ට හැඟුණේ කෙසේ ද, සහ මන්ද?
2. බරපතළ පාප සමඟ කටයුතු කිරීම පිළිබඳ ව මතෙව් 18:15-17හි කිනම් උපදේශයක් යේසුස් වහන්සේ දුන් සේක් ද?
3. පසුතැවිලි නොවන වරදකරුවෙකු “අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද . . . වේවා” යනුවෙන් සඳහන් කිරීමෙන් යේසුස් වහන්සේ කුමක් අදහස් කළ සේක් ද?
4. මතෙව් 18:17හි සඳහන් කරන ලද යේසුස් වහන්සේගේ වචන නිසා, ඇතැම් සුංගම් අයකරන්නන් හා පව්කාරයන් සමඟ කටයුතු කිරීමට උන් වහන්සේට හැකි වූයේ මන්ද?
5. සමාව දීම පිළිබඳ ව දෙවියන් වහන්සේගේ මූලික ස්ථාවරය කුමක් ද?
6. නෙරපාදමන ලද පුද්ගලයකුට සමාව දී නැවත සභාවට පිළිගත හැක්කේ කෙසේ ද?
7, 8. වහල්භාවයේ සිටී තමන්ගේ ජනයා සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ තැබූ ආදර්ශය කුමක් ද?
9. දෙවියන් වහන්සේගේ ආදර්ශය ක්‍රිස්තියනි සභාව තුළ අනුගමනය කරන ලද්දේ කෙසේ ද?
10. (අ) ඇතැම් නෙරපාදමන ලද පුද්ගලයන් ව හමුවීමට දරන ඕනෑ ම උත්සාහයක චේතනාව කුමක් විය යුතු ද? (ආ) හමුවීම සඳහා මුල් පියවර ගන්නා අය ක්‍රිස්තියානි ඥාතීන් නොවනු ඇත්තේ මන්ද?
11, 12. වැඩිමහල්ලන්ට පවා හමුවීමට වුවමනා නොවනු ඇත්තේ කිනම් ආකාරයේ නෙරපාදමන ලද්දවුන් ද, නමුත් ඔවුන්ට හමුවිය හැක්කේ කිනම් ආකාරයේ අය ද?
13, 14. (අ) දයාවන්ත ලෙස ගන්නා වූ මුල් පියවරවලට ඇතැම් නෙරපාදමන ලද්දවුන් ප්‍රතිචාරය දක්වනු ඇතැයි අඟවන්නේ කුමක් ද? (ආ) හමුවීමක් පිළියෙල කිරීමට වැඩිමහල්ලන්ගේ මණ්ඩලයට හැක්කේ කෙසේ ද?
15. නෙරපාදමන ලද පුද්ගලයෙකු හමුවීමට යන විට, වැඩිමහල්ලන් කුමක් කල්පනාවේ තබාගත යුතු ද?
16, 17. නෙරපාදමන ලද යම්කිසිවෙකුගේ ක්‍රිස්තියානි ඥාතීන් ව අප සැලකිය යුත්තේ කෙසේ ද?
18, 19. නෙරපාදමන ලද පුද්ගලයාගේ විශ්වාසවන්ත ඥාතීන් කෙරෙහි අපගේ ක්රිස්තියානිභාවය දැක්විය හැකි සමහර මාර්ගයන් කවරේ ද?
20, 21. යමෙකු නැවත සභාවට පිළිගත් විට, අපට හැඟිය යුත්තේ සහ ක්‍රියා කළ යුත්තේ කෙසේ ද?
22. අප විසින් යෙහෝවඃ දෙවියන් වහන්සේ ව අනුකරණය කිරීමේ දී ඇතුළත් වන්නේ කුමක් ද?
[Box on page 23]
දෙවියන් වහන්සේගේ පිරිසිදු හා ප්‍රීතිමත් සභාවේ වරක් කොටසක් වී සිටී යම්කිසිවෙකු දැන් නෙරපාදමා හෝ ආශ්රයෙන් ඈත් වී සිටිත් නම්, එබඳු තත්ත්වයක රැඳී සිටීමට වුවමනා නැත. ඒ වෙනුවට, එම තැනැත්තාට පසුතැවිලි වී සභාවේ වැඩිමහල්ලන් සමඟ කථා බහ කිරීමට මුල් පියවර ගත හැක. ආපසු ඒමේ මාර්ගය විවෘත ව තිබේ.
Garo Naibandian