දෙවියන් වහන්සේ සඳහා මිනිස් වර්ගයා කර ඇති ගවේෂණය
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් අපට “පවිත්‍ර භාෂාව” දී ඇත්තේ මක්නිසා ද? ස්ථිර ව ම, එය අපට ම තබා ගැනීමට නොවේ ය. තව ද අපට ක්‍රිස්තියානි ලෝකය හා සමාන, පහසු, ඇදහිල්ල පාවාදීමෙන් යුත් ක්‍රියාදාමයක් සහිත සැපපහසු ජීවිත ක්‍රමයක් භුක්ති විඳීමට ද නොවේ. ඒ වෙනුවට, එසේ කළ යුත්තේ ‘සියල්ලන් යෙහෝවඃ වහන්සේගේ නාමයට හඬනගමින් උන් වහන්සේට පමණක් උරින් උර සේවය කරන’ පිණිස ය. (ශෙපනියා 3:9) එසේ ය, අන්තිමය පැමිණෙන්නට පෙරාතුව ඇදහිලිවන්ත ව ශුභාරංචිය දේශනා කරන්නා වූ—සියලු වර්ග, ජාති, හා භාෂාවන්ට අයත්—අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් මිලියන සංඛ්‍යාවක් සමඟ එක් ව කරන්නා වූ ක්‍රියා කලාපයක් පවිත්‍ර භාෂාවට අයත් වෙයි.—මාර්ක් 13:10; රෝම 13:11; එළිදරව් 14:6, 7.
අද දවසේ අපගේ දේශනා කිරීම ඇතැම් අවස්ථාවන්හි අසාමාන්‍ය අභියෝගයන් ඉදිරිපත් කරයි. ඒ මක්නිසා ද? මෙම 20 වන ශත වර්ෂය තුළ දී, යුද්ධ, දුෂ්ට පාලනය, ආර්ථික පීඩන, මෙන් ම වෙනත් හේතූන් නිසා විශාල වශයෙන් ජනයා සංචලනය වීමත් සිදු වී ඇත. මෙහි හේතුවක් වශයෙන්, භාෂා හා ආගම් විශාල සංඛ්‍යාවකට අයත් ජනයා ඔවුන්ට අයත් නොවන වෙනත් සංස්කෘතින් තුළ පදිංචියට ගොස් ඇත. මෙසේ, හින්දු, බෞද්ධ, හා මුස්ලිම් භක්තිකයින් විශාල පිරිසක් බටහිර ලෝකයේ පදිංචි වී සිටිත්. අප ගෙයින් ගෙට පවිත්‍ර භාෂාව බෙදා ගනිත් ම, අපට මෙම මිනිසුන් හමු වේ. අප ඔවුන්ගේ ආගමික පසුතලය ගැන ඉතා මද වශයෙන් දන්නා බැවින්, ඇතැම් අවස්ථාවන්හි අපි මහත් අපහසුතාවයකට පත් වන්නෙමු. අපට ඒ පිළිබඳ ව කළ හැක්කේ කුමක් ද?—ක්‍රියා 2:5-11, සසඳන්න.
මුස්ලිම්වරයෙකු හෝ යුදෙව් ජාතිකයෙකු සමඟ අප සත්‍යය බෙදා ගන්නේ කෙසේ ද? ඔවුන් එක් කෙනෙකු අනික් තැනැත්තාගෙන් වෙනස් වනුයේ කෙසේ ද? හින්දු භක්තිකයෙකු සැබවින් ම විශ්වාස කරනුයේ කුමක් ද? ෂීක් භක්තිකයින් තලප්පාවක් පලඳිනුයේ මක්නිසා ද? ඔවුන්ගේ ශුද්ධ පොත කුමක් ද? බෞද්ධයෙකු හින්දු භක්තිකයෙකුගෙන් වෙනස් වනුයේ කෙසේ ද? ජපන් ජාතික ෂින්ටෝ භක්තිකයන් විශ්වාස කරනුයේ කුමක් ද? චීන ටාඕ භක්තිකයෝ හා කොන්ෆ්යූසියානු භක්තිකයෝ දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාස කරත් ද?a සත්‍යලබ්ධික යුදෙව්වෙකු, ප්‍රතිසංස්කෘත යුදෙව්වෙකුගෙන් නැතහොත් මධ්‍යස්ථ මතධාරී යුදෙව්වෙකුගෙන් වෙනස් වනුයේ කෙසේ ද? මෙම මහත් ජන විවිධත්වය කෙරෙහි ළඟා වීම පිණිස, අප පළමුකොට ඔවුන්ගේ දෘෂ්ටිකෝණය අවබෝධ කර ගත යුතු අතර, සැබෑ දෙවි වූ යෙහෝවඃ වහන්සේ වෙතට ඔවුන් ව කාරුණික එමෙන් ම ප්රඥාගෝචර ආකාරයකට මගපෙන්විය හැකි ආකාරය ද දැන සිටිය යුතු ය.—ක්‍රියා 17:22, 23; 1 කොරින්ති 9:19-23; කොලොස්සි 4:6.
වෙනත් ආගම්, ඒවායේ ඉගැන්වීම්, හා ඒවායේ ඓතිහාසික පසුතලය යනාදිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අපට උපකාර කිරීම පිණිස, වොච් ටවර් සමිතිය, වර්ෂ 1990 “පවිත්‍ර භාෂාව” සමුළු තුළ ලෝක ව්‍යාප්ත ව මෑන්කයින්ඩ්’ස් සර්ච් ෆෝ ගෝඩ් නම් නව ප්රකාශනයක් මුදා හළේ ය. මෙම උපකරණය සහිත ව, ක්‍රිස්තියානි නොවන ලෝකයට මෙන් ම ක්‍රිස්තියානි ලෝකයේ අයට දේශනා කිරීමට අපට වැඩි හැකියාවක් ලැබෙනු ඇත.
ප්‍රායෝගික උපකරණයකි
පිටු 384කින් යුත් මෙම පොතෙහි, පසුගිය වසර හයදහස තුළ දෙවියන් වහන්සේ සඳහා වූ මනුෂ්‍යයාගේ ගවේෂණයෙහි ඉතිහාසය විස්තර කරන්නා වූ පරිච්ඡේද 16ක් අඩංගු ය. ලෝකයේ ආගම් පිළිබඳ ප්‍රශ්න සිය ගණනකට එය පිළිතුරු සපයයි. ඒවායින් සමහරක නිදසුන් පහත දැක්වේ: සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ආගම නිශ්චය කරන්නේ කිනම් සාධක ද? වෙනත් ඇදහිලි පරීක්ෂා කිරීම වැරදි නොවනුයේ මක්නිසා ද? රෝමානු කතෝලික ධර්මය හා බෞද්ධ ධර්මය අතර කිනම් සමානත්වයන් පවතී ද? ආගම් බොහෝමයක මිථ්‍යා ප්‍රබන්ධ කිනම් ස්ථානයක් ගෙන තිබේ ද? බොහෝ දෙනෙක් මායාව, ආත්ම බන්ධන ක්‍රියා හා ජ්‍යෝතිශාස්ත්‍රය කෙරෙහි විශ්වාස කරනුයේ මක්නිසා ද? හින්දු භක්තිකයින්ට මෙපමණ දෙවිවරුන් හා දේවතාවියන් ඇත්තේ මක්නිසා ද? ෂීක් භක්තිකයින්, හින්දු භක්තිකයින්ගෙන් වෙනස් වනුයේ කෙසේ ද? බුදු හාමුදුරුවන් කවරෙක් ද, එමෙන් ම කුමක් ඉගැන්වී ද? ෂින්ටෝ ධර්මය මූලික ව ම ජපන් ආගමක් වනුයේ මක්නිසා ද? යුදෙව්වන්ට වාචික මෙන් ම ලිඛිත ව්‍යවස්ථාවක් ඇත්තේ මක්නිසා ද? ක්‍රිස්තුස් වහන්සේ මිථ්‍යාවක් නොවන බව අප දන්නේ කෙසේ ද? කුරානය බයිබලයෙන් වෙනස් වනුයේ කෙසේ ද? පේදුරු පළමු පාප්තැන වූ බව කතෝලිකයින් පවසන්නේ මක්නිසා ද? කතෝලික පූජක ලූතර් රෝමානු කතෝලික පල්ලියෙන් ඉවත් වූයේ මක්නිසා ද?
ප්‍රශ්න පෙනෙන හැටියට අසීමිත වන අතර, මෙම ප්රකාශනය විවිධ ආගමික පසුතලයන්ට අයත් ජනයා හට වඩාත් බලපෑමෙන් යුතුව දේශනා කිරීමට අපට හැකිවනු පිණිස පිළිතුරු ලබා දෙයි. මෙම පොත, බොහෝ දෙනෙකු හට තමන්ගේ ම ආගම් ඇති බවත්, ආගම ඉතා පුද්ගලික කාරණාවක් බවත් පිළිගනී. එහෙත්, 8වන පිටුවේ, එය මෙසේ පවසයි: “ඇත්ත වශයෙන් උපතේ පටන් ආගමික නැතහොත් ආචාර ධර්මීය අදහස් අපගේ මව්පියන් මෙන් ම ඥාතීන් විසින් මනසට ඇතුල් කරනු ලැබේ. මෙහි විපාකයක් වශයෙන්, අපි සාමාන්‍යයෙන් අපගේ මව්පියන්ගේ නැතහොත් මුතුන් මිත්තන්ගේ ආගමික කල්පිතයන් අනුගමනය කරන්නෙමු.” මෙය අදහස් කරනුයේ “බොහෝ අවස්ථාවන්හි අන්‍යයන් අප වෙනුවෙන් අපගේ ආගම තෝරා ගෙන ඇති බව ය. එය හුදෙක් අප කොතැනක එමෙන් ම කවදා උපත ලැබුවේ ද යන්න මත රඳා පවතී.”—පිලිප්පි 3:4-6, සසඳන්න.
ප්රකාශනය ඉන් අනතුරුව මෙම තර්කානුකූල ප්රශ්නය මතු කරයි. “යමෙකුගේ උපතේ දී පවරන ලද ආගම අනිවාර්යයෙන් ම පූර්ණ සත්‍යය යයි කල්පනා කිරීම යුක්ති සහගත වනු ඇත්ද?” මෙසේ, විවෘත මනසකින් වෙනත් ආගම් පරීක්ෂා කර බැලීමට සෑම කෙනෙකුට ම දිරිගන්වා ඇත. දහවන පිටුවේ දක්වා ඇති පරිදි: “එකිනෙකාගේ දෘෂ්ටිකෝණය දැන සිටීම වෙනත් ඇදහිලිවලට අයත් ජනයා අතර වඩාත් අර්ථවත් අදහස් හුවමාරුවකට හා සාකච්ඡාවකට මං පෑදිය හැකි ය.” එය තවදුරටත් මෙසේ ද පවසයි: “ජනයා තම ආගමික විශ්වාසයන් ගැන දැඩි ලෙස විරුද්ධ විය හැකි වුවත්, ඔහු හෝ ඇය වෙනත් දෘෂ්ටිකෝණයක් දැරීම නිසා ම එම තැනැත්තාට ද්වේෂ කිරීමට කිසි ම පදනමක් නොපවති.”—මතෙව් 5:43, 44.
පොත පුරා පැන නගින එක් මූලික ප්‍රශ්නයක් වනුයේ, මනුෂ්‍යයෙක් හට සිය මරණයෙන් නොනැසී, මතු ජීවිතයකට යන්නා වූ අමරණීය ආත්මයක් ඇත්ද? යන්න ය. එක් ආකාරයකින් හෝ තවෙකකින්, සෑම ආගමක් ම එම සංකල්පය උගන්වයි. මෑන්කයින්ඩ්’ස් සර්ච් ෆෝ ගෝඩ් පවසන පරිදි (52 වන පිටුව): “දෙවියන් වහන්සේ සඳහා වූ සිය ගවේෂණයෙහි මනුෂ්‍යයා දැඩි ව නොවටිනා දේවල් අල්ලා ගෙන ඇත, අමරණීයත්වයේ මිථ්‍යා මතයන් හේතුවෙන් මුළාව ගොස් සිටින්නේ ය. . . . අමරණීය ආත්මයක්, නැතහොත් ඊට සමීප විශ්වාසයන්, වසර දහස් ගණනාවකට පෙර සිට අප වෙත ආ උරුමයක් වෙයි.” වෙනත් ප්‍රශ්න වනුයේ: ආත්මවලට වදදෙනු ලබන නිරය නම් ස්ථානයක් පවතී ද? මළා වූ අයට ඇති සැබෑ බලාපොරොත්තුව කුමක් ද? සිටින්නේ එක් දෙවි කෙනෙක් ද, නැතහොත් දෙවිවරුන් බොහෝ දෙනෙක් ද?—උත්පත්ති 2:7; එසකියෙල් 18:4.
බයිබල් පාඩම් සඳහා පදනමක්
හින්දු ධර්මය, බෞද්ධ ධර්මය, ටාඕ ධර්මය, කොන්ෆ්යූසියානු ධර්මය, ෂින්ටෝ ධර්මය, යුදෙව් ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හා ඉස්ලාම් ධර්මය යන ප්‍රධාන ආගම්වල වර්ධනය ගැන බොහෝ දුරට ලෝක රංග භූමියට ඒවා පිවිසි කාලානුගත පිළිවෙළට අනුව මෙම පොත ඒවා ගැන සාකච්ඡා කරයි. මේ එක් එක් පරිච්ඡේදයේ, ඕනෑ ම අවංක අදහන්නෙකු විසින් තමාට ම උපුටා දැක්වීම් පරීක්ෂා කර බැලිය හැකි වීමට, මෙම ආගම්වල ශුද්ධ වූ පොත් උපුටා දක්වා ඇත. ඉස්ලාම් ධර්මය පිළිබඳ පරිච්ඡේදයෙහි, කුරාන් පොතේ වෙනත් ඉංග්‍රීසි පරිවර්තන තුනක් භාවිතා කර ඇත. යුදෙව් ධර්මය පිළිබඳ පරිච්ඡේදයෙහි, යුදෙව් ප්‍රකාශන සමිතියේ නවතම පරිවර්තනය වන ටනාඛ්—අ න ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් උපුටා දක්වා ඇත.—ක්‍රියා 17:28; තීතස් 1:12, සසඳන්න.
අදේව වාදීන් හා ආඥෙය වාදීන් හට එහි ඇත්තේ කුමක් ද? 14 වන පරිච්ඡේදය, දෙවියන් වහන්සේ කෙරෙහි නවීන නොඇදහීම හා දෙවියන් වහන්සේ පවතින බව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් දන්නේ මන්ද යන්න පිළිබඳ ව පැහැදිලි කරයි. මේ සෑම පරිච්ඡේදයක දී ම කියවන්නා ව බයිබලය වෙත යොමු කර ඇත. මෙසේ, මෑන්කයින්ඩ්’ස් සර්ච් ෆෝ ගෝඩ් නම් මෙම ප්රකාශනය භාවිතා කිරීමෙන්, අප සියලු ආකාරයේ ඇදහීම්වලට අයත්, එසේත් නැතහොත් කිසිවක් අදහන්නේ නැතැයි ප්‍රකාශ කරන්නා වූ අය සමඟ බයිබල් පාඩම් පටන් ගැනීමට අපි වඩාත් හොඳින් අවශ්‍යතා සපුරාගෙන සැරසී සිටින්නෙමු. එය සෑම ආගමක් ම ගෞරවනීය ව හා ප්රඥාගෝචර ව සලකන නමුත්, එය යෙහෝවඃ වහන්සේ මෙන් ම සත්‍යය කෙරෙහි පුද්ගලයෙකුට මග පෙන්විය හැකි ප්‍රශ්න මතු කරන්නේ ය. අවංක ව දෙවියන් වහන්සේ සොයන්නෙකු හට මෙම පොත සැබෑ ආශීර්වාදයක් වනු නියත ය.—ගීතාවලිය 83:17; යොහන් 8:31, 32; 2 තිමෝති 3:16.
සෑම පරිච්ඡේදයක ම උපදේශාත්මක උගන්වන කොටු ඇතුළත් කර ඇත. උදාහරණයක් වශයෙන්, 226 වන හා 227 වන පිටුවල, යුදෙව් ඇදහිල්ලේ දක්නට ලැබෙන්නා වූ ප්‍රධාන බෙදීම් විස්තර කරන්නා වූ, “ජුඩෙයිසම්—අ රිලිජන් ඔෆ් මෙනි වොයිසස් [යුදෙව් ධර්මය—කටහඬවල් බොහොමයක් ඇති ආගමක්] නම් කොටුවක් ඇත. “හින්ඩුඉසම්—අ සර්ච් ෆෝ ලිබරේෂන් [හින්දු ධර්මය—විමුක්තිය සඳහා ගවේෂණය]” යටතේ, 116වන හා 117වන පිටුවල, “හින්ඩුඉසම්—සම් ගෝඩ්ස් ඇන්ඩ් ගොඩසස් [හින්දු ධර්මය—එහි සමහරක් දෙවි දේවතාවියන්]” නම් කොටුවක් ඇත. මෙහි හින්දු භක්තිකයින් විසින් නමස්කාර කරනු ලබන දෙවිවරුන් 33 කෝටියකගෙන් හුදෙක් කීපදෙනෙක් සඳහන් කර ඇත. බටහිර ලෝකය දෙවියන් යන වචනය තේරුම් ගන්නා ආකාරය අනුව බෞද්ධයින් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරත් ද? එකසිය හතලිස් පස්වන පිටුවේ “බුඩිසම් ඇන්ඩ් ගෝඩ් [බෞද්ධ ධර්මය හා දෙවියන් වහන්සේ]” යන කොටුව එම ප්‍රශ්නයට පිළිතුරු සපයයි. මෙම පොතෙහි ප්‍රධාන මාතෘකාවලට ඉක්මනින් යොමු වීම සඳහා ප්‍රායෝගික සුචියක් ද ඇත. යමෙකු හට වැඩිතර විස්තර අවශ්‍ය වන්නේ නම්, සමීක්ෂණයන්වල යොදා ගන්නා ලද ප්‍රධාන මාධ්‍යයන්වල මූලග්රන්ථයන් පිළිබඳ ව විස්තරයක් වැඩිදුර කියවීම සඳහා පදනමක් වන්නේ ය.
මෙම පොතේ ඡායාරූප හා රූපසටහන් 200කට වැඩි සංඛ්‍යාවක් ඇතත්, ඒවා එහි තිබෙන්නේ හුදෙක් අලංකාරය සඳහා ම නොවේ ය. සෑම රූපසටහනක ම, සාකච්ඡාවට භාජනය වන ආගම වැඩිදුරටත් පැහැදිලි කරමින් ඉදිරිපත් කරන ඉගැන්වීමේ කරුණක් ඇත. උදාහරණයක් වශයෙන්, 238වන පිටුවේ, යේසුස් වහන්සේ ඉගැන්වූ උපමා සමහරක් විස්තර කරන ඡායාරූප මාලාවක් ඇත. වෙනත් තැනක, ක්‍රිස්තුස් වහන්සේගේ සේවයේ විවිධ පාර්ශ්වයන්—උන් වහන්සේගේ ප්රාතිහාර්යයන්, උන් වහන්සේගේ අන්‍යරූප විලාශවීම, උන් වහන්සේගේ පූජනීය මරණය, හා උන් වහන්සේ සිය ගෝලයින්ට ලොවපුරා දේශනා කිරීමට නියම කිරීම යනාදිය ද විස්තර කරන්නා වූ චිත්‍ර පහකින් යුත් මාලාවක් ඇත.
මුස්ලිම්වරුන්ගේ සැලකිල්ලට යොමු වන්නා වූ ඡායාරූප මාලාවක් 289වන පිටුවේ ඇත. එය නරඹන්නා ව මක්කමට, කාබා තබා ඇති ශ්‍රේෂ්ඨ මුස්ලිම් දේවස්ථානයට මෙන් ම අනතුරුව මුස්ලිම් භක්තිකයින් අතිශයින් ගරු කොට සලකන සැබෑ කලු ගල [black stone] වෙතට ම ගෙන යයි. බෞද්ධ ධර්මයේ විවිධ වූ නමස්කාරය 157 වන පිටුවේ විස්තර කර ඇත. හින්දු භක්තිකයින් 96 වන හා 117 වන පිටුවෙහි, තමන්ගේ ජනප්‍රිය දෙවිවරුන් වන ගනේෂා හා ක්‍රිෂ්නාගේ පින්තූර දැකබලා ගැනීමට උනන්දුව දක්වනු ඇත.
සෑම ප්‍රධාන ආගමක් වෙත ම සුවිශේෂී අවතීර්ණයක් කරනු පිණිස ලොව පුරා සුදුසුකම් ලත් දේව සේවකයන්ගෙන් අදහස් විමසනු ලැබී ය. උදාහරණයක් වශයෙන්, යුදෙව් ධර්මය හා බහායි ඇදහිල්ල සම්බන්ධ පරිච්ඡේද සඳහා ඉශ්‍රායෙලයෙන් අගනා තොරතුරු ලැබිණ. මුස්ලිම් රටවල්වල සාක්ෂිකරුවෝ ඉස්ලාම් ධර්මය පිළිබඳ පරිච්ඡේදයේ අඩංගු දෑ සැලකිලිමත් ව පරීක්ෂා කර බැලූහ. හින්දු භක්තිකයින්, ෂීක්වරුන්, හා ජෛයිනිවරුන් පිළිබඳ ප්‍රයෝජනවත් විස්තර ඉන්දියාවෙන් ලැබිණ. ප්‍රාචීන රටවල්වල දේව සේවකයන්, ෂින්ටෝ පිළිබඳ පරිච්ඡේදය නිවැරදි බවට නිසැක වූ අතර ඔවුහු බෞද්ධ ධර්මය, ටාඕ ධර්මය, හා කොන්ෆ්යූසියානු ධර්මය පිළිබඳ ව අවවාද ඉදිරිපත් කළහ.
මෙම පොත ඉතා සාවධානී ව සෑම ආගමක් ම ඇතුළත් කොට ඇති නිසා, තමන්ගේ ම භාෂාවෙන් එම පොත ඇති ව සිටින්නන් හට ඒ එක් එක් තැනැත්තාගේ ආගමික පසුතලයට ගැළපෙන පරිච්ඡේදයෙන් බයිබල් පාඩමක් පටන් ගත හැකි ය. අනතුරුව ඔවුන් මුල් ක්‍රිස්තියානි ධර්මයේ උදාව මෙන් ම ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ නියෝජිතයා මෙන් ම, දෙවියන් වහන්සේ වෙතට මනුෂ්‍යවර්ගයා මග පෑදීමට යොදා ගන්නා ලද තැනැන් වහන්සේ බව විශ්වාස කිරීමට හේතු හා සම්බන්ධිත පරිච්ඡේදය වෙත යාමට කැමති විය හැකි ය. ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ භේදයන් හා නිකායන් ඇතිකරවමින්, මුල් ඇදහිල්ලෙන් වෙනස් වූ භක්තිය ඇති වූ ආකාරය විස්තර කරන්නා වූ පරිච්ඡේදයන් ද ඇත. මෙම අන්තිම දවස්වල සැබෑ නමස්කාරය යළි පිහිටුවා ඇති ආකාරයත්, නුදුරු අනාගතයේ දී මහා බබිලෝනියට, සාතන්ගේ බොරු ආගමික ලෝක අධිරාජ්‍යයට සිදුවන්නා වූ දෙය අන්තිම පරිච්ඡේද දෙක පෙන්වයි. ඉන් අනතුරුව, නව ලෝකයත්, බයිබලයේ නැවත නැගිටීමේ බලාපොරොත්තුවත් හුවා දක්වා ඇත.—යොහන් 5:28, 29; 12:44-46; 14:6; එළිදරව් 21:1-4.
මෙය ඇත්ත වශයෙන් ම, යාකොබ් සිය ලිපියේ 4 වන පරිච්ඡේදයේ 8 වන වගන්තියේ දක්වා ඇති ආකාරයට, ලොව වටා බොහෝ දෙනෙකු හට දෙවියන් වහන්සේ කරා ළඟා වීමට උපකාරවත් විය යුතු ප්රකාශනයකි: “දෙවියන්වහන්සේට ළංවෙයල්ලා, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍ර කරගනිල්ලා. දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් [හදවත් නිර්මල NW] පිරිසිදු කරගනිල්ලා.” එසේ ය, යෙසායා සඳහන් කළ ආකාරයට: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා, උන්වහන්සේ ළංව සිටිද්දී උන්වහන්සේට යාච්ඤා කරපල්ලා. [උන් වහන්සේ සමීප ව සිටිය දී උන් වහන්සේට හඬගසන්න. NW]”—යෙසායා 55:6; යොහන් 6:44, 65.
අපි සියල්ලන් ම නිවැරදි දිසාවට, එනම් සර්ව ලෝක ස්වාධිපති ස්වාමීන් වන, යෙහෝවඃ වහන්සේ වෙත හැරෙමුව. එසේ ම, මෑන්කයින්ඩ්’ස් සර්ච් ෆෝ ගෝඩ් නම් මෙම ප්රකාශනයේ උපකාරය ඇති ව, අපි තවත් දහස් සංඛ්‍යාවකට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” යෙහෝවඃ වහන්සේ නමස්කාර කිරීමට උපකාර කරමු. (යොහන් 4:23, 24) අපි සත්‍යය සොයන්නන් සෙවීමෙ දී දැඩි විර්යයක් යොදමින්, සත්යයයේ දෙවියන් ගැන කියා දෙමු, මන්දයත් උන් වහන්සේ ඇත්ත වශයෙන් ම, සොයා ගත හැකි ව සිටින සේක! w91 04/01
[පාදසටහන්වල]
a “ටාඕ භක්තිකයා,” ඩව්-භක්තිකයා [dow-ist] ලෙස උච්චාරණය කෙරේ; ඉංග්‍රීසි now [නෞ] යන වචනය ශබ්දකරන ආකාරයට ශබ්ද කෙරේ.
අවංක කතෝලිකයන් මරියා වෙතට හැරෙයි
හින්දු භික්තිකයෝ ගංගා නම් ගඟ ගරුසරු ව සලකති
සමහර භක්තිවන්ත යුදෙව්වෝ ශුද්ධ ලියවිලි සහිත ආරක්ෂක මන්ත්‍ර පළඳති
දෙවියන් වහන්සේ සෙවීමට මිනිසා විවිධ මාර්ග උපයෝගි කර ඇත
මුස්ලිම්වරු මක්කමට වන්දනා ගමන් කරති
බොහෝ අය බුදු හාමුදුරුවන්ට ගරුබුහුමන් කරති
සැබෑ දෙවියන් වහන්සේ සෙවීමට මිනිසුන්ට උපකාර කිරීම පිණිස යේසුස් වහන්සේ උපමා පාවිච්චි කළ සේක
Harry Burdich, Transglobe Agency, Hamburg
GPO Jerusalem
Camerapix
Pictorial Archive (Near Eastern History) Est.
Pictorial Archive (Near Eastern History) Est.
Pictorial Archive (Near Eastern History) Est.