අසන්නන් පමණක් නොවී, වචනය පිළිපදින්නන් වන්න
“ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.”—මතෙව් 7:21.
ඉල්ලමින් සිටින්න. සොයමින් සිටින්න. තට්ටුකරමින් සිටින්න. යාච්ඤා කිරීමෙහි, පාඩම් කිරීමෙහි, සහ කන්ද උඩ දේශනාවෙහි වාර්තා කරන ලද යේසුස් වහන්සේගේ කියමන් පිළිපැදීමෙහි නොකඩවා යෙදී සිටින්න. ඔවුන් පොළොවේ ලුණු බව යේසුස් වහන්සේ තම අනුගාමිකයන්ට පවසන සේක, ලුණෙන් රසවත් වූ සංරක්ෂිත පණිවුඩයක් ඇති නිසා, එහි රසය හෝ සංරක්ෂණය කිරීමේ බලය නැතිකරගනිමින් නිරසවීමට ඔවුන් තමන්ට ඉඩ නොදිය යුතු ය. ඔවුහු ලෝකයේ ආලෝකය වෙති, තමන්ගේ වචනවලින් පමණක් නොව නමුත් තමන්ගේ ක්‍රියාවලිනුත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සහ යෙහෝවඃ වහන්සේගෙන් පැමිණෙන ආලෝකය ඔවුහු පිළිබිඹු කරති. ඔවුන්ගේ ආලෝකමත් වචනවල ප්‍රමාණයට ම ඔවුන්ගේ යහපත් ක්‍රියා බැබලේ—බොහොමයක් පවසා ටිකක් කරන ඵරිසිවරුන්ගේ කුහකකම ඇති ආගමික හා දේශපාලන නායකයන්ට හුරු වූ ලෝකයක ඔවුන්ගේ වචන වැඩියෙන් ශබ්ද වනු ඇත.—මතෙව් 5:13-16.
2 යාකොබ් මෙසේ අවවාද කරයි: “නුඹලා රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙයල්ලා.” (යාකොබ් 1:12) ‘වරක් ගැලවුණා සෑම විට ම ගැලවුණා’ යන ඉගැන්වීමෙන් බොහෝ අය තමන් ව ම රවටා ගනිති, එබැවින් ඔවුහු දැන් විවේකී ව තමන් විසින් සිතාගත් ස්වර්ගික විපාකයක් බලා සිටිති. එය වනාහි ව්‍යාජ ඉගැන්වීමක් හා හිස් බලාපොරොත්තුවකි. “අන්තිමය දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේ” යයි යේසුස් වහන්සේ පැවසූ සේක. (මතෙව් 24:13) සදාකාල ජීවනය ලබා ගැනීමට ඔබ “මරණය දක්වා විශ්වාසව” සිටිය යුතුය.—එළිදරව් 2:10; හෙබ්‍රෙව් 6:4-6; 10:26, 27.
3 යේසුස් වහන්සේ තමන්ගේ කන්ද උඩ දේශනාව නොකඩවා පවසද්දී, ක්‍රිස්තියානින් අනුගමනය කිරීමට උත්සාහ කළ යුතු තවත් කියමන් එකතු විය. සරල මෙන් පෙනෙන්ට ඇති එකක් මෙහි සඳහන් කර තිබේ, නමුත් බැහැර කිරීමට ඉතා ම දුෂ්කර නැඹුරුකමක් එය හෙලා දකියි: “නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරල්ලා. මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය. නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමට බලන්නෙහිද? නොහොත් නුඹේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දියන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද? වංචාකාරය, පළමුකොට නුඹේ ඇසෙන් දැවය පහකරපන්න; එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්ට නුඹට හොඳ හැටි පෙනෙන්නේය.”—මතෙව් 7:1-5.
4 කන්ද උඩ දේශනාවේ ලූක්ගේ වාර්තාවෙහි, අන්‍යයන්ගේ වැරදි සොයන්නට එපායයි යේසුස් වහන්සේ තම අසන්නන්ට පැවසූ සේක. ඒ වෙනුවට, ඔවුන් ‘මුදාහරිමින්’ සිටිය යුතු ය, එනම්, සෙසු මනුෂ්‍යයන්ගේ අඩුපාඩුවලට සමාව දෙමින් සිටිය යුතු ය. යේසුස් වහන්සේ පැවසූ පරිදි, කරුණාවන්තකමින් ප්‍රතිචාරය දැක්වීමට මෙය අන්‍යයන් ව පොලඹවනවා ඇත: “දීපල්ලා, එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලබන්නේය.”—ලූක් 6:37, 38.
5 පොදු යුගයේ පළමු සියවස තුළ දී, වාචික සම්ප්‍රදායන් නිසා, සාමාන්‍යයෙන් ඵරිසිවරු අන්‍යයන් ව රළු ලෙස විනිශ්චය කිරීමට නැඹුරු වී සිටියහ. එසේ කිරීමේ පුරුද්දක් ඇතුව යේසුස් වහන්සේට සවන්දෙමින් සිටී ඕනෑ ම කෙනෙකු එය නැවැත්විය යුතු ව තිබිණ. අපගේ ම ඇසෙහි තිබෙන දැවයට වඩා අන්‍යයන්ගේ ඇස්වල තිබෙන රොඩ්ඩ දැකීම වඩාත් පහසු ය—එය අපගේ ආත්මඅහංකාරයට වඩා කොපමණ සැනසිලිදායක ද! එක් මනුෂ්‍යයෙක් මෙසේ පැවසී ය, “අන්‍යයන් විවේචනය කිරීමට මා කැමති ය, එසේ කිරීමෙන් මට හොඳ හැඟීමක් ඇති වේ!” පුරුද්දක් ලෙස අන්‍යයන් ව දෝෂාරෝපනයට ලක් කිරීමෙන් අප සඟවා ගැනීමට කැමති අපගේ ම වැරදිවලට වන්දියක් වශයෙන් පෙනෙන සුචරිතවත් හැඟීමක් එය අපට ලබා දිය හැක. නමුත් නිවැරදි කිරීමක් අවශ්‍ය නම් මෘදුකමේ ආත්මයකින් එය දිය යුතු ය. නිවැරදි කිරීම කරන්නා සෑම විට ම තමාගේ අඩුපාඩුකම් සිහියේ තබාගත යුතු ය.—ගලාති 6:1.
විනිශ්චය කිරීමට පෙර, තේරුම් ගැනීමට උත්සාහ කරන්න
6 යේසුස් වහන්සේ පැමිණියේ ලෝකය විනිශ්චය කිරීමට නොව නමුත් එය ගලවා ගැනීමට ය. උන් වහන්සේ සිදු කළ ඕනෑ ම විනිශ්චයක් උන් වහන්සේගේ ම නොව තමන් කථා කිරීමට දෙවියන් වහන්සේ දුන් වචන මත පදනම් වී තිබිණ. (යොහන් 12:47-50) අප සිදු කරන ඕනෑ ම විනිශ්චයකුත් යෙහෝවඃ වහන්සේගේ වචනයට එකඟ විය යුතු ය. විනිශ්චය කිරීමට ඇති මිනිස් නැඹුරුකම අප මර්ධනය කළ යුතු ය. මෙසේ කිරීමේ දී, යෙහෝවඃ වහන්සේගේ උපකාරය සඳහා අප නොනවත්වා යාච්ඤා කළ යුතු ය: “ඉල්ලාපල්ලා, එවිට නුඹලාට දෙනු ලැබේ; සොයාපල්ලා, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරපල්ලා, එවිට නුඹලාට දොර හරිනු ලැබේ. මක්නිසාද ඉල්ලන්නා වූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.” (මතෙව් 7:7, 8) යේසුස් වහන්සේ පවා මෙසේ පැවසූ සේක: “මට තනියම කිසිවක් කරන්ට නුපුළුවන. මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය ධර්මිෂ්ඨය; මක්නිසාද මාගේ කැමැත්ත නොව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයමි.”—යොහන් 5:30.
7 අප වර්ධනය කළ යුතු පුරුද්ද වන්නේ, අන්‍යයන් විනිශ්චය කිරීම නොව නමුත් ඔවුන්ගේ තත්ත්වයට අපව ම දැමීමෙන් ඔවුන් ව වටහා ගැනීමට උත්සාහ කිරීම ය—එය කිරීමට පහසු දෙයක් නොවේ. ඊළඟට යේසුස් වහන්සේ ප්‍රකාශ කළ, රන් අණ අපි පිළිපැදීමට යන්නෙමු නම් එය අවශ්‍ය ය: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා. ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් මේය.” (මතෙව් 7:12) එබැවින් යේසුස් වහන්සේගේ අනුගාමිකයන් සංවේදීතාව දක්වා අන්‍යයන්ගේ මානසික, චිත්තවේහී සහ ආත්මික තත්ත්වය වටහාගත යුතු ය. අන්‍යයන්ගේ අවශ්‍යතා දැනගෙන සහ තේරුම්ගෙන ඔවුන්ට උපකාර කිරීමෙහි පෞද්ගලික උනන්දුවක් දැක්විය යුතු ය! (පිලිප්පි 2:2-4) වසර ගණනාවකට පසු පාවුල් මෙසේ ලීවේ ය: “මක්නිසාද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්රේමකරපන්න යන වාක්‍යයෙන්ම මුළු ව්‍යවස්ථාව සම්පූර්ණ වේ.”—ගලාති 5:14.
8 “පටු දොරටුවෙන් ඇතුල්වෙයල්ලා. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ සවල්ප දෙනෙකුට” යයි ඊළඟට යේසුස් වහන්සේ පැවසූ සේක. (මතෙව් 7:13, 14) ඒ දවස්වල දී බොහෝ දෙනෙක් විනාශයට යන මාර්ගය තෝරාගත් අතර, බොහෝ දෙනෙක් තවමත් එසේ කරති. තමන් කැමති ආකාරයට සිතීමට හා තමන් කැමති ආකාරයට ජීවත්වීමට පළල් පාර මනුෂ්‍යයන්ට අවසර දෙයි: රීති නැත, බැඳීම් නැත, නිකම් විවේකීය ජීවන රටාවකි, සෑම දෙයක් ම පහසු ය. “පටු දොරකඩින් ඇතුල්වෙන්ට වීර්ය්යකරපල්ලා,” යන කිසිවක් ඔවුහු තමන්ට ම අදාළ නොකරති!—ලූක් 13:24.
9 නමුත් සදාකාල ජීවනයට යන මාර්ගයට විවෘත වන්නේ පටු දොරටුවයි. එය වනාහි ආත්ම-දමනය වුවමනා කරන මාර්ගයකි. ඔබගේ චේතනා සොයා බලන හික්මවීම ඊට ඇතුළත් විය හැකි අතර ඔබගේ කැපවීමේ ශක්තිය පරීක්ෂා කළ හැක. පීඩාව පැමිණෙන විට, පාර රළු වන අතර විඳදරාගැනීම වුවමනා කෙරේ. මෙම මාර්ගයෙහි ගමන් කරන අයට යේසුස් වහන්සේ මෙසේ අවවාද කරන සේක: “බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙයල්ලා. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.” (මතෙව් 7:15) මෙම විස්තරය ඵරිසිවරුන්ට පරිපූර්ණ ලෙස ගැළපුණි. (මතෙව් 23:27, 28) දෙවියන් වහන්සේ උදෙසා කථා කරන බව පවසමින් ඔවුහු “මෝසෙස්ගේ ආසනයේ හිඳිති,” නමුත් මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායන් අනුගමනය කරති.—මතෙව් 23:2.
ඵරිසිවරු ‘ස්වර්ග රාජ්‍යය වැසූ’ ආකාරය
10 තවදුරටත්, පටු දොරටුවෙන් ඇතුළුවීමට සොයමින් සිටී අයට යුදෙව් පූජකවරු අවහිර කිරීමට තැත් කළහ. “ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.” (මතෙව් 23:13) ඵරිසිවරුන්ගේ ක්‍රමය වනාහි යේසුස් වහන්සේ අවවාද කළාක්මෙන් විය. ‘මනුෂ්‍ය පුත්‍රයා නිසා [උන්වහන්සේගේ ගෝලයන්ගේ] නාමය නපුරුයයි’ කියා ඔවුන් පහකරනු ඇත. (ලූක් 6:22) ක්‍රිස්තුස්වහන්සේ විසින් සුව කරන ලද අන්ධ ව උපන් මනුෂ්‍යයා යේසුස් වහන්සේ මෙසියස් බව විශ්වාස කළ නිසා, ඔවුහු ඔහු ව සිනගෝගයෙන් නෙරපාදැමූහ. එම හේතුව සඳහා ම, යේසුස් වහන්සේ මෙසියස් බව විශ්වාස කළ වෙනත් අය ද, එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට මැළි වූහ.—යොහන් 9:22, 34; 12:42; 16:2.
11 “ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳිනගන්නහු” යයි යේසුස් වහන්සේ පැවසූ සේක. “සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි.” (මතෙව් 7:16-20) එම රීතිය අදදින ද අදාළ වේ. ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන්ගෙන් බොහෝ දෙනෙකු එකක් පවසා තව දෙයක් කරති. බයිබලය උගන්වන බව කියා සිටියත්, ත්‍රිත්වය සහ නිරාගින්න වැනි අපහාසකිරීම්වලට ඔවුහු දායක වෙති. වෙනත් අය මිදීමේ මිලය ප්‍රතික්ෂේප කරති, මැවීම වෙනුවට පරිණාමවාදය උගන්වති, එමෙන් ම අසන්නන් සතුටු කිරීමට ජනප්‍රිය මනෝවිද්‍යාව උගන්වති. ඵරිසිවරු මෙන්, අදදින සිටින බොහෝ පූජකවරු ද මුදලට ප්‍රේමකරන්නන් වෙති, තම රැළට අයිති අයගෙන් ඩොලර් මිලියන ගණන් බලෙන් ගනිති. (ලූක් 16:14) “ස්වාමිනි, ස්වාමිනි,” යනුවෙන් ඔවුහු සියල්ලන් ම හඬ නගති, නමුත් ඔවුන් සඳහා යේසුස් වහන්සේගේ ප්‍රතිචාරය වනුයේ: “කිසිකලකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව පලයල්ලා.”—මතෙව් 7:21-23.
12 අදදින, වරක් පටු මාර්ගයේ ගමන් කළා වූ අය එසේ කිරීම අත්හැර දමා ඇත. යෙහෝවඃ වහන්සේට ප්‍රේම කරන බව ඔවුහු පවසති, නමුත් දේශනා කිරීමට ඇති උන් වහන්සේගේ ආඥාවට ඔවුහු කීකරු නොවෙති. යේසුස් වහන්සේට ප්‍රේම කරන බව ඔවුහු පවසති, නමුත් උන් වහන්සේගේ බැටළුවන් ව ඔවුන් පෝෂණය නොකරති. (මතෙව් 24:14; 28:19, 20; යොහන් 21:15-17; 1 යොහන් 5:3) යේසුස් වහන්සේගේ අඩි පාරේ යන අය සමඟ සම්බන්ධවීමට ඔවුන් අකමැති ය. පටු මාර්ගය අතිශයින් අවහිර බව ඔවුන්ට පෙනී ගොස් ඇත. යහපත්කම් කිරීමෙන් වෙහෙසට පත් වූ නිසා, ඔවුහු “අප කෙරෙන් ගියෝය, නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමග පවතිනවා ඇත.” (1 යොහන් 2:19) ඔවුහු ආපසු අන්ධකාරය වෙතට ගියහ, තව ද “ඒ අඳුර කොපමණ මහත්ද!” (මතෙව් 6:23) ඔවුහු යොහන්ගේ ආයාචනය නොසලකා හැරියහ: “මාගේ ප්‍රිය දරුවෙනි, වචනයෙන්වත් දිවෙන්වත් නොව, ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේමකරමු.”—1 යොහන් 3:18.
13 යේසුස් වහන්සේ තමන්ගේ කන්ද උඩ දේශනාව චමත්කාරජනක උපමාවකින් අවසන් කළ සේක: “යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණැති මනුෂ්‍යයකුට සමානකරනු ලබන්නේය. වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; එය පර්වතය පිට පිහිටා තිබූ බැවින් නොවැටුණේය.”—මතෙව් 7:24, 25.
14 පලස්තීනයෙහි තද වර්ෂාව ඇති වූ විට, ජලය වේගයෙන් වියලි මිටියාවත් ඔස්සේ ගලායමින් විනාශකාරී හදිසි ජලගැලීම් ඇති කරවයි. නිවෙස් නොවැටී තිබෙන්නට නම්, ඒවායේ අත්තිවාරම පර්වත මත පිහිටා තිබීම අවශ්‍ය විය. ඒ මනුෂ්‍යයා “ගැඹුරට හාරා, පර්වතයක් පිට අත්තිවාරම ලා,” ගෙය සාදාගත් බව ලූක්ගේ වාර්තාව දක්වයි. (ලූක් 6:48) එය දුෂ්කර කාර්යයක් විය, නමුත් කුණාටුව පැමිණි විට, එහි ප්‍රයෝජනය ලැබිණ. එබැවින් යේසුස් වහන්සේගේ කීම් මත ක්‍රිස්තියානි ගුණාංග ගොඩනැගු විට, විපත්තිය නමැති හදිසි ජලගැලීම ගලන විට එය විපාකදායක වනු ඇත.
15 අනෙක් ගෙය වැලි මත සාදා තිබිණ: “යමෙක් මාගේ මේ වචන අසා, ඒවා පිළිනොපදීද, ඔහු වැලි මත්තෙහි තමාගේ ගෙය සාදාගත් නුවණ නැති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය. වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; ඒක වැටුණේය. එහි වැටීමද බලවත්විය.” “ස්වාමිනි, ස්වාමිනි,” කියන නමුත් යේසුස් වහන්සේගේ වචන පැවැත්වීමට අසමර්ථ වන අයට එසේ වනු ඇත.—මතෙව් 7:26, 27.
“ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව”
16 කන්ද උඩ දේශනාවේ තිබූ බලපෑම කුමක් වී ද? “යේසුස් වහන්සේ මේ වචන කියා නිම කළ කල්හි, සමූහයෝ උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විශ්මයට පත්වූවෝය. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව, බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූසේක.” (මතෙව් 7:28, 29) ඔවුන් කිසිවිටකත් අසා නොතිබූ බලය ඇති කෙනෙකුගේ කථාවෙන් ඔවුන්ට දැඩි බලපෑමක් ඇති වී තිබිණ.
17 මෙම ඓතිහාසික වාර්තාව දක්වන පරිදි, කිසිම ඵරිසිවරයෙක් තමාගේ ම බලතලයෙන් කථා කළේ නැත: “ලියන්නන් තමන්ගේ ඉගැන්වීමට ගෞරවය ලබා ගත්තේ සම්ප්රදායන්ගෙන් හා ඒවායේ පියවරුන්ගෙන් ය: තව ද රබ්බිවරුන්ට සම්ප්රදායක් තිබේ, නැතහොත් . . . ප්‍රඥාවන්තයෝ පවසති; [සඳහන් කිරීමෙන්] නැතහොත් එවැනි ස්වාභාවයක යම් දිවස් කියන තැනැත්තෙකු [සඳහන් කළේ] නැත්නම් කිසිම ලියන්නෙකුගේ දේශනාවකට කිසිදු බලතලයක් හෝ වටිනාකමක් තිබුණේ නැත. . . . සැබෑවට ම මහා හිලෙල් මෙසේ ඉගැන්විය, තව ද සම්ප්රදාය පිළිබද යම් දෙයක් ඔහු ඉගැන්විය; ‘නමුත්, මුළු දවස තිස්සේ ම ඔහු දේශනා කළත්, . . . [හිලෙල්ට කලින් සිටි බලතලයන් වන] ෂිමේයා සහ ඇබ්ටලියන්ගෙන් මා අසා තිබුණේ යයි ඔහු අවසාන වශයෙන් පවසන තෙක්, ඔහුගේ ඉගැන්වීම ඔවුහු පිළිනොගත්හ.” (අ කොමෙන්ට්රී ඔන් ද න ටෙස්ටමන්ට් ෆ්‍රොම් ද ටැල්මුඩ් ඇන්ඩ් හෙබ්‍රෙයිකා, ජෝන් ලයිට්ෆුට් විසිනි) බොහෝ කලක් මිය ගොස් සිටියා වූ මුනිවරුන් ගැන පවා මෙසේ පැවසූහ: “ඔවුන්ගේ නාමයෙන් යමෙක් පනතක් පිළිබඳ ඉගැන්වීමක් සඳහන් කරන විට—ධර්මිෂ්ඨයාගේ තොල් ඔවුන් සමඟ මිනී වලේ සිට මතුරති.”—ටෝරා—ෆ්‍රොම් ස්ක්‍රොල් ටු සිම්බල් ඉන් ෆෝමටිව් ජුඩේයිසම්.
18 මිය ගිය මනුෂ්‍යයන් ව බලතලයන් වශයෙන් ලියන්නෝ උපුටා දැක්වූහ; ජීවමාන දෙවියන් වහන්සේගේ බලතලය ඇතුව යේසුස් වහන්සේ කථා කළ සේක. (යොහන් 12:49, 50; 14:10) රබ්බිවරු වසා තැබූ ළිංවලින් පල් වූ ජලය ඇදගත්හ; අභ්‍යන්තරික පිපාසයක් සංසිඳවූ නැවුම් ජල උල්පතක් යේසුස් වහන්සේ ඇති කළ සේක. උන් වහන්සේ යාච්ඤා කර, රාත්‍රිය පුරා මෙනෙහි කර, උන් වහන්සේ කථා කළ විට, මනුෂ්‍යයන් කිසිවිටකත් නොසිතූ ගැඹුරකට කිඳා බැසීමට උන් වහන්සේට හැකි වූ සේක. ඔවුන්ට දැනිය හැකි බලයක් ඇතුව උන් වහන්සේ කථා කළ සේක, එම බලයට අභියෝග කිරීමට ලියන්නෝ, ඵරිසිවරු, සහ සද්දුසිවරු අන්තිමේ දී බිය වූහ. (මතෙව් 22:46; මාර්ක් 12:34; ලූක් 20:40) වෙන කිසිම මනුෂ්‍යයෙකු මෙසේ කථා කර නැත! දේශනාවේ අන්තිමයේ දී සමූහයා මවිතයට පත් විය!
19 අදදින ගැන කුමක් කිව හැකි ද? ගෙයින් ගෙට යන සේවකයන් වශයෙන්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ එබඳු ම ක්‍රම පාවිච්චි කරති. ගේහිමියෙක් ඔබට මෙසේ පවසයි: “පොළොව පිලිස්සීයාමට තිබේ යයි මාගේ පල්ලිය පවසයි.” ඔබගේ ප්‍රතිචාරය: “දේශනාකාරයා 1:4 හි ඔබගේ කිං ජේම්ස් බයිබලයෙහි මෙසේ කියවීමට තිබේ: ‘පොළොව සදහට ම පවති.’ ” පුද්ගලයා පුදුමයට පත් වේ. “එය මාගේ බයිබලයේ තිබෙන බවක් මා කිසිවිටකත් දැන සිටියේ නැත!” තව කෙනෙක් මෙසේ පවසයි: “පව්කාරයන් නිරාගින්නක පිළිස්සෙන බව මා සෑම විට ම අසා තිබේ.” “නමුත් ඔබගේ බයිබලය රෝම 6:23 හි මෙසේ පවසයි: ‘පාපයේ කුලී නම් මරණයය.’ ” නැතහොත් ත්‍රිත්වය පිළිබඳ ව: “යේසුස් වහන්සේ හා උන් වහන්සේගේ පියාණන් එකහා සමාන බව මාගේ දේශනාකරු පවසයි.” “නමුත් යොහන් 14:28 හි යේසුස් වහන්සේ මෙසේ පවසන බව ඔබගේ බයිබලය ප්‍රකාශ කරයි: ‘පියාණන්වහන්සේ මට වඩා උතුම්ය.’ ” තවත් තැනැත්තෙක් ඔබට මෙසේ පවසයි: “දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ තුළෙහි තිබෙන බව පවසනවා මා අසා ඇත.” ඔබගේ ප්‍රතිචාරය: “ ‘දානියෙල් 2:44 හි ඔබගේ බයිබලය මෙසේ පවසයි: ‘ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසි කලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක. . . . ඒක ඒ සියලු රාජ්යයවල් පොඩිකර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.’ එය ඔබ තුළ විය හැක්කේ කෙසේ ද?”
20 දෙවියන් වහන්සේගෙන් අධිකාරිය ඇතුව යේසුස් වහන්සේ කථා කළ සේක. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ දේව වචනයේ අධිකාරිය ඇතුව කථා කරති. බබිලෝනිය හා මිසරයෙන් එන ලද ඉගැන්වීම්වලින් දූෂිත වූ ආගමික සම්ප්‍රදායන් ක්‍රිස්තියානි ලෝකයේ පූජකයෝ පවසති. අවංක මනුෂ්‍යයන් තමන්ගේ විශ්වාසයන් බයිබලයෙන් නිෂ්ප්රභා වන ආකාරය දකින විට, ඔවුහු පුදුම වී මෙසේ පවසති: ‘එය මාගේ බයිබලයේ තිබෙන බව මා කිසිවිටකත් දැන සිටියේ නැත!’ නමුත් එය එසේ තිබේ. තමන්ගේ ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන සියල්ලන්ට කන්ද උඩ දේශනාවේ යේසුස් වහන්සේගේ කීම් පිළිපැද එමගින් කල්පවතින පර්වත අත්තිවාරමක් මත ගොඩනැගීමට කාලය දැන් ය. w90 10/01
සමාලෝචන ප්‍රශ්න
◻ විනිශ්චය කරනවා වෙනුවට, අප කිරීමට වෑයම් කළ යුත්තේ කුමක් ද, ඒ මන්ද?
◻ අදදින බොහෝ දෙනෙක් පළල් මාර්ගය තෝරා ගන්නේ මන්ද?
◻ යේසුස් වහන්සේගේ උගන්වන ක්‍රමය ලියන්නන්ගෙන් එතරම් වෙනස් වූයේ මන්ද?
◻ අසන්නන් කෙරෙහි කන්ද උඩ දේශනාවට තිබූ බලපෑම කුමක් වී ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1. යේසුස් වහන්සේගේ අනුගාමිකයන් නොකඩවා කරමින් සිටිය යුත්තේ කුමක් ද?
2. යාකොබ් දෙන අවවාදය කුමක් ද, ඇතමෙක් වැරදිසහගත ලෙස ගන්නා පහසුදායක තත්ත්වය කුමක් ද?
3. කන්ද උඩ දේශනාවේ දී විනිශ්චය කිරීම පිළිබඳ ව යේසුස් වහන්සේ ඊළඟට දෙන උපදේශය කුමක් ද?
4. ලූක්ගේ වාර්තාව කුමන අමතර උපදේශයක් දෙයි ද, සහ එහි අදාළ කිරීමෙන් ඇති වන ප්‍රතිඵලය කුමක් ද?
5. අප තුළ තිබෙන වැරදිවලට වඩා අන්‍යයන් තුළ තිබෙන ඒවා දැකීම වඩාත් පහසු මන්ද?
6. අවශ්‍ය වූ විට, අපගේ විනිශ්චයන් පදනම් විය යුත්තේ කුමක් මත ද, වුවමනාවට වඩා විවේචනාත්මක නොවීමට අප සෙවිය යුතු උපකාරය කුමක් ද?
7. රන් අණ අදාළ කිරීමෙහි අපට උපකාර කරන කුමන පුරුද්ද අප වර්ධනය කරගත යුතු ද?
8. යේසුස් වහන්සේ සාකච්ඡා කළ මාර්ග දෙක කුමක් ද, බහුතරයක් විසින් එක මාර්ගයක් තෝරා ගන්නේ මන්ද?
9. පටු මාර්ගයෙහි ගමන් කිරීමට අවශ්‍ය කරන්නේ කුමක් ද, එමෙන් ම එහි ගමන් කරන අයට යේසුස් වහන්සේ දෙන අවවාදය කුමක් ද?
10. ‘මනුෂ්‍යයන් ඉදිරියෙහි ස්වර්ගරාජ්‍යය වැසීමට’ ලියන්නන් හා ඵරිසිවරු උත්සාහ කළ විශේෂ ක්‍රමය කුමක් ද?
11. ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන් නිපදවන්නේ කුමන හඳුනා ගැනීමේ ඵල ද?
12. වරක් පටු මාර්ගයෙහි ගමන් කළා වූ අය එසේ කිරීම නවත්වා තිබෙන්නේ මන්ද, තව ද කුමන ප්‍රතිඵලයක් ඇතුව ද?
13, 14. උන් වහන්සේගේ කියමන් අපගේ ජීවිත තුළ අදාළ කිරීම ගැන යේසුස් වහන්සේ දුන් උපමාව කුමක් ද, පලස්තීනයෙහි සිටි අය සඳහා එය එතරම් ම උචිත වූයේ මන්ද?
15. යේසුස් වහන්සේගේ කියමන්වලට කීකරු වෙනවා වෙනුවට, මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායන් අනුගමනය කරන අයට ඇතිවන ප්‍රතිඵලය කුමක් ද?
16. කන්ද උඩ දේශනාව ඇසූ අයට ඉන් ඇති වූ බලපෑම කුමක් ද?
17. තමන්ගේ ඉගැන්වීමට වලංගුකමක් දීමට ලියන්නන්ට කිරීමට සිදු වූයේ කුමක් ද, උපුටා දැක්වූ මිය ගිය මුනිවරුන් පිළිබඳ ව ඔවුන් කියා සිටියේ කුමක් ද?
18. (අ) ලියන්නන්ගේ හා යේසුස් වහන්සේගේ ඉගැන්වීම අතර තිබූ වෙනස කුමක් ද? (ආ) යේසුස් වහන්සේගේ ඉගැන්වීම එතරම් ම කැපී පෙනුණේ කුමන ආකාරවලින් ද?
19. කන්ද උඩ දේශනාවේ දී යේසුස් වහන්සේ විසින් පාවිච්චි කළ ඉගැන්වීමේ ක්‍රමවලට අදදින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් පාවිච්චි කරන ඇතැම් ඒවා සමාන වන්නේ කෙසේ ද?
20. (අ) සාක්ෂිකරුවන්ගේ හා ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන්ගේ ඉගැන්වීමේ ක්‍රමය අතර තිබෙන වෙනස කුමක් ද? (ආ) දැන් කාලය කුමක් සඳහා ද?