මරණය ඔබ ප්‍රේම කරන කෙනෙකු පැහැර ගත් විට
“වර්ෂ 1981 දී මගේ මව පිළිකා රෝගයෙන් මිය ගියා. ඈ මගේ කුඩම්මා වූවා. ඇගේ මරණය මට සහ මගේ සොහොයුරාට දරා ගත නොහැක්කක් වුණා. එවිට මගේ වයස අවුරුදු 17යි, මගේ සොහොයුරාට 11යි. මට මගේ මව අහිමි වීම බලවත් පාඩුවක් වුණා. කතෝලිකයෙකු ලෙස හැදී වැඩුණු මට, ඈ ස්වර්ගයේ සිටින බවට උගන්වනු ලැබ තිබුණෙන්, ඈ සමඟ සිටීමට මගේ ම දිවි තොර කර ගැනීමට මට උවමනා වුණා. මගේ හොඳ ම මිතුරිය වී සිටියේ ඇයයි.”—25 හැවිරිදි රොබර්ටා.
ඔබත් එවැනි ම දෙයක් අත්දැක තිබේ ද? එසේ නම්, ඔබ ප්‍රේම කළ කෙනෙකු මරණයෙන් අහිමි වීම නිසා ඇති වන වේදනාව ඔබ හොඳින් දන්නෙහි ය. ඔබ ප්‍රේම කරන යමෙකු ව ඔබ වෙතින් පැහැර ගැනීමට මරණයට බලය තිබීම එතරම් ම අසාධාණයකැයි පෙනී යයි. එවැන්නක් සිදු වූ විට, යළි කිසිදා කථා බහ කිරීමට, සිනහසීමට, අතින් අල්ලාගෙන සිටීමට, නොහැකි බව සිතට හැඟෙන විට, එය දරා ගැනීම මහත් අසීරු දෙයක් විය හැක. එමෙන් ම රොබර්ටාගේ වදන්වල අඟවන්නාක් මෙන්, ඔබේ ප්රේමයලත් තැනැත්තා ස්වර්ගයේ සිටිනවා යැයි පවසනු ලැබූ පමණින් එම වේදනාව මැකී යන්නේ නැත.
එහෙත්, ඔබ ප්‍රේම කළ තැනැත්තා සමඟ නුදුරු අනාගතයේ දී, ස්වර්ගයේ නොව නමුත් සාමකාමී, ධර්මිෂ්ඨ තත්ත්වයන් යටතේ මෙම පොළොවේ මෙහි ම යළි එක්වීමට හැකි යැයි ඔබ දැනගත්තෙහි නම්, ඔබට කෙසේ හැඟී යනු ඇත් ද? එමෙන් ම, ඒ කාලයේ දී, මිනිසුන් පරිපූර්ණ සෞඛ්‍යයක් භුක්ති විඳින බවත්, ඔවුන්ට කවදාවත් මිය යාමට සිදුවන්නේ නැති බවත් ඔබ ඉගෙන ගත්තෙහි නම් කුමක් ද? ‘සැබවින් ම එය නම් සිතුවිලි මාත්‍රයක් පමණයි’ යනුවෙන් ඔබ කියනවා විය හැක.
එහෙත්, පො.යු. පළමු සියවසේ දී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිර්භීත ව පැවසූ සේක්: “නැවතනැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.” (යොහන් 11:25) ඒ මළවුන් නැවත ජීවත් වන බවට වූ පොරොන්දුවකි—ඇත්තෙන් ම එය ප්‍රීතිමත් අපේක්ෂාවකි.
එහෙත්, සමහරවිට ඔබ මවිතයෙන් මෙසේ අසන්නෙහි ය: ‘එවැනි පොරොන්දුවක් කෙරෙහි විශ්වාස කිරීමට හරි පදනමක් තිබේ ද? එය හුදෙක් සිතුවිලි මාත්‍රයක් නොවන බවට මට ස්ථීර විය හැක්කේ කෙසේ ද? එය විශ්වාස කිරීමට යම් පදනමක් තිබෙනවා ද, මෙම පොරොන්දුවේ ඉටු වීමෙන් මටත් මගේ ප්‍රේම කරන අයටත් අදහස් කරන්නේ කුමක් ද?’ මේවා සහ වෙනත් ප්‍රශ්න ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරෙනු ඇත. w90 5⁄1