53වෙනි පාඩම
යෙහෝයාදාගේ නිර්භීතකම
යෙසබෙල්ට අතලියා කියලා දුවෙක් හිටියා. එයාත් අම්මා වගේම නපුරුයි. අතලියා විවාහ වෙලා හිටියේ යූදා දේශයේ රජ එක්ක. ඒ රජ මැරුණාම රජ වුණේ අතලියාගේ පුතා. එයාත් මැරුණාට පස්සේ අතලියා රජකම අතට අරන් රජ පෙළපතට අයිති හැමෝවම මරලා දාන්න හැදුවා. එයාගෙම මුනුපුරන්වත් මැරුවා. හැමෝම එයාට බයෙන් හිටියේ.
ඒ කාලේ හිටපු උත්තම පූජකයාගේ නම යෙහෝයාදා. එයාගේ බිරිඳගේ නම යෙහෝෂෙබා. ඒ දෙන්නා එකතු වෙලා අතලියාගේ මුනුපුරෙක් වුණ යෙහෝයාෂ්ව බේරගෙන එයාව දේවමාලිගාවේ හැංගුවා.
යෙහෝයාෂ්ට වයස හතක් වුණාම යෙහෝයාදා ලෙවීවරුන්ටයි ප්‍රධානීන්ටයි එන්න කියලා මෙහෙම කිව්වා. ‘දේවමාලිගාව හොඳට මුර කරන්න. කාටවත් එන්න දෙන්න එපා.’ ඊළඟට එයා යෙහෝයාෂ්ව යූදා දේශයේ රජ විදිහට පත් කළා. එතකොට සෙනඟ හැමෝම කෑගහලා කිව්වා “රජතුමා දිගු කල් ජීවත් වේවා” කියලා.
සෙනඟ කෑගහනවා ඇහිලා අතලියා දේවමාලිගාවට ඉක්මනින්ම ගියා. අලුත් රජව දැක්කාම එයා කෑගහලා කිව්වා “කුමන්ත්‍රණයක්! මේක මහා කුමන්ත්‍රණයක්” කියලා. එතකොට ප්‍රධානීන් අතලියාව අල්ලගෙන ගිහින් මරලා දැම්මා.
නමස්කාර කරන්නේ යෙහෝවාට විතරයි කියලා යෙහෝවා එක්ක ගිවිසුමක් ඇති කරගන්න යෙහෝයාදා සෙනඟට උදව් කළා. ඊටපස්සේ එයා සෙනඟට කිව්වා බාල්ගේ දේවාලයට ගිහින් ඒ පූජාසනයි රූපයි කඩලා දාන්න කියලා. දේවමාලිගාවේ වැඩ කරන්න එයා පූජකයන්වයි ලෙවීවරුන්වයි පත් කරපු නිසා සෙනඟට පුළුවන් වුණා ආයෙත් දේවමාලිගාවේ දෙවියන්ට නමස්කාර කරන්න. අපිරිසිදු අය දේවමාලිගාවට එන එක නවත්තන්න එයා මුරකරුවන්වත් පත් කළා. ඊළඟට යෙහෝයාෂ්ව රජමාලිගාවට අරන් ගිහින් එයාට සිංහාසනයේ වාඩි වෙන්න කිව්වා. යූදා දේශයේ හැමෝම හුඟක් සතුටු වුණා. අතලියායි බාල් නමස්කාරයයි නැති නිසා නිදහසේ යෙහෝවාට නමස්කාර කරන්න සෙනඟට පුළුවන් වුණා. යෙහෝයාදාගේ නිර්භීතකම නිසා ගොඩක් අයට ප්‍රයෝජන ලැබුණ විදිහ ඔයා දැක්කාද?
“ඔයාලව මරලා දැම්මත් අනාගතයේදී ඔයාලට ලැබෙන්න යන ජීවිතය උදුරගන්න බැරි අයට බය වෙන්න එපා. ඒත් ඔයාලව ගෙහෙන්නාවට නියම කරලා සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් තැනැත්තාට විතරක් බය වෙන්න.”—මතෙව් 10:28