පහළොස්වෙනි පරිච්ඡේදය
“මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක”
1. යෙරෙමියා ඇතුළු අනෙකුත් අනාගතවක්තෘවරුන් දෙවිගේ පණිවිඩ දිගටම ප්‍රකාශ කළේ ඇයි?
ක්‍රිස්තු පූර්ව 647දී යෙහෝවා දෙවි යෙරෙමියාව අනාගතවක්තෘවරයෙකු ලෙස පත් කළ අවස්ථාවේ ඔහුට පැවසුවේ, “මම ඔබට කීමට අණ කරන දේ, ගොස් ඔවුන්ට ප්‍රකාශ කරන්න. ඔවුන්ට භය නොවන්න” කියායි. (යෙරෙ. 1:17) දෙවි තම පණිවිඩය ප්‍රකාශ කිරීමට යෙරෙමියා වැනි අනාගතවක්තෘවරුන්ව එලෙස යුදෙව්වන් අතරට යැව්වේ ඒ පණිවිඩවලට සවන් දී තමන් කරමින් සිටි වැරදි අත්හරින්න යුදෙව්වන්ට අවස්ථාව සලසා දීමටයි. ඒ කාරණය හොඳින් තේරුම්ගෙන සිටි යෙරෙමියා, අනාගතවක්තෘවරයෙකු වූ දා සිට යෙරුසලම විනාශ වන තුරු එනම් අවුරුදු 40ක් පුරා අත් නෑර දෙවිගේ පණිවිඩ යුදෙව්වන්ට ප්‍රකාශ කළා. විනාශයෙන් පසුවත් ඔහු දෙවිගේ පණිවිඩ සෙනඟට දැන්වූවා. (යෙරෙ. 2:4; 42:15) එය ඔහුට කොහෙත්ම පහසු කාර්යයක් වුණේ නැහැ. ඔහුට බොහෝ වධ හිංසාවලට හා නින්දා අපහාසවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කිරීම ඔහු කිසිම අවස්ථාවක අත්හැරියේ නැහැ. ඔහු පැවසුවේ, “මගේ සිත බොහෝ සෙයින් කැලඹී ඇත. . . . ඒ නිසා මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක” කියායි.—යෙරෙ. 4:19.
2, 3. (අ) යෙරෙමියා තුළ තිබූ ආකල්පයම යේසුස්ගේ නියෝජිතයන් තුළත් දකින්න තිබුණා කියා පැවසිය හැක්කේ ඇයි? (ආ) ඔබ යෙරෙමියාගේ ආදර්ශය අනුගමනය කළ යුත්තේ ඇයි?
2 දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් යෙරෙමියා තුළ තිබූ ඒ ආකල්පයම පළමු සියවසේ සිටි යේසුස්ගේ නියෝජිතයන් තුළත් දකින්න තිබුණා. (යාකො. 5:10) උදාහරණයකට ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසින් ටික දිනකට පසු සිදු වූ දෙයක් ගැන සලකා බලන්න. දේවමාලිගා භූමියේ සිට ශුභාරංචිය දේශනා කරමින් සිටි පේතෘස්ව හා යොහන්ව යුදෙව් ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන දේශනා කිරීම නතර කරන්න කියා ඔවුන් දෙදෙනාට නියෝග කළා. නමුත් ඔවුන් පැවසුවේ, “අප ඇසූ දුටු දේ ගැන කතා කරන එක නතර කරන්න නම් අපට බැහැ” කියායි. (ක්‍රියා 4:19, 20) යුදෙව් ප්‍රධානීන් ඔවුන්ට තර්ජනය කර ඔවුන්ව නිදහස් කර හැරිය පසුත් ඔවුන් දිගටම ශුභාරංචිය සෙනඟට ප්‍රකාශ කළා.
3 යෙරෙමියා හා පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන් මෙන් මේ අවසාන කාලයේ ජීවත් වන ඔබටත් ‘දෙවිගේ පණිවිඩය ප්‍රකාශ නොකර සිටින්න බැහැ’ කියා හැඟෙනවාද? අභියෝග මැද පවා දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කිරීමට ඔබ අදිටන් කරගෙන සිටිනවාද? ඒ අදිටන තවත් ශක්තිමත් කරගැනීමට උපකාරවත් වන තොරතුරු කිහිපයක් අපි යෙරෙමියාගේ ආදර්ශයෙන් සලකා බලමු.
උදාසීන ප්‍රතිචාර මැද
4. යෙරෙමියා ප්‍රකාශ කළ පණිවිඩවලට යුදෙව්වන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
4 යේසුස්ගේ පාලනය යටතේ අද්දකින්න ලැබෙන ආශීර්වාද ගැන සඳහන් කරමින් අප ප්‍රකාශ කරන පණිවිඩය මිනිසුන්ට අසන්න ලැබෙන හොඳම ශුභාරංචිය බව අප දන්නවා. නමුත් බොහෝදෙනෙක් අප ප්‍රකාශ කරන පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. එය පුදුමයට හේතුවක් නොවෙයි. මන්ද යෙරෙමියාගේ කාලයේ සිටි යුදෙව්වන්ද යෙරෙමියාට පැවසුවේ, “ඔබ යෙහෝවා දෙවිගේ නාමයෙන් අපට පැවසූ දේවලට අපි කීකරු වෙන්නේ නැහැ” කියායි. (යෙරෙ. 29:19; 44:16) කෙසේවෙතත් මිනිසුන් දිගින් දිගටම අප ප්‍රකාශ කරන පණිවිඩයට උදාසීන ප්‍රතිචාරයක් දක්වන විට අපේ උද්‍යෝගය අඩු විය හැකියි. මිනිසුන්ගේ උදාසීන ප්‍රතිචාර නිසා ඔබේ හෝ සභාවේ සිටින යම් කෙනෙකුගේ උද්‍යෝගය අඩු වී ඇත්නම් කළ හැක්කේ මොනවාද?
5. (අ) මිනිසුන් උදාසීන ප්‍රතිචාරයක් දැක්වූවත් යෙරෙමියා ක්‍රියා කළේ කෙසේද? (ආ) ශුභාරංචිය පිළි නොගන්නා අයගේ ජීවිත අවදානමක තිබෙනවා කියා පැවසිය හැක්කේ ඇයි?
5 උදාසීන ප්‍රතිචාර හමුවේ පවා යෙරෙමියාට දිගටම දෙවිගේ පණිවිඩය උද්‍යෝගයෙන් ප්‍රකාශ කිරීමට හැකි වුණේ ඔහු තම පැවරුමේ බැරෑරුම්කම තේරුම්ගෙන සිටි නිසයි. ඔහු අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කරන්න පටන්ගත් මුල් කාලයේදීම පසුතැවිලි නොවන යුදෙව්වන් පිටට පැමිණෙන විපත ගැන දෙවි ඔහුට දැන්වූවා. (යෙරෙමියා 4:23-26 කියවන්න.) ඒ නිසා යුදෙව්වන්ගේ ජීවිත රඳා පැවතුණේ තමන් ප්‍රකාශ කරන පණිවිඩයට සවන් දී ඒ අනුව ක්‍රියා කිරීමෙන් බව ඔහු තේරුම්ගත්තා. එදා සිටි යුදෙව්වන් මෙන් අද දින මුළු මිනිස් වර්ගයාම සිටින්නේ මහත් විනාශයක් අද්දරයි. මේ දුෂ්ට සමාජය පිටට ඉදිරියේදී පැමිණීමට නියමිත විනාශය කොතරම් දරුණුද කියා යේසුස් පැවසූ මේ වදන්වලින් මනාව පැහැදිලි වෙනවා. “එම දවස ඔබට උගුලක් වෙයි. පොළොව පුරා ජීවත් වන සෑම කෙනෙකුටම ඒ දවසට මුහුණ දෙන්න සිදු වෙයි. එමනිසා අවදිව සිටින්න. නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න. එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවී මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි පෙනී සිටීමට ඔබට හැකි වෙයි.” (ලූක් 21:34-36) ඒ වදන් සලකා බලන විට ශුභාරංචිය පිළි නොගන්නා මිනිසුන්ගේ ජීවිත තිබෙන්නේ අවදානමක බව අපට වැටහෙනවා.
6. ඇතැම් අය හොඳ ප්‍රතිචාරයක් නොදැක්වූවත් අප දිගටම ඔවුන්ට ශුභාරංචිය පැවසිය යුත්තේ ඇයි?
6 කෙසේවෙතත් ශුභාරංචිය පිළිගෙන ඒ අනුව තම ජීවිත හැඩගස්වා ගන්නා අයට විනාශයෙන් ගැලවී දෙවිගේ පොරොන්දුවල ඉටු වීම අද්දකින්න ලැබෙනවා. යෙරෙමියාගේ කාලයේ සිටි යුදෙව්වන්ද යෙරෙමියාට සවන් දී තම ජීවිත වෙනස් කරගත්තා නම් විනාශයෙන් ගැලවීමට අවස්ථාව තිබුණා. (යෙරෙමියා 26:2, 3 කියවන්න.) දශක ගණනාවක් පුරා යෙරෙමියා යුදෙව්වන් වෙතට ගොස් ‘දෙවිට සවන් දී වැරදි මාර්ගවලින් ඉවත් වෙන්න’ කියා මහත් ඕනෑකමින් පැවසුවේ ඒ නිසයි. කොතරම් පිරිසක් ඔහුට සවන් දුන්නාද කියා අප නොදන්නවා වුණත් ඇතැම් අය පණිවිඩයට සවන් දී විනාශයෙන් බේරුණා. ඒ හා සමානව අද දිනත් බොහෝදෙනෙක් ශුභාරංචිය පිළිගෙන තම ජීවිත වෙනස් කරගෙන තිබෙනවා. කලින් ශුභාරංචිය ප්‍රතික්ෂේප කළත් පසු කාලයකදී ශුභාරංචිය පිළිගත් අයගේ අද්දැකීම් ගැන අපට නිතරම අසන්න ලැබෙනවා. (246වෙනි පිටුවේ සඳහන්, “කලින් සවන් නොදුන්නත් . . . ” නමැති කොටුව බලන්න.) ජීවිත ගලවන පණිවිඩය ප්‍රකාශ කිරීමේ කාර්යයෙහි උද්‍යෝගයෙන් හවුල් වීමට එය කදිම හේතුවක් නොවේද!
උදාසීන ප්‍රතිචාර හමුවේ පවා දිගටම ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔබ අදිටන් කරගෙන සිටින්නේ ඇයි?
අපට විරුද්ධ වන අයට ජය ගත නොහැකියි
7. විරුද්ධවාදීන් යෙරෙමියාව නිහඬ කිරීමට තැත් කළේ කෙසේද?
7 යෙරෙමියා අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කළ කාලයේදී ඔහුගේ විරුද්ධවාදීන් ඔහුව නිහඬ කර ඔහුගේ සේවය නතර කර දැමීමට නොකළ දෙයක් නැති තරම්. බොරු අනාගතවක්තෘවරුන් යෙරෙමියා පැවසූ අනාවැකිවලට හාත්පසින්ම වෙනස් අනාවැකි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා. (යෙරෙ. 14:13-16) ඇතැම් අය වීථිවල සිට යෙරෙමියා එතැනින් යන එන අවස්ථාවලදී ඔහුට නින්දා අපහාස කළා. (යෙරෙ. 15:10) තවත් අය ඔහුට විරුද්ධව කූට කුමන්ත්‍රණ යෙදුවා. (යෙරෙ. 18:18) සමහරුන් යෙරෙමියා ගැන බොරු කටකතා පැතිරෙව්වා. (විලා. 3:61, 62) ඒ දේවල් නිසා යෙරෙමියා අධෛර්යයට පත්ව ඔහුගේ සේවය අත්හැර දැමුවාද? නැහැ. ඔහු නොනවත්වා දෙවිගේ පණිවිඩය මිනිසුන් අතරට රැගෙන ගියා. එසේ ක්‍රියා කිරීමට ඔහුට හැකි වුණේ කෙසේද?
8. විරුද්ධවාදීන් කොතරම් පීඩා කළත් යෙරෙමියා ක්‍රියා කළේ කෙසේද?
8 ඒ සියලු විරුද්ධවාදිකම් හමුවේ ඔහුට නොසැලී සිටීමට හැකි වුණේ දෙවිගේ පොරොන්දු කෙරෙහි ඔහුට මහත් විශ්වාසයක් තිබූ නිසයි. යෙරෙමියා අනාගතවක්තෘවරයෙක් ලෙස තම සේවය ආරම්භ කළ විට ඔහුව ආරක්ෂා කරන බවටත් ඔහුව ශක්තිමත් කරන බවටත් දෙවි පොරොන්දු වුණා. (යෙරෙමියා 1:18, 19 කියවන්න.) එම පොරොන්දුව දෙවි එලෙසම ඉටු කළා. ඒ නිසා විරුද්ධවාදීන් යෙරෙමියාට මොන තරම් දරුණු ලෙස පීඩා කළත් යෙරෙමියා කිසිවිටක සැලුණේ නැහැ. ඔහුගේ නිර්භීතකම, ධෛර්යය හා විඳදරාගැනීම වැනි ගුණාංග තව තවත් වර්ධනය වුණා. ඒ ගුණාංග ඔහුගේ ජීවිතයෙන් පිළිබිඹු වූ අවස්ථා කිහිපයක් අපි සලකා බලමු.
9, 10. නිර්භීතව ක්‍රියා කිරීම සඳහා යෙරෙමියාගේ ජීවිතයේ කුමන සිද්ධීන් ඔබට උපකාරවත් වෙනවාද?
9 එක් අවස්ථාවක බොරු අනාගතවක්තෘවරුන් හා පූජකයන් යෙරෙමියාට මරණ දණ්ඩනය නියම කිරීම සඳහා ඔහුව අල්ලාගෙන අධිපතීන් ඉදිරියට ගෙන ගියා. ඒ අවස්ථාවේ යෙරෙමියා කිසි දෙයක් කරකියාගත නොහැකිව බියෙන් සිටියාද? නැහැ. ඔහු තමාට විරුද්ධව එල්ල කර තිබූ චෝදනාවලට කොතරම් නිර්භීතව පිළිතුරු දුන්නාද කියනවා නම් ඔහුව නිදහස් කර හරින්න අධිපතීන් තීරණය කළා.—යෙරෙමියා 26:11-16 කියවන්න; ලූක් 21:12-15.
10 තවත් අවස්ථාවක යෙරෙමියා පැවසූ අනාවැකියකට සවන් දී කුපිත වූ පෂ්හූර් නම් පූජකයා, යෙරෙමියාව දඬුකඳේ ගැසුවා. එම දඬුවමින් පසු යෙරෙමියා නැවත කිසිදාක අනාවැකි පවසන්නේ නැති වෙයි කියා පෂ්හූර් සිතන්න ඇති. ඊළඟ දිනයේ ඔහු යෙරෙමියාව නිදහස් කරන්න ඇත්තෙත් එසේ සිතාගෙන විය හැකියි. නමුත් සිදු වුණේ පෂ්හූර් කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. මුළු දවසක් පුරාම දඬුකඳේ සිටීම නිසා යෙරෙමියා ශාරීරිකව යම් වේදනාවක් අද්දකිමින් සිටියත් පෂ්හූර්ට විරුද්ධව දෙවි ප්‍රකාශ කර තිබෙන විනිශ්චයන් ඇතුළත් පණිවිඩය ඔහු පෂ්හූර්ටම දැනුම් දුන්නා. වධ හිංසාවලටවත් යෙරෙමියාව නිහඬ කිරීමට හැකි වුණේ නැහැ. (යෙරෙ. 20:1-6) ඊට හේතුව යෙරෙමියාම මෙසේ විස්තර කරනවා. “යෙහෝවා දෙවියනි, ඔබ බලවත් මෙන්ම බිය උපදවන සටන්කරුවෙකු මෙන් මා සමඟ සිටින්නෙහිය. එබැවින් මට පීඩා කරන අයට කිසිසේත් සාර්ථක විය නොහැක. ඔවුහු සම්පූර්ණයෙන්ම ඇද වැටෙන්නෝය.” (යෙරෙ. 20:11) ඇත්තෙන්ම යෙහෝවා දෙවි කෙරෙහි යෙරෙමියා තුළ තිබූ ස්ථිර විශ්වාසය නිසා විරුද්ධවාදීන්ගෙන් පැමිණි දරුණු පීඩා හමුවේ නොසැලී සිටීමට ඔහුට හැකි වුණා. ඒ හා සමානව ඔබටත් දෙවි කෙරෙහි ස්ථිර විශ්වාසයක් ඇති කරගත හැකියි.
11, 12. (අ) හනනියා කෝපයෙන් ක්‍රියා කළ අවස්ථාවේ යෙරෙමියා සිහිබුද්ධියෙන් කටයුතු කළේ කෙසේද? (ආ) ‘නපුරු දේවල් ඉවසාගෙන සිටීමෙන්’ ලැබෙන ප්‍රයෝජන මොනවාද?
11 යෙරෙමියා නිර්භීත කෙනෙක් වුණත් ඔහුගේ ජීවිතය අනවශ්‍ය අවදානමක හෙළන අයුරින් ඔහු ක්‍රියා කළේ නැහැ. විරුද්ධවාදීන් ඔහුට පීඩා කළ අවස්ථාවලදී ඔහු ඉතා සිහිබුද්ධියෙන් ක්‍රියා කළා. බොරු අනාගතවක්තෘවරයෙකු වූ හනනියා හා සම්බන්ධ සිද්ධිය ඊට කදිම උදාහරණයක්. ඔහු යෙරෙමියා පැවසූ අනාවැකි බොරු බව ප්‍රසිද්ධියේම පවසමින් ඔහුට අගෞරව කළ අවස්ථාවේ යෙරෙමියා ඉතා සන්සුන්ව දෙවිගේ සැබෑ අනාගතවක්තෘවරයෙකුව හඳුනාගත හැකි ආකාරය ඔහුට පැහැදිලි කළා. එවිට කෝපයට පත් වූ හනනියා, බැබිලෝනියේ රජුට යටත්ව සිටිය යුතු බව පෙන්වීම සඳහා යෙරෙමියා කරේ තබාගෙන සිටි වියගහ ගෙන එය බිම ගසා කඩා බිඳ දැමුවා. තම කෝපය පාලනය කරගත නොහැකිව සිටි හනනියා යෙරෙමියාගේ ජීවිතයට පවා හානියක් කරන්න ඉඩ තිබුණා. ඒ අවස්ථාවේ යෙරෙමියා කළේ කුමක්ද? වාර්තාවේ සඳහන් වන්නේ, “අනාගතවක්තෘ යෙරෙමියා එතැනින් පිටත්ව ගියේය” කියායි. නමුත් පසු අවස්ථාවක ඔහු හනනියා වෙතට ගොස් යෙහෝවා දෙවිගේ පණිවිඩය ඔහුට දන්වමින් බැබිලෝනිවරුන් යෙරුසලම යටත් කරගෙන යුදෙව්වන්ව වහලුන් ලෙස ගෙන යන බවත් අවුරුද්දක් ඇතුළත හනනියා මිය යන බවත් පැවසුවා.—යෙරෙ. 28:1-17.
12 යෙරෙමියා ක්‍රියා කළ ආකාරය දෙවිගේ සේවකයන් වන අපට කදිම ආදර්ශයක්. යෙරෙමියා මෙන් අපත් සේවයේ හවුල් වන විට නිර්භීතව කටයුතු කළ යුතු වුණත් ජීවිතයට අනතුරක් විය හැකි අවස්ථාවලදී ඥානවන්තව ක්‍රියා කිරීමට පියවර ගත යුතුයි. යම් කෙනෙක් අප ප්‍රකාශ කරන පණිවිඩය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් කෝපයෙන් ක්‍රියා කළොත් අප ඉතා සන්සුන්ව එතැනින් පිටත්ව යෑම කළ හැකි ඥානවන්තම දෙයයි. දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අප අන් අයට ප්‍රකාශ කරන විට උණුසුම් වාදවිවාදවලට පැටලීමට අපට කිසිම අවශ්‍යතාවක් නැහැ. යම් කෙනෙක් ඉතා කෝපයෙන් ක්‍රියා කළත් දෙවිගේ සේවකයන් වන අප ‘නපුරු දේවල් ඉවසාගෙන සිටිනවා’ නම් වෙනත් අවස්ථාවක ඔහු ශුභාරංචිය පිළිගැනීමට පවා ඉඩ තිබෙනවා.—2 තිමෝති 2:23-25 කියවන්න; හිතෝ. 17:14.
දේවසේවයේ හවුල් වන විට දෙවි කෙරෙහි ස්ථිර විශ්වාසයක් ඇතුව සිටීම අත්‍යවශ්‍ය දෙයක් වන්නේ ඇයි? අප නිර්භීතව කටයුතු කළ යුතු වුණත් අවදානම් අවස්ථාවලදී සිහිබුද්ධියෙන් ක්‍රියා කළ යුත්තේ ඇයි?
“භය නොවන්න”
13. “භය නොවන්න” කියා දෙවි යෙරෙමියාට පැවසුවේ ඇයි? ඒ ගැන සලකා බැලීම අපට වැදගත් වන්නේ ඇයි?
13 ක්‍රිස්තු පූර්ව 607 යෙරුසලම විනාශ වීමට කලින් එහි සිදු වූ දරුණු දේවල් දෙවිට නමස්කාර කළ අයටත් බලපෑවා. යෙරෙමියාව අනාගතවක්තෘවරයෙකු ලෙස පත් කළ කාලයේදීම ඔහුව ශක්තිමත් කරමින් සිදු වීමට නියමිත දේවල් ගැන “භය නොවන්න” කියා දෙවි පැවසුවේ ඒ නිසයි. (යෙරෙ. 1:8; විලා. 3:57) ඒ දිරිගන්වනසුලු වදන් දෙවි යෙරෙමියා මාර්ගයෙන් තම සෙනඟටත් පැවසුවා. (යෙරෙමියා 46:27 කියවන්න.) ඇත්තටම දෙවි පැවසූ ඒ වදන් අද දින අපටත් ඉතා වැදගත්. මන්ද අප ජීවත් වන මේ අවසාන කාලයෙත් භයානක දේවල් බොහොමයක් අප අවට සිදු වන නිසා අපේ සිත්වලටත් යම් බියක් දැනෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී දෙවි යෙරෙමියාව ශක්තිමත් කරමින් පැවසූ ඒ වදන් සිහියේ තබාගැනීමෙන් අපටත් මහත් සහනයක් අද්දැකිය හැකියි. දෙවි ඒ වදන් යෙරෙමියාට පැවසුවා පමණක් නොව ඒ භයානක කාලය තුළදී ඔහු සමඟ සිට ඔහුව රැකබලා ගත්තා. ඒ ගැන අප කලින් පරිච්ඡේදවල සලකා බැලුවා. එම තොරතුරුවලින් අපට ඉගෙනගත හැක්කේ මොනවාද කියා අපි නැවතත් සලකා බලමු.
14, 15. (අ) යෙරෙමියාගේ ජීවිතය අනතුරේ තිබුණා කියා පැවසිය හැක්කේ ඇයි? (ආ) යෙරෙමියාව ගලවාගන්නා බවට දුන් පොරොන්දුව දෙවි ඉටු කළේ කෙසේද?
14 බැබිලෝනිවරුන් යෙරුසලම යම් කාලයක් පුරා වටලා සිටි නිසා නුවර තුළ ආහාර හිඟයක් ඇති වුණා. (යෙරෙ. 37:21) යූදාහි අධිපතීන් ශෙදකියා රජුගේ අවසරය ඇතුව යෙරෙමියාව මඩින් පිරී තිබූ ළිඳකට දැමුවේ ඒ කාලයේදීයි. පෙනෙන විදිහට ළිඳේ සිර වී සිටි ඔහුට, ඉන් බේරීමට කිසිම විදිහක් තිබුණේ නැහැ. එවැනි දෙයකට ඔබ මුහුණ දුන්නා නම් ඔබට කෙසේ හැඟෙයිද? ඔබ තුළ භයක් ඇති වන බවට සැකයක් නැහැ.—යෙරෙ. 38:4-6.
15 මඩේ එරෙමින් සිටි යෙරෙමියාටත් භයක් දැනෙන්න ඇති. නමුත් යෙහෝවා දෙවි තමාව කවදාවත් අත්හරින්නේ නැති බවට ඔහු තුළ දැඩි විශ්වාසයක් තිබුණා. (යෙරෙමියා 15:20, 21 කියවන්න.) ඒ අවස්ථාවේ දෙවි ඒබෙද්-මෙලෙක් මාර්ගයෙන් යෙරෙමියාගේ ජීවිතය බේරාගැනීමට පියවර ගත්තා. යෙරෙමියාව බේරාගැනීමට ශෙදකියා රජුගේ අවසරය ලබාගත් ඒබෙද්-මෙලෙක්, විගස ක්‍රියාත්මක වී යෙරෙමියාව ළිඳෙන් ගොඩට ගත්තා.—යෙරෙ. 38:7-13.
16. දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ව ගලවාගත්තේ කුමන අනතුරුවලින්ද?
16 එම භයානක උවදුරෙන් යෙරෙමියා බේරුණත් ඔහුගේ ජීවිතය තවමත් තිබුණේ අනතුරෙයි. (යෙරෙ. 38:9) මන්ද නුවර පුරා පැවති සාගතය එන්න එන්නම දරුණු අතට හැරුණා. එය කොතරම් දරුණු වුණාද කියනවා නම් සෙනඟ එකිනෙකාව මරාගෙන කෑවා. නමුත් යෙහෝවා දෙවි යෙරෙමියාව රැකබලා ගනිමින් ඔහුට අවශ්‍ය ආහාර ලබා දුන්නා. යෙරෙමියාව පමණක් නොව ඔහුගේ ජීවිතය බේරාගැනීමට මැදිහත් වී ක්‍රියා කළ ඒබෙද්-මෙලෙක්වත් ආරක්ෂා කරන බවට දෙවි පොරොන්දු වුණා. (යෙරෙ. 39:16-18) “ඔබව ගලවාගැනීමට මම ඔබ සමඟ සිටිමි” යන පොරොන්දුවට එකඟව දෙවි ක්‍රියා කළ නිසා දෙවිට විශ්වාසවන්තව සිටි යෙරෙමියාට හා ඒබෙද්-මෙලෙක්ට සතුරන් නිසාවත් සාගතය නිසාවත් මරණය අද්දැකීමට සිදු වුණේ නැහැ. (යෙරෙ. 1:8) යෙරුසලම පිටට පැමිණි විනාශයෙන් පවා ඔවුන් තම දිවි ගලවාගත්තා. එයින් අපට ඉගෙනගත හැකි වැදගත් පාඩම නම් තම සේවකයන්ව ගලවාගන්නා බවට දෙවි පොරොන්දුවක් දුන්නොත් ඔහු එය අනිවාර්යයෙන්ම ඉටු කරන බවයි.—යෙරෙ. 40:1-4.
17. තම සෙනඟව ගලවාගන්නා බවට දෙවි දුන් පොරොන්දුව ඔබ විශ්වාස කළ යුත්තේ ඇයි?
17 මේ දුෂ්ට සමාජයේ අවසාන කාලය ගැන යේසුස් පැවසූ අනාවැකිය ඉටු වෙමින් පවතින අතර නුදුරු අනාගතයේදී එම අනාවැකියට අදාළ අනිකුත් ඉටුවීම් අපට දැකගැනීමට හැකියි. උදාහරණයකට “ඉර, සඳ හා තාරකාවල ලකුණු දකින්න ලැබෙයි. . . . පොළොවේ ජාතීන් ගැලවීමට කිසි මඟක් නොදකිමින් දැඩි වේදනා අද්දකියි. ඒ අතරතුර ලොවට සිදු වෙන්න යන දේවල් ගැන මිනිසුන් නිතරම කල්පනා කරමින් සිටින නිසාත් ඔවුන්ට දැනෙන බිය නිසාත් ඔවුන් ක්ලාන්ත වී ඇද වැටෙයි” යන අනාවැකි ඉදිරියේදී ඉටු වීමට නියමිතයි. (ලූක් 21:25, 26) මිනිසුන්ව මහත් සේ බියට පත් කරවන ඉර, සඳ හා තාරකාවල දකින්න ලැබෙන ලකුණු මොනවාද කියා අප හරියටම දන්නේ නැහැ. නමුත් නුදුරු අනාගතයේදී එම අනාවැකිය ඉටු වන විට අපට එය දැනගත හැකියි. එවැනි භයානක දේවලට මුළු මිනිස් වර්ගයාම මුහුණ දෙන විට යෙහෝවා දෙවිට තම සෙනඟව ගලවාගැනීමට හැකි බවත් දෙවි ඒ දේ කිරීමට කැමැත්තෙන් සිටින බවත් අමතක නොකරමු. දෙවිගේ සෙනඟ අන්ත අසරණ තත්වයක සිටිනවා වගේ පෙනෙන්න තිබුණත් ඔවුන්ව ගලවාගැනීමට දෙවිට හැකියි. දෙවි ඒබෙද්-මෙලෙක්ට දුන් මේ පොරොන්දුව අද දින දෙවිගේ සෙනඟටත් අදාළයි. “‘ඔබ කඩුවෙන් විනාශ වන්නේ නැත. ඔබට ගැලවී යෑමට මාර්ගයක් මම සලසා දෙන්නෙමි. ඔබ මා කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔබේ ජීවිතය ආරක්ෂා වන්නේය’ කියා යෙහෝවා දෙවි පවසන්නේය.” (යෙරෙ. 39:18) නමුත් දෙවිගේ අනුමැතිය නැති අයට නම් යේසුස් පැවසූ අනාවැකිය සම්පූර්ණයෙන්ම ඉටු වන කාලය ඉතා භයානක කාලයක් වන බවට සැකයක් නැහැ.—යෙරෙමියා 8:20; 14:9 කියවන්න.
අප වෙනුවෙන් ලියා තිබෙන වදන්
18. (අ) යෙරෙමියාගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති කළේ දෙවි පැවසූ කුමන වදන්ද? (ආ) ඒ ආඥාව ඔබට බලපාන්නේ කෙසේද?
18 දෙවි යෙරෙමියාව අනාගතවක්තෘවරයෙකු ලෙස පත් කළ අවස්ථාවේ ඔහුට මෙසේ පැවසුවා. “මා ඔබව යවන සෑම තැනකටම ඔබ යා යුතුයි. මා ඔබට කීමට අණ කරන සෑම දෙයක්ම ඔබ පැවසිය යුතුයි.” (යෙරෙ. 1:7) එදා සිට යෙරෙමියා තම ජීවිතයේ මූලික තැන දුන්නේ දෙවිගේ පණිවිඩ මිනිසුන්ට දැන්වීමටයි. ‘යෙහෝවා දෙවිගේ වදන්වලට සවන් දෙන්න’ කියා පවසමින් ඔහු ප්‍රකාශ කළ පණිවිඩ යෙරෙමියා පොතේ මුල සිට අග දක්වාම දකින්න තිබෙනවා. යෙරුසලමේ විනාශය ගැන හා එහි අවසන් රජු වන ශෙදකියාව වහලෙකු ලෙස බැබිලෝනියට රැගෙන යෑම ගැන යෙරෙමියා තම පොතේ අවසන් පරිච්ඡේදයේ සඳහන් කළා. ඒ දේවලින් අපට පැහැදිලි වන්නේ දෙවි ඔහුට භාර දුන් පැවරුම ඔහු සම්පූර්ණයෙන්ම ඉටු කළ බවයි.
19, 20. (අ) යෙරෙමියා තම පැවරුම ඉටු කළ ආකාරය ඔබට ආදර්ශයට ගත හැක්කේ ඇයි? (ආ) ශුභාරංචිය දේශනා කිරීමත් සතුට හා තෘප්තිය අද්දැකීමත් අතර තිබෙන සම්බන්ධය කුමක්ද? (ඇ) යෙරෙමියා හා විලාප ගී යන පොත්වල තිබෙන තොරතුරු සලකා බැලීමෙන් ඔබ ප්‍රයෝජන ලැබුවේ කෙසේද?
19 එදා යෙරෙමියාගේ පැවරුම හා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස අද අපට තිබෙන පැවරුම අතර බොහෝ සමානකම් තිබෙනවා. යෙරෙමියා මෙන් අපත් දෙවිට සේවය කරන්නේ දෙවි තම විනිශ්චය ක්‍රියාත්මක කිරීමට ආසන්න කාලයකයි. දෙවිගේ සේවකයන් ලෙස ඉටු කිරීමට අපට විවිධ වගකීම් තිබුණත් මේ කාලයේ අප කළ යුතු වැදගත්ම කාර්යය වන්නේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයයි. එමගින් අපට යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ නාමයට මහත් ගෞරවයක් ගෙන දීමට හැකි වන අතර මේ විශ්වය පාලනය කිරීමට අයිතිය තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණයි කියා අප පිළිගන්නා බව පෙන්වීමටත් හැකියි. (විලාප ගී 5:19 කියවන්න.) යෙරෙමියාට මෙන් අපටත් අපේ පැවරුම ඉටු කිරීමෙන් සැබෑ දෙවිව දැන හඳුනා ගන්න හා දෙවි සතුටු වන්නේ මොන වගේ ජීවිතයක් ගත කරනවාටද කියා මිනිසුන්ට කියා දීමට අවස්ථාව ලැබෙනවා. එසේ කිරීමෙන් අන් අය කෙරෙහි අපට ප්‍රේමයක් තිබෙන බව පෙන්වීමටද අපට හැකි වෙනවා.—යෙරෙ. 25:3-6.
20 අන් අයට ප්‍රකාශ කිරීමට දෙවිගෙන් තමාට ලැබුණු පණිවිඩ ගැන යෙරෙමියා පැවසුවේ, “ඔබේ වදන් මට අසන්න ලැබුණු විට . . . මම ඉමහත් සතුටක් ලැබුවෙමි. මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, මම ඔබේ නාමය දරමි” කියායි. (යෙරෙ. 15:16) අද දින දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කරන අපටත් යෙරෙමියා අද්දුටු ඒ සතුට හා තෘප්තිය අද්දැකිය හැකියි. දෙවිගේ පණිවිඩය අත් නෑර ප්‍රකාශ කිරීමට එය මොන තරම් ප්‍රබල හේතුවක්ද!
නිර්භීතව ක්‍රියා කිරීමට යෙරෙමියාගේ හා ඒබෙද්-මෙලෙක්ගේ ආදර්ශය ඔබට උපකාරවත් වන්නේ කෙසේද? දේවසේවයේදී ඔබ පිළිබිඹු කිරීමට කැමති වන්නේ යෙරෙමියා සතු කුමන ගුණාංගයද?